Saturday, 30 January 2021

ශ්‍රී ලංකාව පශ්චාත් යුධ සමයේ සමාජ සජීවීකරණ ක්‍රියාවලිය තුළ මානව හිමිකම් සුරක්ෂිත කිරීම අතිශයින්ම වැදගත් සමාජ කාර්යභාරයක් බවට පත් වී ඇත්තේ ඇයිදැයි නිදසුන් සහිතව පැහැදිලි කිරීමක්

 

1. හැඳින්වීම.

2. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය හැඩ ගැසීම.

2.1. ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවේ ඉතිහාසය.

2.2. යුද්ධය අවසාන වීම.

2.3. පශ්චාත් යුද ජයග්‍රහණ සමයේ, මානව හිමිකම් සම්බන්ධයෙන් මතු වූ අර්බුදය.

2.4. අර්බුදයන් විසඳා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග.

3. සමාලෝචනය.

1. හැඳින්වීම.

අපගේ රටේ දියුණුව හා දේශපාලන සංස්කෘතිය ගැන වගකිව යුත්තන් රට පාලනය කරන දේශපාලන නායකයන් ය. ලංකාවේ දේශපාලන සංස්කෘතිය යහපත් වීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ, ඉතා විශාල ය. ඒ සඳහා බලයේ සිටිනා හා ලංකාව ඉදිරියේ දී පාලනය කිරීමට බලාපොරොත්තු වන දේශපාලන පක්‍ෂ පරිපාලන ක්‍රමවේදය හා අධ්‍යාපනය රටට උචිත ලෙස සකස් කිරීමට උත්සාහ කළ යුතු ය. දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති රටේ දියුණුවට අදාළ විය යුතු ය. නමුත් එම පක්ෂ ප්‍රතිපත්ති අයහපත් නම් රට මෙන් ම පක්ෂයන් ද පිරිහීම වැළැක්විය නොහැක.  

ලංකාවේ ප්‍රධානතම ජනවර්ග සියල්ල ම පාහේ මෙහි සිටින ආදිවාසීන්ගෙන් පැවත එන්නන් නොවේ. සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියල්ලන් ම විටින් විට මෙහි පැමිණි ජනවර්ගවලින් පැවත එන්නන් ලෙස හැඳින්විය හැක. ලංකාවේ පවතින සියලු ම ජනවර්ග හා ආගම් විදේශීය ආභාසය ලද ඒවා වුවත් එම සියල්ලක් ම වර්තමානයේ දී ලංකාවේ ජීවත් වන හා ලංකාවේ ජනතාව අදහන ආගම් බවට පත් වී ඇත. දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති වීමට නම් ලංකා ජාතිය ඉබේ ඇති වන දෙයක් නොවී ගොඩනගා ගත යුතු දෙයක් වන නිසා කුලභේදයට තිබෙන පිළිගැනීම අහෝසි කොට සියලු ජනවර්‍ග ආගම් හා සංස්කෘතික කණ්ඩායම් ඇතුළත් වන ලෙස ලංකා ජාතිය ගොඩ නගා ගත යුතු ය.  නමුත් එම වගකීම ලංකාවේ නිදහස් ව්‍යාපාරය මගින් සිදු නොවු අතර නිදහසින් පසු වෙනත් දේශපාලන ව්‍යාපාර අතින් ද එවැන්නක් සිදු නොවීය. නිදසුනක් ලෙස විජෙවීරගේ හා ප්‍රභාකරන්ගේ ප්‍රචණ්ඩ ව්‍යාපාර කෙරෙහි ද කුල පීඩනය වැදගත් සාධකයක් වුවත් එම ව්‍යාපාර දෙක ම කුලභේදය ගැන ප්‍රසිද්ධියේ කතා නොකළේය.  එම සියලු ව්‍යාපාර මගින් සිදු වූවේ කුලභේද, ආගම් භේද හා ජාති භේද වර්ධනය කිරීමයි. ඒ හේතුවෙන් ම ලංකාව තුළ කිසිම ආකාරයකට දියුණු දේශපාලන සංස්කෘතියකට අවශ්‍ය අවකාශයක් නිර්මාණය නොවීය.  

