දෙවන ශතවර්ෂයේ පටන් රෝම අධිරාජ්‍යයේ අභාග්‍යමත් කාලය උදාවිය. එය ම්ලේච්ඡ ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණවල ආරම්භය හෝ අවසානය නොවීය. එහෙත් එය ආක්‍රමණවල තීරණාත්මක මොහොත විය. ඊට පෙර ශතවර්‍ෂ ගණනාවක් තුළ වනචාරීන් හෝ ම්ලේච්ඡ ජාතීන් ලෙස රෝමන්වරුන් විසින් හඳුන්වන ලද ජන කණ්ඩායම් රෝම අධිරාජ්‍යයේ දේශසීමා සමඟ ගැටෙමින් සිටියහ. රෝම භට හමුදාවල ශක්තිය නිසාම ඔවුන්ට මුලදී ඒ සීමා කඩාබිඳගෙන රෝම අධිරාජ්‍යයට ඇතුළු වීමට නොහැකි විය. එහෙත් පසුව ශතවර්‍ෂ ගණනාවක් තුළ කණ්ඩායමෙන් කණ්ඩායම ආක්‍රමණ මෙහෙයවූ අතර එක කණ්ඩායමක් හැමවිටම කලින් ආ කණ්ඩායම තවත් ඉදිරියට තල්ලු කරමින් රයින් හා ඩැනියුබ් ගංඟා හරහා රෝම අධිරාජ්‍ය තුළට කඩාවදින්නට විය.
ගොත්, වැන්ඩල් ආදී ගෝත්‍රවලට අයත් මනුෂ්‍යයෝ කලින්කල රෝම අධිරාජ්‍යයට පහර දුන්හ. එසේ පිරිහෙමින් පැවති රෝම අධිරාජ්‍යය බටහිර හා නැගෙනහිර නමින් කොටස් දෙකකට බෙදන ලදි. ක්‍රි.ව.330දි මහා කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යා කොන්ස්තන්තිනෝපල් නුවර කේන්ද්‍රකොට ගනිමින් අළුත් පෙරදිග අධිරාජ්‍යයක් පිහිටුවීය. ක්‍රිස්තියානි ආගම වැළඳගත් මෙම අධිරාජ්‍යා ඒ ආගමට සිය අධිරාජ්‍යයේ ප්‍රමුඛස්ථානයක් ලබා දීමට මහත් ආයාසයක් ගත්තේය. නමුත් වරෙක හොඳ වූද වරෙක නරක වූද එහි ආණ්ඩු අස්ථීර විය.
තුන්වෙනි හා හතරවෙනි ශතවර්‍ෂවලදී ම්ලේච්ඡයෝ නොකඩවා රෝමානු අධිරාජ්‍යයට පහර දුන්හ. රයින් ගංඟාව හා ඩැනියුබ් ගංඟාව ඔස්සේ පැවති මෙම අධිරාජ්‍යයේ නැගෙනහිර සීමාවට පරසතුරන්ගෙන් මහත් පීඩනයක් ඇති විය. ෆ්‍රෑන්ක් ආදී ජර්මන් ගෝත්‍රිකයෝ රයින් ප්‍රදේශයද, නැගෙනහිර ගොත් ජාතිකයෝ දකුණු රුසියාවද ආක්‍රමණය කළහ. ඇලාරික් නැමැති රජු විසින් මෙහෙයවනු ලැබූ බටහිර ගොත් ජාතිකයෝ බෝල්කන් අර්ධද්වීපයේ පදිංචි වී ග්‍රීසිය හා ඉතාලියද ආක්‍රමණය කරන්නට පටන් ගත්හ. ක්‍රි.ව.410දී රෝම නගරයටද පහරදුන් මෙම බටහිර ගොත්වරු වැඩි කලක් ගතවන්නට පෙර ගෝල් ප්‍රදේශයේ හා ස්පාඤ්ඤයේ කොටස් අල්ලා ගන්නා ලදි.
වැන්ඩල්වරු හා වෙනත් ගෝත්‍රවල අය රයින් ගඟ තරණය කොට ගෝල් ප්‍රදේශය හරහා ගොස් ස්පාඤ්ඤයෙහි රාජ්‍ය පිහිටුවා ගත්හ. පසුව ඔවුහු ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධිය හරහා ගොස් රෝමන්වරුන්ට අයත්ව තිබූ අප්‍රිකානු විජිතද අල්ලා ගත්හ. ක්‍රි. ව. 493දී ගොත් ජාතිකයෙක් ඉතාලියේ පාලක තනතුරටද පත්විය.
