Sunday, 22 November 2020

“රාජ්‍ය ප්‍රතිපත්ති ස්වරූපය අනුව ඒවා මඟින් ආමන්ත්‍රණය කරන ක්ෂේත්‍රයන් හඳුනාගත හැකිය.” නිදසුන් ඇසුරුකොටගෙන ශ්‍රී ලංකික සමාජය පිළිබඳ විග්‍රහයක්




 හැඳින්වීම.


1. දේශපාලන ප්‍රතිපත්ති යනු

2. විධායක ප්‍රතිපත්ති යනු

3. පරිපාලන ප්‍රතිපත්ති යනු

4. ශිල්පීය ප්‍රතිපත්ති යනු

5. ස්වායත්ත නැතහොත් මූලික ප්‍රතිපත්ති යනු

6. රෙගුලාසිමය ප්‍රතිපත්ති යනු

7. බෙදා හැරීම හා සම්බන්ධ ප්‍රතිපත්ති යනු

8. ප්‍රතිබෙදාහැරීමේ ප්‍රතිපත්ති යනු


සමාලෝචනය. 


ආශ්‍රිත ග්‍රන්ත නාමාවලිය.



හැඳින්වීම


වර්තමානය වනවිට සමාජය පුළුල් හා සංකීර්ණ වීම හේතුවෙන් මහජන අවශ්‍යයතාද ක්‍රමානුකූලව වර්ධනය වී ඇත. එබැවින් එවැනි සංකීර්ණ සමාජයක අවශ්‍යයතා ඉටුකිරීමේ කාර්යභාරය පැවරී ඇත්තේ සියල්ලන්ගෙන්ම සැදුම්ලත් රාජ්‍ය වෙතය. එබැවින් රාජ්‍ය පාලකයන්ට තම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පුළුල් පරාසයකට තම අවධානය යොමු කිරීමට සිදු වී ඇත. ඒ අනුව පාලකයන් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් මෙන්ම සමාජ ප්‍රගමනය වෙනුවෙන් ඉටු කළ යුතු දෑ මෙන්ම ඉටු කිරීමට බලාපොරොත්තුවෙනදෑද ප්‍රතිපත්ති ලෙස ඉදිරිපත් කිරීම “රාජ්‍ය ප්‍රතිපත්ති” ලෙස දැක්විය හැකිය. එමගින් යම් රටක ආර්ථික, සමාජීය, දේශපාලන හා පරිසරාත්මක අංශවලට තම අවධානය යොමුකරයි. ඒ අනුව රජයක් යම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා ඉදිරිපත් කරන ක්‍රියාවලිය ප්‍රතිපත්තියක් ලෙසට සරලව හැඳින්විය හැකිය.  

එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කුමන පරාසයක් තුළ විසිරේද යන්න පිළිබඳ අවබෝධ කරගැනීම මෙමඟින් සිදුකෙරේ. ඒ අනුව රජය විසින් තීරණය කරනු ලබනා ප්‍රතිපත්ති මත යම් රාජ්‍යයක සිටිනා සියලුම පුද්ගලයන් හා සංවිධාන කටයුතු කරන බව රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනයේදී පෙනී යයි. එනම් රාජ්‍ය ප්‍රතිපත්තීන්ගේ අරමුණ වී ඇත්තේ රටේ, සමාජයේ හා සමස්ත ජනතාවගේම සුබසිද්ධිය තකා කටයුතු කිරීමයි.

ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කරන ආකාරය අනුව එම රට සමාජවාදී, ධනවාදී හෝ මිශ්‍ර ආර්ථිකයට හිමිකම් කියන රටක් ලෙස අවබෝධ කරගත හැකිය. 

