Sunday 22 November 2020

මධ්‍යතන යුරෝපයට ඉස්ලාම් ශිෂ්ටාචාරයෙන් ඇති වූ බලපෑම පිළිබඳ කෙටි විවරණයක්...

 



රෝමය බිඳවැටුණු පසු ග්‍රීක රෝම සභ්‍යයත්වයද බිඳවැටිණ. ඒ මත ගොඩනංවා තිබුණු රෝම සංස්කෘතියද ක්ෂණිකව පරිහානියට පත්විය. යුරෝපයේ නැගෙනහිර ප්‍රදේශයේ බයිසන්තියම් අධිරාජ්‍යය හෙවත් නැගෙනහිර රෝම අධිරාජ්‍යය එකල පැවතියත් එය ද පරිහානිය කරා ගමන් කරමින් පැවතිණි. ඒ සමයේ කොන්ස්තන්තිනෝපලය යුරෝපයේ විශාලම නගරයද විය. එහි යස ඉසුරු ඉතිරී පැවතුණි. නමුත් අධිරාජ්‍යය ඇතුලතින් දිරා යමින් පැවතුණේය. මෙසේ බටහිර හා නැගෙනහිර යුරෝපීය ප්‍රදේශවලට අයහපත් කල දසාවක් උදා වී තිබුණු අතර එලෙස ජාතීන් අතර ඇති වී තිබූ කලකෝළාහල අතරට ක්‍රිස්තියානි නිකායන් අතරේ ඇති වූ කරදරත් එකතු විය. ඉස්ලාම් ධර්මය ලොව පහල වූ අවධියේ යුරෝපයේ තත්වය මෙබඳු විය.

 

7වන සියවසේ පටන් ක්‍රිස්තු රාජ්‍යයන්ට අභියෝගයක් වූයේ මුස්ලිම්වරුන්ය. සිරියාව, ඊජිප්තුව හා උතුරු අප්‍රිකානු රටවල් රෝමානු අධිරාජ්‍යයට අහිමි වූයේ 7වන සියවසේදීය. එසේ වුවද සුළු ආසියාව හා බෝල්කන් ප්‍රදේශ රෝමානු අධිරාජ්‍යයට තවදුරටත් ඇතුලත්ව පැවතිණි. ස්පාඤ්ඤයේ සිට මධ්‍යම ආසියාව දක්වා මුස්ලිම් සංස්කෘතික බලපෑම පැවතුණ අතර නැගෙනහිර අප්‍රිකානු රටවල් සහ ඉන්දියානු සාගරය හරහා නැව් ගමනාගමනය මඟින් චීනය හා ලංකාව වැනි රටවල් සමඟ වෙළඳාම ආරම්භකර තිබුණේ මුස්ලිම්වරුන් විසිනි. භූගෝල ශාස්ත්‍රය කෙරෙහිලා ඉන් අත්දැකීම් ලබා නව දැනුමක් ලබා තිබුණේද මුස්ලිම්වරුන්ය. ප්‍රාචීන රටවලින් සුඛෝපභෝගී වෙළඳ භාණ්ඩ මධ්‍යධරණී පෙදෙස් වලට විශේෂයෙන්ම ඉතාලි අර්ධද්වීපයේ වරාය වලට සපයන ලද්දේ මුස්ලිම්වරුන් විසිනි. 


11වන සියවස පමණ වනතෙක් එනම් 5වන සියවසේ රෝමානු අධිරාජ්‍යය බිඳවැටමෙන් පසුව බටහිර යුරෝප‍ය මුස්ලිම් තර්ජන වලට විවෘත විය. ක්‍රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් ධර්මය තනි දෙවියෙකු අදහන ආගම් දෙකක් වුවද ආගම් දෙක අතර එදා සිට මතු වූයේ එක ආගමක් අනෙක් ආගම අභිබවා නැගී සිටීමට සටන් වැදීමයි. එහි ප්‍රතිඵලය වූයේ පහතින් සඳහන් කර ඇති ආකාරයට කුරුස යුද්ධ මාලාවක් ඇති වීමයි. කුරුස යුද්ධය යුරෝපා පුනරුදයට එක් හේතුවක් විය. 


