Sunday, 22 November 2020

පළමුවන රාජරාජ සහ රාජේන්ද්‍ර යටතේ චෝළ විදේශ ප්‍රතිපත්තිය




1. හැඳින්වීම.

1.1. චෝළයන්ගේ ඉතිහාසය.


2. චෝළයන්ගේ ස්වර්ණමය යුගය නැවත ආරම්භවීම.

2.1. පළමුවන රාජරාජ රජුගේ ක්‍රියාකාරීත්වය.

2.2. පළමුවන  රාජේන්ද්‍ර චෝළ රජුගේ ක්‍රියාකාරීත්වය.


3. චෝළයන්ගේ විදේශ වෙළඳාම.

4. අග්නිදිග ආසියාව දෙසට එල්ල වූ චෝළ බලපෑම්.

5. ලංකාවට එල්ල වූ චෝළ බලපෑම්.

5.1. ලංකාවේ චෝළ පාලනය පිළිබඳව ඇති මූලාශ්‍ර.

5.2. ලංකාවේ චෝළ බලය ව්‍යාප්ත වූ ආකාරය.


6. සමාලෝචනය.


 


1. හැඳින්වීම.


1.1.චෝළයන්ගේ ඉතිහාසය.


චෝළයෝ ඉන්දියාවේ දකුණු ප්‍රදේශය මුල්බිම් කරගත් ජන කොට්ඨාශයකි. චිරාගත චෝළ ප්‍රදේශ වන පෙන්නාර්, වෙල්ලාර් දෙනදිය අතර පිහිටි ප්‍රදේශයත්, වර්තමාන තන්ජෝර් පළාතත්, ත්‍රිචිනොපොලි පළාතත්, පෙර පැවති පුදුකොට්ට ජනපදයට අයත් කොටසකුත් දළ වශයෙන් මෙයට ඇතුළත් වේ.  චෝළයන් හෙවත් සොළීන් පිළිබඳ ආදිතම තොරතුරු සටහන්වන්නේ අශෝක ලේඛණයන්හිය. තවද ලංකාවේ වංශ කතාවලට අනුවද ක්‍රි. පූ. දෙවන සියවසේ මැද භාගයේදී පමණ ලංකාවේ උතුරු කොටස යටත් කරගත් එළාර නම් සොළී රජ කෙනෙකු ගැන තොරතුරු හෙලිවේ. චෝළ දේශය පිළිබඳව පැරණිම තොරතුරු අඩංගු මූලාශ්‍රයන් ලෙස “පෙරිපල්ස් ඔෆ් ද එරිත්‍රියන් සී” ( එරිත්‍රියන් මුහුදේ පෙරිපල්ස්) නැමැති පොතින්ද (ක්‍රි. ව. 60 පමණ), ටොලමි නම් පුරාණ තාරකා ශාස්ත්‍රඥයාගේ භූගෝල විද්‍යාව පිළිබඳ ප්‍රකට ග්‍රන්ථයෙන්ද ( ක්‍රි. ව. දෙවන සියවසේ මැද භාගයේදී පමණ) තොරතුරු පරිශීලනය කරගත හැක. තුන්වන සියවසේදී පල්ලවයන්ගේ නැඟී සිටීමත් පාණ්ඩ්‍යයන්ගේත් කේරළ පුත්‍රයන්ගේත් ආක්‍රමණ නිසා චෝළ බලය පිරිහෙන්නට විය. සත්වන සියවස මැද හරියේදී හියුන්සාන් නම් ප්‍රකට දේශාටක චීන භික්ෂුව දකුණු ඉන්දියාවට පැමිණ ඇත. හෙතෙම වතුරාවෙන් හා කැලෑවෙන් හා ගහන වූ පාළු අඩවියක් ලෙසින් සොළී රට දිටී. හේ රජුගේ නම සඳහන් නොකෙරේ. එහෙත් “ ජනගහනය ඉතා පිරිහී තිබුණු බවද, යුද භටයන්ද, මං පහරන සොරුන්ද රට පුරා ප්‍රසිද්ධියේම හැසිරුණු බවද” කියයි. නවවෙනි සියවසේදී සොළී බලය යළිත් නැඟී සිටියේය. 


