Sunday 22 November 2020

යාපනය රාජධානියේ දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ විමසීමක්

 

    වංශ කථාවල සඳහන් වන ආකාරයට සේන හා ගුත්තික යන අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකු විසින් සූරතිස්ස රජු (ක්‍රි.පූ. 274-237) පරදවා අනුරාධපුරයේ රජකම පැහැර ගනු ලැබීය . ආක්‍රමණිකයන් පළවා හරිමින් නැවත රජ වූ අසේල රජු (ක්‍රි.පූ. 215-205) පරාජය කළ එළාර රජු වසර 40ක් පමණ කාලයක් අනුරාධපුරයේ රාජ්‍ය පාලනය කරන ලදි. දුටුගැමුණු රජු විසින් එළාර පරාජය කරමින් රට එක්සේසත් කරනු ලැබූවද වළගම්බා රජුගේ කාලයේදී නැවත වරක් රට ආක්‍රමණය කළ දකුණු ඉන්දීය දෙමළ අධිපතීන් හත් දෙනෙකු විසින් වසර 14ක් රජරට පාලනය කරන ලද බව දක්වේ.. I වන සේන රජතුමාගේ කාලයේදී පාණ්ඩ්‍යයන්ද රටේ වස්තුව කොල්ල කෑමේ අරමුණින් ආක්‍රමණය  දියත් කරන ලද බව ඉතිහාසය සාක්ෂි දරයි. 

    චෝළයන් විසින් පාණ්ඩ්‍ය රාජ්‍ය අල්ලා ගැනීමට කටයුතු කළ අවස්ථාවක V වන කස්සප රජු(914-923) පාණ්ඩ්‍ය රජුට ආධාර පිණිස ලංකාවෙන් සේනාවක් යවන ලදි. නමුත් එම යුද්ධයෙන් චෝළයන් ජයගත් අතර පළිගැනීමේ අරමුණින් චෝළයන් විසින් ලංකාව ආක්‍රමණය කොට දිවයිනේ උතුරු කොටස අල්ලා ගනුලැබීය.  එම තත්ත්වය ලංකාව තුළ වසර 77ක් පමණ තිබූ අතර එයින් රට මුදා ගන්නා ලද්දේ මහ විජයබාහු රජු විසිනි. ඔහු ලබා ගත් එම ජයග්‍රහණය කෙරෙහි දකුණු ඉන්දියාවේ චෝළ ආධිපත්‍යයේ පිරිහීම ද යම් තරමකට උපකාරී විය.

    රටේ එක දිගට චෝළ ආධිපත්‍යයට නතුව තිබීම නිසා ද්‍රවිඩ නිලධරයන්, සෙබළුන්, බ්‍රාහ්මණයන් හා ශිල්පීන් ලංකාවට ඒමත් ඔවුන් මෙහි ජනාවාස පිහිටුවා ගැනීමත් නොකඩවා සිදු විය. චෝළ පාලනය පරාජය කිරීමෙන් පසුවද ඔවුන් එම ජනාවාස අතහැරියේ නැත. විජයබාහු රජුගේ සේනාවෙන් සැලකිය යුතු පිරිසක් දෙමළ වේලක්කාර භටයන්ගෙන් යුක්ත විය. රජු චෝළ රාජ්‍ය ආක්‍රමණය කිරීමට දරන ලද උත්සහයක දී වේලාක්කාර භටයන් කැරලි ගැසූ බව වංසකතාවල සඳහන් වේ.

    ක්‍රි.ව. 1215දී පමණ 20000ක පමණ කේරළ බල සෙනගක් සමඟ පැමිණි කාලිංග මාඝගේ ආක්‍රමණය එතෙක් ලංකාවට එල්ල වූ දරුණු ම ආක්‍රමණය ලෙස සැලකේ. ඔහු ඉතා ක්‍රෑර අන්දමෙන් රජරට පාලනය කරන ලදි. එමගින් උතුරු ප්‍රදේශයේ සිංහල බලය විනාශ වීමටත්, දෙමළ රාජධානියකට පදනම වැටීමටත් ඉඩ ප්‍රස්ථාව විවෘත විය. මාඝගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වාඝීශ්වර ඇතුළු මහා සංඝයා වහන්සේලා දළදා හා පාත්‍රා ධාතු සඟවා ආරක්‍ෂාව සඳහා දකුණු ඉන්දියාවට පළා ගිය බව සඳහන් වේ.

    දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් නැවතත් රටේ පාලන බලය ලබා ගත්තත් කාලිංග මාඝගේ ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරේ දෙමළ රාජ්‍යයකට අඩිතාලම වැටෙන්නට විය. තවද ඒ යුගයේදී ම ඇති වූ ජාවක චන්ද්‍රභානුගේ ආක්‍රමණයත්, ඔහු දිවයිනේ උතුරේ පදිංචි වී ද්‍රවිඩ සෙනාවන්ගේ ආධාර ලබා ගැනීමත් හේතුවෙන් උතුරු පළාත නිත්‍යය දෙමළ ප්‍රදේශයක් බවට පසු කාලීන ව පත් විය.

    යාපනය රාජ්‍යය දේශපාලනමය වශයෙන් ආරම්භ වෙමින් වර්ධනය වන්නේ 13 වන සියවසත් සමගය. දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලයේදී ලක්දිවට ආක්‍රමණයක් මෙහෙය වූ චන්ද්‍රභානු විසින් ද්‍රවිඩ කුලී හමුදාවන්ගේ ආධාරයෙන් මාඝ සතු වූ දිවයිනේ උතුරු ප්‍රදේශවල තම බලය ව්‍යාප්ත කරනු ලැබීය.  ක්‍රි.ව. 1292 දී පමණ මෙරටට පැමිණි මාර්කෝ පෝලෝ නම් වැනීසියානු වෙළෙන්දා තම දේශාටන වාර්තාවේ දක්වා ඇත්තේ ලංකාවේ උතුරේ පාලන බලය සෙන්දමේන් නම් රජකු විසින් පාලනය කරන ලද බවයි. පරණවිතාන මහතාට අනුව මාර්කෝ පෝලෝ සඳහන් කළ සෙන්දමේන් යනු චන්ද්‍රභානු වන අතර යාපනය ජාවක ප්‍රදේශයක් ව පැවති බව එමගින් පැහැදිලි වන බවද ඔහු වැඩි දුරටත් පෙන්වාදේ. ජාවකයන්ගේ බලපෑම යාපනයේ ප්‍රදේශ නාමවල ද දැකිය හැකිය. ජාවාවරුන්ගේ බලකොටු තිබූ ප්‍රදේශය ජාවාකෝට්ටය ලෙස හැදින්වේ. ජාවාකච්චේරිය හෙවත් දෙමළින් චාවකච්චේරිය යන නම් ලැබීමට ද එවැනිම පසුබිමක් ඇත. සෙනරත් පරණවිතාන මහතා දක්වන්නේ යාපා පටුන ද, මුලින් හඳුන්වා ඇත්තේ  ජාවා පටුන ලෙස බවයි.

    නමුත් පාණ්ඩ්‍ය දේශයෙන් ආධාර ලබා ගත් දෙවන පරාක්‍රමබාහු විසින් චන්ද්‍රභානුව පරාජය කළ මුත් එම ප්‍රදේශවල බලය පාණ්ඩ්‍ය දේශයේ අණසකට යටත්ව චන්ද්‍රභානුගේ ම පුතෙකු වූ වීර වික්‍රම කුමරුට ලබා දෙන ලද බව සඳහන් වේ. චන්ද්‍රභානුගේ බලය දිවයිනේ උතුරු හා ඊසාන දිග ප්‍රදේශවල පැවති බවත් පසුව එම ප්‍රදේශ පාණ්ඩ්‍ය රාජ්‍යයේ ආධිපත්‍ය පිළිගත් බවත් දකුණු ඉන්දීය සෙල්ලිපිවලින් හෙළි වේ. 1263න් පසුව පාණ්ඩ්‍ය රාජ්‍ය දකුණු ඉන්දියාව තුළ ප්‍රබල වූ අතර ඒ හේතුවෙන් කල්යත් ම මාරවර්මන් කුලසේකර නම් පාණ්ඩ්‍ය රජු විසින් ලංකාවේ උතුරු ප්‍රදේශ පාණ්ඩ්‍ය රාජ්‍යයට ඇඳාගනු ලැබීය.