පෙර අපර දෙදිග වෙළඳාමේ ප්‍රධාන මධ්‍යස්ථානය වූ කොන්ස්තන්තිනෝපලය මධ්‍යතන යුගයේදී නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ අගනුවර විය. ක්‍රි. ව. 7වන සියවසේ ආරම්භයේ පමණ සිට අරාබිය මුල් කරගෙන ඉස්ලාම් ධර්මය පැතිර ගිය අතර එය යුරෝපය කෙරෙහි දෙයාකාරයකින් බලපෑම් ඇති කරන ලදි. ක්‍රිස්තු භක්තිකයන්ගේ ශුද්ධ භූමිය එනම් ජේසුස් වහන්සේ උපත ලැබූ ජෙරුසෙලම ඉස්ලාම් භක්තිකයන්ට යටත්ව පැවතීම ක්‍රිස්තු භක්තිකයන්ගේ දැඩි අසහනයට හේතු විය. ජෙරුසෙලම වන්දනාවේ යන වන්දනාකාරයන් මුහුණපාන දුක් කරදර, අ‍‍‍ඳෝනා, විස්සෝප වහවහා ප්‍රචාරයට ලක්කරන මිනිසුන්ද විය. මොවුන්ගේ ප්‍රධානියෙකු වූයේ පීතර නම් වන්දනාකාරයෙකි. ජෙරුසෙලමේ දුස්සාධ්‍ය පුවත අනෙක් මිනිසුන්ගේ සිත්වලට කාවදින ලෙස ඔහු දේශනා කරන්න‍ට පටන් ගත්තේය. ශුද්ධ භූමිය කිළිටිකරන මුස්ලිම්වරුන්ගෙන් එය නිදහස් කරගතයුතු බව ඔහු කියා සිටියේය. එසේම වන්දනාකාරයන්ට ඇතිකරන තාඩන පීඩන මෙන්ම වදබන්ධන ගැනද ඔහු ජනතාවට කරුණු කියා සිටියේය. මෙම ආරංචි වලින් මුළු යුරෝපයම අනුවේදනයක ගිලෙන්නට විය. ශුද්ධ භූමියට සිදු වී ඇති විපත්තිය ක්‍රිස්තු භක්තිකයන්ගේ හදවත් වේදනාවෙන් බර කරන්නට විය. මේ අනුව ජෙරුසෙලම මුස්ලිම්වරුන්ගෙන් බේරා ගැනීමට ශුද්ධ යුද්ධයක් කළ යුතු බව ක්‍රිස්තු භක්තිකයන්ගේ ඒකමතික තීරණය විය.


මෙම හේතුන් මත ජෙරුසලම මුස්ලිම්වරුන්ගෙන් බේරා ගැනීම සඳහා ශුද්ධ යුද්ධයක් කළ යුතුයැයි පාප්තුමා හා එතුමාගේ ක්‍රිස්තියානි මන්ත්‍රී මණ්ඩලයද ප්‍රකාශ නිකුත්කරන ලදි. එලෙස ජෙරුසලම බේරාගැනීම සඳහා ආරම්භකරන ලද යුද්ධය කුරුස යුද්ධය ලෙස හදුන්වන අතර එය ක්‍රි. ව. 1095දී ආරම්භවන ලදි. 


 එසේම ඉස්ලාම් බලය යුරෝපයට පැතිරිම දේශපාලන වශයෙන් යුරෝපයට තර්ජනයක් විය. ඒ හේතු කොටගෙන ඉස්ලාම් භක්තිකයන් හා ක්‍රිස්තු භක්තිකයන් අතර සියවස් කීපයක් තිස්සේ පැවති යුද මාලාවක් සිදුකෙරිණ. මේ වනවිට රෝමන් අධිරාජ්‍යයේ ගසාකෑමෙන් හා ක්‍රිස්තියානි නිකායන්ගේ අවුල් වියවුල් වලින් යුරෝපය බොහෝ සේ දුර්වල වී තිබුණි. මෙය අවස්ථාවක් කරගත් මුස්ලිම්වරු මිසරය ඉතා පහසුවෙන්ම යටත් කරගන්නා ලදි. මුස්ලිම්වරුන්ගේ සෙන්පතියෙකු වූ ඔක්බා උතුරු අප්‍රිකාව යටත් කරගනිමින් අත්ලාන්තික් සාගරය දක්වාත්, වර්තමානයේ මොරොක්කෝව නමින් ප්‍රසිද්ධ උතුරු අප්‍රිකාවේ බටහිර වෙරළ දක්වාත් ජයග්‍රාහීව ගමන් කරන ලදි.


