Sunday 22 November 2020

කාර්මික විප්ලවයේ ඓතිහාසික වැදගත්කම.

 


         ප්‍රංශ මහා විප්ලවය පවත්නා කාලයෙහි එංගලන්තය ආදී රටවල වෙළඳාම හා කර්මාන්ත පිළිබඳව ඇති වූ ‍විපර්යාසය කාර්මික විප්ලවය යනුවෙන් හඳුන්වනු ලැබේ. කාර්මික විප්ලවය පිළිබඳව පොතක් ලියා ඇති එම්.ඩබ්.ෆ්ලීනිගේ අදහස වන්නේ කාර්මික විප්ලවය 1760දී ආරම්භවූ බවයි. කාර්මික විප්ලවය නිසා පහත් පන්තියේ ස්ත්‍රී පුරුෂයන් පිළිබඳව ඇති වූ වෙනස්කම කිසිම දේශපාලන විප්ලවයකින් ඇති නොවීය. එමඟින් සමස්ත වශයෙන් ලෝකයේ සෑම රටකම ආර්ථික ජීවිතය වෙනස්විය.

          18වන ශතවර්ෂයේ ආරම්භයට පෙර සෑම රටකම කර්මාන්ත පැරණි ක්‍රමයට අනුව අතින්ම නිමකරන ලදී. ඒ කාලයේ දුරබැහැර ගමනක් යාම පවා අතිදුෂ්කර විය. එකළ දුම් නැව්, දුම්රිය හා මෝටර් රථ නොතිබුණේය. එහෙත් ඉන් අවුරුදු 100ක් ඉකුත්වන්නට පෙර ඉහතකී සෑම දෙයක් පිළිබඳවම මහත් වෙනසක් ඇතිවිය. ඒ වෙනස ඇතිවූයේ කර්මාන්ත සඳහා යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගැනීම නිසාය. 

          ශාස්ත්‍රයේ පුනර්ජීවනයක් ඇති වීමෙන් මධ්‍යම කාලවලදී යම්යම් දේ ශාස්ත්‍රානුකූල ලෙස අත්හදා බැලීමේ ශක්තියක් යුරෝපියනට ලැබුණි. තමන් අවට තිබෙන දේ ස්වභාවධර්මානුකූල ලෙස ඉගෙනගත යුතු බව සමහර ග්‍රීක ශාස්ත්‍රඥයෝ කීහ. ඒ ශාස්ත්‍රඥයන් අනුව ගිය වෙනත් රටවල ශාස්ත්‍රඥයන්ද එසේ ඉගෙනගන්නට යෑමෙන් නොදැනුවත්වම නොයෙක් ප්‍රයෝජනවත් දෑ අත්හදා බැලූහ. නවීන මූලික විද්‍යාවේ සම්භවය, ඔවුන්ගේ ඒ ව්‍යායාමයේ ප්‍රතිඵලයකි. නටුවෙන් වෙන්වූ ඇපල් ගෙඩියක් බිම වැටෙන්නේ කුමන හේතුවක් නිසාදැයි සොයා බැලූ සර් අයිසෙක් නිව්ටන්ට ආකර්ෂණ ශක්තිය පිළිබඳ වූ කරුණු සොයා ගැනීමට හැකිවිය. කේතලයක ජලය උණුවන විට එහි මූඩිය ඉහළ නඟින්නේ කුමක් නිසාදැයි සොයා බැලූ ජේම්ස් වොට්ස් විසින් වාෂ්ප බලය ගැන කරුණු ඉගෙන, ආකරවලින් ජලය ඉවත් කිරීම සඳහා වාෂ්ප බලයෙන් ක්‍රියාකරන යන්ත්‍රයක් නිර්මාණය කළේය.  18වන ශත වර්ෂය අවසාන භාගය වනවිට ශාස්ත්‍රඥයෝ කීපදෙනෙක් තවත් වැදගත් දේ නිපදවූහ. කල්යෑමේදී වෙනත් ශාස්ත්‍රඥයෝ එම නිපදවීම් තවත් අවශ්‍යතා සඳහා යොදාගත හැකි ආකාරයට දියුණුකර ගත්හ. ඒ හේතුවෙන් ලෝකයට නොයෙක් අන්දමේ යන්ත්‍ර සූත්‍ර පහළවිය.

