Sunday 22 November 2020

කාශ්මීර අර්බුදය.

 


හැඳින්වීම


1. කාශ්මීරයේ ස්වභාවය.

2. කාශ්මීරයේ වැදගත්කම. 

3. කාශ්මීර අර්බුදයේ අරම්භය.

3.1. ඉන්දියාවේ හා පාකිස්ථානයේ බිහිවීම.

3.2. කාශ්මීර අර්බුදයේ පදනම. 


4. කාශ්මීර අර්බුදයේ වර්තමාන තත්වය. 

5. සමාලෝචනය. 


හැඳින්වීම


එක්සත් ඉන්දියාව බිහිකරනු වස් ඉන්දියානු ජාතික සංගමය ගෙන ගිය ව්‍යාපාරය ඉන්දියාවේ මුස්ලිම් හා හින්දු ජනතාවගේ ආගම් හා ජාතිභේද හේතුවෙන් අසාර්ථක විය. 1945දී දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වීමෙන් පසු ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය නව අවධියකට පා තැබීය. ඉන්දියාවට සුදුසු ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාවට යවන ලද ක්‍රිප්ස් දූත මෙහෙවර අසාර්ථක විය. එම දූත පිරිසට විරෝධය දක්වනුවස් “ඉන්දියාවෙන් පිටවෙනු” ව්‍යාපාරය නිසා ඉන්දියානු ජාතික සංගමය 1942-1943 අතර කාලවලදී තහනම් කරමින් එහි නායකයෝ සිරභාරයට ගන්නා ලදි.   එය මනාව ප්‍රයෝජනයට ගත් මොහොමඩ් අලි ජින්නා ඉන්දියානු ජාතික සංගමයේ සටන් පාඨය වෙනුවට “රට බෙදනු, බෙදා පිටවෙනු” යන සටන් පාඨය ඉදිරිපත් කරන ලදි. 


මෙලෙස ඉන්දියානුවන් තුළ මුස්ලිම් හා හින්දු වශයෙන් බෙදීමක් ඇති වීම බ්‍රිතාන්‍යයන්ගේම පාලන ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත හැකිය. මන්දයත් 1857 ඉන්දියානු කැරැල්ලට ප්‍රථම මෙලෙස ජාතීන් වෙන වෙනම කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් ඉන්දියාව තුළ නොතිබීමයි. 1857 කැරැල්ලේදීද හින්දූන් හා මුස්ලිම්වරු බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව එක්සත්ව කටයුතු කරන ලදි. කැරැල්ල මර්දනය කිරීමෙන් පසු එවැනි කැරලි නැවතත් ඇති නොවන ආකාරයට ඉන්දියාවේ පාලන ක්‍රමය බ්‍රිතාන්‍යයන් විසින් සකස් කරන ලදි. ඒ අනුව ඉන්දියාවට බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය (Divide and Rule) හඳුන්වාදෙන ලදි. ඒ අනුව ජාති මූලික අදහස් ඉන්දියාව තුළ වර්ධනය වූ අතර එහි අවසාන ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍යය ඉන්දියාව නිදහස ලබන විට ඉන්දියාව හා පාකිස්ථානය ලෙස බෙදී වෙන් වී රටවල් දෙකක් බිහි වීමයි. 


මේ හේතූන් මත 1947 නිදහස ලැබීමේදී ඉන්දියාව රටවල් දෙකක් ලෙස බෙදීම හේතුවෙන් එරට ජනතාවට විශාල අර්බුද රැසකට මුහුණ දීමට සිදුවිය. මුලදී ඉන්දියාව දෙකඩ කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු ජාතික සංගමයේ කැමැත්ත හිමි නොවීය. නමුත් රට තුළ හින්දු හා මුස්ලිම් ලෙස ජනතාව භේදබින්න වී විශාල ව්‍යසන සිදුකර ගනිද්දී එය නැවැත්වීම සඳහා රට දෙකඩ කිරීමේ සැලැස්මට ජාතික සංගමයට අකමැත්තෙන් හෝ එකඟ වීමට සිදුවිය. තවද බ්‍රිතාන්‍යයට හිතවත්ව සිටි මොහොමඩ් අලි ජින්නාගේ ඇවටිල්ල මත එවකට ඉන්දියාවේ ප්‍රතිරාජයා වූ මවුන්ට් බැටන් සාමිවරයා ජාතික සංගමය රට බෙදීමේ ප්‍රතිපත්තියට එකඟ කරගන්නා ලදි. මුල්කාලයේදී මෙම යෝජනාවට ගාන්ධිගේ අනුමැතිය නොලැබිණි. නමුත් 1947 ජූනි මාසයේ ඇති කරගත් කොන්දේසි යටතේ පන්ජාබයේ හා බෙංගාලයේ විශාල ප්‍රදේශයක් ඉන්දියාවට ලබා දීමේ පොරොන්දුව මත ඉන්දියාව බෙදා වෙන්කිරීමේ ප්‍රතිපත්තියට හින්දු නායකයන්ගේ අනුමැතිය ලැබුණි. හින්දු නායකයන්ගේ අදහස වූයේ පාකිස්ථානය වැනි රාජ්‍යයක් වැඩිකල් පැවතිය නොහැකි බවත් තත්වය සමනය කරගෙන කෙසේ හෝ ඉන්දියාවට නිදහස ලබාගත හැකි බවත්ය. මේ තත්වය යටතේ 1947 අගෝස්තු 14වන දින ඉන්දියාව දෙකඩ කරන ලදි.


මේ අනුව මෙම බෙදීම යටතේ 1947 සිට බිහිවූ පාකිස්ථාන රජයට බහුතර මුස්ලිම් ජනකායකින් යුත්  බෙංගාලය හා පංජාබයත්, සින්දු ප්‍රදේශයත්, බලුකිස්ථානය හා වයඹදිග දේශසීමා ප්‍රදේශත් ඇතුලත්කරන ලදි. 1947 අගෝස්තු 15වන දින සිට වලංගුවන පරිදි බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව විසින් ඉන්දියාව හා පාකිස්ථානය නැමැති ස්වාධීන ඩොමීනියන් රාජ්‍ය දෙකක් බිහිකිරීම බොහෝදුරට ඉන්දියාවට මෙන්ම පාකිස්ථානයටත් විවිධ ගැටළු සහගත තත්වයන් ඇතිකරවන්නක් විය. එලෙස ඇතිවූ එක් අර්බුදයක් වූයේ කාශ්මීර අර්බුදයයි. එය වර්තමානය දක්වාම නොවිසදුනු අර්බුදයක් වී ඇති අතර දෙරට අතර ගැටුම් සහගත තත්වයන් ඇති වීමටද හේතු වී ඇත. මෙම පැවරුම මඟින් කාශ්මීර අර්බුදයේ ආරම්භයත්, එහි වර්තමාන තත්වයත් හා එහි කාලීන බලපෑමත් පිළිබඳ තොරතුරු දක්වා ඇත.



1. කාශ්මීරයේ ස්වභාවය.


භූගෝලීමය වශයෙන් කාශ්මීරයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 844471කි. මුස්ලිම් බහුතර ජනතාවක් පාකිස්ථානයට ආසන්න  කාශ්මීරයේ ඉතා විශාල ප්‍රදේශයක් වූ බටහිරට වන්නට වාසය කරන අතර හින්දූන් සුළුතරය ඉන්දියාවට ආසන්න නැ‍ගෙනහිර ප්‍රදේශයේ වාසය කරනු ලැබේ. කාශ්මීරය සංස්කෘතික හා ආගම පදනම් කරගත් බෙදීම්වලට අනුව පරිපාලන දිස්ත්‍රික්ක පහකින් සමන්විත වේ.