රෝමය බිඳවැටීමෙන් පසු මුළු බටහිර අධිරාජ්‍යයේම ආරවුල් ඇති විය. නමුත් නැගෙනහිරින් අළුත් ශිෂ්ටාචාරයක් ගොඩනැගී තිබුණි. බයිසන්තියන් අධිරාජ්‍ය නැතහොත් නැගෙනහිර රෝම අධිරාජ්‍ය මූලික වෙමින් එය ක්‍රියාත්මක විය. නමුත් රෝමය අවට වූ යුරෝපයෙහි ජීවන තත්වය ඉතා කටුක විය. අපිරිසිදු ජනාකීර්ණ නගරවල භයානක ලෙඩ රෝග පැතිරිණ. දහස් ගණන් ජනයා මරුමුවට පත්විය. ඉතිරි වූ ජනයා අසතුටින් කල් ගෙවූහ. පුරුෂයන්ට රැකියාවන් නොමැති තරම් විය. ළමුන්ට පාසල් නොමැති තරම් විය. නිතර ආහාරද හිඟ විය. බොහෝ දෙනාට නිවාස පවා නොමැති විය. සොයාගත හැකි ආහාර සොරකම් කරමින් ඔවුහු ගම්බද ප්‍රදේශවල සැරිසැරූහ. කිසිවෙකුටවත් ආරක්ෂාවක් නොමැති විය.
යුරෝපයේ සහ තදාසන්න ආසියාවේද දීර්ඝ කාලයක් සාමය ආරක්ෂාකරන ලද්දේ රෝම යුද හමුදාව විසිනි. දේශසීමාවල ඔවුන් විසින් මුරකරන ලද බලකොටු මාලාවද හිස්විය. ඒවා ගරා වැටෙමින් පැවතිණි. දිගු කලක් රෝම හමුදාව විසින් නවත්වාගෙන සිටි ගෝත්‍රිකයෝ ඉහත සඳහන් කළ ආකාරයට සෑම දිශාවෙන්ම දේශසීමා හරහා ගලා එන්නට වූහ.
අධිරාජ්‍යයේ උතුරු සීමාවල වාසය කළේ බ්‍රිටන්වරුන්ය. එම දිවයින්වල අනෙකුත් කොටස්වල සිටි අයිරිෂ් සහ ස්කොට් ජාතික වනචාරී ගෝත්‍රිකයෝ ඔවුන්ට පහර දෙන්නට වූහ. යුරෝපයේ මුහුදු සංචාරකයෝ නොහොත් වෛකින්වරු මුහුදුබඩ නගරවලට කඩා පැන්නෝය. ක්‍රමක්‍රමයෙන් බ්‍රිටන්වරු පැරණි රෝමන් නගර විනාශකර දමන ලදි. නැතහොත් පාළුවට ගොස් ගරාවැටෙන්නට ඉඩහරින ලදි. ඔරු පිටින් උතුරු යුරෝපයේ සිට ඇංග්ලෝ සැක්සන් ජාතිකයෝ පැමිණෙන්නට වූහ. කල්යාමට ප්‍රථම ඔවුහු ගම්බද ප්‍රදේශ වැඩි කොටසක් අල්ලා ගැනීමට සමත් විය. එංගලන්තය යන නම ලැබුණේ ඒ අන්දමටය.
වනචාරී ගෝත්‍රිකයන් සේ හැඳින්වූ මෙම විවිධාකාර ජන කණ්ඩායම් වලින් කරගෙන යනු ලැබූ ආක්‍රමණ මාලාව මිනිස් ඉතිහාසයේ මෙන්ම සමාජ පරිණාමයේත් අභිරහස් සිද්ධියකි. මෙතරම් විවිධාකාර වූද මෙතරම් විශාල වූද ගෝත්‍රික ජන සමූහයක් එකතැනක සිට තවත් තැනකට සංක්‍රමණය වීමේ ඓතිහාසික සිද්ධිය ඊට පෙර හෝ පසුව අසන්නට ලැබී නැත. රෝම අධිරාජ්‍යය ඉන් දෙදරුම් කෑවේය. යුරෝපය නැවත සන්සුන් ස්ථාවර තත්වයකට පැමිණීයේ තවත් ශතවර්‍ෂ හයකට පමණ පසුවය.
