Sunday, 22 November 2020

ඉන්දියවේ ජාතික ව්‍යාපාරය තුළ සටන්කාමී ජාත්‍යානුරාගය වර්ධනය පිළිබඳව විශ්ලේෂණය කිරීමක් ...

 



ඉන්දියාවේ සටන්කාමී ජාතිකානුරාගය වර්ධනය වීමට හේතු වූයේ ඉන්දියාව තුළ අපරදිග අධ්‍යාපනය ප්‍රචලිත වීමයි. එමඟින් ඉන්දියානු තරුණයන් තුළ දේශපාලනය පිළිබඳ අවබෝධය වර්ධනය වූ අතර එඩ්මන්ඩ් බර්ක්, මැකෝලේ, ජෙරමි බෙන්තම්, ජේම්ස් මිල්, හර්බට් ස්පෙන්සර් හා ඔගස්ට් කොම්ටේ ආදී ප්‍රගතිගාමී චින්තකයන්ගේ කෘතීන් පරිශීලනය කිරීමට හැකිවීම හේතුවෙන් බ්‍රිතාන්‍යය පරමාධිපත්‍යය පිහිටුවීමෙන් පසු ඉන්දියාවේ උපන් පරම්පරාවල අදහස් හා බලාපොරොත්තු වෙනස් කරන ලදි. රාම්මෝහන් රෝයි රාජා,කේශබ් චන්ද්‍ර සෙන්,ඊශ්වර් චන්ද්‍ර විද්‍යාසාගර්,දයානන්ද සරස්වතී හා ස්වාමි විවේකානන්ද වැනි ඉන්දීයානු ආගමික හා සමාජීය චින්තාවලිය පිළිබඳ නායකයෝ විමුක්තිය පිළිබඳ අදහස් ඉන්දියානුවන් තුළ වර්ධනය කරනු ලැබීය. බෙංගාලයේ නිල්අවරිය පිළිබඳ මතබේද හා නොයෙක් ප්‍රදේශවල නිතර නිතර දුර්භික්ෂ හට ගැනීම වැනි ආර්ථික බලපෑම් මෙන්ම පරිපාලනය පිළිබඳ දූෂණ ක්‍රියා හේතුවෙන්ද, ස්වාධීන ආණ්ඩුබලය සුඛෝපභෝගී ක්‍රියාවක් නොව අත්‍යාවශ්‍යයෙන්ම ලබාගත යුතු දෙයක් බව ඉන්දියාවේ බුද්ධිමතුන්ට ක්‍රමයෙන් වැටහෙන්නට විය. 


මෙලෙස බ්‍රිතාන්‍යය පාලනයට විරුද්ධව ඉන්දියානුවන් තුළ අදහස් වර්ධනය වූ අතර ඉන්දියාවේ ග්‍රාමීයබද ප්‍රදේශවල සිටි ගොවීන් හා නාගරික කම්කරුවන් ඉන් ප්‍රධාන විය. ඉන්දියාව බ්‍රිතාන්‍යය පාලනයෙන් මුදවා ගැනීමට අදහස් කළ පිරිස් අතර පාලකයන් සමඟ සුහද සම්බන්ධතා පවත්වා ගැනීම හා ආයාචනා මඟින් ප්‍රතිසංස්කරණ ලබා ගැනීමට බලාපොරොත්තු වූ මධ්‍යස්ථවාදීන්ද, සටන්කර හෝ නිදහස ලබා ගත යුතුයැයි අදහස් කළ සටන්කාමී පිරිස්ද ඒ අතර ‍විය. බුද්ධිමතුන්ගෙන් හා නාගරික පන්තියේ සහයෝගය ලබමින් මධ්‍යස්ථවාදීන් කටයුතු කළ අතර පහළ මධ්‍යයම පන්තිය ශිෂ්‍යයන්ගෙන්, කම්කරුවන්ගෙන් හා ගොවීන්ගෙන් යුතු අන්තවාදී මතධාරීන්ගෙන් සමන්විත විය.


