Friday, 15 January 2021

“දේශපාලන සමාජ විද්‍යාව අධ්‍යනයේ ලා පුරෝගාමී චින්තකයෙකු ලෙස චාල්ස් මොන්ටෙස්ක්‍යු සලකන්නේ මන්ද?” විවේචනාත්මක විචාරයක්..

 


1. හැඳින්වීම.

1.1. දේශපාලන සමාජ විද්‍යාව යනු

1.2. චාල්ස් මොන්ටෙස්ක්‍යු.

2. මොන්ටෙස්ක්යූගේ දැක්ම.

3. සමාලෝචනය. 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.


1. හැදින්වීම

1.1. දේශපාලන සමාජ විද්‍යාව යනු:

දේශපාලන සමාජ විද්‍යාව යනු සමාජ හා දේශපාලන බලයේ පැතිකඩ පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එනම් සමාජ සම්බන්ධතාහි පවතින මූලික මානයන් වන දේශපාලනික ආයතන, සමාජ කණ්ඩායම් (සමාජ පන්ති, ස්ත්‍රී පුරුෂභාවය හා ජාතිකත්වය) පිළිබඳ අධ්‍යයනයයි.

දේශපාලන සමාජ විද්‍යාව පළමුව සමාජ විද්‍යාවටත් මෑතක දී දේශපාලන විද්‍යාවටත් එකතු වූ විෂයයකි. දේශපාලන සමාජ විද්‍යාව තුල දී මිනිසාගේ දේශපාලන හැසිරීම හා සමාජ හැසිරීම එකට ගෙන අධ්‍යයනය කරනු ලබයි. මෙම විෂයය පිළිබඳ ව නිශ්චිත අර්ථකථනයක් මෙතෙක් ඉදිරිපත්ව නැතත් විවිධ චින්තකයන් විසින් විවිධ අර්ථ කථන ඉදිරිපත් කර ඇත. ඒ අනුව බෙන්ඩින්ස් හා ලිප්සෙට් යන චින්තකයන් දෙදෙනාට අනුව “දේශපාලන සමාජ විද්‍යාව තුළ දී සිදුවන්නේ එය සමාජයෙන් පටන් ගෙන රාජ්‍ය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීමයි”. 

“දේශපාලන සමාජ විද්‍යාව, සමාජ විද්‍යාවේ ගබඩාවක් වන අතර එමඟින් අවධාරණය කරන්නේ දේශපාලන බල අධිකාරිය මඟින් බලය සමාජය තුළ බෙදාහැරීම සඳහා බලපෑම් කරන සමාජ හේතුකාරක හා සමාජ සංසිද්ධීන් අධ්‍යයනය කිරීම දේශපාලන සමාජ විද්‍යාවට අයත්වන බව” ලුවිස් ඒ කෝසර් තම “Political Sociology” යන කෘතිය මඟින් දක්වා ඇත. 

මුල් කාලීනව දේශපාලන සමාජ විද්‍යාව මූලික වශයෙන් නිෂ්පාදන ක්‍රමය හා දේශපාලනය අතර ඇති සබඳතාවය පිළිබඳව විග්‍රහ කරනු ලැබීය. විශේෂයෙන්ම කාර්මීකරණය හා ජාතික රාජ්‍ය අතර ඇති සබඳතාවයන් විග්‍රහ කිරීම දේශපාලන සමාජ විද්‍යාවේ ප්‍රධානතම කාර්යය විය. 

