Friday 1 January 2021

“ලන්දේසීන් හා සමකාලීන උඩරට පාලකවරු අතර ඇති කරගත් ගිවිසුම්, ලන්දේසි ඉන්දියන් සාගර ප්‍රතිපත්තිය අවබෝධ කර ගැනීම සඳහා කවුළුවක් සපයයි.”


ලන්දේසීන්ගේඉන්දියන් සාගර ප්‍රතිපත්තිය පිළිබඳ ව සලකා බැලීමේ දී පෙනී යන්නේ වෙළඳාම තම ප්‍රධානතම පරමාර්ථය වූ බවයි. ආරම්භයේ දී වෙනත් පරමාර්ථයන් කොතෙක් වුවත් ඒ සෑම දෙයක් ම වෙළඳාමට දෙවනි වූ බව කිව හැකි ය. තම ආගම සම්බන්ධයෙන් පෘතුගීසීන් මෙන් ලන්දේසීන් ද දැඩි සිත් ඇති ව සිටියත් පෘතුගීසීන් මෙන් ආගම පතුරවා හැරීම හා අන් ආගමිකයන් හරවා ගැනීමේ චේතනාවෙන් ඔවුන් ආසියාවට පැමිණියේ නැත. පෘතුගීසීන් තම ආරම්භක පරමාර්ථයන් ක්‍රියාත්මක කිරීමේ දී බොහෝ දුරට ආසියාතික දේශපාලන අරගලවලට මැදිහත් වූ අතර ඒ සඳහා එම රටේ අභ්‍යන්තර දේශපාලන බලය ලබා ගැනීමට ද උත්සහ කරන ලදි. තවද කතෝලික ආගම වැළඳ ගත් අය ස්වදේශික පාලකවරුන්ට නොව පෘතුගීසීන්ට ළැදි වීමත්, පෘතුගීසීන් තම ආරක්‍ෂකයන් ලෙස සැලකීමත් පසුකාලීනව පෘතුගීසි බලයට අහිතකර ව බලපාන්නට විය. වසර 100කට අධික කාලයක් පෙරදිග කුළුබඩු වෙළදාමේ වැදගත්කමක් පෘතුගීසීන්ට හිමි ව තිබුනත් පසුව එම වැදගත්කම ලන්දේසීන්ට හිමි වීමට ඉහත කරුණු ප්‍රබලව බලපාන ලදි. 

පෘතුගීසීන් මෙන් නොව ලන්දේසීන් දිගු දුර බලා කටයුතු කරන ලද ජාතියක් විය. ඔවුන්ගේ පරමාර්ථය වූවේ අඩු ම වියදමකින් වැඩි ම ලාභ ලබා ගැනීමයි. මේ නිසා ඔවුන් හැකි තාක් දුරට යුද්ධවලින් වැළකී සිටීමට වෑයම් කළහ. ඔවුහු ඇතැම් අවස්ථාවල තමන් සබඳකම් දැක්වූ රටවල ප්‍රධානීන්ට සුහදකම් දැක්වූහ. නැතහොත් ඔවුන් ඉදිරියේ නියාලු වීමට තරම් ඇතැම් විට උපායශීලී වූහ. ඔවුන් යුද්ධ කිරීමට ඉදිරිපත් වූයේ මේ සියලු දේ ව්‍යර්ථ වූ විට පමණි. ලන්දේසීන් අප රටේ රජවරුන් සමඟ ද මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලද බව උඩරට පාලකයන් සමඟ ඔවුන් ඇති කර ගත් ගිවිසුම් හා සබඳකම් මගින් පැහැදිලි වේ. 