කල්යත්ම අන්තවාදී අදහස් දැරූ නායකයන් ඉන්දියානු ජනතාව තුළ ජනප්‍රිය වූ අතර ඊට හේතුව වූයේ මධ්‍යස්ථවාදීන්ගේ අසාර්ථකත්වයයි. මුලදී මධ්‍යස්ථවාදීන්ට බ්‍රිතාන්‍යයන්ගේ සහයෝගය ලැබුණුමුත් ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ග වූ රැස්වීම් සංවිධානය කිරීම, යෝජනා සම්මත කරගැනීම, පෙත්සම් යැවීම, සහයෝගයෙන් හා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ව්‍යවස්ථා සංශෝධනයෙන් තම අරමුණු ඉටුකර ගැනීම වැනි බලාපොරොත්තු ප්‍රතිඵල රහිත විය. ඒ හේතුවෙන් මධ්‍යස්ථවාදීන් ජනතාව අතර ජනප්‍රියත්වයෙන් හීන වූ අතර නිදහස ලබා ගැනීම සඳහා සටන්කර ජීවිත පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ අන්තවාදී පිරිස් වටා ජනතාව ඒකරාශීවන්නට විය. අන්තවාදීන්ගේ ක්‍රියාමාර්ග හා ප්‍රකාශ ඉතාමත්ම ආකර්ශනීය විය. බ්‍රිතාන්‍යයන්ගේ අදහස් අනම්‍යය වීමද එම අන්තවාදී අදහස් ඉන්දියාව තුළ ප්‍රචලිත වීමට හේතුවක් විය. අන්තවාදී නායකයෙකු වූ ලෝකමාන්‍යය තිලක්ගේ ප්‍රකාශය මීට හොඳම නිදසුනකි. ඔහු ප්‍රකාශ කළේ “දේශපාලන අයිතිය සටන් කිරීමෙන් ලබාගත යුතු දෙයකි. මධ්‍යස්ථවාදීන් සිතන්නේ එය බලපෑම් කිරීමෙන් ලබාගත හැකි දෙයක් බවයි. නමුත් අප සිතන්නේ එය දැඩි ලෙස බලපෑම් ඇති කිරීමෙන් පමණක් දිනා ගත හැකි දෙයක් බවයි”.


මුලදී සුළු සුළු ලාභ ප්‍රයෝජන ලැබුණද බ්‍රිතාන්‍යයන් විසින් සිදුකරන ලද විවිධ කටයුතු හේතුකොටගෙන අන්තවාදීන් තවත් ශක්තිමත් වන්නට විය. ඉන්දියාව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදයේ අසරණ ගොදුරක් බවට පත් වී තිබිණ. ඉන්දියානුවන්ගේ ප්‍රධානම අපේක්ෂාව වූ ව්‍යවස්ථානුකූලවූත්, මහජන නියෝජනයකින් යුත් ආණ්ඩුවක් ඉන්දියාවට ලබාදීමට බ්‍රිතාන්‍යය ආණ්ඩුව තවමත් සැරසී නොසිටි බවක් 1892 ඉන්දියානු මන්ත්‍රණ සභා පනතින් පෙනීයන ලදි. 1892දී සම්මත කරන ලද ඉන්දීය මණ්ඩල පනතින් නියෝජිත ආයතන වෙනුවට උපදේශක මණ්ඩල පිහිටුවීම ඉන්දියානුවන්ලග් බලාපොරොත්තු කඩවීමක් විය. ඉන් අනතුරුව කොංග්‍රසය ප්‍රමුඛ මධ්‍යස්ථවාදීන් විසින් කරන ලද ඉල්ලීම් බ්‍රිතාන්‍යය පාලනය ඉවතලන ලදි. ඒ අනුව ලෝකමාන්‍ය තිලක්ගේ (බාල් ගංඟාධර් තිලක්) නායකත්වය යටතේ අන්තගාමී පක්ෂ ක්‍රියාත්මකවන ලදි. ලාල් ලජ්ජාත් රායි හා බිජින් චන්ද්‍රපාල්ගේ සහයෝගයද මොහුට ලැබිණ. තවද කර්සන් සාමිගේ පාලන කාලය තුළ සිදු වූ සිදුවීම්ද ඉන්දියානුවන් අන්තවාදීන් වීමට හේතුවක් විය. කර්සන් සාමි “සුදු මිනිසා දැරිය යුතු බර පිළිබඳ න්‍යාය” විශ්වාස කළ අයෙකු වූ බැවින් ඉන්දීය අභ්‍යයන්තරයේ අර්බුද උත්සන්න විය. කල්කටා විශ්වවිද්‍යාලය නිලධාරීවාදයට ගොදුරු කිරීම, කල්කටා සංයුක්ත මණ්ඩලයේ ස්වාධීනත්වය සීමා කිරීම වැනි ක්‍රියා ඉන්දියානුවන් ප්‍රකෝප කරවූ හේතූන් විය. 