1.2. චාල්ස් මොන්ටෙස්ක්‍යු (1689-1755)

චාල්ස් මොන්ටෙස්ක්‍යු,1689 ජනවාරි මස 18වනදා ප්‍රංශයේ බොඩෝ අසල Chateau of La Brède හී උපත ලැබීය. ඔහුගේ මුතුන් මිත්තන්, සොල්දාදුවන් හා මහේස්ත්‍රාත්වරුන් ලෙස සේවය කරන ලද්දන් වූ අතර පසුකාලීනව ඔහු නීතිඥයෙකු වීමට ස්වඋත්සහයෙන්ම පුහුණු විය. ඔහු අවුරුදු 11 සිට 16 දක්වා අධ්‍යාපනය ලැබුවේ පැරිස් අසල Oratorians විද්‍යාලයේ දී වූ අතර බෝඩෝ විශ්ව විද්‍යලයෙන් නීතිය පිලිබඳ උපාදිය හාදාරනු ලැබීය. 1708 දී ඔහුට වයස 19 දී නීතිඥයෙකු ලෙස Avocat AU Parlement  ඇතුලත් විය.

මොන්ටෙස්ක්‍යු 1728-1731ත් අතර කාලයේදී හන්ගේරියාව, ඉතාලිය, ඔස්ට්‍රියාව, ජර්මනිය හා එංගලන්තය ආදී රටවල සංචාරය කරනු ලබීය. එහිදී ඔහු වැඩි කාලයක් එංගලන්තය තුළ රැදෙමින් එරට දේශපාලනය හා සමාජය අධ්‍යයනය කරනු ලැබීය. 1734දී ඔහු “Les Considérations sur les causes de la grandeur des Romains et de leur décadences” නම් කෘතිය ප්‍රකාශයට පත්කරනු ලැබීය. 1735, වයස අවු: 46දී, ඔහුගේ අග්‍රගණ්‍යම කෘතිය වූ “නීතියේ සාරය” (The Spirit of the Laws) රචනා කිරීම ආරම්භ කරනු ලැබූ අතර වසර 13කට පසු එනම් 1748දී ජිනීවා නගරයේ දී එය ප්‍රකාශයට පත්කරනු ලැබීය. නමුත් එම කෘතිය 1752දී කතෝලික පල්ලිය විසින් තහනම් කරනු ලැබීය. මොන්ටෙස්ක්‍යු 1755, අවු: 66දී පැරීසියේදී අභාවප්‍රාප්ත විය.  


2. මොන්ටෙස්ක්‍යුගේ දැක්ම.

චාල්ස් මොන්ටෙස්ක්‍යු වඩාත් ප්‍රසිද්ධ ව ඇත්තේ දේශපාලන විද්‍යාව තුළ ඉදිරිපත් වූ බලතල බෙදීමේ න්‍යාය සම්බන්ධයෙනි. ඔහු විසින් 1748දී රචනා කරන ලද නීතියේ සාරය (The Spirit of Law) යන කෘතිය තුළින් ඔහු තම අදහස් ඉදිරිපත්කර ඇත. එමඟින් ඔහු යම් දේශපාලන ක්‍රමයක ආයතනික ව්‍යුහය කෙතරම් දුරට මිනිස් නිදහස කෙරෙහි බලපානවාද සහ එය කුමන අයුරකින් බලපාන්නේද යන්න පිළිබඳ ව අදහස් දක්වා ඇත. වඩාත් පුළුල් ලෙස ව මොන්ටෙස්ක්‍යුගේ නීතියේ සාරය කෘතිය අධ්‍යයනයේ දී පෙනී යන්නේ බලතල බෙදීමේ සංකල්පයටත් වඩා සමාජ විද්‍යාත්මක විග්‍රහයක් එමගින් ඉදිරිපත් වී ඇති බවයි. ඒ මත පදනම් වෙමින් සමාජ විද්‍යාවේ වර්ධනයට දායක වූ චින්තකයෙකු ලෙස මොන්ටෙස්ක්‍යු පිළිගෙන ඇත. ඔහු තම දේශපාලන කෘතීන් තුළින් ඉදිරිපත් කළ අදහස් වලට පදනම් වී ඇත්තේ සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයන්ය. 

