Tuesday 5 January 2021

කේ. එම්. පනික්කාර්ගේ ආසියාව හා බටහිර ආධිපත්‍යය කෘතියේ පළමු පරිච්ඡේද තුන පිළිබඳ සාරාංශයක් හා විචාරයක්..

 

හැදින්වීම ii

1. ව්‍යාප්ති යුගය.(1498-1750)

1.1. ඉන්දියාව සහ ඉන්දියා සාගරය.

1.2. චීනය සහ ජපානය.

2. විජයග්‍රහණය පිළිබඳ යුගය.(1750-1858)

2.1. ඉන්දියාව සහ දූපත්.

2.2. චීනය.

3. අධිරාජ්‍යවාදී යුගය.(1158-1914)

3.1. ඉන්දියාව.

3.2. චීනය.

3.3. ජපානය.

3.4. අග්නිදිග ආසියාව.

3.5. සියමය.

4. සමාලෝචනය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.


හැදින්වීම.

සර්දාර් කේ. එම්. පනික්කාර් හෙවත් කාවලම් මාධව පනික්කාර් (Kavalam Madhava Panikkar)1895 ජුනි 3 වන දා කේරළයේ දී උපත ලැබීය. ඔහු ඉන්දීය විද්වතෙකු, පුවත්පත් කලාවේදියෙකු, පරිපාලකයෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන් ම ඉතිහාසඥයෙකු ද වූ අතර මදුරාසියේ හා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හී අධ්‍යාපනය ලබා ඇත. තවද කේ. එම්. පනික්කාර් මහතා මහාචාර්යවරයෙකු ලෙස Aligarh Muslim University හී හා කල්කටා යන විශ්ව විද්‍යාල වල සේවය කොට ඇත. 1924දී ඔහු Hindustan Times පුවත් පතේ සංස්කාරක වශයෙන් ද සේවය කරුණු ලැබීය. ඉන්දියාව නිදහස ලැබීමෙන් අනතුරුව ඔහු 1947 දී එක්සත් ජාතීන්ගේ මහ සභාවේ දී ඉන්දියාව නියෝජනය කරමින් සහභාගී වූ අතර 1948 දී චීනයේ ඉන්දියානු තානාපතිවරයා ලෙස ද, ප්‍රංශයේ ඉන්දීය තානාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය. ඊට අමතරව කේ. එම්. පනික්කාර් මහතා කාශ්මීර හා මයිසෝර් යන විශ්ව විද්‍යාල වල උප කුලපති ලෙස ද කටයුතු කර ඇත.

ඔහුගේ අධ්‍යයනයන් බොහෝ විට ආසියාවේ යුරෝපීය ආධිපත්‍ය ව්‍යාප්තිය පිළිබඳ සිදු විය. විශේෂයෙන්ම ඔහු මලබාර් ප්‍රදේශයේ පෘතුගීසි හා ලන්දේසි බල ව්‍යාප්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලදි. එම අධ්‍යයනයන් හා තමා ලබා ගත් රාජ්‍ය තාන්ත්‍රික දැනුම මාර්ගයෙන් ඔහුගේ විශිෂ්ටතම කෘතීන් වූ ආසියාව හා බටහිර ආධිපත්‍ය (Asia and Western Dominance) යන කෘතිය 1953 දීත්, In Two Chinas යන කෘතිය 1955 දීත් රචනා කරන ලදි. ඔහු 1963 දෙසැම්බර් 10වන දින වයස අවු: 68දී අභාවප්‍රාප්ත විය.  

මෙම පැවරුමේ දී අවධානයට ගැනෙන්නේ ඔහුගේ ආසියාව හා බටහිර ආධිපත්‍ය (Asia and Western Dominance) යන කෘතිය සම්බන්ධවයි. මෙම කෘතියෙන් 15 වන සියවසෙන් පසුව පෙරදිග යුරෝපීයයන් විසින් යටත් විජිත ව්‍යාප්ත කළ ආකාරය සම්බන්ධයෙන් ඉතා විශ්වසනීය හා ප්‍රබල කරුණු රාශියක් අනාවරණය කර ගත හැකි වේ. විශේෂයෙන්ම ඔහු පෞද්ගලිකව ම අදාල රටවල සංචාරය කරමින් හා සේවය කර තිබීම එම කෘතියේ ප්‍රබලත්වයට හේතු වේ. තවද යුරෝපීය ඉතිහාසඥයන් බොහෝ විට යුරෝපීය දෘෂ්ටි කෝණය අනුව ඉතිහාස රචනයේ දී තම ජාතිය උසස් කරමින් හා අනෙකුත් පෙරදිග ජාතීන් පහත් කරමින් තම රටට හා කලාපයට අපකීර්තිමත් තොරතුරු වසන් කරමින්, අසත්‍ය මෙන් ම ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින්  විකෘති ඉතිහාසයක් නිර්මාණය කරනු දැකිය හැක. නමුත් පනික්කාර් මහතා ආසියාතිකයෙකු ලෙස තම කලාපය බටහිර බලවතුන් විසින් නිර්ලජ්ජිත සුරා කෑ අකාරය ඉතා විවෘත ලෙස ඉදිරි පත් කරයි. ඒ අනුව සැබෑ යටත් විජිතවාදී ‍ඉතිහාසය අධ්‍යනයේ දී මෙම කෘතිය ඉතාමත් වැදගත් වේ.

මෙම මගින් කේ. එම් පනික්කාර් මහාතාගේ ආසියාව හා බටහිර ආධිපත්‍ය (Asia and Western Dominance) කෘතියේ පළමු කොටස් තුන ඒ හා සමාන ලෙස ම දක්වමින්, සංක්ෂිප්ත ලෙස පළමු පිටු 09 ට ගොනු කිරීමට උත්සහ කල අතර සමාලෝචනය මඟින්, ඊට අදාලව විචාරයක් ඉදිරිපත් කිරීමට උත්සහ කරන ලදි.




1. ව්‍යාප්ති යුගය

(1498-1750)

1.1. ඉන්දියාව සහ ඉන්දියා සාගරය.

15වන සියවස පමණ වන විට ලෝකය පිළිබඳ කුතුහලය වර්ධනය වීම, යුරෝපයට කුළු බඩු හා අත්‍යාවශ්‍ය වෙළඳ භාණ්ඩ ලැබීම ඇණ හිටීම හේතුවෙන් ඇති වූ වෛරය, රාජ්‍ය අනුග්‍රහය නොමසුරුව ලැබීම, නව සොයා ගැනීම් හා නව නිපදවීම්, ත්‍රාස ජනක අත්දැකීම් ලැබීමට තිබූ කැමැත්ත, රටවල් අල්ලා ගැනීමෙන් කීර්තියට පත්වීමට තිබූ ආශාව, ආගම ප්‍රචාරය කිරීමට පාප් වහන්සේගෙන් ලැබුණු පෙළඹවීම් යනාදිය හේතුවෙන් පෙරදිගට මුහුදු මාර්ගයෙන් පැමිණීමේ අවශ්‍යතාව යුරෝපීයයන්ට තදින් ම දැනෙන්නට විය. ක්‍රි.ව. 1494 දී ට්‍රොඩ්සිලාස් ගිවිසුම මඟින් බටහිර දේශාංශ 50°න් බටහිර කොටස ස්පාඤ්ඤයටත්, නැගෙනහිර කොටස පෘතුගීසීන්ටත් පවරා දෙ ලදි.

දියුණු වෙමින් පැවති තාක්ෂණය හා විද්‍යාත්මක දැනුම දේශ ගවේශනයට ප්‍රබල හේතුවක් විය. කතෝලික පල්ලියේ දිරි ගැන්වීම මත නව ලෝකය සොයා යාමට පළමු වෙන් ම ඉදිරිපත් වූවේ අයිබීරියන් අර්ධද්වීපයේ රාජ්‍යයන් වූ ස්පාඤ්ඤය හා පෘතුගාලයයි. මෙලෙස ස්පාඤ්ඤයන් හා පෘතුගීසීන් දේශගවේශණයට ඉදිරිපත් වූ ප්‍රබලතම සාධකය වූවේ පෙරදිග හා අපරදිග ලෝකය අතර වෙළඳ ගනු දෙනු සිදු වූ වෙළඳ මාර්ගය ඔටෝමන් තුර්කිවරුන්ගේ ග්‍රහණයට නතු වීමයි. ක්‍රි.ව. 10 හා 11 වන සියවස් වල දී ආරම්භ වූ කුරුස යුද්ධ 15 වන සියවස වන විට වැනීසිය හා ජිනෝවාවට හිමි වී තිබුණි. 1453 දී තුර්කිවරුන් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමත් සමඟ යුරෝපයට මෙන් ම ජිනෝවාවරුන්ට ද සම්පූර්ණයෙන්ම වැසී යන ලදි. නමුත් පෙරදිග භාණ්ඩ යුරෝපයට සැපයීමේ ඒකාධිකාරය තවදුරටත් තබා ගැනීමට වෙනීසියට හැකි විය.

ඉන්දියාවේ සිට ‍ගෙන්වනු ලැබූ ගම්මිරිස්, අමු ඉඟුරු, මුතු-මැණික්, අබිං හා අලි ඇතුන් නොලැබී යාමත්, ඉන්දියාවේ සිට හා ඉන්දුනීසියානු දූපත්වල සිට ගෙන්වනු ලැබූ කුළු බඩු වෙළදාමෙන් වැනීසියට  හා ආරාබීන්ට විශාල ලාබයක් ලැබීම, ජිනෝවාවරුන් හා අනෙකුත් යුරෝපීය ජාතීන් ප්‍රකෝප කරවන්නක් විය. පෙර සඳහන් කළ ආකාරයට ම 10වන සියවසේ සිට ඇති වූ කුරුස යුද්ධවලට සැබෑ ලෙස ම ආගමික මුහුණුවරකට අමතරව ආර්ථික මුහුණුවරක් ද තිබූ බව පොදු පිළිගැනීමයි. කුරුස යුද්ධවලින් ලත් පරාජය මකා ගැනීම, යුරෝපීයයන් පෙර දිගට බලා දියත් කළ දේශගවේශනයන්ගේ අරමුණ විය. ඒ අනුව පෘතුගීසීන් පෙරදිගට පැමිණීමේදී අරාබිවරුන් සමඟ යුද්ධ කිරීමේ සූදානමිනුත්, ඔවුන් සතු කුළු බඩු ආධිපත්‍ය ලබා ගැනීමේ අභිප්‍රායෙනුත් හා පෙරදිග කතෝලික ආගම ප්‍රචාරය කිරීමේ උද්යෝගයෙනුත් යුතු ව පැමිණෙන්න විය.

