Sunday, 22 November 2020

ක්‍රිස්තියානි ධර්මයේ ආරම්භයේ සිට ‍ගෝත්‍රික ආක්‍රමණ යුගය දක්වා සිදු වූ වර්ධනයන් හා විජයග්‍රහණ


පටුන

හැඳින්වීම.

1.     ක්‍රිස්තියානියේ හා යුදෙව් ආගම් වල සම්බන්ධය.

2.     ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය

3.     ක්‍රිස්තියානියේ වර්ධනය.

4.    ක්‍රිස්තියානියට එල්ල වූ අභියෝග.

5.     ක්‍රිස්තියානියේ ජයග්‍රහණ.

6.    ක්‍රිස්තියානීන්ට නිදහස ලැබීම.

7.     රෝම අධිරාජ්‍යයේ පරිහානිය හා ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තිය.‍

8.     ගෝත්‍රික ආක්‍රමණ යටතේ ක්‍රිස්තියානියේ වර්ධනය

 

9.    සමාලෝචනය

ආශ්‍රිත ග්‍රන්ථ නමාවලිය

 

 


හැඳින්වීම

 

වර්තමාන ලෝකයේ බහුතරයක් දෙනා අදහන ආගමවන ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසය ආරම්භ වන්නේ එහි ශාස්තෘවරයාවන ක්‍රිස්තුස් වහන්සේගෙන්ය. යුදෙව් ජාතිකයෙකු වූ උන්වහන්සේ උපත ලබන්නේ යුදෙව්වන්ගේ පොරොන්දු දේශය ලෙස සැළකෙන පලස්තීනයේ “ගලීලෙයාවේ”ය. ජේසුස් වහන්සේ උපදින විට පලස්තීනය ආශ්‍රිත එම ප්‍රදේශය රෝම අධිරාජ්‍යයේ අණසකට යටත්ව පැවතිණ. ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබූ අවදියේ එම ප්‍රදේශයේ පාලනය පැවතියේ හීරෝඩ් රජු යටතේය. ක්‍රිස්තුස් වහන්සේ නසරත් නැමැති ගම්මානයේ තම ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගත කර ඇති අතර යුදෙව් පොත්පත්වල තිබුණු දෑ තේරුම් ගැනීමටත් විග්‍රහ කිරීමටත් ඔහුට හැකිව තිබී ඇත. යුදෙව් ජාතිකයෙකු වූ ඔහුගේ පියා නසරත්හි ජෝසෆ් නම් වූ අතර මව ඩේවිඩ් රජුගේ පරපුරට අයිති කන්‍යා මරියා මව්තුමිය විය. [1]

           

ක්‍රිස්තියානිය ආරම්භවන විට ලෝකයේ වඩාත් විශාල වූද බලසම්පන්න වූද රෝම අධිරාජ්‍යයට එය අයත්ව තිබිණ. මධ්‍යධරණී මුහුද අවට වූ සෑම රාජ්‍යයක්ම රෝමයේ පාලනයට අයත්ව තිබිණ. එම යුගයේ රෝම අධිරාජ්‍යය සමාජීය හා සංස්කෘතික වශයෙන් විශාල දියුණුවක් ලබා තිබුණේය. ලෞකිකත්වය අතින් එලෙස රෝම අධිරාජ්‍යය සැළකිය යුතු දියුණු මට්ටමක පැවතියද ආධ්‍යාත්මික වශයෙන් ඉතා විශාල ලෙස පිරිහී තිබිණ. ඊට එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ පොදුජනයා ඇදහූ ආගම එක හා සමාන නොවූ ආගම් කිහිපයක සම්මිශ්‍රණයක් වීමයි. ඉතාලියේ, ග්‍රීසියේ, ඊජිප්තුවේ හා අනෙකුත් රෝම යටත්විජිත වල ජනතාව දෙවි දේවතාවන් සමූහයක් අදහන ලදි. අධිරාජ්‍යයෙක් වුවද දෙවි කෙනෙකු සේ සළකා වන්දනාමාන කරන ලදි. දාර්ශනිකයන් අතර ඒකදේවවාදය පිළිගත් අය ඉතා අල්ප වූ අතර රෝමන්වරු දෙවිවරුන් ඇදහූයේ විපත් හා අන්තරාවලින් ආරක්ෂා වීමට පමණි. දේව භක්තිය හා දැහැමි ජීවිතය අතර එතරම් සම්බන්ධකමක් එකළ ජනතාව දුටුවේ නැත.

 

බොහෝ දෙනෙකුට භුක්ති විඳීමට ලැබුණු ධන සම්පත්වල බහුලත්වය නිසා අවංකකම, උත්සාහවන්තකම හා සන්සුන්කම වැනි රෝම ගුණාංග එම සමාජයෙන් ක්‍රමානුකූලව බැහැරවන්නට විය. ලිංගික සදාචාරය හීන වූ අතර විවාහ ජීවිතයට තිබූ වැදගත්කමද අඩු විය. ඇතැම් දේවාල බේබදුකමට හා වෛශ්‍යා වෘතියට මුල්තැන දෙන මධ්‍යස්ථාන බවට පත්වී තිබුණේය. සතුන්ට වධ දීම හා මිනිසුන්ට හිංසා කිරීම රෝමන්වරු විනෝදාංශයක් කරගෙන තිබූ අතර ප්‍රසිද්ධියේ පොරපිටිවල සතුන් අතරට මිනිසුන් දමා සතුන් මෙන්ම මිනිසුන්ද වධ විඳින හැටි බලා සතුටට පත් වූහ. පොරපිටි නාට්‍ය ශාලාවලට වඩා ජනප්‍රිය විය. ඉතාමත් කුඩා වැරදි වලට පවා මිනිසුන් කුරුසවල ඇණ ගසා මරණයට පත් කළහ.

 

මෙසේ තිබූ සමාජයක ජේසුස් වහන්සේගේ දර්ශනය කාන්තාරයකට වැටුණු දිය පොදක් මෙන් අවිහිංසාවාදය කරා ගෙන යාමක් විය. එමඟින් යුරෝපීය සමාජය ක්‍රමානුකූලව විශාල පරිවර්තනයකට ලක්විය. මුලදී විශාල අභියෝග හමුවේ ව්‍යාප්ත වූ එම දහම පසුකාලීනව ඉතා සීඝ්‍ර ජයග්‍රහණ ලබන්නට විය. මෙම පැවරුම මඟින් ජේසුස් වහන්සේගේ දර්ශනයේ ආරම්භය, ව්‍යාප්තිය හා ජයග්‍රහණ සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.



[1]බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003. පිටු 124.


 

1.   ක්‍රිස්තියානියේ හා යුදෙව් ආගම්වල සම්බන්ධය

     

රෝමය බහුදේවවාදයෙන් පීඩා විඳිද්දී ක්‍රිස්තුස් වහන්සේ ඉපදුණු පලස්තීනය ආශ්‍රිත ප්‍රදේශය එකළ එකම දේව භක්තික ආගම වූ යුදෙව් ආගමේ මාතෘ භූමිය විය. යුදෙව් ආගමට අනුව ඔවුන් බහුදේවවාදය ප්‍රතික්ෂේප කළ අතර සදාචාරයට මුල්තැනක් දුන්හ. පලස්තීනයෙන් බැහැරව පැවති අනෙකුත් රෝම අධිරාජ්‍යය ප්‍රදේශවල ජීවත් වූ යුදෙව්වන් සමඟද ඔවුන් සම්බන්ධකම් පැවැත්වූහ.