මූලික වශයෙන් ඔහුට අවශ්‍ය වූයේ ඓතිහාසික වශයෙන් සත්‍ය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමයි. මතු පිටින් පෙනෙන තත්වයට වඩා බාහිරින් පෙනෙන දේ තුළ සත්‍යක් තිබේද ?, එය කුමක්ද ? යන්න සෙවීමට ඔහු උත්සාහ ගෙන ඇත. ඔහුට අනුව එය ඉතිහාසය, සදාචාරය, සම්ප්‍රදායික හා ආයතනික වශයෙන් විශාල විවිධත්වයක් ඇති කරුණු රාශියක එකතුවක් ලෙස හැඳිනගත හැකිය. ඔහු තම නීතියේ සාරය කෘතිය තුළින් පළමුව නීතිය පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට උත්සාහ කොට ඇත. නීතියේ සාරය නම් කෘතිය මඟින් තෙවදෑරුම් ආණ්ඩුක්‍රම වර්ගීකරණයක් ඉදිරිපත් කර ඇත. එනම්, 

1. සමුහාණ්ඩු (Republic)

2. රාජාණුඩු (Monarchy) 

3. ඒකාධිපති ආණ්ඩු (Despotism)

මොන්ටෙස්ක්‍යු විසින් ඉදිරිපත්කර ඇති ස්වකීය වර්ගීකරණය පිළිබඳ අදහස් මඟින් දේශපාලන සමාජ විද්‍යාව හා සම්බන්ධ කරුණු ඉදිරිපත් කර ඇති බව පිළිගැනීමයි. ඔහු එමඟින් විවිධ ආණ්ඩුක්‍රම පිළිබඳවත් ඒවායේ චරිත ස්වභාවය පිළිබඳව මෙන්ම එහි වර්ධනය පිළිබඳවද අදහස් දැක්වීමට උත්සාහ ගෙන ඇත. නීතියේ සාරය කෘතියේ 14 සිට 18වන පරිච්ඡේද වල දක්වා ඇති ආකාරයට මනුෂ්‍යයන්ගේ ස්වභාවය ඔවුන්ගේ සිරිත් විරිත් හා ඔවුන් විසින් පිහිටුවා ගන්නා ලද සංස්ථා පිළිබඳ බලපාන භෞතික හේතු විග්‍රහ කෙරෙන බව මොන්ටෙස්ක්‍යු දක්වා ඇත. නීතියේ සාරය කෘතියේ 19වන පරිච්ඡේදය මඟින් යම් කිසි ජාතියක සදාචාරය හා චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව අදහස් දක්වා ඇත. එනම් එමඟින් ජාතික රාජ්‍යන්හි ස්වරූපය පෙන්නුම් කෙරේ. 20 හා 26වන පරිච්ඡේද මඟින් මිනිසුන්ගේ සිරිත් විරිත්, සම්ප්‍රදායන් හා නීති කෙරෙහි බලපාන සාධක අධ්‍යයනයට උත්සාහ ගෙන ඇත. එම පරිච්ඡේද සමාජ සංවිධානයන් කෙරෙහි බලපාන සදාචාරාත්මක හා භෞතික හේතූන් පරීක්ෂා කිරීමේ සමාජ විද්‍යාත්මක සමීක්ෂණයක් ලෙස අර්ථ දැක්විය හැකි ය. 

මොන්ටෙස්ක්‍යු තම කෘතිය මඟින් ආණ්ඩුක්‍රම පිළිබඳව වර්ගීකරණයේ දී එක්තරා ආකාරයකට සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයක් පදනම් කරගෙන ඇති බව පෙනී යයි. ඒ තුළ ඔහු ස්වභාවය හා මූලධර්ම (Nature and Principles) නම් ක්‍රමවේදය යොදා ගෙන ඇත. ස්වභාවය දැක්වීමේ දී ඔහු ආණ්ඩුක්‍රම ආකෘතිය පිළිබඳව අදහස් දක්වා ඇති අතර ආණ්ඩුක්‍රම පිළබඳව මිනිසුන් පොලඹවන හා මිනිසුන් කෙරෙහි බලපාන ආවේග ඉන් අදහස් කර ඇත. මොන්ටෙස්ක්‍යුට අනුව ආණ්ඩුක්‍රම පිළිබඳ වර්ගීකරණය කිරීමේ දී එහි ස්වාධිපත්‍ය දරණ සංඛ්‍යාව එම බලය දරන්නේ කෙසේද යන්න මතුපිටින් පමණක් වැදගත්වන කරුණක් බව ඔහු දක්වා ඇත. එලෙස ආණ්ඩුක්‍රම වර්ගීකරණය කිරීම නීතිමය වර්ග කිරීමක් ලෙස මොන්ටෙස්ක්‍යු සලකා ඇත. එහි දී ආවේග පිළිබඳ ව අවබෝධ කර ගැනීම වඩා වැදගත් වන බව ඔහුගේ අදහසයි. ඊට අමතරව කිසියම් ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යන කාලය තීරණය වන්නේ ආවේග මත බව මොන්ටෙස්ක්‍යුගේ අදහසයි. ඔහු විසින් වඩාත් වැදගත් වන ආවේග වර්ගීකරණය කර තිබේ. එනම්, 