ඉන්දියානුවන් තුළ බ්‍රිතාන්‍යය පාලනයට විරුද්ධව අදහස් වර්ධනය වු ප්‍රබලම අවස්ථාවක් වූයේ කර්සන් සාමි විසින් 1905දී බෙංගාලය බෙදීමට කටයුතු කිරීමයි. කර්සන් සාමි ප්‍රකාශ කළේ පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා බෙංගාලය බෙදන ලද බවයි. නමුත් බ්‍රිතාන්‍යයන්ගේ සැබෑ අභිප්‍රාය වූයේ බෙංගාලය බෙදීම මඟින් මුස්ලිම් හා හින්දූන් වශයෙන් ආගම් භේදවාදයක් ඇතිකර නැගී එන ජාත්‍යානුරාගී අදහස් මැඩපැවැත්වීමයි. නමුත් සිදු වූයේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි. බෙංගාලය දෙකට බෙදීම කොංග්‍රසය කෙරෙහි බලපාන ලදි. මධ්‍යස්ථවාදීන් හා රැඩිකල්වාදීන් අතර පැවති මතභේද පුළුල් වූ අතර 1907දී සුරාට්හි පැවති සම්මේලනයේදී කොංග්‍රසයෙන් වෙන වී යාමටද හේතුවිය. බෙංගාලය දෙකඩ කිරීමට විරුද්ධව ප්‍රබල ලෙස විරෝධතා ව්‍යාපාර ආරම්භ වූ අතර බෙංගාලය තුළ බ්‍රිතාන්‍යය භාණ්ඩ වර්ජනය කරන තත්වයක්ද ඇති විය. ගංඟාධාර තිලක් ඔහුගේ නිර්ධය ලියකියවිලි හා දේශන මඟින් බ්‍රිතාන්‍යයන්ගේ දූෂිත පාලනයට විරුද්ධව පහරදීමේ පුළුල් ව්‍යාපාරයක් ගෙනයන ලදි. ජාතික හැඟීම් පුබුදුවාලීම සඳහා ඔහු කේසරී නමින් පුවත්පතක්ද ප්‍රකාශයට පත්කරන ලදි. ගනේෂ උත්සව සංවිධානය කළ ඔහු විශාල කැපකීරීම් වලට තරුණ පිරිස් සංවිධානය කරවන ලදි. 


මෙකල ඉන්දියාවෙන් පිටත ලෝකයේ සිදු වූ සිදුවීම්ද ඉන්දියාවේ සටන්කාමී ජාතිකානුරාගී ව්‍යාපාරයේ උද්යෝගයට හේතුවිය. ඒ අතර 1896දී සුළු හමුදාවක් වූ ඉතියෝපියානුවන් විසින් යුරෝපීය ප්‍රබල රාජ්‍යයක් වූ ඉතාලිය පරාජයට පත්කිරීමත්, තවත් එවැනිම ප්‍රබල රාජ්‍යයක් වූ රුසියාව ජපානය නම් වූ කුඩා රාජ්‍යය ඉදිරියේ පරාජයට පත් වීමත් හේතුවෙන් ඉන්දියානු රැඩිකල්වාදීන් අතර සටන්කාමී ව්‍යාපාර පිළිබඳ විශ්වාසයක් වර්ධනය වන්නට විය. මන්දයත් බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපීය රාජ්‍යයන් ආසියානු හා අප්‍රිකානු ජාතීන් හැඟීම්වලින් තොර යුරෝපීයන්ට විරුද්ධව සටන් කිරීමට ධෛර්යක් නැති ජාතීන් බවට විශ්වාසකරන ලදි. නමුත් ඉහත සිදුවීම් හේතුවෙන් එය අසත්‍යයක් බවට ඔප්පු විය. විශේෂයෙන්ම අඟුටුමිටි ජපානය අතින් යෝධ රුසියාව මෙසේ පරාජයට පත්වීම ඉන්දියානුවන් තුළ තම විශ්වාසය වර්ධනය කරවීමට හේතුවක් විය. ජපානයට රුසියාව පරාජය කළ හැකි නම් ඉන්දියානුවන්ටද බ්‍රිතාන්‍යයන් පරාජය කළ හැකි බවට ජනතාව විශ්වාස කරන්නට විය. “එක් ආසියාතික ජාතියකට එය කළ හැකි වී නම් අනෙක් ආසියාතික ජාතියටද එය කළ හැකිය. ජපානයට රුසියාව දණගැස්විය හැකි නම් ඉන්දියානුවන්ටද ඉංග්‍රීසීන් දණගැස්විය හැකිය. අපිත් ජපනුන් සමඟ ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් වීමට උත්සාහ කරමු” යනුවෙන්  Karachi Chronicle නම් පුවත්පතේ එම හැඟීම් පළකරන ලදි.