ලන්දේසීන් ලංකාවේ රජවරුන් සමඟ සබඳතා ඇති කර ගැනීම සඳහා බලපාන ලද ප්‍රබලතම සාධක කීපයක් යුරෝපීය පසු බිම තුළින් හඳුනා ගත හැක. 15 වන හා 16 වන සියවස්වල දී සෑම ප්‍රබල යුරෝපීය ජාතියක ම ප්‍රධාන අරමුණ වූයේ පෙරදිග වෙළදාම සියතට ගැනීමයි. පෙර අපර දෙදිග වෙළදාමෙන් පෘතුගීසි ලැබූ විශාල ලාභ තමන්ට ද ලබා ගැනීම සඳහා පෙරදිගට පැමිණීමේ අපේක්‍ෂාව ලන්දේසීන් සතු විය. එතෙක් ඔවුන් පුරුදු ව සිටියේ පෘතුගීසීන් විසින් ගෙන එන වෙළඳ ද්‍රව්‍ය ලිස්බන් නගරයේ දී මිලට ගෙන අනෙකුත් යුරෝපා රටවලට ගෙන ගොස් වෙළදාම් කිරීමටයි. 16 වන සියවස වන විට සෙසු යුරෝපා ජාතීන්ට වඩා ආර්ථික අතින් ප්‍රබල තත්වයක සිටි ඔවුහු පෙරදිගට පැමිණීමේ අවශ්‍යතාවෙන් සිටින්නට විය. නමුත් වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ සිට පෙරදිගට පැමිණීමට අවශ්‍ය විද්‍යාත්මක දැනුම මෙන් ම ගමන් මාර්ග පිළිබඳ තොරතුරු සහ සිතියම් සෙසු යුරෝපා ජාතීන්ගෙන් වසන් කොට තබා ගැනීමට පෘතුගීසීන් උත්සහ කරන ලදි. එහෙත් පෘතුගාලයේ අවුරුදු 4ක් ද ගෝවේ අවුරුදු 5ක් ද ගත කළ ලින්ෂෝටන් නමැති ලන්දේසි ජාතිකයා 1595දී (Reyserch) හා 1596දී (Itineraio)  යන පෙරදිග පිළිබඳ විස්තර ඇතුළත් කෘති දෙකක් පළ කිරීමත් සමඟ ලන්දේසීන්ට පෙරදිගට පැමිණීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකි විය. නාවික කටයුතු සඳහා සුදුසු වූ ඇම්ස්ටර්ඩෑම්, වෙළඳාමට ප්‍රසිද්ධියක් ඉසිලූ ෆ්ලාන්ඩර්ස් වැනි ප්‍රදේශ නෙදර්ලන්තයේ පිහිටා තිබීම ද ලන්දේසීන්ට පෙරදිගට පැමිණීමට උපකාරී විය. ලන්දේසීන්ගේ ප්‍රථම ආසියාතික ගමන 1595දී කොරනෙලිස් ද හවුස්මාන් යටතේ සිදු විය. යාත්‍රා හතරකින් යුත් එම කණ්ඩායම මැඩගස්කර දූපත තෙක් සාමාන්‍ය පෘතුගීසි නාවික මාර්ගය අනුගමනය කළේ ය. මැඩගස්කාර් දූපතේ සිට උතුරු දෙසට අප්‍රිකානු වෙරළ දිගේ ගමන් කරනවා වෙනුවට ඉන්දියන් සාගරය හරහා නැගෙනහිරට යාත්‍රා කිරීමෙන් ඕස්ට්‍රේලියාවට ඉදිරියෙන් නැව් උතුරට ගමන් කොට සුන්ඩාස් සමුද්‍ර සන්දිය හරහා නැගෙනහිර ඉන්දියානු කොදෙව්වලට පිවිසෙන ලදි. එසේ පළමු අවස්ථාවේ දී ම ඉන්දියාවට ලන්දේසීන් නොපැමිණියේ, ලිංෂෝටන්ගේ හෙළිදරව්වට අනුව පෘතුගීසීන්ගේ ඉන්දියානු සාගර බලය ඉන්දියාව අවට ප්‍රබලව තිබීමත් හා අග්නිදිග ආසියාවේ බැන්තම් ආශ්‍රිතව පෘතුගීසි බලය අවම ව ව්‍යාප්ත ව පැවතීමත්ය.    

1601 වන විට ලන්දේසීන් විසින් ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (Vereenigde Oost-Indische Compagni), පිහිටුවා ගැනීමත් සමග පෙරදිග කටයුතු කෙරෙහි කාර්යක්‍ෂම නියැලීමට ඔවුන්ට හැකි විය. ක්‍රි.ව. 1602දී ජොරිස් ෆන් ස්පිල්බර්ජන් නැමැති ලන්දේසි ජාතික අද්මිරාල්වරයා ලංකාවට පැමිණි මුල් ම ලන්දේසි නියෝජිතයා වන අතර ඔහු එකල උඩරට පාලකයා වූ I වන විමලධර්මසූරිය රජු සමඟ සාකච්ඡා කරන ලදි. පෘතුගීසීන් පන්නා දැමීම සඳහා ලන්දේසීන්ගෙන් ආධාර ලබා ගැනීමට රජතුමා උනන්දු වූ නමුත් ලන්දේසීන් මෙරට වෙළඳ කටයුතුවල නියැලීම ගැන රජු කැමැත්තක් නොදැක් වූ බව පෙනේ. මේ බව තේරුම් ගත් ස්පිල්බර්ජන් තමා පැමිණියේ පෘතුගීසීන්ට විරුද්ධව යුද ආධාර දීම සඳහා බව උපායශීලී ව රජුට ඒත්තු ගන්වන ලදි. ඒ අනුව රජුගෙන් වෙළඳ ද්‍රව්‍ය හා තෑගි බෝග ලබා ගත් ඔහු යුද්ධාධාර රැගෙන එන බවට පොරොන්දු වී පිටත් ව ගියේ ය. එසේ යන අතර මඟ දී හෙතෙම තම ක්‍රියා මාර්ගයේ සත්‍යතාවය තහවුරු කිරීමට මෙන් පෘතුගීසි නැව් කීපයක් අල්ලා රජුට භාර දෙන ලදි. ඉන් අනතුරුව 1602දී විශාල ලන්දේසි නාවික හමුදාවක් සමඟ පැමිණි සී බෝලට් ද වාර්ට් ඇතුළු පිරිස උඩරට රජු හමු වී පෘතුගීසීන්ගේ ගාලු කොටුවට පහර දී එය රජුට අල්ලා දීමට පොරොන්දු වූ නමුත් එලෙස අල්ලා ගත් නැව් රජුට භාර නොදීම හා නෙමනා හැසිරීම නිසා ඔවුන් රජුගේ උදහසට ලක් විය.

I වන විමලධර්මසූරිය රජුගෙන් පසු උඩරට රජ වූයේ ඔහුගේ ඥාති සොහොයුරු සෙනරත් රජු ය. ඔහුගේ පාලන සමය අතර තුළ එනම් 1610දීත් ලන්දේසි දූත කණ්ඩායම් දෙකක් පැමිණි නමුත් ලන්දේසි හා උඩරට අතර ස්ථීර සම්බන්ධතාවක් ඇති නොවීය. ඊළඟ ලන්දේසි ආගමනය සිදු වූවේ 1612දීය. මාසෙල්ස් ඩි. බොස්චෝවර් නම් ලන්දේසි ජාතික නැවියා විසින් නෙදර්ලන්තයේ රාජකීය ජෙනරාල්වරයාගේ ලියුම් රැගෙන පැමිණ උඩරට රජු සමඟ ගිවිසුමක් ඇති කර ගන්නා ලදි. එම ගිවිසුමට අනුව පෘතුගීසීන් පන්නා දැමීමට ලන්දේසීන් සිංහල රජුට සහය දීමට නියමිත විය. ඒ සමඟ ලන්දේසීන් දෙදෙනෙකුට රජුගේ රාජ සභාවේ ආසන හිමි වීමට නියමිත විය. ඒ අනුව බොස්චොවර් මීගමුවේ රාළ ලෙස රාජ සභාවේ අසුන් ගන්නා ලදි.