1. සද්ගුණය (Virtue)

2. කීර්තිය හෙවත් ගෞරවය (Honour)

3. භීතිය (Fear)

ලොව පවතින ඕනෑම ආණ්ඩුක්‍රමයක ස්ථාවරත්වය ඉහත වර්ගීකරණය මත පවතින බව මොන්ටෙස්ක්‍යුගේ අදහසයි. ඔහුට අනුව සද්ගුණය යනු නීතිමය ගරු කිරීමයි. පහළ ස්තර වල සිටින පුද්ගලයන්, ඉහළ ස්තරවල සිටින පුද්ගලයන් විසින් රැක බලා ගැනීම කීර්තිය හෙවත් ගෞරවයට අයත් වේ. රාජාණ්ඩු ක්‍රමයක් පවත්වා ගෙන යාමට සද්ගුණය අත්‍යාවශ්‍ය බව මොන්ටෙස්ක්‍යු පවසයි. ඔහු අවසාන වශයෙන් සඳහන් කළ භීතිය අවශ්‍ය වන්නේ ඒකාධිපතිවාදී ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යාමටයි. එවැනි ආණ්ඩුක්‍රම අනිවාර්යයෙන් ම දූෂිත ආණ්ඩුක්‍රම වන බව මොන්ටෙස්ක්‍යුගේ අදහසයි. 

ඔහුට අනුව සෑම ආණ්ඩුක්‍රමයකට ම විශේෂිත ලක්ෂණ පවතී. ආණ්ඩුවේ නියම ස්වභාවය නිගමනය වීමට නම් සමාජයේ පවත්නා සමාජ සංවිධාන ව්‍යුහයන්ගේ ස්වභාවයේ බලපෑම් අධ්‍යයනය කළයුතු වේ. ඉහතින් දක්වන ලද අදහස් වලට අනුව මොන්ටෙස්ක්‍යු විසින් ආණ්ඩුව හා සමාජය අතර ඇති සම්බන්ධතාවය විස්තර කිරීමට උත්සාහ ගෙන ඇති බව පෙනී යයි. රටේ භූමි ප්‍රමාණය අනුව ආණ්ඩුක්‍රමයේ ස්වභාවය තීරණය වන බව මොන්ටෙස්ක්‍යුගේ අදහසයි.

 සමුහාණ්ඩු ක්‍රමය ස්වභාවයෙන්ම ඉතා කුඩා රාජ්‍යයකට සුදුසු බව ඔහුගේ අදහසයි. රාජාණ්ඩු ක්‍රමය මධ්‍යස්ථ ප්‍රමාණයකින් සමන්විත රාජ්‍යයකට යෝග්‍ය වේ. යම් ආකාරයකින් කුඩා රාජ්‍යයක රාජාණ්ඩු ක්‍රමයක් පැවතුණහොත් එය ඉතා ඉක්මනින්ම සමූහාණ්ඩුවක් බවට පත්වන බව ඔහුගේ අදහසයි. ඉතා විශාල භූමි පුමාණයකින් යුත් රාජ්‍යයකට ඒකාධිපති ආණ්ඩුක්‍රමයක් යෝග්‍ය බව මොන්ටෙස්ක්‍යු දක්වා ඇත. රාජ්‍යයන්ගේ හා සමාජයේ ස්වභාවය මෙන්ම ආණ්ඩුවේ ස්වභාවය අතර සෘජු සම්බන්ධතාවයක් පවතින බව ඔහුගේ අදහසයි. ‍