‍මෙරට දේශපාලන ඉතිහාසය තුල යටත් විජිත දායාදයක් ලෙස ලද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හැඳින්විය හැක. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් ලැබී තිබුණු යහපත් දායාදයන් දෙකක් වශයෙන් ජාතික රාජ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය සාර්ථක ව ඉදිරියට ගෙන යාමට නම් නිදහසින් පසුව ලංකාව තුළ ඊට සරිලන සමාජයක් නිර්මාණය කර ගත යුතු ව තිබුණි. ලංකා ජාතියක් ඇති කර ගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීමේ ප්‍රශ්නය එකම කාසියේ දෙපැත්ත ලෙස ද සැලකිය හැකි ය.  නමුත් ලංකාවේ නිදහස් ව්‍යාපාරය, ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය මෙන් එක්සත් ජාතියක් ඇති කර ගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීම, වැදගත් පරමාදර්ශයක් කොට ගත්තේ නැත.‍ ඒ හේතුවෙන් ම ලංකාවේ දේශපාලන සංස්කෘතිය ක්‍රමයෙන් පිරිහීමකට ලක් වූ අතර රට අසාර්ථක රාජ්‍යයක් දක්වා ඇද වැටීමකට ලක් වී ඇත. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවේ ආරම්භය බ්‍රිතාන්‍ය යටත් විජිත ඉතිහාසය දක්වා දිව යන්නෙකි. 1948 නිදහස ලබා ගැනීමේ සිට අද දක්වා ලංකාවේ දේශපාලන සංස්කෘතිය හැඩගැසීම හා වැරදි දේශපාලන පිළිවෙත් නිසා රට සිවිල් යුද තත්ත්වයකට හා දිළිඳුකමට ඇද වැටුණු අයුරු ද එම වැරදි නිවැරදි කර ගනිමින් ලංකාව තුල යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට හා ඒ සඳහා මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳවත්, ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද මෙම පැවරුම මගින් දක්වා ඇත.

2. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය හැඩ ගැසීම.

වාර්ගික භේදයකින් තොර ව සියලු දෙනාට ම ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබා දෙන ප්‍රතිපත්තියක් තුළ එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ඇති කර ගැනීම 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමේ සිට සම්පූර්ණ කර ගත යුතු අත්‍යාවශ්‍ය ම කොන්දේසීන් විය. නමුත් නිදහසට පෙර හෝ නිදහසට පසු එම කොන්දේසි සම්පූර්ණ කර ගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතික නායකයෝ අසමත් වූහ. ලංකාව නිදහස ලබා ගත්තේ එකදු ලේ බිඳුවක් වත් නොසෙල්වාය. බ්‍රිතාන්‍යයන්ගෙන් ලද ජාතික රාජ්‍ය හා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ඉදිරියට ගෙන යාමට උත්සහ කරනු ලැබූ‍වේ එක්සත් ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීමෙන් තොරවය.  ඒ හේතුවෙන් ම ක්‍රමයෙන් අසමත් රාජ්‍යයක් බවට පත් වෙමින් ජාතික හා ජාත්‍යන්තර අර්බුද රැසකට මුහුණ දීමට ලංකාවට සිදු විය.     


2.1. ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවේ ඉතිහාසය.

I. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය.

බ්‍රිතාන්‍ය යුගයේ දී ලංකාව ලද වැදගත් ම දායාදය වූවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි. නමුත් 1815 සිට 1937 දක්වා ම ලංකාව තුල පුළුල් ජන සහභාගීත්වයක් සහිත නියෝජන ක්‍රමයක් ක්‍රියාත්මක නොවීය. බෙදා පාලනය කිරීමේ මූලධර්මය මත ජාති මූලික නියෝජනය ලංකාවට හඳුන්වා දීමත් සමඟ අනාගතයේ දී ඇතිවිය හැකි ජාතිවාදී අර්බුදයේ පදනම සකස් වූවේ මෙම යුගයේදී බව අවබෝධ කර ගත හැක. 