මොරොක්කෝව හා අප්‍රිකාව ජයගත් මුස්ලිම්වරු, පුරාතන ග්‍රිකයන් විසින් “හර්කියුලීස් කුළුනු” නමින් හඳුන්වන ලද සමුද්‍ර තීරය තරණය කොට ස්පාඤ්ඤයටත්, එතනින් යුරෝපයටත් පැමිණියහ. අප්‍රිකාවේ සිට මේ සමුද්‍ර තීරය තරණය කොට යුරෝපයට පැමිණි සෙන්පතියාගේ නම ටාරික්ය. එහෙයින් ඔහු ගොඩබට තැන ජබාල්-අට්-ටාරික් (ටාරික්ගේ පර්වතය) හැටියට ප්‍රකට විය. වර්තමානයේ එම ස්ථානය ජිබ්රෝල්ටා නමින් ප්‍රකටය. ඉතා වේගයෙන් ස්පාඤ්ඤය අත්පත් කරගත් අරාබීහු දකුණු ප්‍රංශයට කඩා වැදුණෝය. මහම්මත් තුමාගේ අභාවයෙන් සියක් අවුරුද්දක් ගත වෙන්නටත් පෙර අරාබි අධිරාජ්‍යය දකුණු ප්‍රංශය හා ස්පාඤ්ඤය පසුකොට උතුරු අප්‍රිකාව හරහා සූවස් පසුකොට අරාබිය හා පර්සියාව ඔස්සේ මධ්‍යම ආසියාවේ මොන්ගෝලියානු දේශසීමාව දක්වා පැතිර ගියේය.


 යුරෝපයට මොවුහු දෙපැත්තකින් පහර දුන්හ. කොන්ස්තින්තිනෝපලයට ඉඳුරාම පහරදුන් මොවුහු ප්‍රංශයට, අප්‍රිකාව හරහා පැමිණ පහර දුන්හ. දකුණු ප්‍රංශයේ සටන් කළ අරාබීහු සංඛ්‍යාවෙන් ස්වල්ප වූහ. එහෙත් මෙම අරාබි සේනාවෙන් ප්‍රංශය තැතිගත් බවක් පෙනිණ. ඔවුන් හා සටන් කිරිමට හවුල් භට සංවිධානයක් ඇතිකරන ලදි. ක්‍රි. ව. 732දී චාල්ස් මාර්ටල් නැමැති සෙන්පතියාගේ නායකත්වයෙන් යුද වැදුණු මෙම හවුල් සේනාව ප්‍රංශයේ ටුවර්ස් නම් රණබිමේදී අරාබීන් පරාජයට පත් කළහ. ඉතිහාසඥයන් සඳහන්කරන ආකාරයට අරාබීන්ට අත්වන්නට ඔන්න මෙන්න කියා පැවති යුරෝපය ටුවර්ස් සටනින් ඔවුන්ට අහිමි වූ බවයි. එදා ඒ සටනින් යම් හෙයකින් අරාබීන් ජයග්‍රහණය කළේනම් යුරෝපයේ ඉතිහාසය බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබිණි. යුරෝපය තුළ මුස්ලිම්වරුන් ජය ගත්තේනම් ඔවුන්ගේ ගමන නවත්වන්නට කිසිවෙක් නොවන අතර ක්‍රිස්තියානිය වෙනුවට ඉස්ලාම් ධර්මය යුරෝපයේ ප්‍රමුඛවන්නටද, වෙනත් නොයෙක් වර්ගයේ විපර්යාස ඇතිවන්නටද ඉඩතිබිණි. තවද එමඟින් කොන්ස්තන්තිනෝපලය දක්වා ගමන්කොට නැගෙනහිර රෝම අධිරාජ්‍යය හා අතර තිබුණු සෙසු රාජ්‍යයනුත් අත්පත් කරගැනීමට ඉඩතිබිණි. 


