පටුන
1. හැඳින්වීම.
2. ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය හැඩ ගැසීම.
2.1. දේශපාලන සංස්කෘතියක් යනු;
2.2. දේශපාලන සංස්කෘතිය වර්ගීකරණය තුල ලංකාව,
2.3. ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතිය යුගකරණය කිරීම හා යහපත් දේශපාලන සංස්කෘතිය අභියෝගයට ලක්කිරීම.
3. ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යහපත් කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග.
3.1. රාජ්‍ය පාලනයෙන් මාධ්‍ය නිදහස් කිරීම.
3.2. පොලිස්, රාජ්‍ය සේවය හා මැතිවරණ කොමසාරිස් නිර්දේශපාලනීකරණය වීම.
3.3. දූෂණය හා වංචාව මුලිනුපුටා දැමීම.
3.4. දේශපාලන අනුග්‍රහයන් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී නියෝජනය පිටු දැකීම.
3.5. මැතිවරණවල දී සිදු වන රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කිරීම තහනම් කිරීම.
3.6. ව්‍යවස්ථාමය සංශෝධන හා පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව.
3.7. ජනාධිපති, පාර්ලිමේන්තු හා අනෙකුත් මැතිවරණ මඟින් පත් වන්නන් සඳහා අධ්‍යාපන සුදුසුකම් අනිවාර්ය කිරීම.
3.8. රාජ්‍ය තනතුරු සඳහා පත්වන්නන්ගේ අතීත හැසිරීම් සලකා බලා තනතුරුවලට පත් කිරීම.
3.9. අධිකරණ පද්ධතිය ස්වාධීන හා කාර්යක්ෂම කිරීම.
3.10. සියලු දෙනාට ම සමානව සැලකීම.
4. සමාලෝචනය.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.
1. හැඳින්වීම.
අපගේ රටේ දියුණුව හා දේශපාලන සංස්කෘතිය ගැන වග කිව යුත්තන් රට පාලනය කරන දේශපාලන නායකයන් ය. ලංකාවේ දේශපාලන සංස්කෘතිය යහපත් වීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ, ඉතා විශාල ය. ඒ සඳහා බලයේ සිටිනා හා ලංකාව ඉදිරියේ දී පාලනය කිරීමට බලාපොරොත්තු වන දේශපාලන පක්‍ෂ පරිපාලන ක්‍රමවේදය හා අධ්‍යාපනය රටට උචිත ලෙස සකස් කිරීමට උත්සහ කළ යුතු ය. දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති රටේ දියුණුවට අදාළ විය යුතු ය. නමුත් එම පක්ෂ ප්‍රතිපත්ති අයහපත් නම් රට මෙන් ම පක්ෂයන් ද පිරිහීම වැළැක්විය නොහැක.
ලංකාවේ ප්‍රධානතම ජනවර්ග සියල්ල ම පාහේ මෙහි සිටින ආදිවාසීන්ගෙන් පැවත එන්නන් නොවේ. සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියල්ලන් ම විටින් විට මෙහි පැමිණි ජනවර්ගවලින් පැවත එන්නන් ලෙස හැඳින්විය හැක. ලංකාවේ පවතින සියලු ම ජනවර්ග හා ආගම් විදේශීය ආභාසය ලද ඒවා වුවත් එම සියල්ලක් ම වර්තමානයේ දී ලංකාවේ ජීවත් වන හා ලංකාවේ ජනතාව අදහන ආගම් බවට පත් වී ඇත. දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති වීමට නම් ලංකා ජාතිය ඉබේ ඇති වන දෙයක් නොවී ගොඩනගා ගත යුතු දෙයක් වන නිසා කුලභේදයට තිබෙන පිළිගැනීම අහෝසි කොට සියලු ජනවර්‍ග ආගම් හා සංස්කෘතික කණ්ඩායම් ඇතුළත් වන ලෙස ලංකා ජාතිය ගොඩ නගා ගත යුතු ය. නමුත් එම වගකීම ලංකාවේ නිදහස් ව්‍යාපාරය මගින් සිදු නොවු අතර නිදහසින් පසු වෙනත් දේශපාලන ව්‍යාපාර අතින් ද එවැන්නක් සිදු නොවීය. නිදසුනක් ලෙස විජෙවීරගේ හා ප්‍රභාකරන්ගේ ප්‍රචණ්ඩ ව්‍යාපාර කෙරෙහි ද කුල පීඩනය වැදගත් සාධකයක් වුවත් එම ව්‍යාපාර දෙක ම කුලභේදය ගැන ප්‍රසිද්ධියේ කතා නොකළේය. එම සියලු ව්‍යාපාර මගින් සිදු වූවේ කුලභේද, ආගම් භේද හා ජාති භේද වර්ධනය කිරීමයි. ඒ හේතුවෙන් ම ලංකාව තුළ කිසිම ආකාරයකට දියුණු දේශපාලන සංස්කෘතියකට අවශ්‍ය අවකාශයක් නිර්මාණය නොවීය.
මෙරට දේශපාලන ඉතිහාසය තුල යටත් විජිත දායාදයක් ලෙස ලද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හැඳින්විය හැක. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් ලැබී තිබුණු යහපත් දායාදයන් දෙකක් වශයෙන් ජාතික රාජ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය සාර්ථක ව ඉදිරියට ගෙන යාමට නම් නිදහසින් පසුව ලංකාව තුළ ඊට සරිලන සමාජයක් නිර්මාණය කළ ගත යුතු ව තිබුණි. ලංකා ජාතියක් ඇති කර ගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීමේ ප්‍රශ්නය එකම කාසියේ දෙපැත්ත ලෙස ද සැලකිය හැකි ය. නමුත් ලංකාවේ නිදහස් ව්‍යාපාරය, ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය මෙන් එක්සත් ජාතියක් ඇති කර ගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීම, වැදගත් පරමාදර්ශයක් කොට ගත්තේ නැත. ඒ හේතුවෙන් ම ලංකාවේ දේශපාලන සංස්කෘතිය ක්‍රමයෙන් පිරිහීමකට ලක් වූ අතර රට අසාර්ථක රාජ්‍යයක් දක්වා ඇද වැටීමකට ලක් වී ඇත. 1948 නිදහස ලබා ගැනීමේ සිට අද දක්වා ලංකාවේ දේශපාලන සංස්කෘතිය හැඩගැසීම හා වැරදි දේශපාලන පිළිවෙත් නිසා රට දිළිඳුකමට ඇද වැටුණු අයුරු ද එම වැරදි නිවැරදි කර ගනිමින් ලංකාව තුල යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ද මෙම පැවරුම මගින් දක්වා ඇත.
2. ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය හැඩ ගැසීම.