1635 දී සෙනරත් රජු මිය යාමෙන් පසුව උඩරට රජ වූ II වන රාජසිංහ රජු විසින් පෘතුගීසීන් මෙරටින් පන්නා දැමීමට සඳහා වඩා ශක්තිමත් නාවික බලයක් සහිත ලන්දේසීන්ගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු විය. මේ වන විට ලන්දේසීන් ද අග්නිදිග ආසියාව තුළ ස්ථාවර වෙමින් පැවති අතර එය උපකාරී කර ගනිමින් හා ලංකාවේ විදේශ වෙළඳාම පිළිබඳ ආධිපත්‍ය ලබා ගැනීමේ අරමුණින්, ඔවුන් කටයුතු කරන්නට විය. ඒ සඳහා 1638 දී ලංකාවට පැමිණි අද්මිරාල් වෙස්ටර්වෝලඩ් 1638 මැයි 23 වන දා රාජසිංහ රජු සමඟ ගිවිසුමකට එළඹෙන ලදි. එහි දී II රාජසිංහ රජු මූලික වශයෙන් ම බලා පොරොත්තු වූවේ පෘතුගීසීන් ලංකාවෙන් පන්නා දැමීම සඳහා ලන්දේසි නාවික ආධිපත්‍යයේ සහය ලබා ගැනීමටයි. පෘතුගීසීන් මෙරටින් නෙරපීම සඳහා කරන යුද්ධවල දී ලන්දේසීන්ට දැරීමට වන වියදම රාජසිංහ රජු විසින් ගෙවිය යුතු බවත්, රජු විසින් යුද්ධ වියදම් ගෙවූ පසු ලන්දේසීන් විසින් අල්ලා ගත් බලකොටු රජුට පවරා දිය යුතු බවත්, පෘතුගීසීන් සතු ව පැවති විදේශ වෙළඳාමේ ඒකාධිකාරය ලන්දේසීන්ට පැවරිය යුතු බවත් එම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසි විය. තවද රජු කැමති නම් පමණක් ලන්දේසි හමුදා කණ්ඩායමක් නිදහස් කර ගනු ලබන කොටුවල ස්ථාන ගත කළ යුතු බවට ද කොන්දේසියක් එහි අඩංගු විය. මෙම ගිවිසුම ඕලන්ද හා පෘතුගීසි යන භාෂා දෙකෙන් ම සකස් කෙරිණි. මන්ද යත් රාජසිංහ රජු පෘතුගීසි භාෂාව හොඳින් දැන සිටි ම නිසා ය.

ගිවිසුමෙන් පසු 1639දී ත්‍රිකුණාමලය සහ මඩකලපුව ලන්දේසීන් විසින් යටත් කර ගෙන ගිවිසුමේ ප්‍රකාර ව උඩරට රජුට භාර දෙන ලදි. නමුත් 1640 දී අල්ලා ගත් මීගමුව හා ගාල්ල බලකොටු රජුට භාර නොදෙන ලදි. එයට හේතු වශයෙන් ඔවුන් දැක්වූවේ බලකොටු අල්ලා ගැනීමේ දී ගිය වියදම උඩරට රජු විසින් පොරොන්දු වූ පරිදි නොගෙවීමයි.

ලන්දේසීන් හා උඩරට රජු අතර අමනාප කම්වලට මූලික හේතුව වූයේ 1638 දී ඇති කර ගත් ගිවිසුමේ පැවති එම ව්‍යාකූලත්වයයි. ලන්දේසීන් විසින් අල්ලා ගන්නා ලද බලකොටු, ලන්දේසීන් වෙත තබා ගැනීම රජුගේ කැමැත්ත ඇති ව පමණක් කළ යුතු බව, පෘතුගීසි භාෂාවෙන් වූ රජුගේ පිටපතේ ඇතුළත් කර තිබුණි. එහෙත් රජු කැමති නම් පමණක් යන කොටස ලන්දේසීන්ගේ පිටපතේ නොතිබුණි. එය ලන්දේසි විසින් යෙදූ උපක්‍රමයක් වන බව පෙනේ. සත්‍ය වශයෙන් ම ලන්දේසීන් ගාල්ල හා මීගමුව යන බලකොටු රජුට පවරා දීමට කටයුතු නොකලේ එම බලකොටු කුරුඳු බහුලව නිපදවූ ප්‍රදේශවල පිහිටා තිබීමත් හා තම ඉන්දියන් සාගර ප්‍රතිපත්තිය මූලීක වශයෙන් එම අරමුණු අනුව සකස් ව තිබීමත් ය. බලකොටුවල සිටින සේවකයන්ගේ පඩිනඩි ගෙවීම ගිවිසුමේ ප්‍රකාර රජුගේ කාර්යයක් නොවන බව රජු කියා සිටියේ ය. එහෙත් තමන් ඉල්ලන යුධ වියදම් පියවන තෙක් බලකොටු රජුට පවරා දිය නොහැකි බව කියමින් ලන්දේසීන් ඒවා තමන් වෙත තවදුරටත් තබා ගන්නා ලදි.