            ක්‍රි.ව. 18වන සියවසේ අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවය අඩසියවසක් පමණ යනතුරු එංගලන්තයට සීමා වුවද ඊළඟ ශතවර්ෂය තුළ යුරෝපයේ සෙසු රටවලද අනතුරුව ලෝකයේ වෙනත් රටවලද ව්‍යාප්ත විය. එලෙස කාර්මික විප්ලවය එංගලන්තයෙන් ආරම්භ වීමට තුඩුදුන් හේතූන් කීපයක්ම තිබේ. ඒවානම් විද්‍යාත්මක ඥාණය හා දැනුම පිළිබඳ එංගලන්තවාසීන් ලැබූ දියුණුව, භාණ්ඩ ඉල්ලුම රට තුළ මෙන්ම විදේශයන්හිද වැඩිවීම, රට තුළ යපස් හා ගල් අඟුරු, කපු වැනි අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකිවීම, යටත්විජිත හිමිකම නිසාද අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි වූ අතර නිමිද්‍රව්‍ය අලෙවිය සඳහා විදේශ වෙළඳපොළ පු¿ල්විම, නැව් යාත්‍රාකළ හැකි ගංඟා සහිත දිගු වෙරළක් පිහිටීම (තේම්ස් ගඟ, ක්ලයිඩ් ගඟ), ජන සංඛ්‍යාව අධික වීම නිසා ශ්‍රමය බහුලවීම සහ දේශීය වෙළඳපොළද පු¿ල්විම, ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය නිසා ගොවීන් නගර වලට සංක්‍රමණය වීමෙන් ශ්‍රමය අඩුමිලට ලබාගත හැකිවීම, යුරෝපයේ ඇතිවූ ආගමික ගැටුම් නිසා එංගලන්තයට සංක්‍රමණය වූ රෙපරමාදු භක්තිකයන් අතර විවිධ ශිල්පශාස්ත්‍ර පිළිබඳ නිපුණත්වයක් ලැබූ අය සිටීම, ධනවත් මධ්‍යම පන්තියක් බිහිවීමෙන් නව සොයාගැනීම් සඳහා මුදල් ආයෝජනය කිරීමට හැකිවීම, එංගලන්තය අන් යුරෝපා රටවල් හා සසඳන විට කුඩා රටක් වීමද අභ්‍යන්තර වශයෙන් රටපුරා විහිදුන පොදු වෙළඳපළක් ගොඩනඟා ගැනීමට හැකිවීම, අභ්‍යන්තර තීරුබදු ක්‍රම නොමැති නිසා නිදහස් භාණ්ඩ සංසරණයට ඉඩ ලැබීම යන හේතූන්ය. 

               වැඩිකල් නොගොස්ම එංගලන්තයේ ආරම්භවූ කාර්මික විප්ලවය යුරෝපයේ සෙසු ප්‍රදේශවලටද ව්‍යාප්ත විය. 18වන සියවසේ ප්‍රංශය හා ජර්මනිය යන රටවල අමුද්‍රව්‍ය බහුලව පැවති වෙළඳපළවලට සමීපව පැවති ප්‍රදේශවන ප්‍රංශයේ ප්ලාන්ඩර්ස් හා නෝමැන්ඩියද ජර්මනියේ සැක්සනියද ලෝම රෙදි නිපදවූ මධ්‍යස්ථාන ලෙස ප්‍රචලිතව පැවතුණි. බෙල්ජියමේ වොලේනියා, ජර්මනියේ සයිලූෂියා යන ප්‍රදේශ ද යකඩ නිෂ්පාදනයට ප්‍රසිද්ධ විය. 19වන සියවස පමණ වනවිට ලෝකයේ ජනගහනය වර්ධනය වෙමින් භාණ්ඩවලට වූ ඉල්ලුම වැඩිවූ නිසා සෙසු රටවල්ද එංගලන්තය මෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් තම නිෂ්පාදන වැඩිකිරීමට උනන්දුවිය. ඒ අනුව ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, ඔස්ට්‍රියාව, හංගේරියාව, ප්‍රශියාව යන යුරෝපා රටවල්ද ඇමෙරිකා එක්සත් ජනපදය හා ජපානය ද කාර්මීකරණය වෙත සීඝ්‍රයෙන් එළඹෙන්නට විය.