වාර්ගික භේදයකින් තොර ව සියලු දෙනාට ම ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබා දෙන ප්‍රතිපත්තියක් තුළ එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ඇති කර ගැනීම 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමේ සිට සම්පූර්ණ කර ගත යුතු අත්‍යාවශ්‍ය ම කොන්දේසීන් විය. නමුත් නිදහසට පෙර හෝ නිදහසට පසු එම කොන්දේසි සම්පූර්ණ කර ගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතික නායකයෝ අසමත් වූහ. ලංකාව නිදහස ලබා ගත්තේ එකදු ලේ බිඳුවක් වත් නොසෙල්වාය. බ්‍රිතාන්‍යයන්ගෙන් ලද ජාතික රාජ්‍ය හා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ඉදිරියට ගෙන යාමට උත්සහ කරනු ලැබූවේ එක්සත් ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීමෙන් තොරවය. ඒ හේතුවෙන් ම ලංකාව තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය නොවූ අතර ක්‍රමයෙන් අසමත් රාජ්‍යයක් බවට පත් වෙමින් ජාතික හා ජාත්‍යන්තර අර්බුද රැසකට මුහුණ දීමට ලංකාවට සිදු විය.
2.1. දේශපාලන සංස්කෘතියක් යනු;
මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හා ආකල්පයන් මත ක්‍රියාත්මක වන දේශපාලනික හැසිරීම දේශපාලන සංස්කෘතියක් ලෙස අර්ථ දැක්විය හැකි ය. ඒ අනුව යහපත් සමාජයක් නිර්මාණය වීමට නම් යහපත් දේශපාලනික විශ්වාසයන්, තීරණ හා දේශපාලන මතවාදයන් අත්‍යාවශ්‍ය වේ. පවතින ආණ්ඩුවේ විනිවිදභාවය යම් රටක කාලීන ව පවතින දේශපාලන සංස්කෘතිය මත තීරණය වේ. සරල ව සඳහන් කලහොත් යහපත් දේශපාලන සංස්කෘතියක් යනු පුළුල් සමාජයකට පිළිගත හැකි හා නිවැරදි, එනම් සදාචාරාත්මක දේශපාලන හැසිරීම් රටාවක් හෙවත් මහත්වරුන් ලෙස දේශපාලනය කිරීමයි. එමගින් පුරවැසියන්ගේ සංජානනය හා හැසිරීම් ඔප් නැංවීමට දේශපාලන සංස්කෘතිය ප්‍රධාන ලෙස ම බලපෑමක් සිදු කරනු ලබයි. ඒ සඳහා රටක වෙසෙන ජනතාවගේ අධ්‍යාපනය, අතීත දේශපාලනික තත්වයන් ආවර්ජනය කිරීමේ හැකියාව, පුළුල් දේශපාලනික දැනුවත් භාවය හා පුළුල් ජනතා මතය බලපානු ලබයි.
නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව රටක දේශපාලනය මෙහෙයවීමේ මූලිකත්වය ගනු ලබන්නේ පුරවැසියන් ය. නමුත් එය ක්‍රියාත්මක වන ආකාරය මත රටක දේශපාලන සංස්කෘතිය, යහපත් හෝ අයහපත් විය හැකි ය. මන්ද යත් පුරවැසියා යනු රටක දේශපාලන ප්‍රජාවේ නීත්‍යනුකූල අයිතිවාසිකම් හා යුතුකම් සමූහයක් ඉටු කල යුතු සාමාජිකයෙක් වීමයි. ඒ අනුව පුරවැසියෙක් තුළ තිබිය යුතු අත්‍යාවශ්‍ය ම ගුණාංගයන් පහත ආකාරයෙන් දැක්විය හැකි.
බුද්ධිමත් ලෙස ඡන්දය භාවිතා කිරීම.
නීතියට ගරු කිරීම.
දේශපාලනික සිදුවීම් පිළිබඳ කාලීන අවබෝධය.
දේශාභිමානය.
2.2. දේශපාලන සංස්කෘතිය වර්ගීකරණය තුල ලංකාව,
දේශපාලන සංස්කෘතිය පිළිබඳ පුළුල් අර්ථකතනයක් කර ඇති විද්වතුන් දෙදෙනෙකු ලෙස ගේබ්‍රියල් ආර්මන්ඩ් හා සිඩ්නි වර්බා යන අය හැදින්විය හැක. ඔවුන්ගේ ප්‍රජා සංස්කෘතිය යන කෘතියක් මගින් ලොව පවතින දේශපාලන සංස්කෘතීන් ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කොට දක්වා තිබේ.
ඒව නම්;
1. පටු දේශපාලන සංස්කෘතිය.
එනම් රටක පුරවැසියන් සිය රටේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් පිළිබඳ ඉතා අඩු අවධානයක් යොමු කිරීමත් හා එම තීරණ පිළිබඳව කිසිදු විවාදාත්මක මතවාදයකින් තොර ව වාසය කිරීමයි. මෙයට හේතු විය හැක්කේ ඔවුන් තුළ තිබෙන නොදැනුවත් භාවය හෝ එම රටේ තිබෙන දේශපාලන ප්‍රචණ්ඩත්වය විය හැක.
2. යටත් වැසි දේශපාලන සංස්කෘතිය.
මෙම සංස්කෘතිය තුළ දී එහි වෙසෙන පුරවැසියන් සතු ව ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තිබෙන නමුත් ඔවුන් ක්‍රියාත්මක වීමේ දී තනි තනි ව ක්‍රියාත්මක වේ. ඒ හේතුවෙන් මෙම සංස්කෘතිය තුළ මධ්‍යම අධිකාරි ක්‍රියාකාරීත්වයක් දැකිය හැකි ය.
3. ඍජු සහභාගී දේශපාලන සංස්කෘතිය.
මෙම දේශපාලන සංස්කෘතිය තුළ පුරවැසියන් සිය දේශපාලන මැදිහත් වීම ඍජුව ම ආණ්ඩුව වෙත එල්ල කරන අතර ඒ වෙනුවෙන් සියලු ම පුරවැසියන් පොදු අරමුණක් වෙත ඒකරාශී වන ආකාරයක් දැකිය හැක. මෙය යහපත් හා දියුණු දේශපාලන සංස්කෘතියක ලක්ෂණයන් වේ.
ඉහත වර්ගීකරණයට අනුව ලංකාවේ දේශපාලන සංස්කෘතිය එහි පළමු වර්ගීකරණය වන පටු දේශපාලන සංස්කෘතියට අයත් වන බව අවබෝධ කර ගත හැක. ඒ අනුව පෙනී යන වැදගත් කරුණක් වන්නේ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා අප රටේ පුරවැසියන්ගේ දේශපාලන සහභාගීත්වය තවදුරටත් වර්ධනය විය යුතු බවයි. මෙහි දී දේශපාලන සහභාගීත්වය යන්නෙන් අවධානය කරනු ලැබූවේ සංවිධානාත්මක දේශපාලන ක්‍රමයක් තුළ සක්‍රීය දේශපාලන ජීවියෙකු වශයෙන් දේශපාලන ක්‍රියාකාරීත්වයක් සාක්‍ෂාත් කර ගැනීමට පුරවැසියා සතු ඉඩ ප්‍රස්ථාවයි. ඒ අනුව පුරවැසියන් සක්‍රීය ලෙස දේශපාලනයට සහභාගී වන ආකාර කීපයකි.
ඒවා නම්;
මැතිවරණවල දී අසාධාරණ නොවන අයුරින් ඡන්දයදීමේ අයිතිය.