මුස්ලිම් ආක්‍රමණයට විරුද්ධව ක්‍රිස්තියානි ලෝකය මධ්‍යධරණී ප්‍රදේශයේ, ප්‍රංශයේ, ස්පාඤ්ඤයේ, ඉතාලියේ, සිසිලියේ හා ක්‍රීටයේ කරමින් සිටි සටන් සියවස් හතරක් පමණ පැරණිය. කෙසේ හෝ මෙම මුළු කාලය තුළදීම නැගෙනහිර පැත්තේ පිහිටි දිගු ක්‍රිස්තියානි යුද පෙරමුණ ඉතා ශක්තිමත් ලෙස රැකගෙන සිටින ලද්දේ ඉහතින් දැක් වූ ආකාර‍යට කොන්ස්තන්තිනෝපලය කේන්ද්‍ර කො‍ටගත් බයිසන්තියානු අධිරාජ්‍ය විසිනි. නමුත් 1071දී කෙරුණු “මැල්ස්කර්ට්” සටනින් පසු සෙල්ජුක් හමුදාවෝ “බොස්පරස්” වෙත පැමිණ සිටියහ. කුමන හෝ මොහොතක ඔවුන් යුරෝපයට පහර දීමට සූදානම්ව සිටියහ. එමෙන්ම දිගු මධ්‍යධරණී යුද පෙරමුණ නැගෙනහිර පැත්තට යොමුකළ යුතුව තිබිණ.


 මෙලෙස සියවස් හතරක පමණ කාලයක් මුස්ලිම්වරු යුරෝපය බිය ගැන්වීමේ ක්‍රියාදාමයක නිරතව සිටියහ. මුස්ලිම්වරුන්ගේ මෙම කරදර බටහිර යුරෝපයට විෂම විපත්තියක් ලෙස දැනී යන්නට විය. ඒ අනුව මුස්ලිම් වාර්ගිකයන් පරාජය කිරීමේ අවශ්‍යතාවයක් යුරෝපයේ පැතිරී යන්නට විය. ආගම් දෙකකට අයත් මිනිසුන් කොටසක් එකිනෙකා කෙරෙහි බද්ධ වෛරයෙන් අරගලයට පිවිසෙන කල ඔවුන්ගේ මනස වෙත ආගම බලවත් සේ ප්‍රක්ෂේපනය වීම වැළැක්විය නොහැකි විය. එවිට එම අරගලයෙන් නිසැක වශයෙන්ම ගම්‍ය වූයේ එය ආගම් දෙකක් වෙනුවෙන් අරගල කරන්නක්වන බවය. ඒ යුද මාලාව ඉහත දැක්වූ ආකාරයට කුරුස යුද්ධය ලෙස හැඳින්වේ. 


යුරෝපයේ කුරුස සංග්‍රාම හේතු කොටගෙන ක්‍රිස්තු පක්ෂය නොහොත් ලෝක ක්‍රිස්තියානි මතයත් ක්‍රිස්තු විරෝධී මතයත් කැපී පෙනෙන්නට විය. යුරෝපා රටවල්වල එකමුතු මතයක් එමඟින් ඇතිවන්නට විය. එනම් මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් ශුද්ධ භූමිය බේරාගැනීමයි. මෙය ඉතා උදාර පරමාර්ථයක් ලෙස එකල ප්‍රදර්ශනය වූ බැවින් බොහෝ යුරෝපීය ජනතාව තමතමන්ගේ නිවෙස්, ධන ධාන්‍ය හැරපියා ශුද්ධ භූමිය වෙනුවෙන් දිවිදෙන්නට යුද පෙරමුණට ගි‍යහ. තවත් බොහෝ දෙනෙකු රණ පෙරමුණට ගියේ ශුද්ධ භූමිය වෙනුවෙන් යුද්ධ කළ විට උපන්දා සිට කළ පව් සේදී යන්නේ යැයි පාප්තුමා දුන් පොරොන්දුව නිසාය. කෙසේවෙතත් කුරුස යුද්ධයේ තවත් අරමුණුද පැවතිණි. කොන්ස්තන්තිනෝපලය තවත් කලක් යටත් කරගෙන සිටීමට බටහිර ශුද්ධ රෝමයට අවශ්‍ය විය. කොන්ස්තන්තිනෝපලයේ ක්‍රිස්තු නිකායත් බටහිර යුරෝපයේ ක්‍රිස්තු නිකායත් අතර බලවත් මතභේද මුල් කාලයේ සිටම පැවතුණි. කොන්ස්තන්තිනෝපලය පාප්තුමා සැලකුවේ හදිසියේ උසස් බවට පත්වූ අහංකාර බලවතෙකු හැටියටය. කොන්ස්තන්තිනෝපලය ‍රෝමයේ පාසඟල හමුවේ දණ ගස්සවන්නට පාප්තුමාට අවශ්‍යය විය.