 ඒවා නම්,

i. ජම්මු 

ii. ලෙඩාක්

iii. බල්ටිස්ථාන්

iv. ගිල්ජිට්

v. හුන්සා හා ශ්‍රී නගර් රාජ්‍යයන් වේ.


ලඩාක්, බටහිර ජම්මු, බල්ටිස්ථාන් හා ගිල්ජිට්හි බහුතරය මුස්ලිම් ජනතාව වන අතර නැගෙනහිර ජම්මු ප්‍රදේශයේ බහුතරය හින්දූන් හා සික්වරුන් වේ. 



2. කාශ්මීරයේ වැදගත්කම.


කාශ්මීරය පදනම් කරගෙන ඉන්දියාව හා පාකිස්ථානය අතර අද දක්වාම නොනවතින අර්බුදයක් ආරම්භ වී ඇත. කාශ්මීර ප්‍රදේශයේ අයිතිය මුල් කර ගනිමින් 1947 සිට ඉන්දියාව සහ පකිස්ථානය අතර වරින්වර ගැටුම් කිහිපයක් ඇති විය. මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම දෙරට අත‍ර ගිවිසුම් හා සම්මුතීන් ඇති කර ගනු ලැබිණ. ඒවා නම්,


1) කරච්චි ගිවිසුම -1949 ජූලි 18

2) ටෂ්කන් සම්මුතිය -1966 ජනවාරි 10

3) සිම්ලා ගිවිසුම -1972 ජූලි 03

4) ලාහෝර් ගිවිසුම -1999 පෙබර‍වාරි 21


විවිධ ගිවිසුම් හා සම්මුතීන් ඇති වුව ද දෙපාර්ශවය විසින්ම ඒවා වරින් වර උල්ලංඝණය කිරීමත්, ජම්මු කාශ්මීර ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ‍වන මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකලාපයත්, හේතුවෙන් 1947 දී ආරම්භ වූ කාශ්මීර අර්බුදය තව දුරටත් නොවිසඳුණු ගැටුමක් බවට පත් ව ඇත.


මෙලෙස අර්බුද ඇති වීමට හේතු වී ඇත්තේ දෙරටටම කාශ්මීරය ඉතා වැදගත්වීම නිසාය. එහි පිහිටීම අතින් කාශ්මීරය අයිති රටට විශාල යුධෝපාය වාසි රැසක් ලබාගත හැකිය. මන්දයත් කාශ්මීරය ඉන්දියාවට, පාකිස්ථානයට, චීනයට, රුසියාවට හා ඇෆ්ගනිස්ථානයට ප්‍රවේශ විය හැකි මාර්ගයක්වන හෙයිනි. තවද කාශ්මීර ප්‍රදේශය ඉන්දු නදියේ අතු ගංඟා වූ ජෙයලම් හා චේනාබ් යන නදීන්ගෙන් සශ්‍රීකවීම හේතුවෙන් එහි ආර්ථික වටිනාකමද ඉතා විශාල විය.  





3. කාශ්මීර අර්බුදයේ ආරම්භය



3.1. ඉන්දියාවේ හා පාකිස්ථානයේ බිහිවීම.


භූ දේශපාලනික වශයෙන් දකුණු ආසියානු කලාපය තුළ ව්‍යාප්ත වූ ගැටුමක් ලෙස කාශ්මීර අර්බුදය හැඳින්විය හැකි ය. මෙම ගැටුමට සම්බන්ධ ප්‍රධාන පාර්ශවකාර රාජ්‍ය දෙක වන්නේ ඉන්දියාව සහ පකිස්ථානය යි. ජම්මු කාශ්මීර් නැමැති ප්‍රදේශය සම්බන්ධයෙන් මෙම රාජ්‍ය දෙකම සමාන හිමිකම් ප්‍රකාශ කිරීම අර්බුදයට මුල් විය.


කාශ්මීර අර්බුදයට හේතු වු ජම්මු කාශ්මීර් ප්‍රදේශය හා සම්බන්ධ ගැටළුව ඇති වූයේ බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව දෙකඩ කිරීමත් සමඟය. බ්‍රිතාන්‍යයන් විසින් මෙම ප්‍රදේශය ඈඳා ගන්නා ලද්දේ එම ප්‍රදේශයේ සිටි සික් පාලකයා පරාජයට පත්කිරීමෙන්ය. ඒ අනුව 1846 මාර්තු මාසයේ ගිවිසුමක් මඟින් බ්‍රිතාන්‍යයන්ට පවරාගනු ලැබීය. එම ගිවිසුම අනුව බ්‍රිතාන්‍යයන්ට වන්දි වශයෙන් ගෙවීම‍ට තිබූ මුදල සික් පාලකයන්ට ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඔවුහු කාශ්මීර ප්‍රදේශය අම්රිත්සාර් ගිවිසුම මඟින් බ්‍රිතාන්‍යයට පවරා දෙන ලදි. පසුව බ්‍රිතාන්‍යයන් විසින් එම ප්‍රදේශය ‍‍දෝග්‍රා නායක ගුලාබ් සිංට දශ ලක්ෂයකට විකුණන ලදි. 


 ඉන්දියාවට නිදහස ලබා දෙන තෙක්ම හා ඊටත් පසුකාලය වනතෙක්ම කාශ්මීරය "කුමාර රාජ්‍යක්" ලෙස පැවතුනි. ඒ අනුව ඉන්දියාවට නිදහස ලැබෙනතෙක්ම බ්‍රිතාන්‍යය පරමාධිපත්‍ය යටතේ කාශ්මීරය ස්වයංපාලන බලතල සහිතව පාලනය වන ලදි.

 

 ඉන්දයානු නිදහස් අරගලයේ දී මුස්ලිම් ලීගයේ නායකත්වය ගත් මොහමඩ් අලි ජින්නා විසින් පකිස්ථානය යනුවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියේය. නමුත් ඉන්දියානු ජාතික සංගමය පාකිස්ථානය යනුවෙන් වෙනම රාජ්‍යයක් මුස්ලිම්වරුන් වෙනුවෙන් ලබාදීමේ ප්‍රතිපත්තියට විරුද්ධ විය. නමුත් මොහොමඩ් අලි ජින්නා විසින් ඉදිරිපත් කළ ජාතීන් දෙකක් පිළිබඳ න්‍යය (Two Nation Theory) බ්‍රිතාන්‍යයන් විසින් පිළිඟන්නා ලදි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1947 ඉදිරිපත් කල ස්වාධීනතා පනත යටතේ ඉන්දියාව දෙකඩ කරමින් පකිස්ථානය හා ඉන්දියාව යනුවෙන් නිදහස් රාජ්‍ය දෙකක් බිහි විය. 


3.2. කාශ්මීර අර්බුදයේ පදනම.

