Sunday, 22 November 2020

යුරෝපයේ ජාතිකවාදී හා ලිබරල්වාදී ව්‍යාපාරයන්ගේ වැඩීම හා 1848 විප්ලවය.

 


හැඳින්වීම

    1766 බොස්ටන් තේ සාදයෙන් ආරම්භ වී ජයග්‍රහණයෙන් අවසන් වූ ඇමරිකන් විප්ලවයේ ආභාෂය ප්‍රංශ විප්ලවයේ පුරෝගාමීන්ට මාර්ගෝපදේශයක් විය. එකල බ්‍රිතාන්‍යය පාලනය කල තුන්වන ජෝර්ජ් රජුගේ අත්තනෝමතික පාලනයට විරුද්ධව ඇමරිකාවේ ඉංග්‍රීසි ජනපද 13ක වැසියන් බ්‍රිතාන්‍යය පාලනයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කරගැනීම ආදර්ශයට ගත් ප්‍රංශයේ ජනතාව එකල ප්‍රංශයේ පැවති අසහාය ඒකාධිපති පාලනය බිඳදමා 1789දී විප්ලවයක් දියත් කරමින් 16වන ලුවී රජු ඝාතනය කරන ලදි. 


    1789දී ඇති වූ ප්‍රංශ විප්ලවයේ අරමුණ වූයේ රාජවංශිකයන්ගේ “ඒකාධිපතිවාදය”( Absolutism ) නැතිකිරීමයි. නමුත් විප්ලවය අතරතුර එම විප්ලවවාදීන් අන්තවාදීන් වී ප්‍රංශය තුළ 1792දී භීම සමය ආරම්භ වූ අතර ප්‍රසියානු හා ඔස්ට්‍රියානු හමුදා ඒකාබද්ධව ප්‍රංශ විප්ලවය අසාර්ථක කිරීමේ අරමුණින් ප්‍රංශය වෙත ආක්‍රමණයක් මෙහෙයවන ලදි. එයින් කුපිත වූ විප්ලවකාරී හමුදාව 1792 සිට 1799 දක්වා ප්‍රංශයේ පුළුල් ජන සහභාගීත්වයක්ද සමඟව යුරෝපයේ රාජාණ්ඩු සමඟ යුද කරන ලදි. එය ප්‍රංශ විප්ලවයේ දෙවන අවස්ථාව ලෙස හඳුන්වනු ලැබේ. එම යුද්ධ බොහෝමයකදී ප්‍රංශය ජයග්‍රහණය කළ අතර එම හමුදා මෙහෙයවූ නැපෝලියන් බොනපාට්ට එහි ගෞරවය හිමි විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ප්‍රංශයේ නායකත්වය නැපෝලියන්ට හිමිවීමත් යුරෝපයේ රටවල් සමඟ යුද්ධ කිරීම ඔහුට පැවරීමත්ය.


    නැපෝලියන්ගේ යුද ව්‍යාපාරය පසුකාලීනව අසාර්ථක වුවත් මුල්කාලීනව ඔහු ලැබූ ජයග්‍රහණ හේතුවෙන් නැපෝලියන්ගේ ප්‍රගතිශීලී අදහස් මෙන්ම ප්‍රංශ විප්ලවයේ මතවාදයන්ද පෙරටත් වඩා වේගයෙන් යුරෝපයේ අනිකුත් රටවල් පුරා ව්‍යාප්ත වන්නට විය. එබැවින් නැපෝලියන්ගේ ඇවෑමෙන් ප්‍රංශයට මෙන්ම සමස්ත යුරෝපයටම විශාල ගැටළුවලට මුහුණ දෙන්නට සිදුවිය. නැපෝලියන්ගේ යුද ව්‍යාපාර හේතුවෙන් යුරෝපා සිතියමද විශාල ලෙස වෙනස් වූ අතර යුරෝපයේ රටවල්වල පාලන තන්ත්‍රය පිළිබඳව නව මූලධර්ම ඇතිවන්නට විය. එය පසුකාලීනව යුරෝපයේ ඇති වූ විප්ලව රැල්ලේ අළු යට තිබූ ගිනි පුපුරු මෙන් විය. එනම් ජර්මනිය එක්සත්වීම, ඉතාලිය එක්සත් වීම, ග්‍රීසියේ ස්වාධීනත්වය දිනා ගැනීම, ඔස්ට්‍රියානු අධිරාජ්‍ය විනාශ වී යාම ආදියට නැපෝලියානු යුගයේදී පදනම සකස් වූ බැවින් ඔහුගේ ආක්‍රමණ නිසා යුරෝපයට නව යුගයක් උදාවූයේ යැයි පිළිගැනීමක් ඇත. 

    මෙම පැවරුම මඟින් නැපෝලියන්ගේ පරාජයෙන් පසු යුරෝපයේ ඇති වූ ප්‍රධාන දේශපාලන මතවාදයන්වන ජාතිකවාදී හා ලිබරල්වාදයන්ගේ වැඩීමත් හා 1815 වියානා සම්මුතියේ සිට යුරෝපයේ ඇති වූ නොසන්සුන්තාවයත්, 1848 විප්ලවය පිළිබඳවත් තොරතුරු දක්වා ඇත. 


1. ජාතිකත්වවාදය (Nationalism)

    ජාතිකත්වය හෙවත් ජාතික මමත්වය නැතහොත් ජාතිකානුරාගය යනු කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුළ වෙසෙන්නා වූ ජන කොටසක් සිය පොදුභාවය පදනම් කොටගෙන ස්වකීය අනන්‍යතාව ගොඩනැගීමේදී සමස්ත ජනතාවම එකම ජාතිකත්වයක් තුළට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ මතවාදයයි. ‍ඓතිහාසික වශයෙන් පොදු උරුමයකට හිමිකම් කියන්නා වූද ඒ නිසාම පොදු වාර්ගික, භාෂාමය, ආගමික උරුම හා සිරිත් සමුදායකින් එකට බැඳුනා වූද එසේම පොදු ආර්ථික අවශ්‍යයතා මත පදනම්ව ක්‍රියාත්මක වන්නාවූද සංකල්පයකි. ජාතිකත්වවාදයෙන් ජනිත කරවනු ලබන පොදු හැඟීම් මඟින් කිසියම් දේශයක් තුළ සිටින ජනතාවගේ විවිධාකාර වූ සිතැඟි ඉටුකර දීම කළ හැකි වේ. එසේම එම අවබෝධය මත පදනම් වන එක්සත් හැඟීම් නිසා ජනතාවගේ නිදහස වර්ධනය කරගැනීමට හිතකර වූ පරිසරයක් ගොඩනැගීමට හැකිවේයැයිද විශ්වාස කෙරේ. මේ තත්වය සලකා බලන කළ ජාතිකත්වවාදය අන් සියලු මතවාද වලට වඩා ප්‍රබල වූද සමාජය පුරා පැතිර යාමේ ආවේණික ස්වභාවයකින් යුක්ත වූද එකක් වශයෙන් හැඳින්විය හැකිය. 

    නැපෝලියන්ගේ ආක්‍රමණ වලට නතු වූ ජර්මනිය, ස්පාඤ්ඤය හා ඉතාලිය යන රටවල් විසින් ප්‍රංශය ආක්‍රමණිකයෙක් ලෙස සලකන ලදි. නැපෝලියන් විසින් රුසියාවේ ප්‍රදේශද, ජර්මනියේ, ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ප්‍රදේශද යටත්කර ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවල ප්‍රංශ විප්ලවීය මතවාද හා නැපෝලියානු ප්‍රගතිශීලි අදහස් පැතිරෙන්නට වූ අතර ඒ හේතුවෙන් එකී රටවල ජාතික මමත්වය වර්ධනය විය. “මම ජර්මන් වෙමි.”, “අපි ජර්මන් ජාතිකයන් වෙමු.”, “අපි ඉතාලි ජාතිකයන් වෙමු.”, “අපි ස්පාඤ්ඤ ජාතිකයන් වෙමු.”, ආදී වශයෙන් ජාතීන් අතර වූ වෙනස්කම් පිළිබඳව අවබෝධ වී “ජාතිකානුරාගය හෙවත් ජාතිකත්වය” මතු වූයේ ප්‍රංශ විප්ලවය නිසාය. 

