Sunday 20 December 2020

1776 ඇමරිකන් විප්ලවයට පෙර, යටත්විජිතවාදයේදී නාවික ආධිපත්‍යයේ වැදගත්කම

 


ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව යටත්විජිතවාදයේ ඉංග්‍රීසි වචනය වන “කොලෝනියසම්” (Colonialism) යන්න රෝම භාෂාවෙන් ගොවිපළ හෝ ජනාවාසය  හැඳින්වීමට යෙදෙන “කොලෝනියා” යන්නෙන් බිඳී ආවකි. එනම් තම රටේ පුරවැසිභාවය තබා ගන්නා අතරම සෙසු බිම් ප්‍රදේශයක පදිංචි ව සිටි ‍රෝම පුරවැසියන් හැඳින්වීම සඳහා මේ පදය භාවිතා කොට තිබේ.

ඒ අනුව යටත්විජිතවාදය සෙසු ජනයාට අයත් ඉඩම් සහ දේපළ අත්පත් කර ගැනීම සහ පාලනය කිරීම බව අවබෝධ කර ගත හැක. පැහැදිලිව සඳහන් කරතොත් යටත්විජිතවාදය යනු කිසියම් රටක ජීවත්වන ජනතාව හා එම ප්‍රදේශය බාහිර රටක් විසින් අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තීන්ට අනුව පාලනය කිරීමයි. අධිරාජ්‍යවාදය යනු “එක් රටක් විසින් තවත් රටක් ආර්ථිකමය වශයෙන් සූරාකෑම නිසා එම රටවල් දෙක අතර හටගන්නා වූ බල සබඳතාවේ (Power Relation) වෙනස බව” මෝගන් නැමති සුප්‍රකට ජාත්‍යන්තරවේදියා සඳහන් කොට තිබේ. ඒ අනුව පෙනී යන වැදගත් ම කරුණක් වන්නේ යටත්විජිතවාදයත්, අධිරාජ්‍යවාදයත් එකට අත්වැල් බැඳ ගත් ක්‍රියාදාමයක් වන බවයි. යටත්විජිතවාදය මඟින් කිසියම් රටක් ඍජු ආකාරයෙන් ආධිපත්‍යට (Domination) නතු කර ගැනීමක් සිදුවේ.

විද්වතුන් විසින් භූ දේශපාලනයේ වර්ධනයට සාපේක්‍ෂව භූ උපාය මාර්ගයන්හී අවශ්‍යතාව පැහැදිලි කොට දක්වා ඇත. ඇමරිකානු නාවික හමුදාවේ අද්මිරාල්වරයෙකු වූ ඇල්ෆ්‍රඩ් තේයර් මේහෑන් (Alfred Thayer Mahan) විසින් රචිත “ඉතිහාසය කෙරෙහි සාගරික බලයේ බලපෑම” (The Influence of Sea Power Upon History) නම් කෘතියට අනුව භූ උපාය මාර්ගයන්හි ප්‍රබලතම සාධකය වන්නේ සාගරික බලයයි. ඒ අනුව යම් රටක ආර්ථික සහ වාණිජ කටයුතු ආරක්‍ෂා කර ගැනීම සඳහා සාගරික ප්‍රවාහන මාර්ග පාලනය කිරීම අත්‍යාවශ්‍ය වන අතර සාගරික බලය තීරණය කිරීම සඳහා යම් රටක් සතු නාවික ආධිපත්‍ය එයට ප්‍රබල ලෙසම උපකාරී වේ. ඒ අනුව නාවික ආධිපත්‍ය මාර්ගයක් කර ගනිමින් සමස්ත ලෝකයට ම විශාල බලපෑමක් ඇති කල ජනකොට්ටාශයක් ලෙස යුරෝපීයයන් හැඳින්විය හැක. කුරුස යුද්ධවලින් අනතුරුව වාණිජ ආධිපත්‍ය ලබා ගැනීමේ අභිප්‍රායෙන් සාගරික කටයුතුවලට යුරෝපීයන්ගේ මැදිහත්වීම ප්‍රබල විය. විශේෂයෙන් දොළොස් වන සියවසේ සිට දාසයවැනි සියවස දක්වා කාලය තුළ දී අප්‍රිකාව, යුරෝපය හා චීනය අතර පැවති වාණිජ සබඳතා සාගරික මාර්ග හරහා වැටී තිබුණි. මධ්‍යධරණි වෙළඳ ක්‍ෂේත්‍රයන්හී අප්‍රිකාවට විශේෂ ස්ථානයක් ලද අතර නිරන්තරයෙන් හුවමාරු වූ වාණිජ භාණ්ඩ වූවේ රත්තරන්, ඇත් දත් හා ගම්මිරිස් ය. විශේෂයෙන්ම මෙම කාලය වන විට සාගරික මාර්ගයන් තුළින් වර්ධනය වූ වාණිජවාදය සමස්ත ලෝකයට ම ප්‍රබල බලපෑමක් එල්ල කරන ලදි. වාණිජවාදය හා සම්බන්ධ වූ අනෙකුත් සාගරික ක්‍ෂේත්‍රයක් වන අත්ලාන්තික් සාගරය ඔස්සේ සිදු වූ වහල් වෙළදාම නව ලෝකයට විශාල බලපෑමක් කිරීමට සමත් වී ඇති බව යුනෙස්කෝවේ මතයයි.