ඉන්දියාවට නිදහස ලැබීමට පෙර පකිස්ථාන් ප්‍රදේශ ඉන්දියානු ප්‍රදේශවලට අයත් විය. මෙම ප්‍රදේශ තුල "කුමාර රාජ්‍ය" නැමැති ස්වාධීන රාජ්‍ය ගණනාවක් දක්නට ලැබුණි.  1947 ඉන්දියානු ස්වාධීනතා පනතට අනුව බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවට හා පාකිස්ථානයට නිදහස ලබාදීමත් සමඟ බ්‍රිතාන්‍යය කිරුළ යටතේ පැවති කුමාර රාජ්‍යයන් කෙරෙහි වූ පරමාධිපත්‍ය මෙන්ම ඒවා සමඟ පැවති ගිවිසුම් සබඳතාවයන් කෙළවර කිරීමටද ප්‍රතිපාදන සලසා තිබුණි.  බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාවට නිදහස ප්‍රදානය කිරීමේදී මෙම කුමාර රාජ්‍යයන්ට තමන් කුමන රාජ්‍ය සමග සම්බන්ධවනවාද? යන්න තීරණය කිරීමේ අවස්ථාව ලබාදී තිබුණි. බොහෝ කුමාර රාජ්‍ය ඉන්දියාව සමග ද(Indian Union), ඇතැම් කුමාර රාජ්‍ය පකිස්ථානය සමග ද එක් විය. එලෙස කුමාර රාජ්‍යයන් එම රටවල් දෙකට සම්බන්ධ වීමත් සමඟ ඒවා සතු වූ සන්නිවේදනය, ආරක්ෂාව හා විදේශ කටයුතු පිළිබඳ අයිතිය හා ස්වයංපාලනය පිළිබඳ අයිතිය අහෝසි වී යන ලදි.


නමුත් අවසාන මොහොත වනතුරුම හයිද්‍රාබාදය, ජුනාගාද් හා කාශ්මීරය යන කුමාර රාජ්‍ය තවදුරටත් ස්වාධීනව සිටියේය. ඉන්දියාවට හා පාකිස්ථානයට නිදහස ලැබීමෙන් පසු හින්දු බහුතරයක් සහිත මුස්ලිම් පාලකයෙක් යටතේ පැවති ජුනාගාද් කුමාර රාජ්‍ය 1947දීත් එවැනිම රාජයයක් වූ හයිද්‍රාබාදය 1948 සැප්තැම්බර් මාසයේදීත් ඉන්දියාවට එකතු විය. නමුත් කාශ්මීරය ලෙස කුමන රටට සම්බන්ධවනවාද පිළිබඳ දෙගිඩියාවෙන් පසුවිය. මෙයට ප්‍රධාන හේතුව වූයේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් වීමත්, එහි පාලනය හරිසින් නැමැති හින්දු මහාරාජාවරයෙකු විසින් සිදු කිරීමයි. මෙම පාලකයා ඉන්දියානු රජය සමග සබඳතා පැවැත්වූ නමුත් මුස්ලිම් බහුතරයකගේ ඉල්ලීම වූ පකිස්ථානය සමග එකතුවීම පිළිබඳ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. මෙම අර්බුදය නිසා කාශ්මීරය පිළිබඳ ස්වාධීන අදහසක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. කාශ්මීරය තුළ දශලක්ෂ තුනක පමණ මුස්ලිම් බහුතරයක් හා අට ලක්ෂයක පමණ හින්දු සුළුතරයක්ද විසූහ. 


තමන් කුමන රාජ්‍යයකට එක්වනවාද පිළිබඳව තීරණයක් නොගත් කාශ්මීර මහාරාජාවරයා 1947 අගෝස්තු 12වන දින ප්‍රකාශයක් කරමින් තමන් ඉන්දියාව හා පාක්ස්ථානය සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීමට එකඟ බවත් ස්වයංපාලන අයිතිය තවදුරටත් ඒ අයුරින්ම පවත්වා ගැනීමටත් තම කැමැත්ත ප්‍රකාශකරන ලද අතර 1947 අගෝස්තු 15වන දින පාකිස්ථානය සමඟ ගිවිසුමක් පවා අත්සන් කරනු ලැබීය.  


නමුත් 1947 අගෝස්තු 15වන දින ඉන්දියාවට හා පාකිස්ථානයට නිදහස ලබාදීමත් සමඟ කාශ්මීර මහරාජාවරයාට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවිය. මන්දයත් හින්දු මහාරාජාවරයාගේ පාලන කාලය තුළ මුස්ලිම් ජනතාවට කළ අසාධාරණකම් නිසාත්, මුස්ලිම් බහුතරය ජීවත් වූ ශ්‍රීනගර් නම් ප්‍රාන්තයේ අගනුවර ප්‍රධාන දේශපාලඥයා වූ මුස්ලිම් ජාතික ෂීක් අබ්දුල්ලා නම් කාශ්මීර් ජාතික සමුළුවේ නායකයා සිරකර තැබීමත්, "පූනැක්" ප්‍රදේශයේ මුස්ලිම්වරු පකිස්ථානයට එක්වීමට සහාය පළකරමින් මහාරාජාට විරුද්ධව කැරළි ගැසීමත් නිසා ජම්මු කාශ්මීර් ප්‍රදේශය තුළ නොසන්සුන්තා ක්‍රමයෙන් උත්සන්න වෙමින් අර්බුදකාරී තත්වයක් උද්ගතවීමයි. මෙම අර්බුදකාරී තත්වය තුළ මධ්‍ය කාශ්මීර ප්‍රදේශයේ සිටි ඉන්දියානු හමුදාව අත්හැර ගිය මුස්ලිම්වරු "අසාඩ් කාශ්මීර හමුදාව"නමින් හමුදාවක් පිහිටුවා කාශ්මීරය සඳහා වෙනම රාජ්‍යක් ඉල්ලා සිටියහ.


එම අර්බුදකාරී තත්වය සමනය කරනුවස් හරිසින් මහරාජාවරයා ෂීක් අබ්දුල්ලා සිරෙන් නිදහස් කරන ලදි. නමුත් ෂීක් අබ්දුල්ලා කොංග්‍රස් පාක්ෂිකයෙකු වූ අතර ජවහර්ලාල් නේරුගේ මිතුරෙක් විය. එබැවින් මහාරාජාවරයා ඉන්දියාවේ කැමැත්ත මත ෂික්අබ්දුල්ලාව නිදහස් කරන්නට ඇති බවට පාකිස්තානයට පක්ෂ ජනතාව සිතන්නට විය. ඒ නිසාම පාකිස්ථානය සමඟ සම්බන්ධවීමේ අරමුණින් සිටි කාශ්මීරයේ බහුතරයක් වූ මුස්ලිම් ජනතාව මහාරාජාවරයාට විරෝධය පළකරමින් තාවකාලික විප්ලවකාරී රජයක් ප්‍රකාශයට පත්කරන ලදි. 


මෙම අවස්ථාව වනවිට පකිස්ථානයේ දේශසීමා අසල සිටි "පතාන්"නම් ගෝත්‍රිකයන් විශාල වශයෙන් "පූනැක්"ප්‍රදේශයට සංක්‍රමණය වන්නට වූහ. ඉන්දියාව සහ පකිස්ථානය අතර කාශ්මීරය මුල් කර ගනිමින් ඇතිවන ගැටුම "පතාන්" ගෝත්‍රිකයන් සමඟ ඇතිවන ගැටුමෙන් ආරම්භ විය. එයට හේතු වූයේ පකිස්ථානයේ සහාය මත "පතාන්" ගෝත්‍රිකයන් සංක්‍රමණය වූ බවට මහරාජාවරයා හා ඉන්දියාව චෝදනා කිරීමත් පකිස්ථානය ඵම චෝදනා ප්‍රතික්ෂේප කිරීමත්ය. තවද පතාන් ගෝත්‍රිකයන් කාශ්මීරයට විශාල වශයෙන් ඇතුළු වෙද්දී පාකිස්ථාන රජය කාශ්මීර මහරාජාවරයාට විරෝධය පළකරමින් ප්‍රකාශකර සිටියේ කාශ්මීරයේ සිටි හින්දූන් විසින් මුස්ලිම්වරුන්ට පහර දෙන බවයි. 