වෙළදාම සඳහා ඇති වූ තරගයේ දී ලෙවන්ට් , කැලිකට් හා මලක්කාව වැනි ප්‍රදේශවලට පෘතුගීසීන්ගේ ප්‍රබල අවධානය යොමු විය. ඒ අනුව පෘතුගීසීන්, පෙරදිග මුස්ලිම් ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා 15වන සියවස අවසාන වන විට අප්‍රිකානු වෙරළේ නව ප්‍රදේශ ගවේෂණය කරමින් ඉන්දියානු උප මහද්වීපය කරා ප්‍රවේශ වන ලදි. පාප් රාජ්‍යයේ දිරි ගැන්වීම මත ස්පාඤ්ඤය අත්ලාන්තික් හා පැසිෆික් සාගරවල ඉන්දීය දූපත් සොයද්දී පෘතුගීසීන් අප්‍රිකානු වෙරළ ඔස්සේ ඉන්දීය ප්‍රදේශ සෙවීම ආරම්භ කරනු ලැබීය . 

රත්තරන් හා කීර්තිය සඳහාත්, දෙවියන් වහන්සේගේ අනුගාමිකයන් ලෙසත් පෘතුගීසීන් ගෙන ගිය සටන කුරුස යුද්ධය ඉදිරියට ගෙන යාමක් ලෙස ද සලකනු ලැබේ. පෘතුගීසි දේශගවේශණ ව්‍යාපාරයට නාවික හෙන්රිගෙන් ලැබුණු දායකත්වය ඉතා ප්‍රබල වේ. අප්‍රිකානු වෙරළ ඔස්සේ සිදු කෙරුණු ගවේෂණ වලට එක් පුද්ගලයෙකු විසින් කරන ලද විශාල ම දායකත්වය කරන ලද්දේ ඔහු විසිනි. ඔහු පෘතුගාලයේ සාග්‍රේස් තුඩුවේ නාවික පර්යේෂණ ආයතනයක් පිහිටුවීය. එමගින් ගණිතය හා තාරකා ශාස්ත්‍රය ගැන දැනුමක් ලබා දෙමින් මුහුදු ගමන් සඳහා නාවිකයන් පුරුදු පුහුණු කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස 1433 වන විට අප්‍රිකානු වෙරළේ බොර්දෝර් තුඩුව දක්වා ගවේෂනය කෙරිණ. නාවික හෙන්රිගෙන් පසුව ද දිගටම ගවේෂණ කටයුතු සිදුවිය.

මේ කාලයේ දී පෙරදිග ප්‍රෙස්ටර් ජෝන් නැමැත්තෙකුට අයත් ක්‍රිස්තියානි රාජ්‍යයක් තිබේ යයි විශ්වාසයක් යුරෝපීයයන් සතුව පැවති අතර එය සොයා ගැනීමේ අරමුණ ද පෘතුගීසීන් සතු විය. 1488 දී  බර්තොලමියුදියස්ගේ නායකත්වය යටතේ අප්‍රිකාවේ දකුණු කෙළවරට ලගා වීමට පෘතුගීසීන්ට හැකි විය. ඔහු එය කුණාටු තුඩුව ලෙස නම් කළ නමුත් II ‍ජෝන් රජු විසින් එය සුබ පැතුම් තුඩුව (Cape of Good) ලෙස නම් කරනු ලැබීය. කේප් තුඩුව පසු කල වස්කෝදගාමා මොසැම්බික් වරායට පැමිණ එහි සුල්තාන්වරයාගේ මැදිහත් වීම මත ගුජරාට් නැවියෙකුගේ ආධාර ඇති ව 1497 දී ඉන්දියාවේ මලබාර් වෙරළේ පිහිටි කැලිකට් වරාය වෙත සම්ප්‍රාප්ත විය.

පෘතුගීසීන් 15 වන සියවසේ කරන ලද දේශගවේෂණ ව්‍යාපාරය ෆ්‍රැන්සිසකූ ද අල්මේදා හා අපෝනසෝ ද අල්බ්‍යුකර්ගේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස අප්‍රිකානු වෙරළ තීරයේ සිට දකුණු ආසියාව හරහා මලක්කාව පසු කර නැගෙනහිර ඉන්දියානු දූපත් වන බණ්ඩා දූපත් දක්වා පැතිර යන්නට විය. 16 වන සියවස වන විට ගෝව කේන්ද්‍ර කර ගනිමින් තම යටත් විජිත පාලනය කිරීමට පෘතුගීසීන්ට හැකිවිය. නමුත් එම සියවස අවසාන වන විට පෘතුගීසි සිහසුන ස්පාඤ්ඤයේ II වන පිලිප් රජුගේ යටතට පත් වීමත් හා යටත් විජිත පරිපාලනය අතිශයින් ම දූෂණය වීම මත පෙරදිග පෘතුගීසි කටයුතු අඩපණ විය.

මේ වකවානුවේ දී නැගෙනහිර රටවල නිෂ්පාදන ලිස්බන් නුවර සිට උතුරු යුරෝපය දක්වා ප්‍රවාහනය කලේ ලන්දේසීන් ය. පෙරදිග රටවල් ආශ්‍රිතව සිදු වූ ආක්‍රමණකාරී ක්‍රියා සහ වෙළඳාම සඳහා තම විශාල නැව් සියල්ල ම පාහේ යොදවා තිබීම හේතුවෙන් යුරෝපීය රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් නැව් ප්‍රමාණයක් පෘතුගීසීන් සතුව නොවූ අතර ස්පාඤ්ඤ ජාතිකයන්ට ද එය පොදු විය. මේ හේතුවෙන් ම ලෝක ව්‍යාප්ත බඩු ගෙන යාමේ වෙළඳ පදනමකට පිවිසීමට ලන්දේසීන්ට හැකි විය. 1580දී දෙවන පිලිප් රජු ස්පාඤ්ඤය හා පෘතුගාල රාජ්‍යයේ පාලකයා වීමත් එම හේතුවෙන් ම පෘතුගාලය හා ස්පාඤ්ඤය අතර අභ්‍යන්තර ආරවුල් ඇති වීමත් හේතුවෙන් පෙරදිග පෘතුගීසි බලය අර්බුදයකට ලක් විය. මෙය අවස්ථාවක් කර ගත් ඕලන්දවාසීන්, ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගැනීම සඳහා කැරලි ගැසූ අතර එයට ප්‍රතිචාර දක්වනු වස් දෙවන පිලිප් රජු ලන්දේසීන්ට, ස්පාඤ්ඤය හා පෘතුගාලයේ ලිස්බන් වැනි වරායන් වලට ඇතුළු වීමට ඉඩ නොදෙන්නට විය.

ලන්දේසීන් එම වෙළඳාමෙන් ඉවත් කළ පසු නැගෙනහිර රටවල නිෂ්පාදන ඔවුන් ම ආනයනය කිරීමේ අදහස ලන්දේසීන් තුළ වර්ධනය විය. ඔවුන් ප්‍රථමයෙන් උතුරු යුරෝපය හා ආසියාව හරහා මාර්ගයක් සොයා ගැනීමට උත්සාහ කළහ. එය අසාර්ථක වීම හේතුවෙන් ඒ වන විටත් පෘතුගීසීන් අල්ලා ගෙන තිබූ සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා වු මාර්ගයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ අවශ්‍යතාව ඕලන්දයන්ට වැටහෙන්නට විය. ඒ සඳහා ඔවුන්ට යොන් හව්හන් ලින් ෂෝටන්  නම් ඕලන්ද යාත්‍රා කරුවාගේ වාර්තා ඉමහත් ප්‍රයෝජනවත් විය. ඔහු පෘතුගාලයේ ආච් බිෂොප්වරයා යටතේ අවුරුදු 4ක්ද, ගෝවේ හි වසර 5ක්ද ගත කරමින් ආසියාවේ පෘතුගීසි බල ක්ෂේත්‍රය පිළිබඳ ව තොරතුරු එකතු කොට 1592දී නැවත ඕලන්දයට පැමිණ එම තොරතුරු අලලා 1595දී ග්‍රන්ථ පළ කරන ලදි. එමගින් පෘතුගීසීන්ට පමණක් සීමා වී තිබූ ආසියාව සම්බන්ධ තොරතුරු ඕලන්ද ජාතිකයන්ට දැන ගැනීමට හැකි විය. 

එම තොරතුරු ප්‍රයෝජනයට ගනිමින් ලන්දේසි ජාතික කොර්නේලිස් හොට්මන්ගේ නායකත්වය යටතේ 1595 අප්‍රේල් මාසයේදී ඇම්ස්ටර්ඩෑම් වලින් නැව් 4ක් අග්නිදිග ආසියාව බලා ගමන් ඇරඹීය. එම යාත්‍රා 1596 ජූනි මාසයේ දී ජාවාහි වයඹ දිග වෙරළේ පිහිටි ගම්මිරිස් හා සාමාන්‍ය බඩු හුවමාරු කර ගන්නා වරාය වූ බැන්තම් වෙත ලඟා විය. පෘතුගීසීන් සහ ‍අග්නිදිග ආසියානු පාලකයන් අතර තිබූ සබඳතා එකල බෙහෙවින් නොසන්සුන්ව තිබීම හේතුවෙන් දේශීය පාලකයන් ලන්දේසීන් ඉතා සාදරයෙන් පිළිගන්නා ලදි.  පසුව එම නැව් කණ්ඩායම බැන්තම් වරායෙන් පිටත්ව ජකර්තාවටත්, මදුර හා බාලි දිවයින් වලටත් පැමිණ කුළු බඩු ලබාගෙන නැවත යුරෝපයට යාත්‍රා කරන ලදි. මෙම ගමන සම්පූර්ණ සාර්ථක එකක් නොවූව ද වටිනා බඩු තොගයක් රැගෙන ඒමට හැකි වීමත් හා බැන්තම් හි සුල්තාන්වරයා සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට හැකි වීමත් අනාගත ආයෝජනයක් බඳු විය. 

ඉන් පසු 1598දී නැව් 22ක කණ්ඩායමක් කුළු බඩු දූපත් වලට ලඟා වීමේ අරමුණින් නෙදර්ලන්තයෙන් පිටත් විය. ජකොබ් වෑන් නෙක් අද්මිරාල් ලෙස යෙදුණු ගමන ඉතාමත් ම සාර්ථක වූ අතර ඔවුන් මුරුසි දිවයින් වලට හා බැන්තම් වරාය වෙත ලඟා වෙන ලදි. පෘතුගීසිගෙන් බාධා එල්ල වුවත් දේශීය පාලකයන්ගේ අනුග්‍රහය මත බැන්තම් ප්‍රදේශයේ වාණිජ කටයුතුවල නිරත වීමට ලන්දේසීන්ට හැකි වූ අතර ගම්මිරිස් ලබා ගෙන නැවත නෙදර්ලන්තය‍ වෙත පැමිණි ෆන් නෙක්ගේ කණ්ඩායමට 100%ක ලාභයක් ලබා ගැනීමට හැකි විය.  