             එංගලන්තයේ කාර්මික විප්ලවය ප්‍රධාන වශයෙන් පේෂ කර්මාන්ත, යකඩ කර්මාන්ත හා ගල් අඟුරු කර්මාන්ත යන ‍ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය විය. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස එම ක්ෂේත්‍ර ආශ්‍රිතව පැවති පරිවහන ක්‍රමවල හා සන්නිවේදන ක්‍රමවල ඉතා සීඝ්‍ර වර්ධනයක් සිදුවිය. 1830 පමණ වනවිට ඇති වූ යාන්ත්‍රීකරණය හේතුවෙන් (Mechanization) එංගලන්තය යුරෝපයේ වැඩපළ බවට පත්විය.

               එංගලන්තයේ පේෂ කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රධානකොට වෙනත් අංශවලද මූලික පරිවර්තනයක් ඇති කිරීමට කාර්මික විප්ලවය සමත්විය. කාර්මික ක්ෂේත්‍රයේ ඇතිවූ මෙම වෙනස සු¿ හා ග්‍රාමීය කර්මාන්ත ලෙස අත්යන්ත්‍ර යොදා ගනිමින් අඩු ප්‍රමාණයකින් නිෂ්පාදනය වූ මෙම කර්මාන්තය ඇතුලු වෙනත් කර්මාන්ත මහා පරිමාණව විශාල යන්ත්‍ර සූත්‍ර හා නව නිෂ්පාදන ධාරිතාවන් වේගවත්වන අන්දමින් කළ පෙරළිය එංගලන්තයේ කාර්මික විප්ලවය ලෙසින් හැඳින්විය හැකිය.

           ක්‍රි.ව.1738දී ජෝන් කේ විසින් රෙදිවියන අත්යන්ත්‍රයේ නඩාව ඉබේ ක්‍රියාකරවන්නට සැලැස්වීය. නඩාව යනු රෙදිවිවීම පිණිස නූල් කැටිකරන උපකරණයයි. රෙදි වියන්නා විසින් අත් වලින් දෙපසට විසිකරනු ලැබූ නඩාව ඉබේ ක්‍රියාකරවීම නිසා ජෝන් කේගේ නව නිපදවීමෙන් ඉක්මනටද වඩා පළල්වද රෙදි වියා ගත හැකිවිය. එහෙත් අතින්ම කටිනු ලැබූ නූල්වලින් රෙදි විවීම කළයුතු වූ බැවින් ජෝන් කේගේ දුවන නඩාවෙන් නියම ප්‍රයෝජන අත්නොවීය. එයට පසු නූල්කැටීම සීඝ්‍ර කරවීම පිණිස නොයෙක්දෙනා පරීක්ෂණ පැවැත්වීම‍ට ඉදිරිපත් විය. නූල් කැටීම පිණීස ජේම්ස් හාර්ග්‍රිව්ස් (1745-1778) නම් ලැන්කැෂියර් දිස්ත්‍රික්කයේ රෙදි වියන්නෙක් 1764දී නුල් කටින යන්ත්‍රය (Spinning Jenny) නිර්මාණය කළේය. තමාගේ බිරිඳගේ නමින් එම යන්ත්‍රය ‍ “ජෙනී” යනුවෙන් නම් කෙරිණ. රිචඩ් ආර්ක්රයිට් නැමැත්තා එම යන්ත්‍රය 1769දී ජල බලයෙන් ක්‍රියාත්මක කළහැකි රාමුවක් සහිත (Water Frame) යන්ත්‍රයක් බවට පරිවර්තනය කරනු ලැබීය. එමඟින් මහා පරිමාණ ලෙස රෙදි විවිම සඳහා කම්හල් ඉදිකෙරුණු අතර ඒවායේ සේවය සඳහා බාලවයස්කරුවන් යොදවාගන්නටද විය.