කුරුස යුද්ධයෙන් අපේක්ෂා කළ තවත් අරමුණක් වූයේ වෙළඳාම පිළිබඳ ආකල්පයයි. වැනීසියේ හා ජිනෝවාවේ වෙළඳ නැව්තොටවල ජාවාරම්කාරයෝ කුරුස යුද්ධයට ආවැඩූහ. මන්දයත් සෙල්ජුක් තුර්කීන් පෙරදිගට යන නැව් මාර්ග අවහිර කර තිබූ නිසාය. එහෙත් පොදුජනයා කුරුස යුද්ධයේ මෙම යටි අරමුණ නොදත්හ. කුරුස යුද්ධ පැවති සමයේ යුද හමුදාවේ පෙරමුණගත් අධිරාජ්‍යයන් හා රජ දරුවන් පලස්තීනයට ගොස් ව්‍යසනයට පත්වෙද්දී පාප්තුමා රෝමයේ සිට ශුද්ධ යුද්ධය සඳහා අණ දුන්නේය. එය පාප්තුමාගේ අතිබලසම්පන්න අවධියද විය. මහා අධිරාජ්‍යයන් තමාගේ දෙපාමුලට ගෙන්වන්නට තරම් පාප්වරුන්ගේ බලය මෙකල බලවත් විය. 


කුරුස යුද්ධය පැවති කාලය යුරෝපාවාසීන්ගේ භක්තිය, විශ්වාසය හා ප්‍රාර්ථනා බලපැවැත්වූ වකවානුවක් හැටියට සැලකිය හැකිය. මේ භක්තියෙන්, විශ්වාසයෙන් හා ප්‍රාර්ථනාවන්ගෙන් මිනිස්සු ඔවුන්ගේ දුක් කම්කටොළුවලින් මිදීමට බලාපොරොත්තු විය. එකල විද්‍යාවක්ද නොවීය. මේ කුරුස යුද්ධවල අවසාන ප්‍රතිඵලය වශයෙන් ක්‍රිස්තු භක්තික යුරෝපා ජාතීන් පරාජයට පත් වූ අතර 1453දී කොන්ස්තන්තිනෝපලය ඉස්ලාම් භක්තික තුර්කීන් අතට පත්විය.


ක්‍රි. ව. 1453දී තුර්කීන් විසින් කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලා යටත්කර ගැනීමත් සමඟ අවුරුදු දහසක් පැවති බයිසන්තියන් අධිරාජ්‍යය අවසානයට පත්විය. සුලෙයිමන්ගේ නායකත්වය යටතේ ඔටෝමන් තුර්කිවරු බෙල්ග්‍රේඩ්ද යටත් කරගනු ලැබීය. හංගේරියානුවන්ද පරාජයට පත්කර 1529දී ශුද්ධ වූ රෝමානු අධිරාජ්‍යයේ වියානා නගරය ආක්‍රමණය කරනලද නමුත් 1529දී ශුද්ධ රෝම අධිරාජ්‍යයා වූ 5වන චාල්ස් අගරජු විසින් වියානා නගරය ඔටෝමන් තුර්කිවරුන්ගේ අතට පත්වීම වලක්වන ලදි. 