මෙම වෙළඳ ග‍මන් සමඟ කුළු බඩු දූපත් වෙත ගමන් කිරීමේ අපේක්ෂාව ලන්දේසීන් තුළ වර්ධනය විය. ඒ අනුව ඕලන්ද වාණිජ සමාගම් අග්නිදිග ආසියාවේ කුළු බඩු දූපත් වූ සුමාත්‍රා, ජාවා හා මොලුක්කා දිවයින් කරා යාත්‍රා කිරීම සඳහා යාත්‍රා කරන ලදි. ඒ අනුව 1595 සිට 1601 දක්වා අතර ගමන් වාර 15දී නැව් 65ක් කුළු බඩු දූපත් කරා යාත්‍රා කරවීය. 

ලන්දේසීන් අග්නිදිග ආසියාවට පැමිණීමේ මූලික අභිප්‍රාය වූයේ වෙළඳාම් කිරීම වුවත් තම ප්‍රබලතම විරුද්ධවාදියා වූ පෘතුගීසීන් සමඟ යුද ඇති කර ගැනීමට ද ඔවුන්ට සිදු විය. වෙළඳ වාසි ලබා ගැනීම හා පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරමින් මුස්ලිම් ආගමට සහන සැලසීමේ පොරොන්දුව මත දේශීය රාජ්‍යයන් සමඟ සබඳතා ක්‍රමයක් ගොඩනගා ගැනීමට ලන්දේසීන්ට හැකි විය. 1602දී බැන්තම් අසල දී පෘතුගීසීන් පරදවා ලබා ගත් තීරණාත්මක ජයග්‍රහණය හේතුවෙන් එම ප්‍රදේශ වල හා සුණ්ඩා සමුද්‍ර සන්ධියේ තම අණසක පිහිටුවීමට ලන්දේසීන්ට හැකි වූ අතර මොලුක්කා දිවයින් වලට යාත්‍රා කිරීමේ ඉඩ ප්‍රස්ථාව ද හිමි විය. 1605දී ඇති වූ සටනකින් පසුව ඇම්බොයිනාවේ තිබූ පෘතුගීසි කොටුව යටත් කර ගැනීමට ලන්දේසීන්ට හැකි වූ අතර එය අග්නිදිග ආසියාවේ පළමු ලන්දේසි යටත් විජිතයද විය. එහි නායකයෝ 1605 අගෝස්තු මාසයේදී ඇති කර ගන්නා ලද ගිවිසුමෙන් ලන්දේසි ආධිපත්‍ය පිළිගන්නා ලදි. 

1.2. චීනය හා ජපානය.

අතීතයෙ සිට ම චීනය බාහිර ප්‍රදේශ සඟ සම්බන්ධතා පැවැත්වුවත් එම සම්බන්ධතා බොහෝ පරීක්‍ෂාකාරී විය. මිං යුගයේ සිට මැංචූ රාජ වංශ වල දී පවා යුරෝපීය රටවල් සමඟ පවත්වන සබඳතා ඉතාමත් ම සීමිත වූ අතර ආරක්‍ෂාකාරී විය. චීනය තුළ වටිනා වෙළඳ ද්‍රව්‍යය වන තේ, සිල්ක්, පිඟන් භාන්ඩ හා කලාකෘති යුරෝපයට අපනයනය කරන ලැබීය. නමුත් කල්යත්ම මැංචූ බලය දුර්වල වීමට පටන් ගත් අතර යුරෝපීය මිෂනාරීවරු චීනය තුළට පැමිණ චීන ජනතාව කතෝලික ආගමට හැරවීමත් හා විදේශීය වෙළඳුන්, යුධ සෙබළුන් නිරතුරුව ගැටුම් ඇතිකර ගැනීම හේතුවෙන් චීනය තුළ අර්බුදකාරී තත්වයන් ඇතිවන්නට විය. එය අවස්ථාවක් කර ගත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතික වෙළඳුන් චීනය තුළ තම කටයුතු වර්ධනය කරනු ලැබීය . 

ජපානය චීනයටත් වඩා ලෝකයෙන් හුදකලා ව සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලද රටකි. නමුත් 16වන සියවසේ දී පමණ එරටට පැමිණි ෆ්‍රැන්සිස් ක්‍ෂේවියර්ගේ කාලයේ දී යම් තාක් දුරට බටහිර ජාතීන් සමඟ සම්බන්ධතා ආරම්භ කිරීමට අඩිතාලම දමනු ලැබීය . ඒත් සමඟ යුරෝපීය වෙළදුන්ට ඉතා සුළු වශයෙන් ජපානය තුළ වෙළදාම් කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දුන්නත් ඔවුන්ගේ දැඩි මිෂනාරි ප්‍රතිපත්තිත්, ස්පාඤ්ඤය හා පෘතුගීසි ජාතිකයන්ගේ රෞද්‍ර ක්‍රියාකාරකම් පිළිබඳ ව අනාවරණය වීමත් සමඟ ඔවුන් ව 1615 දී ජාපානයෙන් පිටමන් කරන ලද අතර ජපානය සමඟ ඉතා සුළු වශයෙන් සබඳතා පවත්වා ගැනීමට ලන්දේසීන්ට පමණක් ඉඩ ලබා දෙ ලදි.


2. විජයග්‍රහණය පිළිබඳ යුගය.

(1750-1858)

2.1. ඉන්දියාව සහ දූපත්


අග්නිදිග ආසියාවේ අභ්‍යන්තර ආරවුල් උපයෝගී කොට ගනිමින් සිය බලය වර්ධනය කර ගැනීමට ලන්දේසීන්ට හැකි වූ අතර නිරායාසයෙන් ම අග්නිදිග ආසියානු කොදෙව් වූ නැගෙනහිර දූපත් රැසක ඉන්දුනීසියානු ස්වාධීනතාව නැති කරමින්, ලන්දේසි අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමට හැකි විය.

නමුත් කල්යත්ම දේශියන් සමඟ නිතර නිතර යුද්ධ ඇතිවීමත්, වැඩි ලාබයක් ලබාගැනීමේ අභිප්‍රායත් හේතුවෙන් ලන්දේසි බලය අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්ත වන ආකාරයක් පසුව දැකිය හැකිය. මෙලෙස ලන්දේසි අරමුණු වෙනස් වන්නට ඇත්තේ තම ආධිපත්‍ය බලය ස්ථාවර කර ගැනීමටත් හා අනෙකුත් යුරෝපීය රාජ්‍යයන්ගේ ආගමනය වැළැක්වීමටත් විය හැකිය. කෙසේ වුවත් පසුකාලීනව වෙනස් වූ එම ප්‍රතිපත්තිය හේතුවෙන් ‍ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පරිහානිය ද ආරම්භ වූ බව පෙනී යයි. එයට ප්‍රධානතම හේතුව වූයේ දීර්ඝ කාලීන මෙන් ම අධික ධනයක් වැය කිරීමට සිදු වූ යුද්ධත්, යටත් ප්‍රදේශ වැඩි වීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් අධික වීමත් ය.


ප්‍රධාන වශයෙන් ලන්දේසි ප්‍රතිපත්තිය පිළිබඳ ව සලකා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ මුල්කාලීන ලන්දේසි සමාගමේ අරමුණ වූවේ වෙළඳ කටයුතු සඳහා මිස දිවයින්වල අභ්‍යන්තර පාලනයට මැදිහත් නොවිය යුතු බවයි. යුද්ධ කිරීම අත්‍යාවශ්‍ය නම් පමණක් කළ යුතු බව ලන්දේසි සමාගමේ අරමුණ විය. ආර්ථික කටයුතුවල දී නිරායාසයෙන් ම දේශපාලන කටයුතුවලට මැදිහත් වීමට සිදුවුවත් දේශපාලන වගකීම් පිළිබදව ලන්දේසීන් අවදානය යොමු නොකරන ලදි. 


බ්‍රිතාන්‍යන්ගේ පෙරදිග ප්‍රතිපත්ති පිළිබඳ විමසීමේ දී පෙනී යන්නේ ඔවුන්ගේ අස්වාමිකවාදය හා ප‍්‍රදේශ ඈඳා ගැනීම මුළු ඉන්දියාව පුරාම දැඩි නොසන්සුන්තාවයක් හා සැකයක් ඇති කරන ලද බවයි. අස්වාමිකවාදය යනු උරුමක්කාරයෙකු නොමැතිව ප‍්‍රාදේශීය නායකයා මියගියේ නම් ඔහු හදාවඩා ගත් කුමාරයෙකුට සිහසුන හෝ රජයන විරුදය හිමිනොවන්නේය යන්නයි. මෙබª අවස්ථාවලදී එම ප‍්‍රදේශ ඉන්දියාවේ බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යය පාලනයට හිමිවන බව ඩැල්හවුසි පෙන්වා දුන්නේය. මෙම න්‍යාය අනුව ජාන්සි මහාරාණිට දරුවෙකු හදාවඩා ගැනීමට ඉඩ නොදුන්නේය. තවද පෙෂ්වාහී දෙවන බාජී රා ඕගේ හදාවඩා ගත් පුතු වූ නා නා සහිබ් රාජ්‍ය උරුමක්කරු ලෙස නොපිළිගන්නා ලදී.


      ප‍්‍රදේශ ඈඳා ගැනීමේදී බ්‍රිතාන්‍යයන් සතාරා, ජාන්සි සහ නාග්පූර් යන ප‍්‍රදේශ බි‍්‍රතාන්‍යය පාලනයට ඈඳා ගත්තේ ඉතාමත් වංචාකාරී ලෙසය. මෙලෙස වෙළඳ සමාගමේ පාලකයින් එම සමාගමට අයත් භූමි ප‍්‍රමාණය පුළුල් කරගැනීමේ හා බි‍්‍රතාන්‍යය පාලනය තහවුරු කරගැනීමේ අභිප‍්‍රායෙන් ගෙනගිය ප‍්‍රදේශ ඈඳා ගැනීමේ ව්‍යාපාරය කෙරෙහි එම ප‍්‍රදේශවල පාරම්පරික පාලකයන් මෙන්ම සාමාන්‍යය ජනතාවද කිසිසේත්ම ප‍්‍රසාදයක් නොදැක්වීය. මරාත දේශය, සින්ඞ් රාජ්‍යය, නාග්පූර්, සතාරා වැනි ප‍්‍රදේශ සේම ඉතා ප‍්‍රබල ජාතියක් වූ සික්වරු පරදවා පන්ජාබයද අල්ලා ගැනීමටද බි‍්‍රතාන්‍යයන් සමත් වූහ. 