               සැමුවෙල් ක්‍රෝම්ටන් විසින් හාර්ග්‍රිව්ස්ගේ නූල් කටින යන්ත්‍රය හා ආර්ක්රයිට්ගේ දිය රෝදයත් එක්කර 1779දී අ¿ත් යන්ත්‍රයක් නිපදවුයේය. එය “මියුල්” යන නමින් හඳුන්වනු ලැබේ. එකී යන්ත්‍ර ක්‍රියාත්මක කරවීම පිණිස ජේම්ස් වොට්ස් විසින් 1786දී නිර්මාණය කරනලද වාෂ්පබල යන්ත්‍රය හා වෙනත් ඉන්ධන වර්ග සොයාගැනීම නිසාද රෙදිපිළි නිෂ්පාදනය වේගවත් කිරීම‍ට හැකිවිය. තෝමස් බෙල් විසින් සිලින්ඩර් මුද්‍රණ ක්‍රමය සොයාගැනීම මඟින් වියන ලද අමුරෙදි සුදු කිරීම, කැඳ දැමීම, පාට දැමීම, මුද්‍රණය කිරිම ආදී අ¿ත් ක්‍රම යොදා ගැනිමට හැකිවීම නිසා එංගලන්තයේ වර්ණවත් රෙදි නිෂ්පාදනය මහා පරිමාණ කර්මාන්තශාලාවල සිදුකිරීම වර්ධනය වූ අතර එය එංගලන්තයේ වෙනත් කර්මාන්ත වල‍ට වඩා සීඝ්‍ර දියුණුවක් පෙන්නුම් කළේය. 1831දී මයිකල් ෆැරඩේ විසින් විදුලි බලය සොයාගැනීම හේතුවෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වූ රෙදි නිෂ්පාදනය වැඩිවුණි. මේ අන්දමට සිදු වූ දේශිය හා විදේශීය ඉල්ලුම සපුරා ගැනීමට හැකිවීම තුළින් එංගලන්තයට විශාල ධන සම්භාරයක් ලබා ගැනීමට මෙම කර්මාන්තයෙන් හැකිවිය. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදන අලෙවිය සඳහා කොතරම් ඉදිරි පියවරක් ගෙන තිබුණේද යත් ප්‍රංශයේ නැපෝලියන්, ඉංග්‍රීසි ජාතිය හඳුන්වනලද්දේ “සාප්පුකාර ජාතිය” (A Nation of Shop Keepers) යනුවෙනි.

                1730ට පෙර එනම් කාර්මික විප්ලවයට පෙර ප්‍රධාන වශයෙන් අවිආයුධ නිෂ්පාදනය සඳහා භාවිතා වූ යකඩ, කාර්මික විප්ලවය සිදු වූ අවධියේ යන්ත්‍ර සූත්‍ර නිපදවීම සඳහා භාවිතා කෙරුණි. එංගලන්තය ගල් අඟුරු බහුලව පවතින රටකි. 1730ට පෙර යපස් උණු කිරීමට දර යොදා ගැනුණත් ඒබ්‍රහම් ඩර්බි විසින් ගල් අඟුරු යොදා යපස් උණු කිරීමෙන් වාත්තුකළ යකඩ නිපදවීමේ ක්‍රමය ලොවට හඳුන්වාදුනි. එසේම 1784දී හෙන්රි කෝට් නිපද වූ “රෝලර්” නම් යන්ත්‍රය මඟින් ගල් අඟුරු හා යපස්වල අපද්‍රව්‍ය ඉවත් කර පදම්කළ යකඩ නිෂ්පාදනය කළ හැකිවීම නිසා යකඩ හා වානේ කර්මාන්ත අංශයේ සීඝ්‍ර දියුණුවක් ලැබිය. මෙම තත්වය තවත් නවීකරණය වෙමින් විලියම් සීමන්ස් විසින් යපස් උණු කිරීමට විදුලි උඳුනක් සකස් කිරීම නිසා එම ක්ෂේත්‍රයේ මහා පරිමාණ කර්මාන්ත ආරම්භ වූ අතර නිෂ්පාදනයද පු¿ල් විය.