චෝළයෝ නවවෙනි සියවසේදී පල්ලවයන්ගේ වැටීම තම වර්ධනය සඳහා අවස්ථාවක් ලෙස උපයෝගී කොටගත්හ. චෝළයන්ගේ පිරිහී තිබුණු බලය විජයාලය රජු (ක්‍රි.ව.846-871) විසින් යලිත් නංවාලන ලදි. මොහු මුලදී පල්ලවයන්ගේ යටත් රජෙකු වශයෙන් ඌරයි වූර් අසල රාජ්‍ය කිරීම ආරම්භ කොට පසුව පාණ්ඩ්‍යයන්ට හිතවත් රජවරුන්ගෙන් තන්ජෝරය අල්ලාගත් බවට විශ්වාස කෙරේ. එතැන් පටන් චෝළයන්ගේ අගනුවර වශයෙන් තන්ජෝරය පැවතිණ. විජයාලගේ පුත් පළමුවන ආදිත්‍ය ( ක්‍රි. ව. 871-907 ) චෝළ අධිරාජ්‍යයේ බලසම්පන්න රජකෙනෙක් විය. හෙතෙම අපරාජිත වර්මන් නම් පල්ලව රජු පරාජය කොට තොණ්ඩමණ්ඩලය අත්පත්කර ගන්නා ලදි. තවද ඔහු ගංගයන්ගේ අගනුවර වූ තල්කාඩය ඈඳා ගන්නා ලදි. පරන්තක රජුගේ රාජ්‍ය කාලයේදී ( ක්‍රි. ව. 907 - 953 ) පාණ්ඩ්‍යය දේශය ආක්‍රමණය කළෙන් රාජසිංහ නම් පාණ්ඩ්‍යය රජු ලංකාවේ උදව් පැතීය. ජයග්‍රාහක චෝළ රජු ලංකාවද ආක්‍රමණය කළමුත් එහිදී ජය ගත නොහැකි විය. චෝළ බල පරාක්‍රමය සීඝ්‍රලෙස පැතිරීම හේතුවෙන් රාෂ්ට්‍රකූටයෝ බියට පත් වූහ. තුන්වන ක්‍රිෂ්ණ රජු ගංග රජුගේද සහය ඇතිව ක්‍රි. ව. 949දී සිදුකරන ලද තක්කෝලම් ( උතුරු ආකෝට් පළාත ) සටනේදී සොළීන් පරදවා පරන්තක රජුගේ වැඩිමහල් පුතු වූ රාජාදිත්‍ය කුමරු ඝාතනය කරන ලදි. මේ දරුණු පහරින් තාවකාලිකව බලහීන වූ චෝළයන්ට තම තත්වය යළි ලබා ගැනීමට වසර 60ක පමණ පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. 










2.චෝළයන්ගේ ස්වර්ණමය යුගය නැවත ආරම්භවීම.


2.1.පළමුවන රාජරාජ රජුගේ ක්‍රියාකාරීත්වය.


චෝළයන් නැවත තම ප්‍රෞඩ ආධිපත්‍යය හිමිකර ගන්නා ලද්දේ පළමුවන රාජරාජ       (ක්‍රි. ව. 985 – 1016) රජුගේ කාලයේදීය. ඔහු චේරයන්ගේ නාවුක බලය විනාශ කොට චේර රාජධානියම තම ආධිපත්‍යය‍ට ගන්නා ලදි. මදුරාව ආක්‍රමණය කොට පාණ්ඩ්‍යය රජුව සිරභාරයට ගන්නා ලදි. ලංකාවද ආක්‍රමණය කිරීමෙන් රටේ උතුරු කොටස චෝල ප්‍රදේශයක් විය. තවද මයිසූරයේ විශාල කොටසක්ද ජයග්‍රහණය කරන ලදි. එම ජයග්‍රහණ හේතුවෙන් රාජරාජ චාලුක්‍යයන් හා නැවතත් ගැටුමක් ඇතිවිය. රාජරාජ රජු චාලුක්‍යය දේශය ආක්‍රමණය කළ නමුත් අවසානයේදී සත්‍යාශ්‍රය රජු විසින් නෙරපා දමන ලදි. එයින් පසුබට නොවූ රාජරාජ රජු වෙංගියේ පෙරදිග චාලුක්‍යය රාජධානියද ආක්‍රමණය කරන ලදි. ඔහුගේ ආධිපත්‍යය පිළිගත් වෙංගියේ විමලාදිත්‍යය, ජයග්‍රාහී රාජරාජ රජුට තම දියණිය විවාහ කර දෙන ලදි. තවද රාජරාජ රජු කාලිංඝය ජයග්‍රහණය කොට ලක්ක දිවයිනුත්, මාලදිවයිනුත් වශයෙන් හඳුන්වනු ලබන මුහුදේ 12000ක් පමණ දිවයින් අත්කර ගන්නා ලදි. ඔහුගේ රාජ්‍යයන් ඇතුලත මදුරාසි, ආන්ද්‍රා යන ජනපද මුළුමනින්මද, මයිසූරයේත්, කූගයේත් කොටස්ද, ලංකාවේ උතුරු කොටසද, තවත් මුහුදු දිවයින්ද විය. බලසම්පන්න නාවුක හමුදාවක් ඔහු සතු වූයෙන් එය උදව් කොට ගෙන ඔහු චෝළ සමුද්‍රීය අධිරාජ්‍යයේ පදනම පිහිටුවීය . 







2.2. පළමුවන  රාජේන්ද්‍ර චෝළ රජුගේ ක්‍රියාකාරීත්වය.

පළමුවන රාජේන්ද්‍ර රජවීමට පෙර සිටම පිය රජු වූ පළමුවන රාජරාජගේ පාලන කාර්යවල යෙදීම නිසා ලැබූ අත්දැකීම් හේතුවෙන් ඔහුට දක්ෂ සෙන්පතියෙකු මෙන්ම පාලකයෙකු වීමට හැකිවිය. 