    19වන සියවසේ ආරම්භයේදී පමණ සහෝදරත්ව මිශ්‍ර හැඟීම් සහිතව ජාතික වශයෙන් කිව හැකි අගනුවරක් සහිතව ජාතියට සම්බන්ධ භාෂාවක් සහ සංස්කෘතියක් ඇතිව යම් දේශ සීමා තුළ ජාතික ධජයක්ද ඇතිව, “ජාතික රාජ්‍යයක්” පිළිබඳ මතවාද වර්ධනය වන්නට විය. ඒ අනුව සලකා බලන විට යුරෝපයේ මුල්ම ජාතික රාජ්‍යයන් ලෙස පිළිවෙලින් එංගලන්තය හා ප්‍රංශය පෙන්වාදිය හැකිය. එකී රාජ්‍යයන් දෙක අතර දීර්ඝ කාලයක් යුද්ධ පැවතීම හා ඒ රාජ්‍යයන් තුළ අභ්‍යන්තර වශයෙන් පැවති බලය තහවුරු කරගැනීම සඳහා වූ යුද්ධ එම රටවල් ජාතික රාජ්‍ය ලෙස වර්ධනය වීමට හේතු වූ කාරණා ලෙස දැක්විය හැකිය. 

    19වන සියවසේදී “කවරෙකුට වුව මව් රටක ජීවත් වී තම රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කිරීම ආඩම්බරයට හේතුවකි” යනුවෙන් හැඟීම් මතුකරමින් සාහිත්‍යයේ මෙන්ම චිත්‍ර හා සංගීතය ඇතුළු කලා මාධ්‍යයන් මඟින් ජාතිවාදය පිළිබිඹු කරන ලදි. 

    ජාතිවාදයේ අංගලක්ෂණ ප්‍රංශ විප්ලවය මඟින් මතුවී නැපෝලියන් බොනපාට්ගේ නායකත්වය යටතේ සිදුවූ යුද තුළින් ප්‍රංශ හමුදාව විසින් යුරෝපය පුරාම පතුරුවා හරින ලදී. පසුව නැපෝලියන්ගේ අධිරාජ්‍යවාදී හා අත්තනෝමතික පාලනයට විරුද්ධව ප්‍රංශයට යටත් වූ රටවල් විසින්ම තම රාජ්‍යයන් වලට නිදහස ලබා ගැනීම සඳහා වූ ජාතිකවාදී ව්‍යාපාරයන් මෙහෙයවන ලදි. ඒ අනුව වර්තමානයේ ජාතිකවාදයේ උපත ප්‍රංශ විප්ලවය බව යුජින් වෙබර්ගේ මතයයි.

    2. ලිබරල්වාදය (Liberalism) 

    ලිබරල්වාදය හෙවත් “නිදහස් මතවාදය” යන දේශපාලන ධර්මය මුලින්ම එංගලන්තයේ ජෝන් ලොක් ඉදිරිපත් කළ අදහස් මඟින් දියුණු වූ බවට විශ්වාස කරන අතර යුරෝපය තුළ 19වන සියවසේදී ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මකවන ලදි. ලිබරල්වාදී දේශපාලන මතවාදයේ මුල්කාලීන මුඛ්‍ය පරමාර්ථය වූයේ මහජන නියෝජිතයන්ගෙන් යුක්ත මණ්ඩලයක සහය ඇතිව සකස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ජනතාවට සතුටුදායක පාලන ක්‍රමයක් ඇතිකිරීමයි. එහිදී නිදහස් මැතිවරණ පවත්වමින් ජනතා නියෝජිතයන් පත්කර ගැනීමද ආරමුණුකර ගැනිණ. 

   ලිබරල්වාදී මතවාද එංගලන්තය තුළ වර්ධනය වීමට විශේෂ වූ හේතු කීපයකි. මන්දයත් යුරෝපයේ අනික් රටවල රජවරුන්ගේ පාලනයට වඩා බ්‍රිතාන්‍යයේ රජවරුන්ගේ පාලන ක්‍රමයන් අතර වෙනසක් පැවතිණි. විශේෂයෙන්ම එකල යුරෝපයේ ප්‍රබලම රාජ්‍යයක් වූ ප්‍රංශයේ 14වන ලුවීගේ අසහාය අත්තනෝමතික පාලනයට වඩා ඉංග්‍රීසි පාලනය මෙන්ම තානාපති සේවාවේද වෙනසක් පැවතිණි. එංගලන්තය තුළ ලිබරල්වාදී අදහස් වැඩි වශයෙන් වර්ධනය වූයේ රදල පංතිය තුළය. නමුත් යුරෝපයේ අනිකුත් රටවල රදල පංතිය ලිබරල්වාදයට පක්ෂපාතී නොවීය. “දේපළ අයිතියට” පුද්ගලයාට අයිතිවාසිකමක් තිබේය, එය “නිදහසට” සම්බන්ධය යන අදහස ඉදිරිපත් කළේ ජෝන් ලොක්ය.  එම හේතූන්මත එංගලන්තයේ දේපළ හිමි රදල පංතිය ලිබරල්වාදයට වඩාත් ආකර්ෂණීය වූ අතර එම දේපළ හිමියෝ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට නියෝජිතයන් වශයෙන් තෝරාපත් කරගනු ලැබූහ. යුරෝපය තුළ රදලවාදය ක්‍රමයෙන් පරිහානියට පත්වී වෙළඳ ප්‍රජාව සමාජයේ රදලයන් සතු සමාජ තත්වය හිමිකර ගන්නා විට එංගලන්තයේ රදල ප්‍රජාවම යම් අවස්ථාවලදී වෙළඳ කටයුතුවලට මැදිහත් වූ අතර වර්ධනය වූ මධ්‍යම පංතියද රදල මාන්නය ආරෝපණය කරගැනීමට උත්සාහකරන ලදි. තවද බ්‍රිතාන්‍යය තුළ විද්‍යාත්මක දියුණුව හා කාර්මික විප්ලවය ඇතිවීම හේතුවෙන් එරට ජනතාව අතර භෞතික ලෝකය පිළිබඳ දැනුමද වර්ධනය විය. රදල පංතියට මෙන්ම මධ්‍යම වෙළඳ පංතියටද අයත් පිරිසට විදේශවලට යාමට අවස්ථාව එළැඹුණි. ඒ හේතුවෙන් එංගලන්තයේ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා මුලින්ම ඉල්ලීම් ඉදිරිපත් කරන ලද්දේ එරට මධ්‍යම පංතිය විසිනි. ප්‍රතිසංස්කරණ මඟින් සමාජ ප්‍රගතියක් ඇතිකළ හැකිය යන්න එරට මධ්‍යම පංතිකයන්ගේ විශ්වාසය විය. බ්‍රිතාන්‍යයේ මධ්‍යම පංතියේ ඕනෑ එපාකම් පිළිබඳව සලකා බැලීම එරට ලිබරල්වාදීන්ගේ ඉල්ලීමක් විය. ක්‍රමයෙන් මධ්‍යම පංතිය කරා පාලන බලය පැවරෙන්නට පටන් ගත්තේද බ්‍රිතාන්‍යය තුළය. 

    18වන සියවසේදී වර්ධනය වෙමින් පැවති මතවාදයන් වූ රජවරුන් හිතුවක්කාර ලෙස රට පාලනය නොකළ යුතුය, පාලකයින් හා පාලිතයන් අතර සම්බන්ධතාව දියුණු විය යුතුය, “පුද්ගල නිදහස” , ලබාගැනීම සඳහා ඡන්ද බලය පුළුල් විය යුතුය, පුද්ලයාට ආර්ථික නිදහසට අයිතියක් ඇත යන මතවාදයන් පසුකාලීනව වර්ධනය වූ ලිබරල්වාදයට පදනම සැපයීය. ඒ අනුව මනුෂ්‍යය වර්ගයාගේ ප්‍රගතිය සඳහා දියුණූ වූ දේශපාලන දර්ශනයක් ලිබරල්වාදය වේ. 