    පළමු වන භුවනෙකබාහු රජුගේ මරණින් පසු පාණ්ඩ්‍යන් විසින් අවසාන වරට ලංකාව ආක්‍රමණය කරන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. මෙම ආක්‍රමණත් සමග උතුරේ ආර්ය චක්‍රවර්තී නම් රාජ පරම්පරාවක් ආරම්භ වූ අතර ඔවුන් පාණ්ඩ්‍යය අණසකට යටත්ව උතුර පාලනය කරන ලදි. මෙම ආර්ය චක්‍රවර්ති යනු දකුණු ඉන්දියාවේ සිටි පිරිසක් බවත්, 13වන සියවස ආරම්භයේ දී දකුණු ඉන්දියාවට එල්ල වූ මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් එම ප්‍රදේශවලින් පැනවිත් ලක්දිව උතුරේ බලය ලබා ගන්නට ඇති බවත් පරණවිතාන මහතාගේ මතයයි. ඔහුගේ මතයට පදනම් වන්නට ඇත්තේ 14 වන සියවසේ දී සෝම සර්මන් නැමැත්තා විසින් රචනා කළා යැයි සැලකෙන‍ ශේගරාසේකර මාලෙයා නම් ජ්‍යෝතිෂ ශාස්ත්‍ර ග්‍රන්ථයක ආර්ය චක්‍රවර්ති නම් දකුණු ඉන්දීයකු ගැන සඳහන් වී තිබීමයි. ආර්ය චක්‍රවර්තිවරුන් පිළිබඳ මුල් වරට තොරතුරු ලැබෙන්නේ දකුණු ඉන්දියාවේ ට්‍රිචිනපොලිහි ශ්‍රී රංගම් දේවස්ථානයේ මල් දම් සැපයීම වෙනුවෙන් ආර්ය චක්‍රවර්තී ගරුනාමය දැරූ මතිතුංග නම් පුද්ගලයෙකුට ඉඩමක් තෑගි කළ බව එහි ඇති සෙල්ලිපියක සඳහන්වීම මඟිනි. 

    මේ සම්බන්ධයෙන් ඇති තවත් මතයක් වන්නේ ආර්ය චක්‍රවර්තීවරු යනු, කාලිංග දේශයට එල්ල වූ ආක්‍රමණ හේතුවෙන් එම ප්‍රදේශ අතහැර දකුණු ඉන්දියාවට සංක්‍රමණය වූ කාලිංග චක්‍රවර්තී පරපුරෙන් පැවතෙන්නන්ගෙන් හා රාමේෂ්වරම්හි ගුජරාට බ්‍රාහ්මනයන්ගෙන් පැවතෙන්නන්ගේ මිශ්‍රණයෙන් නිර්මාණය වූ පිරිසක් බවයි. නමුත් තවත් පිරිසකගේ මතය වන්නේ ආර්ය චක්‍රවර්තීවරුන්ට, ද්‍රවිඩ‍ හෝ ආර්ය සම්භවයක් නොතිබූ බවයි. 

    කෙසේ වෙතත් උතුරේ බලය පිහිට වූ ආර්ය චක්‍රවර්තීවරුන්ගෙන් යාපනය රාජධානිය ආරම්භ වූ බව පෙනී යයි. පාණ්ඩ්‍යය බලය දුර්වල වීමත් සමඟ 14 වන සියවස පමණ වන විට ආර්ය චක්‍රවර්තීවරු උතුරේ ස්වාධීන පාලකයන් වී ඇත. පළමු වෙනුවෙන් ම උතුරේ බලය පිහිට වූ ආර්ය චක්‍රවර්තී රජවරුන්ගේ අගනුවර කුමක් දැයි මෙතෙක් සොයා ගෙන නැත. යාල්පාන වෛපවමලයිහී සඳහන් වන්නේ අගනුවර නල්ලූර් වූ බවයි. නමුත් ශේගරාසසේකර මාලෙයි නම් කෘතියේ සඳහන් වන්නේ යාපනය රාජධානියේ අගනුවර ශිංගෛනගර් වූ බවයි. 

    දෙමළ වංශකථාවලට අනුව ආර්ය චක්‍රවර්තීවරු හඳුන්වා ඇත්තේ චින්කෙයි ආරියන් යනුවෙනි. එහි අදහස නම් “චින්කෙයි සිට පාලනයකරන ආරියන්වරුන්” යන්නයි. ආරියන් හා චින්කෙයි යනු ආර්ය චක්‍රවර්තීන් හා චින්කෙයිනගර් යන්නේ සංක්‍ෂිප්ත අර්ථයන්ය. ඔවුන්ගේ රාජ්‍ය සංකේතය වූවේ වැතිර සිටින වෘෂභයෙක් හා දෙමළ අක්‍ෂරවලින් ලියන ලද “සේතු” පාදයයි. කාසි නිකුත් කිරීමේදී තඹ හා රිදි භාවිතා කොට ඇති අතර ඉඳහිට රන් ආලේපිත කාසි ද නිකුත් කර තිබී ඇත. එම රජ පෙළපතට රජවරුන් දස දෙනෙකු අයත් වන අතර වඩා ප්‍රසිද්ධ වන්නේ ජයවීරන්, වරෝදයන් හා මාර්තන්ඩන්ය. 

    යාල්පාන වෛපවමාලෙයිහී දක්වා ඇති අන්දමට යාපනය රාජධානියේ රජකම් කළ ආර්ය චක්‍රවර්තී රජවරුන් මෙසේය. විජය කුලන්කෙයි චක්‍රවර්ති - ක්‍රි.ව. 1210, කුලශේකර ජින්කෙයි ආරියන් - ක්‍රි.ව. 1256, වික්කිරම - 1279, I වන වරෝදය - 1302, මාර්තාන්ඩ - 1325, කුණපූසුන - 1348, II වන වරෝදය - 1371, ජයවීර - 1380, කුණවීර - 1394, කනකසූරිය - 1440 නම් වේ.

