Saturday 21 November 2020

ඉන්දු ගී‍්‍රක ආක‍්‍රමණයන් ඉන්දීයාවට එල්ල වීම පශ්චාත් මෞර්ය අවදියේ පැවති දේශපාලන අරාජිකත්වයේ ප‍්‍රතිඵලයකි.

 

                 

   


හැඳින්වීම                                                                                                                          

මෞර්ය රාජධානියේ පිරිහීම                                       

ශුංග බලපෑම                                                  

කාන්ව වංශය                                                  

ඉන්දු ග‍්‍රීකයන් හෙවත් යවනයන්ගේ ප‍්‍රභවය                                                            

මෞර්ය රාජධානිය හා ග‍්‍රීක බලපෑම                                                                          

ඉන්දු ග‍්‍රීක ආක‍්‍රමණ ඉන්දියාවට එල්ලවීමට මුල් වූ හේතු                                      

ඉන්දු ග‍්‍රීකයන්ගේ පරිහානිය                                   


සමාලෝචනය                                                                                                                 




ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය.                                                                                                  


හැඳීන්වීම


     ඉන්දු ග‍්‍රීක හෙවත් යවන ආක‍්‍රමණ පිළිබඳ විමසීමේදී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ඉන්දීය ආක‍්‍රමණය එහි ආරම්භය ලෙස සැලකිය හැකිය. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ක‍්‍රි.පූ.326දී ඉන්දියාව ආක‍්‍රමණය කළද, සමස්ත ඉන්දියාවම යටත් කිරීමට නොහැකි විය. ඔහුගෙන් පසු ඔහුගේ සෙන්පතියෝ ග‍්‍රීක බලයට යටත් වූ ඉන්දියානු ප‍්‍රදේශවල පාලනය ගෙන ගියහ. එම ග‍්‍රීක රජවරුන්ගේ බලපෑම  ඉන්දියාවේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හේතු විය. 

       

        මුලදී ඇෆ්ගනිස්ථානය ආශ‍්‍රිතව ඇති බැක්ටි‍්‍රයාව කේන්ද්‍ර කොට ගනිමින් ඉන්දියාවේ වයඹදිග ප‍්‍රදේශවලට ග‍්‍රීක ආක‍්‍රමණ එල්ල වුවත් මගධය කේන්ද්‍රකොටගත් මෞර්ය රාජවංශය ඉන්දියාවේ ප‍්‍රබල වීමත් සමඟ එම ආක‍්‍රමණ සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවිය. නමුත් මෞර්ය රාජවංශ දුර්වල වීමත් සමඟ නැවත ඉන්දු ග‍්‍රීක ආක‍්‍රමණ ඉන්දියාවට එල්ලවන ආකාරයක් දැකිය හැකිය.


       ඉන්දු ග‍්‍රීක ආක‍්‍රමණයන්හි ප‍්‍රතිඵලයක් ලෙස උතුරු ඉන්දියාෙවි විශාල ප‍්‍රදේශයක බලය පැතිරවීමට ඔවුන්ට හැකිවිය. මෙහිදී ඉන්දු ග‍්‍රීක ආක‍්‍රමණ ඉන්දියාවට එල්ල වීමට හේතු වූ මෞර්ය රාජධානියේ පිරිහීම හා එයත් සමඟ නැවත ඉන්දු ග‍්‍රීක ආක‍්‍රමණ ප‍්‍රබලව ඉන්දියාවට එල්ල වීමත්, එම ආක‍්‍රමණයන්හි ප‍්‍රතිඵලත් සවිස්තරාත්මකව මෙමඟින් ඉදිරිපත් කෙරේ. ඇලෙක්සැන්ඩර්ගේ ආක‍්‍රමණයත්, මුලදී එම ආක‍්‍රමණ සාර්ථකව මැඩපැවැත්වූ චන්ද්‍රගුප්ත මෞර්යගෙන් ආරම්භ වූ මෞර්ය රාජධානියත් පිළිබඳව කෙටියෙන් විස්තර ඉදිරිපත් කෙරේ.  


 


මෞර්ය රාජධානියේ පිරිහීම

       ක‍්‍රි.පූ.324 සිට ක‍්‍රි.පූ.187 දක්වා වසර 137 පමණ කාලයක් මෞර්ය බලපෑම ඉන්දියාවේ තිබිණි. එලෙස පැවති මෞර්ය රාජධානියේ පිරිහීමට හේතු වූ කාරණා කිහිපයක්ම පවතී. සමහර ඉතිහාසඥයන්ගේ මතය වන්නේ අශෝකගේ ධර්ම විජය ප‍්‍රතිපත්තිත් අවිහිංසාවාදී ප‍්‍රතිපත්තිත් මෞර්ය රාජධානියේ පිරිහීමට බලපෑ බවයි. එම මතයට අනුව අශෝක රජු සියලූ යුද කෝලාහල වැළැක්වීමෙන්ද, තමන්ගේ ආදර්ශය අනුව රට පාලනය කරනු සඳහා සිය පුතුන්ටත් මුණුබුරන්ටත් අනුශාසනා කිරීමෙන්ද, ඔහු මගධය ඉහළට නැංවූ යුදකාමී හැඟීම් මැඩපවත්වා ඇත. එමඟින් අධිරාජ්‍යය පදනම තහවුරුකළ මෞර්ය යුදහමුදාව උදාසීන වී  යුදශක්තිය දුර්වල වූ බවත් පසුකාලීනව එල්ල වූ ආක‍්‍රමණ වලට මුහුණ දීමට නොහැකි වීමෙන් මෞර්ය රාජධානිය බිඳවැටුණු බවත් හේමචන්ද්‍ර රායි, රායි චෞද්‍රි හා බන්ඩක්කාර් යන ඉතිහාසඥයන් පෙන්වාදේ.