         ගෘහයේ පාවිච්චිය සඳහා යොදාගත් ගල් අඟුරු (උෂ්ණත්වය ලබා ගැනීමට) වාෂ්ප එන්ජිම නිපදවීමත් සමඟ යපස් උණු කිරීමටත්, විවිධ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීමටත්, දුම්නැව් යාත්‍රා කරවීමටත්, ජනාකීර්ණ නගරවල ධනවතුන්ගේ ගේ දොර පරිහරණය සඳහාත් ගල් අඟුරු භාවිතය වේගවත් වූයේ කාර්මික විප්ලවයේ නව සොයාගැනීම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. ගල් අඟුරු ආකරවල ජලය ඉවත් කිරීමටත් එම ආකරවල උෂ්ණත්වය පාලනය කිරීමටත් හැකිවීමෙන් එම ක්ෂේත්‍රයේ දියුණුව තවත් වේගවත් විය. නළ මඟින් ජලය ඉවත් කිරීමට ජේම්ස් වොට්ස්ගේ වාෂ්ප එන්ජිම 1812දී යොදාගැනීමට හැකිවීම හේතුවෙන් මෙන්ම ගල් අඟුරු උඩට ගැනීම සඳහා හඳුන්වාදුන් යකඩ කේබල් කම්බි ක්‍රමය භාවිතා කිරීම නිසා එම ක්ෂේත්‍රයේ සීඝ්‍ර දියුණුවක් ඇතිවිය. තවද 1812දී හම්ෆ්‍රි ඩේව් විසින් ආරක්ෂක ලාම්පු නිපදවීම එම ක්ෂේත්‍රයට කරනලද වි‍ශාල සේවයකි. 

              ගොවි කර්මාන්තය අනෙක් සෑම කර්‍මාන්තයකටම වඩා පැරණි වූ ද ප්‍රධාන වූ ද කර්‍මාන්තයයි. එය දියුණු කිරීම පිණිස පළමු කොට එහි ක්‍රම වෙනස් කිරීමක් අවශ්‍ය විය.‍ ගොවියෝ මුල් කාලයේ සිටම අවරුදු කීපයක් එකම ඉඩමක යම් කිසි දෙයක් වැවු කල එහි අස්වැන්න අඩු වන බව දැන සිටියෝය. අවුරුදු 2ක් හෝ 3ක් හෝ ගොවිතැන් කොට අවුරුද්දක් හෝ දෙකක් හෝ ඒ ඉඩම් පා¿වට හැර ඉන් පසු ගොවිතැන් කිරීමෙන් පැරණි ගොවියෝ එය වළකවා ගත්හ. පැලෑටි හා පස ද ගැන පරීක්ෂණයක් පැවැත් වූ පසු ශෂ්‍ය මාරුකිරීමෙන් ඒ දුෂ්කරතාවය මඟහරවා ගතහැකි බව පසු කාලයේදී සොයා දැන ගන්නා ලදි.

              ගොවි කර්මාන්තය ගැන ප්‍රථමවරට අත්හදා බැලීම් පැවැත් වූ යුරෝපීය ජාතිය ලන්දේසීහුය. 18වැනි ශතවර්ෂයේ මුල් භාගයේදී එංගලන්තයේද ගොවි කර්මාන්ත දියුණු කිරීම පිණිස උපක්‍රම යොදනු ලැබුවේය. ටල් නැමැති ඉංග්‍රීසි ජාතික ගොවියා සීසෑම, වැපීරීම, ශෂ්‍ය මාරු කිරීම, තෙත් වූ කුඹුරුවල දිය බැස යන්නට සැලැස්වීම ආදියෙන් ගොවිතැන ගැන විශේෂ පරීක්ෂණ පවත්වා ඒවායේ සාර්ථකභාවය ලෝකයාහට අනාවරණය කළේය. 

                කල් යාමේදී සීසෑම පිණිස දුමෙන් ක්‍රියාකරන නඟුල් හා තිරිඟු ඇටවලින් පොතු ඉවත් කිරීම පිණිස යන්ත්‍ර සූත්‍රද නිපදවනු ලැබුවේය. ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව යන රටවල තිරිඟු ගොවිතැන් දියුණු වූයේ යන්ත්‍ර සූත්‍රාදියේ උපකාරයෙන් ගොවිතැන් කිරීම පහසු වූ බැවිනි.