    ලිබරල්වාදයේ වැදගත් අංශයක්වන ආර්ථික නිදහස පිළිබඳ මතවාදයන් එංගලන්තයේදී ඇඩම් ස්මිත්ගේ නිදහස් ආර්ථිකය පිළිබඳ අදහස් සමඟ මුසුවිය. “දේශපාලනය සදාචාරය මත රැඳී තිබිය යුතුය” යන මතය ඉදිරිපත් කළ ජර්මන් ජාතික ඉම්මෑනුවෙල් කාන්ට් (1724-1804) කියා සිටි අතර ඔහු තවදුරටත් ප්‍රකාශකර සිටියේ “කවර කරුණක් හා සම්බන්ධව එයට සම්බන්ධ සියලුම කරුණු සලකාබලා නිවැරදි තීරණ දේශපාලකයකු විසින් ගතයුතු බවයි.”  

    ජර්මන් ජාතික දාර්ශනිකයෙකු වූ හෙගල් (1770-1831) ප්‍රකාශකර සිටියේ සැබෑ “සිවිල් සමාජයක්” පිහිටුවීමට නම් පාලකයන් විසින් සුබසාධන රාජ්‍ය ක්‍රමයක් පිහිටුවිය යුතු බවයි. සමාජීය වශයෙන් දුප්පතුන් තව දුප්පත් වීම ගැන ලිබරල්වාදීහු සතුටු නොවූ නමුත් ධනවතුන් තවත් ධනවත්වීම ගැන විරෝධයක් පළ නොකරන ලදි. තවද අප්‍රිකා හා ආසියානු රටවල් වලින් ගෙන්වන ජනතාව වහල් සේවයේ යෙදවීමද ලිබරල්වාදීහු හෙළාදකිනු ලැබීය. 

    දේශපාලනමය වශයෙන් ලිබරල්වාදයේ ලක්ෂණයන් වූයේ රටක් ක්‍රමානුකූලව පාලනය වීම සඳහා ව්‍යවස්ථාවක අවශ්‍යතාව, ජනතාව නියෝජනය කිරීම සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් හෝ පාර්ලිමේන්තුවක් තිබීම සහ පුද්ගල නිදහසට අදාළ මානව අයිතිවාසිකම් තහවුරු කිරීමයි. 

    19වන සියවස ආරම්භවන විට යුරෝපයේ අනිත් රටවලද ලිබරල්වාදී අදහස් වර්ධනය වන්නට විය. එංගලන්තයෙන් පිටත ලිබරල්වාදී අදහස් ඉතා වේගයෙන් වර්ධනය වූ රටක් ලෙස ප්‍රංශය හැඳින්විය හැකිය. 19වන සියවසේදී පමණ ප්‍රංශයේ ලිබරල්වාදී අදහස් ක්‍රියාත්මකවීම ආරම්භ වන්නේ එරට පළමු ජනාධිපති ලෙස මෙන්ම පළමු ජනරජයද පිහිටවූ 1880දී ලුවී නැපෝලියන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේය.  

3. 1848 විප්ලවයේ ගමන් මඟ.

    පුනරුදය හා ක්‍රිස්තියානි ආගමික ප්‍රතිසංස්කරණ හේතුවෙන් මධ්‍යය කාලීන වැඩවසම් සමාජය ක්‍රමයෙන් පරිහානිය කරා ගමන් කළ අතර 1600න් පමණ පසු සිදු වූ වාණිජ ක්ෂේත්‍රයේ වර්ධනයත් සමඟ එංගලන්තය හා නෙදර්ලන්තය ප්‍රමුඛ යුරෝපයේ අනෙක් රටවල් වලද සමාජීය සංස්ථා වෙනස් විය. යුරෝපයේ වෙළඳ ක්ෂේත්‍රයේ දියුණුව නිසා “බුර්ෂුවා - නාගරික වෙළඳ පංතියක්” මෙන්ම මධ්‍යම පංතියක් මතුව සමාජයේ සෑම අංශයක්ම ප්‍රතිසංස්කරණයක් මඟින් නවීකරණය කිරීම මෙකල සිදු වූ වැදගත් සිදුවීමකි. 

3.1 වියානා සම්මේලනය

    වෝටලූ සටනෙන් නැපෝලියන් පරාජයට පත්වීමත් සමඟ යුරෝපයේ ජයග්‍රාහී බලවත් ජාතීන් නැවත යුරෝපා සිතියම තමන්ට වාසිදායක ලෙස සකස් කිරීමට උත්සුක විය. නැපෝලියන්ගේ යුද ව්‍යාපාර හේතුවෙන් වඩාත් අපහසුතාවයට පත්වූ අධිරාජ්‍යයක් ලෙස ඔස්ට්‍රියාව හැඳින්විය හැකිය. එබැවින් යුරෝපා සිතියම යළි සකස් කිරීමේ කාර්යයේදී ඔස්ට්‍රියාව ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකරන ආකාරයක් දැකිය හැකිය. ඒ අනුව ඔස්ට්‍රියාවේ චාන්සලර්වරයා වූ මෙටර්නික් කුමාරයා විසින් යුරෝපා ජාතීන්ගෙන් සමන්විත වූ සම්මේලනයක් වියානා නගරය තුළ සංවිධානය කරනු ලැබීය. නැපෝලියානු යුද්ධ වලින් බලපෑම් ඇති වූ රටවල් රාශියක රජවරු, අගමැතිවරු හා රාජ තාන්ත්‍රිකයෝ වියානා නගරයට රැස් වී දින ගණනක් තිස්සේ පැවැත්වූ රැස්වීම් වලට සහභාගී වූහ. එබඳු සම්මේලන ක්‍රමයක් නූතන යුරෝපා රාජ්‍යෝපාය ඉතිහාසයට එකතු කළ පළමුවන අවස්ථාව විය.  

    මෙටර්නික්ට අවශ්‍යය වී තිබුණේ යුරෝපා දේශපාලන තන්ත්‍රය ප්‍රංශ විප්ලවය සිදුවීමට පෙර තිබූ තත්වයට නැවත පත් කිරීමයි. එනම් “යුරෝපා ඉතිහාසයේ ඔරලෝසුව විප්ලවයට පෙර පැවති තත්වයට කැරකැවීමයි.”  ඒ අනුව නීත්‍යානුකූල උරුමය යළි ප්‍රතිෂ්ථාපනය කිරීම සහ වන්දි ලබා ගැනීම යන අරමුණු පදනම් කරගෙන විප්ලවීය මූලධර්ම වලට විරුද්ධව හා අසහාය රාජ්‍යයත්වයත්, පැරණි ක්‍රමය ආරක්ෂා කර ගැනීමටත් අවශ්‍යය අනුමැතිය එම සම්මේලනය තුළ ස්ථිර කරගන්නා ලදි. 

    නැපෝලියන්ගේ යුද ව්‍යාපාර හේතුවෙන් යුරෝපයේ රාජ්‍යයත්වය අහිමි වූ  රජවරුන්ට නැවත එම තනතුරු ලබා දීම සඳහා අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට වියානා සම්මේලනය මඟින් තීරණය කළහ. ඒ අනුව ප්‍රංශය, ස්පාඤ්ඤය, මේපල්ස් සහ සිසිලිය යන රාජ්‍යයන්හි රජ කල බුර්බන් පෙළපතේ උරුමකරුවන්ට නැවත එම රටවල නායකත්වය ලබාදෙන ලදි. වියානා සම්මුතිය මඟින් යළි ප්‍රතිෂ්ථාපනය කරන ලද අනෙකුත් රාජ්‍යයන් වූයේ  පෘතුගාලයේ බ්‍රැගන්සා, නෙදර්ලන්තයේ ඔරේන්ජ් සහ සාර්ඩිනියාවේ සැවෝයි යන රජ පෙළපත්ය. නැපෝලියන් විසින් සංයුක්ත රාජ්‍ය බවට පත්කිරීම හේතුවෙන් පාප්තුමාට අහිමි වූ ඔහුගේ ඉතාලි රාජ්‍ය නැවත ලැබුණු අතර ස්වකීය පාලන ප්‍රදේශ අහිමි වූ ජර්මන් පාලකයන්ටද ආපසු තම රාජ්‍යයන් ලැබුණි. මෙම ක්‍රියාවලිය නීත්‍යානුකූල උරුමය යළි ප්‍රතිෂ්ථාපනය කිරීම ලෙස හඳුන්වනු ලැබේ. 