මෙලෙස පතාන් ගෝත්‍රිකයන් කාශ්මීරයට ඇතුල්වීම පිළිබඳ උරණ වූ කාශ්මීර මහරාජාවරයා පාකිස්ථානයට අනතුරු හඟවමින් කියාසිටියේ පාකිස්ථානයේ සහය මත පතාන් ගෝත්‍රිකයන් කටයුතුකරන බවත් එම පතාන් ගෝත්‍රිකයන්ගේ ක්‍රියාකාරකම් නතර ‍නොකළහොත් තමා ඉන්දියාවෙන් සහය ලබාගන්නා බවත් ප්‍රකාශකරන ලදි. නමුත් මෙයට ප්‍රතිචාර දැක්වූ පාකිස්ථානය ප්‍රකාශකර සිටියේ කාශ්මීර මහරාජාවරයා කාශ්මීර ජනතාවගේ කැමැත්තට පිටුපාන බවයි. මන්දයත් ඉන්දියාවට නිදහස ලබාදීමේදී කුමාර රාජ්‍යයන් හැකිතාක් දුරට කටයුතු කළ යුත්තේ එම කුමාර රාජ්‍යයන්ගේ වෙසෙන ජනතාවගේ කැමැත්ත අනුව බව එකල ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍යය ප්‍රතිරාජයා වූ ලුවිස් මවුන්ට් බැටන් සාමිවරයා විසින් උපදෙස් දී තිබීමයි. 


පාකිස්ථාන හමුදාවේ සහය ලද පතාන් ගෝත්‍රිකයන් විශාල වශයෙන් 1947 ඔක්තෝම්බර් 20වන දින දේශසීමා තරණය කරමින් කාශ්මීරයේ ශ්‍රීනගර් දක්වාම පැමිණෙන ලදි. පතාන් ගෝත්‍රිකයන්ගේ සංක්‍රමණ හා එයින් ඇතිවන්නා වූ ගැටුම්කාරී තත්වයන් සමථයකට පත්කිරීමට හින්දු මහාරාජාට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු කාශ්මීර මුස්ලිම් පක්ෂයේ නායකයා වූ ෂීක් අබ්දුල්ලාව කාශ්මීරය තුළ හදිසි රාජ්‍යයක් පිහිටුවීම සඳහා පත්කරනු ලැබීය. තවද ඔහු ඉන්දියානු රජයෙන් සහායද ඉල්ලා සිටියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1947 ඔක්තෝබර් 27 වන දින කාශ්මීරය රැකගැනීම සඳහා ඉන්දීය හමුදා එවීමට එකල ඉන්දියාවේ ආණ්ඩුකාරයා වූ මවුන්ට් බැටන් සාමිවරයා කැමැත්ත පළකරනු ලැබීය. 


ඒ අනුව 1947 ඔක්තෝම්බර් 28වන දින ශ්‍රීනගර් වෙත ඉන්දියානු හමුදා පිටත්කර හරින ලදි. ඉන්දියාව සහ පකිස්ථානය බිහිවිමේදී, කාශ්මීර ප්‍රදේශය ආක්‍රමණය නොකරන බවට එකඟතාවක් ඇතිවිය. නමුත් ඉන්දියාව විසින් හමුදාව එවීම පකිස්ථානය දුටුවේ එම එකඟක්වය උල්ලංඝණ‍ය කිරීමක් ලෙසය. 1947 ඔක්තෝම්බර් 31වන දින පාකිස්ථානය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 1947 ඔක්තෝම්බර් 26වන දින කාශ්මීර මහරාජාවරයා ඉන්දියාව සමඟ එකතු වීම සඳහා ඇතිකර ගන්නා ගිවිසුම වංචනික එකක් බවයි. එබැවින් එම ගිවිසුම පාකිස්ථානය ප්‍රතික්ෂේප කරන ලදි. පාකිස්ථාන් රජය පතාන් ගෝත්‍රිකයන්ට සහයෝගය දැක්වූ අතර එය ඉන්දියාවේ කෝපයට හේතු විය. මෙම විරෝධතාවයන් හේතුවෙන් කාශ්මීරය මුල්කර ගනිමින් ඉන්දියාව හා පකිස්ථානය අතර ඇති වූ ප්‍රථම යුද්ධය 1947 දී ඇති විය.


මෙලෙස දෙරට අතර ඇති වූ ප්‍රථම යුද්ධය සාමකාමීව නිරාකරණය කරගැනීම සඳහා පළමුවරට ඉන්දියාව වෙනුවෙන් මවුන්ට් බැටන් සාමිවරයා හා පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් අලි ජින්නා අතර 1947 නොවැම්බර් මාසයේදී සාකච්ඡා ආරම්භ වූ නමුත් එය අසාර්ථක විය. එහි දෙවන අදියර ලෙස 1947 නොවැම්බර් මාසයේ 26 හා 28 දිනවල දී ඉන්දියාවේ අගමැති ජවහර්ලාල් නේරු හා පකිස්ථාන අගමැති ලියාකුත් අලි ඛාන් අතර දිල්ලියේදි සාර්ථකව සාකච්ඡා පවත්වන ලදි. 


එහිදී එළඹගත් තීරණ පහත ආකාරයෙන් දැක්විය හැකිය.

1. පාකිස්ථානය විසින් පතාන් ආක්‍රමණිකයන් කාශ්මීර ප්‍රදේශයේ පසුබැස්සවීමට ක්‍රියාකළ යුතුය.

2. පසුව ඉන්දියාව විසින් තම හමුදාවන්ගෙන් වැඩි කොටසක් ආපසු කැඳවාගත යුතුය.

3. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලවා ජනමත විචාරණයක් පැවැත්විය යුතුය.


 නමුත් ඒවා ක්‍රියාත්මකවීමේදී අසාර්ථක විය. මන්දයත් පාකිස්ථානය විසින් පතාන්වරු ආපසු කැඳවා ගැනීම පිළිබඳව පූර්ණ වගකීම හෝ ස්වේච්ඡාවෙන් කාශ්මීරයට ඇතුළුවන අය වැළැක්වීම භාරගත නොහැකි බව ප්‍රකාශ කිරීමයි.  ඒ හේතුවෙන් අසාඩ් කාශ්මීර හමුදාව පාකිස්ථාන ආධාර ලබමින් ක්‍රමිකව වර්ධනය වන්නට විය. 


මෙලෙස දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම සමථයකට පත්කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් 1948 ජනවාරි 1වන දින ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා වූ මවුන්ට් බැටන් සාමි හා අගමැති ජවහර්ලාල් නේරු යන අය විසින් මෙම ගැටළුව එක්සත් ජාතීන්ගේ සමුළුව වෙත ගෙන යන ලදි.  