 

උපතින් යුදෙව් ජාතිකයෙකු වීම හේතුවෙන් හීබෲ ජාතිකයන්ගේ සියළුම ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඔහුට හැකි විය. නමුත් රෝමයට යටත්ව සිටි යුදෙව්වෝ ඉතා අසහනයෙන් කාලය ගෙවූ අතර නැවත නිදහස ලබා ගැනීමට පුලපුලා බලා සිටියහ.

 

සමහර අනෙකුත් ආගම් මරණින් පසු ජීවිතයක් පිළිබඳව අදහස් දක්වා තිබූ අතර සමාජයේ ඉහළ හා ප්‍රභූ පවුල්වල පමණක් නැවත හොඳ ආත්මයක් ලබා ගැනීමට හැකියැයි අදහස පැවතිණ. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් මඟින් බොහෝ දුප්පත් හා වහලුන් හට නව බලාපොරොත්තුවක් ඇති විය. වෙනස් වඩා හොඳ ලෝකයක සුගතිය ලබා ගැනීම පිළිබඳව ඔවුන් තුළ විශ්වාසයක් ඇති විය. එම කාලවකවානුවේදී අනාගත වක්තෘවරයෙකු පහළ වී එම පීඩිත ජනතාව මුදාගන්නා බවට පැවති අතීත ජනප්‍රවාදය එකළ ජනතාව විශ්වාස කළහ. ක්‍රිස්තුස් වහන්සේ එම ගැලවුම්කාරයා විය යුතු බවත් ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා විය යුතු බවත් ජනතාව විශ්වාස කරන්නට විය.

 

යුදෙව් ජාතික පූජකයන් එම කතා පුවත සම්බන්ධයෙන් කෝපයට පත් වූ අතර ජේසුස් වහන්සේ යුදෙව් දේවාලවල නීති කැඩීමට මිනිසුන්ට උගන්වන්නේයැයි සිතූහ. මන්දයත් යුදෙව් ආගමික වත්පිළිවෙත් ඉතාමත්ම සංකීර්ණවීමත් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් ඉතා සරල වීමත්ය. “මිනිසුන් නමස්කාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව දෙවියන් වහන්සේ සැළකිල්ලක් නොදක්වන අතර දෙවියන් වහන්සේ සැළකිල්ල දක්වන්නේ අපගේ හද තුළ ඇති දේට පමණක් යැයි ජේසුස් වහන්සේ කියා සිටියේය.[1]

 

ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් විශාල ප්‍රමාණයක් ඒකරාශී වීම හේතුවෙන් යුදෙව් පූජකවරු නැවතත් කලබලයට පත්වූහ. ජේසුස් වහන්සේ කැරැල්ලක් සංවිධානය කරනවායැයි රෝමන්වරු සිතනු ඇතැයිද ඒ නිසා ජනයාට හා තමන්ට දඬුවම් කිරීමට රෝමන්වරු පෙළඹෙතැයිද ඔවුහු බියට පත්වූහ. එම නිසා යුදෙව් නායක පූජකවරු ජේසුස් වහන්සේ සිරභාරයට ගැනීමට කටයුතු පිළියෙල කළ අතර ඉන්පසු ඔහු මරණයට පත්කල යුතුයැයි රෝම ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කළහ. ‍

 

රෝම අධිරාජ්‍යයාට අවමන් කළ බවට චෝදනා කොට ජේසුස් අල්ලා ගත් යුදෙව්වෝ ඔහු රෝම ආණ්ඩුකාරයා වූ පොන්ටියස් පිල්ටා වෙත භාර දුන්හ. රෝම පාලකයෝ  ඔහුට විරුද්ධව රාජද්‍රෝහි චෝදනා එල්ල කොට ඔහු වැරදිකරු බවට තීන්දුකොට කුරුසයේ අණ ගසා මරා දෑමූහ. ඉන් දින 3ට පසුව ජේසුස් වහන්සේ මළවුන් අතරින් නැඟී සිටි බව ශුභාරංචියේ දැක්වෙන අතර දින 40ට පසුව ඔහු දිව්‍ය ලෝකය කරා යනු දුටු බව ඔහුගේ ශ්‍රාවකයන් විසින් ප්‍රකාශ කොට ඇත. අභිෂේකලත් යන අර්ථය ඇති “ක්‍රිස්ටෝස්” යන වචනයෙන් ඔහු හැඳින්වීමට පටන් ගත් අතර ජේසුස්ගේ අනුගාමිකයෝ ක්‍රිස්තියානි ආගම ගොඩනැගුවේ මුළුමනින්ම ඔහුගේ ඉගැන්වීම් පදනම් කොට ගෙනය.[2]

 



[1] මාර්ග ආයතනය, ලොකයේ කථාන්තරය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10. 2004. පිටු 96.

[2] බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003. පිටු 125.

 


1.   ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය

 

බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ අන්තර්ගත සියළුදෑ යුදෙව් ධර්මය පිළිබඳව වන අතර නව තෙස්තමේන්තුවේ අන්තර්ගත වන්නේ ජේසුස් වහන්සේගේ ජිවිතය පිළිබඳව හා එතුමාගේ ඉගැන්වීම් පිළිබඳවය. විශ්වයේ හා සත්ව වර්ගයාගේ මැවුම්කරුවා දෙවියන් වහන්සේ වන බවත් දෙවියන් වහන්සේ අනුකම්පා සහගතවන අතර සියළු දෙනාට එකසේ කරුණාව දක්වන බවත් දේශනා කරන ලදි. සියළු දෙනා සහෝදරත්වයෙන් ජීවත්විය යුතු අතර දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වී ජීවත් විය යුතු බවත් ඔහු ඉගැන්වීය. පව්කාරයන් සිය පාපකර්ම පිළිබඳව පසුතැවිලි විය යුතු අතර දෙවියන් වහන්සේගේ අනුකම්පාව සඳහා යාඥා කළ යුතු බවද යහපත් ක්‍රියාමාර්ගවල යෙදීමෙන් පාරිශුද්ධ චරිත ගොඩනඟා ගතයුතු බවද ඔහුගේ මූලික ඉගැන්වීම් කීපයකි. තමාට නපුරක් කරන අයට වුවද යහපතක් කිරීමට මනුෂ්‍යයා යොමු විය යුතු බව අවධාරණය කළ ඔහු සමාව දීම මහත් වූ පුණ්‍ය කර්මයක් බව දක්වා ඇත. කුරුසයේ ඇණ ගසා සිටියදී වුවද ඔහු “පියාණෙනි ඔවුන්ට සමා‍වන්න. මේ කරන්නේ කුමක්දැයි ඔවුහු නොදන්නාහුය.” යනුවෙන් පවසා තමාට මරණිය දණ්ඩනය පැනවූ අයට සමාව දුන් බව කියනු ලැබේ. ජේසුස් වහන්සේ ගම්බද ජනතාවට පහසුවෙන් අවබෝධවන භාෂාවෙන් උපදේශ කතා සහිතව තම ධර්මය පැහැදිලි කළේය. ඔහුගේ ශ්‍රාවකයෝ “දෙවියන් වහන්සේ විසින් එවන ලද ගැලවුම්කරුවා” ලෙස ඔහුට ගරු සම්මාන දැක්වූහ.[1]  

 



[1] බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003. පිටු 126.