පළමුවන රාජේන්ද්‍ර විසින් මෙහයවූ සටන් හා ඔහුගේ ජයග්‍රහණ පිළිබඳව විස්තර හා වර්ණනා ඔහුගේ අභිලේඛණවල සඳහන්වේ. රාජේන්ද්‍ර රජුගේ වැදගත් අභිලේඛණයක් වශයෙන් සැළකිය හැකි ක්‍රි. ව. 1024 වර්ෂයට අයත් තිරුමලෙයි ගිරි ලිපියෙන් ඉන්දියා අර්ධද්වීපය ලද ජයග්‍රහණ පිළිබඳව පූර්ණ ලැයිස්තුවක් ලබා ගත හැකිය. ඔහු විසින් යටත් කරන ලද ඉන්දියාවේ දකුණු ප්‍රදේශ වල‍ට අමතරව ශ්‍රී ලංකාවේ උතුරු කොටස, මාලදිවයින්, අරාබි මුහුදේ දිවයිනක් වූ සන්දිමන්තිවු ඔහුගේ අධිරාජ්‍යයට අයත්වෙයි .  


රාජේන්ද්‍ර රජුගේ අවධානය ඉන්දියාවෙන් පිටතටද යොමු වූ බව පෙනී යයි. ඒ අනුව ඔහු ඉන්දියානු සාගරයේ වෙළඳ ඒකාධිකාරය ලබා ගැනීම සඳහා යොමු විය. ඒ වනවිට ඔහු ලංකාවේ උතුරු ප්‍රදේශ යටත් කරගෙන සිටි අතර අග්නිදිග ආසියාවේ සමුද්‍රාසන්න රාජ්‍යයවලටද ආක්‍රමණ මෙහෙයවමින් සිටියේය. නිකොබාර් සහ ඉස්මුස් ඇතුළු දූපත් ගණනාවක් ඔහුට අයත් වූ අතර සංග්‍රාම විජයෝත්තුංග වර්මන් යටතේ පාලනය වූ ශ්‍රී විජය රාජ්‍යයට සුමාත්‍රාව, ජාවා හා මැලේ අර්ධද්වීපය අයත් වූ බව රාජේන්ද්‍රගේ අභිලේඛණ අනුව පෙනේ. රාජරාජ චෝළ රජුගේ කාලයේදී මාරවිජයෝත්තුංග වර්මන් රජතුමා චෝළ මණ්ඩලයේ නේගපතම්හි ඉදිකර තිබූ බෞද්ධ විහාරයට රාජේන්ද්‍ර රජුගේ අනුග්‍රහය ලැබිණ. චෝළ හා ශෛලේන්ද්‍ර රාජ්‍යය අතර මෙවැනි සම්බන්ධතාවයක් තිබියදීත් ක්‍රි. ව. 1025දී පමණ රාජේන්ද්‍ර රජතුමා කඩාරම් වෙත ආක්‍රමණයක් එල්ල කළේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිළි නැත. ඉතිහාසඥයන්ට අනුව චීනය හා අපරදිග ආසියාව අතර ඉන්දියානු සාගරය හරහා පැවති වෙළඳ ඒකාධිකාරය ලබා ගැනීම එහි අරමුණ වූවා විය හැකිය . 


3.චෝළයන්ගේ විදේශ වෙළඳාම.

           මුහුදින් එතෙර වෙළඳාම චෝළ අධිරාජ්‍යයේ හා එම වෙළඳුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය විය. නැගෙනහිර වෙරළේ පිහිටි මහාබාලිපුරම්, කාවේරිපට්ටනම්, කෝර්කායි යන තැන්වලද, මලබාර් වෙරළෙහි ක්විලොන්හිද, බටහිර මෙන්ම නැගෙනහිර දකුණු ඉන්දියා වෙළඳාම පාලනය කළ සංකීර්ණ වෙළඳ ආයතන පිහිටුවා තිබිණ. බටහිර ප්‍රදේශ සමඟ වෙළඳාම් කෙරූ නාවිකයන් ගමන් ගත්තේ පර්සියාව හා අරාබිය බලාය. ෆෝමෝසා ඉදිරිපිට මාබිමෙහි ඉන්දියා ජනපදයක් වූ බව විශ්වාස කෙරේ. මධ්‍යම ආසියාවය හා යුරෝපය සඳහා වූ භාණ්ඩද, විශේෂයෙන්ම දකුණු චීනයේ භාණ්ඩ සම්පූර්ණයෙන්ම වාගේ ගෙන යන ලද්දේ මුහුදිනි. රෙදි පිළි, කුළු බඩු, ඖෂධ, මැණික්, ඇත්දත්, අං, කළුවර හා කපුරු දකුණු ඉන්දියාවෙන් චීනයට යවන ලදි. බටහිරටද එම භාණ්ඩ නිර්යාත කරන ලදි. ඊට අමතරව සුවඳසුණු, සඳුන් හා කුළුබඩු තොගද සිරාෆ් නුවර ගොඩබාන ලදි. 


