Thursday 26 November 2020

“ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නව පිහිටි, එහෙත් මුළුමනින්ම ඉන්දියානුකරණයට ලක්නොවූ දිවයිනකි.”

 

1. හැඳින්වීම.

1.1. ශ්‍රී ලංකාවේ පිහිටීම.

2. ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයේ පිහිටීම නිසා ඇති වූ බලපෑම.

2.1. ශ්‍රී ලංකාව ජනාවාස වීමේ දී ඇති වූ ඉන්දීය බලපෑම.

2.2. ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය හැඩගැසීම කෙරෙහි එල්ල වූ ඉන්දීය බලපෑම.

2.3. රාජ්‍ය බලයට එල්ල වූ ඉන්දීය බලපෑම.

2.4. සංස්කෘතික ක්‍ෂේත්‍රයේ දී ශ්‍රී ලංකාවට ඇති වූ ඉන්දීය බලපෑම.

3. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් ව පිහිටීම නිසා ඇති වූ අනන්‍යතා.

3.1. රාජ්‍ය පරිපාලන තන්ත්‍රයේ ඇති වූ අනන්‍යතා.

3.2. සංස්කෘතික අනන්‍යතා.

4. සමාලෝචනය.


1. හැඳින්වීම.

1.1. ශ්‍රී ලංකාවේ පිහිටීම.

අප වාසය කරන ශ්‍රී ලංකාව ඉන්දියාවට දකුණු දෙසින් පිහිටි දිවයිනකි. දිවයිනක් හෙවත් දූපතක් යනුවෙන් හැඳින්වෙන්නේ සෑම අතින්ම ජලයෙන් වට වූ ගොඩබිමකි. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙන් වටව පිහිටා ඇත. වර්‍ග කිලෝමීටර් 65610ක් වන මෙය ලෝකයේ වෙනත් දූපත් හා සසඳන විට මධ්‍යම ප්‍රමාණයේ දූපතකි. 

ශ්‍රී ලංකාවේ උතුරු කෙළවරේ පේදුරු තුඩුවේ සිට දකුණේ දෙවුන්දර තුඩුව තෙක් දිග කිලෝමීටර 447ක් පමණ වේ. පළලම කොටස බටහිරින් කොළඹ සිට නැගෙනහිරින් සංගමන් කන්ද තුඩුව දක්වා දුර කිලෝමීටර් 224ක් පමණ වේ. රටක පිහිටීම වඩාත් නිශ්චිතව ම දැක්විය හැකිවනුයේ අක්ෂාංශ හා දේශාංශ මඟිනි. ශ්‍රී ලංකාව උතුරු අක්ෂාංශ 5°.55’ සහ 9°.51’ අතරත් නැගෙනහිර දේශාංශ 79°.42’ සහ 81°.52’ අතර පිහිටා ඇත. 

ශ්‍රී ලංකාව පිළිබඳ කෙරෙන කෙබඳු අධ්‍යයනයක දී වුවද අර්‍ධද්වීපික ඉන්දියාව හා සම්බන්ධව එහි පිහිටීම විශේෂයෙන් සලකා බැලිය යුතු වෙයි. ඒ අනුව භූ ගෝලීය පිහිටීමට අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට උතුරින් පිහිටා ඇත. භූ ඉතිහාසයේ මුල් අවධියේ දී ශ්‍රී ලංකාව ඉන්දියානු අර්ධද්වීපයේ ඩෙකෑන් සානුවට සම්බන්ධව පැවති බව විද්‍යාඥයෝ දක්වති. වර්තමානයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් වෙන් වන්නේ පෝක් සමුද්‍ර සන්ධිය නමින් හැඳින්වෙන කිලෝමීටර් 32ක් පමණ වන පටු සමුද්‍ර තීරයකිනි. 

ක්‍රි. පූ. 2වන ශතවර්‍ෂ‍යේදී පමණ  ලියන ලදැයි සැලකෙන රාමායණයෙහි සීතා සොයා ශ්‍රී ලංකාවට පැමිණි රාම පාලමකින් එගොඩ වී මෙහි පැමිණි බව සඳහන් වේ. ආදම්ගේ පාලම සහ රාමගේ පාලම යන නම් වලින් දැනට හඳුන්වනු ලබන මෙම පාලම ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළෙහි පිහිටි මන්නාරම දූපතත් දකුණු ඉන්දීය වෙරළ අසල පිහිටි රාමේශ්වරම් දූපතත් අතර කිලෝමීටර් 48ක් පමණ දිගට විහිදෙන වැලිපර දාමයක් ලෙස හැඳින්විය හැක. මෙකී වැලිපර එක වකවානුවක දී දෙරට සම්බන්ධ කළ ගොඩබිම් තීරුවකින් ශේෂ වූ කොටස් ලෙස භූ විද්‍යාඥයෝ දක්වති. ශ්‍රී ලංකාව මුලින් ම ජනාවාස වීමේ සිට අද දක්වාම කැපීපෙනෙන ඉන්දියානු බලපෑමකට හේතුවන්නේ දිවයින ඉන්දියානු අර්ධද්වීපයට මෙතරම් සමීපව පිහිටීම බව කිව හැකිය. 

නමුත් කල්යත්ම බුද්ධාගම ලංකාවට ලැබීමත්, ඉන්දියානු දේශපාලන, සමාජිය හා ආර්ථික වෙනස්වීම්වල ප්‍රබලත්වය ලංකාවට සෘජුව එල්ල නොවීමත් හේතුවෙන් ලංකාවේ දේශපාලන, සමාජීය හා ආර්ථික ක්ෂේත්‍ර එයට අනන්‍ය වූ ආකාරයකට පරිණාමය වන ආකාරයක් දැකිය හැකිය. එයට ප්‍රධානතම හේතුව වූයේ ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීමයි. මෙම පැවරුම තුළින් ලංකාවේ භූ ගෝලීය පිහිටීමත්, ලංකාව ඉන්දියාව ආසන්නයේ පිහිටීම හේතුවෙන් ඇති වූ දේශපාලන, ආර්ථික, සමාජීය බලපෑම් ආදියත් ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම නිසා ඊටම අනන්‍ය ලෙස පරිණාමය වූ දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික විවිධත්වය අධ්‍යයනය කරනු ලැබේ.

2. ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයේ පිහිටීම නිසා ඇති වූ බලපෑම.

2.1. ශ්‍රී ලංකාව ජනාවාස වීමේ දී ඇති වූ ඉන්දීය බලපෑම.

ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීම අනුව සලකා බලන විට ලංකාවට කිට්ටුවෙන්ම පිහිටා තිබෙන රට වන්නේ ඉන්දියාවයි. මේ හේතුවෙන් ඈත අතීතයේ සිටම විවිධ ආකාරයේ සබඳකම් මේ දෙරට අතර දක්නට ලැබිණ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සම්බන්ධකම් පැවැත් වූ බව සිතිය හැකිය. එරටින් මිනිසුන් පැමිණ මෙහි ස්ථීර වාසස්ථාන පිහිටුවීමට පෙර වෙළඳාම සඳහා ඔවුන් මෙහි පැමිණි බව පෙනී යයි. ආසියාව හරහා වැටී තිබුණු මාර්‍ග ඔස්සේ පැවති පෙර අපර දෙදිග වෙළඳාමට හවුල් වූ ඉන්දියානුවන් ශ්‍රී ලංකාවෙන් මුතු මැණික්, ඇත් දළ ආදී වටිනා භාණ්ඩ ගෙන ගිය බව විදේශීය මූලාශ්‍ර අධ්‍යයනයේදී පෙනී යයි. ෆාහියන් භික්ෂුවගේ මතය අනුව ලංකාව මුලින් ම ජනාවාස වූයේ වෙළෙන්දන්ගෙනි. හියුන්සෑන් භික්ෂුව හා දිව්‍යාවදානයද ලංකාවේ දේශපාලන නායකත්වය ආරම්භය ඉන්දියාවේ සිට පැමිණි වෙළඳ කණ්ඩායමක් නිසා ඇති වූවක් ලෙසින් පෙන්වා දී ඇත.  ප්‍රාග් ‍ඓතිහාසික යුගයේ මානවයා වෙළඳාම කළ බව ඉබ්බන්කටුව සුසාන භූමියේ තිබී හමු වූ ද්‍රව්‍ය වලින් ද හෙළි වී ඇත.

 මෙයින් වැදගත් වූ සිද්ධියක් ලෙස ආර්ය කණ්ඩායම් මෙරටට පැමිණීම හා ජනාවාස පිහිටුවා ගැනීම දැක්විය හැකිය. මෙසේ ආර්යයන් ඉන්දියාවේ නැගෙනහිර දෙසින් හා බටහිර දෙසින් මුහුදු මාර්‍ග ඔස්සේ ලංකාවට පැමිණි බව හෙළි වී ඇත. ඔවුන් ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළෙහිත් ගිනිකොන දිග වෙරළෙහිත් පදිංචි වූහ. කල්යෑමේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ඨාශය බවට පත් වූ මොවුන් සිංහලයන් ලෙසින් හැඳින්වෙති. ඔවුහු ගොවිතැන් කටයුතුවලට හුරු පුරුදු අය වූ බැවින් කෘෂිකර්මයට හිතකර ගංගා නිම්නවල පදිංචි වූහ. ඔවුන් රැගෙන ආ භාෂාව, සමාජ සිරිත් හා ජීවන ක්‍රමය ලංකාවේ ස්ථාපිත විය. 

වංශ කථාවලට අනුව මෙරටට පැමිණි මුල් ම ආර්ය කණ්ඩායම ලෙස හැඳින්විය හැක්කේ විජය කුමරු ඇතුළු පිරිසයි. එලෙස සඳහන් වන විජය කුමරු ඇතුළු පිරිස තම්බපණ්ණියෙන් ගොඩ බැස තම්බපණ්ණි හා මල්වතු ඔය අසල ජනාවාස පිහිටුවා ගත්හ. ඔවුන් විසින් ඇතිකරන ලදැයි සැලකෙන තම්බපණ්ණි නගරය අරුගම් ආරු නැමැති ගංගාවේ දකුණු ඉවුරේත්, අනුරාධ ඇමතියා විසින් ඇතිකරන ලද අනුරාධග්‍රාමය මල්වතු ඔය අසලත්  පිහිටා තිබී ඇත. තවද ඔවුන් සමඟ පැමිණි උපතිස්ස නම් ඇමතිවරයා ඇතුළු පිරිස කනදරා ඔය අසල ජනාවාසයක් පිහිටුවා ගත් අතර එය උපතිස්සග්‍රාම නම් විය. ඌරුවෙල නම් වූ ඇමතිවරයා කලා ඔය අසල ඌරුවෙලග්‍රාමය නම් ජනාවාසයක්ද, විජිත ඇමතිවරයා ඇතුළු පිරිස විජිතග්‍රාමය ආරම්භකරන ලදි. තවද කලා ඔය හෝ මල්වතු ඔය ආශ්‍රිතව උදේනිග්‍රාම නම් වූ ජනාවාසයක්ද තිබූ බව පෙනේ. මෙසේ විජය කුමරු හා එතුමා සමඟ පැමිණි හත්සියයක් පමණ වූ පිරිස මුල්ම ආර්ය කණ්ඩායම ලෙස හැඳින්විය හැකිය. 

2.2. ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය හැඩගැසීම කෙරෙහි එල්ල වූ ඉන්දීය බලපෑම.

සාහිත්‍යය මූලාශ්‍ර වලට අනුව ක්‍රි.පූ. 6වන සියවසේ දී ඉන්දියාවේ ලාට රටේ සිට පැමිණි විජය ඇතුළු හත්සියයක් පිරිස කුවේණියගේ සහය ලබාගෙන එවකට පැවති දේශීය පාලන ක්‍රමය විනාශ කොට ඇය සමඟ විවාහ වී ඉන්දීය සම්භවයකට සම්බන්ධ පාලන ක්‍රමයක්  පිහිටුවාගෙන ඇත. පසුව විජයගේ අභිෂේකය අපේක්ෂා කළ ඇමතිවරුන් විසින් මදුරා පුරයෙන් කැඳවන ලද කුමරියකගේ මූලිකත්වයෙන් අභිෂේකය සිදු කරමින් පාලන නායකත්වය තහවුරු කරන ලද අතර විජයගෙන් පසුව ද ඉන්දියාවේ සිට පැමිණි පණ්ඩුවාසුදේව හා භද්දකච්චායනාගේ මූලිකත්වයෙන් පාලන නායකත්වය ගෙන යන ලදි.  එසේ පිහිටුවා ගනු ලැබූ රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය පරිපාලන තන්ත්‍රය සකස් වී ඇත්තේ එකල ඉන්දියාවේ පැවති පරිපාලන තන්ත්‍රයට සමානව ය. ලංකාවෙන් ලැබී ඇති සෙල්ලිපි හා වංශ කථා අධ්‍යයනයේ දී පෙනී යන්නේ එකල මෙරට පරිපාලන තන්ත්‍රය හා සම්බන්ධව සිටි නිලධාරීන් හඳුන්වනු ලැබ ඇත්තේ ද එකල ඉන්දියාවේ ඔවුන් සඳහා භාවිතා වූ රජ, යුවරජ, මහා ඇමති, පුරෝහිත, සේනාපති, භාණ්ඩාගාරික, නගර ගුත්තික, ගාමණී, ගාමභෝජක, රටික ආදී තනතුරු නාම අනුවමය.  