1.   ක්‍රිස්තියානියේ වර්ධනය

 

ජේසුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගසා ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ අපෝස්තලුවරුන් 12දෙනා වූ හොෂෙයා, යෝවෙල්, ආමොස්, ඔබදියා, යෝනා, මීකා, නාහුම්, හබක්කුක්, ශෙපනියා, හග්ගයි, සෙකරියා, මලාකී[1] යන ශ්‍රාවකයෝ 12දෙනා යුදෙව්වන්ට දේශනා කිරීම ආරම්භ කළහ. ජේසුස්තුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයාවන බවත් දෙවියන් වහන්සේ මේ ලෝකයට එවන ලද ගැලවුම්කාරයා බවත් ඒ නිසා ඔහුගේ අනුකම්පාව හා කරුණාව අයැද සිටීමෙන් විමුක්තිය ලඟාකර ගත හැකි බව ඔවුහු දේශනා කළහ. බොහෝ යුදෙව්වන් කිතු දහමට හරවා ගැනීමට ඔවුන් සමත්විය. ජේසුස් වහන්සේගේ මරණින් දින 50ට පසුව යුදෙව්වන් අතර පැවැත්වෙමින් තිබුණ “පෙන්තකොස්ත” උත්සව දිනය ක්‍රිස්තියානි ශාසනයේ ආරම්භක දිනය ලෙස සළකනු ලැබේ. එය යුදෙව්වෝ දසදෙසින් පලස්තීනයේ අගනුවර වූ ජෙරුසෙලමට එක්රැස්වන දිනය විය. එදින ජේසුතුමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා වූ පේදුරුතුමන් විසින් ජේසුස් වහන්සේ ගැන කරන ලද දේශනයකට පසුව 3000ට අධික ජනකායක් ‍බෞතීස්ම පිළිවෙත ලබා ක්‍රිස්තු භක්තිකයන් වූ බව බයිබලයේ “ක්‍රියා” පොතේ කියවේ. ක්‍රිස්තියානි ශාසනය මුලදී යුදෙව් ආගමේම නව නිකායක් සේ සැළකිණ. එහි ප්‍රථම බැතිමත්හු මෙන්ම ධර්ම ප්‍රචාරකයෝද යුදෙව්වෝම විය. මොවුහු විවිධ පළාත්වල විසූ සිය ජාතිකයන් අතරට ජේසුස් වහන්සේ විසින් දේශනා කරන ලද ගැලවීමේ ධර්මය ගෙන ගියහ. රෝම අධිරාජ්‍යයේ තිබූ ගමනාගමනයේ හා සන්නිවේදන පහසුකම් නිසා මෙම නව දහම ඉක්මනින්ම ව්‍යාප්ත විය.

 

එසේ අළුතින් කිතු දහම වැලඳගත් යුදෙව්වකු වූ ශාන්ත පෝල් තුමා යුදෙව්වන් නොවන අයට දේශනා කිරීම ආරම්භ කළේය. ඔහු බයිබලයේ අද දක්නට ලැබෙන සංදේශ රැසක කතෘවරයාද වේ. ඔහු ධර්ම ප්‍රචාරය සඳහා ගිය සෑම තැනකම යුදෙව්වන්ගෙන් හා අන්‍ය ජාතිකයන්ගෙන් යුත් ක්‍රිස්තු භක්තික කණ්ඩායම් පිහිටුවන ලදී. ලිපි මඟින් අවවාද අනුශාසනා දෙමින් ඔවුන් සමඟ සම්බන්ධතා තබා ගැනීමටද ශාන්ත පෝල් තුමා වෙහෙසුනේය. මේ අතර අග්‍රශ්‍රාවකවරු ජේසුස් වහන්සේගේ කියුම් හා කෙරුම් පිළිබඳ වාර්තා එක්රැස් කිරීමෙහි නිරත වූහ. පසුව ශුභාරංචි ග්‍රන්ථ හතරට ඒවා මූලාශ්‍ර විය. 

 



[1] බර්නාඩ්. ඩබ්. ඇන්ඩර්සන්, පරණ ගිවිසුමේ ජීවමාන ලෝකය, ලංකා දේවධර්ම ශාස්ත්‍රාලය, පිළිමතලාව. 1980. පිටු 574.

  

1.   ක්‍රිස්තියානියට එල්ල වූ අභියෝග

 

ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් 30වසරකට පසු “සභා” නමින් හැඳින්වෙන ක්‍රිස්තු භක්තික කණ්ඩායම් රැසක් රෝම අධිරාජ්‍ය තුළ සිටින්නට විය. රෝම නගරයේද සභාවක් තිබිණ. එහි නායකයා ශාන්ත පේදුරුතුමා විය. ඒ වන විට “නව ගිවිසුම” නමින් හැඳින්වෙන පොත් එකතුවද නිර්මාණය වෙමින් පැවතිණ. අනුක්‍රමයෙන් නව ආගම පිළිබඳ පුවත රෝම අධිරාජ්‍යය පුරා පැතිරෙන්නට විය. එය ව්‍යාප්ත වෙමින් තිබූ ක්‍රිස්තියානි ආගමට හිතකර නොවීය. මන්දයත් අපරාධකරුවෙකු වශයෙන් පිළිගෙන රෝම රජය විසින් මරණ දණ්ඩනයට ලක්කරන ලද අයෙකු එම ආගමේ ශාස්තෘවරයා ලෙස පිළිගැනීමත්, රෝමන්වරුන්ගේ හිංසාවාදී ක්‍රියාවලට හා බහුදේවවාදයට මෙම ආගමේ බැතිමතුන් විරුද්ධවන නිසාත් එය රෝම අධිරාජ්‍යයේ වැසියන් අතර සැකයට භාජනය විය.

 

ක්‍රි. ව. 64දී රෝම නගරය විශාල ගින්නකින් විනාශ විය. එම ගින්න රෝම පුරවරය තුළ නව ගොඩනැගිලි මාලාවක් ඉදිකිරීමේ අරමුණින් නීරෝ අධිරාජ්‍යයා විසින් ඇතිකරන ලද්දක්යැයි රාවය පැතිරෙන්නට විය. රෝමය ගිනිබත් වෙමින් තිබියදී අර්ධ උන්මත්තකයෙකු හා ඒකාධිපති ආඥාදායකයෙකු වූ නීරෝ වීණා වයමින් සිටි බවක්ද කියවෙන්නට විය. ගින්නෙන් සිදු වූ විනාශය නිසා ජනතාව අතර කැරැල්ලක් ඇතිවේයැයි බිය වූ ඔහු එවැන්නක් ඇති නොවීම සඳහා මෙන්ම එය මැඩපැවැත්වීම සඳහා රෝම විනාශය කිතුනුවන්ගේ ක්‍රියාවක් ලෙස හඳුන්වා ඔවුන් පිට වරද පටවන ලදි.

 

සිදු වූ දේ ඇසින් දුටුවෙකු සේ සැලකෙන ටැසිටස්  නැමති රෝම ඉතිහාසඥයා එම ක්‍රියාව පහත ආකාරයෙන් විස්තර කර ඇත.