මේ වනවිට ඉන්දියාවේ බටහිර වෙරළේ වෙළඳුන් ලෙස ස්ථිර ලෙස බලය පිහිටුවාගෙන සිටි අරාබීන්ට කේර‍ළයෙහි පාලකයන්ගේ නොමද සහය ලැබිණ. අග්නිදිග ආසියා වෙළඳාමෙහිලා අරාබි තරඟය ගැන හොඳින් දැන සිටි චෝළයෝ මලබාරය සිය පාලනයට නතුකොට ගැනීමෙන් මේ තරඟයෙහි මුලටම පහර දෙන්නට තැත් කළෝය. පසුකලකදී අරාබි වෙළඳාමේ වැදගත් තැනක් හිමිකර ගත් මාලදිවයිනට පහර දෙන්නට හේතු වූයේද එම කරුණය. අරාබි වෙළඳාමට කෙලින්ම පහර ගැසීමට නොහැකි වුවත් එම වෙළඳාමේ තවත් මධ්‍යස්ථානයක් වූ ලංකාවටද ආක්‍රමණ මෙහෙයවීය. 


4.අග්නිදිග ආසියාව දෙසට එල්ල වූ චෝළ බලපෑම්.

අග්නිදිග ආසියාවේ ශ්‍රී විජය රාජ්‍යයට විරුද්ධව රාජේන්ද්‍ර රජු විසින් යුද හමුදාව මෙන්ම නාවික හමුදාවද මෙහෙයවමින් මුහුදින් එතෙර ගෙන ගිය යුද ව්‍යාපාරය ඉන්දියානු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ගනි. ශ්‍රී විජය රාජ්‍ය නම් මලයානු අර්ධද්වීපය, සුමාත්‍රාව, ජාවා රට හා අවට දිවයින පාලනය කරමින්, ඉන්දියාව හා චීනය අතර වැටුණු මුහුදු මාර්ග පාලනය කළ මුහුදුබඩ රාජධානියක් විය. අඩක් තානාපති සබඳකම් සඳහාද, අඩක් වෙළඳ කටයුතු සඳහාද චෝළ අධිරාජ්‍යයෙන් යැවූ දූතයෝ ක්‍රි. ව. 1016, ක්‍රි. ව. 1033 හා ක්‍රි. ව. 1077 යන වර්ෂ වලදී චීනයට සම්ප්‍රාප්ත වූහ. ශ්‍රී විජයට විරුද්ධව රාජේන්ද්‍ර කළ යුද්ධය ( ක්‍රි. ව. 1025 ) චීනයට යැවූ පළමුවන හා දෙවන දූත මෙහෙවර අතර කාලය තුළ සිදුවිය. මේ යුද්ධය චීන චෝළ සම්බන්ධය බිඳීමට ශ්‍රී විජය ගත් උත්සාහයක් නිසා සිදු වූවක්ද, නැතහොත් මුහුදින් එතෙර රටවලට තම දිග්විජය පතුරුවා ප්‍රසිද්ධියට පත් විමේ අපේක්ෂාවෙන් කරන ලද්දැක්දැයි කිව නොහැකි බව  නීලකණ්ඨ ශාස්ත්‍රී මහතා පෙන්වා දෙයි. නමුත් රොමිලා තාපර් පෙන්වා දෙන්නේ එය එසේ වී නම් යුද ව්‍යාපාරයෙන් පසුව ඈඳා ගත් ප්‍රදේශවල ඉන්දීය විජිත පිහිටුවීමට උත්සාහයක් දරනු ඇති බවයි. එසේම රට අභ්‍යයන්තරය අල්ලා ගැනීමටද උත්සාහයක්ද දරනු ඇති බවයි. මෙබඳු කිසිවක් සිදු නොවූයෙන් ඉන්දීය වාණිජ අභිමතාර්ථයන් කෙරෙහි කඩාරම් රාජ්‍යය මැදිහත් වීම වැළැක්වීම එහි අරමුණ වූ බව සිතාගත හැකි වූ බවයි.  


දසවන ශතවර්ෂය වනවිට චීනයත් දකුණු ඉන්දියාවත් අතර දියුණු වෙළඳාමක් පැවතිණි. ශ්‍රී විජය රාජ්‍යය ( දකුණු මලය අර්ධද්වීපය හා සුමාත්‍රාව ) සතු වූ මුහුදු ඔස්සේ නාවික ගමනාගමනය සිදුවිය. චීන ඉන්දියා වෙළඳාම ශ්‍රී විජය රාජ්‍යයෙන් අවසන් වන ලෙසද, එම භාණ්ඩ අවසාන වෙළඳපොළ කරා ගෙනයාම දේශීය අතරමැදියන් අතින් සිදුවන ලෙසද කටයුතු සැලසුවහොත් දේශීය වෙළඳුන්ට මෙන්ම ශ්‍රී විජය රාජ්‍යයටද ඉමහත් වාසි අත්වන බව එහි පාලකයෝ අවබෝධ කර ගත්හ. ශ්‍රී විජය පෙදෙසෙහි ඉන්දීය වෙළඳුන්ට මෙය තර්ජනයක් වූයෙන් චෝළ අධිරාජ්‍යයාද මෙයින් කුපිත විය. ඔහු මෙම වෙළඳාමේ ඵල විඳිමින් සිටින්නට ඇත. මෙහි ප්‍රතිඵලය නම් ශ්‍රී විජය කෙරෙහි එල්ල වූ ප්‍රහාරයකි. ශ්‍රී විජය රාජ්‍යයෙහි වාණිජ අභිමාතාර්ථයන් අනුව සළකා බැලූ කල චීන ඉන්දියා වෙළඳාමට අතපෙවීමට අදහස් කිරීම සාධාරණ වුවද මේ අවස්ථාවේ ගැටළුව විසදුනේ සෛනික බලය අනුවය.  