තවද ක්‍රි.ව.8වන හා 9වන ශතවර්‍ෂවල දකුණු ඉන්දියාවේ රජයේ නිලධාරීන් සඳහා භාවිතාවුණු ඇතැම් නිල නාමවන මෙයිකාප්පර්, උල්වාඩු, කණක්කර්, වනුඩින්, මෙලාට්සි, පෙරනාට්ටියම්, කෝල්පාට්ටි ආදිය මෙරට ඇතැම් නිලතල හා නිලධාරීන් සඳහාද භාවිතා කර ඇති බව මෙරට අභිලේඛන අධ්‍යයනයේ දී පෙනී යයි.

එරට රජවරුන් මුල සිටම අනුගමනය කළ රාජාභිෂේක ක්‍රමයද ඔවුන් මුලදී භාවිතා කළ “දෙවනපිය” යන විරුදයද මෙරටට හඳුන්වාදෙන ලද්දේද ඉන්දියානුවන් විසිනි. මෞර්ය යුගයේදී අශෝක අධිරාජ්‍යයාගේ මූලිකත්වයෙන් එලෙස දේවානම්පියතිස්ස රජු වෙත අභිෂේකය ලැබීම ඉන්දීය ලංකා දේශපාලන සම්බන්ධතාවයේ  තවත් එක් පැතිකඩකි.

කල්යත්ම ලංකාවේ ඇතැම් රජවරුන් මෙරට පරිපාලන කටයුතු සඳහා ඉන්දියානු නිලධාරීන් රාජකාරියේ යොදාගත් බව මූලාශ්‍ර අධ්‍යයනයේදී හෙළි වී ඇත. අනුරාධපුරයේ රජකම් කළ අනුලා බිසව යටතේ සේවය කළ නීලිය නම් පුරෝහිත බමුණෙකු හා වටුක නම් නුවර වඩුවකු ගැන මහා වංශයේ සඳහන් වේ. අනුරාධපුරයේ හතරවන අග්බෝ රජුගේ රාජ්‍ය පාලන යුගයේදී මෙරට පරිපාලන තන්ත්‍රය හා සම්බන්ධව සිටි පොත්ථකුට්ඨ, පොත්ථසාත හා මහාකන්දක නම් වූ දකුණු ඉන්දීය නිලධාරීන් තිදෙනෙකු ගැන වංශ කථාවන්හි දැක්වේ . 

ඉන්දීය රජවරුන් රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා මාර්ගෝපදේශ ග්‍රන්ථ ලෙස භාවිතා කළ මූලාශ්‍ර ශ්‍රී ලාංකීය රජවරුද භාවිතා කළ බව මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. මහා පරාක්‍රමබාහු  රජු විසින් තම රාජ්‍ය පරිපාලන දැනුම වර්ධනය කර ගැනීම සඳහා කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය අධ්‍යයනය කළ බව මහාවංශයේ දැක්වේ. මානව ධර්ම ශාස්ත්‍රයෙහි ඇතුලත්ව ඇති දේශපාලන න්‍යාය පිළිබඳව මනා දැනුමක් නිශ්ශංකමල්ල රජුට තිබු බව ඔහුගේ පොළොන්නරු ගල්පොත සෙල්ලිපියේ සඳහන් වේ.  

2.3. රාජ්‍ය බලයට එල්ල වූ ඉන්දීය බලපෑම.

අනුරාධපුර යුගයේදී රාජ්‍ය උරුමය ලබා ගැනීම සදහා දේශීය රජවරු ඉන්දීය කුලී හමුදාවන්ගේ සේවය ලබා ගත් අවස්ථාද ලංකා ඉතිහාසය තුළ දැකිය හැකිය. අතීතයේදී එවැනි කුලී හමුදා හඳුන්වනු ලැබුවේ අංගම්පඩි හමුදා ලෙසය. මෙරට දේශපාලන අර්බුද පැවති අවස්ථාවලදී ඉන්දියානු කුමාරවරුන් මෙරටට ගෙන්වා සිංහාසනය බාරදුන් අවස්ථා ගැනද ඉතිහාසය සාක්‍ෂි දරයි. ක්‍රි.ව. 1වන සියවසේදී ඉළනාග රජු (35-44) තමාගෙන් සිංහාසනය පැහැරගත් ලම්බකර්‍ණ වංශිකයන්ට විරුද්ධව මෙවැනි කුලී හමුදාවක් යොදාගෙන සටන් කොට ඇත. තවද අභය නාග (236-244), පළමු වන මුගලන් (495-512), තුන් වන ජේට්ට තිස්ස (632) යන  රජවරුද ලංකාවේ සිදු වූ රාජ්‍ය උරුමය සඳහා වූ අරගලවල දී ඉන්දීය කුලී හමුදාවන්ගේ   සහය ප්‍රබලව ලබාගෙන ඇත. මානවම්ම කුමරු (684-718), දෙවන හත්ථදාඨ රජුට (684) හා පොත්ථකුට්ඨ සෙනවියාට විරුද්ධව සටන් කිරීම සඳහා දෙවරක්ම ඉන්දියාවේ පල්ලව රජුගේ ආධාර ලබාගෙන ඇත. 

පළමුවන විජයබාහු රජතුමාගේ සේනාවෙන් සැලකියයුතු පිරිසක් දෙමළ වේලක්කාර භටයන් හෙවත් දකුණු ඉන්දීය කුලී සෙබළුන්ගෙන් සමන්විත විය. රජු චෝළ රාජ්‍ය ආක්‍රමණය කිරීමට දරණ ලද උත්සාහයකට එරෙහිව වේලක්කාර භටයන් කැරලි ගැසූ බව සඳහන් වේ . පෘතුගිසීන්ගේ  අක්‍රමණ එල්ල වු යුගයේ දී සීතාවක රාජසිංහ රජු නාවික හමුදා සහය ලබා ගත්තේ ද දකුණු ඉන්දියාවේ පිහිටි කැලිකට්හි සැමොරින්ගෙනි. 