 අධිරාජ්‍යවාදයත් සමගම යටත්විජිතවාදය නාවික ආධිපත්‍ය මාර්ගයෙන් ව්‍යාප්ත වූවේ යුරෝපා රාජ්‍යයන් අතර වූ දේශපාලන අවශ්‍යතාවන්, වෙනස් වෙමින් පවතින්නා වූ ආර්ථික තත්වයන්ට අනුකූල වන පරිද්දෙන් යම් හැඩ ගැසීමක් හෝ ගැළපීමක අවශ්‍යතාවක් ඇති වූ හෙයිනි. 16වන සියවසේ වාණිජවාදී තරඟකාරීත්වය තුළින් උපන් යුරෝපා රටවල නාවික ආධිපත්‍ය ව්‍යාප්තිය යුරෝපයෙන් පිටත ස්වාභාවික සම්පත් සහිත ප්‍රදේශ කරාද බලපෑම් ඇති කරන්නට විය. 16වන සියවසෙන් පසුව හා 1776 ඇමරිකන් විප්ලවයට පෙර ක්‍රියාත්මක වූ යටත්විජිතවාදය මූලික වශයෙන් යුරෝපා ජාතීන්ගේ නාවික ආධිපත්‍යය මත පදනම් වී ආසියාව, අප්‍රිකාව හා ඇමරිකානු මහද්වීප තම යටතට නතු කර ගැනීමේ ක්‍රියාදාමය මත පදනම් විය. 

මෙවැනි හේතූන් නිසා මේ අවධිය අවසන් වන විට යුරෝපා ජාතීන් විසින් ලෝක ගෝලයේ බටහිර අර්ධයේ වූ ප්‍රදේශ ජනාවාසකරණයට (Colonization) හෝ ආක්‍රමණය මගින් යුරෝපා පාලනයට නතුකර ගත්හ. එම අවධිය තුළදීම යුරෝපා ජාතීන්ගේ නාවික ආධිපත්‍ය ආසියා-අප්‍රිකා රාජ්‍යයන් කෙරෙහිද යොමු විය. එහිලා මූලික වූවේ යුරෝපීය රාජ්‍යයන් නොව යුරෝපීය වෙළඳ සමාගම් ය. ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (Vereenigde Oost-Indische Compagni), ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (East India Company) හා ප්‍රංශ පෙරදිග වෙළඳ සමාගම (La Compagnie Des Indh) එබඳු සමාගම් වේ. වෙළඳාමෙන් සෞභාග්‍ය සොයාගත් රටවල් එම වෙළදාමෙන් ලත් වාසි තව තවත් අළුත් ප්‍රදේශ සොයා ගැනීම සඳහා නාවික කටයුතුවලට ආයෝජනය කිරීම නිසා මෙම අවධිය වාණිජවාදී යටත්විජිත යුගය (Mercantile Capitalism)ලෙස සලකනු ලැබේ.