ඒ අනුව ඉන්දියාව විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ආයාචනය අනුව 1948 ජනවාරි 17වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දෙරට අතර සටන් විරාමයක් ඇතිකරන ලෙස යෝජනාවක් සම්මතකරන ලදි. තවද මෙම දෙරට අතර ගැටුම් වළක්වා ගැනීම හා ඒවා අධීක්ෂණය කිරීම සඳහා ආජන්ටිනාව, ඇමෙරිකාව, බෙල්ජියම, චෙකොස්ලෝවැකියාව හා කොලොම්බියාව යන රටවල් පහ නියෝජනයවන පරිදි සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුත් කොමිෂන් සභාවක් 1948 ජනවාරි 20වන දින පත්කරන ලදි. එම කොමිසම විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවට අනුව 1948 අගෝසතු 14වන දින යෝජනාවක් සම්මතකරමින් තාවකාලික සාම ගිවිසුමක් ප්‍රකාශයට පත්කරන ලදි. 


මෙම ගිවිසුමේ අන්තර්ගත වූයේ,


1. පාකිස්ථානය විසින් සිය හමුදාවන් හා පාකිස්ථාන ජාතිකයන් ආපසු කැඳවා ගත යුතුය.

2. එලෙස ඉවත් වූ ප්‍රදේශවල පරිපාලනය අවසන් නිගමනයක් කරන තුරු එක්සත් ජාතීන්ගේ කොමිසමේ අධීක්ෂණය මත “ප්‍රාදේශීය අධිකාරයන්” (Local Authority) යටතේ සිදුවිය යුතුය. 

3. ඉන්දියාව විසින් ඉන්පසුව තම හමුදාවන්ගෙන් වැඩි කොටස කණ්ඩායම් වශයෙන් ආපසු ගෙන්වාගත යුතුය.

4. දෙපාර්ශවය විසින් කාශ්මීර රාජ්‍යයේ අනාගතය ජනමත විචාරණයක් තුළින් තීරණය කිරීමේ අරමුණින් උපදේශක මට්ටමේ සාකච්ඡා පැවැත්විය යුතුය. 


ඒ අනුව 1949 ජනවාරි 01වන දින සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලදි. එම සාම ගිවිසුමට අනුව කාශ්මීරයේ අගනුවර ඇතුළු දකුණු කොටසින් යුත් කාශ්මීරයේ 2/3ක් ඉන්දියාවටද එහි උතුරු කොටස එනම්  අසාඩ් කාශ්මීරය වශයෙන් හඳුන්වන ලද ප්‍රදේශයෙන් යුත් සමස්ත කාශ්මීරයෙන් 1/3ක ප්‍රමාණයක් පාකිස්ථානයටද හිමි විය. මෙය අධීක්ෂණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ යුද නිරීක්ෂණ කණ්ඩායමක්ද (UNMOGOP) එම ප්‍රදේශවල රඳවා තබන ලදි.


ඉහත දැක් වූ ආකාරයට ‍එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ යෝජනා සම්මතකරමින් ඉන්දියාව හා පාකිස්ථානය අතර ගැටුම් වැළැක්වීමට උත්සාහ කළත් ඉන්දියාව එම යෝජනා සම්බන්ධයෙන්ම ප්‍රකාශකර සිටියේ කාශ්මීර ජනතාව විසින් වෙනත් අයුරකින් කරන තෙක්, තමන්ට 1946 ඔක්තෝම්බර් 26වන දින මහරාජා සමඟ ඇතිකරගත් නීත්‍යානුකූල එකඟතාවය මත කාශ්මීරය සම්බන්ධයෙන් නෛතික වගකීමක් ඇති බවයි. ඒ හේතුවෙන් පාකිස්ථානය සැක කටයුතු ඇකාරයෙන් කටයුතු කිරීම නිසා තම හමුදා කාශ්මීරයෙන් ඉවත්කර නොගන්නා බවට ඉන්දියාව පවසන ලදි. පාකිස්ථානය ප්‍රකාශකර සිටියේ ඉන්දියානු හමුදා කාශ්මීරයේ සිටිනතාක් කාශ්මීරය තුළ සාධාරණ ජනමත විචාරණයක් පැවැත්වීමට නොහැකිවන අතර ඉන්දියානු හමුදාවන් කාශ්මීරයේ රැඳී සිටීම තමන්ට තර්ජනයක්වන හෙයින් තම හමුදාද කාශ්මීරයෙන් ඉවත්කර නොගන්නා බවයි. මෙලෙස දෙරට විසින් ඉදිරිපත්කරන ලද අර්‍ථකථන හා ප්‍රතිඅර්‍ථකථන හේතුවෙන් සමථයකට ඒමට නොහැකි විය. 


මෙලෙස නැවත වරක් ඉන්දියාව හා පාකිස්ථානය අතර කාශ්මීරය සම්බන්ධයෙන් ඇති වූ ගැටුම් විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්කරුවෙකු වූ ඕස්ට්‍රේලියානු ජාතික ඕවන් ඩික්ෂන්ගේ වාර්තාවක් මත එවකට පැවති සටන් විරාම රේඛාව ඔස්සේ කාශ්මීරය දෙකඩ කිරීමට යෝජනාකරනු ලැබීය. මේ සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙකම මුලදි යහපත් ප්‍රතිචාර දැක්වුවත් පසුව එම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදි. පසුව ඇමරිකන් ජාතික ආචාර්ය ෆ්රෑන්ක් ග්‍රැහැම් විසින් නැවතත් එම යෝජනා සක්‍රීය කිරීමට උත්සාහ කළත් එයද අසාර්ථක විය.


ඉන්දියාව, කාශ්මීර ප්‍රදේශය තම පාලනය යටතට ගැනීම සඳහා කාශ්මිරයේ ප්‍රධාන දේශපාලකයා වූද අගමැති ජවහර්ලාල් නේරුගේ හිතවතා වූද ෂීක් අබ්දුල්ලා ලවා 1951 පෙබරවාරි මාසයේදී ව්‍යවස්ථාදායක මණ්ඩලයක් කැඳවා එම ප්‍රදේශය ඉන්දියානු සංගමයට බඳවා ගැනීම සඳහා කටයුතුකරන ලදි. නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් 1949 ජනවාරි 05වන දින සම්මතකරන ලද  යෝජනාව උල්ලංඝනය වීම හේතුවෙන් ඉන්දියාවේ ක්‍රියාකලාපය නීති විරෝධී බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ම ප්‍රකාශයක් නිකුත්කරන ලදි. නමුත් මෙය නොතැකූ ඉන්දියාව තම ව්‍යවස්ථාවද සංශෝධනය කරමින් 1949 ඔක්තෝම්බර් 17වන දින සිට ජම්මු කාශ්මීරයට, තම නායකයා තමන් විසින්ම තෝරා ගැනීම හා තවත් එවැනි විශේෂ වරප්‍රසාද මෙන්ම අයිතිවාසිකම් රැසක් සහිතව විශේෂ තත්වයක් (Special Status) ප්‍රධානය කරමින් 1952 ජූලි මාසයේදී නේරු හා ෂීක් අබ්දුල්ලා අතර දිල්ලි ගිවිසුම අත්සන් කරමින් ජම්මු කාශ්මීරය ඉන්දියාවේම කොටසක් බවට ස්ථිරකරන ලදි. 