II. සොල්බරි ආණ්ඩුක්‍රමය තුල වූ යුගය.

1947දී ක්‍රියාවට නංවන්නට යෙදුණු සොල්බරි ආණ්ඩුක්‍රමය සත්‍ය ලෙස ම ක්‍රියාවට නැගුණේ 1948 දී ලංකාව නිදහස ලබා ගැනීමත් සමග ය. ව්‍යුහාත්මක වශයෙන් ආණ්ඩුක්‍රමයක් ලෙස සොල්බරි ආණ්ඩුක්‍රමය යහපත් දේශපාලන සංස්කෘතියකට පදනම දමනු ඇති බවට විශ්වාස කරනු ලැබීය. නමුත්  එය බලාපොරොත්තු වූ පරිදි සිදු නොවීය. මන්ද යත් ලංකාවේ නිදහස පුළුල් ජන සහභාගීත්වයකින් දිනා ගත් දෙයක් නොවීම යි. නිදහස තුල ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා වන ශක්තිමත් අත්තිවාරමක් මෙන් ම සියලු දෙනාගේ ම පිළිගැනීමට හේතු වන ජාතික දෘෂ්ඨියක් ද ලංකාව තුළ නිර්මාණය නොවීය. එම තත්ත්වය තුල සිදු වූවේ බලය ලබා ගත් බහුතරය අතින් සුළුතර කණ්ඩායම් පීඩාවට පත් වීමයි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ද විකෘති වූ ආණ්ඩුක්‍රමයක් බවට පත් විය.

ඉහතින් දක්වා තිබූ අකාරයට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය සාධක, 1948 වන විට ම උල්ලංඝනය කරනු ලැබීය. ඒ අනුව 1948 දී ඉදිරිපත් කළ අංක 18 දරණ රටවැසි පනත හා 1949 දී හඳුන්වා දුන් අංක 48 දරණ ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනත මෙයට නිදසුන් ය.   මෙම පනත මඟින් 1931, 1936දී හා 1947 මැතිවරණයෙන් නියෝජිතයන් 08 දෙනෙකු පාර්ලිමේන්තුවට යැවීමට ඡන්දය භාවිතා කරන ලද, එවකට රටේ ජීවත් වූ ආසන්න ඉන්දීය සම්භවයක් තිබූ ජනගහණයෙන් බහුතරයක්, එනම් 974,098 තරම් ප්‍රමාණයක දමිළ ජනතාවකට ඡන්ද බලය අහිමි විය. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේක්ෂා කළ තරම් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වීම ප්‍රථම අගමැති ඩී. ඇස්. සේනානායකගේ කනස්සල්ලට හේතු වී තිබුණු කාරණයක් වී තිබුණු අතර ඉන්දියානු දෙමළ වතු කම්කරුවන් නියෝජනය කළ ලංකා ඉන්දියානු සංගමය දැඩි ආණ්ඩු විරෝධී ස්ථාවරයක පිහිටා වමේ පක්ෂ සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීම අගමැතිවරයාගේ කෝපයට හේතු වීම  මෙවැනි පනතක් ඉදිරිපත් කිරීම සඳහා පරිසරයක් සකස් කරන ලදි.

දෙමළ ජනතාවගේ භාෂා අයිතීන් අහිමි කෙරෙන ආකාරයට 1956 දී ක්‍රියාත්මක කළ සිංහල රාජ්‍ය භාෂා නීතිය සුළු ජනවර්ග බලවත් පීඩාවට පත් කළ ප්‍රබලතම අවස්ථාව විය. මෙය ලංකාවේ දේශපාලන සංස්කෘතියේ හා මානව අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ ප්‍රබල ඇදවැටීමකි. 