යම් කිසි ජාතියක දියුණුව හා ශක්තිය සලකා බැලීමේ දී එම ජාතිය සතු ‍සෘජු ගොඩ බිම් බලයට වඩා එම ජාතිය සතු සාගරික හා නාවික ශක්තිය 1776ට පෙර සලකා බැලීම වැදගත් වේ. මන්ද යත් ගොඩ බිම් බලයට වඩා සාගරික බලය පවත්වා ගෙන යාමට වැඩි දැනුමක් මෙන් ම වැඩි වියදමක් දැරීමට සිදුවීමත් ඒ සඳහා එම ජාතිය සතුව ප්‍රබල මූල්‍යමය ශක්තියක් තිබිය යුතු වීමත් ය. මෙය වඩාත් පැහැදිලි වන්නේ යුරෝපය තුල කුඩා භූමි ප්‍රදේශයකට හිමිකම් කියූ ජාතීන් වන ස්පාඤ්ඤය, පෘතුගාල, නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍ය යන රජ්‍යයන්වල, යටත් ප්‍රදේශ තම මව් භූමියෙන් පරිබාහිර ව පිහිටා තිබීමත් ය. ඒ සඳහා ඔවුන්ට විශේෂඥ දැනුමක් මෙන්ම ඉතා හොද ආර්ථික ශක්තියක් ද විය. විශේෂයෙන්ම එම ජාතීන් සතු නාවික හා සාගරික ඥානය ඔවුන්ගේ අධිරාජ්‍යය වර්ධනයට හේතූ වූ ප්‍රධානතම බලවේගය වූ අතර එමගින් තම අධිරාජ්‍ය නාවික බලය මාර්ගයෙන් සම්බන්ධ කිරීමට ඔවුන්ට හැකි විය. 

දියුණු වෙමින් පැවති තාක්ෂණය හා විද්‍යාත්මක දැනුම නාවික ආධිපත්‍ය මත පදනම් වූ දේශ ගවේශනයට ප්‍රබල හේතුවක් විය. කතෝලික පල්ලියේ දිරි ගැන්වීම මත නව ලෝකය සොයා යාමට පළමු වෙන් ම ඉදිරිපත් වූවේ අයිබීරියන් අර්ධද්වීපයේ රාජ්‍යයන් වූ ස්පාඤ්ඤය හා පෘතුගාලයයි. මෙලෙස ස්පාඤ්ඤයන් හා පෘතුගීසීන් දේශගවේශණයට ඉදිරිපත් වූ ප්‍රබලතම සාධකය වූවේ පෙරදිග හා අපරදිග ලෝකය අතර වෙළඳ ගනු දෙනු සිදු වූ වෙළඳ මාර්ගය ඔටෝමන් තුර්කිවරුන්ගේ ග්‍රහණයට නතු වීමයි. ක්‍රි.ව. 10 හා 11 වන සියවස් වල දී ආරම්භ වූ කුරුස යුද්ධ හේතුවෙන් වෙළදාමේ ආධිපත්‍යය 15 වන සියවස වන විට වැනීසියට හා ජිනෝවාවට හිමි වී තිබුණි. 1453 දී තුර්කිවරුන් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමත් සමඟ යුරෝපයට මෙන් ම ජිනෝවාවරුන්ට ද වෙළඳ මාර්ග සම්පූර්ණයෙන්ම වැසී යන ලදි. නමුත් පෙරදිග භාණ්ඩ යුරෝපයට සැපයීමේ ඒකාධිකාරය තවදුරටත් තබා ගැනීමට වෙනීසියට හැකි විය.

බටහිර යටත්විජිතකරණයේ මුල් කාලය ඉතා ආක්‍රමණකාරී යුගයක් විය. ක්‍රි.ව. 1420ත් ක්‍රි.ව. 1522ත් අතර කාලයේ දී බටහිර යටත්විජිතකරණය ආරම්භ වූ බව උපකල්පනය කළ හැකිය. මෙම අවධිය ආරම්භ වන්නේ කොලොම්බස්, වස්කෝදගාමා, මැගලන් වැනි දේශගවේශකයන්ගේ ගමන් වලිනි. මොවුන්ගේ දේශගවේශණ සැබෑ ලෙස ම ගවේශණයන්ට අමතරව එම ප්‍රදේශ යටත් කර ගැනීමේ අභිප්‍රායෙන් ක්‍රියාත්මක වූ බව අවබෝධ කර ගත යුතුය. මෙම අවධිය අවසන් වන්නේ හත් අවුරුදු යුද්ධය හා (1756-63) හා ඇමරිකන් විප්ලවයෙන් පසුවය. මෙකල වෙළදාම කේන්ද්‍රකොටගත් අධිරාජ්‍යවාදී යටත්විජිතවාදයක්, නාවික බලය ආධාරයෙන් ක්‍රියාත්මක විය.