දේශපාලනය කෙරෙහි බලපාන භෞතික සාධක පිළිබඳව විවරණයක් මොන්ටෙස්ක්‍යුගේ නීතියේ සාරය කෘතියේ අන්තර්ගත වේ. එනම් කිසියම් මනුෂ්‍ය සංවිධානයක පවතින සිරිත් විරිත් නිර්මාණය  වීම සඳහා එරට දේශගුණය හා භූ ගෝලීය සාධක බලපාන බවයි. ඔහු දේශගුණය හා පස යන සාධකයන් සඳහාත් අදහස් දක්වා තිබේ. දේශගුණය යම් ජන කොට්ඨාශයකගේ ජීවන රටාව හා සමාජ ආයතනය කෙරෙහි බලපාන ආකාරයත් කාලගුණයේ දී යම් රටක දැඩි උෂ්ණත්වයද, දැඩි සීතලද මිනිසුන්ගේ ‍ඓතිහාසික ස්වභාවයට හා සමාජයට බලපාන ආකාරය පිළිබඳවත් ඔහු අවධානය යොමු කොට ඇත. භූමිය පිළිබඳ සාධක සම්බන්ධ අදහස් දැක්වීමේ දී පසෙහි සරු නිසරු බව සමාජය සමඟ සම්බන්ධ වන බව ඔහුගේ අදහසයි. එමඟින් ඔහු අවධාරණය කරනු ලබන්නේ භෞතික හා සංස්කෘතික සාධක අතර සම්බන්ධතාවයක් ඇති බවයි. නමුත් එම සාධක අතර සෘජු හා සරල සම්බන්ධතාවයක් දැක්විය නොහැක. මිනිසුන්ගේ සංවේදී භාවය දේශගුණය අනුව වෙනස්වන බව මොන්ටෙස්ක්‍යුගේ අදහසයි. එහෙත් යම් නිශ්චිත භෞතික පරිසරයක බලපෑම යම් කිසි මනෝවිද්‍යාත්මක සාධක කෙරෙහි බලපාන බව ඔහුගේ අදහසයි. 

නීතියේ සාරය කෘතියේ 20 හා 26වන පරිච්ඡේද මඟින් මිනිසුන්ගේ සම්ප්‍රදායන්, චාරිත්‍ර වාරිත්‍ර සහ නීති කෙරෙහි බලපාන්නා වූ සමාජීය සාධක කෙරෙහි අවධානය යොමු කොට ඇත. එහිදී වාණිජ, මූල්‍යකරණය, ජනගහණය සහ ආගම යන සාධකයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු වී ඇත. ඒ අනුව පෙනී යන්නේ මොන්ටෙස්ක්‍යුගේ අදහස් දේශපාලන සමාජ විද්‍යාවේ ආරම්භයට සෘජු බලපෑමක් ඇති කර ඇති බවයි. ඔහුගේ ප්‍රධානතම කෘතිය වන නීතියේ සාරය නම් කෘතිය මඟින් දේශපාලන ක්‍රමය අධ්‍යයනය කර ඇති අතරම දේශපාලන ක්‍රමයක් කෙරෙහි බලපාන්නා වූ භෞතික හා සමාජීය සාධකයන් කෙරෙහිද අවධානය යොමු කර ඇත. තවද ඔහු මූලික වශයෙන් දේශපාලනය හා පරිසරය අතර ඇති සම්බන්ධතාවයද විස්තර කර ඇත. සමාජ නීති, චාරිත්‍ර හා සම්ප්‍රදායන් කෙරෙහි බලපාන සමාජ සාධක විග්‍රහ කිරීමේදී ඒ හා සම්බන්ධ නිර්වචන ඉදිරිපත් කිරීමටද ඔහු උත්සාහ කොට ඇත. එහිදී චාරිත්‍ර හා සම්ප්‍රදායන් සමාජ නීතීන් මගින් ප්‍රතිෂ්ථාපන අංගයක් නොවන බව ඔහුගේ අදහසයි. මෙයට අමතරව නීතිය හා චාරිත්‍ර අතර වෙනසක් ඇති බව ද ඔහු පෙන්වා දී ඇත. නීතිය යනු පුරවැසියාගේ ක්‍රියාවන් පාලනය කිරීමට ඇති සාධකයක් බව ඔහුගේ අදහසයි.