    මෙම පෙළපතේ ප්‍රථම රජු වූ ජයවීරන්  පිළිබඳ තොරතුරු 16 හා 17 වන කාලයේදී රචනා කරන ලදැයි සැළකෙන කයිලාසමාලෙයි නම් ග්‍රන්තයේ සඳහන් වන අතර ඔහුගේ කාලයේදී යාපනය රාජ්‍යයේ පාලනය ප්‍රතිසංවිධානය කරන ලදි. ඒ අනුව යාපන රාජධානිය තුළ පැවති ප්‍රදේශවල පාලනය රජු යටත‍ට පවරා ගන්නා ලද අතර ඒවා පාරු නම් කුඩා ඒකකවලට බෙදා රජුට අවනත නවක ප්‍රධානීන් අතර බෙදා දෙන ලදි. රජයට ප්‍රධාන වශයෙන් ආදායම් ලබා දුන් ප්‍රදේශවන මාන්තෝට්ටම් හා පොන්නේරින් පාලනය සඳහා රජු වැඩි අවධානයක් යොමු කරන ලදි. 

     යාපනය රාජධානියේ දෙවන ප්‍රබලතම පාලකයා වන  වරෝදයන්ගේ කාලයේදී එහි බලය මෙන්ම ප්‍රදේශ ව්‍යාප්තියද වර්ධනය විය. ඔහු දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය ආක්‍රමණ සාර්ථකව මැඩපවත්වා ඇත. තම බලය තහවුරු කර ගැනීම සඳහා මාන්තෙයි හෙවත් මන්නාරම හා ඒ අවට බටහිරින් වූ ප්‍රදේශවලට ආක්‍රමණද දියත් කර ඇත.

    යාපනයේ නිල තල දැරූවන්ගේ නාම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ එම නිලතල දැරූවන්ගේ නාම පාණ්ඩ්‍ය හා විජයනගර් රජුන්ගේ කාලවල දකුණු ඉන්දියාවේ පැවති නිලධාරි නාමවලට සමාන වන බවයි. රජුට සහය වූ ප්‍රදාන ම නිලධාරියා වූ අදිකාරී නිලය එවැනි තනතුරකි. එයින් උපකල්පනය කළ හැක්කේ, එම නිලතල දැරූවන් ඉහත සඳහන් කරන ලද ප්‍රදේශවලින් යාපනයට සංක්‍රමණය වූවන් හෝ ඔවුන්ගෙන් පැවත එන්නන් වන බවයි.  

    යාපනය රජුගේ හමුදාව කර්නාට, කේරළ, ද්‍රවිඩ, තුලුව හා වරෙක මුස්ලිම්ද යන විවිධ ජාතීන්ට අයත් භටයන්ගෙන් සමන්විත වූ අතර එයින් බහුතරයක් කුලී භටයන් විය. සේනාපති යුද්ධ හමුදාවේ ප්‍රධානියා වූ අතර මුලුලියාර්වරුන් හා ආරච්චිවරුන් යටතේ අතුරු සේනා සංවිධානය විය. රාජ්‍ය පාලනයේදී රජුට ප්‍රධාන වශයෙන් ම සහය වූ අදිකාරීවරුන්ගේ සහය සඳහා මුදලියාර්, පංටාරපිල්ලේ, කන්කානි, උදෛයාර්, මානියම් හා අටප්පනාර් යන නම්වලින් හැඳින් වූ නිලධාරීන් රාශියක් සිට ඇත.

    යාපනය රාජධානියේ දී රජයේ කට‍යුතුවල නිරත වූවන් සඳහා ගෙවීම් කරන ලද්දේ ඉඩම් හෝ ඉඩම්වලින් ලැබූ ආදායම ප්‍රදානය කිරීමෙනි. යම් යම් අවස්ථාවලදී විජයනගර් රජවරු මෙන් මුදලින්ද ගෙවීම් කර ඇත. වැසියන් විසින් රජයට බදු ගෙවා ඇත්තේ ධාන්‍යවලින් හෝ මුදලින් ය. බදු එකතු කරන ලද්දේ මුදලියාර්වරුන් විසින් වූ අතර සිවිල් නඩු විසදීමේ බලයද ඔවුන් සතු විය. යාපනයේ පාරම්පරික නීති මාලාව වූ තේසවලාමේ නීතිය ආරක්‍ෂා කරන ලද්දේ ද මුදලියාර්වරුන් විසිනි. තවද පංටාරපිල්ලේ හා කන්කානි නම් නිලධාරීන් ද බදු එකතු කිරීමේ කාර්යයේ නිරත වී ඇත. මනියම්, තලයියාර්, පට්ටනකට්ටි හා අට්ටප්පනාර් යන නිලධාරීන් ගම් ප්‍රධානීන් වූහ. ආර්ය චක්‍රවර්තී යුගයේදී යාපනයේ ක්‍රියාත්මක වූ රාජකාරි ක්‍රමය සිංහල රජකාරි ක්‍රමයට සමාන වන අතර එය ඌලියම් යනුවෙන් හදුන්වා ඇත.