“ඔහුට (නීරෝට) එරෙහිව නැගෙමින් ආ චෝදනා නැවැත්වීමේ අරමුණින් එහි වගකීම (රෝමය ගිනි තැබීම) නීරෝ ක්‍රිස්තියානිකාරයන් මත පැවරීය. මොවුන් සිය දූෂිත ක්‍රියා නිසා ජනතාවගේ පිළිකුලට ලක්වී සිටි පිරිසකි. ඔවුන් වෙත වරද පවරා අතිශයින් කෲර ලෙස ඔවුන්ට ඔහු දඩුවම් කළේය. ඔවුන්ට සිය නම ලැබෙන්නේ තිබේරියස්  (ටයිබීරියස්) අධිරාජ්‍යයාගේ පාලන සමයේදී පලස්තීනයේ අග්‍රාණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාන්තු විසින් මරණ දණ්ඩනයට පත්කරන ලද ක්‍රිස්තුස්ගෙනි. එහෙත් එම බියකරු මිත්‍යා ධර්මය එයින් විනාශ නොවී නැවත පණ ලබා එහි මව්බිම වූ යුදෙයාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම අපවිත්‍ර ද්‍රව්‍යයක් දමනු ලබන කුණු බක්කියක් බඳු වූ රෝමයේද පැතිරෙන්නට විය. මුලින්ම සිර අඩස්සියට ගනු ලැබුවේ තමන් ක්‍රිස්තු භක්තිකයන් කියා පිළිගත් අයය. ඉන්පසු ඔවුන්ගේ සාක්ෂි මත අතිවිශාල සංඛ්‍යාවක් වරදකරුවන් සේ තීරණය විය. එහෙත් ඔවුන්ට එල්ල වූයේ ගින්න ඇති කිරීමේ චෝදනාවම නොවේ. මිනිස් සංහතිය පිළිකුල් කිරීමේ චෝදනාවය.”

 

 “මොවුන් මරා දමනු ලැබුවා පමණක් නොව ඔවුන්ට වද හිංසා කිරීම විනෝදාංශයක් බවට පත්කර ගන්නා ලදි. සමහරුන් කැබලිවලට ඉරා දමනු පිණිස සතුන්ගේ හම්වලින් පොරවා සුනඛයන් අතරට විසිකර දමන ලදි. සමහරු කුරුසවල ඇණ ගසනු ලැබූහ. සමහරු අඳුර වැටුණු විට නගරය ආලෝකමත් කිරීම පිණිස පුළුස්සනු ලැබීය. නීරෝ එම අවස්ථාවේ තම උයන මහජනයාටද විවෘතකර මහත් ගාම්භීරයෙන් අශ්ව රථයක නැගී එහා මෙහා ගියේය. එයින් ඇති වූ ප්‍රතිඵලය ඔහු පැතුවාට වඩා විරුද්ධ එකක් විය. මෙම ක්‍රිස්තියානිකාරයින්ට දරුණු දඬුවම් ලබා දිය යුතුව තිබුණ නමුත් මොවුන් වෙත මහජනයා තුළ අනුකම්පාවක් ඇතිවන්නට විය. මොවුන් විනාශකර දමනු ලැබුවේ රටේ යහපතට නොව එක කුරිරු මිනිසෙකුට තම මනදොළ පිනවා ගැනීමට අවශ්‍යය වූ නිසාය යන හැඟීමක් මහජනයා තුළ ඇති විය.”[1]

 

නීරෝගේ පීඩන සමයේදී ජීවිත පුදකළ ක්‍රිස්තියානි භක්තිකයන් අතර කුරුසයක ඇණ ගසා මරණු ලැබූ පේදුරු තුමාද, හිසගසා මරා දමනු ලැබූ පාවුළු තුමාද වේ. ක්‍රි. ව. 68දී වයස 30ක් වූ නීරෝ සිය දිවි හානි කරගත්තේය. ඔහුගේ පාලන කාලය කෙටි වූ නමුත් ඔහු ආරම්භ කරන ලද කිතුනුවන්ට විරුද්ධ දණ්ඩනීති දිගටම බලපැවැත්වෙන ලදි. තවත් ශතවර්ෂ දෙකහමාරක කාලයක් පමණ වනතෙක්ම ක්‍රිස්තු භක්තිකයෙකු වීම මරණ දඬුවමට ලක්වන කරුණක් විය.

 

එවැනි බලපෑම් හමුවේ වුවද ක්‍රිස්තියානියේ ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් සිදුවිය. එයට එක් හේතුවක් ලෙස දැකිය හැක්කේ ක්‍රිස්තියානියට එරෙහි වූ එම දණ්ඩනීති අධිරාජ්‍යයේ සෑම තැනකම ඒකාකාරීව ක්‍රියාත්මක නොවීමයි. යම්යම් කාලපරිච්ඡේද හා ස්ථානවල එළිපිටම ආගම ඇදහීමට හැකියාව තිබිණ. එකළ බොහෝදෙනෙක් ක්‍රිස්තු භක්තිකයන් සැළකුවේ ඥාතීන් අතර විවාහවන, මිනිස් සංහතිය පිළිකුල්කරන, මිනීමස් කෑම වැනි දූෂණවලට ඇබ්බැහි වූ පිරිසක් සේය. මිනීමස් කෑමේ චෝදනා ඇති වී තිබුණේ ක්‍රිස්තු භක්තිකයන්ගේ පූජා පිළිවෙතක් වූ රොටී හා මිදි යුෂ හවුලේ බෙදා ගැනීම, වරදවා තේරුම් ගැනීමෙනි. එනම් ක්‍රිස්තු භක්තිකයෝ පූජා ආහාරය බෙදා ගැනීමේ පිළිවෙත හඳුන්වනු ලැබුවේ, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හා රුධිරය හෙවත් ප්‍රාණ ශක්තිය හවුලේ බෙදා ගැනීමක් සේය.

 

ක්‍රිස්තු භක්තියෙක් වීම මත ඕනෑම පුද්ගලයෙකු නඩු ශාලාවකට ඉදිරිපත්කළ හැකි විය. එතනදී ඔහු තම මරණය හා ආගම යන දෙකෙන් එකක් තෝරාගත යුතු විය. නීරෝගේ පීඩන සමයෙන් ශතවර්ෂ භාගයකට පමණ පසු කළු මුහුද අසල පිහිටි බිතිනියාවේ අග්‍රාණ්ඩුකාරවරයා වූ ප්ලීනි නැමැත්තාට වරක් තම ප්‍රදේශය තුළ එම දණ්ඩනීති ක්‍රියාත්මක කිරීමට සිදුවිය. ඔහුට එසේ කිරීමට සිදුවූයේ ක්‍රිස්තු භක්තිකයින් කියා ඔහුගේ යටත් වැසියන් අතරින් කීපදෙනෙකු නම්කර දක්වන නිර්නාමික පත්‍රිකාවක් ඔහුට ලැබීම නිසාය. එම අවස්ථාවේ ඔහු උපදෙස් පතා රෝමයේ අධිරාජ්‍යයාට ලිපියක් යැවීය. ඔහුගේ එම ලිපියද, අධිරාජ්‍යයා විසින් එවන ලද පිළිතුරද අද දක්වාම ආරක්ෂා වී තිබේ. ප්ලීනිගේ ලිපියේ මෙසේ සඳහන් වී තිබේ.

 

“ක්‍රිස්තු භක්තිකයන් නොවේයැයි කී හැමදෙනෙකුම මම නිදහස්කර හැරියෙමි. මා එසේ කළේ ඔවුන් අපේ දෙවිවරුන්ට වන්දනාමාන කිරීමට එකඟ වූ නිසාය. දෙවිදේවතා රූප සමඟ ඔබේ පිළිමයද (අධිරාජ්‍යයාගේ රුව) ඔවුන් ඉදිරිපිටට ‍මා ගෙන ආ විට ඔවුන් එයට දුම් අල්ලා මිදි යුෂ පූජා කලහ. ඒ සියල්ලටත් වඩා ඔවුන් ක්‍රිස්තූන්ට ශාප කළහ. එය කිසිම ක්‍රිස්තු භක්තිකයෙකු ලවා කරවන්නට බැරි දෙයකි......”