චාරිත්‍ර හා සම්ප්‍රදායන් අතරද වෙනසක් ඇති අතර චාරිත්‍ර පුද්ගලයෙකුගේ අභ්‍යයන්තර චර්යාව හා සම්බන්ධ වන නමුත් සම්ප්‍රදායන් පුද්ගලයෙකුගේ බාහිර චර්යාවන්ට සම්බන්ධ වන බව මොන්ටෙස්ක්‍යුගේ අදහසයි. ඒ අනුව චාරිත්‍ර එක්තරා ප්‍රමාණයකට මිනිසා විසින්ම ගොඩනඟනු ලබන චර්යා පද්ධතියක් ලෙස හඳුනා ගත හැකිය. ඔහු තව දුරටත් නීතිය කොටස් 3කට බෙදා දක්වයි. එනම්, 

1. සිවිල් නීතිය.

2. අපරාධ නීතිය.

3. පාලනය සම්බන්ධ පවතින නීතිය.

මෙම නීතීන් හා සම්බන්ධව බලපානු ලබන සමාජ සාධකයන් විග්‍රහ කිරීමේදී ආර්ථික සාධකයට ප්‍රධාන ස්ථානයක් ලැබී ඇත. එය කෘෂිකර්මය හා වාණිජමය වශයෙන් කොටස් දෙකකටද බෙදී ඇත. මොන්ටෙස්ක්‍යුගේ යුගයේදී කාර්මීකරණය ඉතා සුළු වශයෙන් පැවතීම හේතුවෙන් දේශපාලනය ඉතා සමීප වශයෙන් වාණිජ නගර සමඟ සම්බන්ධව පැවති බව දක්වයි. කාලය අනුව සැලකීමේදී එය නිවැරදි බව පෙනී යයි. ඊට ප්‍රධානතම හේතුව නම් ඔහු පූර්ව කාර්මික යුගයට අයත් විමයි. නමුත් ඔහු තමා අයත් වූ යුගය මත පදනම්ව දේශපාලන හා සමාජ සාධක අතර ඇති සම්බන්ධතාවය නීතියේ සාරය කෘතිය මඟින් විග්‍රහ කර ඇත. 