         

        නමුත් මෙය පිළිගත නොහැකිය. මන්දයත් තමාගේ යටතේ තිබූ සමහර ප‍්‍රදේශවල ඉදිකරවා ඇති අශෝක සෙල්ලිපි වලින් අශෝක අධිරාජ්‍යයා එම ප‍්‍රදේශවල ජනතාවට තර්ජනාත්මක ස්වරූපයෙන් අවවාද ලබා දී ඇත. එයට අනුව මෞර්ය පාලනයට අභියෝග කරන්නන්ට දඩුවම් පැමිණවීමට තමා පසුබට නොවන බව අදහසක් අන්තර්ගත වේ. (උදා: කාලිංඝ සෙල්ලිපි * එයින් පෙනීයන්නේ තමා යටත් කළ ප‍්‍රදේශවල සිටි ජනතාව ස්වාධීන වීමට උත්සාහකළ බවත් එය මැඩපැවැත්වීමට රජු ඉදිරිපත් වූ බවත්ය.  


          ධර්මාශෝක රජුගේ බුද්ධාගමට ලැදි ප‍්‍රතිපත්ති හේතුවෙන් රාජසභාවේ සිටි බ‍්‍රාහ්මණිකයන් අමනාප වූ බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස පුෂ්‍යමිත‍්‍ර ශුංග ප‍්‍රමුඛ බ‍්‍රාහ්මණයන් සමූහයක් අශෝක ඇවෑමෙන් ඔහුගේ අනුප‍්‍රාප්තිකයන්ට විරුද්ධව නැගීසිටි බවත් (හරි ප‍්‍රසාද්ගේ මතය* තවත් එක් මතයකි. මෙයද සාර්ථකව පිළිගත හැකි මතයක් නොවේ. මන්දයත් පුෂ්‍යමිත‍්‍ර ශුංගගේ කුමන්ත‍්‍රණය, බලය ලබා ගැනීම සඳහා වූ රජපෙළපතේ තවත් එක් විප්ලවයක් පමණක්වන අතර පුෂ්‍යමිත‍්‍ර සතු වූ ප‍්‍රධාන සෙන්පති තනතුර ඒ සඳහා උපකාරි වූ බව පැහැදිලි වේ. 


       බෘහද්රථගේ මරණයට පෙර සිටම ශුබගසේන (සුභගසේන * නම් ප‍්‍රභූවරයෙක් කාබුල් නිම්නයේ ස්වාධීන රාජධානියක් ඇතිකරගෙන රජකම් කළබව ඉන්දු ග‍්‍රීක වාර්තා වලින් අනාවරණය වේ. විදර්භය හෙවත් බීරාරයද නිදහස් රටක්ව පැවති බවට සාක්ෂි තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ පුෂ්‍යමිත‍්‍රයන්, බෘහද්රථ රජුව මරා පැහැරගත්තේ මෞර්ය අධිරාජ්‍යය නොව ඉන් ඉතිරිව තිබූ එක් කැබැල්ලක් පමණක් බවයි.


       මෞර්ය රාජධානියේ පරිහානිය පිළිබඳව විවිධ මතවාද ඇතත් පැහැදිලිවම පිළිගත හැකි මතයන් කීපයක් ඇත. ඒවානම් අශෝකගෙන් පසුව බලයට පත්වූ දුර්වල පාලකයන්, සෙන්පතීන්ගේ බලවත්වීම්, අධිරාජ්‍යයේ විශාලකම, ඈත පලාත්වල පැවති ස්වේච්ඡුා පාලනය පිළිබඳ හැඟීම් හා ¥ෂිත පාලනයන්, ගමනාගමනයේ ඇති දුෂ්කරතාත් යන කාරණා මෞර්ය අධිරාජ්‍යයේ පදනම දුර්වලකළ බවයි.


ශුංග බලපෑම

          මෞර්ය අධිරාජ්‍යයේ අවසාන පාලකයා වූ බෘහද්රථ රජු ඝාතනය කොට රාජ්‍යය බලය පැහැරගත් පුෂ්‍යමිත‍්‍ර ශුංග (ක‍්‍රි.පූ.187-151* බ‍්‍රාහ්මණයෙකු ලෙස පිළිගැනේ. ඔහු පාටලීපුත‍්‍රයේ සිට නර්මදා නදිය තෙක් පැතිරි අයෝධ්‍යාව හා වේදිසාව යන ප‍්‍රදේශද ඇතුලත්ව අශෝකගේ අධිරාජ්‍යයට වඩා කුඩා අධිරාජ්‍යයක් පාලනය කලේය. පතාංජලීගේ මහාභාෂ්‍යයේ ඇති තොරතුරුවලට අනුව පුෂ්‍යමිත‍්‍ර ශුංග වයඹ දිගින් එල්ල වූ යවන ආක‍්‍රමණ සාර්ථකව මැඩපවත්වා ඇත. තවද ස්වාධීන රාජධානි ලෙස වර්ධනය වූ විදර්භය  යුද්ධයෙන් පරාජය කොට නැවත තම ආධිපත්‍යය එහි පිහිට වූ බවට මූලාශ‍්‍රගත තොරතුරුවලින් අනාවරණය වේ.


          පුෂ්‍යමිත‍්‍ර රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් අග්නිමිත‍්‍ර රජකමට පත්විය. කාලිදාසයන්ගේ මාලවීකාග්නිමිත‍්‍ර නම් කාව්‍යයේ වීරවරයා වන්නේද අග්නිමිත‍්‍රය. ඔහු තම පියාගේ රාජ්‍යය කාලයේදී වේදිසාවේ ප‍්‍රතිරාජයා වශයෙන් පාලනය ගෙනගිය අතර විදර්භයට විරුද්ධව කළ සටනද මෙහෙයවීය. විෂ්ණු පුරාණයට අනුව අග්නිමිත‍්‍රගෙන් පසුව බලයට පත්වූයේ සුජ්‍යෙෂ්ඨ නම් රජුය. ඔහු පිළිබඳ තොරතුරු ඉතාමත් අල්ප වේ. ඔහුගේ ඇවෑමෙන් අග්නිමිත‍්‍රගේ තවත් පුත‍්‍රයෙකු වූ වසුමිත‍්‍ර රජකමට පත්වූ බව සඳහන් වේ. වසුමිත‍්‍රගෙන් පසු අසාදසේන නම් පුද්ගලයෙකු රජකමට පත්වූ බවට සමහරක් මූලාශ‍්‍රවල සඳහන්වන අතර තවත් සමහරක් මතයන්ට අනුව වසුමිත‍්‍රගෙන් පසුව පාලනය බාරගෙන ඇත්තේ භාගභද්‍ර නම් කුමාරයෙකි. ඔහුට පසුව වඡ්ජි, භාගමිත‍්‍ර, දේවභූති නම් පාලකයන් බලයට පත්වූ බව සඳහන් වේ. නමුත් ඔවුන් පිළිබඳව තොරතුරු ඉතාමත් අල්පය. 