 

         මහා අධිරාජ්‍යයා වූ ‍‍ට්‍රෝජන් අමතා ලියන ලද ලිපිය ඔහු අවසන් කළේ ක්‍රිස්තු භක්තිකයන් සම්බන්ධයෙන් ඔහු කුමක් කළ යුතුදැයි අසමිනි. ඒ බව කෙලින්ම නොකී නමුත් ආගමික විශ්වාසය යන එකම වරද මත කෙනෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ප්ලීනි නොසතුටට පත්වී සිටියේය. මහා අධිරාජ්‍යයා වූ ට්‍රෝජන්, ප්ලීනිගේ එම ප්‍රශ්නයට පිළිතුරක් යැවීය. එය මෙසේය,

 

“ඔවුන්ව සොයා යායුතු නැත. යමෙක් ක්‍රිස්තු භක්තිකයෙකු කියා දැනුම් දෙනු ලැබූවහොත් එසේම එම චෝදනා ඔප්පු වී යතොත් එවිට ඔහුට දඬුවම් කළ යුතුය. එහෙත් චෝදනා ලැබූ යමෙක් තමා ක්‍රිස්තු භක්තිකයෙකු නොවේ යැයි ප්‍රකාශ කරන්නේ නම් එසේම අප දෙවිවරුන්ට වන්දනාමාන කිරීමෙන් ඒ බව සනාථ කරන්නේ නම් කෙතරම් සැක සහිත වුවත් ඔහු එකවිටම නිදහස්කර යැවිය යුතුය. නිර්නාමික පත්‍රිකා කිසිවිටෙක සාක්ෂියක් සේ නොගත යුතුය. එය නරක පූර්වාදර්ශයකි. එසේම නූතන යුගයට ගැලපෙන්නේද නැත.”[2]

 

ට්‍රෝජන් රෝම අධිරාජ්‍යයන් අතරින් යහපත්ම කෙනෙක් වුවත් ක්‍රිස්තියානීන්ට විරුද්ධව තිබූ දණ්ඩනීති අවලංගු කිරීමට ඔහු පසුබට විය. ඔහු එසේ කළේ අධිරාජ්‍යය පිළිබඳ ඔහුගේ ආකල්පයට ක්‍රිස්තියානියෙන් හානියක් සිදුවෙතැයි ඔහුට හැඟුන නිසා විය හැකිය. ක්‍රිස්තු භක්තිකයෝ අධිරාජ්‍යයට පක්ෂපාතී වූයේ දෙවියන්  වෙත තම පක්ෂපාතීත්වයට එය පටහැනි නොවූ ප්‍රමාණයට පමණි.

 

මරණ තර්ජන හේතුවෙන් ඇති වූ දුෂ්කරතා ‍මැද වුවද රෝම අධිරාජ්‍යයේ සෑම පළාතකම වාගේ නව ආගමට බැ‍‍දෙන්නවුන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගියහ. රෝම සමාජය තුළ තිබූ විවිධ දුසිරිත් හා හිංසාවාදයන්ට අප්‍රිය කළ පුද්ගලයන් ඊට ආකර්ෂණය වූ අතර ඕනෑම තරාතිරමකම පුද්ගලයන්ටද එම ආගමට බැඳීමට හැකිවිය. ක්‍රිස්තියානිය ගැන සොයාබලන්නට ඔවුන් වැඩිපුර පෙළඹුණේ ප්‍රාණ පරිත්‍යාගීවරුන් තුළ ඔවුන් දුටු අචල විශ්වාසය හා නිර්භීතකම නිසාවෙන්ය. පොරපිටිවල මරන අභිමුඛයට වැඩිහිටි පිරිමින් හා ගැහැණුන් මෙන්ම ළදරුවන්ද ගමන් කළේ ඉමහත් ප්‍රීතියෙන් බව ඔවුහු දුටුවෝය. නව ආගමට එරෙහිව පැනවූ දණ්ඩ නීතිවල ප්‍රතිඵල ඒවායේ අරමුණට වඩා හාත්පසින්ම වෙනස් විය.

    

 

ටර්ටල්ලියන් සඳහන් කළ පරිදි ,

 

“අපිව කුරුසවල ඇණ ගසන්න. අපට වද දෙන්න. අපව මරණයට තීන්දු කරන්න. අපව දූවිලිවලට අඹරන්න. අපව කපා දමනු ලබන තරමට අපි වැඩෙන්නෙමු.‍ බෝ වෙන්නෙමු. ක්‍රිස්තු භක්තිකයන්ගේ රුධිරය බීජයක් බඳුය.”[3]



[1] ඇන්ටනි ප්‍රනාන්දු, ආරම්භයේ සිට අද දක්වා ක්‍රිස්තියානියේ ඉතිහාසය සාහිත්‍යය හා කලාව, අන්තර් සංස්කෘතික පොත් ප්‍රචාරකයෝ, කඩවත. 1996. පිටු 4 -5.

[2] ඇන්ටනි ප්‍රනාන්දු, ආරම්භයේ සිට අද දක්වා ක්‍රිස්තියානියේ ඉතිහාසය සාහිත්‍යය හා කලාව, අන්තර් සංස්කෘතික පොත් ප්‍රචාරකයෝ, කඩවත. 1996. පිටු 7.

[3] එම...., පිටු 8.



5.    ක්‍රිස්තියානියේ ජයග්‍රහණ


දීර්ඝ කාලයක් තුළ ක්‍රියාත්මක වූ ක්‍රිස්තු භක්තිකයන් පීඩාවට පත් කිරීමේ යුගය ක්‍රි. ව. 313දී නිකුත් කරන්නට යෙදුණු “මිලාන ආඥාව” (Edict of Milan) යනුවෙන් හැඳින්වෙන රාජ ආඥාව මඟින් ඉවත් කරන්නට යෙදිණ. එතැන් පටන් රෝම අධිරාජ්‍යයේ ඕනෑම පුරවැසියෙකුට නිදහසේ ක්‍රිස්තියානි ආගම ඇදහීමට ඉඩප්‍රස්ථාව ලැබිණ.

 

ශතවර්ෂ තුනකට අධික කාලයක් පීඩනයට පත්කරන ලද ක්‍රිස්තියානීන්ට මෙලෙස නිදහස ලබාදීමට හේතු වූයේ නැවත නැවතත් පීඩා කිරීමෙන් වැඩක් නැතැයි කියා පාලක පක්ෂයට ක්‍රමක්‍රමයෙන් වැටහීම නිසා නොව ක්‍රිස්තු භක්තිකයන් විනාශකර  දැමීමට දරන ලද ප්‍රයත්නයන් අසාර්ථක වීමත් එමඟින් රෝම අධිරාජ්‍යයම අතිශයින් ව්‍යාකූල තත්වයකට පත්වීමත්ය. තවද ඒ වනවිට ක්‍රිස්තු භක්තිකයන්ගේ ප්‍රමාණය විශාල වශයෙන් වර්ධනය වී තිබූ අතර ඔවුන් දෙස සානුකම්පිතව බැලූ ජනයාගේ සංඛ්‍යාවද සුළුපටු නොවීය.