මෙම ම්ලේච්ඡ කණ්ඩායම් අධිරාජ්‍යයට ඇතුළු වූයේ එය වැනසීමේ අරමුණින්ම නොවේ. එය තුළ වූ සම්පත් භුක්ති විඳීමේ අරමුණින් පමණි. අධිරාජ්‍ය වාසීන්ගේ තැන්පත් ජීවන රටාවද, සෞභාග්‍යයද එම ආක්‍රමණිකයන්ට පුදුම දනවන සුළු විය. එයින් ඵල ප්‍රයෝජන ගැනීමට ඔවුන්ටද ඕනෑ විය. ඔවුන් පැමිණියේ කුඩා කණ්ඩායම් වශයෙන්ද නොවේ. පෙරමුණේ සිටියේ යුද භටයෝය. ඔවුන්ට පිටුපසින් තම එළු බැටළු පට්ටීන්ද දක්කාගෙන ගැහැණු පිරිමි විශාල සංඛ්‍යාවක් තම දූ දරුවන්ද සමඟ පැමිණියහ. විවිධ මාර්ගවල ගමන් ගනිමින් ඔවුහු පෙර සඳහන් කළ ආකාරයට ප්‍රංශයට, ඉතාලියට, ස්පාඤ්ඤයට, අප්‍රිකාවට ඇතුළු වූහ. වැන්ඩල්වරු, බර්ගන්ඩියන්වරු, ෆ්‍රෑන්ක්වරු, ලොම්බාඩ්වරු යන විවිධ නම්වලින් ඔවුහු තම තමන් හඳුන්වා ගත්හ. රන් පාට කෙස් කළඹකින්ද, නිල් පාටට බර ඇස්වලින්ද, උස මහත සිරුරකින් යුතු එම ගෝත්‍රිකයෝ රෝම භටයන් සමඟ සෑම තැනකදීම නිර්භීතව සටන් කළහ. රෝම භටයන්ගෙන් විරෝධයක් ඇති නොවූ විට එම ගෝත්‍රිකයන් එක් එක් පළාත් යටත් කරගෙන එම පළාත්වල පැලපදියම් වෙමින් ඒවායේ කුඹුරුවලින් ලත් අස්වනු එම පළාත්වාසීන් සමඟ එක්ව බෙදා ගත්හ.
එහෙත් ම්ලේච්ඡ ජාතීන් පදිංචි වූ හැමතැනකම පාහේ කාලාන්තරයක් තුළදී ක්‍රමවත්ව ගොඩනගාගෙන තිබූ රෝම සංස්කෘතිය සීඝ්‍රයෙන් පිරිහෙන්නට විය. එසේ වූයේ එම මහඟු සංස්කෘතිය විනාශකර දැමීමට ආක්‍රමණකාරී ගෝත්‍රිකයන්ට ඕනෑකමක් තිබුණ නිසාම නොවේ. ඔවුන්ගේ නොදැන්වත්කම නිසාය. වගා කටයුතු පිළිබඳ ඔවුන්ට කිසිම අවබෝධයක් තිබුණේ නැත. සශ්‍රීක ඉඩම් ඔවුන් පාළු වෙන්නට ඇරියහ. රෝම ජල මාර්ග නඩත්තු කිරීමටද ඔවුන් දැන සිටියේ නැත. රෝම මහාමාර්ගවල වල් වැවෙන්නට විය. බටහිර ගොත්වරුන්ගේ නායකයා වූ ඇලාරික් විසින් ක්‍රි.ව. 410දී රෝම නගරය අල්ලා ගත් නමුත් එම ජයග්‍රහණයෙන් පසු කුමක් කළයුතුද කියා ඔහුටද අවබෝධයක් තිබුණේ නැත. අං දෙකකින් යුත් යකඩ හිස් වැස්මක් පැළඳගෙන සිටි ඔහුගේ සෙබළුන්ට අවට තිබුණු හැම දෙයක්ම කොල්ලකන්නට ඉඩ දෙමින් දින හයක් පුරා නගරයේ මහාමාර්ග ඔස්සේ සැරිසරන්නට ඉඩදෙන ලදි. එම සතිය අවසානයේදී ඔහුද, ඔහු සමඟ වූ ගෝත්‍රික පිරිසද නගරය අතහැර දමා කෑම සොයා ගැනීම සඳහා වෙනත් නගරවලට සංචාරය කරන්නට පටන් ගත්හ.