කඩාරම් ( කටාහ ශ්‍රී විජය රාජධානියේ අගනුවර ) කොල්ලකා මාරවිජයෝතුංග වර්මන්ගේ ඇවෑමෙන් රජ පැමිණි සංග්‍රාම විජේතුංග වර්මන් රජතුමා සිරභාරයට ගෙන මොලුක්කා සමුද්‍ර සන්ධිය අසබඩ යුදෝපාය අතින් වැදගත් තැන් කීපයක්ද චෝළ සේනාව විසින් අල්ලා ගන්නා ලදි. චෝළ ආධිපත්‍යය පිළිගන්නා පොරොන්දුව පිට එම රාජධානිය එහි පාලකයාට භාරදීමෙන් ආක්‍රමණය අවසන් වූ බව පෙනේ. හේතුව කුමක් වුවද එම යුද ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම සාර්ථක විය. කාලයක් යනතුරුම ඉන්දීය නැව් හා වෙළඳාම ශ්‍රී විජය රාජ්‍යය ඔස්සේ සුරක්ෂිතව ගමන් ගත් අතර චෝළ රාජධානිය හා ශ්‍රී විජය අතර කිට්ටු සම්බන්ධයක් තිබුණු බව ක්‍රි. ව. 1088 වර්ෂයේ සඳහන්වන සුමාත්‍රාවෙන් සොයාගන්නා ලද ශිලා ලිපි කැබැල්ලකින් පෙනේ.  


5.ලංකාවට එල්ල වූ චෝළ බලපෑම්.

ලංකාවේ අගනුවර අනුරාධපුරය ලෙස පැවති කාලයේ උතුරු ලංකාවේ ස්වකීය ආධිපත්‍යය පැතිර වූ චෝළයෝ සමකාලීන දක්ෂිණ භාරතයේ බලවත්ම රාජධානියට හිමිකම්ව සිටියහ. එම හේතුවෙන් අනුරාධපුර රාජධානියේ අවසානභාගය වනවිට දක්ෂිණ භාරතීය දේශපාලන ක්ෂේත්‍රයේ සමතුලිතතාවයක් ඇතිකරනු පිණිස පාණ්ඩ්‍යයනුත්, සිංහලයනුත් නැගී එමින් පැවති චෝළ බලයට විරුද්ධව සන්ධානගත වූහ. පාණ්ඩ්‍යයන් විසින් චෝළ රජුන්ට විරුද්ධව කරන ලද සටන් වලදී සිංහල රජු පාණ්ඩ්‍යයන්ට සහය වීමට ආධාර හමුදාද යවනලදි. මේ සටන් වලින් ඇතැම් අවස්ථාවල පරාජය වූ පාණ්ඩ්‍යය රජු ලංකාවට පැමිණ ආරක්ෂාවද ලබා ගන්නා ලදි. එබඳු සිදුවීම්වල අවසාන ප්‍රතිඵලයක් වූයේ සිංහල දේශයත්, පාණ්ඩ්‍යය දේශයත් දුර්වලව පැවති අවස්ථාවක උතුරු ලංකාව ආක්‍රමණය කර එහි චෝළ ආධිපත්‍යය පැතිරවීමයි. ක්‍රි. ව. 993දී පමණ රජරට ආක්‍රමණය කළ පළමුවන රාජරාජ එම වසරේ සිට සෑහෙන බලපෑමක් ලංකාවට ඇති කළේය. ඔහුගේ පුත් රාජේන්ද්‍ර චෝළ ක්‍රි. ව. 1017දී අනුරාධපුරයේ අවසාන රජු වූ පස්වන මිහිඳු රජු පරාජය කිරීමට සමත් විය.  


5.1.ලංකාවේ චෝළ පාලනය පිළිබඳව ඇති මූලාශ්‍ර.

චෝළ ආධිපත්‍යය ලංකාවේ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව හැදෑරීමට ඇති දේශීය මූලාශ්‍ර ප්‍රමාණවත් නොවේ. චූලවංශයේ 55 හා 56 පරිච්ඡේදවල චෝළ ආක්‍රමණ පිළිබඳව සඳහන් වෙතත් එය එතරම් ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. නමුත් ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබෙන පළමුවන රාජරාජ හා රාජේන්ද්‍ර චෝළගේ සෙල්ලිපි මඟින් ලංකාවේ චෝළ ආධිපත්‍යය පිළිබඳ සැළකිය යුත් තොරතුරු ප්‍රමාණයක් අවබෝධකර ගත හැකිය. එලෙස ආදාලවන ලාංකීය මූලාශ්‍ර අතර චෝළ සමයේ ලංකාවේ වාස්තු ශිල්පය හා මූර්ති ශිල්පය පිළිබඳ හැදෑරීමට ගොඩනැගිලි නටබුන් හා පුරාවිද්‍යාත්මක කැණීම් මඟින් සොයාගෙන ඇති පිළිම ආදියත්, මුදල් ක්‍රමය පිළිබඳ හැදෑරීමට ඇතැම් චෝළ රජුන්ගේ කාසිත් මූලාශ්‍ර වේ.  