           විශේෂයෙන්ම අස්වාමිකවාදය යටතේ රාජ්‍යයකට උරුමක්කරුවෙකු තේරීමේදී බි‍්‍රතාන්‍යය පාලකයින්ගේ අවසරය ලබාගතයුතු වූ අතරම එවැනි කොන්දේසියක් පනවන ලද්දේ බි‍්‍රතාන්‍යයන්ට පක්ෂපාතී අයෙකු හෝ සිය හිතවතෙකු පත් කිරීමේ අරමුණෙනි. එසේම එමඟින් එම ප‍්‍රදේශ කෙලින්ම බි‍්‍රතාන්‍යය පාලනයට යටත් කරගත හැකිබව සිතීය. මේ අනුව මෙම අස්වාමිකවාදය යටතේ හින්දු රාජ්‍යය විශාල ප‍්‍රමාණයක් අල්ලා ගත්හ. මේ අතරම නවාබ් හා රාජා යන පදවි අහෝසි කිරීමත් කලින් සිටි අධිරාජ්‍යයාගේ විශ‍්‍රාම මුදල අහිමි කිරීමත් සිදු කරන ලදි.


       තවද 1856දී මෝගල් අධිරාජ්‍යයාවන බහ¥ර් ෂාගේ මරණින් අනතුරුව එතෙක් නාමිකව පැවති මෝගල් අධිරාජ්‍යය පාලනය අවසන් කිරීමට බි‍්‍රතාන්‍යයන් තීරණය කළහ. බි‍්‍රතාන්‍යයන් විසින් ඉක්මන්කාරීව ගන්නාලද තීරණයෙන් හින්දූන් මෙන් ම මුස්ලිම්වරුන් අතර මහත් අප‍්‍රසාදයක් ඇති කරවූ අතරල 1857-1858 අතර කාලයේදී බි‍්‍රතාන්‍යය විරෝධී ව්‍යාපාරයකට පදනම වැටීමෙහිලා එයද සාධකයක් විය. 

වාණිජ අධිරාජ්‍යවාදී කටයුතු හේතු කොට ගෙන බුරුමයෙහි කටයුතු වලට මැදිහත් වීම වඩාත් සාර්ථක විය. 1826 ප්‍රථම බුරුම යුද්ධයේ ප්‍රතිඵලය වූයේ අරකන් හා තෙනසෙරිම් යටත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය. 1852 දෙවෙනි යුද්ධය මඟින් පේගු ප්‍රදේශය යටත් කර ගැනීමට හැකි විය.


2.2. චීනය.

චීනයේ මැංචූ අධිරාජ්‍ය පිරිහීම අවස්ථාවක් කර ගත් යුරෝපීය ජාතීන් චීනයට ප්‍රබල  ලෙස මැදිහත් වීමට කටයුතු කරන ලදි. ඒ අනුව ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා සමාගම ද, 1833දී සමාගමේ ඒකාධිකාරය අහෝසි කිරීමෙන් පසු යුරෝපීය වෙළෙන්දෝ ද, ඉන්දියාවෙන් අබිං ලබාගෙන චීනයට ගෙන ගොස් චීන භාණ්ඩ සමඟ හුවමාරු කරන ලදි. අබිං හේතුවෙන් චීනය තුළ සිදු වන පරිහානිය දුටු චීන අධිරාජ්‍යයා අබිං චීනය තුළට ගෙන ඒම තහනම් කරන ලදි. නමුත් එම තහනම නොතැකූ ඉංග්‍රීසි වෙළඳුන් හොර රහසේ ම රට තුළට අබිං ගෙන එන ලදි. මෙය වැළැක්වීමට චීන රජය තදින් ම කටයුතු කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා ඇමරිකාවේ ද අනුදැනුම මත 1839 දී චීන වරායන් වලට පහර දුන් අතර එය පළමු වන අබිං යුද්ධය ලෙස හඳුන්වනු ලැබේ. 

එම යුද්ධයෙන් පරාජයට පත් වූ චීනයට, බ්‍රිතාන්‍ය සමඟ නැන්කිං ගිවිසුම අත්සන් කිරීමට සිදු වූ අතර එයට අනුව හොංකොං දිවයින ඉංග්‍රීසීන්ට පවරා දීමට සිදු වූ අතර තවත් වරායන් පහක් බ්‍රිතාන්‍ය සමඟ වෙළඳ කටයුතු සඳහා විවෘත කිරීමට සිදු විය. නමුත් මෙය ද කල්යත් ම ප්‍රමාණවත් නොවූ ඉංග්‍රීසීන්ට, තමන්ට අපහාස කිරීම හා ප්‍රංශ මිෂනාරීන්ට කරදර සිදු කිරීම යන හේතු සාධක මත 1857 දී යළිත් වරක් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ඒකාබද්ධ හමුදාවල පහර දීමකට චීනය ලක් විය. එම ආක්‍රමණය හමුවේ ද අසරණ වූ චීන රජයට පරාධීන කොන්දේසි රැසකට එකඟ වීමට සිදු විය. තවත් වරායන් හයක් බ්‍රිතාන්‍ය, ප්‍රංශ, රුසියානු හා ඇමරිකානු වැනි විදේශීය ජාතීන්ට වෙළඳාම සඳහා විවෘත කිරීම, ප්‍රංශ මිෂනාරීන්ට පහසුකම් සැපයීම යන කොන්දේසි ඒ අතර විය. මෙම හේතුවෙන් චීනයේ ස්වාධිපත්‍ය උල්ලංඝනය වූ අතර චීනය බටහිර රටවල තිප්පොළක් බවට පත් විය.


3. අධිරාජ්‍යවාදී යුගය

(1858-1914)

3.1. ඉන්දියාව.

1857 ඉන්දියාවේ ඇති වූ හමුදා කැරැල්ලෙන් පසු බ්‍රිතාන්‍යයන් ඉන්දියාව තුළින් තමන්ට නැවතත් අභියෝග එල්ල නොවන ආකාරයට තම ප්‍රතිපත්ති නිර්මාණය කර ගන්නා ලදි. එහි පළමු පියවර වූයේ බ්‍රිතාන්‍ය සමාගම සතු ව තිබූ ඉන්දියානු ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය යටතට පවරා ගැනීමයි. එමගින් සාර්ථක යටත් විජිත පාලනයක් ඉන්දියාව තුළ ගෙන යාමට බ්‍රිතාන්‍යයට  හැකි වූ අතර ඉන්දියාවෙන් පිටතට ද තම අවධානය යොමු කිරීමට ද  හැකි විය.

මෙම කාලය වන විට බ්‍රිතාන්‍යයන් සතු ඉන්දියානු ප්‍රදේශ වලට බාහිරින් අභියෝග හා තර්ජන එල්ල වෙමින් පැවතිනි. 1858ට පෙර සිට ම බ්‍රිතාන්‍යයන් යටතේ වූ ඉන්දියාව තම දේශසීමාබද අසල්වැසි රාජ්‍යයන් වූ ඇෆ්ගනිස්ථානය,  භූතානය, බුරුමය හා ටිබෙටය වැනි රටවල කටයුතු වලදීද සැලකිය යුතු මැදිහත් වීමක් සිදු කරන ලදි. 1857 කැරැල්ලෙන් පසු ඇති කරන ලද කාර්යක්ෂම පාලන තන්ත්‍රයත්, ගොඩනඟා ගත් විශාල හමුදාවත් හේතුවෙන් ආසියාවේ කටයුතු වල දී ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට ඔවුන්ට හැකි විය. 1858න් පසු ඉන්දියාව කේන්ද්‍ර කොටගත් බ්‍රිතාන්‍ය බලය  “යාකුබ් බෙග්ගේ” කැරැල්ල ඇති වූ කාලයේ දී “සිංකියෑං” පළාතට හා ඇෆ්ගනිස්ථානයට කෙමෙන් එල්ල වෙමින් පැවතින. උතුරින් එල්ල වූ රුසියානු බලපෑම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය ආරක්ෂිත ප්‍රදේශයක තත්වයට පත් කිරීමට උත්සාහ කරන ලදි. තවද නැ‍‍‍ගෙනහිරින් එල්ල වූ ප්‍රංශ ආධිපත්‍යයට විරුද්ධව බුරුමය ද ආක්‍රමණය කර ඈඳා ගන්නා ලදී. ඉරානයේ (පර්සියාව) අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට බ්‍රිතාන්‍යයන් උත්සාහ කළ අතර අරාබි වෙරළෙහි හා පර්සියානු බොක්කෙහි ද ටිබෙටයේ හා භූතානයේ ද බ්‍රිතාන්‍ය බලය ව්‍යාප්ත කර ලීය. 1875න් පසු බ්‍රිතාන්‍ය ඉන්දියාව දකුණු ආසියාවේ දේශපාලන ක්‍රමයක මධ්‍යස්ථානය බවට පත් විය.


3.2. චීනය.

20 වන සියවස වන විට වරින් වර බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මන්, ඇමරිකන්, රුසියන්, පෘතුගීසි, ජර්මන්, ඉතාලි යන යුරෝපා ජාතීන්ට චීනයේ වරායන්, නගර, ගංගා විවෘත කිරීමට සිදු විය. චීනය තුළ ඇමරිකා වෙළඳුන්ට, වෙළඳ කටයුතුවල නියැලීමට හා අනෙක් රටවලට මෙන් චීනයේ ප්‍රදේශවලට විශේෂිත අයිතිවාසිකම් නොදීමත්, බටහිර රටවල බලපෑම උත්සන්න වී චීනය බටහිර රටවලට අවශ්‍ය ලෙස කොටස් කිරීමට සැරසෙන බවත් දුටු ඇමරිකාවේ රාජ්‍ය ලේකම් වූ ජෝන් හේස් විසින් 1899 දී විවෘත ද්වාර ප්‍රතිපත්තිය හෙවත් විවෘත කිරීමේ ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව චීන වරායන් වල රේගුව බටහිර රටවලට පැවරුණු අතර බටහිර රටවල අභිමතය අනුව බටහිර භාණ්ඩ වලට අඩු තීරු බදු පනවා, බටහිර නිලධාරීන් විසින් ම වරායන් පාලනය කරන ලදි. නිදහස්, විවෘත වරායන් වලට චීන නීති අදාළ නොවූ අතර අදාළ ප්‍රදේශය අයිති බටහිර රටේ නීතිය පමණක් පිළිගැණින. එමගින් චීනය බරපතළ ලෙස සූරා කෑමකට ලක් වුවත් චීනය මුළුමනින්ම යටත් කර ගැනීම හා චීනයේ සමස්ත ස්වාධිපත්‍ය අහිමි කිරීමෙන් බොහෝ දුරට බේරා ගැනීමට හැකිවිය. 