1453දී කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කීන් අතට පත් වූවාට පසුව ග්‍රීක් සත්‍ය ලබ්ධික ආගමික උගතුන් මෙන්ම ආගමික නොවූත් වියතුන් කොන්ස්තන්තිනෝපල් නගරයේ ආරක්ෂා වෙමින් පැවති ඉපැරණි ග්‍රීක දාර්ශනික පොත් පත් ආදියද රැගෙන කොන්ස්තන්තිනෝපල් හා ඒ අවට ප්‍රාද්ශවලින් පලා ගොස් යුරෝපීය රටවල පදිංචි වීම නිසා යුරෝපීය රටවල ක්‍රිස්තු ධර්මය ප්‍රතිසංස්කරණයට ලක්වීමත් සමඟ දේශපාලන වශයෙන්ද යුරෝපයේ ප්‍රතිසංස්කරණ ඇතිවීමට පටන් ගත්හ. එමඟින් කතෝලික ක්‍රිස්තියානි ධර්මයට වඩා ප්‍රතිසංස්කරණය කෙරුණු ක්‍රිස්තියානි ධර්මය 15වන හා 16වන සියවස්වල යුරෝපයේ ධනවාදය දියුණු කිරීමටද උපයෝගී වූ බව පැහැදිලිය.  


පෙර අපර දෙදිග වෙළඳාමේ මධ්‍යස්ථානයක්ව පැවති කොන්ස්තන්තිනෝපලය ඉස්ලාම් භක්තික තුර්කීන් අතට පත්විමෙන් යුරෝපයට සිදු වූයේ අතිවිශාල පාඩුවකි. තුර්කීන් විසින් අධික බදු පැනවීම නිසා යු‍රෝපයට ගෙනා වෙළඳ ද්‍රව්‍ය සීමාවන්නටත් ඒවාය් මිල ඉහල යන්නටත් විය. මේ වනවිට කුළු බඩු යුරෝපීයන්ගේ ජීවිතයේ අත්‍යාවශ්‍යය භාණ්ඩයක් බවට පත්වී තිබුණි. මන්දයත් ඒවා ඔවුන්ගේ ආහාර නරක් නොවී කල්තබා ගැනීමට යොදාගත් බැවිනි. එම නිසා කුළු බඩුවල මිල ඉහළ යාම ඔවුන්ට මහත් පාඩුවක් විය. තවද මේ දක්වා යුරෝපයේ ගොඩබිම් වෙළඳාමේ ඒකාධිකාරයක් ගොඩනගාගෙන තිබූ යුරෝපා ප්‍රභූවරුන්ට සුඛෝපබෝගී භාණ්ඩ ලබා ගැනීමටද දුෂ්කර විය. වෙළඳාම හා සම්බන්ධව පැවති යුරෝපා රාජ්‍යවල ආර්ථික තත්වය කෙරෙහි මෙය අහිතකර ලෙස බලපෑවේය. මෙම අභියෝගයෙන් පොළඹවනු ලැබූ යුරෝපීයෝ පෙරදිගට පැමිණිම සඳහා නව මාර්ගයක් සෙවීමට යුහුසුළු වූහ. 


යුරෝපයේ වෙළඳාමට අවශ්‍ය භාණ්ඩ වැඩි වශයෙන් ගෙන්වන ලද්දේ ආසියාතික රටවලිනි. ඒ සඳහා උපයෝගී කරගත් ප්‍රධාන වෙළඳමාර්ග වලින් එකක් රතු මුහුද ඔස්සේද අනෙක පර්සියන් බොක්ක හරහාද වැටී තිබිණි. මේ අතරින් රතු මුහුද ඔස්සේ වැටී තිබුණු මාර්ගය ඉන්දියාවේ සිට සොකොත්‍රා, ඒඩ්න් හරහා ඇලෙක්සැන්ඩ්‍රියාව දක්වා විය. අනෙක් මාර්ගය ඉන්දියාව, ඕම්ස්, බස්රා, බැග්ඩෑඩ්, ලෙවාන්ත් හරහා කොන්ස්තන්තිනෝපලයට වැටී තිබුණි. මේ අනුව යුරෝපයට භාණ්ඩ බෙදාහරින ප්‍රධාන මධ්‍යස්ථාන දෙක වූයේ කොන්ස්තන්තිනෝපලය හා ඇලෙක්සැන්ඩ්‍රියාවයි. මෙම මධ්‍යස්ථාන දෙකම මුස්ලිම්වරු සතු වීම යුරෝපීයන් ආසියාව දක්වා නව මාර්ග සෙවීම සඳහා උත්සුක කරවීමට හේතුවිය.