කාන්ව වංශය

        ක‍්‍රි.පූ.75දී පමණ ශුංග පෙළපතේ අවසාන පාලකයා වූ දේවභූමි රජු මරා ඔහුගේම ඇමතියෙකු වූ කාන්ව වංශික වාසුදේව නම් බ‍්‍රාහ්මණයා විසින් බලය ලබාගත් බවට බාණගේ හර්ෂ චරිතයේ සඳහන් වේ. වාසුදේවගෙන් පසු භූමිමිත‍්‍ර, නාරායණ හා සුශර්මන් යන පාලකයන් වසර 45ක පමණ කාලයක් කාන්ව පෙළපත වෙනුවෙන් උතුරු ඉන්දියාව පාලනය කළ බව සඳහන් වේ.


       මෙලෙස අස්ථාවර වූ මගධ අධිරාජ්‍යය වයඹදිග ප‍්‍රදේශවල සිටි ඉන්දු ග‍්‍රීකයන්ගේ ආක‍්‍රමණවලට ලක්වන ආකාරයක් දැකිය හැකිය. 

      

ඉන්දු ග‍්‍රීකයන් හෙවත් යවනයන්ගේ ප‍්‍රභවය.

     ඉන්දු ග‍්‍රීකයන් යවනයන් ලෙසත් තවත් තැනක බැක්ටි‍්‍රයන් ග‍්‍රීකයන් ලෙසත් හªන්වනු ලැබේ. ඉන්දීය සාහිත්‍යයේ ග‍්‍රීකයෝ හªන්වනු ලැබුවේ යවන යන නමිනි. එම යවන යන නාමය ග‍්‍රීක  ර්‍ණාදඩැි” යන වචනයෙන් පර්සියානුව ඔස්සේ ඉන්දියාව තත්සම කොටගත් වචනයක්  ලෙසින්ද සැලකේ. කෙසේ වෙතත් පසුව  ඕනෑම විදේශිකයෙකුට මෙම නම ව්‍යවහාර කළ බව පෙනෙන්නට තිබේ. අශෝක සෙල්ලිපි වලද ග‍්‍රීකයන් හªන්වා ඇත්තේ යෝන යන ප‍්‍රාකෘත වචනයෙන්ය. 


       වයඹදිග ඉන්දියාවේ යවන ජනපද ඉදිවීමත්, ඔවුන් ඉන්දියාවට පැමිණීමටත් මූලික වූ ප‍්‍රධාන කාරණය වන්නේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ඉන්දීය ආක‍්‍රමණයයි. මන්දයත් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා බලාපොරොත්තු වූයේ තමා විසින් යටත්කරන ලද ඉන්දියානු ප‍්‍රදේශ පර්සියන් යටත්විජිතයට ඈඳා පාලනය ගෙනයාමටයි. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා තමන් විසින් යටත් කරනලද ඉන්දියාවේ සමහර ප‍්‍රදේශවල බලකොටුද තවත් සමහරක් ප‍්‍රදේශවල ග‍්‍රීක ජනපදද පිහිටුවන්නට ඇත්තේ ඉහත අභිප‍්‍රායන් මුදුන්පමුණුවා ගැනීමේ අරමුණින් විය හැකිය. ඩයෝඩරස්ට අනුව ඇලෙක්සැන්ඩර් මෙම සටන් ව්‍යාපාරයේදී තමා යටත්කල ඉන්දියානු ප‍්‍රදේශවන බැක්ට‍්‍රියාව හා සොග්ඩියානාව ඇතුලූ තවත් ප‍්‍රදේශ 300ක පමණ  ග‍්‍රීක ජනපද පිහිටුවා තිබේ.


         කෙසේවෙතත් ඇලෙක්සැන්ඩර්ගේ අකල් මරණය හේතුවෙන් ඔහු බලාපොරොත්තු වූ අන්දමට වැඩකටයුතු සිදුනොවූ අතර තමා යටත්කළ වයඹදිග ඉන්දියානු ප‍්‍රදේශ පාලනයකළ ග‍්‍රීක සෙන්පතියන් ඒවායේ රජවරුන් ලෙස ස්වාධීන විය. චන්ද්‍රගුප්ත මෞර්ය යුගයේදී එල්ල වූ සෙලියුකස් නිකේටර්ගේ ආක‍්‍රමණත් මෞර්ය රාජධානියේ අවසාන යුගයේදී එල්ල වු බැක්ට‍්‍රියන් ග‍්‍රීක ආක‍්‍රමණත් එහි ප‍්‍රතිඵල ලෙස හැඳින්විය හැකිය.  ර්‍ණඇලෙක්සැන්ඩර් හා ග‍්‍රීක හමුදාවන් ඉන්දියාවේදී දුබලව ගියහ. නමුත් ඔවුන්ගේ සටන සිහිනයක් නොවීය. ඒ සටනේ නියම ප‍්‍රතිඵල නිගමනය කළ යුත්තේ, එහි විද්‍යාමානවන ප‍්‍රතිඵල සොයාගෙනය” යනුවෙන් මහාචාර්ය බෙවන් මහතා පැවසීම  මඟින් පෙනීයන්නේ වයඹදිග ඉන්දු ග‍්‍රීක ආක‍්‍රමණයන්වලට ඇලෙක්සැන්ඩර්ගේ ඉන්දීය ආක‍්‍රමණය හේතු වූ බවයි.



මෞර්ය රාජධානිය හා ග‍්‍රීක බලපෑම්.

       ඇලේසැන්ඩර්ගේ ඉන්දීය ආක‍්‍රමණයේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස චන්ද්‍රගුප්ත මෞර්ය රජුට තම අධිරාජ්‍යය බිහිකරගැනීමට අවශ්‍යය පදනම සකසා ගැනීමටද හැකිවිය.