1658 සිට ලන්දේසීන් උඩරට රජුන් සමඟ පැවැත් වූ සබඳතා සංකීර්ණ ස්වභාවයක් ඉසිලීය. ඔවුහු වරක ආක්‍රමණිකයන් ලෙස ද තවත් වරක මිතුරන් ලෙස ද ක්‍රියා කල බව පෙනී යයි. ලන්දේසීන්ගේ ප්‍රධාන පරමාර්ථය වූවේ මෙරට වෙළඳ බලය අල්ලා ගෙන ඉන් උපරිම ලාභ ලබා ගැනීමයි. මේ අතර රෙපරමාදු ධර්මය මෙරට ප්‍රචාරය කිරීම කෙරෙහි ද ඔවුහු අමතරව ද උනන්දු වූහ. නමුත් එය පෘතුගීසීන් මෙන් ප්‍රබල නොවීය. අනවශ්‍ය යුද්ධවල පැටලීමෙන් තමන්ගේ ආර්ථික ලාභ විනාශ කර ගැනීමට අකමැති වූ ලන්දේසීන් හැකි තරම් දුරට උඩරට සමඟ මිත්‍රශීලී ව කටයුතු කිරීමට උත්සුක වූහ. ඒ හේතුවෙන් ලංකාවේ සිදු කල වෙළඳාමෙන් උපරිම ලාභ ලබා ගැනීමට නම් උඩරට රජුගේ සහය ඔවුන්ට අතිශයින් ම වැදගත් විය. ලංකාවේ වෙළඳ කටයුතු අවහිරයකින් තොර ව කරගෙන යාමටත් කුරුඳු, ගම්මිරිස්, පුවක්, මුතු, මැණික් ආදිය උඩරටින් ලබා ගැනීමටත්, උඩරට හරහා යාපනයට අලි ඇතුන් ගෙන යාමටත් උඩරට රජුගේ ආධාර අවශ්‍ය විය. එසේ ම වෙළඳාම සම්බන්ධයෙන් ද වැදගත් වූ වරායන් බොහෝමයක් ඔවුන් සතු ව පැවතීම නිසා උඩරට රජු සමඟ යුද්ධයකට පැටලීමට ඔවුන්ට අවශ්‍ය නොවීය.  

මෙයට ප්‍රධානතම හේතුවක් වන්නට ඇත්තේ ලන්දේසීන්, 17 වන සියවසෙන් පසුව පෙරදිග දී සමාගමක් ආකාරයෙන් සංවිධානය වී කටයුතු කිරීම බව උපකල්පනය කළ හැක. මන්ද යත් සමාගමක මූලික අභිප්‍රාය වන්නේ අඩු වියදමකින් වැඩි ලාභ ඉපයීමයි. එම සමාගම වෙත නෙදර්ලන්තයේ ව්‍යාපාරිකයන් හා පුරවැසියන් මුදල් ආයෝජනය කළ තිබූ අතර ඔවුන් නිතර ම බලා පොරොත්තු වූයේ තම ලාබය කුමන අවස්ථාවේ හිමිවේ ද යන්න පිළිබඳවයි. තවද නෙදර්ලන්තය යනු ‍යුරෝපයේ කුඩා රටක් වන අතර මෙම කාලයේදී එහි ජනගහනය ද අනෙකුත් යුරෝපීය රාජ්‍යයන්ට සාපේක්‍ෂව ඉතා අඩු විය.

එසේ වුවත් රාජසිංහ රජු ලන්දේසීන් කෙරෙහි විශ්වාසයක් තැබුවේ නැත. 1638 කොන්දේසි ලන්දේසීන් විසින් ඉටු නොකිරීම ගැන රජු ලන්දේසීන් කෙරෙහි බලවත් කලකිරීමෙන් සිටියේ ය. රාජසිංහ රජුගේ ක්‍රියාව ඉඟුරු දී මිරිස් ගත්තා වැනිය යන ප්‍රස්තා පිරුළේ ක්‍රියාවට සමාන යැයි අදහසක් ජනතාව තුළ ඇති වූ බව කියනු ලැබේ. ලන්දේසීන්ට විරුද්ධව යුද්ධයක් ආරම්භ කිරීමට රජු බලාපොරොත්තු නොවීය. ඔහු ඒ වෙනුවට කළේ උඩරට රාජ්‍යයට යාබදව පැවති ලන්දේසීන් සතු ප්‍රදේශවල අවුල් වියවුල් තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කිරීමයි. මේ සඳහා ඔහු හදිසි ප්‍රහාර මෙන් ම ලන්දේසීන්ට විරුද්ධව ජනතාව උසි ගැන්වීම් වැනි උපක්‍රම අනුගමනය කරන ලදි. මෙම ක්‍රියා ඉතාමත් ම සාර්ථක වූ අතර ලන්දේසි වෙළඳාමට ප්‍රබල අකුල් හෙළීමක්ද විය. රජුගේ මෙම ක්‍රියා කලාපය තව දුරටත් නො ඉවසූ ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ෆන් හූන්ස් 1659 දී උඩරට රාජ්‍යයට අයත් වරායක් වූ කල්පිටිය අල්ලා ගන්නා ලදි. සබරගමු ප්‍රදේශයට යටත් කර ගැනීමට ද ඔහුට උවමනා විය. එහෙත් මේ සඳහා ලන්දේසි පෙරදිග මූලස්ථානය වූ බතාවියාවෙන් අවසර ලබා නොදීය.