තම සතුරන් වූ ඉස්ලාම් භක්තිකයන්ගේ ආර්ථික හා ආගමික බලය රඳා පැවති ඉන්දියන් සාගරය ඇතුළු පෙරදිග ප්‍රදේශ වලට පැමිණ ඔවුන්ගේ බලය බිඳ දැමීමේ දැඩි අධිෂ්ඨානයත් යුරෝපා ජාතීන් තුළ ඇති විය. විශේෂයෙන් ආර්ථික හා ආගමික හේතූන් නිසා ඇති වූ මේ උනන්දුව පෙරදිගට නව මුහුදු මාර්ගයක් සොයාගෙන ඒ ඔස්සේ 1498දී මුලින්ම ඉන්දියාවට ගොඩබට වස්කෝද ගාමා විසින් කරනු ලැබූ “අපි ක්‍රිස්තියානීන් සහ කුළු බඩු සොයා පැමිණියෙමු” යන ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. 


මෙම අරමුණ කේන්ද්‍ර කොටගෙන යුරෝපීයන් දේශගවේෂණ ව්‍යාපාරයන්ට පෙළඹුණ අතර එමඟින් වෙළඳාමද දියුණු විය. වෙළඳාමේ දියුණුව නිසා ප්‍රවේණි ක්‍රමය දුර්වල වීමටද, වැඩවසම් ක්‍රමයේ පරිහානියටද එය හේතුවිය. ප්‍රවේණි ක්‍රමය දුර්වල වීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වූයේ නගර දියුණු වීමයි. වෙළඳාමෙන් දියුණු වූ නගරවල ඒවා අවට ප්‍රදේශ සමඟ ඇති කරගත් ආර්ථික සබඳතා නිසා නාගරික ආර්ථික ක්‍රමයක් ඇති වීමේ පදනම වැටුණි. භාණ්ඩ හුවමාරු ගනුදෙනු ක්‍රමය තුළ ප්‍රවේණියට සීමා වී සිටි ගොවීහු මුදල් හුවමාරුව පැතිර යාම හා නගර බිහිවීම සමඟ තම නිෂ්පාදන නගරවලට විකුණා තමන්ට අවශ්‍ය දේ නගරවලින් මිලදී ගැනීමට පුරුදු වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වැඩවසම් ක්‍රමයට ආවේණික ස්වයංපෝෂිත ග්‍රාමීය ආර්ථික රටාව පරිහානියට පත්විය. මුදල්‍ ගෙවා රාජකීය වරපත් ලබාගත් නගර ස්වයංපාලන බලතල හිමි ආයතන බවට පත්විය.


කුරුස යුද්ධ නිසා යුරෝපීය රටවල් එකිනෙකට ගැටීමෙන් යුරෝපීය රටවල් සහ එම රටවල් අතර වෙළහෙලඳාමද ආරම්භ වුණි. “ෆ්ලෝරීන්” කාසි සහ වැනීසියේ කාසි බටහිරට ගලා එන්නට පටන් ගත්හ. භාණ්ඩ හුවමාරුව හා වෙළඳාම හේතුවෙන් යුරෝපයේ “මූල ධනය” (Capital) එක්රැස්වන්නට පටන් ගත්තේය. මූල ධනය එක් අතකින් ඉතිරි කිරීමක් විය. අනික් අතින් විදේශ විනිමය (Foreign exchange) වූයේය. ක්‍රි. ව. 1095 පටන් 1249 දක්වා කුරුස යුද්ධ හතක් ඇති වූ අතර ඒ මාර්ගයෙන් යුරෝපීය රටවලට නැගෙනහිර දෙස පිහිටි රටවල් පිළිබඳ කරුණු දැනගත හැකිවිය. 