5.2.ලංකාවේ චෝළ බලය ව්‍යාප්ත වූ ආකාරය.

ලංකාව ආක්‍රමණය කිරීමට චෝළ රජවරුන්ට හැකි වූයේ ඔවුන් සතුව තිබූ ශක්තිමත් නාවික හමුදාව අධාරයෙන්ය. ලංකාව ආක්‍රමණය කරන්නට ප්‍රධානතම හේතුව වන්නට ඇත්තේ ලංකාවේ ඇතිවන බලවත් රාජධානි චෝළ ආධිපත්‍යයට අභායෝග කරන්නට ඉදිරිපත් වීම විය හැකිය. මේ ආකාරයට සළකා බලන විට දකුණු ඉන්දියාවේ බලවත් වෙමින් පැවති චෝළ ආධිපත්‍යයට නුදුරින්ම තිබූ ලංකාවද යටත් වීම ස්වාභාවික සංසිද්ධියකි. එනම් ඔවුන්ට ලංකාව යටත් කර ගැනීමේ අභිප්‍රායක්ද තිබෙන්නට ඇත. 


පළමුවන රාජේන්ද්‍ර කාලයට අයත් තිරුවන් වෙලායු නම් ස්ථානයේ ඇති ප්‍රශස්තිය අනුව පළමුවන රාජරාජගේ ආක්‍රමණය පිළිබඳව මෙසේ සඳහන් වෙයි. “ රාම වානරයන්ගේ ආධාර ඇතිව මුහුද හරහා පාලමක් තනා මුවහත් ඊතල වලින් විද ඉමහත් දුෂ්කරතා මැද ලක් රජ මැරීය. එහෙත් මේ රජ රාවණාටත් වඩා බලවත්ය. ඔහුගේ බලවත් යුද හමුදාව නැව් වලින් සමුද්‍රය තරණය කර ලක් රජය ගිනි තැබීය.”  හතරවන මහින්දගෙන් පසු රජරට දේශපාලන ස්ථාවරත්වය ක්‍රමයෙන් පිරිහෙන්නට වූ අතර පස්වන මහින්ද රජුගේ කාලයේදී එය තවදුරටත් දුර්වල විය. පස්වන මහින්ද රජුට රටවාසීන්ගේ අයබදු ලබා ගැනීමට පවා නොහැකි වූ බව සඳහන් වේ. මේ නිසා වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් ඇති විය. කේරළයේ කුලී භටයන් තම වැටුප් ඉල්ලා රජ මැදුර වට කොටගත් බැවින් මහින්ද රජුට රුහුණට පලා යෑමට සිදු වූ බව දැක්වේ. මෙහිදී කේරළ හා කර්ණාටක කුලී භටයෝ බලවත් පිරිසක් ලෙස නැගී සිටියහ. මේ හේතු නිසා චෝළ රජුන්ට වඩාත් සාර්ථක ලෙස ලංකාව ආක්‍රමණය කරන්නට හැකි විය. චෝළයන් ලංකාව ආක්‍රමණයේදී එම කුලී හේවායන්ගේ වැඩි දෙනෙක් චෝළයන්ට පක්ෂපාතී විය. 


චෝළ දේශයේ සිට පැමිණි අශ්ව වෙළෙන්‍‍දෙක් ආපසු චෝළ දේශයට ගිය විට ලංකාවේ තත්වය ගැන චෝළ රජුට කීය. එවිට චෝළ රජු ලංකාව යටත් කර ගැනීමට බලවත් හමුදාවක් එවීය. “ රටවැසියාට හිරිහැර කරමින් ඔවුහු ගොඩබට ස්ථානයේ සිට රෝහණය බලා ගමන් කළහ.” මේ ප්‍රවෘත්තිය රාජරාජ සහ රාජේන්ද්‍ර ආක්‍රමණ විග්‍රහ කොට දැක්වෙන බව පෙනේ. 