    1344 දී පමණ ලංකාවට පැමිණි අරාබි ජාතික ඉබන් බතූතාට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ පාලනය අරිෂකාවර්තී නම් සුල්තාන්වරයෙකු විසින් පාලනය කර ඇත. මොහු බොහෝ විට ආර්ය චක්‍රවර්තී විය හැක. තවදුරටත් ඉබන් බතූතාගේ දේශාටන තොරතුරු අධ්‍යනයෙන් පෙනී යන්නේ ආර්ය චක්‍රවර්තීවරු ලංකාවේ මන්නාරම් බොක්කේ සිට බෙංගාල බොක්ක දක්වා යන මුහුදු තීරයේ වෙළදාම පාලනය කළ පිරිසක් වූ බවයි. 

    13වන සියවස අවසාන වන විට දේශපාලන අස්ථාවරත්වය හමුවේ සිංහල රාජධානියේ අගනුවර දඹදෙනියේ සිට යාපහුවටත් එතැනින් කුරුණෑගලට මාරු විය. මෙය අවස්ථාවක් කර ගත් ආර්ය චක්‍රවර්තීවරු යාපනය ප්‍රදේශයේ වරාය තොටුපලවලට අමතරව සිංහල රජුගේ ප්‍රදේශවලින්ද අයබදු එකතු කරන ලදි. ඉබන් බතූතාට අනුව අරිෂකාවර්තී නම් සුල්තාන්වරයා මන්නාරම ප්‍රදේශයේ මුතු පරවලින් මුතු රැස් කර බවත්, විශාල නාවික බලයක් ඔහු සතුව තිබූ බවත් සඳහන් කරයි. තවද බත්තාලහ් (වත්තල) නගරයේදී ආර්ය චක්‍රවර්තී රජු විසින්, තමාව ගරු සරු සහිත ව පිළිගත් බව ඉබන් බතූතා සඳහන් කර තිබේ. 

    යාපනයේ පිහිටීම හා පසේ ස්වභාවය අනුව දිවයිනේ අනෙකුත් ප්‍ර‍දේශවලට වඩා එහි සශ්‍රීකත්වය හා ස්වාභාවික සම්පත් ඉතා දුර්ලභය. ඒ හේතුවෙන් ම යාපනයේ ආර්ථිකය මුහුදු වෙළදාම හා මුතු කිමීදීමෙන් ලබා ගන්නා ආදායම මත රදා පැවතුණි. යාපනයේ බලය වර්ධනය වන විට හා දකුණේ බලය දුර්වල වන විට එහි ආදායම ලබා ගැනීම සඳහා ආක්‍රමණ දියත් කිරීමට  උතුරේ රජවරු පෙලඹුණු බව පෙනී යයි. ඉබන් බතූතාගේ වාර්තා මගින් එකල යාපනය රාජධානියේ ආර්ථිකය පිළිබඳව ද යම් අවබෝධයක් ලබා ගත හැක. ඔහුට අනුව තමා රජු සමඟ පිළිසඳරක යෙදී සිටින විට මුතු කිමිදීමෙන් ලබා ගත් මුතු රාශියක්, රාජ්‍ය සේවකයන් විසින් වර්ග අනුව තෝරමින් සිටි ආකාරය දුටු බව සඳහන් කර ඇත. ලංකාවේ මුතු, ලෝකයේ වෙනත් ප්‍රදේශයන්හී මුතු සමග සසඳන විට ඉතා උසස් තත්ත්වයේ වූ බව බතූතා සඳහන් කරයි. වත්තල වෙරළ ආශ්‍රිතව කඳු ගොඩවල් මෙන් කුරුඳු ගොඩ ගසා තිබූ බවත් මාබාර් හා මලබාර් වෙළඳුන් විසින් මෙම භාණ්ඩ ලබා ගෙන ඇති අතර එහි වටිනාකමට වෙනත් භාණ්ඩ රජු සමඟ හුවමාරු කර ගෙන ඇත. රජුගේ සිය ගණනක් වූ නාවික ‍යාත්‍රා මලබාර් වෙරළේ සිට අරාබියේ යේමනය දක්වා කුළු බඩු ප්‍රවාහනය කරන ලද බවද ඔහු දක්වයි.