රාජ්‍ය ප්‍රතිපත්ති ස්වරූපය සලකා බැලීමේදී එය ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකට දැක්විය හැකිය. එය පහත ආකාරයෙන් වේ,
දේශපාලන ප්‍රතිපත්ති
විධායක ප්‍රතිපත්ති‍‍
පරිපාලන ප්‍රතිපත්ති
ශිල්පීය ප්‍රතිපත්ති

1. දේශපාලන ප්‍රතිපත්ති යනු, 
දේශපාලන ප්‍රතිපත්තියක් යනුවෙන් අදහස් කරන්නේ ප්‍රධාන මහ මැතිවරණයකින් පසුව බලයට පත්වන්නා වූ පක්ෂය විසින් තීරණය කරනු ලබන, ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන හා ක්‍රියාවට නංවන ප්‍රතිපත්තීන් වේ. ඒ අනුව අදාල බලයේ සිටිනා පක්ෂයේ ප්‍රතිපත්ති බොහෝවිට රාජ්‍යයේ ප්‍රතිපත්ති බවට පත්වනු ලැබේ. 
උදාහරණයක් ලෙස ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ලංකාවේ බලයට පත් වූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක්වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධ්‍යයනය කළ හැකිය. ඒ අනුව නිදහසින් පසු බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය බොහෝ විට ධනවාදී අර්ථ ක්‍රමයක් අනුගමනය කළ බටහිරට පක්ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබීය.එනම් එකල රජයේ ප්‍රතිපත්ති මූලික වශයෙන් බ්‍රිතාන්‍යය සම්ප්‍රදාය අනුව මෙන්ම බ්‍රිතාන්‍යය සමඟ ඉතා කිට්ටු සබඳතා අනුව ගොඩනැගී පැවති අතර 1977න් පසුවද ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධනවාදී ආකල්ප මත තම ප්‍රතිපත්ති නිර්මාණය කරනු ලැබීය.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රථම වරට 1956දී බලයට පත්වීමත් සමඟ ධනවාදී අර්ථ ක්‍රමය වෙනුවට සමාජ සුබසාධනවාදී ප්‍රතිපත්ති දේශීය වශයෙන් අනුගමනය කරන ලද අතර විදේශීය ප්‍රතිපත්ති වශයෙන්ද විශාල වෙනසක් කරනු ලැබීය. ඒ අනුව 56න් පසු ගනු ලැබූ ඉතා තීරණාත්මක රාජ්‍ය ප්‍රතිපත්තීන් වූයේ ජනසතු කිරීමේ ව්‍යාපාර, සමාජවාදී රාජ්‍යයන් සමඟ තානාපති සබඳතා ආරම්භ කිරීම හා රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව පත්කිරීම ඉතා ප්‍රසිද්ධ දේශපාලන ප්‍රතිපත්තීන්ය.


2. විධායක ප්‍රතිපත්ති යනු,
විධායක ප්‍රතිපත්ති බොහෝවිට තීරණය වන්නේ රටේ පාලන බලය මෙහෙයවන ඉහළම ස්ථරවල අවශ්‍යතා අනුවය. ඒ අනුව රටේ විධායක පාලනාධිකාරයවන ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් ඇමතිවරු හා ඔවුන්ගේ ලේකම්වරුන්ට අදාළ ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය හිමි වේ.  ලංකාවේදී නම් ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරනු ලබනා මෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන් විසින් අධීක්ෂණය කරනු ලබනා තීරණ විධායක ප්‍රතිපත්තීන් ලෙස අර්ථ දැක්විය හැකිය. උදාහරණයක් ලෙස වර්තමාන විධායකයේ ප්‍රතිපත්ති මාලාව වන මහින්ද චින්තන ඉදිරි දැක්ම පෙන්වාදිය හැකිය.

3. පරිපාලන ප්‍රතිපත්ති යනු,
පරිපාලන ප්‍රතිපත්ති සකස්වෙනු ලබන්නේ විධායකය විසින් තීරණය කරනු ලබන ප්‍රතිපත්තීන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේන්තු වෙත යොමු කළ විට සිදුවන ක්‍රියාවලිය මඟිනි. ඒ අනුව පසුගිය වකවානුව තුළ එක ගමකට එක වැඩක් යන විධායක ප්‍රතිපත්තිය මත සෑම ගමකම මාර්ග සංවර්ධනය කිරීම පෙන්වාදිය හැකිය.තවද දිවි නැගුම, මඟ නැගුම හා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීම වැනි කාර්යයන්ද සිදුවූයේ පරිපාලන ප්‍රතිපත්තීන් යටතේය.