නමුත් ෂික් අබ්දුල්ලා කාශ්මීරයට ස්වයංපාලන අයිතියක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීම හේතුවෙන් ඉන්දියානු රජය හා ෂික් අබ්දුල්ලා අතර ගැටුම්කාරී තත්වයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස ෂික් අබ්දුල්ලා 1953දී අත්අඩංගුවට ගත් අතර ඒ වෙනුනවට බක්ෂි ගුලාම් මෙහොමඩ් නැමැත්තකු පත්කර ඔහු යටතේ ස්ථිර ව්‍යවස්ථාවක්ද සම්පාදනය කරනු ලැබීය. එය 1956 නොවැම්බර් 16වනදා සිට අර්ධ වශයෙනුත් 1957 ජනවාරි 26වනදා සිට පූර්ණ වශයෙනුත් ක්‍රියාත්මක කරනු ලැබීය.  



මෙයට එරෙහිව පාකිස්ථානය විසින්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා 3ක් ඉදිරිපත්කරන ලදි. ඒවා නම්, 

1. දෙරට විසින්ම ජම්මු කාශ්මීර ප්‍රදේශවලින් පසුබැසීම.

2. එක්සත් ජාතීන්ගේ හමුදාවක් සටන් විරාම ප්‍රදේශයේ තබාගැනීම.

3. ඉන්පසු ජනමත විචාරණයක් පැවැත්වීම.

මීට අමතරව 1951 ජනවාරි 24 බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව යන රටවල්වල අනුග්‍රහය යටතේ යෝජනාවක් සම්මතකරන ලදි. එයට අනුව ජම්මු කාශ්මීර ප්‍රදේශය තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ තබාගත යුතුය. තවද ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය 1951 පෙබරවාරි මාසයේදීද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට නව කෙටුම්පතක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්ථානය සමඟ සාකච්ඡා කළ යතු අතර එම අර්බුද සහිත ප්‍රදේශවල එක්සත් ජාතීන්ගේ හමුදා රැඳවිය යුතු බවයි. නමුත් දෙවෙනියට සඳහන් කළ කොන්දේසිය සෝවියට් දේශය විසින් නිෂේධ බලය යොදා ප්‍රතික්ෂේප කරනු ලැබීය. 


ඉන්දියාවට සෝවියට් දේශයේ සහය ලැබෙන විට පාකිස්ථානයට බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු සහයෝගය ලැබෙන ලදි. තවද පාකිස්ථානය මෙම බටහිර රටවල් සමඟ පැවති සබඳතා තවත් තර කරමින් අග්නිදිග ආසියාතික ගිවිසුම් සංවිධානයේ (SEATO)හා මධ්‍ය ගිවිසුම් සංවිධානයේ (CENTO) සාමාජිකත්වය ලබාගත් අතර එම සංවිධාන දෙකම බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු සහයෝගය ලැබූ සංවිධාන දෙකකි. 


පාකිස්ථානය තුළ බටහිර රටවල බලය වර්ධනයවනු දුටු ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු 1956දී නිල නොවන ආකාරයෙන් ප්‍රකාශකර සිටියේ “කාශ්මීරය සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම යල්පැන ගිය අදහසක් හෙයින් කාශ්මීරය බෙදා වෙන් කිරීම පහසු වුවත් ජනමත විචාරණයක් පැවැත්වීම අපහසු බවයි.”  මෙවැනි ප්‍රකාශයක් කිරීමට නේරුට හැකි වූයේ තම රජය විසින් කාශ්මීරය සඳහා පත්කරන ලද බක්ෂි ගුලාම් ඉෂාක් 1957 පැවැත්වූ මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමයි. එමනිසා කාශ්මීර ජනයා ඉන්දියාව සමඟ එකතු වීමට කැමැත්ත දක්වන බව ඉන්දියානු රජය එය සම්බන්ධයෙන් අර්ථ කථනයක් ඉදිරිපත්කරමින් ප්‍රකාශයක් නිකුත්කරන ලදි. ඒ අනුව ඉහත ආකාරයට නේරු විසින් නිල නොවන ආකාරයෙන් කරන ලද ප්‍රකාශය නිල වශයෙන්ම ප්‍රකාශ කිරීමට 1958දී අවස්ථාව ලැබිණ.


1962දී ඇති වූ ඉන්දු චීන දේශසීමා අර්බුදය අවස්ථාවක් කරගනිමින් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය නැවත වරක් ප්‍රකාශකර සිටියේ දෙරට අතර සාම සාකච්ඡා ආරම්භ කළ යුතු බවයි. ඒ අනුව ඉන්දීය අගමැති නේරු හා පාකිස්ථාන ජනාධිපති අයුබ් ඛාන් අතර සාම සාකච්ඡාවක් ඇතිවන ලදි. නමුත් ඉන්දියාව විසින් කාශ්මීරය සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීමත්, පාකිස්ථානයට ඉන්දු නදියේ අතු ගංඟාවක් වූ චේනාබ් නදිය අවට ප්‍රදේශය ලබානොදී සටන් විරාම රේඛාව අසල ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ලබාදීමට කැමැත්ත පළ කිරීම හේතුවෙන් සාම සාකච්ඡා අසාර්ථක විය. 


මේ සම්බන්ධයෙන් කෝපයට පත්වූ පාකිස්ථාන ජනාධිපති අයුබ් ඛාන්, මේ වනවිට ඉන්දියාව සමඟ සතුරුව සිටි චීනය සමඟ 1963දී ගිවිසුමකට එළඹෙන ලදි. ඒ අනුව පීකිං නගරය වෙත ගිය අයුබ් ඛාන් අසාඩ් කාශ්මීර් ප්‍රදේශයද අන්තර්ගත වන පරිදි චීන පාකිස්ථාන් දේශසීමා ගිවිසුමකට අත්සන් කරන ලදි. මේ සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම චීනයේ සතුරන් වූ ඇමෙරිකාව හා සෝවියට් දේශයද තම විරෝධය පලකරන ලදි. 


මෙයට එකට එක කිරීමක් ලෙස ඉන්දියාව, කාශ්මීරය තුළ තවදුරටත් ඉන්දියානු බලය වර්ධනය කිරීම සඳහා 1963 ඔක්තෝම්බර් මාසයේදී ව්‍යවස්ථාමය සංශෝධනයක් කරනු ලැබීය. නමුත් මෙයින් සිදු වූයේ ස්වයංපාලන බලතල අපේක්ෂාවෙන් සිටි කාශ්මීර ජනතාව තුළ ඉන්දීය විරෝධී අදහස් මතුවීමයි. එය සමනය කරනුවස් ඉන්දියානු රජය 1964 අප්‍රේල් මාසයේදී ෂික් අබ්දුල්ලා සිරභාරයෙන් නිදහස්කරනු ලැබීය. නමුත් 1964 දෙසැම්බර් මාසයේදී ඉන්දියාව විසින් කාශ්මීරයේ මැතිවරණ නීති ඉන්දියානු මැතිවරණ නීති හා සමාන තත්වයකට ගෙන ඒම නිසා කාශ්මීරයේ නොසන්සුන්තා තවදුරටත් වර්ධනය විය. 


මෙය අවස්ථාවක් කරගත් පාකිස්ථානය ඉන්දු චීන අර්බුද හේතුවෙන් දුර්වල වී සිටි ඉන්දියාව සමඟ යුද්ධ කිරීම සඳහා තම හමුදා ශක්තිමත් කරන ලදි. නමුත් මේ අවස්ථාවේදී පාකිස්ථානයට අයත්ව පැවති බංගලාදේශය ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ විමුක්ති අරගලවලට ඉන්දියාව සහයෝගය දැක්වීම හේතුවෙන් දෙරට අතර ප්‍රකෝපකාරී අදහස් වර්ධනයවන ලදි. 1965 අප්‍රේල් මාසයේදී බටහිර පාකිස්ථානය හා ඉන්දියාව අතර මුඩුබිම් ප්‍රදේශයක් වූ කූච් ප්‍රදේශයේ දේශසීමා ගැටුමක් සිදුවීම හේතුවෙන් දෙරට අතර නැවත වරක් යුද්ධයක් ආරම්භ විය.  