දියිනට එල්ල වූ එම චෝළ ආක්‍රමණ කූටප්‍රාප්ත වූයේ පළමුවන රාජේන්ද්‍ර අධිරාජ්‍යයා විසින් ක්‍රි. ව. 1017දී රජරට යටත්කර ගනු ලැබීමෙනි. එසේ යටත් කරගත් ප්‍රදේශ චෝළ අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් බවට පත් වූ අතර එය “ මුම්මුඩිශෝළ මණ්ඩලම්” යනුවෙන් නම් කෙරිණ. චෝළ බලය පැතිරුණු සෑම තැන්හීම නව ආධිපත්‍යය සනිටුහන් කරමින් ස්ථාන නම් වෙනස් කෙරිණ. මෙය ලංකාවේද ඒ ආකාරයෙන්ම සිදුවිය. “ලංකා” , “ඊලාම්” විය. ඊටත් පසුව “ඊලමණ්ඩලම්”, “මුම්මුඩිශෝළ මණ්ඩලම්” විය.  මුම්මුඩිශෝළ යනු රාජරාජ අධිරාජ්‍යයා දැරූ විරුද නාමයකි. වසර 1500ක් තරම් වූ කාලයක් තුළ රටේ ප්‍රධාන අගනුවර වශයෙන් පැවති අනුරාධපුරය අතහැර චෝළයෝ ස්වකීය අගනුවර ලෙස පොළොන්නරුව තෝරාගන්නා ලදි. එයද රාජරාජගේ විරුද නාමයක් අනුව “ජනනාථ මංගලම්” යනුවෙන් නම් කරන ලදි. වෙල්ගම වෙහෙර “රාජරාජපුරම් පල්ලි” වශයෙන් හැඳින්වින. 


පොළොන්නරුව අගනුවර වශයෙන් තෝරාගැනීමට චෝළයන් පෙළඹූ කාරණා කීපයකි. දකුණු ඉන්දියාවෙන් ඔවුන්ට තර්ජන එල්ලවීමට තිබූ ඉඩකඩ ඉතා අල්ප වූ බැවින් ඔවුන්ට අනුරාධපුරයේ රැඳී සිටීම අත්‍යාවශ්‍යය නොවීය. ඊට අමතරව අනාගතයේදී ස්වකීය ආධිපත්‍යයට අභියෝග එල්ල විය හැක්කේ රුහුණු ප්‍රදේශයෙන් බැවින් ඒවා මැඩපැවැත්වීම‍ට ඇතැම් විට රුහුණු ප්‍රදේශ ජය ගැනීමෙන් මුළු දිවයිනම සිය අණසකට ගැනීමට පොළොන්නරුව පිහිටීම අතින් වඩා වැදගත් යෝග්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් චෝළයන් සිතන්නට ඇත. මන්දයත් රුහුණු රට හා රජරට වෙන් කළ මහවැලි ගඟ අසබඩ පිහිටි පොළොන්නරුව වඩා මධ්‍යස්ථව පිහිටා තිබීමයි. අනුරාධපුර අවදියේ පසුභාගයේදීම ඇතැම් සිංහල රජවරු පොළොන්නරුවේ සිට රට පාලනය කරන්නට විය. එකල පටන්ම එය කඳවුරක්ව පැවතිණි. පොළොන්නරුවට “කඳවුරු නුවර” යන පර්යාය නාමය යෙදී ඇත්තේ එබැවිනි.  පොළොන්නරුව දැවැන්ත වාරිමාර්ග හා කෘෂිකර්මාන්තය අතින් දියුණු වීමට පටන් ගත්තේ ක්‍රි. ව. පළවන සියවසේ සිටයැයි විශ්වාස කෙරේ. මහසෙන් රජතුමා එම ප්‍රදේශයේ මින්නේරිය වැව ඉදි කළේ තෙවන සියවසේ අවසාන දශක දෙක තුළදීය. එබැවින් චෝළයන් ස්වකීය පාලන මධ්‍යස්ථානය ලෙස පොළොන්නරුව තෝරා ගැනීම ස්වාභාවිකය. 


චෝළ පාලනය බොහෝදුරට යුදමය ස්වරූපයක් ගන්නා ලදි. පාලනය මෙහෙයවන ලද්දේ චෝළ අධිරාජ්‍යයා පත්කරනු ලැබ දිවයිනට එවන ලද සෙන්පතියෙකු විසිනි. ඉහළ නිලතලවලට චෝළ නිලධාරීන් පත්කරන්නට ඇති බවට විශ්වාස කළ හැකිය. ආක්‍රමණ වලදී යටත් කරගන්නා ප්‍රදේශවල සම්පත් තම මව් රටේ ප්‍රයෝජන සඳහා යොදාගන්නා ලදි. චෝළ අගනුවර වූ තන්ජෝර්හි පිහිටි ප්‍රකට දේවාලයක නඩත්තුව සඳහා රාජරාජ අධිරාජ්‍යයා ලංකාවේ ගම්වර කීපයක ආදායම වෙන් කළ බව ඔහුගේ 29වන රාජ්‍යය වර්ෂය‍ට (ක්‍රි.ව.1014) අයත් ලේඛණයක සඳහන් වී තිබේ . ඒ අනුව පෙනී යන්නේ මේ වනවිට චෝළ ආක්‍රමණවල අරමුණ වී තිබී ඇත්තේ හුදෙක් වස්තුව කොල්ලකෑමම පමණක් නොව දිවයින යටත් කර ගැනීමද විය හැකි බවයි. 