1857න් පසු ඉන්දියාවේ එකපිට එක ඇති වූ දුර්භීක්ෂ හේතුවෙන් මිනිසුන් සාගින්නේන් හා ලෙඩ රෝගවලින් මිය ගියහ. 1861දී ඇති වූ දරුණු සාගතයක් හේතුවෙන් පන්ජාබ් ප්‍රදේශය, රාජ්පුතානා හා කච් යන ප්‍රාදේශ පාළු වී යන ලදි. 1866දී ඔරිස්සාවද දුර්භික්ෂයකට ගොදුරු වූ අතර සර් ජෝන් ලෝරන්ස් මේ තත්වය පිළිබඳව කටයුතු කරන්නට අපොහොසත් විය. ඉන්දියාව තුළ ඉතා විනාශකාරී වූ සාගතයක් 1873-1874 කාලයේදී බිහාරයේ හා බෙංගාලයේ ඇතැම් ප්‍රදේශවල ව්‍යාප්තවන ලදි. තවද 1876-1878 අතර කාලයේදී මයිසූරයේ,මදුරාසි ප්‍රසිඩන්සියේ හා බොම්බාය ප්‍රසින්ඩන්සියේද,මධ්‍ය ප්‍රදේශයේ හා එක්සත් ප්‍රදේශයේද විශාල ලෙස සාගතයක් ව්‍යාප්තවන ලදි. 1896-1897 අතර කාලයේදී ඉතා දරුණු සාගතයක් හේතුවෙන් එක්සත් ප්‍රදේශය,මධ්‍ය ප්‍රදේශය,බිහාරය හා පන්ජාබයේ ඇතැම් කොටස්ද පාළුවන ලදි. 1900දී ගුජරාටයද දරුණු සාගතයකට ලක්වන ලදි. මේ ස්වාභාවික ආපදා හා ජීවිත හානි පිළිබඳ බ්‍රිතාන්‍යයන් කිසිදු අවධානයක් යොමු නොකළ අතර සහන කටයුතු සලසනවා වෙනුවට වික්ටෝරියා රැජින පදවිප්‍රාප්තවීමේ රිදී ජුබිලිය සමරනු සඳහා විශාල ධනස්කන්ධයක් වැය කරන ලදි. කේශරී හා මරාථ පුවත්පත් මඟින් එම බ්‍රිතාන්‍යය ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනයට ලක්කරන ලදි. විශේෂයෙන් පුනාහි පැතිර ගිය වසංගතය ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වීම සම්බන්ධයෙන් හා බ්‍රිතාන්‍යයන්ගේ අසාධාරණ, මර්දනකාරී ක්‍රියාමාර්ගවලට ජනතාව එළිපිටම විරෝධය දැක්වීමට පටන් ගත්හ.