කූච් ප්‍රදේශය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නය විසඳීමට දෙරටම කැමැත්ත පලකළත් කාශ්මීර ජනතා නායකයා වූ ෂීක් අබ්දුල්ලා ඇල්ජීරියාවේදී චීන අගමැති චෞ එන්ලායි සමඟ සාකච්ඡා කිරීම හේතුවෙන් ඉන්දියානු රජය ඔහුව නැවත වරක් අත්අඩංගුවට අරගන්නා ලදි. මේ හේතුවෙන් අසහනයට පත් වූ කාශ්මීර ජනතාව අසාඩ් කාශ්මීර හමුදාව සමඟ එකතු වී ප්‍රචණ්ඩ ක්‍රියා කාශ්මීරය තුළ අරඹන ලදි. එය සමනය කරනුවස් ඉන්දියානු හමුදාව විශාල වශයෙන් කාශ්මීරයට යවන ලද අතර අසාඩ් හමුදාවට පාකිස්ථානයෙන් සහයෝගය ලැබීම නිසා පාකිස්ථාන හමුදාව රඳවා සිටි සටන් විරාම ප්‍රදේශයෙන් ඔබ්බෙහි පිහිටි ප්‍රදේශවලට 1965 අගෝස්තු 14-15 දිනවලදී ප්‍රහාර එල්ල කරන ලදි. 

මෙලෙස දෙවෙනි වතාවටද ඉන්දියාව හා පාකිස්ථානය අතර යුද්ධයක් අරම්භ විය. ඊට ප්‍රතිචාර දක්වනුවස් පාකිස්ථානයද 1965 සැප්තැම්බර් 01වන දින ප්‍රතිප්‍රහාර එල්ලකරන ලදි. මීට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය සැප්තැම්බර් 04වන දින ප්‍රකාශකර සිටියේ වහාම ක්‍රියාත්මකවන පරිදි දෙරට අතර සටන් විරාමයක් ප්‍රකාශ කොට තමතමන්ගේ හමුදා ආපසු කැඳවා ගන්නා ලෙසයි. නමුත් මෙය නොතැකූ ඉන්දියාව සැප්තැම්බර් 06වන දින තම සේනාංක දෙකක් පාකිස්ථාන දේශසීමා බිඳ දමමින් ඉදිරියට යවන ලදි. 


මේ හේතුවෙන්ම එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඌතාන් සැප්තැම්බර් 07වන දින ඉන්දියාවට පැමිණෙන ලදි. තවද බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාවද දෙරටට යුද ආධාර ලබාදීම සැප්තැම්බර් 08වන දින ප්‍රතික්ෂේප කරන ලදි. නමුත් දෙරට අතර සටන් විරාමයක් සඳහා ඉදිරිපත් වීමක් සැප්තැම්බර් 15වනදා දක්වාම දක්නට නොලැබෙන ලදි. මේ හේතුවෙන් මෙය අවස්ථාවක් කරගත් චීනය සැප්තැම්බර් 17වන දින ඉන්දියාවට අනතුරු හඟවමින් කියා සිටියේ ඉන්දු චීන දේශසීමා ආසන්නයේ පිහිටි සීකිම් ප්‍රදේශයෙන් ඉන්දියානු හමුදා දින 03ක් ඇතුලත පසුනොබසින්නේ නම් භයානක ප්‍රතිඵලවලට ඉන්දියාවට මුහුණ දීමට සිදුවන බවයි. ඉන්දියාව තවදුරටත් අර්බුදකාරී අවස්ථාවකට පත්නොවීම සඳහා කටයුතු කරනුවස් සෝවියට් දේශයේ අගමැති ඇලෙක්සි කොසිජින් මධ්‍යස්ථකරුවෙකු වශයෙන් ඉදිරිපත් වෙමින් තමන්ගේ සේවය ලබාදීමට කැමැත්ත පලකරනු ලැබීය. 


පසුව චීනය විසින් අනතුරු හැඟවීමේ කාලය තවත් දින 03කින් දීර්ඝකරන ලද අතර ආරක්ෂක මණ්ඩලය විසින් 1965 සැප්තැම්බර් 20වන දා නැවතත් ඉල්ලා සිටියේ දෙරට අතර සටන් විරාමයක් ප්‍රකාශකරන ලෙසයි. ඒ අනුව විශාල අර්බුදයකට මැදිහත්ව සිටි ඉන්දියාව සැප්තැම්බර් 22වන දින සෝවියට් දේශය මැදිහත්කරුවෙකු ලෙස පිළිගෙන පාකිස්ථානයේ කැමැත්තද ඇතිව සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන ලදි. එලෙස ඇති වූ සටන් විරාම ගිවිසුම තවත් ශක්තිමත් කරනු සඳහා පෙර සිටි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ මණ්ඩලය තවදුරටත් වර්ධනය කරනු ලැබූ අතර කූච් ප්‍රදේශ දක්වාම සටන් විරාම ප්‍රදේශය අධීක්ෂණය කරන ලදි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ඉන්දියා-පාකිස්ථාන නිරීක්ෂණ මෙහෙය (UNIPOM) පත්කරනු ලැබීය.  


තවද සෝවියට් දේශය මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කරමින් 1966 ජනවාරි 03-10 දක්වා ටෂ්කන්හිදී ඉන්දියානු අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී හා පාකිස්ථාන ජනාධිපති අතර සාකච්ඡා පවත්වනු ලැබීය. ඒ අනුව දෙරට අතර පැවති ප්‍රකෝපකාරී ස්වභාවය සමනය වූ අතර ටෂ්කනිච් සම්මුතියද ප්‍රකාශයට පත්කරන ලදි. එයට අනුව,


1. දෙපාර්ශවයම 1949 රැඳී සිටි සටන් විරාම සීමාවට පසුබැසීම.

2. දෙපාර්ශවයම සාමාන්‍යය සබඳතා නැවත ඇති කරගැනීම.

3. දෙරට අතර එකිනෙකාට එරෙහි ප්‍රහාරක යුද්ධ අත්හිටුවීම.

4. කාශ්මීරය පිළිබඳ ප්‍රශ්නය අනාගතයේ දිනෙක සාකච්ඡා කිරීම.


වැනි කරුණු වලට දෙරටම එකඟ වූ අතර ගිවිසුම අත්සන් කළ දිනට පසු දින ඉන්දීය අගමැති බහදූර් ශාස්ත්‍රි මිය යාම නිසා දෙරට අතර පැවති ප්‍රකෝපකාරී ස්වභාවය තවදුරටත් සමනයවන ලදි. ඒ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ කමිටුව නැවත කැඳවන ලදි. 










4. කාශ්මීර අර්බුදයේ වර්තමාන තත්වය.