  කිසිවකු නොදන්නා කුණාටු සහිත ප්‍රචණ්ඩ මුහුද එම යුගයේදී දුර්වල නැව් මඟින් තරණය කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ ස්පාඤ්ඤයන්ට හා පෘතුගීසීන්ට ය. ඔවුහු තුවක්කු හා කඩු හරඹයේ රණ ශූරයෝ වූ අතරම උග්‍ර ආගමික උන්මාදයෙන් දැවෙමින් තිබූ ආකල්ප හේතුවෙන් ඔවුන් තම යටත් ප්‍රදේශවල හිංසා, කෲරකම් සහ විපත්ති සිදු කිරීමට පෙලඹිණ. ඔවුන් ඒවා සිදුකලේ සාමයේ කුමරාගේ නාමයෙනි. මිථ්‍යා දෘෂ්ටිකයන් නැති කිරීම සහ මිථ්‍යා දෘෂ්ටිකයන්ට වද දීම යටත්විජිතකරණයත් සමඟ එකට සිදු විය. දේශ ගවේෂණය හෝ සංචාරය යන කුමන අංශයක දී වුවද එම පරමාර්ථය බොහෝ විට මුදුන් පත් කර ගනු ලැබුවේ ඝාතන, පැහැර ගැනීම්, ගිනි තැබීම් මාර්ගයෙනි. බටහිර ජාතීන් ඇමරිකාවට පැමිණියේ දේශ ගවේශනය හේතුවෙන් වන බව ද පසුව එම ව්‍යාපාරය පිළිවෙළින් ස්පාඤ්ඤ, ලන්දේසි, ප්‍රංශ හා ඉංග්‍රීසීන් යන ජාතීන්ට අයත් වූ බව පිළි ගැනීමයි. සැබෑ ලෙස ම දේශ ගවේෂකයන් ලෙස හැඳින්වුව ද මෙම සියලු ම ජාතීන්ගේ අරමුණ වූවේ ඇමරිකාවේ වස්තුව කොල්ලකා තම රටවලට ගෙන යාමයි.

ආසියාවේ යටත්විජිත ව්‍යාප්තියට බලපාන ලද මූලිකතම සාදකය වූවේ ඉන්දියාවේ සිට ‍ගෙන්වනු ලැබූ ගම්මිරිස්, අමු ඉඟුරු, මුතු-මැණික්, අබිං හා අලි ඇතුන් නොලැබී යාමත්, ඉන්දියාවේ සිට හා ඉන්දුනීසියානු දූපත්වල සිට ගෙන්වනු ලැබූ කුළු බඩු වෙළදාමෙන් වැනීසියට  හා ආරාබීන්ට විශාල ලාබයක් ලැබීමත්, අනෙකුත් යුරෝපීය ජාතීන් ප්‍රකෝප කරවන්නක් විය. පෙර සඳහන් කළ ආකාරයට ම 10 වන සියවසේ සිට ඇති වූ කුරුස යුද්ධවලට සැබෑ ලෙස ම ආගමික මුහුණුවරකට අමතරව ආර්ථික මුහුණුවරක් ද තිබූ බව පොදු පිළිගැනීමයි. කුරුස යුද්ධවලින් ලත් පරාජය මකා ගැනීම, යුරෝපීයයන් පෙර දිගට බලා දියත් කළ නාවික ගමන්වල අරමුණ විය.

වෙළදාම සඳහා ඇති වූ තරගයේ දී ලෙවන්ට්, කැලිකට් හා මලක්කාව වැනි ප්‍රදේශවලට පෘතුගීසීන්ගේ ප්‍රබල අවධානය යොමු වන  ලදි. ඒ අනුව පෘතුගීසීන්, පෙරදිග මුස්ලිම් ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා 15 වන සියවස අවසාන වන විට අප්‍රිකානු වෙරළේ නව ප්‍රදේශ ගවේෂණය කරමින් ඉන්දියානු උප මහද්වීපය කරා ප්‍රවේශ වන ලදි. පාප් රාජ්‍යයේ දිරි ගැන්වීම මත ස්පාඤ්ඤය අත්ලාන්තික් හා පැසිෆික් සාගරවල ඉන්දීය දූපත් සොයද්දී පෘතුගීසීන් අප්‍රිකානු වෙරළ ඔස්සේ ඉන්දීය ප්‍රදේශ සෙවීම ආරම්භ කරන ලදි. 