රෝම අධිරාජ්‍යයේ අවසානය කියාපාන පූර්ව මධ්‍යතන යුගය හෙවත් අඳුරු යුගය කෙටි එකක් නොවේ. එය ශතවර්‍ෂ කීපයකින් යුක්ත වූවකි. එම කාලය තුළ යුරෝපය විවිධ ගෝත්‍රික කණ්ඩායම්වලින් පාලනය වූ පාළාත් රාශියකට කැඩී බිඳී ගියේය. එසේ වූවාට පසු අධිරාජ්‍යයේ බටහිර කොටසේ පාලන තන්ත්‍රය ක්‍රමිකව අක්‍රීය වී ගොස් සම්පූර්ණයෙන්ම ඇණහිටින්නට විය. මුර සේවයේ යෙදී සිටි හැම සේනාංකයක්ම කොන්ස්තන්තිනෝපලයේ ආරක්ෂාවට ගෙනයනු ලැබීමත් සමඟ රාජ්‍ය නිලධාරීහුද ඔවුන් අනුවම ගියහ. දුෂ්කරතා මැද වුවද සභා පාලනය පමණක් නොවෙනස්ව දිගටම ක්‍රියාත්මකවන්නට විය. බොහෝ ප්‍රදේශවල පාලන බලයේ එකම සංකේතය වූයේ එම ප්‍රදේශයේ රදගුරුතුමාය. නීතිය හා සාමය රැකුණ පැරණි සමාජය සමඟ ජනයා යම් තරමක් දුරට හෝ එක්වූයේ ඔහු තුළින්ය. සාමාන්‍යය ජනයා වෙත එකපිට ආ විපත්වලින් සුළු සහනයක් හෝ පතන්නට ඔහු හැර වෙන කිසිවෙක් නොවීය.
රෝමය තුළම පාප්තුමා එම නගරයේ සභානායකයා පමණක් නොව එහි ආරක්ෂකයා හා ජන නායකයා ලෙසද සැලකෙන්නට විය. ක්‍රි. ව. 452දී අතිශයින්ම රෞද්‍ර වූද කුරිරු වූද ගෝත්‍රයක් සේ සැලකෙන හන්වරුන්ගෙන් රෝම නගරයට තර්ජනයක් එල්ල විය. දේව ශාපය යනුවෙන් නිග්‍රහාත්මකව හඳුන්වනු ලැබූ අටිල්ලා ඔවුන්ගේ නායකයා විය. එම අවස්තාවේ රෝමයේ රදගුරුතුමා වූ පළමුවන ලියෝ පාප්තුමා ඔහු වෙත නිර්භීතව ගොස් එම නගරයට කරුණාව දක්වන මෙන් ඉල්ලා සිටියේය. ම්ලේච්ඡ නායකයා එම ශාන්ත වයසක මිනිසා ගැන පැහැදී සුළු මුදලක් පමණක් ලබාගෙන නැවත හැරී යන ලදි. එතැන් සිට පාප්තුමා රෝම පුරයේ ඒකීය නායකයා බවට පත් වූ අතර අනාගතයේදී එළඹෙන්නට තිබූ පාප් අධිරාජ්‍යයට පදනමද දමන ලදි.
ගෝත්‍රික ආක්‍රමණ නිසා රෝම අධිරාජ්‍යයට එල්ල වූ මරු පහර මුල් කරගෙන අඳුරු යුගය නමින් හැඳින්වෙන්නට වූ පූර්ව මධ්‍යතන යුගය ලෝක ඉතිහාසය තුළ මෙන්ම බටහිර සමාජය තුළද කථාබහට ලක්වන මාතෘකාවකි. බටහිර යුරෝපය තුළ පූර්ව මධ්‍යතන යුගයේදී ක්‍රිස්තියානි ධර්මය අනුක්‍රමයෙන් සමාජ ආරක්ෂණ රාජ්‍ය පාලන ක්‍රමයක් බවට පත්වන්නේද, සංවිදිත වූ රෝම පාලනය ගෝත්‍රික ආක්‍රමණ හේතුවෙන් බිඳවැටීමත් සමඟය. එමඟින් කලින් ධර්ම දේශකයන් පමණක් වූ පූජකවරු බටහිර යුරෝපය තුළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් බවටද පත්විය.