2.2. යුද්ධය අවසාන වීම.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි වූවේ නම් එය වඩාත් සුදුසු ම ක්‍රමය වන බව තේරුම් ගත යුතු ය. නමුත් L.T.T.E සංවිධානය වර්ධනය වී තිබූ තත්ත්වය පිළිබඳව හා ඔවුන් පෙර පැවති සාකච්ඡාවල දී අනුගමනය කළ වංචාකාරී ක්‍රියාමාර්ග පිළිබඳ විමසීමේ දී පෙනී යන්නේ අර්බුදය සාකච්ඡා මගින් විසඳා ගත හැකි තත්ත්වයක් නොතිබූ බවයි. L.T.T.E සංවිධානයේ එකම අපේක්ෂාව වී තිබුණේ වෙන ම රාජ්‍යයක් හෝ කොන්ෆෙඩරේෂන් තත්ත්වයකි . එය කෙසේ හෝ ලබා ගැනීමෙන් සිටි ත්‍රස්තවාදීන් ඒ සඳහා විශාල වශයෙන් අවි ආයුධ ඒකරාශී කරගෙන සිටි අතර යුද යටිතල පහසුකම් තම පාලන බල ප්‍රදේශවල වර්ධනය කර ගනු ලැබීය. එය කිසිදු තත්ත්වයක් යටතේ හෝ පිළිගත නොහැකි විසඳුමක් විය. එම තත්ත්වය තුළ මෙම අර්බුදය අධිෂ්ඨානශීලීව බේරා ගන්නා තත්ත්වයකට නොගියේ නම් රටට සිදු විය හැකි විනාශය අතිවිශාල වේ. යුද්ධයක දී ගනුදෙනු බේරා ගනු ලබන්නේ උණ්ඩයෙන් වන අතර එහි දී එක්තරා ප්‍රමාණයකට මානව හිමිකම් උල්ලංඝනය වීම වැළැක්විය නොහැකිය. කෙසේ වෙතත් යුද්ධයෙන් අනතුරුව මතු වී තිබෙන වැදගත් ම අර්බුදය වී ඇත්තේ සියලු ම ජාතීන්ට පිළිගත හැකි විසඳුමක් ක්‍රියාත්මක කිරීමයි. දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් ලබා දීම මඟින් ඔවුන් ශ්‍රී ලාංකේය ජාතිය තුළ සමාන අයිතිවාසිකම් ඇති පිරිසක් බවට පත් කරගත යුතු ව ඇති අතර එමගින් ලංකාවේ සමාජ සජීවීකරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කළ හැකි වේ.

2.3. පශ්චාත් යුද ජයග්‍රහණ සමයේ, මානව හිමිකම් සම්බන්ධයෙන් මතු වූ අර්බුදය.    

යුද්ධයේ යුක්ති සහගත භාවය තීරණය වන්නේ අරමුණ ලද ප්‍රතිඵලය හා ඒ සඳහා ගෙවන ලද මිල අතර පරතරයෙනි.  ඕනෑම යුද්ධයක දී මිනිසුන් මරණයට පත් වන අතර තුවාල සිදුවන ප්‍රමාණයද සාපේක්ෂව වර්ධනය වේ. තව ද එහි දී ජනතාව අවතැන් වීමද සිදු වේ. මානව හිමිකම් අකුරට පිළිපදින රටක් විසින් කරන යුද්ධයක දී වුවද ඉහතින් දක්වන ලද සිදුවීම් අඩු හෝ වැඩි වශයෙන් සිදුවේ. මන්ද යත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ යුද්ධ කරනු ලැබුවේ ඊතලවලින් හෝ ගල්කටස්වලින් යුද කරන සංවිධානයක් සමග නොවන අතර වසර 30ට ආසන්න කාලයක් වර්ධනය වී තමන්ගේ ම ත්‍රිවිධ හමුදාවකින් යුක්ත වූ කාලතුවක්කු වැනි බර අවිවලින් පවා යුද්ධ කරන බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයක් සමග ය. 

 නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුව සැමට පිළිගත හැකි ආකාරයේ විසඳුමකට ඒමට තවමත් ලංකාව අසමත් වී ඇත. එහි දී ප්‍රධාන අවධානය යොමු කළ යුතු වන්නේ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට ඉදිරි පත් වී ඇති චෝදනා ය. ආරම්භයේ දී මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ වීම සම්බන්ධයෙන් පැවති විවාදයේ දී පසුව ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනා සියල්ලෙහි ම ලංකාව ජාත්‍යන්තරය හමුවේ පරාජයට පත්විය. එයින් අවබෝධ වන්නේ ලංකාව ත්‍රස්තවාදය පරාජය කර යුද්ධය ජයගැනීමට සමත් වුවත් ඒ සඳහා වන ලෝක එකඟතාව ලබා ගැනීමට අසමත් වී ඇති බවයි. යුද්ධය අවසන් වීම රටේ එක ජනවර්ගයක් පරාජිත ජනවර්ගයක් බවට වීමට බලපා ඇති බව වර්තමානයේ දී පෙනී යන කරුණක් වී ඇත. ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනතාව අතර පමණක් නොව ලෝකයේ වෙනත් රටවල ජීවත් වන ශ්‍රී ලාංකික හා ශ්‍රී ලාංකික නොවන දෙමළ ජනතාව අතර පවතින මෙම පරාජිත මානසික හැඟීම ඉවත් කිරීම ලංකාවේ සමාජ සජීවීකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා වූ අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇත. එම හැඟීම තුළ දෙමළ ජනතාව ලංකා ආණ්ඩුව හා සිංහල ජනතාව කෙරෙහි දක්වන්නේ අප්‍රසාදයක්, කෝපයක් හා පිළිකුලකි. ඔවුන්ගේ හැඟීම වන්නේ අපේ මිනිසුන් අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කරන ලද අරගලය යකඩින් හා ලෙයින් තලා දැමුවේය යන්නයි.  


2.4. අර්බුදයන් විසඳා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග.

එහෙයින් පෙනී යන්නේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ දෝෂාරෝපණයට ලක් ව ඇති බවයි. මානව හිමිකම් කඩ වීම යනු රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති වීමක වන නිසා ලෝක ප්‍රජාවේ මතය වී ඇත්තේ ලංකාව මානව හිමිකම් කඩ කරන රාජ්‍යයක් වී ඇති බවයි. ඒ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සාධාරණාත්මක ස්වභාවයක් හිමි වන්නේ මානව හිමිකම් පිළිගැනීම තුළිනි.  ඒ සඳහා පළමුවෙන් ම කළ යුතු වන්නේ සාමාන්‍ය දෙමළ ජනයා හා LTTE ත්‍රස්තවාදීන් වෙන් වෙන්ව හඳුනා ගැනීමයි. ඔවුන් සියලු දෙනා පුනරුත්ථාපනය කිරීම හෝ බරපතළ වැරදි කර ඇති අයට විනිවිද භාවයකින් යුතු අධිකරණයක් මඟින් නඩු පවරන්නේ ද යන්න තීරණය කළ යුතු ය.

ඉන් අනතුරුව දෙමළ ජනතාව ඉක්මනින් ම ඔවුන්ගේ මුල් භූමිවල නැවත පදිංචි කළ යුතු අතර අනාගතයේ දී ජීවත් විය හැකි ආකාරයට ජීවන වෘත්තියක් පිළිබඳ පුහුණුව ලබා දී යහපත් ජීවන තත්ත්වයක් සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතු ය. ඒ සඳහා ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය, කාර්මික හා කෘෂිකාර්මික යනාදී අංශවලට අදාළ පුහුණු වැඩසටහන් මඟින් සිය ගම් බිම්වලට ගිය පසු ඵලදායී ජීවිතයක් සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් ලබා දිය යුතු අතර එමගින් දෙමළ ජනතාවට රජය පිළිබඳ ඇති අප්‍රසාදය සමනය කළ හැකි අතර නැවත ත්‍රස්තවාදය කරා යොමු වීම ද වැළැක්විය හැක. ඊට අමතරව එම ක්‍රියාමාර්ග මඟින් ලංකාව තුළ සිදු වී ඇතැයි පැවසෙන මානව හිමිකම් කඩ වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ ඇති සැකය තුරන් කිරීමට ද ඉඩ ප්‍රස්ථා විවෘත වේ. හැකි තරම් හමුදාවේ මැදිහත් වීම් අවම කළ යුතු අතර අධි ආරක්ෂක කලාප අවම කොට එම භුමීන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයෙන් මුල් පදිංචි ජනතාවට භාර දිය යුතු ය. 