මිෂනාරීවරු චීනය පුරා කතෝලික ආගම හා බටහිර සංස්කෘතිය ව්‍යාප්ත කරන ලදි. මෙම ක්‍රියාකාරකම් වලට ප්‍රකෝප වූ චීන ජනයා අවසානයේ ඉවසිය නොහැකි තැන බටහිර වෙළදාමට, බටහිර සිරිත් විරිත් වලට, කතෝලික මිෂනාරිවරුන්ට හා ‍කතෝලික ආගම වැළඳ ගත් චීන ජනයාට විරුද්ධව ප්‍රචණ්ඩත්වය මුදා හරින ලද අතර එය 1900 දී ඇති වූ ‍බොක්සර් කැරැල්ල ලෙස හඳුන්වනු ලැබේ. එම බොක්සර් කැරැල්ල තුළ සංස්කෘතික හා ආර්ථික විරෝධතාවක ලක්‍ෂණ තිබුණි. කැරලි කරුවෝ කතෝලික පල්ලි, විනාශ කරමින් බටහිර තානාපති කාර්යාලයන් දෙමසක් පමණ වටලා සිටින ලදි. මෙම අවස්ථාව හේතුවක් කර ගනිමින් බටහිර රටවල් චීනයට සම්බාධක පැනවූ අතර රුසියාව මැන්චූරියාව ආක්‍රමණය කල අතර ජර්මනිය ෂැංටුන් අර්ධද්වීපයත්, බ්‍රිතාන්‍යයන් වේහායිවෙයි වරාය හා යැංසි මිටියාවතටත් අයිතිවාසිකම් ඉදිරිපත් කරන ලදි. තවද බටහිර ඒකාබද්ධ හමුදා පීකිං හී චීන රජ මාලිගය ආක්‍රමණය කරමින් කොල්ල කා නින්දිත ගිවිසුමකින් චීනයේ වරායන්වල හා ප්‍රදේශවල පාලන බලය ලබා ගන්නා ලදි.


චීනයේ දුර්වල කම දුටු ජපානය ද චීනයට නාමික වශයෙන් යට හත් බව දැක්වූ කොරියාව කෙරෙහි අයිතිවාසිකම් ඉදිරිපත් කරමින් 1895 දී ආක්‍රමණයක් දියත් කල අතර නවීන අවි ආයුධ වලින් සමන්විත වූ ජපාන හමුදා හමුවේ සාම්ප්‍රදායික චීන හමුදා අන්ත පරාජයක් ලැබීය. ඒ අනුව ඇති කර ගත් ගිවිසුමෙන් කොරියාව පිළිබඳ ඇති අයිතිය අතහැර දැමීමටත්, විශාල යුද වන්දියක් ද ජපානයට ගෙවමින්, සිය වෙරළබඩ ප්‍රදේශ රැසක හිමිකාරත්වය ද ජපානයට පවරා දීමට චීනයට සිදු විය. ඒ අනුව ජපානය 1910 දී කොරියාව ඈඳා ගන්නා ලදි.


චීනයේ බටහිර අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්ති හේතුවෙන් තම රට විනාශ වන බව දුටු චීන ජනයා ජාතිවාදී ව්‍යාපාර සමග එකතු වී වැඩ වර්ජන කිරීම හා විදේශීය භාණ්ඩ වර්ජනය කිරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදි. මෙයට බිය වූ බටහිර රටවල් වල බලපෑම යටතේ මැන්චූ රජය පුළුල් මර්දනයක් දියත් කරන ලදි. නමුත් එහි ප්‍රතිඵලය වූවේ බටහිර අධිරාජ්‍ය ගැති මැන්චූ රජයට විරුද්ධව 1911 දී කැරැල්ලක් ඇති වී රජ පරපුර බලයෙන් පහ කිරීමයි.


3.3. ජපානය.

19 වන සියවසේ අඟ බාගය පමණ වන තෙක් ම ජපානය බටහිර ජාතීන්ට විවෘත නොවීය. මෙය බටහිර රටවලට නුරුස්සනා කාරණයක් වූ අතර අවසානයේ පැසිෆික් සාගරයේ ප්‍රබලයන් ‍ලෙස වර්ධනය වූ ඇමෙරිකාවේ බල පෑම යටතේ තම හුදකලා භාවය අත හැර දැමීමට ජපානයට සිදුවිය. ඒ අනුව 1853 ජූලි මස 8 දා ඇමරිකානු ජනාධිපති වූ ෆිල්මොර්ගේ ලිපියක් රැගෙන, කොමදෝරු පෙරී ජපානයේ උරගා අසල යොකොහමා වරායට පැමිණ, එම ලිපියට සතුටුදායක පිළිතුරක් ලබා ගැනීමට නැවත පැමිණෙන බව දන්වන ලදි. එමගින් ජපාන ජනතාව හා රජය බිය ගැන්වීමට ඇමරිකානුවන්ට හැකි විය. එම ලිපියට අනුව ජපානය සහ ඇමරිකාව අතර වෙළඳ ගිවිසුමක් අති කර ගැනීමට බලපෑම් සහිත යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එයට කැමති වීමට ජපානයට සිදු විය. පෙරීගේ පැමිණි ම ජපානය තුළ දිගු කාලීන ප්‍රතිඵල ඇති කිරීමට සමත් වූ බව ජපාන ඉතිහාසය අධ්‍යනයේ දී පෙනී යයි.


මෙම ගිවිසුම් හේතුවෙන් විදේශිකයන්ට රට තුළ පදිංචි වීමට ද, නිදහසේ රට තුළ සංචාරය කිරීමට ද, නිදහස් වෙළඳ කටයුතු කිරීමට ද ඉඩප්‍රස්ථාව ඇති විය. රට අනවශ්‍ය ලෙස බටහිර ග්‍රහණයට ලක් වෙන බව දුටු ජපාන ජනතාව රටේ පාලන බලය ඉසිලූ ෂෝගුන්වරුට විරුද්ධව පෙළ ගැසුණු අතර ඒ හමුවේ ෂෝගුන්වරුගේ බලය බිඳ වැටී මෙයිජිවරුන්ට බලය ලැබෙන ලදි. මෙය මෙයිජි විප්ලවය නැතහොත් මෙයිජි පුනරුත්තාපනය ලෙස හඳුන්වනු ලැබේ. 


මෙයිජිවරු සාම්ප්‍රදායික ජපාන සමාජයේ තිබූ දුර්වලතා අවබෝධ කර ගත් අතර බටහිර රටවල තිබෙන්නා වූ දියුණුව ලබා ගැනීමේ අදහසින් රට තුළ දේශපාලන, ආර්ථික හා සමාජීය ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරන ලදි. තම අධිරාජ්‍යයාගේ පූර්ණ අධිකාරි බලය පවරා ගත් මෙයිජිවරු ජපානය නවීකරණය කරන ලදි. සුළු වෙනස්කම් කීපයකින් පසුව පූර්ණ අධිකාරි බලය අධිරාජ්‍යයා වෙත පැවරුණු බටහිර දේශපාලන ක්‍රමයට සමාන (එංගලන්තයේ ආණ්ඩුක්‍රමයට) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1889දී ඇති කරන ලදි.


බටහිර යුරෝපා රටවල දියුණුව රඳා ඇත්තේ එ රටවල් සතු විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව මත බව තේරුම් ගත් මෙයිජිවරු ජපාන සිසුන්ට බටහිර රටවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දී එම රටවල දැනුම ජපානය තුළට ගෙන ඒම කටයුතු කළ අතර විදේශීය කාර්මිකයන් හා විද්‍යාඥයන් ද ජපානයට ගෙන්වමින් දැනුම ලබා ගන්නා ලදි. තවද බටහිර රටවලින් ආදර්ශ හා තාක්ෂණය ලබාගෙන ජපාන හමුදාව ද නවීන යුධ උපකරණවලින් සමන්විත හමුදාවක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදි. ජපානය නවීකරණය කිරීමෙන් අනතුරුව සෙසු බටහිර බලවතුන් මෙන් අධිරාජ්‍යයක් ඇති කිරීමේ අශාවක් ජපානයට අති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කොරියාව අක්‍රමණය කරමින් චීනයට ද, මැන්චූරියාව ආක්‍රමණය කරමින් රුසියාවට ද තම ප්‍රබලත්වය පෙන්නුම් කිරීමට ජපානයට හැකි විය. මේ හේතුවෙන් 20 වන සියවස ආරම්භ වන විට ලෝක බලවතෙකු ලෙස ජපානය පිළිගැනීමට බ්‍රිතාන්‍ය හා ඇමරිකාව ඉදිරිපත් වූ අතර 1902දී ඇති කරගත් ආංගල-ජපන් ගිවිසුම මගින් එය ස්ථීර විය. තම රට කෙතරම් බටහිර කරණයට ලක් කරමින් නවීනත්වයට පත් කළ ද තම දේශීය අනන්‍ය තා තව දුරටත් ආරක්‍ෂා කර ගැනීමට ද මෙයිජවරු උනන්දු විය.



3.4. අග්නිදිග ආසියාව.

අතීතයේ සිට ම අග්නිදිග ආසියානු ප්‍රදේශ වල චීන ආධිපත්‍ය එම ප්‍රදේශවල බොහෝමයක් රාජ්‍ය පිළිගන්නා ලදි. ලාඕසය, කාම්බෝජය, අනෑමය, කොචින් චීනය වැනි ප්‍රදේශ ඉන් ප්‍රමුඛ විය. නමුත් බටහිර රටවල බලපෑම හමුවේ චීනය ක්‍රමයෙන් දුර්වල වූ අතර එය ප්‍රයෝජනයට ගත් ප්‍රංශය, 3වන නැපෝලියන්ගේ කාලයේ දී කොචින් චීනය, කාම්බෝජය, ලාඕසය හා ඒ අවට ප්‍රදේශ වල තම බලය ව්‍යාප්ත කරන ලදි. 1848-1870 අතර කාලයේ දී අග්නිදිග ආසියාවේ ප්‍රංශ අධිරාජ්‍ය ව්‍යාප්තිය ඉතා ප්‍රබලව සිදු විය. ඒ අනුව ඇනෑමය හා ටොන්කිනය චීනයෙන් ලබා ගැනීමටත්, සියම් දේශයට අයත් ප්‍රදේශ ආක්‍රමණය කරමින් තම ඉන්දු චීන ප්‍රදේශ ව්‍යාප්ත කර ගැනීමටත් ප්‍රංශයට හැකි විය.


නමුත් අධිරාජ්‍යවාදී ප්‍රංශය ගෙන ගිය ප්‍රතිපත්ති හේතුවෙන් ඉන්දු චීනය තුළ අසහනකාරී තත්වයක් උද්ගත විය. මෙය තේරුම් ගත් ප්‍රංශය, ඉන්දු චීනයට දේශපාලන ප්‍රතිසංස්කරණ ලබා දෙමින් තත්වය සමනය කිරීමට උත්සහ කරන ලදි. නමත් එය ප්‍රමාණවත් නොවූ අතර ජපානය විසින් රුසියාව පරාජයට පත් කිරීමත් සමඟ ඉන්දු චීන වැසියන්ගේ ජාත්‍යාලය තව දුරටත් වර්ධනය වන්නට විය. මේ හේතුවෙන් ඉන්දු චීනයේ තරුණ ප්‍රජාව වැඩි වශයෙන් ජපානයේ අධ්‍යාපනය ලැබීමට ඉදිරිපත් වූ අතර නැවත තම රටට පැමිණීමෙන් පසු ප්‍රංශ විරෝධී ව්‍යාපාර ආරම්භ කරන ලදි. 