අසාධාරණ හා අසමාන සැලකිලි රහිත පදනමකින් ඡන්දය ලියාපදිංචි කර ගැනීමේ අයිතිය.
තම ඡන්දය පාවිච්චි කිරීම සඳහා සමාන හා ප්‍රබල මැතිවරණ පටිපාටියකට ඇති අයිතිය.
තම ඡන්දය රහසිගතව පාවිච්චි කිරීම.
රාජ්‍ය පරිපාලනය තුළ, දේශපාලන පක්ෂ තුළ සහ සිවිල් සමාජය තුළ ඇති පරිපාලනයට සහභාගී වීමේ අයිතිය.
ඉහතින් දක්වා ඇති අකාරයට යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා පුරවැසියන්ගේ සහභාගීත්වය ප්‍රායෝගික ව ලංකාව තුළ ක්‍රියාත්මක වී ඇති අකාරය හා ක්‍රියාත්මක වන ආකාරය පරීක්‍ෂා කොට බැලිය යුතු වේ. ඒ අනුව පෙනී යන්නේ ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතිය පහත ආකාරයෙන් දැක්විය හැකි බවයි.
දේශපාලන ප්‍රචණ්ඩත්වය.
බලය අයුතු ලෙස භාවිතා කිරීම.
අල්ලස් හා දූෂණය ව්‍යාප්තිය.
රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරිවලට අයුතු ලෙස මැදිහත් වීම.
පාතාල කල්ලිවල ක්‍රියාකාරීත්වය.
2.3. ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතිය යුගකරණය කිරීම හා යහපත් දේශපාලන සංස්කෘතිය අභියෝගයට ලක්කිරීම.
පොදුවේ ගත් කල ලංකාවේ දේශපාලන සංස්කෘතිය කොටස් කීපයකට වර්ග කොට දැක්විය හැක.
1. යටත් විජිත අවධියට පෙර යුගය.
යටත් විජිත යුගයට පෙර ලංකාවේ ක්‍රියාත්මක වූවේ රාජාණ්ඩුක්‍රමයකි. රාජාණ්ඩුක්‍රමයක් තුල යහපත් දේශපාලන සංස්කෘතියක් කිසිසේතම බලාපොරොත්තු විය නොහැක. මන්ද යත් එහි දී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක නොවීම හා විධායක බලය අනවශ්‍ය ලෙස තනි පුද්ගලයෙකු අත කේන්ද්‍ර ගත ව පැවතීමයි.
2. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය.
බ්‍රිතාන්‍ය යුගයේ දී ලංකාව ලද වැදගත් ම දායාදය වූවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි. නමුත් 1815 සිට 1937 දක්වා ම ලංකාව තුල පුළුල් ජන සහභාගීත්වයක් සහිත නියෝජන ක්‍රමයක් ක්‍රියාත්මක නොවීය. 1937 දී ඇති කරන්නට යෙදුණු ඩොනමෝර් ආණ්ඩුක්‍රමය හා 1947 දී ඇති කරන්නට යෙදුණු සොල්බරි ආණ්ඩුක්‍රමය ඉතා වැදගත් හා යහපත් දේශපාලන සංස්කෘතික දායාදයක් ලෙස සැලකිය හැකි ය.
3. සොල්බරි ආණ්ඩුක්‍රමය තුල වූ යුගය.
1947දී ක්‍රියාවට නංවන්නට යෙදුණු සොල්බරි ආණ්ඩුක්‍රමය සත්‍ය ලෙස ම ක්‍රියාවට නැගුණේ 1948 දී ලංකාව නිදහස ලබා ගැනීමත් සමග ය. ව්‍යුහාත්මක වශයෙන් ආණ්ඩුක්‍රමයක් ලෙස සොල්බරි ආණ්ඩුක්‍රමය යහපත් දේශපාලන සංස්කෘතියකට පදනම දමනු ඇති බවට විශ්වාස කරනු ලැබීය. නමුත් එය බලාපොරොත්තු වූ පරිදි සිදු නොවීය. මන්ද යත් ලංකාවේ නිදහස පුළුල් ජන සහභාගීත්වයකින් දිනා ගත් දෙයක් නොවීම යි. නිදහස තුල ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා වන ශක්තිමත් අත්තිවාරමක් මෙන් ම සියලු දෙනාගේ ම පිළිගැනීමට හේතු වන ජාතික දෘෂ්ටියක් ද ලංකාව තුළ නිර්මාණය නොවීය. එම තත්ත්වය තුල සිදු වූවේ බලය ලබා ගත් බහුතරය අතින් සුළුතර කණ්ඩායම් පීඩාවට පත් වීමයි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ද විකෘති වූ ආණ්ඩුක්‍රමයක් බවට පත් විය.
ඉහතින් දක්වා තිබූ අකාරයට යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා වූ පුරවැසියන්ගේ දේශපාලන සහභාගීත්වයට අත්‍යාවශ්‍ය සාධක, 1948 වන විට ම උල්ලංඝනය කරනු ලැබීය. ඒ අනුව 1948 දී ඉදිරිපත් කළ අංක 18 දරණ රටවැසි පනත හා 1949 දී හඳුන්වා දුන් අංක 48 දරණ ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනත මෙයට නිදසුන් ය. මෙම පනත මඟින් 1931, 1936දී හා 1947 මැතිවරණයෙන් නියෝජිතයන් 08 දෙනෙකු පාර්ලිමේන්තුවට යැවීමට ඡන්දය භාවිතා කරන ලද, එවකට රටේ ජීවත් වූ ආසන්න ඉන්දීය සම්භවයක් තිබූ ජනගහණයෙන් බහුතරයක්, එනම් 974,098 තරම් ප්‍රමාණයක දමිළ ජනතාවකට ඡන්ද බලය අහිමි විය. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේක්ෂා කළ තරම් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වීම ප්‍රථම අගමැති ඩී. ඇස්. සේනානායකගේ කනස්සල්ලට හේතු වී තිබුණු කාරණයක් වී තිබුණු අතර ඉන්දියානු දෙමළ වතු කම්කරුවන් නියෝජනය කළ ලංකා ඉන්දියානු සංගමය දැඩි ආණ්ඩු විරෝධී ස්ථාවරයක පිහිටා වමේ පක්ෂ සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීම අගමැතිවරයාගේ කෝපයට හේතු වීම මෙවැනි පනතක් ඉදිරිපත් කිරීම සඳහා පරිසරයක් සකස් කරන ලදි.
දෙමළ ජනතාවගේ භාෂා අයිතීන් අහිමි කෙරෙන ආකාරයට 1956 දී ක්‍රියාත්මක කළ සිංහල රාජ්‍ය භාෂා නීතිය සුළු ජනවර්ග බලවත් පීඩාවට පත් කළ ප්‍රබලතම අවස්ථාව විය. මෙය ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ප්‍රබල ඇදවැටීමකි.