නිදහසින් පසු ජාතිවාදී අර්බුදයට මග හෙලි කළ භාෂා ප්‍රශ්නයට වහාම විසඳුමක් ලබා දිය යුතු අතර එමගින් ‍ඕනෑම මිනිසෙකුගේ මානව අයිතිවාසිකමක් වන භාෂාව පිළිබඳ අයිතිය සුරක්ෂිත කිරීම මඟින් ඇති වී ඇති අර්බුදයට විසඳුම් සපයා ගත හැකි අතර රටේ කටයුතු සඳහා දෙමළ ජනතාවගේ සහභාගීත්වය එමගින් තවදුරටත් වර්ධනය කර ගත හැක. ඒ සඳහා දෙමළ භාෂාවෙන් වැඩ කළ හැකි පිරිස් රාජ්‍යය සේවයට බඳවා ගත යුතු වේ. දෙමළ සමාජයේ උග්‍ර ව මෙන්ම සිංහල සමාජයේ ද පවතින ජාති භේද, ආගම් භේද හා කුල භේද තහනම් කෙරෙන නීතියක් ගෙන ආ යුතු වේ. 

අවසාන යුද සමය ඇතුළු වසර 30ට ආසන්න කාලයක් තුළ පැවති යුද්ධයෙන් ජීවිත අහිමි වූ විශාල පිරිසට සාධාරණයක් ඉටු කරනුවස් ඒ අයගේ දුක් නිවාරණය සඳහා ක්‍රමයක් ඇති කළ යුතු වේ. එලෙස ජීවිත අහිමි වූව‍න් අතර ආරක්ෂක හමුදාවල පිරිස් මෙන්ම LTTE හා වෙනත් ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධව සිටි අය ඇති අතර ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට සාධාරණයක් ඉටු වන ආකාරයට එම ගැටලු නිරාකරණය කළ යුතු ය. දකුණු අප්‍රිකාවේ මෙවැනි ම අර්බුදයක් ඇති වූ අවස්ථාවේ දී අනුගමනය කලේ සත්‍ය කොමිෂන් සභා ක්‍රමයක් ඇති කර විසඳුම් සෙවීමයි. 

ඉහතින් සඳහන් කරන ලද සියලු විසඳුම් සඳහා වූ ක්‍රියාමාර්ග සියලු දෙනාගේ ම විශ්වාසයට හා ගෞරවයට හේතු වන ජාතික වැඩ සැකැස්මක් යටතේ ක්‍රියාත්මක විය යුතුය. එම සැකැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගත යුතු ව ඇති අතර එමගින් දේශපාලන භේදවලින් තොරව පොදුවේ පිළිගන්නා සැලැස්මක් නිර්මාණය කර ගත හැක. විශේෂයෙන් ම වර්තමානයේ දී ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ දී මෙතෙක් ලංකාවට විරුද්ධව සිටි රාජ්‍යයන්ගේ සහය දිනා ගැනීමට ලංකාව සමත් වීම යම්තාක් දුරකට ලබා ඇති සාධනීය තත්ත්වයක් වේ. තවද ඉදිරියේ දී ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් කඩ වීම සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති කරුණු විමර්ශනය සඳහා පත් කිරීමට යෝජනා කර තිබෙන දෙමුහුන් අධිකරණ ක්‍රමය ලංකාවේ ස්වාධිපත්‍යයට හා අනාගතයට හානිකර නොවන අයුරින් ක්‍රියාත්මක වන ආකාරයට කටයුතු කල යුතුය. එමගින් ලංකාවේ අර්බුදයට ජාත්‍යන්තර ප්‍රජාවේ, දෙමළ ප්‍රජාවේ මෙන් ම දකුණේ සිංහල ප්‍රජාවේ ප්‍රසාදය දිනාගත හැකි අකාරයේ විසඳුමකට එළඹීමට ලක් රජයට හැකි වුවහොත් යුද්ධයෙන් පසු ලංකාවේ සමාජ සජීවීකරණ ක්‍රියාවලිය සාර්ථකව ඉටු කරලීමට හැකි වනු ඇත.

3. සමාලෝචනය.