යුරෝපයේ, විශේෂයෙන් නගර ජීවිත සම්බන්ධයෙන් ඇති වූයේ බලවත් වෙනසකි. රෝම අධිරාජ්‍යය පැවති ආදී යුගයේ මධ්‍යධරණී මුහුද වටා විශාල නගර විය. එහෙත් රෝමයේ හා ග්‍රීක රෝම සභ්‍යයත්වයේ බිඳවැටීමෙන් පසු කොන්ස්තන්තිනෝපලය හැරුණු විට කුරුස යුද්ධයට පෙර යුරෝපයේ විශාල නගර ඉතිරි වූ බවක් නොපෙනේ. එකල අරාබීන් යටතේ පැවති ස්පාඤ්ඤයේ පමණක් මහ නගර ඉදිවෙමින් පැවතිණ.  එබැවින් යුරෝපයට මුස්ලිම් ආක්‍රමණ එල්ල වීම මඟින් යුරෝපයේ මෙතෙක් නොතිබුණු නාගරික ජීවිතය පිළිබඳ නව යුගයක් ඉන් උදාවිය. තවද යුරෝපයේ ඇති වූ ශාස්ත්‍ර නවෝදය සමඟ විද්‍යානුකූල අදහස් පහලවීමද මේ සමයේ සිදුවිය. එලෙස යුරෝපයේ ඇති වූ විද්‍යානුකූල කල්පනාවලට අරාබියෙන් ලැබුණු ආධාර සුළුපටු නොවේ. මන්දයත් මධ්‍යතන යුගයේ විද්‍යානුකූල සංකල්පනාවලට පල්ලියෙන් අකුල් හෙලනු ලැබීමයි. නමුත් කුරුස යුද්ධය යුරෝපීයන් පරාජයට පත්කිරීමත් සමඟ පල්ලිය අභිබවා විද්‍යාව ඉස්මතුවන්නට විය. 


15වන සියවස අගභාගය වනවිට කොන්ස්තන්තිනෝපලය මුස්ලිම්වරුන් අතට පත්වීමෙන් යුරෝපයේ දේශගවේෂණ ව්‍යාපාරවල වර්ධනයක් සිදුවිය. දේශගවේෂණ ප්‍රතිඵල වශයෙන් යුරෝපයේ සිට ආසියා, අප්‍රිකා සහ ඇමෙරිකානු මහද්වීප කරා යෑම සදහා මුහුදු මාර්ග සොයාගත හැකිවිය. මෙයින් සිදුවූයේ මෙතෙක් යුරෝපයත් බාහිර ලෝකයත් අතර පැවති සීමිත සබඳතා තවදුරටත් පුළුල් වීමයි. 


මධ්‍යතන අවධියේදී පල්ලියේ ආධිපත්‍ය මත අඳුරු කලදසාවක ගිලී තිබූ යුරෝපය, ඉස්ලාම් ශිෂ්ටාචාරයෙන් ඇති වූ බලපෑම් හේතුවෙන් නව යුගයක ආරම්භයක් ඇතිවන්නට විය. ඒ හේතුවෙන් ක්‍රමිකව පල්ලියේ බලය දුර්වල වූ අතර ජාතික රාජ්‍ය ඇති වීම හා අරාබීන් සතු දැනුම යු‍රෝපයට ලැබීම හේතුවෙන් යුරෝපයේ විද්‍යාත්මක දැනුමද ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. ඉස්ලාම් ශිෂ්ටාචාරයේ බලපෑමක් යුරෝපයට ඇති නොවුනේ නම් යුරෝපය පුරා නොදියුණු ගෝත්‍රික ආකල්ප, වැඩවසම් ආර්ථික ක්‍රමය, විමධ්‍යගත පාලනය සහිත විසිරී ගිය රාජ්‍යයන් හා කතෝලික පල්ලියේ පීඩිත ආකල්ප තව චිරාත් කාලයක් පවතින්නට ඉඩ තිබිණි. එබැවින් ඉහත කරුණු අධ්‍යයනයේදී පෙනී යන්නේ මධ්‍යතන යුරෝපයට ඉස්ලාම් ශිෂ්ටාචාරයෙන් විශාල බලපෑමක් ඇති වූ බවයි. 



No comments:

Post a Comment