4. ශිල්පීය ප්‍රතිපත්ති යනු,
තම දෙපාර්තමේන්තුවට පැවරෙන පරිපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී දෙපාර්තමේන්තු නිලධාරීන්ට එදිනෙදා වැඩසටහන් වලට අනුකූළව තීරණ ගැනීමට සිදු වේ. නිලධාරී මඩුල්ලක් විසින් ගන්නා ලද එවැනි තීරණ ශිල්පීය ප්‍රතිපත්ති වේ.
ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්තිවල ඉහත දැක් වූ ස්වභාවය අනුව සියලුම ප්‍රතිපත්ති එකිනෙකට අන්‍යෝන්‍යය වශයෙන් එකට බැඳී පවතින ආකාරයක් දැකිය හැකිය. තවද රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රායෝගික තත්වය අනුවද ඒවා කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එනම්,

පරිපාලන ප්‍රතිපත්ති
සංවර්ධන ප්‍රතිපත්ති

පරිපාලන ප්‍රතිපත්ති යනු පෙර සඳහන් කළ ආකාරයටම දෙපාර්තමේන්තු මට්ටමේදී නිලධාරීන් විසින් සකස් කරන ලද ක්‍රියා පිළිවෙලට අනුව තීරණය කරනු ලබන්නා ක්‍රියාත්මක වැඩපිළිවෙලකි. උදාහරණයක් වශයෙන් භාණ්ඩ සේවා අත්පත් කරගැනීම සඳහා වූ ප්‍රතිපත්ති හා සේවක පරිපාලනය සඳහා වූ ප්‍රතිපත්ති  දැක්විය හැකිය. ඒ අනුව 1963දී වැටුප් කොමිසමේ නිර්දේශය පරිදි සිවිල් සේවය අවලංගු කර “ලංකා පරිපාලන සේවය” ආරම්භ කරනු ලැබීය. එය ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු පරිපාලන ව්‍යුහයේ සිදුකෙරුණු වැදගත් සංශෝධනයක් විය. ආණ්ඩුවේ “යකඩ රාමුව” ලෙස හඳුනවනු ලද්දා වූද, බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරනු ලදුව වසර 150ක් වැනි කාලයක් තිස්සේ රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා යොදා ගත්තා වූද “සිවිල් සේවය” එපරිද්දෙන් අවසන් කෙරිණි. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල වශයෙන් උපාධිධාරීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ස්වභාෂා උගතුන් වූ ඔවුන්ට රාජ්‍ය සේවයට ඇතුල්වීමේ අවස්ථාව පුළුල් කෙරුණ එම සංශෝධනය නිදහස් ලංකාවට කදිමට ගැලපුන පියවරක් විය.  
සංවර්ධන ප්‍රතිපත්ති යනු යම් කිසි රටක දේශපාලනමය, ආර්ථිකමය හා සමාජීය වශයෙන් එම රටේ ජනතාගේ පොදු අභිවෘද්ධිය උදෙසා තීරණය කරනු ලබන ක්‍රියාමාර්ග සහ වැඩසටහන්ය. එනම් රටක සංවර්ධන අරමුණු ලඟාකර ගැනීම සඳහා රජය විසින් හඳුන්වාදෙනු ලබන ආයෝජන ප්‍රතිපත්ති, මූල්‍ය ප්‍රතිපත්ති, බදු ප්‍රතිපත්ති හඳුන්වාදිය හැකිය. උදාහරණයක්   වශයෙන් ලංකාවේ හම්බන්තොට වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි සංවර්ධන හා ආයෝජන ප්‍රතිපත්ති පෙන්වා දිය හැකිය.
තවද ප්‍රතිපත්ති වර්ග සහ ප්‍රතිපත්ති ස්වරූප අනුව ඒවා මඟින් අවධානය  යොමුකෙරෙන ක්ෂේත්‍රයන් පහත ආකාරයෙන්ද වර්ග කළ හැක.ඒවා නම්,

1. ස්වායත්ත නැතහොත් මූලික ප්‍රතිපත්ති.
2. රෙගුලාසිමය ප්‍රතිපත්ති.
3. බෙදාහැරීම හා සම්බන්ධ ප්‍රතිපත්ති.
4. ප්‍රතිබෙදාහැරීමේ ප්‍රතිපත්ති.