    තවද 1792 පසුව ප්‍රංශය විසින් අල්ලාගෙන තිබූ සියලුම ප්‍රදේශවල බලය අත්හැර දැමීමට නියම කෙරුණු අතර ප්‍රංශය යළිත් සෙසු රාජ්‍යයන් අභිබවා බලයට පත්වීමේ හැකියාව වළක්වාලීමේ අරමුණින් එම රාජ්‍යය වටා ආරෝධක රාජ්‍ය වළල්ලක් ගොඩනැගීමටද පියවර ගන්නා ලදි. ඒ සඳහා ඉතාලි ප්‍ර‍දේශ වූ ලොම්බාර්ඩ් සහ වෙනීසිය ඉලිරියාව සමඟ එකතු කොට ඔස්ට්‍රියාවට පවරා දෙන ලදි. තවද ජර්මන් ප්‍රදේශ එකතුකර තිබූ සංයුක්තයේ ප්‍රධානීත්වයද ඔස්ට්‍රියාවට හිමිවිය. පින්ලන්තය හා වොර්සෝ ආධිපාද වසම්වල කොටස් රුසියාව‍ටද, පොර්මේනියාවේ හා සැක්සනියේ කොටස් ප්‍රසියාවටද හිම් විය.

    යුරෝපයේ සාමය නැවත ප්‍රංශ විප්ලවය හෝ නැපෝලියන් වැනි උන්නතකාමියෙකුගෙන් විනාශ නොවන ආකාරයට පවත්වාගෙන යාම සඳහා ඔස්ට්‍රියාව, ප්‍රසියාව, රුසියාව සහ බ්‍රිතාන්‍යය යන රාජ්‍ය එකතු වී සිව් මහා බලවතුන්ගේ සංගමය නම් මිත්‍ර සන්ධානයක් ගොඩනඟා ගන්නා ලදි. එය පැහැදිලි ලෙසම ප්‍රංශ විරෝධී පෙරමුණක් වූ අතර “යුරෝපා සම්මේලන ක්‍රමය” ලෙසද හඳුන්වනු ලැබීය. එහිදී සිදු වූයේ වියානා සම්මුතියේ තීරණ ආරක්ෂාකර ගනිමින් යුරෝපා සාමයට අහිතකරයැයි හැ‍‍ගෙන ප්‍රශ්න විසදීමට මෙන්ම අවශ්‍යය වුවහොත් මැදිහත් වීමටද සිව් මහා බලවතුන් එකතු වී සාමූහික ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමයි. එමඟින් කිසියම් රටක පාලකයෙකුට අභ්‍යන්තර කැරලි මඟින් අවහිර පැමිණි අවස්ථාවක අසලවැසි රටවල් එකතු වී ආධාර දීමේ ක්‍රමයක් මෙම සන්ධාන ක්‍රමය මඟින් සකස් කර ගැනීමට මෙටර්නික් සමත් විය.  

3.2 වියානා සම්මුතීන් අසාර්ථක වීම.

නීත්‍යානුකූල උරුමය මත ඇතැම් රටවල අප්‍රසාදයට පත්ව සිටි රාජාණ්ඩුක්‍රම සහ රජවරුන් යළි ප්‍රතිෂ්ථාපනය කරනු ලැබීය. මෙටර්නික් ක්‍රමය මඟින් සහයෝගය ලද බොහෝමයක් රජවරු පොදු මහජන විරෝධතා මධ්‍යයයේ වුවද ප්‍රතිගාමී ලෙස කටයුතු කරමින් ලිබරල්වාදී ව්‍යාපාරයන් අඩපණ කරන ලදි. එම ක්‍රියාමාර්ග හේතුවෙන් ඉතාලිය, ජර්මනිය සහ බෙල්ජියම වැනි රටවල ජාතිකවාදී හා ලිබරල්වාදී හැඟීම් වර්ධනය වූ අතර එම මහජන හැඟීම් වලට විරුද්ධ වී ස්ථාපනය කරන ලද මෙටර්නික් ක්‍රමය අසාර්ථක විය. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ගොඩනැගීමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමට මහජනතාවට තිබූ අයිතිය මෙටර්නික් ක්‍රමය මඟින් බලහත්කාරයෙන් යටපත් කිරීමට උත්සාහ කරන ලදි. මේ හේතුවෙන් 19වන සියවස මැද වනවිට මෙටර්නික් ක්‍රමයේ වැඩකටයුතු බොහෝමයක් අසාර්ථක වී තිබූ අතර ජාතිකවාදී හා ලිබරල්වාදී ව්‍යාපාරයන් විසින් ප්‍රතිගාමී පාලන ක්‍රම විනාශ කරනු ලැබීය. 


3.3 1820 ස්පාඤ්ඤ විප්ලවය.

නැපෝලියන්ගේ ආක්‍රමණ මඟින් 1812දී ස්පාඤ්ඤයට හඳුන්වාදුන් නිදහස් ආණ්ඩුක්‍රමය වියානා සම්මුතියේ ප්‍රතිඵලයක් ලෙස අහෝසිකර දමන ලදි. ඒ අනුව 1814 මාර්තු මාසයේදී නව ආණ්ඩුක්‍රමයක් හඳුන්වාදෙමින් 7වන ෆර්ඩිනන්ඩ් කුමරු බලයට පත්කරන ලදි. 1812 ක්‍රියාත්මක වූ ලිබරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියාකිරීමට ෆර්ඩිනන්ඩ් කුමරු මුලදී පොරොන්දු වුවත් බලය ලැබීමෙන් පසු ඔහු ලිබරල්වාදීන් මර්දනය කරන්නට විය. එම මර්දනකාරී වකවානුව යටතේ ඇති වූ ආගමික ප්‍රශ්න හේතුවෙන් ජනතාව මහත් සේ පීඩාවට පත්විය. ස්පාඤ්ඤ ආධිපත්‍යයට යටත්ව පැවති ලතින් ඇමෙරිකානු රටවල ස්පාඤ්ඤ විරෝධී ව්‍යාපාර ඇතිවීම හේතුවෙන් ස්පාඤ්ඤ බලය අභියෝගයට ලක් වූ අතර හමුදාවල හා නිලධාරීන්ගේ ප්‍රමුඛත්වයෙන් ස්පාඤ්ඤයේ නගර කීපයක කැරලි පැන නැගී ෆර්ඩිනන්ඩ් රජය බලයෙන් පහකරන ලදි. ෆර්ඩිනන්ඩ් රජුට විරුද්ධව ඇතිවී තිබූ කැරැල්ල මැඩපැවැත්වීම සඳහා වියානා සමුළුවේ නියෝජිතයන් 1822 ඔක්තෝබර් මාසයේ වෙරෝනා නගරයේදී එක්රැස් වී ස්පාඤ්ඤයට මැදිහත් විය යුතු බවට යෝජනා කරන ලදි. මෙම යෝජනාවට බ්‍රිතාන්‍යයේ විදේශ ඇමති කැනින් සාමිගේ එකඟත්වයක් නොලැබුණද 1823දී වියානා සමුළුවේ නව සාමාජිකයා වූ ප්‍රංශය ඉදිරිපත් වී තම හමුදාව ස්පාඤ්ඤය තුළට යවා විරෝධතා මැඩපවත්වමින් ෆර්ඩිනන්ඩ් කුමරු නැවත ස්පාඤ්ඤයේ රාජ්‍යයත්වයට පත්කරන ලදි.  

3.4 ග්‍රීක නිදහස් සටන (1827).