නිදහස් මාධ්‍යයක පැවැත්ම රටක දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයක් වන අතර 1964 නොවැම්බර් 2 වන දා ඉදිරිපත් කරන ලද පුවත් පත් රජයට පවරා ගැනීමේ පනත මගින් ලංකාවේ ප්‍රධානතම පුවත්පත් ආයතනය වූ ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්නා ලදි. මන්ද යත් ලේක් හවුස් ආයතනය එක්සත් ජාතික පක්ෂයට හිතවත් ආයතනයක් වීමත් හා නිදහස් පක්ෂ ආණ්ඩු ඉතා නිර්දය ලෙස විවේචනය කිරීමත් ය. ඒ හේතුවෙන් ම එම රාජාසන කතාවේ දී ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කල එජාපය ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ 13 දෙනෙකුගේ සහය ලබා ගන්නා ලදි. ආණ්ඩු පක්ෂයෙන් එකතු වූ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් මෙයට එකඟ කරවා ගන්නා ලද්දේ එජාපය විසින් විශාල ලෙස මුදල් ගෙවීමෙන් වන අතර එය ලංකා ඉතිහාසයේ මන්ත්‍රීවරුන් මුදලට ගෙන ආණ්ඩුවක් පරාජයට පත් කෙරුණු පළමු අවස්ථාව විය. මෙය දේශපාලන සංස්කෘතියක් තුළ දැකිය හැකි ඉතා නින්දිතම ක්‍රියාවක් ලෙස සැලකිය හැකි අතර එය ලංකාව තුල වර්තමානය දක්වා ම නොකඩවා ක්‍රියාත්මක වේ.
4. 1972න් පසු යුගය.
1970 මැයි මස අවසානයේ පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා - සමසමාජ හා කොමියුනිස්ට් යන පක්ෂ තුනේ එකතුවෙන් යුතු සමගි පෙරමුණ 2/3 බලයෙන් යුත් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි. සාමාන්‍යයෙන් මහ මැතිවරණයක් අවසාන වීමෙන් පසු පෙර දක්නයට නොවූ ආකාරයෙන් ප්‍රචණ්ඩත්වයක් රට තුල රටේ ඇති වූ අතර ජයග්‍රාහකයන් පරාජිතයන්ට පහරදෙන හා අඩන්තේට්ටම් කිරීම මුල් දින කීපයේ ඇති විය. ලොකු ම පහර දීම ලේක්හවුස් ආයතනයට එල්ල විය.
නව රජය බලයට පත් වී අවුරුද්දක කාලයක් සම්පූර්ණ වීමටත් පෙර රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වූ සන්නද්ධ තරුණ කැරැල්ලක් ඇතිවිය. කැරැල්ල සති තුනක් වැනි කෙටි කාලයක් තුළ මුළුමනින් ම පරාජයට පත් කිරීමට ආරක්ෂක අංශ සමත් වූ අතර රජයට භාර වූ හා අත්අඩංගුවට ගත් අයගේ සංඛ්‍යාව 18,000ක් තරම් විශාල විය. කැරැල්ල මර්දනයේ දී 3000ට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් විය. මෙම කැරැල්ල කෙරෙහි බලපෑ විවිධ හේතු තිබුණ ද කුලය මෙයට බලපෑ වැදගත් සාධකයක් විය. ගණනාථ ඔබේසේකර කරන ලද අධ්‍යයනයකට අනුව දරුණුතම හා දීර්ඝතම සටන් සිදුවූයේ බත්ගම හා වහම්පුර ජනයා ව්‍යාප්ත ව සිටි ප්‍රදේශවල බව ඔහුගේ වාර්තාවල සඳහන් විය. මේ ආකාරයෙන් කුළ පදනම මත ආණ්ඩුවක් ක්‍රියා කිරීම යහපත් දේශපාලන සංස්කෘතිය තුළ සමානාත්මතාව යන සංකල්පය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැක. 1971 කැරැල්ල කිසියම් දේශපාලන සංවිධානයක් ප්‍රචණ්ඩ ව රාජ්‍ය බලය අල්ලා ගැනීමට දරන ලද පළමු උත්සහය ලෙස සැලකිය හැකි අතර අනාගත දේශපාලනයේ ඇති වූ ප්‍රචණ්ඩ නැඹුරුව ඉඟි කෙරූ පළමු අවස්ථාව ලෙස ද සැලකේ.
පැරණි ආණ්ඩුක්‍රමය අහෝසි කරමින් ඇති කර ගත් පළමු ජන රජ ව්‍යවස්ථාව, 1972 ආණ්ඩුක්‍රමය ලෙස හැදින්විය හැක. එහි තිබූ බරපතළ ම දුර්වලතාවක් වූවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට තිබූ බලය අහෝසි කිරීමයි. 29 (2) වන වගන්තියෙන් ලැබූ තිබූ ආරක්ෂාව ද ඉවත් කරන ලදි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉවත් කොට රාජ්‍ය සේවයට පුද්ගලයන් බඳවා ගැනීම හා විනය පාලනය ඇමති මණ්ඩලය සතු වගකීමක් බවට පත් කිරීම මගින් රාජ්‍ය සේවයේ තිබූ ස්වාධීනත්ව අහෝසි කර දමන ලදි. නව ආණ්ඩුක්‍රමය සකස් කිරීම, අවස්ථාවක් කර ගත් සමගි පෙරමුණු රජය 2/3 බලය යොදා ගනිමින් තම පාර්ලිමේන්තුවේ ආයු කාලය ද අනිසි ආකාරයෙන් වසර දෙකකින් දීර්ඝ කර ගන්නා ලදි.
5. 1977න් පසු යුගය.
වසර දෙකකින් රාජ්‍ය කාලය දීර්ඝ කර ගැනීමෙන් පසුව සමගි පෙරමුණු රජය ඉතා වේගයෙන් පිරිහීමට ලක් වූ අතර 1977 මැතිවරණයේ දී ජේ. ආර් ජයවර්ධනගේ එජාප රජය 5/6 බලයකින් යුත් රජයක් පිහිට වූ අතර මැතිවරණින් පසුව ඔහු තම විරුද්ධවාදීන්ගෙන් උපරිම ලෙස පළිගැනීමට සිය ආධාරකරුවන්ට ඉඩ දෙන ලදි. පහරදීම්, මංකොල්ලකෑම් හා ගිනි තැබීම් දහස් ගණනින් පළමු දින කීපය තුල සිදු විය. ව්‍යවස්ථා සම්පාදනයේ දී සාමාන්‍යයෙන් අනුගමනය කළ යුතු සියලු වැදගත් ප්‍රතිපත්ති හා සම්ප්‍රදායන්වලට පටහැණි ව යමින් ජේ. ආර් ජයවර්ධන විසින් 5/6 බලයට මුවාවී 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්මත කරන ලදි. ව්‍යවස්ථාදායකයට වග නොකියන, නීතියට යටත් නැති, කවර තරම් බරපතළ වැරදි කළ ද ධුරයේ සිටිය දී පහ කිරීමට බැරි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා ඉහළින් සිටින රාජ්‍යයේ සකලවිධ බලය ඒකරාශී වූ නව ආණ්ඩුක්‍රමය දේශපාලන සංස්කෘතියක් තුළ දැකිය හැකි ප්‍රබලතම අයහපත් ලක්ෂණයක් ලෙස හැදින්විය හැකිය. මේ හේතුවෙන් පාලක පක්ෂයට රට පාලනය කරන අතර අයථා ලෙස වස්තුව හරිහම්බ කිරීමේ අවස්ථාවක් ඇති වූ අතර ඒ හේතුවෙන් එතෙක් නම්බුව හා තෘප්තිය පිණිස කෙරුණු දේශපාලනය, මහා පරිමාණයෙන් ධනය උපයා ගැනීම සඳහා කෙරෙන කොල්ලයක් බවට පත් විය. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත් විට 1978 ව්‍යවස්ථාව ඉතා ප්‍රතිගාමී හා පසුගාමී විය.