       ඒ කෙසේදයත් එකල ඉන්දියාවේ රජකම්කළ ධනනන්ද රජු නෙරපා රාජ්‍යය බලය ලබාගැනීම සඳහා චන්ද්‍රගුප්ත මෞර්ය ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ උදව් උපකාර අපේක්ෂා කළ බව ඉතිහාසගත තොරතුරු අධ්‍යයනයෙන් අනාවරණය වේ. මුලදී චන්ද්‍රගුප්තට උපකාර කිරීමට ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා කැමති විය. නමුත් චන්ද්‍රගුප්තයන් අධිරාජ්‍යයා හමුවේ ගරුසරු නැතිව කතාතිරීම හේතුවෙන් ඔහු කෙරෙහි කිපී ඔහු මරා දැමීමට ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා නියෝග කලේය. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගෙන් බේරී පලාගිය චන්ද්‍රගුප්තට  වින්ධ්‍යා වනයේදී කෞටිල්‍යය නම් රාජ්‍යය තන්ත‍්‍රය පිළිබඳ විශාරදයෙකු හමුවිය. චන්ද්‍රගුප්ත මෞර්යට නන්ද පෙළපත විනාශ කරමින් ක‍්‍රි.පූ.324දී පමණ මගධයෙහි රජකමට පත්වීමට හැකිවූයේ මෙම කෞටිල්‍යයගේ උදව් උපකාර හා උපදේශන නිසාවෙනි. කෞටිල්‍යය නොසිටින්නට චන්ද්‍රගුප්ත කෙනෙකුවත් මෞර්ය අධිරාජ්‍යයක්වත් බිහි නොවන්නට ඉඩ තිබිණ.


     තවද ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා පැමිණි මාර්ගය ඔස්සේ පසුකලෙක බැක්ට‍්‍රියන් යවනයන් ඉන්දියාවට පැමිණීම, වයඹදිග ඉන්දියාවේ යවන ජනපද කීපයක් ඇතිවීම ද මෙහි අතුරු ප‍්‍රතිඵලයකි. තවද ඉන්දීය ඒකාබද්ධතාවයේ වර්ධනයටත්, පන්ජාබයේ සුළු ජනපද දුර්වල කිරීමෙන් මෞර්ය අධිරාජ්‍යය විශාල කිරීමටත්, ඇලෙක්සැන්ඩර්ගේ ආක‍්‍රමණ අනියම් ලෙස දායක විය. ඒ කෙසේද යත් ඇලෙක්සැන්ඩර් විසින් බිහිසුනු සටනකින් පසුව ගෝත‍්‍රික ජනපදයන් මෙල්ල කිරීම හේතුවෙන්, පසුව රජ වූ මෞර්ය චන්ද්‍රගුප්තයන්ට ස්වකීය ආධිපත්‍යය යටතට එම ප‍්‍රදේශ පහසුවෙන්ම යටත්කර ගැනීමට හැකිවීමයි. 


    ඇලෙක්සැන්ඩර්ගෙන් පසු ග‍්‍රීකයන්ට යටත් වූ ඉන්දියාවේ වයඹදිග ප‍්‍රදේශ පාලනය කරනු ලැබුවේ සෙලියුකස් නිකේටර් නම් ග‍්‍රීක පාලකයෙකු විසිනි. ඔහු ශක්තිමත් පාලකයෙකු බව පෙනීයන්නේ චන්ද්‍රගුප්ත මෞර්යන් ප‍්‍රථමයෙන් තම යුද ශක්තිය වර්ධනය කරගෙන මධ්‍යය ඉන්දියානු ප‍්‍රදේශ ජය ගැනීමෙන් පසු සෙලියුකස් නිකේටර් සමඟ යුද්ධයට යාමයි. එම යුද්ධයෙන් චන්ද්‍රගුප්ත රජු ජයග‍්‍රහණය කළ අතර ග‍්‍රීක පාලනය යටතේ පැවති ඒරියා (හිරාත්*, ඇරකෝෂියා (කන්දහාර්*, පරොපනිසදයි (බලූකිස්ථාන්*, ගොඩ්‍රෝසියා (කාබුල්* නම් වූ ප‍්‍රදේශ චන්ද්‍රගුප්තයන්ට පවරා දීමට නිකේටර්ට සිදුවිය.  තවද මෞර්ය රාජසභාව වෙත මෙගස්තීනියස් නම් තානාපතිවරයෙක්ද පත්කර එවන ලදී. ඒ අනුව පෙනීයන්නේ වයඹදිග ඉන්දියාවේ විශාල ප‍්‍රදේශයකට ග‍්‍රීක පාලකයන් හිමිකම් කියමින් තිබූ බවයි. 


     තවද චන්ද්‍රගුප්තගෙන් පසුව සිහසුනට පත්වූයේ බින්දුසාර රජුය. මෞර්ය රාජසභාවේ ග‍්‍රීක තානාපති ලෙස සේවයකළ මැගස්තීනියස් වෙනුවට  බින්දුසාර රජුගේ යුගයේදී ඩිමෝකොස් නම් වූ නව තානාපතිවරයෙකු ද මිසරයේ ෆිල්ඩෙල්පස් රජුගේ තානාපතියෙකු වශයෙන් දියෝනියස් නම් නිළධාරියෙකුද  පත්ව සිටි බව ග‍්‍රීක මූලාශ‍්‍රවලින් පැහැදිලි වේ. තවද බින්දුසාරයෝ රට අත්තික්කා හා වයින්ද දාර්ශනිකයකුද තෑගිකොට එවන මෙන් ග‍්‍රීක රජුගෙන් ඉල්ලීමක් කළ බවත් ඇන්ටියෝකස් රජු රට අත්තික්කා හා වයින් එවූමුත් ග‍්‍රීක දාර්ශනිකයන් පිටරට යැවිය නොහැකි බව බින්දුසාරයන්ට කියා එවූ බවත් ඇතීනියස්  පවසයි.  මේ අනුව පැහැදිලි වන්නේ වයඹදිග ඉන්දියාවේ ග‍්‍රීක බලය ප‍්‍රබලව පැවති බවයි. 