    යුරෝපය පුරා පැතිරෙමින් තිබූ ජාතික හා ලිබරල්වාදී ව්‍යාපාරවල උද්යෝගය ලද ග්‍රීක ජනතාවද ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට විරුද්ධව නැගී සිටිමින් කැරැල්ලක් ඇතිකරන ලදි. එය 1821-1829 දක්වා කාලයේදී ක්‍රියාත්මක වූ ග්‍රීක ස්වාධීනතා ව්‍යාපාරය ලෙසද හඳුන්වනු ලැබේ. නිදහස දිනාගැනීම සඳහා ග්‍රීක වැසියන් විසින් ගොඩනගාගත් මිතුරන්ගේ සංගමය මඟින් ජාතිකාභිමානි අදහස් ප්‍රචාරය කරන ලදි. ඔවුන් බලාපොරොත්තු වූයේ මුස්ලිම් තුර්කි අධිරාජ්‍යයට විරුද්ධව කටයුතු කිරීම සඳහා යුරෝපයේ ක්‍රිස්තු භක්තික රාජ්‍යයන්ගේ සහයෝගය ලබා ගැනීමයි. තුර්කි අධිරාජ්‍යයා ග්‍රීක කැරලිකරුවන් මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ග ආගමික ප්‍රශ්නයක් ලෙස හුවා දැක් වූ රුසියාව එම තත්වයෙන් ප්‍රයෝජන ගැනීමට ප්‍රයත්න දැරූමුත් එය රුසියානු බලපෑම බෝල්කන් ප්‍රදේශවල වර්ධනය වීමට හේතුවේ යැයි කල්පනාකළ අනිකුත් යුරෝපා ජාතීන්ද මෙයට මැදිහත්වෙන ලදි.  ඒ අනුව ග්‍රීක ස්වාධීනතා ව්‍යාපාරය සාධාරණය විශ්වාස කළ බ්‍රිතාන්‍යය 1823දී ග්‍රීසිය මිත්‍ර ජාතියක් ලෙස පිළිගන්නා ලදි. 

    එහි උච්ඡතම අවස්ථාව වූයේ 1827දී බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව යන රාජ්‍ය “ලන්ඩන් ගිවිසුම” මඟින් ග්‍රීසියට නිදහස ලබාදීම සඳහා අවශ්‍යය වුවහොත් තුර්කීන්ට විරුද්ධව තම බලය යෙදවීමට ගිවිසගත්හ. මේ අවස්ථාවේදී තුර්කිය විසින් ග්‍රීක කැරලි මර්දනය කිරීමට එවන ලද තුර්කි හමුදාවද ඔවුන්ගේ සහායක ඊජිප්තු නාවික හමුදාවද පරාජයට පත්කිරීමට යුරෝපා ජාතීන් සමත් විය. ඉන්පසු “අද්‍රියානෝපල්” ගිවිසුමෙන් ග්‍රීසියට නිදහස ප්‍රකාශ කිරීමට තුර්කි සුල්තාන්වරයා බලකරන ලදි. තවද තුර්කි අධිරාජ්‍යයට යටත්ව තිබූ උතුරු බෝල්කන් අර්ධද්වීපයේ සර්බියානු හා රුමේනියානු යන ජනවර්‍ග වලටද ස්වයංපාලන අයිතිය එම ගිවිසුමෙන් ලබා දෙන ලදි. 

    පාරම්පරික උරුමය යටතේ පිළිගත් ක්‍රමවේදයට අනුව ග්‍රීක කැරැල්ල වියානා සම්මුතියට විරුද්ධ වුවත් එහිම පාර්ශවකරුවන් වූ යුරෝපීය මහා බලවත් රාජ්‍ය තම පටු පරමාර්ථ මුදුන්පමුණූවා ගැනීම සඳහා වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් ග්‍රීක කැරැල්ලට සහයෝගය ලබාදෙන ලදි. එය මෙටර්නික් ක්‍රමය අභිබවා ජාතිකත්වවාදය ලැබූ ප්‍රථම ජයග්‍රහණය විය. 

3.5 බෙල්ජියානු නිදහස් සටන.

    වියානා සම්මුතිය අනුව ප්‍රංශයේ ව්‍යාප්තියට බාධාවක් වන පරිදි අතරමැදි ආරක්ෂක රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණින් අසල්වැසි රාජ්‍යයන් දෙකක් වූ බෙල්ජියම හා ඕලන්දය ඒකාබද්ධ කරන ලදි. නමුත් එම රාජ්‍යයන් දෙක දේශපාලන, ආර්ථික හා සාමාජීය වශයෙන් ඉතා විශාල ලෙස එකිනෙකට වෙනස් විය. ආගමික වශයෙන් ඕලන්දය කැල්වින්වාදී වූ අතර බෙල්ජියම රෝමානු කතෝලික විය. බෙල්ජියම ආර්ථිකය තුළ කර්මාන්ත වර්ධනය වී පැවති අතර ඕලන්දය වෙළඳ කටයුතු වලට වඩාත් නැඹුරු විය. මේ සියල්ලටම වඩා බෙල්ජියම්වාසීන්ගේ අප්‍රසාදයට ලක් වූයේ තමන් ඕලන්දය යටතේ පාලනය වීමයි.  

    ඕලන්ද රජු රෙපරමාදුවාදියෙකු වූ නිසාත් ඔහු ඕලන්ද භාෂාව බෙල්ජියමේ ජනතාව වෙත බලෙන් පැටවීමට ප්‍රයත්න දැරූ නිසාත් බෙල්ජියම්වාසීන් ඕලන්දයට විරුද්ධව කැරලි ගසන ලදි. 1830දී ප්‍රංශයේ සිදු වූ ජනතා නැඟිටීමෙන් ධෛර්යය ලත් බෙල්ජියම් වැසියන් ඕලන්දයට විරුද්ධව කැරලි ගසා ඉක්මනින්ම ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට තම ස්වාධීනතාව ප්‍රකාශ කරන ලදි. බෙල්ජියමේ ස්වාධීනතාව හා නීත්‍යානුකූලභාවය බ්‍රිතාන්‍යය හා ප්‍රංශය විසින් පිළිගන්නා ලද අතර 1839දී බෙල්ජියම ස්වාධීන රටක් ලෙස පිළිගෙන එහි නායකත්වය කලක් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි ලිබරල්වාදී ජර්මානු කුමරෙකු වූ පළමුවන ලියෝෆෝල්ඩ් භාරගන්නා ලදි. 


3.6 ඉතාලි විප්ලවය (1848).

    1848 පමණ වනවිට යුරෝපයේ බොහෝ රටවල කැරලි හා විප්ලව ඇති වූ අතර ඊට සමගාමීව ඉතාලියේද ප්‍රාදේශීය රාජ්‍යයන්වල ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ජනතාව උද්ඝෝෂණ ආරම්භ කළහ. එම උද්ඝෝෂණ බොහෝමයකට පදනම් වූයේ ඉතාලියේ තිබූ දූෂිත රාජාණ්ඩුය. එම උද්ඝෝෂණ වලදී මහජන කැරලි ඇති වෙතැයි බිය වූ ඇතැම් පාලකයෝ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලබාදුන් නමුත් ඇතැම් පාලකයෝ එම උද්ඝෝෂණ මර්දනය කළහ. 1848 පමණ වනවිට ඉතාලිය අයත්ව පැවති ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ ඇති වූ කැරලි හේතුවෙන් එය දුර්වල වෙමින් පැවති අතර වැනීසියේ ඔස්ට්‍රියන් පාලනය අවසන් කර සමූහාණ්ඩුවක් පිහිටුවන ලදි. 