               සුළං නොවදින සේ පෙට්ටි හා ටින් ආදියේ ඇහිරීමෙනුත් දුම්රියවල හා නැව්වල අයිස් පෙට්ටි තැබීමෙනුත් පලතුරු, මස් මා¿ ආදී දේ කුණු නොවී පිටරටවලට යැවීම පහසුවිය. යුරෝපයේත්, ඇමරිකාවේත් මිනිසුන් ගෙවිතැන මෙන්ම සතුන් බෝ කිරීම පිළිබඳවද සිත යොමු කළේ 18වන ශතවර්ෂයේදීය. මස් ලබා ගැනීම පිණිසත්, කිරි ලබා ගැනීම පිණිසත්, බර වැඩ ගැනීම පිණිසත් සතුන් බෝ කිරීම ක්‍රමානුකූලව වෙනස් වෙනස් අන්දමට කළයුතු බව තොමස් බේක්වෙල් නැමැත්තා විසින් පෙන්වා දෙන ලදි.

             කාර්මීකරණය හේතුවෙන් යුරෝපයේ වැඩවසම් සමාජක්‍රමය මත පදනම්වූ කෘෂිකාර්මික ආර්ථික රටාව දෙදරා කර්මාන්ත හා වෙළඳාම පදනම් කරගත්  ආර්ථික ක්ෂේත්‍රයේ දියුණුවක් ලැබීය. එමඟින් කර්මාන්ත අංශය පු¿ල්විම සිදුවූ අතර එම නිෂ්පාදන අලෙවිකිරීමේ වෙළඳ මධ්‍යස්ථාන බිහිවීම නිසා වෙළඳාමද දියුණුවිය. 

            ජෝර්ජ් ස්ටීවන්ස් විසින් ජේම්ස් වොට්ගේ වාෂ්ප බලයෙන් ක්‍රියාකල හැකි යන්ත්‍රය ආධාරයෙන් 1825දී “රොකට්” නමින් හැඳින්වූ පළමුවන ධූම යන්ත්‍රය යොදා “ලොකොමොටිව්” (Locomotive) එන්ජිම නිෂ්පාදනය කොට එමඟින් දුම්රියක් ස්ටෝක්මන් සහ ඩාර්ලිංටන් අතර ධාවනය කිරීම කාර්මික විප්ලවයේ ඉදිරි පිම්මකි. මැන්චෙස්ටර්, බර්මිංහැම්, ලීඩ්ස් නිව්කාස්ට්ල් සහ ෂෙෆීල්ඩ් කර්මාන්තශාලා වටා ඉදිවුණු කාර්මික නගර ඉන්පසු දුම්රිය මාර්ගවලින් සම්බන්ධ කෙරිණි. එමඟින් භාණ්ඩ හා මගී ප්‍රවාහනය වැඩිදියුණුවන්නට විය.

       ගොඩබිම පමණක් නොව ජලතරණය සඳහාද වාෂ්ප බලය යොදාගත හැකි බව රොබට් ෆුල්ටන්ගේ නව නිෂ්පාදනයෙන් හෙළිදරව් විය. ඔහු “කලර්මන්ට්” නම් වාෂ්ප බලයෙන් ක්‍රියාකරන නැවක් සෑදීය. මේ නැව් රුවල් නැව්වලට වඩා දියුණු තත්වයක පැවතුණි. දුම්නැව සෑදිම නිසා යුරෝපයේ දුප්පත් ජනතාව දහස් ගණනින් ඇමෙරිකාවට සංක්‍රමණය විය. එමඟින් පසුකාලීනව ඇමෙරිකාවද සීඝ්‍ර ලෙස කාර්මීකරණයට ලක්වන ආකාරයක් දැකිය හැක.