තවද ඇතැම් ඉන්දිය රජවරුන්ද තම රාජ්‍යයට සතුරු ආක්‍රමණ එල්ල වූ අවසථාවලදී ද ලාංකීය රජවරුන්ගෙන් යුධ ආධාර ලබා ගත් අවස්ථා ඇත. දෙවන සේන රජු,(853-887) දකුණු ඉන්දියාවේ දෙවන වරගුණවර්මන් රජුටද, පස්වන කාශ්‍යප (914-923) රජු, මාරවර්මන් රජුට හා පළමු වන පරාක්‍රමබාහු (1153-1186) රජු, රාජසිංහ හා පරාක්‍රම පාණ්ඩ්‍ය යන පාණ්ඩ්‍ය රජවරුන්ටද ශ්‍රී ලාංකීය යුධ ආධාර ලබා දෙන ලදි . 

ලාංකේය රාජ්‍යත්වය අස්ථාවර වූ අවස්ථාවන්හීදී සෘජුවම ඉන්දීය කුමාරවරු ලංකාවේ සිංහාසනය පැහැරගත් අවස්ථා ද දක්නට ඇත. ලාංකේය ඉතිහාසයේ පළමු රාජ්‍ය ආක්‍රමණය ලෙස සඳහන් වන්නේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි සේන, ගුත්තික අශ්ව වෙළඳ දෙබෑයන්ගේ අක්‍රමණයයි (ක්‍රි.පූ. 237-215). තවද එම වෙළද දෙබෑයන් පරාජය කර නැවත ලාංකීය රාජ්‍යත්වය ස්ථාපිත අසේල රජු (ක්‍රි.පූ. 215-205) දැහැමිව වසර 10ක් පමණ රාජ්‍ය ගෙන ගිය අතර නැවත දකුණු ඉන්දීය ද්‍රවිඩයෙකු වූ එළාර (ක්‍රි.පූ. 205-161) විසින් රාජ්‍ය ආක්‍රමණය කරන ලදි.  

වළගම්භා රජුගෙන් රාජ්‍ය බලය පැහැරගත් දමිළයන් පස්දෙනා වූ පුලහත්‍ථ, බාහිය, පණයමාර, පිළියමාර, දාඨිය යන අයද ලාංකීය රාජ්‍ය බලය පැහැරගත් දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් වේ. තවද මිත්තසේන රජු දවස (ක්‍රි.ව. 432-433) ඉන්දියාවේ සිට පැමිණි ද්‍රවිඩයන් හයදෙනෙකු වූ පණ්ඩු, පාරින්ද, කුඩා පාරින්ද, තිරිතර, දාඨිය, පීඨිය යන ආක්‍රමණිකයන් විසින් රාජ්‍ය බලය පැහැර ගන්නා ලදි.

අනුරාධපුර රාජධානියේ අවසාන වකවානුවේදී රජකම් කළ පස්වැනි මිහිඳු රජුගේ (ක්‍රි.ව. 982-1029) කාලයේදී පැවති දුර්වල පාලනය හේතුවෙන් ඉන්දියාවේ සිට පැමිණි වික්‍රම පාණ්ඩ්‍ය (1042-1043), ජගතිපාල (1043-1046), පරාක්‍රම පාණ්ඩ්‍ය (1046-1048) යන කුමාරවරු රුහුණේ ප්‍රාදේශීය පාලකයන් ලෙස කටයුතු කළ බව මූලාශ්‍ර මඟින් අනාවරණය වේ. තවද පොළොන්නරුවේ සිංහාසනයට පත් වූ නිශ්ශංකමල්ල හා සහස්සමල්ල යන රජවරුන්ද ඉන්දියානුවන් වෙති. 

ක්‍රි.ව.1215දී ඇති වූ කාලිංග මාඝගේ ආක්‍රමණය හේතුවෙන් ලංකාවේ උතුරු ප්‍රදේශවල දෙමළ රාජ්‍යක් සඳහා අඩිතාලම වැටෙන ලදි. උතුරු පළාත දෙමළ ප්‍රදේශයක් බවට පත්වන්නේ  මාඝගේ දෙමළ කුලී හේවායන්ගේ ආධාර ඇතිව සිදු කෙරුණු ආක්‍රමණයෙන් පසුවය. එය මීට පෙර සිදුකෙරුණු ආක්‍රමණයන්ට වඩා ප්‍රචණ්ඩ වූ අතර උතුරේ සිංහල බලය පහකොට දෙමළ රාජධානියක් ඇති කර ගැනීම සිදුවිය . 

මෙලෙස ඉන්දියානු කුමාරවරුන් ලාංකීය සිංහාසනය පැහැර ගැනීම, උරුමකම් ඉදිරිපත් කිරීම හා ලංකාවේ දේශපාලන අස්ථාවර අවස්ථා පිළිබඳව දැනගැනීමට හැකි වී ඇත්තේද ඉන්දියාව හා ලංකාව එකිනෙකට ආසන්නව පිහිටා තිබීම හේතුවෙනි. 

තවද මෙම සමීප පිහිටීම හේතුවෙන්ම දෙරට අතර දේශපාලන හා විවාහ සම්බන්ධතා ඇති විම ඉන්දීය බලපෑම් වර්ධනය වීමට ඉතා ප්‍රබල ලෙස බලපාන ලදි. ලංකාවේ ප්‍රථම රජු වූ විජය රජු තම බිසව මදුරා පුරයෙන් ගෙන්වා ගන්නා ලද අතර චන්ද්‍රමුඛසිව (44-52) හා මහානාම යන රජවරු දකුණු ඉන්දීය කුමාරිකාවන් තම භාර්යාවන් ලෙස තෝරා ගන්නා ලදි. පළමුවන විජයබාහු රජු තමන්ගේ බිසව ලෙස කාලිංඝ කුමාරිකාවක් තෝරා ගත් අතර තම සොහොයුරිය වූ මිත්තා කුමරිය පාණ්ඩ්‍ය වංශික කුමාරයෙකුට විවාහ කර දී ඇත. 

මෙම විවාහ සබඳතා කෙතරම් ප්‍රබලවීදයත්, මහනුවර යුගයේ රජවරුන්ගේ රන්දෝලිය ලෙස තෝරාගත්තේද දකුණු ඉන්දීය කුමාරිකාවන්ය. මේ හේතුවෙන් රජකම උරුම වූවේද එම කුමාරිකාවන්ගේ දරුවන්ටය. නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු රාජ්‍යත්වයට උරුමකම් කීමේ හැකියාවද මේ හේතුවෙන් දකුණු ඉන්දීය කුමාරවරුන්ට හිමිවිය.