1980 ජුලි වැඩවර්ජනයේ දී 40,000 පමණ වර්ජකයින්ගේ රැකියා අහිමි කර එම පුරප්පාඩු එජාප පාක්ෂිකයන්ගෙන් පුරවන ලදි. තවද යාපනයේ දිස්ත්‍රික් සභා ඡන්දය සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් යාපනයට යවන ලද නිලධාරීන් 150 වෙනුවට එජාප පාක්ෂිකයන් 150ක් යොදා ගත් අතර මැතිවරණ පැවැත්වීමේ බලය බලයලත් නිලධාරියාගෙන් ඉවත් කොට දේශපාලන පක්ෂයක් වෙත පවරාගත් පළමු අවස්ථාව ද එය විය. තවද එම මැතිවරණයේ දී යාපනයේ පුස්තකාලය ද ගිනිබත් කෙරිණි. මෙලෙසින් ආරම්භ වූ අයහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා වූ පදනම අද දක්වා ද ශක්තිමත් ව වර්ධනය වෙමින් පැවතීම ජාතියේ අවාසනාවක් ලෙස සැලකිය හැක.
3. ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යහපත් කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග.
3.1. රාජ්‍ය පාලනයෙන් මාධ්‍ය නිදහස් කිරීම.
සෑම විටම ලංකාවේ බොහෝමයක් මාධ්‍ය පවතින ආණ්ඩුවට පක්ෂපාතී වන අතර රාජ්‍ය මාධ්‍ය සෑම විටම රජයේ අඩුපාඩු විවේචනය කරනවා වෙනුවට විරුද්ධ දේශපාලන මත සහිත පුද්ගලයන් ව පමණක් ඉතා නිර්දය ලෙස විවේචනය කරයි. තවද රාජ්‍ය බලය සහිත පක්ෂය තම විරුද්ධවාදී මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත ප්‍රචණ්ඩත්වය මුදා හරිනු ලැබේ. මෙය යහපත් දේශපාලන සංස්කෘතියකට උචිත නොවන අතර ඒ සඳහා යම් කිසි ආචාර ධර්ම පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වන ආකාරයෙන් මධ්‍ය ආයතන ස්වාධීන කළ යුතු වේ. මන්ද යත් ස්වාධීන මාධ්‍යයක් මගින් ජනතාවට සත්‍ය දැන ගැනීමට හැකි වීමයි.
3.2. පොලිස්, රාජ්‍ය සේවය හා මැතිවරණ කොමසාරිස් නිර්දේශපාලනීකරණය වීම.
පොලිස් සේවය ස්වාධීන ආයතනයක් වීම මඟින් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සාර්ථකව සිදු කල හැකි වේ. එමගින් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර ව තීන්දු තීරණ ගත හැකි, මහජනතාවගේ ගෞරවයට පාත්‍ර වන ආයතනයක් බවට පොලිස් දෙපාර්තමේන්තුව පත් කල හැකි වේ. තවද නීතියේ ආධිපත්‍ය රට තුල සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන පොලිසියක් අත්‍යාවශ්‍ය වේ.
රාජ්‍ය සේවය ස්වාධීන කිරීම මඟින් රටේ පරිපාලන ව්‍යුහය කාර්යක්ෂමවත්, අපක්ෂපාතී වත් සිදු කිරීම මඟින් මහජනතාවට සාර්ථක සේවාවක් ලබා දිය හැකි වේ. රාජ්‍ය සේවකයන් සෑම කිසිදු විටක දේශපාලන පක්ෂවල කර්තව්‍යයින්වල නිරත නොවිය යුතු අතර සොල්බරි ආණ්ඩුක්‍රමයේ පැවතුනාක් මෙන් ස්වාධීන රාජ්‍ය අංශයක් විධිමත් නීති රීතීන්ට යටත් ව පිහිට විය යුතු අතර එමගින් රාජ්‍ය අංශය අත්තනෝමතික වීම ද වළක්වා ගත හැක. රාජ්‍ය පරිපාලනය පිළිබඳව අධ්‍යයනයේ දී පෙනී යන්නේ රටක සංවර්ධනයට හා එම රටේ පරිපාලන කටයුතු සාර්ථකව පවත්වා ගෙන යමින් ජනතා සුභසිද්ධිය ඇති කරලීමට අපක්ෂපාතී හා සාර්ථක රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයක් අත්‍යාවශ්‍ය වන බවයි. ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍ර එලෙස ආදර්ශයට ගත හැකි ඒවා ලෙස සැලකිය හැකිය. නමුත් ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳ එලෙස සෑහීමකට පත් විය නොහැක. මන්ද යත් ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය ජනතා සුභසිද්ධිය තකා කටයුතු නොකිරීමයි. මහජනතාව තමාගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනයකට ගිය විට ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් කලකිරීමක් හට ගනී. රාජ්‍ය සේවකයා ඉදිරියට එන පුද්ගලයාට ඉක්මන් හා කාර්යක්ෂම සේවාවක් සපයනවා වෙනුවට ඔහු රස්තියාදු කිරීමක් සිදු කරයි. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රාජ්‍ය පරිපාලන සේවකයා තම රැකියාව මුදල මත පමණක් තීරණය කරන අතර එය රැකියාවට අමතරව ජනතා සේවයක් ද විය යුතු බව නොසිතීමයි. තවද ඔහු තමා වැටුප් ලබන්නේ එම ජනතාවගේ බදු මුදලින් බව අමතක කර තිබේ. පෞද්ගලික අංශය හා සසඳන විට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව හා සේවාවන් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගත හැක. රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය අකාර්යක්ෂම වීමට බලපා තිබෙන තවත් එක් හේතුවක් වන්නේ රාජ්‍ය අංශය තුළට අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීමයි. එමගින් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය පක්ෂපාතී වීමක් ද සිදු වන අතර අකාර්යක්ෂම වීමක් ද වී ඇත. රාජ්‍ය සේවකයා වැඩි වරප්‍රසාද ගැන සිතා දේශපාලකයන්ට සේවය සැලසීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට සේවයක් සැලසීමට ඔහුට අවශ්‍යතාවයක් ඇති නොවේ. මේ හේතුවෙන් මහජනතාව රාජ්‍ය අංශය පිළිබඳව දැඩි අප්‍රසාදයක් පල කරනු ලැබේ.