රත්තරන් හා කීර්තිය සඳහාත්, දෙවියන් වහන්සේගේ අනුගාමිකයන් ලෙසත් පෘතුගීසීන් ගෙන ගිය සටන කුරුස යුද්ධය ඉදිරියට ගෙන යාමක් ලෙස ද සලකනු ලැබේ. පෘතුගීසි දේශගවේශණ ව්‍යාපාරයට නාවික හෙන්රිගෙන් ලැබුණු දායකත්වය ඉතා ප්‍රබල වේ. අප්‍රිකානු වෙරළ ඔස්සේ සිදු කෙරුණු ගවේෂණ වලට එක් පුද්ගලයෙකු විසින් කරන ලද විශාල ම දායකත්වය කරන ලද්දේ ඔහු විසිනි. ඔහු පෘතුගාලයේ සාග්‍රේස් තුඩුවේ නාවික පර්යේෂණ ආයතනයක් පිහිටුවන ලදි. එමගින් ගණිතය හා තාරකා ශාස්ත්‍රය ගැන දැනුමක් ලබා දෙමින් මුහුදු ගමන් සඳහා නාවිකයන් පුරුදු පුහුණු කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස 1433 වන විට අප්‍රිකානු වෙරළේ බොර්දෝර් තුඩුව දක්වා ගවේෂනය කෙරිණ. නාවික හෙන්රිගෙන් පසුව ද දිගටම ගවේෂණ කටයුතු සිදුවිය.

මේ කාලයේ දී පෙරදිග ප්‍රෙස්ටර් ජෝන් නැමැත්තෙකුට අයත් ක්‍රිස්තියානි රාජ්‍යයක් තිබේ යයි විශ්වාසයක් යුරෝපීයයන් සතුව පැවති අතර එය සොයා ගැනීමේ අරමුණ ද පෘතුගීසීන් සතු විය. 1488 දී  බර්තොලමියුදියස්ගේ නායකත්වය යටතේ අප්‍රිකාවේ දකුණු කෙළවරට ලඟාවීමට පෘතුගීසීන්ට හැකි විය. ඔහු එය කුණාටු තුඩුව ලෙස නම් කළ නමුත් II ‍ජෝන් රජු විසින් එය සුබ පැතුම් තුඩුව (Cape of Good) ලෙස නම් කරන ලදි. කේප් තුඩුව පසුකල වස්කෝදගාමා මොසැම්බික් වරායට පැමිණ එහි සුල්තාන්වරයාගේ මැදිහත් වීම මත ගුජරාට් නැවියෙකුගේ ආධාර ඇති ව 1497 දී ඉන්දියාවේ මලබාර් වෙරළේ පිහිටි කැලිකට් පැමිණෙන ලදි.

පෘතුගීසීන් 15 වන සියවසේ කරන ලද දේශගවේෂණ ව්‍යාපාරය ෆ්‍රැන්සිසකූ ද අල්මේදා හා අපෝනසෝ ද අල්බ්‍යුකර්ගේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස අප්‍රිකානු වෙරළ තීරයේ සිට දකුණු ආසියාව හරහා මලක්කාව පසු කර නැගෙනහිර ඉන්දියානු දූපත් වන බණ්ඩා දූපත් දක්වා පැතිර යන ලදි. 16 වන සියවස වන විට ගෝව කේන්ද්‍ර කර ගනිමින් නාවික ආධිපත්‍යයේ මාර්ගයෙන් තම යටත් විජිත පාලනය කිරීමට පෘතුගීසීන්ට හැකිවිය. නමුත් එම සියවස අවසාන වන විට පෘතුගීසි සිහසුන ස්පාඤ්ඤයේ II වන පිලිප් රජුගේ යටතට පත් වීමත් හා යටත් විජිත පරිපාලනය අතිශයින් ම දූෂණය වීම මත පෙරදිග පෘතුගීසි කටයුතු අඩපණ විය.

පෘතුගීසීන් හා ස්පාඤ්ඤයන් මෙන් ඕලන්ද ජාතිකයෝද බොහෝ දුරට යටත්විජිත බලය නාවික ආධිපත්‍යය මත පදනම් කොට ගත්තේය. මේ වකවානුවේ දී නැගෙනහිර රටවල නිෂ්පාදන ලිස්බන් නුවර සිට උතුරු යුරෝපය දක්වා ප්‍රවාහනය කලේ ලන්දේසීන් ය. පෙරදිග රටවල් ආශ්‍රිතව සිදු වූ ආක්‍රමණකාරී ක්‍රියා සහ වෙළඳාම සඳහා තම විශාල නැව් සියල්ල ම පාහේ යොදවා තිබීම හේතුවෙන් යුරෝපීය රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් නැව් ප්‍රමාණයක් පෘතුගීසීන් සතුව නොවූ අතර ස්පාඤ්ඤ ජාතිකයන්ට ද එය පොදු විය. මේ හේතුවෙන් ම ලෝක ව්‍යාප්ත බඩු ගෙන යාමේ වෙළඳ පදනමකට පිවිසීමට ලන්දේසීන්ට හැකි විය.  ස්පාඤ්ඤයේ අති වූ අභ්‍යන්තර ආරවුල් අවස්ථාවක් කර ගත් ඕලන්දවාසීන්, ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගැනීම සඳහා කැරලි ගැසූ අතර එයට ප්‍රතිචාර දක්වනු වස් දෙවන පිලිප් රජු ලන්දේසීන්ට, ස්පාඤ්ඤය හා පෘතුගාලයේ ලිස්බන් වැනි වරායන් වලට ඇතුළු වීමට ඉඩ නොදෙන ලදි.