 ඔහුගේ ආර්ථික සාධක පසුකාලීනව මාක්ස්වාදීන්ගේ මෙන් නිෂ්පාදන සබඳතාවයන් කෙරෙහි දැඩි අවධානයකින් ඉදිරිපත් කර ඇත. කෘෂිකර්මය යටතේ සමාජය තුළ විවිධ සමාජ පන්තීන් බිහි වී ඇති ආකාරයත් ඉඩම් බෙදී ඇති ආකාරයත් පිළිබඳව සාකච්ඡා කොට ඇත. නමුත් මොන්ටෙස්ක්‍යු නිෂ්පාදන කාර්යයන් සඳහා භාවිතා කරනු ලබන ශිල්පීය ක්‍රම සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කොට නැත. ආර්ථික සාධක හා සම්බන්ධ අදහස් ඉදිරිපත් කිරීමේදී මොන්ටෙස්ක්‍යු මූල්‍ය ක්‍රම හා සම්බන්ධව අවධානයක් යොමු කර ඇති බව පෙනී යයි. එහිදී ආර්ථික ඒකකයන් අතර සම්බන්ධතාවයන් පැවැත්වීමේදී මූල්‍ය ක්‍රමය බලපාන ආකාරයන් පිළිබඳව අවධානය යොමු කර ඇති නමුත් එය වෙළඳාමට හා මූල්‍ය ක්‍රමයට පමණක් සීමා කර තිබීම එක් අඩුපාඩුවකි. මොන්ටෙස්ක්‍යු දේශපාලන හා සමාජ සම්බන්ධතා අතර ඇති ආගමික සාධකය සම්බන්ධයෙන් ගැඹුරු විග්‍රහයක් කර ඇත. යම් රටක ආගම එහි ජනගහණයේ බුද්ධිමය හා  විඤ්ඤාණ ස්වභාවය තීරණය කිරීම කෙරෙහි බලපාන බව අවධාරණය කරයි. පසු කාලීන ව මැක්ස් වෙබර් විසින් මොන්ටෙස්ක්‍යුගේ මතය සනාථ කරමින් පොතෙස්තන්ත්‍ර ආචාර ධර්ම හා ධනවාදයේ වර්ධනය අතර ඇති කිට්ටු සම්බන්ධතාවය පෙන්වා දී ඇත. 

මොන්ටෙස්ක්‍යු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් පරීක්ෂා කර ඒ හා සම්බන්ධ දර්ශනවාදී විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. එම ස්වභාවය දේශපාලන දර්ශනයේ ප්‍රධාන අංශයක් වශයෙන් වර්ධනය වූ බව සඳහන් කළ හැකිය. දේශපාලනය කෙරෙහි බලපාන්නා වූ භෞතික හා සමාජ සාධකයන් විග්‍රහ කිරීම තුළින් ඔහු හුදෙක් දේශපාලන චින්තකයෙකුට වඩා දේශපාලන සමාජ චින්තකයෙකු වශයෙන් හැඳින්විය හැකිය. 

දේශපාලනය හා සමාජ සම්බන්ධතාවයන් පිළිබඳව අදහස් දැක්වීමේදී ඔහු ජනගණය යන සාධකය පිළිබඳවද තම අවධානය යොමු කර ඇත. ජනගහණය යන සාධකය ඌන ජනගහණය හා අධි ජනගහණය ලෙස කොටස් දෙකකට වර්ග කර ඇත. මොන්ටෙස්ක්‍යුට අනුව අවශ්‍ය ශ්‍රම ශක්තිය නැති වීම ඌන ජනගහණයේ ප්‍රතිඵලයක් වන අතර පවතින සම්පත් ඉක්මවා යාම අධි ජනගහණයක් තුළින් දක්නට ලැබෙන ගැට‍ළුවක් බව අවධාරණය කරයි.  

4. සමාලෝචනය.

මොන්ටෙස්ක්‍යු විසින් නිතියේ සාරය කෘතිය මඟින් මූලික වශයෙන් අවධාරණය කර ඇත්තේ දේශපාලන හා සමාජ සාධක අතරත්, දේශපාලන හා භෞතික සාධක අතරත් ඇති සබඳතාවයන් අවධාරණය කිරීමටය. ඔහු 18වන ශතවර්ෂයේදී ප්‍රංශයේ ව්‍යාප්ත වූ බුද්ධිවාදී අදහස් හා 19වන ශතවර්ෂය තුළ වර්ධනය වූ සමාජ විද්‍යාව අතර කොටු වූ දේශපාලන චින්තකයෙකි. ඒ අනුව ඔහු එකල ප්‍රංශ චින්තකයන් විසින් පෙන්නුම් කළ ප්‍රධානම ලක්ෂණයක් වූ සමාජ ගැටළුවක් පොදු වශයෙන් ගෙන බුද්ධිමය වශයෙන් විග්‍රහයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කර ඇත. 