එම අංශ කාර්යක්ෂම හා පලදායි ආයතන බවට පත් කිරීම සඳහා ස්වාධීන පොලිස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවන් පිහිට විය යුතු අතර එම සභාවන්ගේ කාර්යය භාරයන්ට දේශපාලන බලපෑම් එල්ල නොකළ යුතු වේ.
මැතිවරණ පැවැත් වීමේ කාර්යය, මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යභාරයක් වන අතර එම කටයුතුවලට බලපෑම් කිරීම, මැදිහත් වීම හෝ ඒ සඳහා කිසිදු බලයක් නොමැති අය විසින් එය සිදු කිරීමට යෑම රටේ ස්වාධීන මැතිවරණයක් සඳහා මෙන් ම යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා වන බාධාවක් ලෙස හැඳින්විය හැක. ඉහත දැක්වූ ආකාරයට 1982 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දය අවස්ථාවේ දී මැතිවරණ කොමසාරිස්වරයාගේ කටයුතු වෙනත් පුද්ගලයන් විසින් අයුතු ලෙස පවරා ගැනීම හේතුවෙන් ලංකාවට සිදු හානිය අද දක්වා ද දක්නට හැකි වේ.
3.3. දූෂණය හා වංචාව මුලිනුපුටා දැමීම.
ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ රටේ පවතින අධික නාස්තිකාර දූෂණ ක්‍රමවේදයයි. මෙය රාජ්‍ය අංශය තුල ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වේ. එමගින් මහජනතාව යම් කිසි කාර්යයක් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වූ විට ඒ සඳහා නිලධාරීන්ට අල්ලස් ලබා දීමට සිදුවේ. තවද දේශපාලකයන් හා පරිපාලකයන් මහජන දේපළ අයුතු ලෙස සූරා කෑම ද ලාංකේය දේශපාලන සංස්කෘතියේ එක් අංගයක් වී ඇත. එමගින් රටේ දේශපාලනය පරිහානියට පත් වන අතර මහජනතාවගේ අප්‍රසාදය ද වැඩි වේ. රටක පරිහානියට ඉතා ප්‍රබල ව බලපාන්නේ ද මෙවැනි කාරණා ය. ඒ හේතුවෙන් දූෂණ, වංචා සඳහා ලබා දෙන දඬුවම් ප්‍රමාණය හා එහි ප්‍රබලත්වය වැඩි කළ යුතු අතර මහජනතාව ද මෙයට විරුද්ධ වීම හා ඒ සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැන දැනුවත් වී සිටි ම දූෂණයෙන් තොර, යහපත් දේශපාලන සංස්කෘතියකින් යුතු රටක් නිර්මාණය කිරීමට මහෝපකාරී වනු ඇත.
3.4. දේශපාලන අනුග්‍රහයන් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී නියෝජනය පිටු දැකීම.
ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය පවත්වා ගෙන යමින් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට නොව, වැඩවසම් ආකාරයට ය. පාලකයන් තෝරා පත් කර ගැනෙනුයේ මහජන ඡන්දයෙන් වුවත් ඔවුහු රට පාලනය කරන්නේ වැඩවසම් රජවරුන් රට පාලනය කරන ආකාරයට ය. තවද ලංකාවේ දේශපාලන නියෝජිතයන් පත් වන්නේ පවුල් පසුබිම පදනම් කර ගෙන ය. ඒ අනුව දේශපාලකයන්ගේ නෑදෑ හිතවතුන් තම දේශපාලන බලය හා මූල්‍ය ශක්තිය උපරිමයෙන් ම යොදා ගෙන කිසිදු සුදුසු කමක් හෝ නොමැතිව දේශපාලනයේ නිරත වන අතර තම ප්‍රතිවාදීන්ට ඉතා ප්‍රචණ්ඩ ආකාරයෙන් ප්‍රතිචාර ද දක්වනු ලබයි. ලංකාවේ දේශපාලන සංස්කෘතිය යහපත් කිරීමට නම් මෙවැනි පවුල් දේශපාලන ප්‍රතිපත්ති නැවැත්තිය යුතු අතර ඡන්දදායකයන් ද එවැනි පවුල් දේශපාලන ක්‍රමවේද වලට අනුගත නොවිය යුතු වේ. මන්ද යත් දේශපාලනය යනු පවුල් පසුබිමෙන් ලැබෙන උරුමයක් නොව තම හැකියා හා දක්ෂතා මාර්ගයෙන් සාධාරණ ව දිනා ගත යුතු දෙයක් වීමයි.
3.5. මැතිවරණවල දී සිදු වන රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කිරීම තහනම් කිරීම.
යහපත් දේශපාලන සමාජයක් ඇති කර ගැනීම සඳහා පවතින ආණ්ඩුව පරාජයට පත්කොට ප්‍රතිපක්ෂය බලයට පත් කිරීමෙන් කිසිදු යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක. මන්ද යත් නිදහස ලබා ගැනීමේ සිට වසර 70කට ආසන්න කාලයක් ගත වී ඇතත් බලයට පත් වූ සියලු පක්ෂ කොල්ලකාරී අරමුණු ඇති ව ක්‍රියාත්මක වී තිබීමයි. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනය තුල සිදු වන දෙයක් නම් බලයේ නොමැති පක්ෂය විසින් පාලක පක්ෂයේ දූෂණ ගැන කතා කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන කතා කිරීමයි. 1978 සිට වසර 17කටආසන්න කාලයක් රට පාලනය කල එජාප රජය බලය අයුතු ලෙස භාවිතා කල අතර වස්තුව ද අයථා ලෙස උපයා ගන්නා ලදි. එම යුගයේ දී විරුද්ධ පක්ෂය ලෙස ක්‍රියාත්මක වූ නිදහස් පක්ෂය එජාප රජයේ දූෂණ ගැන ප්‍රබලව හඬ නැගුමුත් ඔවුහු ද 1994දී බලයට පත් වීමෙන් පසු එජාපය ඇති කොට තිබූ දූෂිත දේශපාලන ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යමින් රාජ්‍ය නායිකාවගේ සිට පහළට සිටින සියලු දෙනා ම අයථා වස්තුව උපයා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ලදි. සැබෑ ලෙස ම වර්තමානයේ දී සිදුවන්නේ ද එයමය. ඒ හේතුවෙන් තම පාලකයන් පත් කර ගැනීමේ දී කුමන ආකාරයෙන් කටයුතු කල යුතු ද යන්න පිළිබඳ ව මහජනයා ඉතා පරීක්ෂාවෙන් කටයුතු කල යුතු වේ.
3.6. ව්‍යවස්ථාමය සංශෝධන හා පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව.