දෙවන ලෝක යුද්ධ වකවානුව වන විට යුරෝපයේ ප්‍රංශ බලය අභියෝගයට ලක් වී තිබුණු අතර ඉන්දු චීනය තුළ ද ප්‍රංශ බලය ජපාන බල ව්‍යාප්තිය හමුවේ ක්ෂය වී යන ලදි. 1941 වන විට ජපානය ප්‍රංශය සතු ප්‍රදේශ ආක්‍රමණය කරමින් තම ග්‍රහණයට ගන්නා ලදි.


3.5. සියම.

සියම හෙවත් තායිලන්තය අතීතයේ සිට ම චීන අධිරාජ්‍ය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලදි. ඒ හේතුවෙන් ම අග්නිදිග ආසියානු ප්‍රදේශ වල බටහිර යුරෝපා රටවල බලපෑම වර්ධනය වීමේ දී පවා තම ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට හැකි විය. නමුත් චීනය දුර්වල වීමත් සමඟ අග්නිදිග ආසියාව තුළ සියම් ආධිපත්‍ය අභියෝගයට ලක් විය. විශේෂයෙන් ම අග්නිදිග ආසියාවේ ප්‍රදේශ වලට ප්‍රංශය දැක්වූ ගිජුකම මීට හේතු විය. ප්‍රංශය විසින් කාම්බෝජයට තම බලපෑම යොමු කිරීමත්, කාම්බෝජ රජු සියමෙන් ආධාර පැතීමත් සමග සියම හා ප්‍රංශය අතර අර්බුද කාර තත්වයක් ඇති විය. නමුත් සාකච්ඡා මාර්ගයෙන් ගිවිසුමකට එළඹීම මගින් තාවකාලික ගිවිසුමකට පැමිණියත් ප්‍රංශය තම ආක්‍රමණික ප්‍රතිපත්ති අත් නොහරින ලදි. 


එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශය සියම සතු දකුණේ විශාල ප්‍රදේශයක් ආක්‍රමණය කරන ලද අතර සියමට ඉතා පරාධීන කොන්දේසි රැසකට එකඟ වීමට සිදු විය. ප්‍රංශය සමස්ත සියම ම ආක්‍රමණය කිරීමට උනන්දු වුවත් බ්‍රිතාන්‍යයන්. ප්‍රංශය සමඟ අග්නිදිග ආසියාව තුළ සෘජු දේශ සීමාවකට අකමැති වීම මත තව දුරටත් සියම, බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශය අතර ආරක්‍ෂිත රාජ්‍යයක් ලෙස පවතින ලදි. තවද එකල සියමේ රජු වූ  චූලාලන්කෝන් රජුගේ දක්ෂතාව මත සියම තුළ ජපානයේ මෙන් දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ ඇති කරමින් නවීන රාජ්‍යයක් ලෙස ගොඩ නංවන ලදි. තවද ඔහු විසින් 1895 දී සියම තුළ ව්‍යවස්ථාදායක සභාවක් හා කැබිනට් මණ්ඩලයක් ද, දණ්ඩ නීති සංග්‍රහයක් ද ඇති කරන ලදි. 


නවීන රාජ්‍යයකට අවශ්‍ය වන දුම්රිය මාර්ග පද්ධතියක්, විදුලි පද්ධතියක්, තැපැල් ක්‍රමයක් විදුලි හා දුරකතන පද්ධතියක් හා නවීන මුදල් ක්‍රමයක් ද රට තළ ඇති කරන ලද්දේ චූලාලන්කෝන් රජු ය. බ්‍රිතාන්‍යන්ගේ හා ප්‍රංශයන්ගේ බලලෝභී ප්‍රදේශ ව්‍යාප්තිය හමුවේ විශාල ලෙස ප්‍රදේශ අහිමි කර ගනිමින් පවා සියමේ ස්වාධීනත්වය රැක ගැනීමට ඔහුට හැකි විය. 1වන ලෝක යුද්ධයේ දී යුරෝපය තුළ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ බල අභියෝගයට ලක් වීම මගින් පෙරදිග ඔවුන්ගේ ව්‍යාප්තිය අඩාල වීම ද සියමේ වාසියට කරුණක් විය. මෙය තවදුරටත් වර්ධනය කළ 3වන රාම රජු 1917 දී ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීම මඟින් වර්සෙලස් සම්මේලනයේදී සියමට ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක් හිමි කර දීමට සමත් විය.


4. සමාලෝචනය.


මානව කටයුතු අතරින් යුරෝපීය ජාතීන්  15 වන සියවසේ දී ඉමක් කොනක් නොපෙනෙන මහ සයුර තරණය කරමින් තමන් නොදන්නා නොයෙකුත් ප්‍රදේශ ගවේෂණය කරමින් ආසියාවට පැමිණි ම එක්තරා අකාරයකට මානව ඉතිහාසය වෙනස් කල සාධකයක් විය. මෙම සොයා ගැනීම හේතු කොට ගෙන මිනිසාගේ ගමන් මඟ නොසිතූ අයුරින් පරිවර්තනයකට ලක් විය. මුල් කාලයේ දී එක් එක් ජාතීන්ට අවශ්‍ය වූවේ වාණිජ බලය තම තම තමන්ගේ රාජ්‍යවලට අයත් කර ගැනීමයි. පසුව මෙම දේශපාලන හා ආගමික බලය ව්‍යාප්ත කර ගැනීම දක්වා වර්ධනය විය.


දේශ ගවේෂණය හෝ සංචාරය යන කුමන අංශයක දී වුවද එම පරමාර්ථය බොහෝ විට මුදුන් පත් කර ගනු ලැබුවේ ඝාතන, පැහැර ගැනීම්, ගිනි තැබීම් මාර්ගයෙනි. බටහිර ජාතීන් ආසියාවට පැමිණියේ දේශ ගවේශනය හේතුවෙන් වන බව ද පසුව එම ව්‍යාපාරය පිළිවෙළින් පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ හා ඉංග්‍රීසීන් යන ජාතීන්ට අයත් වූ බව පිළි ගැනීමයි. සැබෑ ලෙස ම දේශ ගවේෂකයන් ලෙස හැඳින්වුව ද මෙම සියලු ම ජාතීන්ගේ අරමුණ වූවේ ආසියාවේ වස්තුව කොල්ලකා තම රටවලට ගෙන යාමයි. පෙරදිගට පැමිණි පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ හා ඉංග්‍රීසි ජාතිකයෝ කුළුබඩු හා නොයෙක් වටිනා භාණ්ඩ වෙනුවෙන් මිනිස් ජීවිත දහස් ගණනක් බිලි ගත් බව ඉතා ප්‍රසිද්ධ කරුණකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ආනෝලඩ් නැමැති පුවත් පත් කලා වේදියා විසින් රැන්ගූන්හීදී පලකරන ලද “බ්‍රිතාන්‍යය යුක්තිය විහිළුවක් බවට පත් කල අවස්ථාවක්” නැමැති ලිපිය මඟින් හෙලි කරන ලද බ්‍රිතාන්‍ය අධිකරණ විනිශ්චයකාර වරයෙකුගේ නොමානා හැසිරීමත්, එයට විරුද්ධව කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් නොගෙන එය වාර්තා කළ ආනොල්ඩ් නම් මාධ්‍යවේදියාට දඬුවම් කිරීමත් එක් උදාහරණයක් පමණි. 


මුල්කාලීන ආසියාවට පැමිණි දේශගවේෂකයන්ට වඩා 15 වන සියවසෙන් පසුව පැමිණි වාර්තාකරුවන් හා ඉතිහාසඥයන් ඉතා විකෘති තොරතුරු දක්වා ඇති බව පෙනී යයි. බොහෝ විට පසු කලෙක බොහෝමයක් යුරෝපීය ග්‍රන්ථ රචකයන්  ස්වදේශිකයන් හඳුන්වා ඇත්තේ ම්ලේච්ඡයන් හා නොදියුණු ජනතාවක් ලෙසිනි.


‍ආසියාතික රටවල බලය ලබා ගැනීමේ දී එම රටවල ජනතාවගේ අසමගිය හා එකිනෙකාට එරෙහි කටයුතු කිරීම, යුරෝපීයයන්ට එම රටවල බලය ලබා ගැනීමටත් එම බලය තහවුරු කර ගැනීමටත් උදව් වූ බව පනික්කාර්ගේ ආසියාව හා බටහිර ආධිපත්‍ය නැමති කෘතියෙන් ඉතා පැහැදිලි වේ. පෘතුගීසීන් ඉන්දියාවේ බලය ලබාගැනීමේ දී මුස්ලිම් රාජ්‍යය වලට විරුද්ධව කටයුතු කිරීමට හින්දු රාජ්‍යවල සහයෝගය ලබා ගන්නා ලදි. වස්කොද ගාමා ඉන්දියාවේ කැලිකට් වරායට පැමිණ “අප කුළු බඩු සහ ක්‍රිස්තියානීන් සොයා පැමිණියෙමු” බව ප්‍රකාශ කල බව ප්‍රකට ය. සැබෑ ලෙස ම යුරෝපීය ජාතිකයන් පෙරදිගට පැමිණියේ එක් අතකින් කඩුවක් හා අනෙක් අතින් බයිබලය ගෙන බව ප්‍රසිද්ධ කියමනකි. පෙරදිග ප්‍රෙස්ටර් ජෝන් නම් ක්‍රිස්තියානි රජෙක් සිටින බවට බටහිර ජාතිකයන් විශ්වාස කල අතර ඔහුත් සමඟ සබඳතා ඇති කර ගතහොත්, පෙරදිග වූ ඉස්ලාම් ආධිපත්‍ය විනාශ කළ හැකි බව පිළිගන්නා ලදි. 

පෙරදිග ලෝකයේ තිබෙන බවට විශ්වාස කල රත්තරන්, මුතු මැණික් හා කුළුබඩු පිළිබඳ යුරෝපා ජාතීන් උමතු වී සිටි බව පෙනී යයි. බොහෝ විට එලෙස සිදු වන්නට ඇත්තේ මාර්කෝ පෝලෝගේ ගමන් විස්තරය හේතුවෙන් විය හැක. තවද ලෝකය ගෝලාකාර බව ප්‍රසිද්ධියේ පිළිනොගත්තත් වැඩි දෙනෙක් ලෝකය ගෝලාකාර බව විශ්වාස කරන ලදි. එසේ ලෝකය ගෝලාකාර නම් බටහිරට යාත්‍රා කිරීමෙන් චීනයට හා ඉන්දියාවට පැමිණිය හැකි බවට යුරෝපීය ජනතාව කල්පනා කරන්නට විය. තවද ජොහැන්නස් කෙප්ලර් විසින් පෘථිවිය ගෝලාකාර බවත්, සූර්යයා වටා පෘථිවිය භ්‍රමණය වන බවත් සොයා ගැනීමත් සමඟ නාවික ගමනා ගමනය සඳහා යුරෝපීයයන් තුළ නව බලාපොරොත්තු ඇතිවන්නට ද විය.