 

මිලාන ආඥාව නිකුත් කිරීමට දසවර්ෂයකට පෙර ඉතා දරුණු හා බියකරු ලෙස ක්‍රිස්තියානීන් මර්දනය කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය. ක්‍රි. ව. 303දී දියෝක්ලේසියානු මහා අධිරාජ්‍යයා විසින් ආරම්භ කරන ලද ක්‍රිස්තියානීන් සමූල ඝාතනය කිරීමේ ව්‍යාපාරය ඔහුගෙන් පසුව බලයට පැමිණි ගැලේරියස් විසින්ද ඒ ආකාරයෙන් පවත්වාගෙන යනු ලැබීය. එකල හැම රෝම වැසියෙකුම රෝම පිළිමයක් ඉදිරිපිට දුම් පූජා පවත්වා තමා ක්‍රිස්තු භක්තිකයෙකු නොවන බව ප්‍රසිද්ධියේ ඔප්පුකළ යුතුවිය. එසේ නොකරන සියළුම අය දරුණු තාඩන පීඩනවලට හා මරණයට පත් කරනු ලැබීය. රෝම අධිරාජ්‍යයේ පෙරදිග විසූ ක්‍රිස්තු භක්තිකයන් අතරින් විශාල ප්‍රමාණයක් මෙම පීඩනවලට ලක්විය.


6.    ක්‍රිස්තියානීන්ට නිදහස ලැබීම

 

රෝම අධිරාජ්‍යයේ ප්‍රථම ක්‍රිස්තියානි පාලකයා වූ කොන්ස්ටන්ටයින් බිහි වූයේ මෙම වියවුල් තත්වය තුළදීය. කොන්ස්ටන්ටයින්, දියෝක්ලේසියානු අධිරාජ්‍යයා යටතේ වූ උප රජෙකුගේ පුත්‍රයෙක් විය. මේ වනවිට රෝම අධිරාජ්‍යයේ පාලන තත්වය ඉතාමත්ම අවුල් වියවුල්ව පැවති අතර අධිරාජ්‍යයවරුන් ලෙස තමන්ව හඳුන්වාගත් පුද්ගලයින් හත්දෙනෙක් රෝම අධිරාජ්‍යයේ ප්‍රදේශ පාලනය කළේය. ඒ හැම කෙනෙක්ම අනෙකුත් රජවරුන් පරාජය කිරීමට උත්සාහ කළ අතර කොන්ස්ටන්ටයින්ද එම හත් දෙනාගෙන් එක් අයෙකු විය. ක්‍රි. ව. 312 වන විට රෝම පුරයට පහර දීමට විශාල හමුදාවක් ගෙන යාමට හැකිවන තරමටම ඔහු බලවත් විය.

 

රෝම පුරයට ඇතුල්වීමට අධිෂ්ඨාන කරගෙන සිටි ‍දිනට පෙර දින ඔහු සිහිනයක් දුටුවේය. එම සිහිනයට අනුව “ සත්‍යයම වූ දෙවියන්ගේ සංකේතයක් ඔහු තම භටයන්ගේ පලිහවල ඇඳිය යුතුයැයි” කියන පණිවිඩයයි. මේ වනවිටත් ඔහු ක්‍රිස්තු භක්තිකයෙකු නොවූ නමුත් හිතින් එයට පක්ෂපාතී විය. ඔහු දුටු සිහිනය නිසාම ඔහු යුද්ධයට ගියේ ක්‍රිස්තුස් වහන්සේට සේවය කරන්නෙකු විලාසයෙනි. එම යුද්ධයෙන් ඔහු ජයග්‍රහණය කළ අතර  එතැන් සිට ඔහු රෝම අධිරාජ්‍යයේ ඒකීය නායකයා බවට පත්විය. ඊළඟ වසරේ සිට ක්‍රිස්තු භක්තිකයන්ට සිය ආගම නිදහසේ ඇදහීමට ඉඩදෙන ආඥාව මිලාන් නගරයේ සිට නිකුත් කළේය.

 

ක්‍රිස්තියානීන් මත පැනවී තිබූ තහනම ඉවත්වීමත් සමඟම ක්‍රිස්තියානි ශාසනය තුළ ඇතිවූ පිබිදීමට කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා ඍජුවම දායක විය. ක්‍රි. ව. 337දී සිදු වූ ඔහුගේ මරණය දක්වාම ඔහු අධිරාජ්‍යයේ පමණක් නොව ක්‍රිස්තියානි සභාවේද නායකයා සේ ක්‍රියාකළේය.

 

 

7.    රෝම අධිරාජ්‍යයේ පරිහානිය හා ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තිය

 

ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම බවට පත්වීමත් සමඟ රෝම අධිරාජ්‍යය හා ක්‍රිස්තියානි සභාව අතර ඇති වූ සම්බන්ධතාව එතරම් දීර්ඝ කාලයක් ඒ ආකාරයෙන්ම නොපැවතිණ. වැඩිකල් යාමට පෙර කිසිවෙකු අපේක්ෂා නොකළ ආකාරයට විවිධ පැතිවලින් පැමිණි ම්ලේච්ඡ ජාතිකයන් රෝම අධිරාජ්‍යයට පහර දෙන්නට විය. රෝම අධිරාජ්‍යයේ අවසානයට මඟපෑදූ එම ආක්‍රමණ “අඳුරු යුගය” ලෙස හඳුන්වනු ලැබේ.

 

අධිරාජ්‍යයට සිදුවෙමින් පැවති එම හානිය ක්‍රිස්තියානි සභාව වෙත බලපාන්නට ඉඩ තිබූමුත් ක්‍රිස්තියානියේ වාසනාවට එම විපතින් උද්ගත වූ ප්‍රශ්න වල‍ට මුහුණ දීමට ශක්තිය ලබාදිය හැකි පුද්ගලයන් එම කාලයේදීම බිහිවිය. ඒ අතර ප්‍රධාන වූවන් ලෙස අයර්ලන්ත වැසි ගෝත්‍රිකයන් ශිෂ්ඨ කරලීමට සමත් වූ ශාන්ත පැට්‍රික් ද, ක්‍රිස්තියානි තාපස සම්ප්‍රදාය ක්‍රමවත් කරවූ ශාන්ත බෙනඩික් ද, ම්ලේච්ඡ ජාතිකයන් ක්‍රිස්තියානියට හරවා සභාව ශක්තිමත් කළ මහා ග්‍රෙගරි පාප්තුමා ද, ම්ලේච්ඡ ජාතිකයන් අතරින් අධිරාජ්‍යය පාලන තනතුර දිනාගැනීමට සමත් වූ මහා චාර්ල්ස් අධිරාජ්‍යයා ද ඉන් ප්‍රධාන වේ.

 

ගෝත්‍රික ආක්‍රමණ නිසා රෝම අධිරාජ්‍යයට එල්ල වූ මරු පහර මුල්කරගෙන අඳුරු යුගය ලෙස හැඳින්වෙන්නට වූ මෙම සමය ලෝක ඉතිහාසය තුළ මෙන්ම බටහිර සමාජය තුළද ක්‍රිස්තියානියට හිමිවන තැන තේරුම් ගැනීම අතිශයින් වැදගත්ය. මන්දයත් බටහිර සමාජය තුළ ක්‍රිස්තියානිය අනුක්‍රමයෙන් සමාජාරක්ෂක රාජ්‍යය පාලන ක්‍රමයක් බවට පත්වීමයි. කලින් ධර්ම දේශකයින් ලෙස පමණක් කටයුතු කළ පූජකයන් බටහිර සමාජය තුළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් බවට පත්වූහ.