       නමුත් මෞර්ය පාලකයන්ගේ සාර්ථක විදේශ ප‍්‍රතිපත්තිත්, ශක්තිමත් හා ස්ථාවර පාලන තන්ත‍්‍රයනුත් හේතුවෙන් ඉන්දු ග‍්‍රීක ආක‍්‍රමණයන්හි බලපෑම අවම කරගැනීමට හැකිවිය. 


     අශෝක යුගයේදීද මෙම ශක්තිමත් හා සාර්ථක විදේශ ප‍්‍රතිපත්ති පවත්වා ගැනීමට හැකි වූ අතර එම ග‍්‍රීක පාලකයන් සමඟ බෞද්ධ ¥තයන් හුවමාරු කරගත් බව ක‍්‍රි.පූ.256-255ත් අතර කාලයේදී ලියවුන අශෝකයන්ගේ එක් සෙල්ලිපියක සඳහන් වේ. එහි  ර්‍ණ ඇමිටියෝග නම් රජු රජකරන ස්ථානයේද, ඒ ඇමිටියෝග නම් රජුගේ රාජ්‍යයට ඔබින් තුලවාය, ඇන්ටෙකීනා, මක හා අලික්යෂුදල නම් රජවරුන් සිව්දෙනාගේ ප‍්‍රදේශවල ද...”   ලෙසින් සඳහන් වීමෙන් පෙනී යන්නේ ගී‍්‍රක ජනපද සමඟ තිබූ සම්බන්දතාවයයි. එම ලිපියට අනුව මොවුන් සෙලියුකස් නිකේටර්ගේ මුණුබුරු දෙවන ඇන්ටියෝකස් තියොස් (ක‍්‍රි.පූ.260-246*, ඊජිප්තුවේ ටොලමි ෆිඩෙල්ෆියස් ( ක‍්‍රි.පූ.285-447*, මැසිඩෝනියාවේ ඇන්ටිගනස් ගොනේටස් ( ක‍්‍රි.පූ.276-239*, සියරීන්හි මැගාස් හා එපයිරස්හි ඇලෙක්සැන්ඩර් වශයෙන් හªනාගෙන ඇත.  මෙහි සඳහන් සෙලියුකස් නිකේටර් සිරියාවේ රජු ලෙසද සමහර මූලාශ‍්‍රවල සඳහන් වේ. කෙසේ වෙතත් ඉහතින් සඳහන් කරන්නා වූ සියලූම රජවරුන් ඇලෙක්සැන්ඩර්ගේ ආක‍්‍රමණයන්ගෙන් පසු එම ප‍්‍රදේශවල බලයට පැමිණි ග‍්‍රීක සම්භවයක් සහිත රජවරුන් ලෙස හැඳින්විය හැකිය.


     ඉහතින් දක්වන ලද කරුණුවලින්ද පැහැදිලි වන්නේ වයඹදිග ඉන්දියානු ප‍්‍රදේශවල හා ඉන් පිටතද ශක්තිමත් ග‍්‍රීක පාලනයන්ගෙන් යුක්ත වූ බල ප‍්‍රදේශ පැවති බවයි. ඒ අනුව පෙනීයන්නේ මෞර්ය පාලකයෝ තම රාජධානියේ යුද ශක්තිය කෙතරම් ප‍්‍රබල වුවත් වයඹදිග ඉන්දියාවේ පාලකයන් සමඟ නිතරම යුද්ධයට නොගිය අතර ආවාහ-විවාහ කටයුතුත්, ¥තයන් හා පුද පඬුරු හුවමාරු කරගැනීම වැනි රාජතාන්ත‍්‍රික උපාය මාර්ග අනුගමනය කරමින් සාමකාමි කටයුතුවල නිරත වූ බවයි. 


        අශෝකයන්ගේ මරණින් පසු ඔහුගේ පුතුන් වූ කුණාල, ජලෞක, තීවර හා මුණුබුරන් වූ දශරථ, සම්පති, විගතාශෝක  යන පුද්ගලයන් පිළිබඳ තොරතුරු මූලාශ‍්‍රවලින් අනාවරණය වේ. නමුත් එම තොරතුරු පිළිබඳ වාදවිවාද පවතී. මත්ස්‍යය පුරාණයට අනුව දශරථ, සම්පති, ශතධන්වා හා බෘහද්රථ යන කුමාරවරු අශෝක රජුගේ ආසන්නතම අනුප‍්‍රාප්තිකයෝ වී ඇත. එහෙත් කුණාල, බන්දුපාලිත, ඉන්ද්‍රපාලිත, දේවවර්ම, ශතධනු හා බෘහද්රථ යන කුමාරවරු අශෝක රජුගේ අනුප‍්‍රාප්තිකයන් වූ බව වායුපුරාණයේ සඳහන් වේ.   

       නමුත් අශෝකගෙන් පසු බලයට පත් වූ මෞර්ය පාලකයන්ගේ අසාර්ථක විදේශ ප‍්‍රතිපත්තිත්, දුර්වල හා අස්ථාවර පාලන තන්ත‍්‍රයනුත් හේතුවෙන් ඉන්දු ග‍්‍රීක ආක‍්‍රමණයන්හි බලපෑම වර්ධනය වූ බව දැක්වියහැකිය. 


ඉන්දු ග‍්‍රීක ආක‍්‍රමණ ඉන්දියාවට එල්ලවීමට මුල් වූ හේතු

       අශෝකගෙන් පසු මෞර්ය රාජධානිය ක‍්‍රමයෙන් පරිහානියකරා ගමන්කළ බව පෙනීයයි. ක‍්‍රි.ව.183දී පමණ අන්තිම මෞර්ය රාජයා වූ බෘහද්රථව කුමන්ත‍්‍රණයකින් මරා දමා රජකම ලබා ගැනීමට ඔහුගේ බමුණුකුල සෙන්පතියා වූ පුෂ්‍යමිත‍්‍ර ශුංගයන් සමත්විය. එම ආරවුල් හේතුවෙන් සිදුවූයේ මගධයේ තිබූ කේන්ද්‍රගත පාලනය වෙනුවට විකේන්ද්‍රගත පාලනයක් ඇතිවීමයි. මගධ රාජධානියේ මෙම අභ්‍යයන්තර ආරවුල් හා මෞර්ය බලය පිරිහීයාම ප‍්‍රත්‍යයන්ත ප‍්‍රදේශවල සිටි පාලකයන්ට ස්වාධීනවීමට අවශ්‍යය ඉඩ ප‍්‍රස්ථාව ලබාදුන්හ. 