    ආර්ය චක්‍රවර්තීවරු ගම්පොළ රාජ්‍ය සතු ප්‍රදේශවලට ද ආක්‍රමණයන් දියත් කර ඇත. ඒ අනුව ගම්පොළ IIIවන වික්‍රමබාහු රජුගේ තුන් වන රාජ්‍ය වර්ෂයේ දී හාරිස්පත්තුවේ මැදවෙල/මඩවල ගල්ගනේ විහාරයේ පිහිටුවන ලද සෙල්ලිපියක සඳහන් වී ඇත්තේ ගම්පොළ රජුගේ ආධිපත්‍ය පිළිගත් මාර්තාණ්ඩ පෙරුමාල් නැමැත්තෙකු සිංගුරුවාන, බලවිට, මාතලේ, දුම්බර හා සගමතුන්රට යන ප්‍රදේශවලින් බදු එකතු කළ බවයි. සෙනරත් පරණවිතාන මහතා මැදවෙල සෙල්ලිපිය කියවා ඉදිරිපත් කර ඇත්තේ මෙසේය; “ශ්‍රී සිරිසගබෝ ශ්‍රී වික්‍රමබාහු චක්‍රවර්ති සවුමින් වහන්සේට තුන්වනු උදුවප පුර අටවක සන්ධානයෙන් සිගුරුවාන බලවිටමාතල දුම්බර සාගම - තුන්රට සවුළුපති මාර්තාන්ඩ පෙරුමාල් වහන්සේ මඩිගයා පවරා දෙන බමුණන් තෙනුවර මලමඩල නාඩුවලන්තරු” මේ අනුව පෙනී යන්නේ මාර්තාණ්ඩ ආරියසිංහ මුළු දිවයිනේ ම පාලකයා ලෙස ගම්පොළ වික්‍රමබාහු රජු විසින් පිළිගෙන ඇති බවයි. මෙහි මඩිගයා ලෙස දක්වා ඇත්තේ බදු එකතු කරන ලද තැනැත්තා බව පරණවිතාන මහතාගේ මතයයි. මෙම මාර්තාණ්ඩ ආරියසිංහ පෙරුමාල් යනු 1300 සිට වසර 300යක් පමණ උතුරේ බලවත් වූ ආර්ය චක්‍රවර්තීවරුන් අතරින් ප්‍රබලතම රජු ලෙස පිළිගැනේ. 

    රාජාවලියේ හා 1369 දී රචනා වී ඇති නිකාය සංග්‍රහයට අනුව හා මැදවෙල දෙමළ සෙල්ලිපියට අනුව ආර්ය චක්‍රවර්තී රජුගේ බලය කොටගම දක්වා ව්‍යාප්ත පැවති බව පෙනී යයි. නිකාය සංග්‍රහයට අනුව ආර්ය චක්‍රවර්තී රජු කොළොම්තොට, වත්තල, සලාවත, හා මීගමුවේ තම බළකොටු හා නියෝජිතයන් ස්ථාපිත කර තිබී ඇත. අලකේශ්වර ඇමතියා විසින් ගම්පොළ තම ආධිපත්‍ය පිහිටුවීමෙන් පසුව කෝට්ටේ බළකොටුවක් පිහිටුවා ආර්ය චක්‍රවර්තීගේ බදු එකතු කරන්නන් එළවා දමන ලදි. එයට ප්‍රතිචාර දක්වනු පිණිස සොළී රටින් ආධාර ලබා ගත් ආර්ය චක්‍රවර්තී රජු ගම්පොළට හා ජයවර්ධනපුරය‍‍ට එකවර පහර දුන් නමුත් එම සටන්වලදී ද්‍රවිඩ සේනා තීරණාත්මක ලෙස පරාජය වී ඇත. ඒ අනුව ගොඩබිමින් පැමිණි ද්‍රවිඩ සේනා මාතලෙදීත්, පාණදුරෙන් ගොඩ බට හමුදාව දෙමටගොඩදී හා ගොරකානේදී සමූලඝාතනයට ලක් වූ බව අ‍ලකේශ්වර යුද්ධය හා රාජාලිය යන කෘතීන් හී දැක්වේ.