ක්‍රමයෙන් වැඩෙමින් තිබූ බ්‍රිතාන්‍යය විරෝධී ව්‍යාපාරය මර්දනය කරනු සඳහා 1898දී සම්මතකරන ලද පනතක් හේතුවෙන් නැවතත් සටන්කාමී ව්‍යාපාරය ප්‍රබලව නැගී සිටින්නට විය. එකල ඉන්දියාවේ බ්‍රිතාන්‍යය ප්‍රතිරාජයා වූ කර්සන් සාමිගේ සෘජු දායකත්වය මත සම්මත කරන ලද එම පනත (Calcutta Corporation Act) මඟින් කල්කටා පාලන මණ්ඩලයේ සිටි නිලලත් ඉංග්‍රීසි ජාතිකයන්ගේ සංඛ්‍යාව වැඩිකරන ලදි. මෙම පනත සම්මත කිරීම රැඩිකල් ඉන්දියානුවන්ගේ විරෝධයට ලක්වන බව බ්‍රිතාන්‍යයන් දැන සිටි අතර මෙකල අන්තවාදී ව්‍යාපාරයේ ආකර්ෂණයට ලක්ව සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඊට ප්‍රබල ප්‍රතිවිරෝධතාවයක් දක්වනු ඇති බවටද බ්‍රිතාන්‍යයන්ගේ විශ්වාසය විය. එම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ විරෝධතාවයන් කල් ඇතිවම වළක්වනුවස් 1904දී ඉන්දියානු විශ්වවිද්‍යාල පනත සම්මත කරවා සියලුම විශ්වවිද්‍යාල රජයට පවරා ගන්නා ලදි. නමුත් මෙයින් සිදුවූයේ ඉන්දියානු ජනතාව අතර පැවති බ්‍රිතාන්‍යය විරෝධී ආකල්ප තවත් උත්සන්න වී ඔවුන් සටන්කාමී ව්‍යාපාර වටා ඒකරාශී වීමයි.

ලෝකයේ මේ වනවිට ඒකාධිපති හා ප්‍රජා පීඩක පාලන වලට විරුද්ධව ජනතා අරගල ආරම්භ වෙමින් පැවති අතර රුසියාවේ, චීනයේ, ඉරානයේ හා තුර්කියේ එම ව්‍යාපාර ප්‍රබලව ක්‍රියාත්මක විය. එවැනි විප්ලවවල පණිවිඩයලත් ඉන්දියානුවන්ද බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව අරගල කිරීම සඳහා සටන්කාමී ජාතිකානුරාගී ව්‍යාපාර සමඟ ඒකරාශී වීමක්ද මෙකල දැකිය හැකිය. 


ක්‍රි. ව. 1600 සිට ක්‍රි. ව. 1947 දක්වාම බ්‍රිතාන්‍යයන් සතු වටිනාම යටත්විජිතය වූයේ ඉන්දියාවයි. ඉන්දියාව නොතිබුණි නම් බ්‍රිතාන්‍යය ඉතිහාසය යුරෝපයේ කුඩා රටක ඉතිහාසයට නොදෙවෙනි වනු ඇති බවට සමහර ඉතිහාසඥයන්ගේ මතයයි. බ්‍රිතාන්‍යය රදල ක්‍රමය ගොඩනැගුනේ ඉන්දියානු ධනය හා ජනතාව මත යශෝරාවය පැටවීමෙනි. ඉන්දියාවේ අසීමිත කප්පම් උඩ බ්‍රිතාන්‍යය යුරෝපයේ සුපිරි ශිෂ්ටාචාරයක් ලෙස හැසිරෙන්නට විය. එබැවින් ඉන්දියාවේ පාලනය තවදුරටත් බ්‍රිතාන්‍යයන් සතුව තබා ගැනීම ඉතා වැදගත් විය. ක්‍රි. ව. 1900 පමණ වනවිට තිස් කෝටියක් පමණ වූ ඉන්දීය ජනතාව බ්‍රිතාන්‍යය නිලධාරීවාදයෙන්, දුම්රිය පද්ධතියෙන්, සන්නිවේදන ක්‍රමවේදයෙන් හා යුද හමුදා විසින් මුදල් ආර්ථිකයකින් බැඳ පාලනය කරන ලදි. ඉන්දීය සිවිල් සේවයේ සුදු නිලධාරීන් 2000ක්ද, බ්‍රිතාන්‍යය යුද නිලධාරීන් 10000ක්ද, සුදු හේවායින් 60000ක්ද, සිපොයි හමුදාවේ ලක්ෂ දෙකක්ද ඉන්දියානු අර්ධද්වීපය පාලනය කළහ. 


  ඉන්දියාවේ බ්‍රිතාන්‍යය පාලනය තවදුරටත් දිග්ගැස්සීම සඳහා බෙදා ආණ්ඩු කිරීමේ ක්‍රමය හඳුන්වාදෙමින් පළමුව ජාතිය අනුව හින්දු හා මුස්ලිම් ලෙස මන්ත්‍රී කොට්ටාශ වෙන් කිරීමද පසුව කුල ක්‍රමය අනුව මන්ත්‍රී ආසන බෙදා දීමද සිදුකරන ලදි. එමඟින් අපේක්ෂා කරන ලද්දේ ඉන්දියාව තුළ බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව නැගී සිටි ජනතාව ජාති, ආගම් හා කුල වශයෙන් බේදබින්න කර එම ව්‍යාපාර දුර්වල කිරීමයි. ක්‍රි. ව. 1900 පමණ වනවිට මෙම බ්‍රිතාන්‍යය උපක්‍රම පිළිබඳ ඉන්දියානුවන් තුළ අවබෝධය වර්ධනය වන්නට වූ අතර බ්‍රිතාන්‍යයන් සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් පන්නා දැමීමේ අභිප්‍රායෙන් සටන්කාමී ව්‍යාපාර වටා ඒකරාශී වන්නට විය. 