II වන රාජසිංහ රජුගේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියා සෑම විට ම සාර්ථක නොවීය. දෙපක්ෂය අතර  අකමැත්තෙන් හා අපහසුවෙන් වුවද යම් කිසි සාමයක් පවත්වා ගැනීම දෙපක්ෂයේ ම යහපතට හේතු වන බව රජු විසින් මෙන් ම ලන්දේසීන් විසින් ද අවබෝධ කරගෙන තිබූ බව පෙනේ. ලන්දේසීන්ට අවශ්‍ය වූයේ තම පාලනයට ඒ වන විට නතු ව තිබූ ප්‍රදේශවලින් උපරිම ආර්ථික ඵල ප්‍රයෝජන ලබා ගැනීමයි. එහෙත් පහත රට ප්‍රදේශවල සිංහල ජනතාව උසි ගන්වා ලන්දේසීන්ට එරෙහිව කැරලි ඇති කිරීමට උඩරට රජුට හැකි වූ බැවින් උඩරට රජු සමඟ මිත්‍රත්වය ආරක්‍ෂා කර ගැනීමට ලන්දේසීන් උත්සහ කරන ලදි. 

1638 ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ දී උඩරට රජු මුළු දිවයිනට ම අගරජු වශයෙන් ලන්දේසීන් විසින් පිළිගෙන තිබුණි. මේ අනුව රජුගේ බලයට අභියෝග කිරීමට අයිතියක් තමන් සතු ව නොවූ බව ලන්දේසීන්ගේ අදහස විය. රජු ද මේ බව ලන්දේසීන්ට යැවූ සිය ලිය කියවිලිවලින් අවධාරණය කරන ලදි. උඩරට රාජ්‍යයට ද ලන්දේසීන් සමඟ සාමයෙන් සිටීම වඩා වාසිදායක විය. උඩරට නිපදවූ  දෑ ඉන්දියාවේ වෙළඳ පොළවලට යැවීමේ දීත්, බුද්ධාගමේ කටයුතු සඳහා බුරුමය හා සියමය සමඟ සබඳතා පැවැත්වීමේ දීත් ලන්දේසීන්ගේ නාවික සහය උඩරට රජුට වැදගත් විය. මේ කරුණු නිසා දෙපක්ෂය අතර 1673-1703 අතර කාලයේ සාමකාමී වාතාවරණයක් පැවතිණ. II වන රාජසිංහගෙන් පසුව රජ බවට පත් වූ II වන විමලධර්මසූරිය රජුගේ කාලයේදී (1687-1707) මෙම ප්‍රතිපත්තිය දිගටම ගෙන යන ලදි

මේ කාලය තුළ උඩරට හා ලන්දේසීන් අතර පැවති සබඳතාවල කැපී පෙනුණු කරුණු දෙකක් විය. ලන්දේසීන් විසින් නතර ම උත්සහ කරනු ලැබූයේ උඩරට රජු සමඟ වඩා වාසි දායක ගිවිසුම් ඇති කර ගැනීමට ය. එමගින් තමා යටතේ තිබුණු ප්‍රදේශවල නීත්‍යනුකූල පාලකයන් තමන් බවට උඩරට රජුගෙන් පිළිගැනීමක් ලබා ගැනීමට ද ඔවුන් බලාපොරොත්තු විය. උඩරට රජු නිතරම අවධාරණය කොට සිටියේ රාජසිංහ රජතුමාගේ කාලයේදී ලන්දේසීන් විසින් අල්ලා ගෙන තිබූ උඩරට රාජ්‍යයට අයත් වරායවල් ආපසු දෙන ලෙස ය. දෙපක්ෂයේ ම පරමාර්ථ අතර එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවීම මත ස්ථීර මිත්‍රත්වයක් දෙපාර්ශවය අතර ඇති නොවීය.  

II වන විමලධර්මසූරිය රජුගෙන් පසු රජ බවට පත් වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජුගේ කාලයේදී තත්ත්වය නැවතත් අයහපත් විය. උඩරට ප්‍රධානීන් විසින් විදේශ වෙළදාම සඳහා කල්පිටිය හා පුත්තලම වැනි වරායන් විවෘත කරන ලෙස ඉල්ලා සිටියත් ලන්දේසීන් එය ප්‍රතික්ෂේප කරන ලදි. මේ නිසා ලන්දේසීන්ගේ අලි ඇතුන් වෙළඳාමට බාධා පැමිණ වීමේ ක්‍රියා පිළිවෙතක් උඩරට විසින් අනුගමනය කරන්නට විය. පුවක්, ගම්මිරිස් වැනි කුළු බඩු මෙන් ම උඩරට නිපදවූ ආහාර ද්‍රව්‍ය ද ලන්දේසීන්ට විකිණීම රජු විසින් තහනම් කරන ලදි. ලන්දේසීන් ද සියලු වරායන් වසා දමමින් උඩරට රාජ්‍ය ආර්ථික අපහසුතාවකට පත් කිරීමට කටයුතු කරන ලදි. 