    රාජාවලියේ එය දක්වා ඇත්තේ මෙසේය;

“ආර්ය චක්‍රවර්ති තෙමේ තේජෝ බලයෙන් හා සේනා බලයෙන් ද ආඪ්‍ය වූයේ ලක්දිව උඩපාත දෙරටින් ම අයබදු ගිනිමින් සිටියේ ය. මෙසේ පසුවනාතාර එක් දිනක් තමාගේ සේනාව ලේකම් බලා මා වැන්නෙක් අන්‍යයෙකුට බදු ගෙවමින් සිටීම තරම් නොවේ යි. මෙසේ සිතා ආර්ය චක්‍රවර්ති රජු සමඟ යුද්ධයට යනු පිණිස කළමණා සම්පාදනය කරන්නේ ජයවර්ධන කෝට්ටයෙහි අමුණා ගිල්මත් බැද.......අවුරුදු ගණනකට වියදමට වී සහල් උපදවා........ආර්ය චක්‍රවර්ති රජුගේ මුර සිටියවුන් අල්ලා එල්ලා දැම්මෙව්වේ ය. ආර්ය චක්‍රවර්ති තෙමේ එපවත් අසා විෂඝෝර නයෙකු මෙන් කෝපව සොලී රටින් ද දහස් ගණන් සෙනග ගෙන්වමින් ගම්පොළ සහ කෝට්ටයත් එකදා කොටන හැටියට ගොඩින් ද මුහුදෙන් ද බල සෙනග එවීය. ගොඩින් ආ සේනා මාතලේ වාඩිලා ගත්තා ය. මුහුදින් ආවෝ පානදුර තොටින් ගොඩ බැස කොළොම්තොට, දෙමටගොඩ, ගොරකාන අතුරු සිදුරු නැති ව පිරී සිටිය හ. එකල්හි උඩර‍ට රජ බියපත් වූයේ ගම්පොළ හැර රයිගමට පලා ගියේය. උඩරට සෙනග ඒ දැක අපවැනි සේනාවක් දමාපියා පලාගිය රජුගෙන් අපට කම් කිම්ද යි ඔවුනොවුන් මණත්‍රනය කොට සියල්ලෝ එක්ව ගෝස් මාතලය වටලා වාඩිකුලප්පු කරවා නැතක් දෙමළුන් මැරූහ. ඉතුරු දෙමළු බිදී යාපන පටුනට පළා ගිය හ. අලකේශ්වර තේමේ කොළොම්තොටට පැමිණ දෙමටගොඩ, ගොරකාන පිරී සිටි දෙමළුන් නසා පානදුර තිබුණු නැවුත් පොඩිකර දමා යුද්ධයෙන් ජයගෙන ආපසු රයිගන් නුවරට වන්නහ”

    කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජුගේ බලය වර්ධනය වීමත් සමග ඔහුගේ නායකත්වය යටතේ සපුමල් කුමාරයා විසින් අවස්ථා දෙකක දී සටන් මෙහෙයවා යාපා පටුන ජය ගත් බව වංසකතාවල සඳහන්වේ. ඔහු 1450 සිට වසර 17ක් කොට්ටේ බලය උතුරේ ස්ථාපනය කොට තිබී ඇත. ඔහුගේ කාලයේදී යාපනයේ රජමාලිගාව අලුත්වැඩියා කරන ලද බවත්, නල්ලූර්හී පිහිටා ඇති කන්දසාමි කෝවිල ගොඩ නැංවූ බවත් ජනප්‍රවාදයේ පවතී. තවද ඔහු අලුතින් කාසි නිකුත් කරන ලද අතර එහි ලාංඡනය වශයෙන් මොනර රූපයත්, සේතු වෙනුවට කන් හෝ ආරු යන සලකුණුත් ඇතුලු කරන ලදි. එසේ කරන ලද්දේ “කන්දසාමි” හා “අරුමුගස්වාමි” යන නම්වල මුලකුරු යොදා ගනිමිනි. 

    1467 දී VI වන පරාක්‍රමබාහු රජුගේ මරණින් පසුව VI වන බුවනෙකබාහු ලෙස කොට්ටේ රජකමට සපුමල් කුමාරයා පත් වීමත් සමඟ නැවත වරක් යාපනයේ බලය අස්ථාවර විය. මෙය අවස්ථාවක් කොට ගත් පළාගිය කණකසූරිය රජු තන්ජෝර්හි හා එහි අනෙකුත් නායකයන්ගේ සහයෝගය ඇතිව නැවතත් යාපනය අත්පත් කොට ගනිමින් නල්ලූර් මුල්කොට තම පාලනය ඇති කරන ලද බව යාල්පාන වෛපවමාලෙයිහි සඳහන් වේ. නැවත තම පාලන බලය ස්ථාපිත කිරීමත් සමඟ යාපනය රාජධානියේ සාමය හා සමෘද්ධිය ස්ථාපිත වූ අතර එහි ප්‍රධානතම ආදායම් මාර්ගය වූ වෙළදාම යළි ස්ථාපිත විය. යාපනය යළි ලබා ගැනීමට තන්ජෝර් පාලකයන්ගෙන් උදව් ලැබීම හේතුවෙන් දකුණු ඉන්දියාව හා යාපනය රාජධානිය අතර සමීප සබඳතා ඇතිවූ අතර දෙරාජ්‍යයන් අතර පුද පඬුරුද හුවමාරු විය.