චෝළ අධිරාජ්‍යයා විසින් පත්කරන්නට යෙදුණු ප්‍රතිරාජයා ප්‍රමුඛ නිලධරයන් විසින් නියමිත කප්පම්, පුද පඬුරු ආදිය චෝළ අගනුවරට වාර්ෂිකව යැවීම නිසා මව් රටේ මැදිහත් වීමකින් තොරව ස්වකීය අභිමතය පරිදි රජරට පාලනය කිරීමට ඔවුනට හැකි වූ බව පෙනේ. පසුව දක්නට ලැබෙන පරිදි යුද ආධාර අවශ්‍යය වූ විට ඒවා දිවයිනට එවීමට චෝළ අධිරාජ්‍යයා ඉක්මනින්ම ඉදිරිපත් වූ බව පෙනී යයි. එසේ වුවද සාමාන්‍යය තත්වයන් යටතේ පොළොන්නරුවේ සිට පාලනය මෙහෙයවූ චෝළ සෙන්පතියාට නිදහසේ කටයුතු කිරීමට බොහෝදුරට බාධා නොතිබූ බව පෙනේ.










6.සමාලෝචනය.

චෝළ රජවරුන් අතර අතිශයින් ප්‍රකට වූවන් ලෙස පළමුවන රාජරාජ හා පළමුවන රාජේන්ද්‍ර යන රජවරුන් පෙන්වාදිය හැකිය.මොවුන්ගේ විදේශ ප්‍රතිපත්ති ගැන සැළකීමේදි එය ඉන්දීය ඉතිහාසයේ මුහුදින් එතෙර විශාලම අධිරාජ්‍යය බිහිකරනු ලැබූ යුගයක් ලෙස හැඳින්විය හැකිය. පළමුවන රාජරාජ ලංකාව යටත් කරගත් අතර පළමුවන රාජේන්ද්‍ර මහා නාවික හමුදාවක් යවා මාලදිවයින, බුරුමය, මලයාව හා සුමාත්‍රාව ඇතුළු ඉන්දුනීසියානු දූපත් යටත්කර ගන්නා ලදි. මෙම මුහුදින් එතෙර චෝළ අධිරාජ්‍යය නිර්මාණය වන්නට ඇත්තේ එකල පැවති නාවුක වෙළඳාමේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන වශයෙන් සැලකෙන භූමි ප්‍රදේශ මුල් කරගෙන බව විශ්වාස කෙරේ. මන්දයත් මෙකල චීනය, අග්නිදිග ආසියාව, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාව හා අරාබිය ප්‍රමුඛ මැදපෙරදිග කේන්ද්‍ර කොටගත් මුහුදු සේද මාර්ගය මේ ආශ්‍රිතව පැවතීමයි. ලංකාව හා අග්නිදිග ආසියාව පිළිබඳ චෝළ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ තොරතුරු යම්තාක් දුරට හෝ සොයාගත හැකි වුවත් අනිකුත් චෝළ ප්‍රදේශ පිළිබඳ (මාලදිවයින, බුරුමය හා චිනය ) තොරතුරු හා මූලාශ්‍ර ඉතා අල්ප වේ.


එලෙස නාවික මරමස්ථානවල බලය චෝළ ආධිපත්‍යයට නතුවීම තුළින් විශාල විදේශ ආදායමක් මෙකල චෝළ දේශයට ලැබෙන්නට විය. ඒ අනුව පෙනී යන්නේ ඉහත අරමුණු කේන්ද්‍ර කරගනිමින්  හි ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා පළමුවන රාජරාජ සහ රාජේන්ද්‍ර යන රජවරුන් යටතේ චෝළ විදේශ ප්‍රතිපත්තිය සකස් වු බවයි.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය


ඩේවිස්, සී. කොලින්., ඉන්දියානු අර්ධද්වීපයේ ඓතිහාසික සිතියම් පොත, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2014. 


තාපර්, රොමිලා., ඉන්දියාවේ ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2009.


බෂාම්, ඒ. එල්., අසිරිමත් ඉන්දියාව,  අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2012. 


රණවීර, සරත්., සංක්ෂිප්ත ඉන්දියා ඉතිහාසය, වාසනා ප්‍රකාශකයෝ, දංකොටුව. 2005.

ශාස්ත්‍රී, නීලකණ්ඨ., දකුණු ඉන්දියා ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2007.


සිංහ, නරේන්ද්‍ර කෘෂ්ණ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි., ඉන්දියා ඉතිහාසය - 1 කාණ්ඩය,  අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2007.


සිරිවීර, ඉන්ද්‍රකීර්ති., රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ 10. 2012.



ඉන්දියාවේ ඉතිහාසය - ඈත අතීතයේ සිට ක්‍රි. ව. 1206 දක්වා,  අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2007.


ශ්‍රී ලංකාවේ ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2007.

ශ්‍රී ලාංකේය ඉතිහාසය - වෙළුම 2: පරිච්ඡේදය 4, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 11. 2012.


ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය - පළමුවන කාණ්ඩය - දෙවන භාගය, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය, කැළණිය. 1972.


ශාන්ති මාසික සඟරාව 68, ලංකාවට එල්ල වූ චෝළ ආක්‍රමණ - බී. බී. පෙරමුණ, සංස්: පණ්ඩිත කෙරමිණියේ ජිනාන්ද ස්ථවිර, ශාන්ති ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව.  







No comments:

Post a Comment