ආර්ථික වශයෙන් ගොවිතැන හා සත්ත්ව පාලනය මුල් යුගයේ සිටම ප්‍රධාන ජීවනෝපාය වූ අතර වෘත්තියක් වශයෙන් වෙළඳාම් කිරීමට මෙරට වැසියන් පුරුදු වූයේ ඉන්දීය බලපෑම හේතුවෙනි. මදුරාපුර කුමරිය හා සංඝමිත්තා තෙරණිය සමඟ පැමිණි ශිල්පීය කුළවල අය නිසා වෙනත් වෘත්තීන්ද මෙරට ප්‍රචලිත විය. 


2.4. සංස්කෘතික ක්‍ෂේත්‍රයේ දී ශ්‍රී ලංකාවට ඇති වූ ඉන්දීය බලපෑම. 

ක්‍රි.පූ. 3වන සියවසේ දී එනම් දේවානම්පියතිස්ස රජුගේ කාලයේ දී ලංකාවට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකාවට ථේරවාදී බුදු දහම හඳුන්වාදෙන ලදි. ඔවුහු ශ්‍රී ලංකාවේ සෑම අංශයක් කෙරෙහිම විශාල බලපෑමක් ඇතිකරන ලද සදකයක්ද විය. මහා වංශයේ මෙන්ම ඉන්දියාවේ අශෝක ස්ථම්භවල ද, මිහින්තලා සෙල් ලිපියේද මිහිඳු හිමියන්ගේ පැමිණීම පිළිබඳව සඳහන් වේ.

 ථේරවාදී බුද්ධාගම ලංකාවට ලැබීම විජයගේ පැමිණීමෙන් පසු සිදුවන ලොකුම සංස්කෘතික සංසිද්ධිය ලෙස සැලකිය හැකිය. බුද්ධාගම ලංකාවට ලැබීමෙන් පසුව එය ලංකාවේ ජනාවාස වී තිබූ හැම තැනකම පාහේ පැතිර ගොස් එය සිංහල සංස්කෘතිය සමඟ එකට ගැට ගැසුණු ආගමක් බවට පත් විය. එය සිංහල ශිෂ්ටාචාරයේ වර්ධනයට ද හේතුවක් විය. විවිධ ගෝත්‍රවලට බෙදී සිටි ජනයා එක ජන වර්‍ගයක් ලෙස එකට එකතු කරන සාධකයක් ලෙස බුදු දහම ක්‍රියා කළ බව පෙනී යයි. 

මිහිඳු හිමියන්ගේ නැඟණිය වූ සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිසගේ පැමිණීමද ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු ශ්‍රේෂ්ඨ සංස්කෘතික දායාදයකි. එතුමිය සමඟ දහඅට කුලයක ශිල්ප ශ්‍රේණීන් ද මෙරටට පැමිණි බව මූලාශ්‍ර වලින් අනාවරණය වේ.

බුද්ධාගම නිසා ජනතාව තමන් ඇදහූ පැරණි ඇදහීම් අත්හැරියේ නැත. ඊට බුද්ධාගම බාධා නොකළේය. බුද්ධාගම සිංහලයාගේ ජීවිතවල තිබුණු හුදකලා බව තුරන් කළ අතර අළුත් අදහස් උදහස්වලින් ද අළුත් ආගමික විශ්වාසයන්ගෙන් හා අළුත් ආගමික වත්පිළිවෙත් වලින් ද සිංහල ජන ජීවිතය පෝෂණය විය. අළුත් ධර්මය සකස් වී තිබුණු පාලි භාෂාව විසින් ද භික්ෂූන් විසින් හුරු කරන්නට යෙදුණු ලේඛන කලාව මඟින් ද සිංහල භාෂාව පෝෂණය විය. පාලි භාෂාව වටහා ගැනීම පිණිස සඟයා විසින් අට්ඨකථා සාහිත්‍යයක් සම්පාදනය කරන ලදි. සියවස් තුනක් ගතවන්නට පළමු ඒ සියල්ල ග්‍රන්ථාරූඪ කිරීමද සිදු විය.  

අනුරාධපුර යුගය අවසානයේ දී ඇති වූ චෝළ ආක්‍රමණය හේතුවෙන් වසර 77ක් රටේ සිංහල ආධිපත්‍යක් නොතිබුණි. එක දිගට චෝළ ආධිපත්‍ය තිබීම නිසා ද්‍රවිඩ නිලධරයන්, සෙබළුන්, බ්‍රාහ්මණයන් හා ශිල්පීන් ලංකාවට ඒමත් ඔවුන් මෙහි ජනාවාස පිහිටුවා ගැනීමත් සිදුවිය. චෝළ පාලනය පරාජය කිරීමෙන් පසුව වුවද ඔවුන් එම ජනාවාස අත්හැරියේ නැත. මේ හේතුවෙන් ලංකාවේ ජීවත් වන ජනවර්ග අතර දෙමළ ජනවර්ගය රටේ ස්ථීර ජන කොට්ඨාශයක් බවට පත් වූ අතර රටේ භාවිතාවන ආගම් අතරට ශිව ආගමත්, විෂ්ණු ආගමත් එකතු විය. ඉන්දියාවෙන් ඔවුන් පැමිණෙන විට ඔවුන් අතර පැවති සිරිත් විරිත්, නීති ක්‍රම, ආගමික විශ්වාස හා ඇදහිලි ක්‍රම ද ගෙන ආ අතර ඒවා මෙරට ප්‍රචලිතව තහවුරු විය. 

මෞර්ය, ගුප්ත, පල්ලව, චෝළ, පාණ්ඩ්‍ය හා විජය නගර් වැනි ඉන්දීය සම්ප්‍රදායන්ගේ ආභාෂයෙන් මෙරට ගෘහ නිර්මාණ ශිල්පය ඇතුළු කලා නිර්මාණ ශිල්ප ආරම්භව විකාශනය වී ඇත. ස්ථූප, සමාධි ප්‍රථිමාව, නාලන්දා ගෙඩිගේ, ඉසුරුමුණි මූර්ති කැටයම්, පොළොන්නරුවේ අංක 2 ශිව කෝවිල හා ගඩලාදෙණි විහාරය වැනි නිර්මාණ එයට නිදසුන්ය.