රෝම අධිරාජ්‍යයට කඩාවැදුණු ගෝත්‍රික ජනයා බටහිර රෝම අධිරාජ්‍ය පෙර සදහන් කළ ආකාරයට යටත් කරගනිමින් තම ජනාවාස පිහිටුවා ගත් අතර එම ප්‍රදේශවල ව්‍යාප්තව පැවති රෝම පාලන ක්‍රමයත් හා සංස්කෘතියත් යටපත්කොට ඒ වෙනුවට තමන්ගේ සංස්කෘතිය හා ගෝත්‍ර භාෂා ඒ ප්‍රදේශවල ස්ථාපනය කරන්නට විය. එසේ වුවත් එවකට යුරෝපය පුරා ව්‍යාප්තව පැවති ක්‍රිස්තු සභා සංවිධානය බිඳ දැමීමට අසමත් වූ ඔවුහු ඒ වෙනුවට ක්‍රිස්තු ධර්මය වැළඳ ගත්හ. ඒ අනුව පස්වන සියවසේ සිට නවවන සියවස දක්වා වූ පූර්ව මධ්‍යතන යුගය ක්‍රිස්තු ධර්මය පදනම් කරගත්, රෝම ශිෂ්ටාචාරයේ අභාෂය ලැබූ, ගෝත්‍ර ජනතාවට ආවේණික ලක්ෂණවලින් යුතු වූ අළුත් සභ්‍යයත්වයක් යුරෝපය තුළ වර්ධනය වන්නට විය. යුරෝපයේ විවිධ ප්‍රදේශවල පදිංචි වූ විවිධ ගෝත්‍රවලට විශේෂ වූ ඇතැම් ලක්ෂණ තිබුණද පොදුවේ ගත් කළ සියළුම ගෝත්‍රිකයන්ගේ ආවේණික ලක්ෂණ බොහෝදුරට සමාන විය. එකී සමාන දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික යන රටා සියල්ලටම පොදු වූ ක්‍රමය ලෙස සැලකෙන වැඩවසම් ක්‍රමයට පදනම එසේ සකස් විය.
පූර්‍ව මධ්‍යතන යුගය අඳුරු යුගයක් සේ සැලකීමට තවත් හේතුවක් වන්නේ එම කාල වකවානුවේ අවසාන භාගය පමණ වනවිට මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් නැවතත් බටහිර යුරෝපය අභාවයට යාමයි. ක්‍රි. ව. 8වන සියවස පමණ වනවිට ම්ලේච්ඡ ගෝත්‍රික යුගය ක්‍රමිකව අවසන් වෙමින් ඉහත සඳහන් කළ ආකාරයට වැඩවසම් සමාජයක් ගොඩනැගෙමින් පැවතිණි. රෝම යුගයේදී මෙන් වෙළඳ හා වාණිජ කටයුතු පිළිබඳව අවධානයක් යොමු නොවූ අතර නගරවලටද වැදගත්කමක් නැති විය. මොරවින්ජියන් හා කැරොලීජියන් රාජ පරම්පරා යටතේ නැවත වරක් යුරෝපය එක්සත් කරමින් සාමය උදාකරන ලදි. පසුව ශුද්ධ රෝම අධිරාජ්‍ය ලෙස හැඳින්වූ එම අධිරාජ්‍ය ගොඩනඟන ලද්දේ චාලිමේන් නැමැති රණකාමියා විසිනි. නමුත් ඔහුගෙන් පසු බලයට පත් වූ පාලකයන් දුර්වලවීමත් යුරෝපයට මුස්ලිම් ආක්‍රමණ එල්ලවීම හේතුවෙන් නැවත බටහිර යුරෝපය තුළ අරාජිකත්වය රජ කරන්නට විය.
යුරෝපයේ අන්ධකාර යුගයක් ඇති වීමේ හේතුව ගෝත්‍රික ආක්‍රමණ පමණක්ම නොවන බව ඇතැමුන්ගේ මතයයි. තවද ක්‍රිස්තු ධර්මයේ ව්‍යාප්තියද මෙයට හේතු වූ බව තවත් අයගේ මතයක් වී ඇත. ඔවුන් එසේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේම ධර්මය අදහස් කරගෙන නොවේ. ඔවුන් එසේ කියන්නේ කොන්ස්ටයින් නැමැති අධිරාජ්‍යා විසින් රාජ්‍ය ආගම බවට පත්කරන ලද ක්‍රිස්තු නිකාය අරමුණු කරගෙනය. කොන්ස්ටයින් අධිරාජ්‍යා විසින් ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම බවට පත්කිරීම හේතු කොටගෙන අඥාණභාවයෙන්, අවිචාර බුද්ධියෙන් හා වහල් සිතුවිල්ලෙන් දියුණුවක් නැතිව පරිහාණියම දුටු දහස් අවුරුද්දක් උදා වූ බව සමහරුන්ගේ මතයයි. මේ හේතුවෙන් මිත්‍යා විශ්වාස, අන්ධ භක්තිය හා අසහනය ඉතිරී පැතිරී ගිය අතර විද්‍යාව අතින් හා වෙනත් නොයෙක් අතින් ඇතිවිය හැකිව තිබුණු අභිවෘඬිය ඇණහිටි බවට ප්‍රකට සත්‍යකි.