    ඉතාලි නිදහස් ව්‍යාපාරයේ නායකයෙකු වූ මැසිනි නායකත්වය යටතේ රෝමයේද සමූහාණ්ඩුවක් පිහිටවූ නමුත් ප්‍රංශ හමුදා ආධාර ලබාගෙන පාප්තුමා රෝමය රැකගත් බැවින් මැසිනිට පළායාමට සිදුවිය. පීඩ්මොන්ට් පාලකයා වූ චාර්ල්ස් ඇල්බට් ඉතාලිය එක්සත් කිරීම සඳහා ඔස්ට්‍රියානු අධිරාජ්‍යයට විරුද්ධව ගෙන ගිය අරගලයේදී කස්ටොසා සටනින් පරාජයට පත්විය. නොවාරා සටනින්ද පරාජයට පත් වූ ඔහු සිය පුත් වික්ටර් ඉම්මෑනුවෙල් වෙනුවෙන් සිහසුන අත්හැර ඉතාලි නිදහස් සටනින්ද ඉවත් විය. වික්ටර් ඉම්මෑනුවෙල් ඔස්ට්‍රියාව සමඟ සාම ගිවිසුමක් ඇතිකර ගත් අතර ඒ වනවිට ඔස්ට්‍රියාව ඇතුලත ඇති වූ කැරලිද මර්දනය කරතිබූ බැවින් යළිත් වරක් තම බලය ශක්තිමත්ව පිහිටුවා ගැනීමට ඔස්ට්‍රියාවට හැකි විය. 

3.7 ජර්මන් ප්‍රදේශවල ඇති වූ විප්ලව (1848).

    නැපෝලියන් බොනපාට් ජර්මන් ප්‍රදේශ ආක්‍රමණය කිරීමට පෙර ජර්මනියට අයත් ප්‍රදේශ විවිධ කුමාරවරුන් විසින් පාලනය කරන ලද කුඩා ස්වාධීන රාජ්‍ය 369කින්  පමණ සමන්විත සංයුක්තයක් විය. නැපෝලියන්ගේ යුද ව්‍යාපාරයෙන් අනතුරුව එම රාජ්‍යයන් ඒකක 39ක් ලෙස ඒකරාශීවන ලදි. වියානා සම්මුතියෙන්ද එම ජර්මන් රාජ්‍ය 39 පිළිගන්නා ලදි. 

    1817 පෙර ප්‍රසියාවේ තිබූ තීරුබදු ක්‍රමය මඟින් රට අභ්‍යන්තරයේ වෙළඳාමට මහත් බාධා ඇති විය. පසුව එම බාධා තුරන් කරනුවස් ප්‍රසීයානු ආණ්ඩුව තීරුබදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් අතර ඒවායේ සාර්ථකත්වය හේතුවෙන් ජර්මනියේ සෙසු ප්‍රදේශද ක්‍රමක්‍රමයෙන් ප්‍රසියාවේ තීරුබදු සංගමයට එකතුවන ලදි. 1837 පමණ වනවිට ඔස්ට්‍රියාව හා ජර්මනියේ ප්‍රදේශකීපයක් හැර අනිකුත් සියලු ප්‍රදේශ සොල්වරින් නමින් හැඳින්වූ ප්‍රසියානු ආර්ථික සංගමයට සම්බන්ධ වී සිටි අතර එය ජර්මනියේ එක්සත්භාවයට අඩිතාලමක් බඳුවිය. 

    1848 ප්‍රංශයේ ඇති වූ විප්ලවයේ උද්යෝගයෙන් ඔස්ට්‍රියාවේ ඇති වූ කැරලිකාර තත්වය ප්‍රයෝජනයට ගෙන ජර්මන් ජනතාවද සිය පාලකයන්ට විරුද්ධව කැරලි ආරම්භ කරන ලදි. මැතිවරණ පැවැත්වීම සඳහා ලිබරල්වාදීන් ෆ්‍රැන්ෆර්ට් මණ්ඩලයක් රැස් කරවූ අතර එම මණ්ඩලය විසින් සමස්ත ජර්මනියම සඳහා පොදු ආණ්ඩුක්‍රමයක් සකස්කොට එහි සිහසුන භාරගැනීම සඳහා ප්‍රසියාවේ හතරවන ෆෙඩ්රික් රජුට ආරධනා කරන ලදි. නමුත් ඔස්ට්‍රියානු අධිරාජ්‍යය සමඟ යුද්ධයක් ඇති වේ යැයි බිය වූ ෆෙඩ්රික් රජු එම ආරධනා ප්‍රතික්ෂේප කළෙන් ලිබරල්වාදීන්ගේ බලාපොරොත්තු සුන්විය. නැවතත් ජර්මන් ප්‍රදේශ පාලනය කිරීමේ බලය ලබා ගැනීමට ඔස්ට්‍රියානු අධිරාජ්‍යයට හැකි වූ අතර ජාතික ව්‍යාපාරද දැඩි ලෙස මර්දනය කරන ලදි.

3.8 ප්‍රංශයේ ඇති වූ විප්ලව.

    වියානා සම්මුතිය මඟින් ප්‍රංශයේ නැවත විප්ලව ඇතිවීම වලක්වාලීමට කටයුතු කළමුත් නැවත ප්‍රංශය තුළ ලිබරල්වාදී හා ජාතිකවාදී අදහස් වර්ධනය වෙමින් පැවතිණ. 1815-1848 අතර කාලය තුළ ප්‍රංශය අභ්‍යන්තරයේ විශාල අභියෝග හා බාධක මධ්‍යයේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම‍ට උත්සාහ කරන ආකාරයක් දැකිය හැකිය. 1814 ජූනි මාසයේදී බුර්බෝන් වංශික 18වන ලුවී නැවත බලයට පත්කළමුත් රාජාණ්ඩුවේ සීමාසහිත ඡන්ද බලයද, රජයේ අනුග්‍රහයලත් පාසල් ක්‍රමයද, ප්‍රංශ බැංකුවද, නැපෝලියානු නීති සංග්‍රහයද නොකඩවා පවත්වාගෙනයනු ලැබීය.  

    තවද මෙම වකවානුව වන විට ප්‍රංශ සමාජයේ විවිධ දේශපාලන මතධාරීන් ප්‍රබලව සිටියහ. ඒ අතර යුරෝපයේ දේශපාලන චින්තනය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකළ තරමක් මධ්‍යස්ථවාදී වූ නමුත් ප්‍රතිගාමීත්වයට බර වූ මෙන්ම පසුගිය වකවානුවේදී හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ ඉදිරියටත් පවත්වා ගැනීමේ අරමුණින් සිටි යථාස්ථිතිකවාදයට (Conservative) පක්ෂ කොටස්ද, ප්‍රංශ විප්ලවයට පෙර පැවති යුගයට ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වූ අන්තවාදී ප්‍රතිගාමීන්ද, ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් සහිත නියෝජිත මණ්ඩලයකින් සමන්විත සීමිත ඡන්ද ක්‍රමයක් අපේක්ෂා කළ ලිබරල්වාදී අදහස් දැරූ පිරිසක්ද, අනිකුත් සියලු අදහස් ප්‍රතික්ෂේප කළ ප්‍රංශය තුළ සමූහාණුඩුවක් ගොඩනැගීම අරමුණ කරගත් රැඩිකල්වාදීන්ගෙන්ද ප්‍රංශය සමන්විත විය. 

    මධ්‍යස්ථ මතධාරී 18වන ලුවී රජුගෙන් පසු බලයට පත් වූ 10වන චාර්ල්ස් දේවවරම්වාදී සංකල්පය විශ්වාස කළ, අන්තවාදී අදහස් දැරූ රජ කෙනෙකි. ඔහු ප්‍රංශය තුළ ලිබරල් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර නැවත රාජාණ්ඩුව ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍යය කටයුතුවන විප්ලව සමයේ ප්‍රංශයෙන් පලාගිය රදලවරුන්ගේ දේපළ වලට වන්දි ලබාදීම, පුවත්පත් වාරණය, අධික බදු නියම කිරීම ආදිය හේතුවෙන් ජනතාවගේ අප්‍රසාදයට පත් විය. රජුගේ ප්‍රතිගාමී ක්‍රියා හේතුවෙන් අපහසුතාවයට පත් වූ ලිබරල්වාදීන් 1830දී ප්‍රංශ ව්‍යවස්ථාදායක සභාවේ බලය අල්ලා ගන්නා ලදි. මෙයට ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙස චාර්ල්ස් රජු “ජූලි ආඥා පනත” නම් වූ නියෝගය මඟින් ඉහළ මධ්‍යම පන්තියේ ඡන්ද බලය අහෝසි කොට ව්‍යවස්ථාදායක සභාව විසිරුවාහරින ලදි.  එමඟින් අපහසුතාවයට පත්වූ මධ්‍යම පන්තිය හා කම්කරු පන්තිය එක්ව “ජූලි විප්ලවය” ආරම්භ කරන ලදි. 1830දී ඇති වූ මෙම විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව චාර්ල්ස් රජු නෙරපා ජනතාවගේ රජු ලෙස හඳුන්වන ලද ඕර්ලියන්ස් රාජවංශික ලුවී පිලිප් රජකමට පත්කර ගන්නා ලදි. 