ලංකාවේ පවතින ව්‍යවස්ථාව ඉතා ප්‍රතිගාමී හා පසුගාමී එකක් ලෙස ව්‍යවස්ථා වර්ගීකරණයේ දී හඳුනා ගත හැකි වේ. ඒ හේතුවෙන් රටට ගැළපෙන අයුරින් එය සංශෝධනය කල යුතු වේ. 1978 සිට වර්තමානය දක්වා වූ වසර 35 ට ආසන්න කාලය තුළ 19 වතාවක් (2015-06-15 දින වන විට) සංශෝධනය කර තිබීම තුළින් එහි ඇති යෝග්‍යත්වය පිළිබඳ නිවැරදි වැටහීමක් ලබා ගත හැකි වේ. මේ හේතුවෙන් ම ලංකාවේ ආණ්ඩුක්‍රමය පිළිබඳ ලාංකේය ජනතාව තුළ ප්‍රියමනාප භාවයක් හෝ ප්‍රසාදයක් නොමැති අතර ජනතාවගේ ආකල්පය වන්නේ ලංකා ආණ්ඩුක්‍රමය මාසික වාර සඟරාවක ස්වරූපය ගන්නා බවයි. එය ලංකාව තුල ව්‍යවස්ථානුකූලවාදයක් ඇති නොවීමට ද හේතු වේ. රටක යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති වීමට නම් එම රට ව්‍යවස්ථාවට අනුකූලව ම පාලනය විය යුතු අතර රටේ පුරවැසියන් ද ව්‍යවස්ථාව පූජනීයත්වයෙන් විශ්වාස කල යුතු ය.
3.7. ජනාධිපති, පාර්ලිමේන්තු හා අනෙකුත් මැතිවරණ මඟින් පත් වන්නන් සඳහා අධ්‍යාපන සුදුසුකම් අනිවාර්ය කිරීම.
ලංකාවේ සෑම රාජ්‍ය තනතුරක් සඳහා ම පත් වීමට නිශ්චිත අධ්‍යාපන සුදුසුකම් ප්‍රමාණයක් සම්පූර්ණ කළ යුතු වේ. නමුත් රටේ උත්තරීතර ම ආයතනයක් ලෙස පිළිගැනෙන ව්‍යවස්ථාදායකයට පත් වීම සඳහා කිසිදු අධ්‍යාපන සුදුසු කමක් නොමැති අතර ජනාධිපති හා අනෙකුත් දේශපාලන ආයතන වන පලාත් සභා හා ප්‍රාදේශීය සභා සඳහා ද එය අදාළ වේ. මේ හේතුවෙන් කිසිදු දැනුමක් හෝ අධ්‍යාපනයක් නොමැති අය මහජනයා පාලනය කරන්නන් බවට පත් වන අතර අවම බුද්ධිය හා දැනුම හේතුවෙන් ඔවුන් ගන්නා තීන්දු තීරණ රටේ අයහපතට ද හේතු වේ. එබැවින් රට කරවන පුද්ගලයන් ලෙස පත් වීමේ දී අධ්‍යාපන සුදුසු කම අනිවාර්ය කිරීම කලාපයේ ඉහල ම සාක්ෂරතාවක් සහිත ලංකාවේ දේශපාලන සංස්කෘතිය යහපත් කිරීමට හේතු වනු ඇත.
3.8. රාජ්‍ය තනතුරු සඳහා පත්වන්නන්ගේ අතීත හැසිරීම් සලකා බලා තනතුරුවලට පත් කිරීම.
ලංකාවේ දූෂණය හා වංචාව සාමාන්‍යය කරණය වී තිබීම හේතුවෙන් රාජ්‍ය තනතුරුවලට වන්නන්ගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතු වේ. මන්ද යත් ලංකාවේ රාජ්‍ය අංශයේ මෙන් ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීදූර සඳහා ද පත් වී තිබෙන්නේ දූෂණ වංචා හා අපරාධවල නිරත වී අධිකරණයෙන් වැරදි කරුවන් වූ පුද්ගලයන් වීමයි. එම නිසා එවැනි තනතුරු සඳහා පත් වන්නන්ගේ අතීත ක්‍රියා කාර කම් පිළිබඳ සොයා බැලිය යුතු අතර පවුලේ හෝ නෑදෑ හිතවතුන් ද එසේ වංචා, දූෂණ හෝ අපරාධවල නිරත ව ඇත්නම් එවැනි පුද්ගලයන්ට රාජ්‍ය තනතුරු දීමේ දී නැවත වරක් සිතා බැලිය යුතු වේ. ඒ සඳහා නීත්‍යනුකූල ව ම රෙගුලාසි පනවමින් අදාළ තනතුරුවල විශ්වසනීයත්වය හා ගෞරවය ආරක්ෂා කිරීම, යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා අත්‍යාවශ්‍ය වේ.
3.9. අධිකරණ පද්ධතිය ස්වාධීන හා කාර්යක්ෂම කිරීම.
ලංකාවේ අධිකරණය ස්වාධීන වීම අත්‍යාවශයෙන් ම සිදු විය යුතු දෙයකි. මන්ද යත් සෑම විට ම පාලක පක්ෂයේ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීමේ ප්‍රවණතාවක් ලංකාව තුළ ක්‍රියාත්මක වීමයි. එමගින් යම් කිසි අකටයුත්තක් සම්බන්ධයෙන් පුරවැසියන්ට සාධාරණයක් බලාපොරොත්තු විය නොහැක. ජනතාව ද අධිකරණයේ නියෝගවලට ගරු කළ යුතු අතර එම නියෝග අසාධාරණ යැයි හැඟෙන්නේ නම් එයට ගත යුතු නිශ්චිත වූ ද නීත්‍යනුකූල වූ ද ක්‍රමවේදයන් ගැන දැනුවත් භාවයකින් යුක්ත විය යුතු වේ. එමගින් නීතියේ ආධිපත්‍ය රට තුල සාර්ථකව ක්‍රියාත්මක කල හැකි වේ.
3.10. සියලු දෙනාට ම සමානව සැලකීම.
ලංකාවේ දී ඵල බෙදා හැරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට නොව පාලක පක්ෂය නියෝජනය කරන වර්ගය, කුලය හෝ ආගම පදනම් කොට ගෙන ය. පක්ෂ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ද පවුලට, වර්ගයට හෝ කුලයට බර තැබෙන ආකාරයට ය. නමුත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය යහපත් කිරීමට නම් මෙවැනි ප්‍රවණතා වලට ඉඩක් ලබා නොදිය යුතු අතර ඒ සඳහා පක්ෂ නායකයන් මෙන් ම ඡන්ද දායකයන් ද උනන්දු විය යුතු ය. කුල භේදයට තිබෙන පිළිගැනීම නැති කොට විවිධ ජනවර්ගවලට හා විවිධ ආගම් අදහන ජනයාගෙන් සමන්විත සමගිසම්පන්න ශ්‍රී ලාංකික ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීම හා තිබෙන දූෂිත දේශපාලන ක්‍රමය දේශපාලන අහෝසි කොට ඇති කර ගන්නා නව ජාතියකට හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීම යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා අත්‍යාවශ්‍ය අංගයක් ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත් මෙම දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි කිසිදු දේශපාලන පක්ෂයක් ලංකාවේ නොමැති අතර දූෂණය මුල් බැස ඇති වාතාවරණයක් තුල එවැනි බලවේගයකට පුළුල් මහජන දායකත්වයක් හිමි වන්නේ ද යන්න සැක සහිත ය.
4. සමාලෝචනය.