මෙම කාලයේ ලන්දේසි ප්‍රදේශවල සිටි සිංහල ජනතාව ද ලන්දේසි පාලන ප්‍රතිපත්ති පිළිබඳව කලකිරී සිටින්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලන්දේසීන්ට විරුද්ධව මුහුදු බඩ ප්‍රදේශවල කැරලි ගණනාවක් ඇති වූ අතර 1757 දී ඇති වූ කුරුඳු තළන්නන්ගේ කැරැල්ල ඉතා ප්‍රබල විය. මෙම කැරලි කරුවන්ට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ හා උඩරට ප්‍රධානීන්ගේ උපකාර ද හිමි විය. ලන්දේසීන් මෙම කැරලි පහසුවෙන් මර්දනය කරනු ලැබූවත් උඩරට රජු කැරලි කරුවන්ට උදව් කිරීම හේතුවෙන් නැවතත් දෙපක්ෂය අතර ගැටුම් ඇති විය. මුලදී උඩරට සේනාවන්ට ලන්දේසීන් සතු වූ හංවැල්ල හා මාතර බලකොටු අල්ලා ගැනීමට හැකි වූ නමුත් පසුව ලන්දේසීන් උඩරට සේනාවලට ඉතා ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදි. මේ සිදුවීම් උඩරට හා ලන්දේසීන් අතර මෙතෙක් පැවති සම්බන්ධතාවල ස්වරූපය සම්පූර්ණයෙන් ම වෙනස් කිරීමට සමත් විය.

මේ සම්බන්ධතා වෙනස් කිරීමට බලපෑ ප්‍රබල බාහිර සාධකයක් වූ‍වේ උඩරට රජවරු ලන්දේසීන් පලවා හැරීමට විදේශ ආධාර පැතීමයි. පළමුව රජතුමා මදුරාසියේ මුස්ලිම් පාලක ‍නවාබ්වරයාගෙන් උදව් ඉල්ලුමුත් එය සාර්ථක නොවීය. දෙවනුව මෙකල පෙරදිග රටවල තම බලය ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටි ඉංග්‍රීසීන්ගෙන් ආධාර පැතීය. ඒ අනුව 1762 දී ජෝන් පයිබස් නැමැති නැවියා ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම නියෝජනය කරමින් උඩරට රජු වෙත ගමන් කරන ලදි. මෙම දූත ගමන අසාර්ථක වුවද ඉංග්‍රීසීන්ගේ ආධාර ලබා ගෙන තමන් පලවා හැරීමට උඩරට රජුට හැකි බවත් ලන්දේසීන්ට අවබෝධ විය. මෙය ලන්දේසින්ගේ ඉන්දියන් සාගර ප්‍රතිපත්තිය දැඩි ලෙස අභියෝගයට ලක් කරන ලද අවස්ථාවක් විය. එම නිසා ලන්දේසීන් උඩරට රාජ්‍ය සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කල ප්‍රතිපත්තිය වෙනස් කොට එම රාජ්‍ය යටත් කර ගැනීමේ අරමුණින් ක්‍රියා කරන්නට විය. මෙවැනි ක්‍රියා මාර්ගයක් තුළින් තමන් මෙතෙක් පාලනය කළ ප්‍රදේශවල නීත්‍යනුකූල අයිතිය ලබා ගැනීමටත්, උඩරට රජු විදේශීය රාජ්‍යයන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම වැළැක්වීමටත් හැකි වෙතැයි ලන්දේසීන්ගේ බලාපොරොත්තුව විය. මෙම නව ප්‍රතිපත්තිය සඳහා බාතාවියාවේ අනුමැතිය ද හිමි විය.

ඒ අනුව ෆන් නෙක් නම් ලන්දේසි ආණ්ඩුකාරවරයා යටතේ 1765 දී උඩරටට ආක්‍රමණයක් මෙහෙයවන ලදි. තම තත්ත්වය අවදානම් බව තේරුම් ගත් රජු ලන්දේසින් සමග සාමදානයක් ඇති කර ගැනීමට කැමති විය. රජු, උඩරට කිරීටය තමන්ට පවරා දී වාර්ෂිකව කප්පම් ගෙවන පාලකයෙකුගේ තත්ත්වයට පත් විය යුතු බව ලන්දේසීන්ගේ ප්‍රධාන කොන්දේසිය විය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම කොන්දේසි ප්‍රතික්‍ෂේප කරමින් අගනුවර අතහැර පසු බසින ලදි. උඩරට රාජ්‍ය එමගින් ලන්දේසීන්ට අයත් වුවත් සිංහල හමුදා විසින් එල්ල කරන ලද ගරිල්ලා ප්‍රහාර හමුවේ අසරණ වූ ලන්දේසි සේනා පසු බසින්නට වූ අතර ටික කලකින් ෆන් නෙක් ආණ්ඩුකරුද මරණයට පත් විය.