1.  ස්වායත්ත නැතහොත් මූලික ප්‍රතිපත්ති යනු,

කිසියම් රටක සමාජ සුබසාධනය සහ සමාජ සංවර්ධනය ඉලක්ක කොටගත් ප්‍රතිපත්ති ස්වායත්ත ප්‍රතිපත්ති නැතහොත් මූලික ප්‍රතිපත්ති යනුවෙන් හැඳින්විය හැකිය. එනම් සමාජ සුබසාධනය තකා 
නිදහස් අධ්‍යාපනය සැපයීම
ආර්ථික ස්ථායීතාව පවත්වාගෙන යාම
නීතිය හා සාමය පවත්වාගෙන යාම
වැනි අරමුණු ඉන් පදනම් කරගනී. උදාහරණයක් වශයෙන් ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය, 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පෙන්වා දිය හැකිය. එම ප්‍රතිපත්තීන් මඟින් ලාංකික සමාජය සීඝ්‍ර පරිවර්තනයකට ලක් වූ බව අධ්‍යයනයේදී පෙනී යයි.
මෙම ප්‍රතිපත්ති මඟින් මූලික වශයෙන් සමාජයේ සෑම කණ්ඩායමකටම පොදුවේ ආමන්ත්‍රණය කරන ආකාරයක් දැකිය හැකිය. 

2. රෙගුලාසිමය ප්‍රතිපත්ති යනු,
විවිධ අංශයන්වල පාලනයන් ඇති කිරීම සඳහා සකස් කරන ලද ප්‍රතිපත්ති රෙගුලාසිමය ප්‍රතිපත්ති ලෙස හඳුන්වනු ලැබේ. 
සනීපාරක්ෂක අංශ
වෙළඳ බදු පාලනය කිරීම 
වැනි අංශ පෙන්විය හැකිය. ඒ අනුව ලංකාවේ විවිධ අංශ කෙරෙහිද එම රෙගුලාසිමය ප්‍රතිපත්ති අදාලවනු දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් ලංකාවේ අර්තාපල් වගාවේ ඵල නෙළාගන්නා අවධියේදී ආනයනික අර්තාපල් වලට ආනයනික බදු පනවා ලාංකික අර්තාපල් ගොවියා ආරක්ෂාකර ගැනීම, වගාවන් සඳහා කාබනික පොහොර  නිර්දේශ කිරීම, ඩෙංගු, මැලේරියා හා බරවා වැනි මදුරු වසංගත බෝවන ස්ථාන මර්දනය කිරීම සඳහා විධිවිධාන පැනවීම, පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි ස්ථාන වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වැනි දෑ දැක්විය හැකිය.

3. බෙදා හැරීම හා සම්බන්ධ ප්‍රතිපත්ති යනු,
සමාජයේ විවිධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත්කරනු ලබන ප්‍රතිපත්ති බෙදාහැරීම හා සම්බන්ධ ප්‍රතිපත්තීන් වේ. ඒ අනුව 
අභ්‍යයන්තරික අවතැන් වූවන් නැවත පදිංචි කරවීම
දිළිඳු ජනතාවට සහනාධාර ලබාදීම
වැඩිහිටි ජනතාවගේ සාක්ෂරතාව ඉහළ නැංවීම
වැනි ප්‍රතිපත්තීන් දැක්විය හැකිය. ඒ අනුව ලංකාව තුළ 2004 සුනාමි ව්‍යයසනයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරවීම, මානුෂීය යුද මෙහෙයුම අවසානයේ උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන් වූවන් නැවත පදිංචි කරවීම හා කොටි සාමාජික සමාජිකාවන් පුනුරුත්ථාපනය කර නැවත සමාජගත කිරීම ආදිය දැක්විය හැකිය. මෙම ප්‍රතිපත්තීන්හි විශේෂ ලක්ෂණයක් වන්නේ සමාජයේ විශේෂිත වූ කණ්ඩායමක් ඉලක්ක කොටගෙන ප්‍රතිපත්ති මෙහෙයවීමයි.