ශ්‍රී
ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතිය පිළිබඳ සලකා බැලීමේ දී පෙනී යන්නේ එය විකෘති දේශපාලන සංස්කෘතියක් වන බවයි. ලංකාව තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම ඉතා අපහසු කාර්යයක් වන බව ඉහත කරුණු අධ්‍යනයෙන් පෙනී යයි. නමුත් එවැන්නක් සිදු කල නොහැක්කක් නොවේ. එය ඉතා දුෂ්කර කාර්යයක් වනවා නොවනු මානය. ඒ සඳහා සුදුසු කම් ඇති ස හෝ පිරිසක් ලංකාව තුල වෙසෙන බව අවබෝධ කර ගත යුතු ය. යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට නම් පළමු ව කළ යුත්තේ ආත්මාර්ථකාමී හෝ කොල්ලකාරී අරමුණුවලින් තොරව කටයුතු කිරීමට සැවොම සිතා ගෙන කටයුතු කිරීම හා ඉහතින් දක්වා ඇති ආකාරයට යහපත් හා කාර්යක්ෂම ප්‍රතිසංස්කරණ රට තුළ ඇති කිරීමයි. තවද රටේ පාලකයන් සඳහා පත් වීමට සුදුසුකම් තිබෙන අය තමන්වම ස්වයං විවේචනයකට ලක් කර ගත යුතු වේ. වෙනසක් කළ යුත්තේ බාහිර ව නොව අභ්‍යන්තරයෙනි.
ඒ සඳහා කුල භේදයෙන්, වර්ග භේදයෙන්, ආගම් භේදයෙන්, වංචාවෙන්, දූෂණයෙන්, පීඩා කිරීමෙන්, වෛර කිරීමෙන් හා හිංසාවෙන් අත්මිදිය යුතු අතර, සමාජ බහු විධතාවට ගරු කරමින් හා වෙනස් මත ඉවසමින්, සත්‍යගරුක හා අවංකව කටයුතු කළ වේ. මෙය දේශපාලකයන් අතර හා පුරවැසියන් අතර ද වර්ධනය විය යුතු ගුණාංගයක් ලෙස සැලකිය හැකිය. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ජන අප්‍රසාදයට පත් වී තිබෙන අකාරය අනුව එවැනි ගුණ යහපත් කමින් යුතු, යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා වූ ව්‍යාපාර ඉක්මනින් ම මහජනයාගේ පිළිගැනීමට ලක්වනු ඇත. එමගින් නව සමාජ ක්‍රමය ඉදිරියට ගෙන යා හැකි අවංක, ගුණගරුක හා බුද්ධිමත් දේශපාලන පරපුරක් ද බිහිවනු ඇත.
සමාන අයිතිවාසිකම් ඇති, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් ක්‍රියාකරන, කුලය, වර්ගය, ආගම හෝ භාෂාව මත පදනම් වී වර්තමානයේ දී මතු වී තිබෙන ගැටුම්වලින් මිදී විවිධ ජනවර්ගවලින්, ආගම්වලින් හා සංස්කෘතීන්ගෙන් යුතු එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් නිර්මාණය කිරීමට මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා ගුණධර්ම අගය කරන සමාජයක් ගොඩ නැංවිය හැකි වන්නේ ඉහත කී ආකාරයේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම් පමණි. එසේ කටයුතු සිදු වුවහොත් ශ්‍රී ලාංකික ජාතියේ විශ්වාසයට හා ගෞරවයට පාත්‍රවන හා යහපත් දේශපාලන සංස්කෘතික අවශ්‍යතාවයන්ට ගැළපෙන නවීන, දියුණු හා ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇත.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.
අයිවන්, වික්ටර්. අර්බුදයේ අන්දරය (1815 - යටත් විජිත යුගයේ සිට 2009 - ඊලාම් යුද්ධයේ අවසානය දක්වා). තෙවන මුද්‍රණය. මහරගම: රාවය ප්‍රකාශන, 2012.
අයිවන්, විකටර්. ලංකාව ගලවා ගැනීම. මහරගම: රාවය ප්‍රකාශන, 2013.
අයිවන්, වික්ටර්. චෞර රැජින. මහරගම: රාවය ප්‍රකාශන, 2010.
අයිවන්, වික්ටර්. දෙමළ අභියෝගය. මහරගම: රාවය ප්‍රකාශන, 2012.
උයන්ගොඩ, ජයදේව. ජාතිය, ජාතිකවාදය සහ ජාතික-රාජ්‍ය. කොළඹ: සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, 2011.
කරුණාදාස, ඩබ්ලිව් එම්. තුන්වන ලෝකයේ දේශපාලනය හා ආර්ථිකය. දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 2003.
ජයවර්ධන, කුමාරි. සොක්කන් ලොක්කන් වූ වගයි. කොළඹ: සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, 2014.
පල්ලියගුරු, රවීන්ද්‍ර චන්ද්‍රසිරි. “දේශපාලන සහභාගීත්වය.” දේශපාලන සමාජ විද්‍යාව, සංස්කරණය කළේ සමන් හඳරාගම, 137-155. බත්තරමුල්ල: සමීර ප්‍රකාශන, 2013.
බණ්ඩාර, නවරත්න. රාජ්‍ය නිර්මාණය සහ ජාතික ඒකාබද්ධතාව පිළිබඳ ගැටලු. වෙළුම V වෙළුම, ශ්‍රී ලංකේය ඉතිහාසයහි පරිච්ඡේදය 2, සංස්කරණය කළේ එම්. යූ. ද සිල්වා, 53-88. කොළඹ: සී/ස ඇම්. ඩී. ගුණසේන සහ (පුද්ගලික) සමාගම, 2012.
ලැස්කි, හැරල්ඩ් ජේ. රාජ්‍ය පිළිබඳ සිද්ධාන්ත හා ව්‍යවහාරය. පරිවර්තනය කළේ ඩී බී. අයි. එස්. සිරිවර්ධන. බත්තරමුල්ල: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2005.
විජේනායක, අමරසිරි. එදා සිට අද දක්වා මෙදෙස් විදේස් දේශලපාලන වෙනස් වීම්. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002.
විජේසිංහ, නාමල්. දේශපාලන විද්‍යාව 2. දන්කොටුව: වාසනා ප්‍රකාශකයෝ, 2002.
සොයිසා, එම් ඕ. ඒ. ද. දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්ත. පේරාදෙණිය: කතෘ ප්‍රකාශන, 2003.
හඳාරගම, සමන්, සංස්. දේශපාලන සමාජ විද්‍යව - 02. බත්තරමුල්ල: සමීර ප්‍රකාශන, 2014.
දේශපාලන විද්‍යාවේ මූලිකාංග 1. බත්තරමුල්ල: අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2007.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - සිව් වන කොටස. බත්තරමුල්ල: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2007.
ශ්‍රී ලංකාවේ සාධනීය දේශපාලන සංස්කෘතියක් සඳහා පුරවැසි සහභාගීත්වයල හා මැතිවරණ නිරීක්‍ෂණය.” People's Action for free and Fair Elections, 2014: 01-09.
No comments:
Post a Comment