       1885දී ජර්මන් ජාතික ඩෙම්ලර් ඛණිජ තෙල් යොදාගෙන ක්‍රියාකරන මෝටර් එන්ජිමක් නිපදවීය. එතැන්සිට කාර්, බස්, ලොරි ආදී නිෂ්පාදන දියුණු විය. තවද 20වන සියවසේදී ඕර්විල් රයිට් හා විල්බර් රයිට් සොයුරන් දෙදෙනා ගුවන්යානයක් නිෂ්පාදනය කළහ. ඉන්පසුව මෙවැනි යාත්‍රා තවදුරටත් දියුණු කරන ලදි.

                කාර්මීකරණය හේතුවෙන් එංගලන්තය ප්‍රමුඛ යුරෝපයේ හා ඇමෙරිකාවේ කම්හල් හිමියන්, කාර්මික ශිල්පීන්, සේවකයින්, වෙළෙන්ඳන් හා කම්කරුවන් වශයෙන් සමාජයේ පන්තිභේද  ක්‍රමයෙන් මතුවිය. කම්හල් හිමියන් ධනය හිමි සු¿ පිරිසක් ලෙසටත් කම්කරුවන් දුප්පත් බහුතර පිරිසක් හැටියටත් පිළිගැණුනි. කම්කරුවන් දවසේ පඩියෙන් යැපෙන්නෙකු බවට පත්වූ අතර ඔවුන්ගේ ස්වාමිවරු උපරිම ලාභය පමණක් බලාපොරොත්තු වූහ. මෙකළ දැඩිලෙස කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කෑමක් සිදුවූ අතර කම්කරුවන්ගෙන් වහලුන් සේ වැඩ ගැනීමක් දැකිය හැකිය. කලක් බ්‍රිතාන්‍යයේ යටත්විජිත ලේකම් ලෙස කටයුතු කළ සිඩ්නි වෙබ් මෙම යුගය හඳුන්වා ඇත්තේ සුදු වහල් මෙහෙයක් ක්‍රියාත්මක වූ යුගයක් ලෙසයි. කර්මාන්තශාලා වල සේවයේ යෙදීසිටි සේවකයින් සඳහා පදිංචියට නිවාස (Housing Estates) ඉදිකෙරිණි. ඒවා කාර්මික ගම්මාන වශයෙන් සැළකිණි. ඒ සමඟ ඇතිවූයේ මුඩුක්කුය (Slums).  සේවකයින්ගේ දුක්ගැනවිලි හා ඕනෑඑපාකම් පිළිබඳව උද්ඝෝෂණ සංවිධානය කිරීමට විවිධ ව්‍යාපාර පිහිටවනු ලැබූ අතර “චාර්ටිස්ට්” (Chartism) එවැනි එක් ව්‍යාපාරයකි. කම්කරුවෝ ධනකුවේරයන් සමඟ ගැටී විවිධ වරප්‍රසාද දිනාගත්හ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුකාලීනව ප්‍රංශ හා රුසියන් විප්ලවයන් ද ඇතිවන ලදි. 

           භාණ්ඩ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය උවමනා වූ අතර ඒවා ලබාගැනීමටද නිෂ්පාදිත භාණ්ඩ අ‍ලෙවි කිරීමටද ප්‍රදේශ අවශ්‍ය විය. කාර්මික විප්ලවයෙන් පසු ඇතැම් යුරෝපීය ජාතීහු යටත්විජිත පිහිටුවා ගැනීමට පෙළඹුනහ. මේ නිසා ලෝකයේ රටවල් එකානෙකාගෙන් වෙන්ව හුදකලා ජාතීන් ලෙස ගතකළ කාලයේ අවසානයක් දක්නට ලැබුණු අතර ගොඩබිමින්, සාගරයෙන් හා ගුවනින් ප්‍රවාහනය ඇතිවීමට මඟපෑදීම නිසා සියලු ජාතීහු එකිනෙකා හා සම්බන්ධ වූහ.

           මෙලෙසින් කාර්මික විප්ලවයේ ඓතිහාසික වැදගත්කම සාකච්ඡා කිරීමේදී පෙනී යන්නේ එය සමකාලීනව මෙන්ම පසුකාලීනවද ලෝකයට විශාල බලපෑමක් සිදුකළ බවයි.




No comments:

Post a Comment