        මෞර්ය අධිරාජ්‍යයේ මෙම පිරිහීම හේතු සාධකයක් කොටගත් ඉන්දු ග‍්‍රීකයෝ නැවත වයඹදිග ප‍්‍රදේශවල සිට ඉන්දීය අභ්‍යයන්තරයට ආක‍්‍රමණ මෙහෙය වූ බව පෙනී යයි.

        

        සිරියාවේ මහා ඇන්ටියෝකස් නම් ග‍්‍රීක රජු ක‍්‍රි.පූ.3වන සියවස අවසාන භාගයේදී පමණ කාබුල් නිම්නයට කඩාවැදී එවකට වයඔදිග ඉන්දියාවේ පාලකයෙකුව සිටි සුභගසේන පරාජයකර ඔහුගේ ඇත් හමුදාව ලබා ගත් බවත්, ඇන්ටියෝකස්ගේ ඥාතියෙකු වූ ඩිමිට‍්‍රියස් ඉන් වසර කීපයකට පසු ඉන්දුනිම්නය ආක‍්‍රමණයකර ජයගත් බවත් සඳහන්වේ.  ඉහතින් සඳහන් කරනලද කාබුල් නිම්නයේ රජකම්කළ සුභගසේන නම් රජු මෞර්ය අධිරාජ්‍යයේ පරිහානියත් සමඟ එහි ස්වාධීන රජ්‍යයක් පිහිටුවාගෙන තිබිණි. ස්ට්‍රෝබෝ විසින් සුභගසේන රජුන් හªන්වා ඇත්තේ ඉන්දීයයන්ගේ රජු ලෙසය. ටිබෙට් ජාතික වාර්තාකරුවෙකු වූ තාරානාථට අනුව ගාන්ධාරයේ රජු ලෙස අශෝකගේ පුත් වීරසේන කටයුතුකර ඇත. එම තොරතුරු සංසන්දනය කිරීමෙන්ද සේනයන පදවංශයන්හි දිගටම පැවතෙන අයුරුද පරීක්ෂා කිරිමෙන්ද මහාචාර්ය එෆ්.ඩබ්ලිව්.තෝමස් පෙන්වා දෙන පරිදි සුභගසේන අශෝකයන්ගේ මුණුබුරෙකි. ක‍්‍රි.පූ.206දී සුභගසේනගේ පරාජයෙන් වයඹදිිග ඉන්දියාව අනාරක්ෂිත බව පෙනී ගියේය. එය අවබෝධ කොටගත් බැක්ට‍්‍රියාවේ ග‍්‍රීක පාලකයෝ දුර්වල වූ මගධ රාජධානියේ ප‍්‍රදේශ අල්ලා ගැනීමට උනන්දු වූහ.


       ක‍්‍රි.පූ.3වන ශතවර්ෂයේ මැද අවදියේදී පමණ සෙලියුකස් රජුන් පාලනයකළ විශාල අධිරාජ්‍යය පිරිහෙන්නට විය. පාර්තීය ප‍්‍රදේශත් (එනම්, කුරසානයත් කැසිපියන් මුහුදු වෙරලේ ගිනිකොණ දෙසත් * ඩියෝඩෝටස්ගේ බැක්ටි‍්‍රයාවත් (එනම්, හින්දුකූශ් කªවැටියත් ඔක්සස් නදියත් අතර පිහිටි ප‍්‍රදේශය වූ බාල්ක් *  සෙලියුසිඞ් පාලනයෙන් මිදී නිදහස් රටවල් විය. බැක්ටි‍්‍රයාව කේන්ද්‍රකොටගත් ග‍්‍රීක පාලන ප‍්‍රදේශය යවන සංස්කෘතියේ වැදගත්ම මධ්‍යස්ථානය විය.

 

         බැක්ටි‍්‍රයාව ස්වාධීන රාජධානියක් බවට පත්කර ගත් ඩියෝඩෝටස්ගේ ඇවෑමෙන් ඩියෝඩෝටස් යන නමින්ම හැඳින්වුනු ඔහුගේ පුතා රජවිය.  එහෙත් ඉයුතිඩෙමෙස් (හෙවත් යුතිඩිමස්* නම් ග‍්‍රීක රජ කෙනෙක් ඩියෝඩෝටස් නෙරපා රජ විය. 3වන ඇන්ටියෝකස් නම් සෙලියුසිඞ් අධිරාජ්‍යයා නැවත තම බල ප‍්‍රදේශ ව්‍යාප්ත කිරීමේ අදහසින් ඉයුතිඩෙමෙස් සමඟ සටන් කළත් ජයග‍්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වූයෙන් දෙපාර්ශවයම සාම ගිවිසුමකට එලඹුණහ.


     මෙසේ තම ස්වාධීනත්වය ආරක්ෂා කරගත් ඉයුතිඩෙමෙස් හින්දුකූශ් කªවැටියට ඔබ්බෙන් පැවති මෞර්ය අධිරාජ්‍යයේ පිරිහීමත් සමඟ ස්වාධීන වූ වයඹදිග ඉන්දීය ප‍්‍රදේශ ආක‍්‍රමණය කරන්නට යෙදුනහ. ඉයුතිඩෙමෙස්ගේ පුත‍්‍ර ඩිමිටි‍්‍රයස් ගිනිකොණ දෙසට ගමන් කොට, නූතන දකුණු ඇෆ්ගනිස්ථානය වූ ඇරකෝෂියාවද, මක්රාන් ප‍්‍රදේශය වූ ගෙඞ්රෝසියාවද විජයග‍්‍රහණය කළේය . දෙවන ඩිමිටි‍්‍රයස් ඊටත් වඩා බලකාමී වූයෙන් පන්ජාබය තරණය කොට අනුක‍්‍රමයෙන් ඉන්දුනිම්නය දිගේ පහළට ගොස් එහි ඩෙල්ටාවට හා කූච් ප‍්‍රදේශයට  පැමිණ එසේ වයඹදිග ඉන්දියාවේ ඉන්දු ග‍්‍රීක බලය පිහිටුවා ගත්තේය. 