ඉන්දියාවෙන් පිටත බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමේදීද ඉන්දියාවෙන් ලැබුණු මූල්‍යමය හා ශ්‍රමයෙන් ලැබුණු දායකත්වය ඉතා වැදගත් විය. ටිබේටය, බුරුමය, ඇෆ්ගනිස්ථානය හා අප්‍රිකාව වැනි ප්‍රදේශවල බ්‍රිතාන්‍යය බලය ව්‍යාප්ත කිරීම සඳහා ගෙන ගිය යුද්ධ වලදී එම යුද වියදම් හා එම යුද්ධ සඳහා සෙබළුන්ද ඉන්දියාව තුළින් යොදවන ලදි. එය ඉන්දියානු සමාජයට මහත් පීඩාකාරී විය. විශේෂයෙන්ම අප්‍රිකාවේ බ්‍රිතාන්‍යය ජනපද ඇතිකරලීමේදී ඉන්දියාවෙන් විශාල සහයෝගයක් ලබාගන්නා ලදි. නමුත් ඒවාට ප්‍රතිඋපකාර කරනවා වෙනුවට පෙරලා ඉන්දියානුවන්ට විවිධ අතවර වලට හා අවමාන වල‍ට මුහුණදීමට සිදුවිය. විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ විසූ ඉන්දියානු කම්කරුවෝ නොයෙකුත් කොන්කිරීම් වලට භාජනය වූ අතර අඩු වැටුප් ලබමින් තම මූලික අයිතිවාසිකම්ද භුක්ති විඳීමට නොහැකි විය. එවැනි කෙනෙහිලිකම් හේතුවෙන් ඉන්දියානුවන්ට මුහුණ දීමට සිදු වූ අතවර හා වෙනස්කම් ඉන්දියාවේ සටන්කාමී ජාත්‍යානුරාගී හැඟීම් උත්සන්න කිරීමට හේතුවිය.

ඉන්දියානු ජාත්‍යානුරාගී සටන්කාමී ව්‍යාපාර මඟින් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදුන් අතර ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරයටද ප්‍රබල සේවාවක් සපයනු ලැබීය. එම සටන්කාමී ව්‍යාපාරවල මූලික අභිප්‍රායන් වූයේ ඉන්දියාවට ස්වයංපාලන අයිතිය ලබා ගැනීම, එම ව්‍යාපාර සඳහා ඉන්දියාවේ උගත්තු මෙන්ම කම්කරුවන් හා ගොවීන්ද ඒකරාශී කරගැනීම, බ්‍රිතාන්‍යය නිෂ්පාදන ඉන්දියානු ජනතාව තුළ ප්‍රතික්ෂේප කරවමින් ඉන්දියානු නිෂ්පාදන කෙරෙහි දිරිගැන්වීම, සහයෝගය නොදැක්වීම හා වර්ජන යන මාර්ග වලින් ඉන්දියාවේ බ්‍රිතාන්‍යය පාලනය අඩපණ කිරීමට උත්සාහ කිරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදි.