සිංහලයාගේ ආදිතමයාවන විජය කුමරු භාරතීය කුමාරියකට සිංහයෙකු නිසා ලද දරුවන්ගෙන් කෙනෙකු බව වංශ කථාවන්ගේ දැක්වේ. සිංහලයන් කථා කළ භාෂාවට ආවේණික විශේෂතාවද ආදිතම කාලයේදී නොවූවත් වර්තමානයේ තමන් අති විශේෂ මනුෂ්‍යය වර්‍ගයක්වේය යන අදහස සිංහලයන් තුළ ඇති කිරීමට හේතු වී තිබෙන තවත් වැදගත් සාධකයක් වන්නේ වර්තමානයේ දී භාවිතාවන සිංහල භාෂාවයි. සිංහල භාෂාව සැළකෙනුයේ ආර්ය භාෂාවක් ලෙස ය. සංස්කෘත හා පාලි වැනි පැරණි භාෂා ද හින්දි, බෙංගාලි හා මරාති වැනි භාෂා ද, සිංහල භාෂාව ද එක පවුලකට අයත් භාෂා ලෙස හැඳින්වේ. ඒ විජය සහ පිරිස ඉන්දියාවේ උතුරින් පැමිණි පිරිසක් ලෙස සලකුණු ලැබීමට හේතු වී තිබෙන ප්‍රබල සාධකයක් ලෙස ද සැලකිය හැකිය. 

නවවන සියවස පමණ වනවිට ඉන්දියාවේ මෞර්ය හා ගුප්ත අධිරාජ්‍යන්ගේ බිඳවැටීම හේතුවෙන් ලංකාව කෙරෙහි ඇති වූ උතුරු ඉන්දීය බලපෑම යටපත් වී දකුණු ඉන්දීය බලපෑම ප්‍රබල සාධකයක් බවට පත්විය. ලංකාවේ ජනවර්‍ග අතරට දෙමළ ජනවර්‍ගයක් එකතු වීමද, ආගම් අතරට ශිව හා වෛෂ්ණව ආගම එකතු වීමද, භාෂා අතරට දෙමළ භාෂාව එකතු වීමද එම නිසා ඇති විය.

3. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් ව පිහිටීම නිසා ඇති වූ අනන්‍යතා.

ශ්‍රී ලංකාව ඉන්දියාවට නුදුරින් ම පිහිටා තිබීම හේතුවෙන් ප්‍රබලව ඉන්දියානු බලපෑම්වලට හසු වූ රටක් වුවත්, පටු මුහුදු තීරයකින් දෙරට වෙන් වී තිබීම හේතුවෙන් මෙරටට අනන්‍ය වූ ක්‍රමවේදයකට අනුව දේශපාලන, සමාජීය හා ආර්ථික රටා සකස් විය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සම්පුර්ණ වශයෙන් ඉන්දියානුකරණයට ලක්නොවීය.

3.1. රාජ්‍ය පරිපාලන තන්ත්‍රයේ ඇති වූ අනන්‍යතා.

විජය රජු ඇතුළු පිරිස පැමිණීමෙන් පසු ලාංකීය පරිපාලන රටාව ඉන්දියාවේ එකල පැවති රාජාණ්ඩු ක්‍රමයට සමානව නිර්මාණය වුවත්, කල්යත්ම එය ක්‍රමිකව ශ්‍රී ලාංකීය ක්‍රමවේදයකට අනුව පරිණාමය විය. මුලදී අනුරාධපුරය කේන්ද්‍රකොට ගනිමින් මහ රජුගේ බලය ව්‍යාප්ත වූ අතර බල ප්‍රදේශ ව්‍යාප්තවත්ම රුහුණු ප්‍රදේශය යුව රජු යටතේත්, රටේ බටහිර ප්‍රදේශය මහාදිපාදවරයෙකු යටතේත් පාලනය කරන ලදි. එලෙසින් ත්‍රී සිංහලය නිර්මාණය වූ අතර එයට අයත් වූ ප්‍රදේශ ජනපද, රට, පස්ස, ගම් ආදිය වශයෙන් කොටස් වලට බෙදා මාණ්ඩලික, රට්ලදු, පස්ලදු, ගම්ලදු ආදී වූ  නිල නාමවලින් හැඳින්වුණු නිලධාරීන් පිරිසක් යටතේ පාලනය විය. 

මුලදී ඉන්දියානු ක්‍රමයට යමින් රජුට උපදෙස් දීම සඳහා පුරෝහිත බමුණන් පත්කරගත් නමුත් බුද්ධාගම ලංකාවට ලැබීමෙන් පසු රජුගේ ප්‍රධාන උපදේශක කටයුතු භික්ෂූන් වහන්සේලා විසින් සිදුකරනු ලැබීය. විශේෂයෙන්ම රාජ්‍ය උරුමය සම්බන්ධයෙන් ගැටළු ඇති වූ අවස්ථාවලදි භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා හා උපදෙස් ලබාගන්නා ලදි. මුලදී ඉන්දියානු ක්‍රමවේදයට යමින් රාජ්‍ය උරුම පියාගෙන් පසු වැඩිමහල් පුත්‍රයාට පැවරුණත්, කල්යත්ම ලංකාව තුලදී එය සහෝදරයාගෙන් සහෝදරයාටත් ඊට පසු වැඩිමහල් සහෝදරයාගේ වැඩිමහල් පුතාටත් ආදී වශයෙන් රාජ්‍ය උරුමවීමේ අනුපිළිවෙළ සකස් විය.

කිත්සිරිමෙවන් රජතුමාගේ කාලයේදී බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට ලැබීමත් සමඟ රාජ්‍ය උරුමය සඳහා දළදාව තමන් සතුව තිබීම අනිවාර්ය අංගයක් විය. තවද මුලදී ඉන්දියානු රජුවරුන් අනුව යමින් මෙරට රජවරු “රජ” යන විරුදනාමය භාවිතා කලත් පසුව මහරජ යන නිල නාමය භාවිතාකරන ලදි.

ඉන්දියාව තුළ විශාල දේශපාලන ආරවුල් ඇති වූ අවස්ථාවල පවා ලංකාව ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වී ඇත්තේද ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම නිසයි. උතුරු ඉන්දියාවේ බිහි වූ මෞර්ය අධිරාජ්‍යය, ගුප්ත අධිරාජ්‍යය, මෝගල් අධිරාජ්‍යය හා දකුණු ඉන්දියාවේ බිහි වූ විජයනගර් අධිරාජ්‍යයන්ගේ හා සමස්ත ඉන්දියාවම  අරාබි-මුස්ලිම් ආක්‍රමන හේතුවෙන් අර්බුදයට පත්වෙද්දීත් එවැනි බලපෑම අවම වශයෙන් ලංකාවට එල්ලවීමට හේතු වී ඇත්තේ ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීමයි. 