    ලුවී පිලිප් රජු බලයට පත්වීමෙන් පසු පාලනය ගෙන යන ලද්දේ ප්‍රංශයේ ඉහළ මධ්‍යම පන්තියේ අවශ්‍යයතාවයන්ට අනුවය. ඒ අනුව ඉහළම ධනවත් පන්තියට අයත් දෙලක්ෂයක් පමණ ජනතාවට ඡන්ද බලය ලබාදීම, වෘත්තීය සමිති තහනම් කිරීම හා විදේශීය ආනයනික භාණ්ඩ වල‍ට ඉහළ බද්ධක් අයකිරීම වැනි ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙන ලදි. 

    ලුවී පිලිප් රජකමට පත්කර ගැනීමෙන් පසු වුවද ප්‍රංශය තුළ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට නොහැකි විය. එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දැරූ දේශපාලන මතවාද දැරූ ප්‍රබල පිරිස් ප්‍රංශය තුළ තම මතවාද ව්‍යාප්ත කරන්නට විය. ඒ අනුව කැපීපෙනෙන පිරිස් වූයේ, 

බුර්බෝන් රාජ්‍ය පරපුරට පමණක් රාජ්‍යයත්වය හිමි විය යුතු බව පැවසූ රාජපාක්ෂිකයෝ.

නැපෝලියන්ගේ යුගයේ මෙන් ප්‍රංශය නැවත කීර්තිමත් තත්වයට ගෙන ආ යුතු බව පැවසූ බොනපාට්වාදීන්.

රාජ්‍ය කටයුතු කතෝලික සභාවේ බලපෑම යටතේ ගෙන යා යුතු බවට විශ්වාස කළ උග්‍ර කතෝලිකයෝ.

දේශපාලන අයිතිවාසිකම් පොදුවේ සියලු රටවැසියාට හිමිකර දීමට මෙන්ම වෘත්තීය සමිති කටයුතු නීත්‍යානුකූල කිරීමට සහ තීරු බදු අඩුකිරීමට යෝජනා කළ රැඩිකල් අදහස් දැරූ සමූහාණ්ඩුවාදීන්.

    මෙවැනි අදහස් දැරූ විවිධ කණ්ඩායම් ප්‍රංශය තුළ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු විය. ප්‍රංශය තුළ මෙලෙස දේශපාලන අස්ථාවරත්වය නැවත වර්ධනය වෙද්දී යුරෝපයේ අනිත් ප්‍රදේශවලද විවිධ අසහනකාරී තත්ව වර්ධනය වෙමින් පැවතිණ. ඒ අතර යුරෝපීය ගොවා වගා බිම්වල අස්වනු විනාශ වීම, වාණිජ පරිහානිය, අයර්ලන්තයේ 1845-1846 අතර කාලයේදී සිදු වූ අර්තාපල් වසංගතය, ජර්මනියේ ධාන්‍ය වගාව විනාශ වීම ආදී හේතු නිසා හටගත් ආර්ථික පරිහානිය සමඟ ඇති වූ විරැකියාව ආදී අසහනකාරී තත්වයන් 1848වන විට යුරෝපය පුරා වර්ධනය වෙමින් පැවතිණ. මෙය පසුව ඇති වූ කැරලිකාරී තත්වයන් වලටද මූලික විය. ඊට අමතරව ප්‍රංශයේ විරුද්ධ පාක්ෂික කොටස්ද 1848 පෙබරවාරි මාසය වනවිට සිය විරෝධතා ව්‍යාපාර රජයට විරුද්ධව ආරම්භ කරන ලදි. මෙය සමනය කරනු වස් ලුවී පිලිප් රජු රැස්වීම් පැවැත්වීම තහනම් කළමුත් එමඟින් සිදු වුයේ විරෝධතාකරුවන්ගේ විරෝධය උග්‍ර වීමයි. ඒ අනුව විරෝධතාකරුව් පැරීසියට ඒකරාශී වූ අතර රජය විසින් කැරලිකාර පිරිස් මර්දනය සඳහා කැඳවනු ලැබූ ජාතික ආරක්ෂක භට සේනාවද කැරලිකරුවන්ට සහයෝගය ලබා දෙන ලදි. 

    මේ හේතුවෙන් තම නායකත්වය දුර්වල වී ඇති බව තේරුම් ගත් ලුවී පිලිප් රජු රජකම අතහැර පලායන ලදි. ඒ අනුව කම්කරු ජනතාවගේ බහුතර නියෝජනයකින් යුතු රජයක් පැරීසිය තුළ ගොඩනගන ලදි. එය ප්‍රංශයේ දෙවන සමූහාණ්ඩුව වුවත් එයටද විශාල අභියෝග හා බලපෑම් වලට මුහුණ දීමට සිදුවිය. ඒ අනුව එහිද ආයු කාලය එතරම් දීර්ඝ නොවීය. 

    එකළ පැවති ප්‍රංශයේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කම්කරු හිතවාදී සමූහාණ්ඩුව සමාජවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙන ලදි. ඒ අනුව “ජාතික වැඩපළවල්” හඳුන්වාදුනමුත් එම ක්‍රමය අසාර්ථක විය. මන්දයත් ගම්බද ගොවි ජනතාව එම ක්‍රමයට මෙන්ම ඒවා නඩත්තු කිරීමට අය කළ අධික බදු ප්‍රතිපත්තියටද තදින්ම විරුද්ධ විය. ඒ අනුව ජාතික මණ්ඩලයේ සිටි ගම්බද ගොවි ජනතාව නියෝජනය කළ පිරිස් ජාතික වැඩ‍පළ ක්‍රමය අහෝසි කිරීමට යෝජනා සම්මත කරන ලදි. එමඟින් නැවත රට තුළ කැරලිකාර හා අස්ථාවර තත්වයක් මතු වූ අතර එම තත්වය ප්‍රයෝජනයට ගත් ප්‍රංශ හමුදාව රටේ බලය සියතට ගෙන කැරලි දැඩි ලෙස මර්දනය කරන ලදි. එහිදී ඇතැම් සමාජවාදී නායකයන් සිරභාරයට ගත් අතර ඇතැම් අය රටින් පිටුවහල් කරන ලදි. තවත් පිරිසක් ඝාතනය කරන ලදි. හමුදා නායකත්වයේ තීරණය මත 1848 අප්‍රේල් මාසයේදී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජාතික මණ්ඩලයට භාරකරන ලදි.  මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළ ජාතික මණ්ඩලය කැරලිකාරී අස්ථාවර තත්වය නිමාවට පත් කරමින් ප්‍රංශයට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදෙන ලදි.