ලන්දේසීන් එම වෙළඳාමෙන් ඉවත් කළ පසු නැගෙනහිර රටවල නිෂ්පාදන ඔවුන් ම ආනයනය කිරීමේ අදහස ලන්දේසීන් තුළ වර්ධනය විය. ඔවුන් ප්‍රථමයෙන් උතුරු යුරෝපය හා ආසියාව හරහා මාර්ගයක් සොයා ගැනීමට උත්සාහ කළහ. එය අසාර්ථක වීම හේතුවෙන් ඒ වන විටත් පෘතුගීසීන් අල්ලා ගෙන තිබූ සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා වු මාර්ගයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ අවශ්‍යතාව ඕලන්දයන්ට වැටහෙන්නට විය. ඒ සඳහා ඔවුන්ට කලක් පෘතුගීසීන් යටතේ සේවය කළ යොන් හව්හන් ලින් ෂෝටන්  නම් ඕලන්ද යාත්‍රා කරුවාගේ වාර්තා ඉමහත් ප්‍රයෝජනවත් විය. 

එම තොරතුරු ප්‍රයෝජනයට ගනිමින් ලන්දේසි ජාතික කොර්නේලිස් හොට්මන්ගේ නායකත්වය යටතේ 1595 අප්‍රේල් මාසයේදී ඇම්ස්ටර්ඩෑම් වලින් නැව් 4ක් අග්නිදිග ආසියාව බලා ගමන් ඇරඹීය. එම යාත්‍රා 1596 ජූනි මාසයේ දී ජාවාහි වයඹ දිග වෙරළේ පිහිටි ගම්මිරිස් හා සාමාන්‍ය බඩු හුවමාරු කර ගන්නා වරාය වූ බැන්තම් වෙත ලඟා විය. පෘතුගීසීන් සහ ‍අග්නිදිග ආසියානු පාලකයන් අතර තිබූ සබඳතා එකල බෙහෙවින් නොසන්සුන්ව තිබීම හේතුවෙන් දේශීය පාලකයන් ලන්දේසීන් ඉතා සාදරයෙන් පිළිගන්නා ලදි.  පසුව එම නැව් කණ්ඩායම බැන්තම් වරායෙන් පිටත්ව ජකර්තාවටත්, මදුර හා බාලි දිවයින් වලටත් පැමිණ කුළු බඩු ලබාගෙන නැවත යුරෝපයට යාත්‍රා කරන ලදි. මෙම ගමන සම්පූර්ණ සාර්ථක එකක් නොවූව ද වටිනා බඩු තොගයක් රැගෙන ඒමට හැකි වීමත් හා බැන්තම් හි සුල්තාන්වරයා සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට හැකි වීමත් අනාගත ආයෝජනයක් බඳු විය. 

ඉන් පසු 1598දී නැව් 22ක කණ්ඩායමක් කුළු බඩු දූපත් වලට ලඟා වීමේ අරමුණින් නෙදර්ලන්තයෙන් පිටත් විය. ජකොබ් වෑන් නෙක් අද්මිරාල් ලෙස යෙදුණු ගමන ඉතාමත් ම සාර්ථක වූ අතර ඔවුන් මුරුසි දිවයින් වලට හා බැන්තම් වරාය වෙත ලඟා වෙන ලදි. පෘතුගීසිගෙන් බාධා එල්ල වුවත් දේශීය පාලකයන්ගේ අනුග්‍රහය මත බැන්තම් ප්‍රදේශයේ වාණිජ කටයුතුවල නිරත වීමට ලන්දේසීන්ට හැකි වූ අතර ගම්මිරිස් ලබා ගෙන නැවත නෙදර්ලන්තය‍ වෙත පැමිණි ෆන් නෙක්ගේ කණ්ඩායමට 100%ක ලාභයක් ලබා ගැනීමට හැකි විය.  