චාල්ස් මොන්ටෙස්ක්‍යුගෙන් සිදු වූ සේවය පිළිබඳ විමසීමේදී සමාජ විද්‍යාඥයෙකු වශයෙන් ඔහුගේ ඇති වැදගත්කම මැන බැලිය හැකිය. 18වන ශතවර්ෂයට අයත් සමාජ හා දේශපාලන චින්තකයන් අතර වැදගත් තැනත් මොන්ටෙස්ක්‍යුට හිමි වේ. 

නමුත් ඔහු ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව විමසීමේදී පෙනී යන්නේ ඔහු නූතන සමාජ විද්‍යාවේ හෝ දේශපාලන සමාජ විද්‍යාවේ පුරෝගාමියෙකු නොවූ බවයි. ඊ‍ට ප්‍රධානතම හේතූන් පහත ආකාරයෙන් දැක්විය හැකිය.

01. සංවිධානාත්මක වශයෙන් සමාජ විද්‍යාව යන විෂය සංවිධානය වූයේ මොන්ටෙස්ක්‍යුගෙන් පසුව බිහි වූ ඔගස්ට් කොම්ටේගේ විග්‍රහයන් මත පදනම්ව වීමයි.   

02. නූතන සමාජ විද්‍යාව මූලික වශයෙන් ගොඩනැගී තිබෙන්නේ නූතන නිෂ්පාදන ක්‍රමය විග්‍රහ කිරීම තුළින් සමාජය විග්‍රහ කිරීම මතය. 

03. කාර්මික ක්‍රමය හා සමාජය අතර සම්බන්ධතාව විග්‍රහ කිරීම නූතන සමාජ විද්‍යාවේ පදනම වශයෙන් සැළකිය හැකිය. නමුත් මොන්ටෙස්ක්‍යුගේ යුගය කාර්මීකරණයට පෙර තිබූ යුගයක් බැවින් එම සාධක සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයක් ඔහු සිදුකර නැත. 

කෙසේ වෙතත් මොන්ටෙස්ක්‍යු දේශපාලන සමාජ විද්‍යාවේ පුරෝගාමී චින්තකයෙකු නොව ඊට විද්‍යාත්මක පදනමක් සකස් කර දුන් චින්තකයෙකු ලෙස හැඳින්විය හැකිය. මන්ද යත් ඊට පසුව බිහි වූ සමාජ විද්‍යාවටත්, මෑත කාලයේ බිහි වූ දේශපාලන සමාජ විද්‍යාවටත් පදනම් වී ඇති මූලික ම කරුණු මොන්ටෙස්ක්‍යු විසින් විග්‍රහ කර තිබීමයි. 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.


දැඩිගමුව, චන්දිමා., සමාජ විද්‍යාවට ප්‍රවේශයක්, කර්තෘ ප්‍රකාශන, හෝකන්දර, 2012- ජනවාරි.

පෙරේරා, ටෙනිසන්., සමාජ විද්‍යාව, නුවණී ප්‍රකාශන, කඩවත, 2013.

රත්නපාල, නන්දසේන., සමාජ විද්‍යාවේ මූලධර්ම, සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්ගලික) සමාගම, පන්නිපිටිය, 2012.

රත්නායක, කරුණා., දේශපාලන විද්‍යාවේ මූලිකාංග - 01, කර්තෘ ප්‍රකාශන, තෝරයාය. 2010-ඔක්මේබර්.

සොයිසා, එම්. ඕ. ඒ., දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්ත, කර්තෘ ප්‍රකාශන, දේශපාලන විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය, 2003 සැප්තැම්බර්.



Ruch, Michal, Politics and Society: An Introduction to Political Sociology, Harvester Wheat Sheaf, New York, 1972.


From Internet;

Macfarlane, Alan, Montesquieu and the Making of the Modern World.

Neuman, W. Lawrence, Political Sociology, University of Wisconsin, Whitewater.

Edit by Thomas Janoski, Robert Alford, Alexander Hicks and Mildred A. Schwaetz, The Handbook of political Sociology, Cambridge.(www.cambridge.org/9180521819909)


No comments:

Post a Comment