4. ප්‍රතිබෙදාහැරීමේ ප්‍රතිපත්ති යනු,
රටක සමාජ හා ආර්ථික වෙනස්කම් ඇති කිරීම හෙවත් සංවර්ධනයක් ඇති කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. ඒ අනුව දැනට සහනාධාර ලබා ගන්නා කණ්ඩායම් ඒ සඳහා සුදුසු නොවන විට ප්‍රතිබෙදාහැරීමේ ප්‍රතිපත්ති සඳහා සමාජ සාධාරණත්වයක් ඇති කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. උදාහරණයක් ලෙස ලංකාවේ සමෘද්ධි සහනාධාර ලබා දීමේදී ආදායම පිළිබඳ තක්සේරු කරන අතර කාලයක් සමෘද්ධි ලබා ගැනීමෙන් පසු එම පුද්ගලයන් ප්‍රගතියක් ලබා ඇත්නම් සමෘද්ධි සහනාධාරය අවලංගු කරන අතර එවැනි වෙනත් සහනාධාර ක්‍රමද එලෙසින් අධීක්ෂණය කර ඒවායේ ප්‍රගතිය අනුව තවදුරටත් එය පවත්වාගෙන යනවාද, සංශෝධනය කරනවාද නැත්නම් අවලංගු කරනවාද යන්න තීරණය කරනු ලබයි.
සමාලෝචනය.
රාජ්‍ය ප්‍රතිපත්ති ස්වරූපය පිළිබඳ විමසීමේදී පෙනීයන කරුණක් වන්නේ ඒවා විවිධාකාරයෙන් වර්ගකර දැක්විය හැකි බවයි. කෙසේ නමුත් එම සෑම වර්ග කිරීමකදී මෙන්ම හැඳින්වීමකදීම ආමන්ත්‍රණය කෙරෙන ක්ෂේත්‍රයන් එකිනෙකට සමානවන අතර ඒ සෑම ක්ෂේත්‍රයක්ම දංවැලක පුරුක් මෙන් එකිනෙකට අන්‍යෝන්‍යය වශයෙන් බැඳී පවතී. තවද එම ප්‍රතිපත්තීන් ලෝකයේ සෑම රටකටම පොදුවේ අදාළ කරගත හැකි බව අවබෝධ කරගත හැකිය.
ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති ස්වරූපය අනුව ඒවා මඟින් ආමන්ත්‍රණය කරන ක්ෂේත්‍රයන් ලාංකික සමාජය ආශ්‍රයෙන් ඉහත ආකාරයට දැක්විය හැකිය. 

ආශ්‍රිත ග්‍රන්ත නාමාවලිය.

අයිවන්, වික්ටර්., දෙමළ අභියෝගය, රාවය ප්‍රකාශන, මහරගම. 2012.

අයිවන්, වික්ටර්., ලංකාව ගලවා ගැනීම, රාවය ප්‍රකාශන, මහරගම. 2013.

ප්‍රනානදු, ආර්. ලලිතා. එස්.,රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂණය, දීපානි මුද්‍රණ ප්‍රකාශන සමාගම, නුගේගොඩ. 2009.

ලැස්කි, හැරල්ඩ්. ජේ., රාජ්‍ය පිළිබඳ සිද්ධාන්ත හා ව්‍යවහාරය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2005. 

වර්ණපාල, විශ්වා., සංවර්ධන පරිපාලනය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10. 2007. 

ශ්‍රී ලාංකේය ඉතිහාසය- වෙළුම 5: පරිච්ඡේදය 4, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 11. 2012.‍

No comments:

Post a Comment