    එම ව්‍යවස්ථාවට අනුව ප්‍රංශයේ බලය වසර 4ට වරක් පැවැත්වෙන ජනාධිපතිවරණයකින් තෝරා ගන්නා ජනාධිපතිවරයෙකුට පවරන ලදි. ස්ත්‍රී පුරුෂ සැමට ඡන්ද බලය ලබාදෙන ලද අතර ඒකමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කරන ලදි. 1848 දෙසැම්බර් මස පවත්වන ලද මුල්ම ජනාධිපතිවරණයේ ප්‍රංශයේ පළමු ජනාධිපති ලෙස පත් වූයේ ලුවී නැපෝලියන්ය. ලුවී නැපෝලියන්, නැපෝලියන් බොනපාට්ගේ ඥාතිවරයෙක් වූ අතර ප්‍රංශයේ බලය අල්ලා ගැනීමට කරනලද කුමන්ත්‍රණ අසාර්තක වීමෙන් එංගලන්තයට පලාගිය පුද්ගලයෙකි. ජනාධිපතිවරණය හේතුවෙන්ම 1848දී නැවත ප්‍රංශයට පැමිණි ඔහු නැපෝලියන්ගේ ඥාතියෙකු වීමත්, නැපෝලියානු නාමය තිබීමත් යන හේතු මත ප්‍රංශයේ උග්‍ර කතෝලිකයන්ගේ හමුදාවේ සහයෝගය ලැබ තම ප්‍රතිවාදියාට වඩා සිව් ගුණයක වැඩි ඡන්ද පුමාණයක් ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස පත්විය. එලෙස ජනතා පරමාධිපත්‍යයෙන් බලයට පත් වූ ලුවී නැපෝලියන් 1852දී එම ව්‍යවස්ථාව සහ දෙවන සමූහාණ්ඩු ක්‍රමය අහෝසි කොට අධිරාජ්‍යය පාලන ක්‍රමයක් පිහිටුවන ලදි.


4.සමාලෝචනය

18වන සියවසේදී යුරෝපයේ ඇති වූ ප්‍රංශ විප්ලවය හා නැපෝලියානු යුද ව්‍යාපාර හේතුවෙන් යුරෝපය පුරාම ජාතිකවාදී ව්‍යාපාර හා ලිබරල්වාදී අදහස් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවන ලදි. ප්‍රංශ මහා විප්ලවය රටකට විශේෂ වූ රාජ වංශ වෙතින් දේශපාලන බලය උදුරා, රටවල් රාශියකට පොදු වූ දේපල වංශය වෙත, ඒවා පවරා දුන්නේය. ලෝකයේ රටවල් හා ප්‍රජාවන් අතර, දේශ සීමා අභිබවා ව්‍යාප්ත වෙමින් පැවති ධනය හා ශ්‍රමයේ ජගත් බලවේගයන්, ප්‍රතිවිරුද්ධ පෙරමුණුවල ඒකාබද්ධ කරවීම විප්ලව සමයේදී වැඩී ගියේය.  විප්ලවයෙන් හටගත් බලවේග ප්‍රායෝගිකව සමාජ යථාර්ථයකට පරිවර්තනය කරන ලද ප්‍රධාන පුද්ගලයා නැපෝලියන්ය. “මම විප්ලවයේ උරුමක්කාරයා වෙමි.” යනුවෙන් විප්ලවය සම්පිණ්ඩනය කරමින් නැපෝලියන් දැක් වූ ප්‍රකාශයෙන් විප්ලවය හා නැපෝලියන් අතර වූ ඓතිහාසික සම්බන්ධතාව හෙලි වේ. විප්ලවීය අදහස්  මැඩපැවැත්වීම සඳහා පසුව ඇති වූ වියානා සම්මේලනයේ අපේක්ෂා වූ නමුත් එහි අවසන් ප්‍රතිඵලය වූයේ නැවත යුරෝපය පුරාම කැරලිකාරී හා අර්බුදකාරී තත්වයන් මතුවීමයි. එහි උච්ඡස්ථානයකට පත් වූයේ 1848දී යුරෝපය පුරාම කැරලිකාරී හා විප්ලවකාරී අවස්ථා ඇති වීමයි. “යුද්ධය විනාශයක් වුවද එය අතිජාත පුත්‍රයින් බිහිකරන මවක වැනිය” යන්න විද්‍යාමාන වූයේ යුරෝපයේ මෙකල ඇති වූ යුද ව්‍යාපාර හේතුවෙන්ය. 

විප්ලවය යනු, සමාජයක ගුණාත්මක පරිවර්තනයකි. සමාජ බල තුලනය වෙනස් විමකි. ඔරලෝසුවේ කටුව ආපසු හැරවිය නොහැකි ලෙස වෙනස් කිරීමකි. එහෙත් බාගෙට විප්ලව කරන්නෝ සියතින්ම මිනී වල සාරාගනිති. ප්‍රචණ්ඩත්වය ඉතිහාසයේ යුග බිහිකරන තිඹිරිගෙය හා වින්නඹුව බව මාක්ස් නිතරම කීවේය. ප්‍රංශය, ජර්මනිය හා ඉතාලියේ සිදු වූ විප්ලව මෙකල ඉතා සුවිශේෂී වේ. “නිදහස යන පදය ජර්මනියෙන් ඉවත් කරන්න, ජර්මනිය වහාම එක්සත් වෙයි. ප්‍රංශයෙන් නිදහස යන්න ඉවත් කරන්න. වහාම විප්ලවයක් හට ගනී.”  යනුවෙන් ඉතිහාසඥයන් සඳහන් කළේ එම රටවල් වල අභ්‍යයන්තර ගැටළු සමස්ත යුරෝපයටම බලපාන ලද ආකාරය හේතුවෙනි. 1848 ඇති වූ විප්ලව වලදී එංගලන්තය හැර යුරෝපයේ බොහෝමයක් රාජ්‍යයන් වල පාලන තන්ත්‍ර වෙනස් වූ අතර සමහරක් රාජ්‍යවල අස්ථාවර තත්වයන්ද ඇතිවෙන ලදි. අනාගතයේදී ඇතිවන්නට තිබූ පළවන ලෝක යුද්ධය සඳහා ඉඩප්‍රස්ථාව ඇති වූයේද 1848 අතර කාලවකවානුවතුළ ඇති වූ අර්බුදකාරී වාතාවරණයන් බව එම කාලවකවානුව පිළිබඳ අධ්‍යයනයේදී පෙනී යයි.

කෙසේ වෙතත් 1848දී යුරෝපයේ ඇති වූ විප්ලව මඟින් එකල ජනතාව අදහස් කළ ජනතාවාදී රජයන් බිහිකර ගැනීමට අපහසු වූ බවද පෙනී යයි. 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

කෝබන්, ඇල්ෆ්‍රඩ්., නූතන ප්‍රංශයේ ඉතහාසය - පළමු වන කාණ්ඩය (1715 – 1799), අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2013.

කෝබන්, ඇල්ෆ්‍රඩ්., නූතන ප්‍රංශයේ ඉතහාසය - දෙවන වන කාණ්ඩය (1799 – 1871), අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2007.

ජයතිලක, පී. ඩබ්. යුරෝපා ඉතිහාසය - 3 නූතන යුගය(1800-2000), ඇස්.ගොඩගේ සහ සහොදරයෝ, කෙළඹ 10. 2003.

නේරු, ජවහර්ලාල්., ලෝක ඉතිහාස සිහිවටන, පරි; ඩේවිඩ් කරුණාරත්න, ඇම්. ඩී. ගුණසේන සහ සාමාගම කොළඔ 11. 2008.

පලිහේන, ගාමිණි., යුරෝපය-16වන සියවසේ සිට 19වැනි සියවස දක්වා, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ. 2013.

බස්නායක, එච්. ටී., අපරදිග ශිෂ්ටාචාර -2, ඇස්.ගොඩගේ සහ සහොදරයෝ, කෙළඹ 10. 2006.

මැරයට්, ජේ. ඒ. අර්., නූතන යුරෝපයේ විකාශය 1453 – 1939, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2005.

රාවෝ, බී. වී., ලෝක ඉතිහාසය , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003.

ලිප්සන්, ඊ., 19වන සහ 20වන ශතවර්ෂවල යුරෝපය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2007.

විජේතුංග, නවනැලියේ., ලෝක ඉතිහාසයේ අමරණීය සිහිවටන, කර්තෘ ප්‍රකාශන, මුල්ලේරියාව. 2009.

සූරියප්පෙරුම, ජේ. ආර්. පී., ලෝකයට කවුළුවක්, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ. 2012.

යුරෝපයේ ඉතිහාසය - ක්‍රි.ව. 1500 සිට 1950 දක්වා, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2004.

Microsoft ® Encarta ® 2008. © 1993-2007 Microsoft Corporation.


No comments:

Post a Comment