 

1.     ගෝත්‍රික ආක්‍රමණ යටතේ ක්‍රිස්තියානියේ වර්ධනය

 

අධිරාජ්‍යය ආක්‍රමණය කරමින් සිටි ම්ලේච්ඡ ගෝත්‍රිකයින්ගෙන් වැඩිදෙනා ඔවුන්ගේම ගෝත්‍රික ආගම් ඇදහූ අය වූහ. ක්‍රිස්තියානිය ගැන ඔවුන් දැන සිටියේ නැත. එහෙත් ඔවුන් අතරින් සුළු පිරිසක් ආරියානුවාදීන් වැනි මිත්‍යා මතධාරී ක්‍රිස්තියානි භක්තිකයන්ගෙන් ක්‍රිස්තියානිය ගැන අසා තිබුණි. එම ම්ලේච්ඡ ජාතීන් ඔවුන්ගේ නූගත්කමින්ද රෞද්‍ර ගතිගුණ වලින්ද මුදවා ශිෂ්ටසම්පන්න කිරීමට තිබුණු එකම මඟ ඔවුන්ට ක්‍රිස්තියානිය හඳුන්වාදීමයැයි ක්‍රිස්තියානුවෝ විශ්වාස කළෝය.

 

එලෙස ගෝත්‍රිකයන්ට ක්‍රිස්තියානි ආගම හඳුන්වා දුන් පුද්ගලයෙකු ලෙස ශාන්ත පැට්‍රික්තුමා හැඳින්විය හැකිය. අයර්ලන්ත ගෝත්‍රිකයෝ ශාන්ත පැට්‍රික්තුමාගේ මාර්‍ගෝපදේශය යටතේ ක්‍රිස්තියානිය වැළඳගත්තා පමණක් නොව රෝම අධිරාජ්‍යයේ වැසියන් අතරද විශේෂයෙන් එයට ඇතුළු වී සිටි ගෝත්‍රිකයන් අතරද ධර්මදූත සේවයේ යෙදෙන්නට වූහ. ඔවුන් ගිය හැමතැනකම අයර්ලන්ත ක්‍රමයේ තාපසාරාම පිහිටුවනු ලැබීය. එම ක්‍රමයේ තාපසාරාම ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඉතාලිය වැනි රටවල බිහිවන්නට වූයේ එලෙසය.

 

තාපස ජීවිතය ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය තුළට ඇතුළු වූයේ තරමක් අනුක්‍රමයෙනි. එය මුල්කාලීන ක්‍රිස්තියානි ධර්මය තුළ දක්නට නොලැබිණි. ජේසුතුමන් විසින්ද, ශාන්ත පාවුලු ඇතුළු අග්‍රශ්‍රාවකයන් විසින්ද දෙසන ලද ධර්මයේ කියවුණේ ආත්ම පරිත්‍යාගික ජීවිතයක් ගැන පමණි. එවැන්නන් විසින් දෙසන ලද ආත්ම පරිත්‍යාගික ජීවිතය සමාජයෙන් බැහැර නොවී ගිහි ජීවිතයක් ගතකරන අතරතුරේදී පවා අනුගමනය කළ හැක්කක් විය. නමුත් ක්‍රිස්තියානි ධර්මය තහනම් ආගමක් වී තිබුණු යුගයේදී එම ආත්ම පරිත්‍යාගයේ ධර්ම ආඥාව පිළිපැදීමට ඇතැම්හු ප්‍රාණ පරිත්‍යාගය මාර්ගය කරගත්හ.

 

ක්‍රිස්තියානිය මත පැනවී තිබුණ තහනම ඉවත් වූවාට පසු එවැන්නකට තවදුරටත් අවකාශය නොලැබුණේය. ඒ වෙනුවට සමාජයෙන් බැහැර වී හුදකලාව ජීවත්වීම හොඳම ක්‍රමය සේ සැලකූහ. ඒ සඳහා මොවුහු කාන්තාර වලට පිවිසුණහ. “කාන්තාර පියවරු” සේ හැඳින්වෙන මෙවැන්නන් විසින් අරඹන ලද ජීවන රටාව ක්‍රිස්තියානි තාපස ජීවන රටාවේ ආරම්භක පියවර විය.

 

පැවිදි ජීවිතය ක්‍රමවත් කිරීමට නර්සියාවේ ශාන්ත බෙනඩික් (ක්‍රි. ව. 480-550) විසින් දරනු ලැබූ ප්‍රයත්නය ක්‍රිස්තියානි තාපස ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. ඔහු ක්‍රි. ව. 529දී ඉතාලියේ “මොන්ටේ කසිනෝ” නමින් හැඳින්වෙන කඳු මුදුනේ තාපසාරාමයක් පිහිටුවන ලදි. එහිදී තම තාපසයන් සඳහා ඔහු පැවිදි ව්‍යවස්ථාවක් සකස්කරන ලදි. “බෙනඩිකානු තාපස ව්‍යවස්ථාව” යනුවෙන් හැඳින්වෙන එය අද දක්වාම ක්‍රිස්තියානි පැවිදි ක්‍රමයේ පදනම බවට පත්වී ඇත.[1]

 

ශාන්ත බෙනඩික් සිය ජීවිතය තුළ කරනලද මහඟු සේවය තවදුරටත් ඉදිරියට ගෙනගිය පුද්ගලයෙකු ලෙස රෝමයේ විසූ පැවිද්දෙකුවන මහා ග්‍රෙගරි පාප්තුමා (ක්‍රි. ව. 540-604) හැඳින්විය හැකිය. පාප්තු‍මකු වශයෙන් අඳුරු යුගය තුළ ඔහු කරන අද්විතීය සේවය නිසා ඔහු මහා ග්‍රෙගරි යන නමින් හැඳුන්වන්නට විය. සභාව සවිශක්තිමත් කිරීමටද ම්ලේච්ඡ ජාතිකයන් අතර ක්‍රිස්තු ධර්මය පැතිරවීමටද ඔහු දිවා රෑ නොබලා වෙහෙස මහන්සි විය. එංගලන්තය ආක්‍රමණය කර එහි විශාල කොටසක් අල්ලාගෙන සිටි ඇන්ගල්වරු සහ සැක්සන්වරු යන ගෝත්‍රිකයින් ක්‍රිස්තියානියට හරවාගනු ලැබුවේ ඔහු එහි යවනු ලැබූ ධර්ම දූතයින් විසිනි.

 

තවද ක්‍රිස්තියානි ස්තෝත්‍ර පූජාවට හෙවත් යුකරිස්තියට සංගීතය ඇතුළත් කරනු ලැබුවේද මහා ග්‍රෙගරි පාප්තුමා විසිනි. ඒ සඳහා ඔහු අළුත්ම සංගීත ක්‍රමයක් නිර්මාණය කළ අතර එය “ග්‍රෙගරියානු සජ්ඣායනා ක්‍රමය” (Gregorian Chant) සේ පසුකාලීනව හැඳින්වෙන්නට ද විය.

 

   ගෝත්‍රික ආක්‍රමණ එල්ල වූ යුගයේදී ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය ආරක්ෂාකර දුන් චාල්ස් අධිරාජ්‍යයාට (ක්‍රි. ව. 742-814) වැදගත් තැනක් හිමිවේ. ඔහුගේ සම්පූර්ණ රාජ්‍ය කාලය තුළ ඔහු යුද්ධවල යෙදී සිටියේය. ඔහු මෙම ක්‍රියා සැලකුවේ ආක්‍රමණකාරි ක්‍රියා සේ නොව මිනිසුන් ශිෂ්ටාචාර කරවීමේ ක්‍රියා සේය. සැක්සන්වරුන්ට හා ප්‍රීසියන්වරුන්ට එරෙහිව ඔහු මෙහෙයවූ සටන් වලදී ඔහු තමන් සැලකුවේ යුද භටයෙකුට වඩා ක්‍රිස්තියානි ධර්ම දූතයෙකු සේය. ස්පාඤ්ඤ තුළ ඔහු අරාබිවරුන්ගේ බලය සීමා කළ අතර ඉතාලිය තුළ ලොම්බාඩ්වරු නැමති ගෝත්‍රිකයන්ගේ තර්ජන වලින් පාප්වරුන් බේරා ගත්තේය.