ඉන් පසු ලන්දේසි ආණ්ඩුකාරවරයා ලෙස පත්වූවේ විලෙම් ෆල්ක් (1765-85) නැමැත්තාය. එහු උඩරට වෙළඳාමට අවහිරතා ඇති කරමින් එම රාජ්‍ය විදේශයන් සමග පැවැත් වූ සම්බන්ධතාවලට බදා එල්ල කරන්නට විය. මෙමගින් ලන්දේසීන්ගේ ප්‍රධාන අරමුණ වූයේ තම ඉන්දියන් සාගර ප්‍රතිපත්තියට ඇති අභියෝගයන් තුරන් කරලීමයි. තවද ලන්දේසීන් තම හමුදා යොදවා උඩරට ප්‍රදේශවල වගාවන් විනාශ කරන්නට ද විය. මෙම ක්‍රියා මාර්ගවල අරමුණ වූයේ උඩරට ආර්ථිකය දුර්වල කිරීමයි. තවද මෙකල උඩරට රජු, රාජ සභාවේ දේශීය ප්‍රධානීන් සමග මතභේද ඇති කරගෙන තිබූ බැවින්, විලෙම් ෆල්ක් ආණ්ඩුකරුගේ උපක්‍රමශීලී ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට රජු අපොහොසත් විය. රජු අසරණ තත්ත්වයක සිටින බව අවබෝධ කර ගත් ආණ්ඩුකාරවරයා ලන්දේසීන්ට වාසි සහගත කොන්දේසි ඇතුළත් ගිවිසුමක් සකස් කොට රජු වෙත යැවීය. 1766 දී ලන්දේසීන් හා උඩරට රජු අතර ඇති කෙරුණේ මෙම ගිවිසුම ය. මෙම ගිවිසුම උඩරට ‍රාජ්‍යයට ඉතා ම අවාසි සහගත වූ අතර මෙය වටහා ගත් රජු හා රඳල ප්‍රධානීන්, මෙයට අකමැත්ත ප්‍රකාශ කරන්නට විය. එසේම එම ගිවිසුම තමන් වෙත බලයෙන් පවරන ලද්දක් බව ද ප්‍රකාශ කරන්නට ද විය. නමුත් ගිවිසුම ලිහිල් කිරීමට ලන්දේසීන් අකමැති විය. දෙපක්ෂය අතර බරපතළ ප්‍රතිවිරෝධතා මේ හේතුවෙන් ඇති වූ අතර උඩරට රාජ්‍ය ගිවිසුම උල්ලංඝනය කරන්නට විය. මේ කාලය වන විට ඉංග්‍රීසීන් පෙරදිග වෙළඳාම සම්බන්ධයෙන් සිය ආධිපත්‍ය පුළුල් කරගෙන තිබූ බැවින් ඉන්දියන් සාගරය ආශ්‍රිතව ලන්දේසි වෙළඳ සමාගමට තිබූ බලය පිරිහෙමින් පැවතුණි. ඒ හේතුවෙන් ම උඩරට රජු ගිවිසුමට පටහැණි ව කටයුතු කිරීම සම්බන්ධයෙන් කිසිවක් කිරීමට වෙළඳ සමාගම අපොහොසත් විය. වැඩිකල් යාමට පෙර උඩරට රාජ්‍ය විසින් ගිවිසුම සම්පූර්ණයෙන්ම අමතක කරන ලදි.

ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පැවති ලන්දේසි බලය තුරන් වීමට බලපාන ලද ප්‍රධානතම සාධක කීපයක් විය. ඉන් පළමුවැන්න නම් 1766න් පසුව උඩරට හා ලන්දේසීන් අතර තිබූ සම්බන්ධතා අයහපත් තත්වයට පත් වීමයි. ඒ හේතුවෙන් ම ලංකාවෙන් ලන්දේසීන් පලවා හැරීමට උඩරට රජු විදේශ බලයක ආධාර ලබා ගැනීමට උත්සුක විය. උඩරට රාජ්‍යය විසින් දැඩි ලන්දේසි විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ලන්දේසීන්ගේ ආදායම් මාර්ගවලට ද දැඩි පහරක් එල්ල විය. 18 වන සියවස වන විට ඉන්දියන් සාගරයේ ඇති වූ තරගයේ දී ඉංග්‍රීසීන් හා ප්‍රංශ ජාතිකයන් ලන්දේසීන් අබිබවා සිටියහ. ඉන්දියාවේ ආධිපත්‍ය ලබා ගැනීම සඳහා මෙකල ඉංග්‍රීසීන් හා ප්‍රංශයන් අතර දැඩි තරගයක්ද පැවතුණි. ඉන්දියාවේ තමන් සතු ප්‍රදේශවල ආරක්‍ෂාව සඳහා ලංකාවේ ත්‍රිකුණාමල වරාය ඉතා වැදගත් බව දෙපක්ෂය ම වටහාගෙන තිබුණි. ප්‍රංශ ජාතිකයන්ට පක්‍ෂපාතී වූ ලන්දේසීන් යටතේ වූ ත්‍රිකුණාමල වරාය ප්‍රංශයට අයත් වේ යැයි බිය වූ ඉංග්‍රීසින් ත්‍රිකුණාමලය පමණක් නොව 1796 වන විට ලන්දේසීන් සතු වූ ලංකාවේ සියලු ම ප්‍රදේශ ද තමන් යටතට ගැනීමට කටයුතු කරන්නට විය. මෙසේ යුරෝපයේත්, පෙරදිගත් ඇති වූ විවිධ වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස ලන්දේසි ආධිපත්‍ය ලංකාවෙන් මෙන් ම ඉන්දියන් සාගරයෙන් ද තුරන් විය. 