මෙම වෙළඳ ග‍මන් සමඟ කුළු බඩු දූපත් වෙත ගමන් කිරීමේ අපේක්ෂාව ලන්දේසීන් තුළ වර්ධනය විය. ඒ අනුව ඕලන්ද වාණිජ සමාගම් අග්නිදිග ආසියාවේ කුළු බඩු දූපත් වූ සුමාත්‍රා, ජාවා හා මොලුක්කා දිවයින් කරා යාත්‍රා කිරීම සඳහා යාත්‍රා කරන ලදි. 1595 සිට 1601 දක්වා අතර ගමන් වාර 15දී නැව් 65ක් කුළු බඩු දූපත් කරා යාත්‍රා කරවීය. 

යුරෝපයේ මුල්කාලීන ප්‍රබලතම අධිරාජ්‍යවාදීන් වූ ස්පාඤ්ඤ, පෘතුගාලය හා පසු කාලීන අධිරාජ්‍ය බලවතුන් වූ ‍නෙදර්ලන්තය, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය වැනි රාජ්‍යයන් නාවික ආධිපත්‍යය මාර්ගයේ තම බල පරාක්‍රමය ව්‍යාප්ත කරන ලදි. ස්පාඤ්ඤ අධිරාජ්‍ය බිඳවැටීමට මූලික ලෙසම බලපෑ කාරණය වූවේ ඔවුන්ගේ නාවික ආධිපත්‍ය ඉංග්‍රීසි බලය හමුවේ තීරණාත්මක ලෙස යුරෝපයේ දී පරාජයට පත් වීමයි.

14වන ලුවී රජුගේ කාලයේදී(1614-1715) ඇමරිකාවේ හා ආසියාවේ ප්‍රංශ ජනපද ව්‍යාප්තිය සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලදි. රජුගේ මුදල් ඇමති වූ කෝල්බෙයර්ගේ මෙහෙය වීම යටතේ ඇමරිකාවෙන් ඉංග්‍රීසීන් පන්නා දමා ප්‍රංශ බලය ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලදි. අධිරාජ්‍යයේ මූලස්ථානය වූ ප්‍රංශය ප්‍රාග්ධනය හා නිෂ්පාදන සපයන රට ලෙසත් සෙසු යටත් විජිත අධිරාජ්‍යයේ අවශ්‍යතා සපුරන ප්‍රදේශ ලෙසත් සලකන ලදි.

බ්‍රිතාන්‍යයට යුරෝපයේ ප්‍රධාන බලවතා ලෙස නැගී ඒමට හැකි වූවේ පළමුවන එලිසබත් රැජිනගේ කාලයේදී, 2වන පිලිප් රජුගේ ස්පාඤ්ඤය ආර්මඩා නාවික හමුදාව පරාජය කිරීමෙන් පසුවය. යටත්විජිත හා අනෙකුත් රටවල් සමග වෙළඳ සම්බන්ධතා වර්ධනය කරනු සඳහා බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමේ කටයුත්ත හමු‍වේ 1600දී පිහිටුවනු ලැබූ නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම 17වන සියවසෙන් පසු එංගලන්තයේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ලබා දෙන ලදි.

1776ට පෙර සිදු වූ නාවික ආධිපත්‍යය කෙතරම් වැදගත් වීදයත් ලෝක වාණිජ වෙළදාමෙන් 75% කට වඩා සිදු වූවේ නාවික බලය කේන්ද්‍ර කොටගෙනය. ඒ අනුව වාණිජ හා වරාය නගර වන චීනයේ ෂැංහයි හා හොං කොං, පිලිපීනයේ මැනිලා, සිංගප්පූරුව, ඉන්දියාවේ මදුරාසිය හා මුම්බාය, ශ්‍රී ලංකාවේ කොළඹ, ත්‍රිකුණාමලය හා ගාල්ල, බංග්ලාදේශයේ ඩකා, පකිස්තානයේ කරච්චි, යේමනයේ ඒඩ්න්, ඕමානයේ මස්කට්, සොකොත්‍රා, ඊජිප්තුවේ කයිරෝ හා ඇලෙක්සැන්ඩ්‍රියා, දකුණු අප්‍රිකාවේ ‍පෝර්ට් එලිසබත් හා කේප් ටවුන්, ස්පාඤ්ඤයේ කාර්ඩීස්, පෘතුගාලයේ ලිස්බන්, ප්‍රංශයේ පැරිස්, එංගලන්තයේ ලන්ඩන්, තුර්කියේ ඉස්තාම්බුල්, ඉතාලියේ රෝමය, ඇමරිකාවේ බොස්ටන්, නිව්යොර්ක්, ‍වොශින්ටන්, සැන් ෆ්‍රැන්සිස්කෝ හා ලොස් ඇන්ජලීස්, කියුබාවේ හවානා, ‍ජපානයේ ටොකියෝ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි  යන නගර මඟින් ලෝක වෙළදාම ඒකාබද්ධ කරනු ලැබීය.