ශුඬ පොත් බොහෝ විට අභිවෘඬියේ මාරක බාධකය බවට පත්විය. ලෝකය ඒ සමයේ කොතරම් අඳුරකින් පැවතියේදයත් ඒ සමයේ ලියවුණු පොත්පත්වල එන පුවත්වලින්ද සනාථ වේ. එම යුගයේ අදහස් උදහස් හා සිරිත් විරිත් මෙම පොත්පත්වලින් එළිදරව් වේ. ශුද්ධ ග්‍රන්ථවල ලියවී ඇති හෙයින් එම අදහස්වලට විරුද්ධව මත ප්‍රකාශ කිරීමේ අයිතියක්, ශක්තියක් හෝ බලයක් එකල යුරෝපයේ කිසිවෙකුට නැතිවිය. දියුණුවන ලෝකයත් සමඟ, වෙනස්වන ලෝකයත් සමඟ එකල ජනතාවගේ අදහස්වලටත් දියුණුවන්නට හෝ වෙනස්වන්නට ඉඩ ප්‍රස්ථාවක් නොලැබිණ.
යුරෝපය පුරා මෙවැනි ඝන අඳුරක් ඇති කිරීමේ වරද ක්‍රිස්තු ලබ්ධිය විසින් කරන ලද්දක් බවට සමහර ඉතිහාසඥයන් ගෙනහැර දැක්වූවත් තවත් සමහර ඉතිහාසඥයන්ගේ මතය වී ඇත්තේ එම අන්ධකාර යුගයේදී ඥාණාලෝකය දල්වා ශාස්ත්‍ර ඥාණයේ මිණි පහන් නොනිමා දල්වන ලද්දේ ක්‍රිස්තු ලබ්ධියේ පූජක පක්ෂය විසින් බවයි. කලා ශිල්ප ඔවුන් විසින් පවත්වාගෙන එන ලද බවත් ප්‍රශස්ථ ග්‍රන්ථ ඔවුන් විසින් ආරක්ෂා කරගෙන එන ලද බවත් එසේම එම පොත පත ඉමහත් වූ ආයාසයකින් පිටපත්කරන ලද බවත් ඔවුහු ඉඳුරාම ප්‍රකාශ කරති.
කෙසේවෙතත් අවසාන වශයෙන් එළඹිය හැකි නිගමනය වන්නේ රෝම අධිරාජ්‍ය පිරිහීමට පෙර සිටම එනම් ගෝත්‍රික ආක්‍රමණ එල්ලවීමට පෙර සිටම බටහිර යුරෝපයේ ව්‍යාප්ත වූ ආගමික මතවාද මඟින් ජනතාවගේ සිතුම් පැතුම් සීමා කිරීම නිසා එම ප්‍රදේශවල අදුරු යුගයකට අවශ්‍ය පසුබිම සකස් වූ බවයි. පසුව ගෝත්‍රික ආක්‍රමණ එල්ලවීමත් සමඟ ජනතාවට නව ආකල්ප සම්බන්ධයෙන් අවධානයක් යොමුකිරීමට නොහැකි වූ අතර යුද කලකෝලාහලවලට මැදිවීමට සිදුවිය. අවසානයේ ශ්‍රේෂ්ඨ සභ්‍යයත්වය බිඳවැටී නොදියුණු ගෝත්‍රික ආකල්ප සමඟ පීඩාකාරී ආගමික සංකල්ප මුසුවීමෙන්, විද්‍යාව වෙනුවට අවිද්‍යාවටත්, බුද්ධිය වෙනුවට භක්තියටත් ප්‍රමුඛත්වය දුන් බටහිර යුරෝපයට හා එහි ජනතාවට පූර්ව මධ්‍යතන යුගයේදී අඳුරු අවධියක අමිහිරි අත්දැකීම් අත්විඳින්නට සිදුවිය.
No comments:
Post a Comment