       යුතිඞීමෝස් පරපුරට අයත්යැයි අනුමාන කෙරෙන මිනැන්ඩර් රජු වයඹදිග ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම යවන පාලකයා වශයෙන් සැළකිය හැකිය. ටිබෙට් ලේඛණවලත්, ක්ෂේමේන්ද්‍රගේ අවදාන කල්පලතාවේත් මිනැන්ඩර් හªන්වා ඇත්තේ මිලින්ද යනුවෙනි . මිනැන්ඩර් රජු තම සියල්කෝට් සෙල්ලිපියේත්, තම කාසිවලත් මිනේද්‍ර යන නම යොදා ඇත. මිනැන්ඩර් සියල්කෝට් ( සාකල-සාගල * නුවර කේන්ද්‍රකොට ගනිමින් පාලන කටයුතු මෙහෙය වූ බව ඉතිහාසගත තොරතුරු මඟින් අනාවරණය වේ. ඔහු ඇලෙක්සැන්ඩර් ජයග‍්‍රහණය කළාටත් වැඩියෙන් බොහෝ ජාතීන් නතුකරගත් බව ස්ට්‍රෝබෝ නම් ඉතිහාසඥයා පවසයි. 

    

         ඔහුගේ කාසි කාබුල් නුවර තෙක් බටහිරටද, මථුරා පුරය තෙක් නැෙඟනහිරටද, තවදුරටත් බුණ්ඩල්ඛණ්ඩය තෙක්ද පැතිරී ගොස් තිබී සොයාගන්නා ලදී.  තමා ජීවත් වූ කාලයේදී මිනැන්ඩර්ගේ කාසි බටහිර වෙරලේ බ්‍රෝච් වරායේ භාවිතාකළ බව ඡුැරසචකමි දෙ ෑරසඑයරස්බ ීැ් නම් ග‍්‍රන්ථයේ කතුවරයා සඳහන් කරයි.  ග‍්‍රීක වාර්තාවලට අනුව මිනැන්ඩර්ගේ රාජ්‍යය ගංඟා නදියේ සිට බැක්ටි‍්‍රයාවේ ඔක්සාස් නිම්නය දක්වාත්, හිමාලයේ සිට නර්මදා නදිය දක්වාත් ව්‍යාප්ත වී තිබිණ.       


        ඉන්දු ග‍්‍රීකයන් විදේශීය සම්භවයක් සහිත පිරිසක් වුවත් ඉන්දියාවේ ප‍්‍රදේශ පාලනය කිරීමේදී ඉන්දීය ජනතාවගේ අවනතබව ලබා ගැනීම සඳහා විවිධ උපක‍්‍රම භාවිතාකළ බව පෙනීයයි. එලෙස භාවිතාකළ එක් උපක‍්‍රමයක් වන්නේ ඉන්දීය දර්ශනයන්ගේ හා සංස්කෘතියේ ආභාෂය ලබාගනිමින් පාලන කටයුතු මෙහෙයවීමයි. මිලින්ද රජු එලෙස ඉන්දියාවේ ආගමක්වන බුද්ධාගම වැළඳගත් පුද්ගලයෙකු ලෙස හැඳින්විය හැක. සුප‍්‍රකට බෞද්ධ පාලි ග‍්‍රන්ථයක්වන මිලින්ද පඤ්හ හෙවත් මිලින්ද ප‍්‍රශ්නය නම් ග‍්‍රන්ථයේ මිනැන්ඩර් රජු හා නාගසේන තෙරුන් අතර ඇති වූ ආගමික වාදයක් පිළිබඳ තොරතුරු අනාවරණය වේ. එයට අනුව මිනැන්ඩර් රජු ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ කලසී නම් ග‍්‍රාමයේ ඉපදී ඇත. මිනැන්ඩර් රජු රටවැසියාගේ ගෞරවයට පාත‍්‍රවූ ධාර්මික පාලකයෙකු බවත් බුදු දහම වැළඳගැනීමෙන් පසු මහණ වී රහත්බවට පත්වූ බවත්, ඔහුගේ අභාවයෙන් පසුව භෂ්මාවශේෂ බෙදා ගැනීමට රජවරුන් අරගල කළ බවත් ග‍්‍රීක ලේඛක ප්ලූටාක් සඳහන්කර තිබේ.   


      අශෝකයන්ගේ යුගයෙන් පසු මෞර්ය රාජධානිය මෙන්ම බුද්ධාගමට තිබූ සැළකිල්ලද ක‍්‍රමයෙන් පිරිහී ගිය අතර මිනැන්ඩර් වැනි රජවරුන්ගේ අනුග‍්‍රහය මත බුද්ධාගම නැවත ඉස්මතු වීම තුලින් බෞද්ධ ජනතාවගේ සහයෝගය හා අවධානය ග‍්‍රීක පාලනය වෙත ලැබෙන්නට ඇත. තවද වෛෂ්ණව දෙවියා වූ වාසුදේවයනට හරසර සඳහා හෙලියෝඩෝරස් නම් ග‍්‍රීක තානාපතිවරයා විසින් කරවූ බේස්නගර් ටැඹ තුළින් පෙනී යන්නේ ග‍්‍රීකයන් සම්‍යක්මතික ලබ්ධිනට අනුග‍්‍රහය දැක්වූ  බවයි. 

   

     ඉන්දියානු සංස්කෘතිය පිළිබඳ කිසිත් නොදත් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට වඩා මිනැන්ඩර් වැනි ඉන්දු ග‍්‍රීකයන්ට ඉන්දියානු ප‍්‍රදේශ යටත් කර ගැනීමට හැකිවන්නට ඇත්තේ ඉන්දීය සංස්කෘතිය අනුගමනය කිරීමත් පශ්චාත් මෞර්ය අවධියේ පැවති දේශපාලන අරාජිකත්වයේ ප‍්‍රතිඵලය නිසාවෙන් බවත් පෙනීයයි.    