ඉන්දියාවේ බ්‍රිතාන්‍යය රජයට විරුද්ධව පැවති කුමන්ත්‍රණ වලට විරුද්ධව කටයුතු කිරීම සඳහා ක්‍රි. ව. 1918 අප්‍රේල් මාසයේදී රෝල්ට් කමිටු වාර්තාව මඟින් අවශ්‍යය විධිවිධාන යොදන ලදි. එමඟින් විප්ලවකාරීන්ගේ ව්‍යාපාර මර්දනය කරනු සඳහා රෝල්ට් පනත සම්මත කරමින් ඉන්දියානු ජනතාවගේ නිදහස සීමාකරන ලදි. එම පනතට විරුද්ධව ඉන්දියාව පුරා උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක වූ අතර අම්ර්ත්සාර් අසල ජලියන්වාලා බාඝ් හි පැවැත්වූ එවැනි එක් සාමකාමී උද්ඝෝෂණයක් බ්‍රිතාන්‍යයන් විසින් වෙඩි තබා ඉතා කෲර ලෙස මර්දනය කරන ලදි. එමඟින් සිය ගණනක් ජනතාව ඝාතනය ලක් වූ අතර රට පුරා ජනතාව සන්ත්‍රාසයට පත් විය. එයට ප්‍රතිචාර දක්වනුවස් රැඩිකල් නායකයෝ බ්‍රිතාන්‍යය විරෝධී හැඟීම් උච්ඡතම අවස්ථාවට පත්කරවමින් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව පුළුල් ලෙස සටන් මඟට ප්‍රවිශ්ටවන ලදි.


ඉන්දියානු ජාතික නිදහස දිනාගැනීමේ ව්‍යාපාරයේදී සටන්කාමී ජාත්‍යානුරාගී ව්‍යාපාර ඉමහත් සේවාවක් සපයන ලදි. එම සටන්කාමී ව්‍යාපාරවල අභිප්‍රාය වූයේ තම රටේ ආත්මාභිමානය ආරක්ෂා කරගනිමින් හා ආත්ම පරිත්‍යාගයෙන්, විවිධ දුෂ්කරතා හා වධවේදනා වලට මුහුණදෙමින් තම අරමුණු දිනාගැනීමයි. දුෂ්කර සටන් වලින් නිදහස දිනාගත හැකි බව ඔවුන්ගේ විශ්වාසය විය. “බ්‍රිතාන්‍යය ආණ්ඩුව අද මා වෙත පැමිණ මෙන්න ස්වරජ්‍යය, එය පිළිගන්නයැයි කීවොත් ඔබේ පරිත්‍යාගයට බොහොම ස්තූතියි, නමුත් මගේ දෑතින් දිනා නොගන්නා නිදහසක් මට අවශ්‍යය නැතැයි කියමින් මම ඒ නිදහස එකහෙළා ප්‍රතික්ෂේප කරමි.” යනුවෙන් සටන්කාමී ව්‍යාපාරයේ නායකයෙකු වූ බිපින් චන්ද්‍ර පාල්ගේ ප්‍රකාශය තුළින් ඔවුන්ගේ අභිප්‍රාය මනාව පැහැදිලි වේ.


සටන්කාමීන් තම අරමුණු දිනාගැනීම සඳහා ප්‍රධාන ක්‍රියාමාර්ග ලෙස ස්වදේශී, වර්ජන හා ජාතික අධ්‍යාපන යන උපක්‍රම අනුගමනය කරන ලදි. එමඟින් බ්‍රිතාන්‍යය නිෂ්පාදන වර්ජනය කිරීමටත්, රජය මඟින් පාලනය වූ පාසල් හා විද්‍යාල වර්ජනය කරමින් ජාතික අවශ්‍යතා අනුව බාල පරපුර හැඩගැස්සවීම සඳහා වෙනම අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමටත් කටයුතු කරන ලදි. පසුව නිදහස් ව්‍යාපාරයේ ජනප්‍රිය නායකයන් වූ භගත් සිං, බී. කේ. දත් හා රාජගුරු වැනි නායකයන් බිහි වූයේද එම ආයතන වලිනි.


ඉහත දැක් වූ ආකාරයට ඉන්දියානු සටන්කාමී ජාත්‍යයානුරාගී ව්‍යාපාරය ඉන්දියාවේ ජාතික නිදහස් අරගලයට නව අපක්‍රම හා නව ස්වරූප හඳුන්වාදෙමින් නිදහස් අරගලය ප්‍රාණවත් කරනු ලැබීය. එමඟින් ඉන්දියානු ජනතාව තුළ තම ආත්ම විශ්වාසයත් ආත්මාභිමානයත් වර්ධනය කරමින් නිදහස් අරගලයට අවශ්‍යය සමාජ පදනම සකසා දෙන ලදි. මෙලෙස ඉන්දියාවේ ජාතික ව්‍යාපාරය තුළ සටන්කාමී ජාත්‍යානුරාගයේ වර්ධනය විශ්ලේෂණය කළ හැකිය.






 


No comments:

Post a Comment