යුරෝපා ජාතීන් මෙම යුගයේ දී, යුරෝපයෙන් පිටතට ව්‍යාප්ත වීමට ප්‍රධාන ලෙස ම බලපෑවේ යුරෝපා ජාතික රාජ්‍යයන්හි (National States) බිහි වීමත්, වාණිජවාදී ආර්ථික දර්ශනය ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමත් හා ආගම ව්‍යාප්ත කිරීමේ අභිප්‍රායිනුත් වූ බව උපකල්පනය කළ හැක. 1776ට පෙර යටත්විජිතවාදයේදී නාවික ආධිපත්‍යය ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කල අවස්ථාවක් බව කිව හැක. ඇමරිකන් විප්ලවයට පෙර නාවික ආධිපත්‍යයේ බලපෑම මත යුරෝපා ජාතීන්, තම වෙරළතීරයට බොහෝ දුර බැහැර ප්‍රදේශවල අධිරාජ්‍ය පිහිටුවන ලදි. මෙලෙස කටයුතු කිරීමට ඔවුන්ට හැකි වූවේ, නාවික බලය හා යුධ ශක්තිය අතින් ඔවුන් හොඳින් සංවිධානය වී සිටීමත්, තමා යටත් කර ගත් ප්‍රදේශවල ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමත් ය. 

මෙලෙස යුරෝපා ජාතීන් නාවික ආධිපත්‍ය ආධාරයෙන් යටත්විජිත ව්‍යාප්තිය සිදු කිරීමේ මූලික අරමුණු කීපයක් සඳහන් කළ හැක. පළමු වැන්න නම් ආසියාවට තිබූ ගොඩබිම් වෙළඳ මාර්ග සියල්ලක්ම මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් යුරෝපීයන්ට ඇහිරී තිබීමත් හා ඇමරිකානු මහද්වීපයට ගොඩබිම් මාර්ග නොතිබීමත්ය. දෙවැන්න නම් වෙළඳපල අමුද්‍රව්‍ය, රත්තරන් වැනි දෑ ලබා ගැනීමට තිබූ ආර්ථික අවශ්‍යතාවන්ය. තුන්වැන්න නම් ආරක්‍ෂාව සඳහා යුද්ධෝපාචිත ස්ථාන, භෞතික ද්‍රව්‍ය හා මිනිස් බලය ලබා ගැනීමට තිබූ අවශ්‍යතාවයි. හතරවනුව ඉතා ඉහළ කීර්තියක් දිනා ගැනීමට යුරෝපා ජාතීන් තුළ වූ අපේක්‍ෂාවයි. පස්වනුව මනුෂ්‍යයන් ශිෂ්ඨ සම්පන්න කිරීම ලෙස හඳුන්වන ලද මිෂනාරී කටයුත්තයි.

1776ට පෙර යටත්විජිතවාදය මඟින් යටත් කර ගන්නා ප්‍රදේශවලින් පඬුරු, භාණ්ඩ හා ධනය සූරාකෑමට අමතරව යටත්විජිතවල ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරමින් වඩාත් සංකීර්ණ සම්බන්ධතාවක් නාවික ආධිපත්‍යය මාර්ගයෙන් ගොඩනගා ගනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස යටත්විජිත ස්වාමිවරුන් හා යටපත් කරන ලද ප්‍රදේශ අතර මානව හා ස්වාභාවික සම්පත් ගලා යාමක් සිදු විය. නමුත් 1776 ඇමරිකන් විප්ලවයෙන් පසු නාවික ආධිපත්‍ය මෙන් ම යටත්විජිතවල අභ්‍යන්තර දේශපාලන පසුබිමටද වැදගත් කමක් හිමිවිය. මන්ද යත් යුරෝපා සම්භවයක් සහිත පිරිස් විසින් ම යුරෝපා බලය අභියෝගයට ලක් කිරීම හා යුරෝපයේ සිදු වූ කාර්මික විප්ලවයයි.


No comments:

Post a Comment