 

ම්ලේච්ඡ ජාතීන්ගේ ආක්‍රමණ දිගින් දිගටම ඇති වීම නිසා මහා චාල්ස් අධිරාජ්‍යයා විසින් ගොඩනගන ලද ශිෂ්ටාචාරය ඔහුගේ මරණින් පසුව වැඩි කල් පැවතුනේ නැත. ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණ වලට පාප්වරුන්ගේ පාලනය පවා හසුවිය. නවවෙනි හා දසවෙනි සියවස්වල ඇති වූ එවැනි බියකරු සිද්ධීන් අතර වුවද මහා චාල්ස් අධිරාජ්‍යා විසින් පැළ කරන ලද ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයේ බීජය පොළව යට නෙමැරී ආරක්ෂා විය. මධ්‍ය කාලීන සාමාන්‍ය ජනයා අතර ඔහු දේවත්වයෙන් සැලකූ අතර එම නිසාම ඔහු චාලිමේන් හෙවත් මහා චාල්ස් යනුවෙන් පසු පරම්පරාවල් හඳුන්වනු ලැබීය.[1]



[1] ඇන්ටනි ප්‍රනාන්දු, ආරම්භයේ සිට අද දක්වා ක්‍රිස්තියානියේ ඉතිහාසය සාහිත්‍යය හා කලාව, අන්තර් සංස්කෘතික පොත් ප්‍රචාරකයෝ, කඩවත. 1996. පිටු 27.


9.  සමාලෝචනය

 

ක්‍රිස්තියානි ධර්මය ආරම්භ වීමට පෙර සිටම ඊට අවශ්‍යය පසුබිම රෝම අධිරාජ්‍යය තුළ සැකසෙමින් තිබිණ. ග්‍රීසිය හා රෝමය කේන්ද්‍ර කරගත් ප්‍රදේශවල බහු‍දේවවාදය ක්‍රියාත්මක වූ අතර එය අනුගමනය කිරීම එහි ජනතාවට මහත් පීඩාකාරී විය. මන්දයත් දෙවි දේවතාවන් වැඩිවත්ම සිදු කළ යුතු පුද පූජා විධි අධික වීමත් සිදු කළ යුතු වියදම් වර්ධනය වීමත්ය. ඔවුන්ට අවශ්‍යය වූ ඒකදේවවාදය මැදපෙරදිග ඊශ්‍රායලය කේන්ද්‍ර කරගෙන පැවති යුදෙව් දහම තුළ පැවතියත් එම ධර්මය යුදෙව්වන් නොවන අයට ඇදහීම සඳහා තහනම් විය. ජේසුස් වහන්සේ සිදුකරනු ලැබුවේ එම යුදෙව් ධර්මයම අවිහිංසාවාදී ලක්ෂණද ඇතුලත් කරමින් සියළු දෙනාටම දේශනා කිරීමයි. ඔහු උපතින් යුදේව්වෙක්වීම හේතුවෙන් ඔහුට යුදෙව් ධර්මය පිළිබඳවද මනා දැනීමක් පැවතින.

 

ඔහුගේ මරණින් පසු ඔහුගේ අනුගාමිකයෝ ඔහුව දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස සැලකූ අතර ඔහුගේ ධර්මය යුදෙව්වන් මෙන්ම යුදෙව් නොවන සියළුදෙනා අතරද ප්‍රචාරය කිරිමට මූලික විය.

 

අඳුරු යුගය පිළිබඳව සැලකිල්ලට ගත්විට එම සමය නියම වශයෙන්ම අඳුරු වූයේ එය රෝම අධිරාජ්‍යය හා එයින් බිහි වූ ශිෂ්ටාචාරයේ පැත්තෙන් ගත් විට පමණි. එම යුගය රෝම අධිරාජ්‍යය හා ශිෂ්ටාරයේ පරිහානිය සිදු වූ යුගය විය. එහෙත් ක්‍රිස්තියානියේ පැත්තෙන් ගත් විට අළුත්ම ශිෂ්ටාචාරයක් වශයෙන් එය පණ ගැන්වෙන්නට පටන් ගත්තේද එම යුගයේදීමය. ක්‍රිස්තියානියේ නව පිබිදීමකට තුඩු දෙන කරුණු හැම පැත්තෙන්ම දිස්වෙන්නට වූයේ එම කාලයේදීය. ගෝත්‍රික ආක්‍රමණ වලට මුහුණ දිය හැකි සමාජ බලයක් වශයෙන් ක්‍රිස්තියානිය මෙම යුගයේදී වර්ධනය වන්නට විය. ශාන්ත පැට්‍රික් වැන්නන් විසින් මිනිසත්කම වඩන ක්‍රමයක් සේ ක්‍රිස්තියානි ධර්ම දූත සේවාව ක්‍රියාත්මක වූයේද එම කාල පරිච්ඡේදය තුළදීය. තාපස ක්‍රමය පණ ගැන්වූ ශාන්ත බෙනඩික් වැන්නන්ද, ක්‍රිස්තියානි සභාව සවිශක්තිමත් කර නවතම සංගීත ක්‍රමයක් මඟින් ක්‍රිස්තියානි වන්දනාව අලංකාර කළ මහා ග්‍රෙගරි පාප්තුමන්ලාද, ම්ලේච්ඡ ජාතීන් අතරින්ම ක්‍රිස්තියානි සංස්කෘතියට නව මුහුණුවරක් දුන් මහා චාල්ස් වැන්නකුද බිහි වූයේ එම යුගය තුළදීය.  

 

මෙලෙසින් ක්‍රිස්තියානි ධර්මයේ ආරම්භයේ සිට ‍ගෝත්‍රික ආක්‍රමණ යුගය දක්වා සිදු වූ වර්ධනයන් හා විජයග්‍රහණ සැකෙවින් ඉදිරිපත් කළ හැක.

 

ආශ්‍රිත ග්‍රන්ථ නමාවලිය.

      

ඇන්ඩර්සන්, බර්නාඩ්. ඩබ්., පරණ ගිවිසුමේ ජීවමාන ලෝකය, ලංකා දේවධර්ම ශාස්ත්‍රාලය, පිළිමතලාව. 1980.


ප්‍රනාන්දු, ඇන්තනි., ආරම්භයේ සිට අද දක්වා ක්‍රිස්තියානියේ ඉතිහාසය සාහිත්‍යය හා කලාව, අන්තර් සංස්කෘතික පොත් ප්‍රචාරකයෝ, කඩවත. 1996.

ග්‍රාන්ට්, මයිකල්., රෝමන්වරුන්ගේ ලෝකය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2007.

 පෙලම්, එච්. එෆ්‍., ‍රෝම ඉතිහාස සාරය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2014.

 රාවෝ, බී. වී., ලෝක ඉතිහාසය , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003.

         විජේතුංග, නවනැලියේ., ලෝක ඉතිහාසයේ අමරණීය සිහිවටන, කර්තෘ ප්‍රකාශන, මුල්ලේරියාව. 2009.

 වොන්ඩ්, ජේ. ඩබ්ලිව්. සී., මුල් යුගයේ ක්‍රිස්තු ශාසන ඉතිහාසය, ලංකා දේවධර්ම ශාස්ත්‍රාලය, පිළිමතලාව. 1972.

 

මාර්ග ආයතනය, ලෝකයේ කතාන්තරය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10


No comments:

Post a Comment