2013 ජනවාරි 9 වැනිදා පාලන රේඛාව නමින් හැඳින්වෙන පාකිස්ථානය හා ඉන්දියානු පාලනය යටතේ පවතින කාශ්මීරය වෙන් කරන සීමාවේ හටගත් වෙඩි හුවමාරුවකින් පාකිස්ථානු භටයෙක් මිය යාමත් සමඟ නැවත වතාවක් ඉන්දියාව හා පාකිස්ථානය අතර යුද උණුසුම වර්ධනය විය. මෙයට ප්‍රතිචාර දක්වනුවස් පාකිස්ථානය විසින් එල්ලකරන ලද ප්‍රහාර හේතුවෙන්  ඉන්දියානු හමුදා භටයින් දෙදෙනෙක් පාකිස්ථානු වෙඩි ප්‍රහාරවලින් මියගියහ. මෙම සිද්ධිය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ එම හමුදා භටයින්ගේ මළ සිරුරුවලට පාකිස්ථානය විසින් වද හිංසා පමුණුවා ඇති බව පෙනෙන්නේයැයි ඉන්දියානු හමුදාව චෝදනා කිරීමත් සමඟය. 


මෙය පදනම් කරගැනීමෙන් ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානි එන්.ඒ.කේ. බ්‍රවුනි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පාලන රේඛා ප්‍රදේශයේ සාමය පවත්වා ගැනීම සඳහා වෙනත් ක්‍රියාමාර්ග ගැනීමේ අයිතියක් තමන්ට ඇති බවයි. ඉන්දියානු හමුදා ප්‍රධානි ජනරාල් බික්‍රම් සිංග් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අයිතිය තවදුරටත් අවධාරණය කරන ලදි. එම ප්‍රකාශ දෙකින්ම පැහැදිලි වූයේ කාශ්මීරය සම්බන්ධයෙන් නැවත වරක් මෙම න්‍යෂ්ඨික බලවතුන් දෙදෙනා අතර යුද්ධයක් හට ගැනීමේ අනතුර වෙන කවදාටත් වඩා වැඩි වී ඇති බවයි.


ඉන්දියානු රජය වඩාත් බරපතළ තත්ත්වයකට සූදානම් බවට ඉඟියක් වූයේ 2013 ජනවාරි 21 වැනිදා කාශ්මීරයේ පළවන පුවත්පතක න්‍යෂ්ඨික ප්‍රහාරයකදී ගත යුතු ආරක්ෂක පියවර ගැන ජනතාව දැනුවත් කිරීමට පළ කළ ලිපියකිනි. කාශ්මීරයේ පොලිසිය යටතේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක අංශයේ ප්‍රධානි මුබාරක් ගානි නිකුත් කර ඇති ලිපියෙන් න්‍යෂ්ඨික ප්‍රහාරයකදී ආරක්ෂා වීම සඳහා කාශ්මීර වැසියන්ට භූගත බංකර් තනා ගැනීමට උපදෙස් දී තිබිණ. භූගතව ඉදිකෙරෙන එම බංකර්වල අඩුම වශයෙන් සති දෙකක් සඳහා ප්‍රමාණවත් ආහාර තොග ගබඩා කරගත යුතු අතර එහි වැසිකිළි පහසුකම් ද තිබිය යුතුය. එම ලිපියේ මාතෘකාව වූයේ න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයකින් ආරක්ෂාවීම යනුවෙනි. මෙම ලිපිය පළවීමත් සමග ඇතිවූ ආන්දෝලනය නිසා උපදෙස් නිකුත් කළේ සාමාන්‍ය ජනතාවගේ දැනුම සඳහා විනා න්‍යෂ්ඨික ප්‍රහාරයක් පිළිබඳ ආසන්න අනතුරක් පැවතීම නිසා නොවේ යැයි ඉන්දියානු රජය අවධාරණය කළ ද තත්ත්වය ඊට වඩා බරපතළ විය හැකි බව සමහර නිරීක්ෂකයෝ පෙන්වා දුන්හ. ඊට මූලික හේතුව වන්නේ කාශ්මීර ගැටලුව විසඳා ගැනීමට මෙතෙක් ගත් සියලු පියවර නොසිතූ ආකාරයෙන් ව්‍යාර්ථ වීම නිසාය.


තවද දෙරටේම දේශපාලකයන්ගේ අවස්ථාවාදී මෙන්ම ජාතිකවාදී ක්‍රියාද මෙම කාශ්මීර අර්බුදය තවදුරටත් වර්ධනය කරවීමට හේතු වී ඇත. මේ තත්වය මත පෙනී යන්නේ කාශ්මීර අර්බුදය වර්තමානය වනවිටත් පවතින්නේ 1947 එය ආරම්භ වූ ස්ථානයේම බවයි.




5. සමාලෝචනය.

කාශ්මීරයේ හින්දූන් හා මුස්ලිම්වරුන් එකට වාසයකරන ප්‍රදේශවල නිතරම පාහේ උග්‍ර ජාතිවාදී ගැටුම් දැකිය හැකිය. මේ සම්බන්ධයෙන් පාකිස්ථානයේ මතය වී ඇත්තේ ජනමත විචාරණයක් තුළින් කාශ්මීර අර්බුදය නිරාකරණය කරගත යුතු බවයි. නමුත් ඉන්දියාව මෙයට දැඩි අකමැත්තක් දක්වයි. මන්දයත් ජනමත විචාරණයක් පැවැත්වුවහොත් කාශ්මීරයේ සිටින බහුතරයක් වු මුස්ලිම් ජනතාව මුස්ලිම් පාකිස්ථානය හා එක්වීමට කැමැත්ත පළකරන හෙයිනි. 


වර්තමානය වනවිට පාකිස්ථානය හා ඉන්දියාවේ රජයන් අතර වඩා හොඳ සබඳතාවයක් ගොඩනැගී ඇති අතර වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් තමා අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයටද පාකිස්ථාන අගමැති නවාෂ් ෂෙරීෆ්ට ආරාධනා කරන ලදි. එමඟින් දෙරට අතර හොඳහිත තවදුරටත් වර්ධනය වූ බව විචාරකයන්ගේ මතයයි. 

 

කෙසේ වෙතත් කාශ්මීරය තුළ මේ වනවිටද වර්ගවාදී ගැටුම් පවතින අතර ඉන්දියාව කාශ්මීරය පාලනය කරනුයේද විශේෂ නීතීන් හා පරිපාලන ක්‍රම යටතේය. පාකිස්ථානයට පක්ෂ පිරිස් සිටින කාශ්මීරය තුළ ත්‍රස්ථ ක්‍රියාද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. මේවන විට පාකිස්ථානය තුළ විශාල වශයෙන් ත්‍රස්ථ ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතින අතර ඒවායේ බලපෑමද කාශ්මීරය හරහා ඉන්දියාවට එල්ල වේ. ඒ හේතුවෙන් පාකිස්ථානය හා ඉන්දියාව පමණක් නොව සමස්ත දකුණු ආසියා කලාපයම ත්‍රස්ථවාදී අභියෝගයකට මුහුණ දී ඇත. 


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.



කරුණාදාස, ඩබ්. එම්., ජාත්‍යන්තර අර්බුද, ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, දෙහිවල. 2000. 


පින්තු, ක්ෂාවියර් සහ ඊ. ජී. මියාල්., ඉතිහාස ධාරා - දෙවන කොටස, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2007. 


රාවෝ, බී. වී., ලෝක ඉතිහාසය, පරිවර්තනය- මාලනී ඇඳගම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2003.

සිංහ සහ බැනර්ජි, ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2005.


සූරියප්පෙරුම, ජේ. ආර්. පී., ලෝකයට කවුළුවක්, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ. 2012.



http://www.si.wikipedia.org



No comments:

Post a Comment