    කණකසූරීය රජු දෙවන වරට රජ වූ පසු සිංහල රජුට පක්‍ෂපාතීව සිටි අයට ඉතා දරුණු ලෙස දඩුවම් කරන ලද බවත් ඒ හේතුවෙන් බොහෝමයක් සිංහල පවුල් යාපනය අතහැර දකුණට සංක්‍රමණය වූ බවත් යාල්පාන වෛපවමාලෙහි කෘතියේ දැක්වේ. මහළු වී සිටි කණකසූරිය රජුට පසුව ඔහුගේ පුත් පරරාජසේකරම් රජු බලයට පත් වූ අතර ඔහුගේ දීර්ඝ කාලය තුළ (1478-1519) යාපනයේ දමිළ සාහිත්‍යයේ වර්ධනයක් ඇති විය. තවද ඉතා විශිෂ්ට ග්‍රන්ථයක් ලෙස සැලකෙන දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ශබ්ධ කෝෂ ග්‍රන්ථයක් රජුගේම නමින් එළි දැක්විණ. මෙම රජුගේ අභාවයෙන් පසු ඔහුගේ අනියම් බිරිඳකගේ පුතෙකු වූ සංකිලි (1519-1568) නම් කාර්යක්‍ෂමවූත්, අධිෂ්ටාශීලීවූත්, බලසම්පන්නවූත් කුමාරයා බලය පැහැර ගන්නා ලදි.  

    සංකිලි රජුගේ කාලය වන විට ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පෘතුගීසි බලය ව්‍යාප්ත වෙමින් තිබූ අතර මුලදී පෘතුගීසීන්ගේ අවධානය යාපනය රාජධානිය වෙත එල්ල නොවීය. නමුත් 1543 වන විට සංකිලි රජු විසින් යාපනය රාජධානිය අවට මුහුදු තීරයේදී විනාශ වන නාවික යාත්‍රාවල භාණ්ඩ රාජසන්තක කිරීම පෘතුගීසීන්ට විශාල පාඩුවක් විය. මන්ද යත් එසේ විනාශ වන යාත්‍රාවලින් වැඩි ප්‍රමාණයක් පෘතුගීසීන්ට අයත් ඒවා වීමයි. මේ හේතුවෙන් පෘතුගීසීන්ගේ අවධානය යාපනය රාජ්‍ය වෙත ක්‍රමයෙන් එල්ල වූ අතර 1619 වන විට පෘතුගීසීන් යාපනයේ ද්‍රවිඩ රාජ්‍යත්වය අහෝසි කර, තම ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම යාපනය තුළ පිහිටුවන ලදි.

    ඉහත කරුණු අධ්‍යනයේ දී පෙනී යන්නේ ලංකාවට එල්ල වූ දකුණු ඉන්දීය ආක්‍රමණ සමග හා රජරට රාජධානියේ පිරිහීමත් සමග උතුරේ වෙනම ම පාලනයක් සඳහා ඉඩ ප්‍රස්ථා විවෘත වූ බවයි. ඊට පෙර යාපනයද රජරට සිංහල රජුන් යටතේ පාලනය වූ බව වසඹ රජුගේ කාලයට අයත් පානාකඩුව තඹ සන්නසින් හා පරාක්‍රමබාහු රජු නියෝජනය කරමින් යාපනයේ පාලනය මෙහෙයවූ ඇමතිවරයෙකු විසින් කරවන ලද සෙල්ලිපියකින් අනාවරණය වේ. ප්‍රධාන වශයෙන් ම කාලිංග මාඝගේ හා චන්ද්‍රභානුගේ ආක්‍රමණත් සමග උතුරේ වෙනම ම පාලනයකට අඩිතාලම වැටෙන ලදි.

     මුලදී පාණ්ඩ්‍ය ආධිපත්‍ය යටතේ පැවති යාපනය ප්‍රදේශය පසුව ආර්ය චක්‍රවර්තීවරුන් යටතේ ප්‍රබලව නැගී සිටිමින් සිංහල රාජධානිවලටද ආක්‍රමණ එල්ල කරන ලදි. යාපනය රාජධානිය දේශපාලන හා ආර්ථික වශයෙන් සංවිධානය වී ඇත්තේ දකුණු ඉන්දීය ආභාෂය යටතේ බව ඉහත කරුණු අධ්‍යනයේ දී පෙනී යයි.


No comments:

Post a Comment