3.2. සංස්කෘතික අනන්‍යතා.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ භාවිතාවන ප්‍රධාන ම භාෂාව වන සිංහල භාෂාව එයට ම අනන්‍ය වූ තත්වයකට පත් වූයේද ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටා තිබීම හේතුවෙනි. ක්‍රි.පූ.3වන සියවසේදී පමණ උතුරු ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු භාෂාව හා බ්‍රාහ්මීය අක්ෂර මාලාව කල්යත්ම විකාශනය වී ක්‍රි.ව.7වන සියවසේදී පමණ පල්ලව ග්‍රන්ථාක්ෂරවල ආභාෂය මෙන්ම අනිකුත් ඉන්දියානු භාෂාවන්ගේ ආභාෂයද, ශ්‍රී ලංකාවේ පැවති ආදිවාසී භාෂාවන් සමඟද මිශ්‍රවී සිංහල භාෂාව හා සිංහල අක්ෂර නිර්මාණය වීම සිදුවිය. මේ හේතුවෙන් ලංකාව තුළ සිංහල කථාකරන පිරිස් වෙනම ජාතියක් වශයෙන් සංවිධානය වීමද පසුව සිදු විය. 

ඉන්දියාවේ තිබූ කුල ක්‍රමයට වඩා වෙනස් ආකාරයක කුල ක්‍රමයක් ලංකාව තුළ නිර්මාණය වීම දැකිය හැකිය. ඉන්දියාවේදී කුලය තීරණය වූයේ උපතින් ම වුවත් ලංකාවේ දී එය ස්වර්ණකාර, ලෝහකාර, කුම්භකාර, මාණිකාර ආදී රැකියා ක්ෂේත්‍රය අනුව තීරණය විය. රටට ප්‍රධාන ආහාරය සපයන ගොවිතැන් ක්ෂේත්‍රෙය් නියුතු වූවන් ඉන්දියාවේදී වෛශ්‍ය කුලය ලෙස කුලදූරාවලිය තුළ තුන්වන ස්ථානය දක්වා පහත වැටී තිබූ මුත් ලංකාවේදී එය ගොවි කුලය ලෙස සංවිධානය වී කුලදූරාවලිය තුළ දෙවන ස්ථානය හිමිකර ගන්නා ලදි. ඉන්දියාවේ තිබූ ක්‍ෂද්‍ර කුලය වෙනුවට මෙහි පැවතියේ මිලක නම් කුලයකි.  මුලදී ඉන්දියාවෙන් ලැබුණු සමාජ සිරිත් විරිත් ආදිය කල්යත්ම බුදු දහමේ ආභාෂය ලැබීමත් සමඟ එය ලංකාවට ආවේණික ආකාරයකින් පරිණාමය විය.  ඒ හේතුවෙන්ම ලංකාවේ කුල භේදය ඉන්දියාවේ තරම් ප්‍රචණ්ඩකාරී නොවීය. 

බුදු දහම ලංකාවට ලැබීමත් සමඟ ලාංකේය සමාජය ඉතා ශීඝ්‍රයෙන් එයට ම අනන්‍ය වූ ආකාරයකට පරිණාමය විය. කල්යත්ම ඉන්දියාව තුළ බුදු දහම, හින්දු හා මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් ක්ෂය වී ගියත් ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටා තිබීම හේතුවෙන් පිරිසිදු ථේරවාද බුදු දහම ලංකාව තුළ ආරක්ෂා විය. දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි හේවායන් විසින් හඳුන්වාදුන් හින්දු ආගම ක්‍රමික ව බෞද්ධාගමටද බලපාන්නට විය. වර්තමානය වනවිට බුදු දහම දේව සංකල්ප හා පන්සල්වල දේවාල ඇති වීමට එයද බලපා ඇත. 

ලංකාව තුල බුද්ධාගම දියුණු වීමත් සමඟ ගෘහ නිර්මාණ ශිල්පයද අංශ දෙකකින් දියුණු විය. ඉන් එක් අංශයක් වන්දනාමාන සඳහා වූ දාගැබ්, බෝධිඝර හා පිළිම ගෙවල් විය. අනෙක් අංශය භික්ෂූන් වහන්සේලාගේ පදිංචිය සඳහා වූ විහාර ගෙවල් හා ඊට සම්බන්ධ පෝය ගෙවල්, රෝහල්, වැසිකිළි හා නාන පොකුණු යනාදිය විය. ඉන්දියානු කලා කෘතිවල හා ගෘහ නිර්මාණ ආභාසය ලංකාවට ලැබී තිබුණත් ඉන්දියාවේ කිසිම ප්‍රදේශයක නොතිබූ ආකාරයට එය ලංකාවේ පරිණාමය වී තිබීම හේතුවෙන් එය ලංකාවට ම ආවේණික ආකාරයට වර්ධනය වී ඇත. එයට ප්‍රධානතම හේතුව වන්නට ඇත්තේ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල තිබූ සම්ප්‍රදායන් ඉන්දියාවටත් වඩා ඉතා සාර්ථක ලෙස ලංකාව තුළ දී සම්මිශ්‍රණය වීමයි. 

මුලදී විජය සමඟ පැමිණි ආර්යයන් කෘෂිකාර්මික කටයුතු පහසු කර ගැනීම සඳහා ගංගා ආශ්‍රිතව තම වාසස්ථාන නිර්මාණය කර ගත්තත් කල්යත්ම නව අභියෝගයන්ට මුහුණ දෙමින් ගොවිතැන් කටයුතු සඳහා නව වාරි කර්මාන්ත ක්‍රමයක් ඇතිකොට වැව් හා ඇළ මාර්ග වලින් ජලය සපයා ගැනීමේ ක්‍රමවේදයන් ලංකාව තුළ නිර්මාණය කරගන්නා ලදි.