අභිනව නාවික ගමන් හේතුවෙන් ලෝක ඉතිහාසය නව පරිච්ඡේදයකට අවතීර්ණ විය. මධ්‍යධරණි සමුද්‍රාසන්න රාජ්‍යවල අභිවෘධියට හේතු වූ යුරෝපීය ශිෂ්ටාචාරය උතුරු හා අපරදිග ප්‍රදේශ කරා ක්‍රමයෙන් ප්‍රවිෂ්ට විය. තවද සාගර සමුද්‍ර මාර්ගය ආධාරයෙන් විශාල පෘථිවි තලයේ ඉතාමත් දුර බැහැර ප්‍රදේශවලට පවා ලගාවීමට හැකි බව අවබෝධ විය. ආසියා, අප්‍රිකා හා ඇමරිකා මහද්වීපවලට මහා මාර්‍ගයක් බදු වූ සාගරයට මුහුණ ලා ඇති ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය, ප්‍රංශය හා එංගලන්තය ආදී බටහිර යුරෝපීය රාජ්‍යයන්වලට එම රටවල ස්වාභාවික පිහිටීමෙන් ඉමහත් ප්‍රයෝජන ලබා ගැනීමට හැකි විය.


17වන සියවස ආරම්භ වන විට යුරෝපීය යටත් විජිතවාදයේ නව අදියරක උදාවක් දැකිය හැකි විය. සම්ප්‍රදායික අධිරාජ්‍යය බලවතුන් වූ ස්පාඤ්ඤය හා පෘතුගාලය වෙනුවට සමාගම් ආකාරයෙන් සංවිධානය වූ ඉංග්‍රීසි, ලන්දේසි හා ප්‍රංශ ජාතික බල ව්‍යාප්තියක් ආසියානු ප්‍රදේශවල මෙන් ම ලෝකය පුරාම ඇති වන ආකාරයක් දැකිය හැකිය. මාක්ස්වාදයට අනුව ඉහතින් දැක්වූ පැරණි යටත් විජිතවාදය පූර්ව ධනවාදී වන අතර නූතන යටත් විජිත වාදය බටහිර යුරෝපයේ ධනවාදයට සමාන්තරව පිහිටුවා ගන්නා ලැබූවකි. නූතන යටත් විජිතවාදය තමන් විසින් යටපත් කර ගන්නා ලද ප්‍රදේශවලින් පඬුරු, භාණ්ඩ හා ධනය සූරාකෑමට අමතරව එය යටත් විජිතවල ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරමින් වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධතාවක් ගොඩනඟා ගන්නා ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස යටත් විජිත ස්වාමිවරු සහ යටපත් කරන ලද රටවල් අතර මානව සහ ස්වාභාවික සම්පත් ගලා යාමක් සිදුවේ. 


“ආක්‍රමණයන්ගෙන් තොරව අධිරාජ්‍යයක් ගොඩ නැගීම කිසිවිටකත් නුපුළුවන. එම අධිරාජ්‍යවාදීන් මහගු යැයි සිතන තම ශිෂ්ටාචාරය, බලයෙන් යටත් කර ගත් ප්‍රදේශ වල වූ දුබල ජාතීන්ට වදෙන් පොරෙන් දීමට තැත් කරති”  යනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේතුවේ මන්ත්‍රී කෙනෙකු වූ ද, බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශවලට නිදහස ලබදීම සම්බන්ධයෙන් ප්‍රබලව හඩ නැගූ එංගලන්ත කම්කරු පක්ෂයේ සාමාජිකයෙකු හා සුප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘ වරයෙකු ද වන ජේ. ඇෆ්. හොරබින්  මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව සැබෑ ලෙස ම පෙරදිග යුරෝපීය ජාතිකයන්ගේ ප්‍රතිපත්ති බොහෝ විට විනාශකාරී වූ බව පෙනී යයි. ඔවුන්ට අවශ්‍ය වූවේ කෙසේ හෝ පෙරදිග වස්තුව මංකොල්ල කෑම පමණි. ඒ සඳහා ඕනෑම ම්ලේච්ඡ ක්‍රියාවක් කිරීමට ඔවුන් සැදී පැහැදී සිටින්නට විය. යුරෝපීය ඉතිහාසඥයන් සඳහන් කර ඇති ආකාරයට “පෙරදිග වාසය කර අත්තේ නොදියුණු ම්ලේච්ඡයන් වන අතර ඔවුන් ශිෂ්ට කර වීම සිදු වූවේ යුරෝපා ජාතීන් අතින්ය.” නමුත් පෙරදිග වැසියන් ශිෂ්ට කර වීමේ දී යුරෝපීය ජාතිකයන් අනුගමනය කළ අශිෂ්ට හා ම්ලේච්ඡ ක්‍රියා ඔවුන් සාධාරණීකරණය හෝ අමතක කර දමා ඇත. 


කෝටිපතියෙක්, මූල්‍ය රජෙක් හා ඉංග්‍රීසි-බූවර් යුද්ධයට වගකිය යුත්තා වූ සිසිල් රෝඩ්ස් 1895දී පල කරන ලද අධිරාජ්‍යවාදී අදහස්, ඔහුගේ ම කිට්ටු මිතුරෙකු වූ පුවත් පත් කලාවේදි ස්ටෙඩ් විසින් දක්වා ඇත. එය සිසිල් රෝඩ්ස්ගේම වචනයෙන් මෙසේය:, “ඊයේ ලන්ඩන් නගරයේ ඊස්ට් එන්ඩ් පෙදෙසේ සිටි මම විරැකියා ගත වූවන්ගේ රැස්වීමක් දුටුවෙමි. මම ඒ උමතු කතා වලට සවන් දුනිමි. ඒවා හුදෙක් පාන්! පාන්! කියමින් කරන හඬ නැගීමක් විය. මා ආපසු නිවසට යන ගමන් මෙම දර්ශනය මෙනෙහි කළෙමි. අධිරාජ්‍යවාදයේ වැදගත්කම වෙන කවරදාකටත් වඩා හොඳින් මට එවිට අවබෝධ විය....මා අගේ කරන අදහස, සමාජ ප්‍රශ්නයට විසඳීමකි. එක්සත් රාජධානියේ 4,00,00,000ක් ජනතාව ලේ වගුරන සිවිල් යුද්ධයකින් මුදා ගැනීම සඳහා, යටත් විජිතවාදී රාජ්‍යය පාලකයන් වන අපි අතිරික්ත කරන ජනගහනය පදිංචි කර වීමටත්, ෆැක්ටරි හා ආකරවල නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා අළුත් වෙළඳ පොළවල් සැපයීමටත්, අළුත් රටවල් අත්පත් කර ගත යුත්තෙමු. මා නිතරම කියා තිබෙන පරිදි අධිරාජ්‍යය යනු පාන් සහ බටර් පිළිබඳ ප්‍රශ්නයකි. සිවිල් යුද්ධයක් ඇතිවීම වැළැක්වීම ඔබ අපේක්‍ෂා කෙරේනම්, ඔබ අධිරාජ්‍යවාදීන් විය යුතුය”.  මෙම ප්‍රකාශය තුළින් මනාව පැහැදිලි වන්නේ ද බටහිර යටත් විජිත බලවතුන්ගේ තිබූ අධිරාජ්‍යවාදී අපේක්‍ෂාවන්ය. 


‍පෙරදිග රාජ්‍යයන්වල ඉතා වටිනා කලා කෘති රැසක් වර්තමානයේ දී පවා පවතින්නේ බටහිර රටවල කෞතුකාගාරවල ය. ලංකාවේ විශිෂ්ටතම නිර්මාණයක් වන මහායානික සම්ප්‍රදායට අයත් තාරා දේවියගේ ලෝකඩ ප්‍රතිමාව ඇත්තේ බ්‍රිතාන්‍යයේ ය. ඉන්දියාවේ සාංචි විහාරයේ ඉතිරි ව ඇති පාෂාණයෙන් නිම කළ තොරණ් දෙකෙන් සම්පූර්ණ පාෂාණ තොරණක් ම ඇත්තේ ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයක ය. නයිල් නිම්න ශිෂ්ටාචාරයට අයත් පිරමීඩවල තිබූ පාරාවෝ රජවරුන්ගේ මමී හා අනෙකුත් වස්තුව වැඩිපුර ඇත්තේ ඊජිප්තුවේ නොව ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ කෞතුකාගාරවල ය. එසේ මංකොල්ල කන ලද වස්තුව නැවත බාර දීම ශිෂ්ට සම්පන්න යැයි පවසන යුරෝපීයයෝ තවමත් ප්‍රතික්ෂේප කරයි.


ඉන්දියාවේ බ්‍රිතාන්‍ය බලය දීර්ඝ කරනුවස් බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය (Divide and Rule) හඳුන්වා දෙන ලද අතර පළමු ව ජාතීන් අණුව හින්දු හා මුස්ලිම් ලෙස මන්ත්‍රී කොට්ඨාශ ඇති කරන ලදි. ඒ හේතුවෙන් ම අනාගතයේ දී බ්‍රිතාන්‍ය ඉන්දියාව, ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශය ලෙස බෙදී වෙන් වීමට අවශ්‍ය අඩිතාලම ද සකස් විය. මෙම පසුබිම සෑම යටත් විජිතයක ම දැකිය හැකි විය.(ලංකාවේදී ද එය මනාව පැහැදිලි වේ) මෙම සෑම කරුණක් ම ඉතා හොඳින් කේ. එම්. පනික්කාර්ගේ ආසියාව හා බටහිර ආධිපත්‍ය යන කෘතියෙන් අවබෝධ කර ගත හැක.