ප්‍රභාකරන් දෙමළ ජනතාවගේ සියලු ම නායකයන් විනාශ කොට ඔහු දෙමළ ජනතාවගේ එකම නායකයා බවට පත් විය. අවසානයේ ඔහු ද බෙදුම්වාදී ව්‍යාපෘතිය පරිපූර්ණත්වයට ගෙන ඒමට පෙර ආරක්‍ෂක අංශ අතින් විනාශ විය. වර්තමානයේ දී දෙමළ ජනතාව නායකයෙක් නොමැති ජනතාවක් වී සිටින අතර අතීත බෙදුම්වාදී දේශපාලනය දෙමළ ජනතාවගේ ජීවිත කාලකණ්ණි කිරීමට හේතු විය. 2009 රජය විසින් ත්‍රස්තවාදය යුදමය වශයෙන් අවසාන කෙරූ නමුත් තවමත් ලංකාවේ දෙමළ ප්‍රශ්නය අවසන් වී නැත. වර්තමානයේ දී එය පෙර තිබුණාටත් වඩා ජාත්‍යන්තරකරණය වූ හා ඕනෑම අවස්ථාවක පිපිරීමේ හැකියාවක් ඇති ප්‍රශ්නයක් බවට පත් වී ඇත. ලංකාවේ දෙමළ හා මුස්ලිම් ජනයා අතර වර්තමානයේ අසහනකාරී තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින අතර මෙම අර්බුදයට ඇති එකම විසඳුම වන්නේ භේදයකින් ‍තොරව සියලු දෙනාට ගෞරවයෙන් හා සමාන අයිතිවාසිකම් ලබා දෙන ප්‍රතිපත්තියක් තුළ ශ්‍රී ලාංකික ජාතියක් ඇති කර ගැනීමයි. එය සමාජ සජීවීකරණය සාර්ථකව සිදු කිරීමක් වන අතර ඒ සඳහා වන හොඳම විසඳුම වන්නේ ද මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ ක්‍රියාමාර්ගය වන බව අවබෝධ කර ගත හැක.

සමාන අයිතිවාසිකම් ඇති, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් ක්‍රියාකරන, කුලය, වර්ගය, ආගම හෝ භාෂාව මත පදනම් වී වර්තමානයේ දී මතු වී තිබෙන ගැටුම්වලින් මිදී විවිධ ජනවර්ගවලින්, ආගම්වලින් හා සංස්කෘතීන්ගෙන් යුතු එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් නිර්මාණය කිරීමට මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා ගුණධර්ම අගය කරන සමාජයක් හා මානව හිමිකම් සුරක්ෂිත කරන රටක් ගොඩ නැංවිය හැකි වන්නේ ඉහත කී ආකාරයේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම් පමණි. එසේ කටයුතු සිදු වුවහොත් ශ්‍රී ලාංකික ජාතියේ විශ්වාසයට හා ගෞරවයට පාත්‍රවන හා යහපත් දේශපාලන සංස්කෘතික අවශ්‍යතාවයන්ට ගැළපෙන නවීන, දියුණු හා ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇත.  

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

Gunarathna, Rohan. Indian Intervention in Sri Lanka. පරිවර්තනය කළේ කපිල කුමාර කාලිංග. නුගේගොඩ: සංහිද ප්‍රකාශකායෝ, 2001.

අතුකෝරල, පී. ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටලුව-ප්‍රභවය හා වර්ධනය. නුගේගොඩ: සරසවි ප්‍රකාශකයෝ, 2006.

අයිවන්, විකටර්. ලංකාව ගලවා ගැනීම. මහරගම: රාවය ප්‍රකාශන, 2013.

අයිවන්, වික්ටර්. අර්බුදයේ අන්දරය (1815 - යටත් විජිත යුගයේ සිට 2009 - ඊලාම් යුද්ධයේ අවසානය දක්වා). තෙවන මුද්‍රණය. මහරගම: රාවය ප්‍රකාශන, 2012.

—. චෞර රැජින. මහරගම: රාවය ප්‍රකාශන, 2010.

—. දෙමළ අභියෝගය. මහරගම: රාවය ප්‍රකාශන, 2012.

—. ප්‍රභාකරන් පරාජය කිරීම. මහරගම: රාවය ප්‍රකාශන, 2013.

උයන්ගොඩ, ජයදේව. ජාතිය, ජාතිකවාදය සහ ජාතික-රාජ්‍ය. කොළඹ: සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, 2011.