ශ්‍රී ලංකාවේ අක්ෂාංෂගත පිහිටීම අනුව අවුරුද්ද මුළුල්ලේ ඒකාකාර උෂ්ණත්වයක් හා වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ලංකාව තුල කෘෂිකර්මාන්තයට හා සත්ත්ව ප්‍රජාවන්ට සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇත. මේ හේතුවෙන්ම ලංකාවේ ඇත් දළ, අලි ඇතුන්, මුතු මැණික්, කුළු බඩු ආදියට ප්‍රසිද්ධයක් ඉසිලීය. ශ්‍රී ලංකාව බටහිර ඉන්දියාවට හා නැගෙනහිර ඉන්දියාවට මධ්‍යගතව, ඉන්දියානු භූමියෙන් වෙන්ව, දකුණු ඉන්දියාවට දකුණින්, ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමන ක්ෂේත්‍රෙය් කේන්ද්‍රස්ථානයක පිහිටා තිබීම හා මාතොට, ඌරාතොට, දඹකොළපටුණ, ගොකණ්ණ, තිරියාය, දෙවිනුවර, ගොඩවාය  ආදී වාරායන්වල පිහිටීම වෙළද ක්ෂේත්‍රවල වර්ධනය සඳහා අතිශයින්ම බලපාන ලදි. වෙළදාමට සුදුසු පරිසරක පිහිටා තිබීම හේතුවෙන් ඉන්දියානු වෙළෙන්දන්ට අමතරව ග්‍රීසිය, රෝමය, පර්සියාව, ඉතියෝපියාව, චීනය, බුරුමය, සියම, කාම්බෝජය, අරාබිය, ඉරාකය ආදී රටවලින් විදේශික වෙළෙන්දන් මෙරටට පැමිණ ඇත. එම හේතුවෙන් ම ඉන්දීය සම්ප්‍රදායන්ගේ බලපෑමට අමතරව බටහිර යුරෝපා රටවල, අරාබි රටවල හා චීනය, සියම ආදී අග්නිදිග ආසියාතික රටවල සංස්කෘතික බලපෑම්ද ලංකාව තුළ වර්ධනය වන ලදි. 

4. සමාලෝචනය.

ශ්‍රී ලංකාව ඉන්දියාවට සමීප ව පිහිටීම අප රටේ යහපතට මෙන් ම අයහපතට ද හේතු විය. ලංකාව ජනාවාස වීමේ සිට බුද්ධාගම ලැබීම, කලා ශිල්ප හා සංස්කෘතික දායාද වැනි දෑ අප රටේ සභ්‍යත්වය පෝෂණය වීම යහපත් ලක්‍ෂණ විය. නමුත් වරින්වර දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් විසින් මේ රට අත්පත් කර ගැනීම ඉන් සිදු වූ ප්‍රබලතම අයහපතයි. එම හේතුවෙන් රටේ උතුරු ප්‍රදේශවල දමිළ ජනගහනය වර්ධනය වී 13වන සියවසෙන් පසුව දෙමළ ජනාවාස සහිත ප්‍රදේශයක් බවට එය පත් විය. මේ හේතුවෙන් වර්තමානය වන විට නිජබිම් සංකල්පය මුල්කොට ගත් ජාතිවාදී අදහස් ශ්‍රී ලාංකිකයන් තුල වර්ධනය වීම ශ්‍රී ලංකාවට සිදු වී තිබෙන විශාලතම හානිය ලෙස හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය හා ආර්ථික සම්ප්‍රදායන් පිළිබඳව සලකා බලන විට එය දකුණු ආසියානු කලාපයේ අනිකුත් රටවල්වලට වඩා විශේෂත්වයක් ගනු ලබයි. එයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේද ශ්‍රී ලංකාව ඉන්දියානු භූමියෙන් වෙන් වී තිබීමයි. දකුණු ආසියාවේ ඉන්දියාව කේන්ද්‍ර කොට ගනිමින් ඇති අනිකුත් රටවල්වන බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, ඇෆ්ගනිස්ථානය ආදී රාජ්‍යයන් සෘජුවම ඉන්දියානු සම්ප්‍රදායන් හා සංසකෘතීන්වලට ලක් වී තිබෙන බව දැකිය හැකිය.

ශ්‍රී ලංකාව ඉන්දියානු භූමියෙන් වෙන්ව තිබීම හේතුවෙන්ම 15වන සියවසෙන් පසුව පැමිණි යුරෝපීය ආක්‍රමණිකයන්ගේ දැඩි අවධානයට ශ්‍රී ලංකාව හසු විය. මන්දයත් සුවිශාල වූ ඉන්දියානු භූමියට වඩා විවිධත්වයෙන් අඩු, කුඩා භූමි ප්‍රදේශයකින් යුත් ශ්‍රී ලංකාව පාලනය කිරීමට පහසු වීමත්, මුහුදින් වටවූ දිවයිනක් ලෙස ඉන්දියාවට දකුණින්, නැගෙනහිරට හා බටහිරට කේන්ද්‍රගතව තිබීම හේතුවෙන් සමස්ත ඉන්දීය භූමි කලාපයම ආවරණය කිරීමට හැකි වීමත්ය. මේ හේතුවෙන්ම ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාව වැඩි වශයෙන් බටහිරකරණයට ලක්විය. 

කෙසේ වුවද පෙර අපර සංස්කෘති දෙකක ආභාසයට අප ලක් වී ඇති බව ඉහත දැක් වූ කරුණු අධ්‍යයනයේ දී පැහැදිලි වේ. එසේම ශ්‍රී ලංකාවේ පිහිටීම එවැනි බලපෑම් ඇති වීමට ප්‍රධානතම හේතුව වූ බව පෙනී යයි. ඉතිහාසය මුළුල්ලේම ශ්‍රී ලංකාව වරින්වර විවිධ බලපෑම් වලට ලක් වුවද එහි ද්වීපිකත්වය නිසා එයටම ආවේණික වූ පෞද්ගලිකත්වයක් රැකගෙන තිබේ. එබැවින් ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩාත් ආසන්නව පිහිටි, එහෙත් මුළුමනින්ම ඉන්දියානු කරණයට ලක්නොවූ දිවයිනක් බව  නිගමනය කළ හැකිය. 


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

අයිවන්, වික්ටර්., දෙමළ අභියෝගය, රාවය ප්‍රකාශන, මහරගම, 2012.

කොඩ්රංටන්, එච්. ඩබ්ලිව්., සංක්‍ෂිපත ලංකා ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2005.

වෙත්තමුනි, විජයසිරි., සරල සිංහල මහාවංසය, කර්තෘ ප්‍රකාශණ, දෙහිවල. 2009.

සිරවීර, ඉන්ද්‍රකීර්ති., රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ, 2010.

හුරුලුවැව, ජයසේන., සිංහල රාජ වංශය, අකුර පොත් ප්‍රකාශකයෝ, මීගමුව, 2009.

මහාවංශය - සිංහල, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල. 2009.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය - පළමු වන කොටස, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2009.

ශ්‍රී ලාංකේය ඉතිහාසය - වෙළුම 1, පරිච්ඡේදය 6, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ (පුද්ගලික) සමාගම, කොළඹ, 2012.

සමාජ අධ්‍යයනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 1999.


1 comment:

  1. assignment akata ona karunu godak labuna meken. thank you !!!

    ReplyDelete