   

ඉන්දු ග‍්‍රීකයන්ගේ පරිහානිය

        මිනැන්ඩර්ගෙන් පසුව ඉනදියාවේ ග‍්‍රීක බලය දුර්වල වන අතර පසුව ග‍්‍රීකයන් සතු ප‍්‍රදේශ ශක පාලනයට යටත් වූ බව පෙනීයයි. මිනැන්ඩර්ගෙන් පසු ඔහුගේ පුත් පළමුවන ස්ට‍්‍රාටෝ බලයට පත්වූ අතර ඔහුගෙන් පසු දෙවන ස්ට‍්‍රාටෝ බලයට පත්විය. ඉන්පසුව අත්තියල්සිඩාස් නැමැත්තෙකු ඉන්දු ග‍්‍රීක ප‍්‍රදේශවල බලයට පත්වූ අතර ඔහුව පරාජය කරමින් යුක‍්‍රටයිඞීස් නැමැති බැක්ටි‍්‍රයානු රජෙකු බලය පැහැරගත් බවට තොරතුරුවලින් අනාවරණය වේ. ඉන්දු ග‍්‍රීකයන්ගේ අවසාන පාලකයා වූ හර්මයියෝස් නැමැත්තාගේ කාලයේදී නැගෙනහිරෙන් හා දකුණෙන් ශක හා පාර්තියන්වරුන්ගේ ආක‍්‍රමණ එල්ලවන අතර උතුරින් පළමු කැඞ්ෆයිසීස් නම් කුෂාණ රජු යටතේ ආක‍්‍රමණ එල්ලවන ලදි.

       මෙලෙස අභ්‍යයන්තර අරගල හේතුවෙන් දුර්වල වූ ඉන්දු ග‍්‍රීක ප‍්‍රාදේශ වලට විදේශ ආක‍්‍රමණ එල්ලවීමෙන් සමස්ත ඉන්දියාවෙන්ම ඉන්දු ග‍්‍රීක බලය පිරිහී යන ආකාරයක් දැකිය හැකිය.

 


සමාලෝචනය

    ඇලෙක්සැන්ඩර්ගේ ආක‍්‍රමණයත් සමඟ ඉන්දියාවේ වයඹදිග ප‍්‍රදේශවල ස්ථාවර වූ ග‍්‍රීකයන් ඉන්දියා අභ්‍යයන්තරයට ආක‍්‍රමණ එල්ල කරන්නට විය. නමුත් මගධය කේන්ද්‍රකොට ගත් මෞර්ය රාජධානියේ ශක්තිමත්භාවයත්, සාර්ථක විදේශ ප‍්‍රතිපත්තිත් හේතුවෙන් එම ඉන්දු ග‍්‍රීක බලපෑම් හොඳින් කළමනාකරණය කර ගැනීමට මුල්කාලීන මෞර්ය පාලකයන්ට හැකිවූ බව පෙනීයයි.


          නමුත් අශෝකගෙන් පසු මෞර්ය පරිපාලනයේ ඇතිවූ දුර්වලතා හේතුවෙන් මෞර්ය අධිරාජ්‍යය පිරිහීමට ලක්විය. මෙය ඉන්දියාව ආක‍්‍රමණය කිරීමට මාන බලමින් සිටි වයඹදිග ඉන්දු ග‍්‍රීකයන්ට සුදුසුම අවස්ථාව විය. ඒ අනුව ඔවුන් විවිධ ග‍්‍රීක රජවරුන් යටතේ ඉන්දීය අභ්‍යයන්තරයට ආක‍්‍රමණ මෙහෙයවා යටත්කර ගනිමින් පාලනය ගෙනගිය අතර එම ඉන්දු ග‍්‍රීක ආක‍්‍රමණයන්හි බලපෑම ශකවරුන්ගේ ආක‍්‍රමණ ඉන්දියාවට එල්ලවන තෙක්ම පැවතුණි.


     ඒ අනුව ඉහත දක්වන ලද කරුණුවලින් පෙනීයන්නේ ඉන්දු ග‍්‍රීක ආක‍්‍රමණයන් ඉන්දියාවට එල්ලවීම පශ්චාත් මෞර්ය අවධියේ පැවති දේශපාලන අරාජිකත්වයේ ප‍්‍රතිඵලයක් හේතුවෙන් සිදුවූ බවයි.

 

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය.

ඤාණවිමල නාහිමි බෙල්ලන, අශෝක ශිලා ලේඛන, සමයවර්ධන පොත්හල, 63, පූජ්‍ය හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමි මාවත (මාලිගාකන්ද පාර*,මරදාන පාර, කෙළඹ 10, 2000.

තාපර් රොමිලා, ඉන්දියාවේ ඉතිහාසය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල, 2009.

බෂාම් ඒ.එල්., අසිරිමත් ඉන්දියාව, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල, 2012.

මෙන්ඩිස් ජී.සී., අපේ උරුමය-1 (1505 දක්වා ලංකාව සහ ලෝක ඉතිහාසය*, සීමාසහිත ඇපොතිකරීස් සමාගම, කොළඹ, 1969 නොවැම්බර්.

රණවීර සරත්, සංක්ෂිප්ත ඉන්දියා ඉතිහාසය,  වාසනා ප‍්‍රකාශකයෝ, දන්කොටුව. 2005.

රොබින්සන් ඊ.සිරිල්, ග‍්‍රීසියේ ඉතිහාසය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල, 2007.

විලර් මෝටිමර්, ආදි ඉන්දියාව සහ පාකිස්ථානය, ප‍්‍රධාන සංස්කාරක: ආචාර්ය ග්ලීන් ඩැනියෙල්, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල, 2005.

ශාස්ත‍්‍රී නීලකණ්ඨ, දකුණු ඉන්දියා ඉතිහාසය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල, 2007.

සිංහ නරේන්ද්‍ර ක‍්‍රිෂ්ණ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි, ඉන්දියා ඉතිහාසය-1 කාණ්ඩය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල, 2007.

ඉන්දියාවේ ඉතිහාසය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල, 2007.

The Cambridge History of India. Vol I – Second Indian Reprint, 1962

The Greeks, National Geographic Magazine, National Geographic Society, Washington, DC, December 1999.




No comments:

Post a Comment