ප්‍රධාන වශයෙන් ලන්දේසි ප්‍රතිපත්තිය පිළිබඳව සලකා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ මුල්කාලීන ලන්දේසි සමාගමේ අරමුණ වූවේ වෙළඳ කටයුතු සඳහා මිස දිවයින්වල අභ්‍යන්තර පාලනයට මැදිහත් නොවිය යුතු බවයි. යුද්ධ කිරීම අත්‍යාවශ්‍ය නම් පමණක් කළ යුතු බව ලන්දේසි සමාගමේ අරමුණ විය. ආර්ථික කටයුතුවල දී නිරායාසයෙන් ම දේශපාලන කටයුතුවලට මැදිහත් වීමට සිදුවුවත් දේශපාලන වගකීම් පිළිබඳ ව ලන්දේසීන් අවදානය යොමු නොකරන ලදි. වසර කීපයක් පෘතුගීසීන් හා ලන්දේසීන් අතර ඇති වූ සටන්වල ප්‍රතිඵලයක් ලෙස 1658 දී ලන්දේසීන් ලංකාවේ ඇතැම් මුහුදුබඩ ප්‍රදේශවල පාලනය ලබාගන්නා ලදි. 1638 ගිවිසුම අනුව එම ප්‍රදේශ උඩරට රාජ්‍යයට පවරා දිය යුතු වුවත් ලන්දේසීහු තම ඉන්දියන් සාගර ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීමේ අරමුණින් එය මඟ හැරියහ. ලංකාවේ දී ලන්දේසීන් මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව වූවේ අග්නිදිග ආසියාවේ තම යටත් විජිත මෙන් ලංකාවේ තමන් පාලනය කළ ප්‍රදේශ සම්බන්ධයෙන් නීත්‍යනුකූල අයිතියක් නොතිබීම යි. මෙහි ප්‍රතිඵලයක් වශයෙනුත් හා තම ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා සාමය අත්‍යාවශ්‍ය වූ බැවිනුත් ලන්දේසීන් බොහෝ විට උත්සහ දැරුවේ රජු සමග සාමකාමී ව සිටීමටයි. මෙය මුල්කාලීන ලන්දේසීන්ගේ ඉන්දියන් සාගර ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණය ද විය. නමුත් 1760 පසු මෙම සාමකාමී ප්‍රතිපත්තිය වෙනස් වී උඩරට රාජ්‍ය සම්බන්ධයෙන් ආක්‍රමණික ප්‍රතිපත්තියක් අනුගමනය කරන ආකාරයක් දැකිය හැකි ය. මෙයට ප්‍රධානතම හේතුව වූයේ ලංකාවේ අභ්‍යන්තර වශයෙන් මෙන් ම බාහිර වශයෙන් ද ලන්දේසි ඉන්දියන් සාගර ප්‍රතිපත්තිය අභියෝගයට ලක් වී තිබීමයි. 

වෙළඳාම පිළිබඳ ඒකාධිකාරය ලබා ගැනීම ලන්දේසි ප්‍රතිපත්තිය වූයෙන් එය ක්‍රියාත්මක කිරීමේ දී මීට පෙර තිබූ පෘතුගීසි පාලනයට වඩා වෙනස් විය. අල්බ්‍යුකර්ගේ පාලන සමයේ සිට ඉන්දියානු සාගරයේ සම්පූර්ණ වෙළඳාම තමන්ට ගෙන ගිය නො හැකි බව පෘතුගීසීන්ට ප්‍රත්‍යක්‍ෂ විය. විශේෂයෙන් ම ආහාර ද්‍රව්‍ය පිළිබඳව වෙළදාම ආසියාතිකයන්ට දීමට පෘතුගීසීන්ට සිදු විය. එහි දී සමහර කුළුබඩු පිළිබඳව වෙළදාම ද නොයෙකුත් කොන්දේසි අනුව ස්වදේශිකයන්ට පවරා දීමට සිදු විය. නමුත් ලන්දේසීන් ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි හා ලී බඩු සම්බන්ධයෙන් ඒකාධිකාරය ද තම යටතට ලබා ගන්නා ලදි. මීට කරුණු කීපයක් හේතු විය. ඉන් පළමු වැන්න වූයේ පෘතුගීසීන්ට වඩා හැකි තරම් වෙළදාම් කිරීමෙන් ලාබ ලබා ගත යුතු බවට, ලන්දේසීන් සතු වූ අරමුණයි. තව ද එක් පෙදෙසක වෙළදාම අනිත් පෙදෙස් වෙළදාමෙන් වෙන් කොට සැලකිය නොහැකි බවත් හුවමාරුව සඳහා හෝ තව පෙදෙසක වෙළඳ බලය ක්‍රියාත්මක කිරීම වැදගත් බවත් ඔවුහු පිළිගත්හ. මෙයින් ආසියාතික ද්‍රව්‍යයන් සඳහා ගෙවීමට යුරෝපයෙන් රත්‍රං ගෙන ඒම වැළැක්විය හැකි බවත් පෙනුණි. රාජ්‍යයක බලය එහි ඇති රත්‍රං ප්‍රමාණයෙන් මිනිය යුතු බවත්, රත්‍රං පිට කිරීම රාජ්‍ය දුර්වල වීමට හේතු වන බවත් මෙකල යුරෝපීය ආර්ථික දර්ශනය විය. තවද ස්වදේශිකයන්ට වෙළදාමට අවසර දීමෙන් ලන්දේසි ඒකාධිකාරයට පිටස්තර ව හොර වෙළදාම ඇති විය හැකි බව ඔවුන්ගේ විශ්වාසය විය.

නමුත් කල්යත්ම දේශියන් සමඟ නිතර නිතර යුද්ධ ඇතිවීමත්, වැඩි ලාබයක් ලබාගැනීමේ අභිප්‍රායනුත් හේතුවෙන් ලන්දේසි බලය අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්තවන ආකාරයක් පසුව දැකිය හැකිය. මෙලෙස ලන්දේසි අරමුණු වෙනස්වන්නට ඇත්තේ තම ආධිපත්‍ය බලය ස්ථාවර කරගැනීමටත් හා අනෙකුත් යුරෝපීය රාජ්‍යන්ගේ ආගමනය වැළැක්වීමටත් විය හැකිය. කෙසේ වුවත් පසුකාලීනව වෙනස් වූ එම ප්‍රතිපත්තිය හේතුවෙන් ‍ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පරිහානිය ද ආරම්භ වූ බව පෙනී යයි. එයට ප්‍රධානතම හේතුව වූයේ දීර්ඝකාලීන මෙන්ම අධික ධනයක් වැය කිරීමට සිදු වූ යුද්ධත්, යටත් ප්‍රදේශ වැඩි වීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් අධික වීමත්ය. තවද එමගින් ලන්දේසීන්ගේ ඉන්දියන් සාගර ප්‍රතිපත්තිය ද විනාශ වී යන අකාරයක් දැකිය හැකිය.


No comments:

Post a Comment