කේ. එම්. පනික්කාර් යනු ඉන්දියාවේ සිටි ඉතා විශිෂ්ට ගණයේ රාජතාන්ත්‍රිකයෙකු මෙන් ම ඉතිහාසඥයෙකි. ඔහු ඉන්දියාවට නිදහස ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කළ පිරිස අතරේ සිටි ප්‍රමුඛයෙක් වන අතර ඉන්දියාව නිදහස ලබා ගත් පසු තම විදේශ ප්‍රතිපත්ති කෙසේ සකස් කළ යුතු දැයි අවධාරණය කරන ලද අනාගත වක්තෘවරුන්ගෙන් කෙනෙකි. ඉන්දියාව නිදහස ලබා ගැනීමට පෙර සිට ම, ඉන්දියාව නිදහස ලබා ගත් පසු කුමක් අනුගමනය කළ යුතු දැයි නිශ්චය කිරීමට තරම් දැනුමක් හා තීක්‍ෂණ බුද්ධියක් ඔහු සතු විය. ඉන්දියාව නිදහස ලබා ගැනීමේ දී ලංකාව ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් විය යුත් බව ඔහුගේ මතය විය. මන්ද යත් ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව එය ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක පිහිටා තිබීමත්, එහි බලපෑම ඉන්දියාවට සෘජු වම එල්ල වන බවත් ඔහුගේ මතය විමයි. එය සැබෑවක් බව අතීතයේ සිට ම පෙනී යයි. මන්ද යත් ඉන්දියාව යටත් නර ගත් සෑම යටත් විජිත බලයක් ම ඉන්දියාවේ බලය තහවුරු කර ගැනීම සඳහා ලංකාවේ පිහිටීම යොදා ගත් ආකාරය ඉතා පැහැදිලිව පෙනී යාමයි. 


තවද යම් ආකාරයකට ලංකාව නිදහස ලබා ගන්නා විට ඉන්දියානු රාජ්‍ය, ඉන්දියාව හා පකිස්ථානය ලෙස නොබෙදී, වාර්ගික ආරවුල්වලින් තොර ව ශක්තිමත් ව තිබුණේ නම් ලංකාවේ හිමිකාරිත්වය ඉන්දියාවට හිමි වීමට ඉඩ ප්‍රස්ථාවක්ද තිබුණු බව උපකල්පනය කල හැකි ය. මන්ද යත් හොංකොං දේශය නිදහස ලබා ගන්නා විට(1997දී) චීනය කලාපීය බලවතකු ලෙස ප්‍රබලව සිටීම මත එය(හොංකොං) චීනයට පවරා දීමට බ්‍රිතාන්‍යයට සිදු වීමයි. (හොංකොං දේශය බ්‍රිතාන්‍යයන් විසින් 99ව වර්ෂයකට බදු පදනම මත ලබාගෙන තිබුනත්, එම අවස්ථාව වන විට(1997) චීනය දුර්වල රාජ්‍යයක් වූවා නම් මෙම තීරණය බ්‍රිතාන්‍යයන් විසින් අනිවාර්යයෙන් ම පැහැර හරින බව ඔවුන්ගේ පෙර ක්‍රියාකාරකම් හා සසඳන විට උපකල්පනය කළ හැකි ය.)


පනික්කාර්ගේ ආසියාව හා බටහිර ආධිපත්‍ය කෘතියේ පළමු වන කොටස් තුනේ දී ඔහු වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඉන්දියාව, චීනය හා ජපානය වෙතට ය. ඔහු මෙම කෘතිය රචනා කරන කාලය එනම් 1953 දී මෙම රාජ්‍යයන් තුන ම එතරම් ප්‍රබල රටවල් නොවීය. නමුත් පනික්කාර් විසින් එම රටවල් වල තිබෙන වැදගත්කම ඉතා හොඳින් දැක තිබීම මත තම කෘතියේ දී එවා පිළිබඳ අවධාරණය කර තිබෙන ආකාරයක් දැකිය හැක. එය නිවැරදි බව වර්‍තමානයේ දී හොඳින් ම පෙනී යයි. මන්ද යත් වර්‍තමානය වන විට ලොව ආර්ථික ශක්තිය අතින් ලොව ප්‍රබලතම රාජ්‍යයන් වන්නේ ද මෙම රටවල් ය. එනම් එම රාජ්‍යයන් අනාගතයේ දී ප්‍රබලව නැගී සිටින ආකාරයක් පනික්කාර් විසින් දැක ඇති බව ඔහුගේ ආසියාව හා බටහිර ආධිපත්‍ය කෘතියෙන් පෙනී යයි.


තවද ඔහු විසින් අග්නිදිග ආසියාවේ පිහිටි ඉතා වැදගත් රාජ්‍යයන් වන සියම හා බුරුමය පිළිබඳවද ඉතා වැදගත් තොරතුරු පනික්කාර් විසින් තම කෘතියෙන් ඉදිරිපත් කරයි. සියමේ සාර්ථකත්වයට හා බුරුමයේ අසාර්ථකත්වයට හේතු වූ කරුණු ඉතා පැහැදිලිව තේරුම් ගැනීමට පාඨකයාට මෙම කෘතිය මගින් හැකිවේ. විශේෂයෙන් ම මෙම කලාපවල තිබෙනා වැදගත්කම හා ඒවාට බටහිර යටත් විජිත බලවතුන් කළ කුළල් කා ගැනීම ඔහු තම කෘතිය තුළින් මනාව පැහැදිලි කරයි.  


වර්තමානයේ දී අප්‍රිකාවේ, ආසියාවේ හා දකුණු ඇමරිකාවේ සිට ගමන් බලපත්‍ර(Visa) නොමැතිව යුරෝපීය රාජ්‍යයන් වෙත පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් තම රටවලට ඉමහත් කරදරයක් බව යුරෝපීය රාජ්‍යයන් චෝදනා කරයි. නමුත් 15වන සියවසෙන් පසුව යුරෝපීය රාජ්‍යයන් විසින් අප්‍රිකාවට, ආසියාවට හා ඇමරිකාවට කිසිදු ගමන් බලපත්‍රයක් හෝ නොමැතිව අනවසරයෙන් කඩා වැදී සිදු කළ විනාශය හා සූරා කෑම පිළිබඳ ඔවුන්ට කිසිවක් මතක නැත. එම සරණාගතයන් පැමිණෙන රටවල් එසේ අසංවර්ධිත, දිළිඳු රාජ්‍යයන් බවට පත් වී ඇත්තේ ද තමන්ගේ අතීත ක්‍රියාකාරකම් හේතුවෙන් බව ලෝකයේ මානව හිමිකම් රකින ශිෂ්ට සම්පන්න රාජ්‍යය යැයි පවසගන්නා යුරෝපීය රාජ්‍යයවලට තවමත් අවබෝධ වී නොමැත.


අප බොහෝමයක් දෙනා ඉතිහාසය ඉගෙන ගනු ලබන්නේ ඉහතින් දැක් වූ ආකාරයට තොරතුරු වසන් කරමින්, විකෘති කරමින් හා ඒක පාර්ශවිකව වාර්තා කරන ලද යුරෝපීය මුලාශ්‍රයන්ගෙන් හෝ ඒවායේ පරිවර්තන තුලිනි. ඒ හේතුවෙන් ම ඉතිහාසය පිළිබඳ 100%ක් සත්‍ය තොරතුරු ලබා ගැනීමට යුරෝපීය ග්‍රන්ථ කරුවන්ගෙන් අපහසුය. කේ. එම්. පනික්කාර් මහතා වැනි ආසියාතිකයන්ගේ දෘෂ්ටි කෝණය සත්‍ය හා අපක්ෂපාතී ඉතිහාසයක් ගොඩ නැගීමට ඉතාමත් ප්‍රයෝජනවත් වන බව ආසියාව හා බටහිර ආධිපත්‍ය කෘතිය පරිශීලනයෙන් පැහැදිලි වේ. මෙම කෘතිය රචනා කිරීමේ දී පනික්කාර්ගේ අත්දැකීම් මෙයට බලපා ඇති බව ඉතා හොඳින් පැහැදිලි වේ. මන්ද යත් ඔහු ඉන්දියාවේ දී උපත ලබා තිබීමෙන් ඔහුගේ මතවාදවලට පෙරදිග චින්තනයේ බලපෑම තිබීමත්, බටහිර රටවල අධ්‍යාපනය ලබා තිබීම මගින් එම රටවල චින්තනය හොඳින් තේරුම් ගැනීමට හැකි වීමත් හා ප්‍රංශයේ හා චීනයේ තානාපතියෙකු ලෙස කටයුතු කර තිබීම තුළින් අධිරාජ්‍යවාදී ආකල්ප තේරුම් ගැනීමට හැකි ව තිබීමත්, හා එම තොරතුරු ඔහුගේ කෘතීන්හි අන්තර්ගත වීමත් ය.


 විශේෂයෙන් මෙම කෘතිය මඟින් යුරෝපීයයන් කීමට අකමැති පෙරදිග ජාතීන්ගේ වික්‍රමයන්, යුරෝපීයයන්ගේ නොහොබිනාකම් හා ඔවුන්ගේ අසාර්ථකත්වය ප්‍රකාශ කර තිබීම ඉතා වැදගත් වේ. එය සැබෑ ඉතිහාසයක් ගොඩනැගීමට ඉතාමත් ම මහෝපකාරී වේ. තවද පාඨකයාට තම රටවල් වල තිබෙන අසාර්ථකත්වය අවබෝධ කර ගැනීමටත්, එය කෙසේ නිවැරදි විය යුතුද? යන අවබෝධය ලබා ගැනීමටත් මෙම කෘතියෙන් හැකිවේ.  



ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.


ගුණවර්ධන, වී. ඩී. එස්., යුරෝපා ඉතිහාසය, සීමාසහිත ඇස්. ගොඩගේ සහ සමාගම, ‍කොළඹ, 2012.

දිසානායක, විජය., ගෝලීය ප්‍රවණතා(අතීතය-වර්ථමානය-අනාගතය), අනුරාධා ප්‍රකාශකයෝ, දෙල්ගොඩ, 2014.

නේරු, ජවහර්ලාල්., ලෝක ඉතිහාස සිහිවටන, අනුවාදය- ‍ඩේවිඩ් කරුණාරත්න, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම. කොළඹ, 2008.

පනික්කාර්, කේ. එම්., ආසියාව හා බටහිර ආධිපත්‍ය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2005.

රාවෝ, බී. වී., ලෝක ඉතිහාසය, පරිවර්තනය- මාලිනී ඇඳගම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003.

ලෙනින්. වී. අයි., පෙරදිග ලෝකයේ විමුක්ති ව්‍යාපාරය, ප්‍රගති ප්‍රකාශක මන්දිරය, මොස්කව්, සෝවියට් සංගමය. 1978.

සෙනවිරත්න, චාමින්ද., ජගත් දේශාටකයෝ, දයාවංශ ජයකොඩි සමාගම, කොළඹ. 2014.

සූරයප්පෙරුම, ජේ. අර්. පී., ලෝකයට කවුළුවක්, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2012.

‍හොරබින්, ජේ. ඇෆ්., මුහුදු කොල්ලකරුවන්ගේ ඉතිහාසය, කුරුලු පොත් ප්‍රකාශකයෝ, රාජගිරිය, 2009.


http://en.wikipedia.org/wiki/K._M._Panikkar -

No comments:

Post a Comment