—. ලංකාවේ ජනවාර්ගික ගැටුම, සාමය හා වෙනස්වන ගතිකත්වය. කොළඹ: සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, 2007.

කරුණාදාස, ඩබ්ලිව් එම්. තුන්වන ලෝකයේ දේශපාලනය හා ආර්ථිකය. දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 2003.

කුමාර, ක්‍රිෂාන්ත රන්ජන්. මානව හිමිකම්-ඉතිහාසය, ව්‍යාප්තිය හා සංවිධාන. මීරිගම: ආශිර්වාද ප්‍රකාශකයෝ, 2007.

ක්‍රිෂ්ණා, ශන්කර්. ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුම තුළ ඉන්දියාවේ භූමිකාව. කොළඹ: මාර්ග ආයතනය, 2001.

ජයවර්ධන, කුමාරි. සොක්කන් ලොක්කන් වූ වගයි. කොළඹ: සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, 2014.

දික්වැල්ල, රංජිත්. “ජිනීවා යෝජනාවලට බොරු කලබල ඇයි?” සංස්කරණය කළේ චමින්ද මුණසිංහ. ලංකාදීප, ඔක්තෝම්බර් 2015.

දේශපාලන විද්‍යාවේ මූලිකාංග 1. බත්තරමුල්ල: අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2007.

පතිරණ, මහින්ද. විකිලීක්ස් හෝරාව. කොළඹ: ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, 2011.

පල්ලියගුරු, රවීන්ද්‍ර චන්ද්‍රසිරි. “දේශපාලන සහභාගීත්වය.” තුළ දේශපාලන සමාජ විද්‍යාව, සංස්කරණය කළේ සමන් හඳරාගම, 137-155. බත්තරමුල්ල: සමීර ප්‍රකාශන, 2013.

බණ්ඩාර , නවරත්න. රාජ්‍ය නිර්මාණය සහ ජාතික ඒකාබද්ධතාව පිළිබඳ ගැටලු. වෙළුම V වෙළුම, පරි. ශ්‍රී ලංකේය ඉතිහාසයහි පරිච්ඡේදය 2, සංස්කරණය කළේ එම්. යූ. ද සිල්වා, 53-88. කොළඹ: සී‍‍‍/ස ඇම්. ඩී. ගුණසේන සහ (පුද්ගලික) සමාගම, 2012.

බීතම්, ඩේවිඩ් හා කෙවින් බොයිල්. ප්‍රජාතන්ත්‍රවාදයට හැඳින්වීමක්. ඇතුල්කෝට්ටේ: මාර්ග ආයතනය, 2011.

ලැස්කි, හැරල්ඩ් ජේ. රාජ්‍ය පිළිබඳ සිද්ධාන්ත හා ව්‍යවහාරය. පරිවර්තනය කළේ ඩී බී. අයි. එස්. සිරිවර්ධන. බත්තරමුල්ල: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2005.

විජේනායක, අමරසිරි. එදා සිට අද දක්වා මෙදෙස් විදේස් දේශලාන වෙනස් වීම්. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002.

විජේසිංහ, නාමල්. දේශපාලන විද්‍යාව 2. දන්කොටුව: වාසනා ප්‍රකාශකයෝ, 2002.

වීරවංශ, විමල්. වන්නිය, ජිනීවා සහ නිව්යෝරක්. බත්තරමුල්ල: නිදහස් නියමුවෝ, 2015.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය - සිව් වන කොටස. බත්තරමුල්ල: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2007.

“ශ්‍රී ලංකාවේ සාධනීය දේශපාලන සංස්කෘතියක් සඳහා පුරවැසි සහභාගීත්වයල හා මැතිවරණ නිරීක්‍ෂණය.” People's Action for free and Fair Elections, 2014: 01-09.

සොයිසා, එම් ඕ. ඒ. ද. දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්ත. පේරාදෙණිය: කතෘ ප්‍රකාශන, 2003.

හඳාරගම, සමන්, සංස්. දේශපාලන සමාජ විද්‍යව - 02. බත්තරමුල්ල: සමීර ප්‍රකාශන, 2014.

No comments:

Post a Comment