රාජ්‍යත්වය හා රාජ්‍ය අන්‍යෝන්‍ය වශයෙන් එකට සම්බන්ධ ආයතන දෙකක් වශයෙන් හඳුනාගත හැක. ඒ අනුව සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය කෙසේ, කවරදාක ආරම්භ වූවාදැයි නිෂ්චිත වශයෙන්ම කිව නොහැක. දීප වංසය හා මහා වංසය වැනි බොහෝමයක් වංස කතා වලට අනුව ලංකාවේ රාජ්‍යත්වය විජය රජුගෙන් ආරම්භ වී ඇත. ඒ අනුව විජයගෙන් පසු බලයට පත් වූවන් “රාජ” යන නමින් හඳුන්වනු ලැබීය. විජය රජු ලංකාවේ රජ වූ පසු එය ස්ථීර කර ගැනීම හා වලංගු භාවයක් ලබා ගැනීම සඳහා රජ පෙළපතකට අයත් කුමරියක සරණ පවා ගෙන අභිෂේකය ස්ථාවර කර ගැනීම අත්‍යවශ්‍ය විය. රාජ්‍යත්වය ස්ථීර වනුයේ සාම්ප්‍රදායානුකූල ලෙස අභිෂේකය කිරීමෙන් පසුවය. ඒ අනුව දකුණු ඉන්දියාවේ මදුරා පුරයෙන් ගෙන්වා ගන්නා ලද කුමරියක් විවාහ කර ගැනීමෙන් පසු විජය කුමාරයාගේ රාජාභිෂේකය පවත්වනු ලැබූ බව වංස කතාවල දැක්වේ.
නමුත් මෙරටින් හමු වී ඇති මුල් කාලීන ශිලා ලිපි වලින් අනාවරණය වන අකාරයට අනුව මෙරට රාජ්‍යත්වය සම්බන්දයෙන් වංස කතා දක්වන මතය යම් කිසි අභියෝගයකට ලක්වන ආකාරයක් දැකිය හැකිය. මෙයට හේතු වන්නට ඇත්තේ දීප වංසය හා මහා වංසය වැනි ලංකාවේ පැරණිතම වංස කතා 4වැනි සියවසෙන් පසුව රචනා වී තිබීමත්, ඊට පෙර යුගයන් වලදී නිර්මාණය කරන ලද ශිලාලේඛන අධාර කර නොගැනීමත් විය හැකිය. මුල් කාලීන ශිලාලේඛන අධ්‍යනයෙන් පෙනී යන කරුණක් වන්නේ ලංකාවේ රාජ්‍යත්වය විජයගෙන් ආරම්භ නොවූ බවයි. ඒ අනුව මුල් කාලීන ශිලාලේඛන අධ්‍යනයෙන් හෙලිවන අභිදානයන් වන “ගමණි”, “පරුමක”, “රජ”, “මහරජ” යන පාඨ කීපයක් හෝ තනිව සෙල්ලිපිවල යෙදී ඇත. වෙස්සගිරි සෙල්ලිපියට අනුව “පරුමක” යන අභිදානය රජුන් උදෙසා නොයෙදුණු බව පෙනී යයි. එහි ඇති ආකාරයට “පරුමක විසදෙව පුත පරුමක සුමන ලෙනෙ පරුමක පලිකද පුත පරුමක මහ හරුමස ලෙණෙ” යනුවෙන් සඳහන් වේ.
මෙලෙස සඳහන් වන සෑම පරුමක වරයෙක්ම රජ කෙනෙක් වූ බව සිතිය නොහැක. “පරුමක” යනු ප්‍රමුඛ යන අදහස නම් නායකයා හෝ ප්‍රභූ වරයෙකු එමඟින් අදහස් වන්නට ඇති බව උපකල්පනය කළ හැක. නමුත් මහසෙන් රජුගේ කාලයේ සිට “පරුමක” යන පදයට සමාන “මපුරුමුක”, “මපුරුමුකා” යන පාඨ රජුන් වෙනුවෙන්ම යෙදී ඇත. ඒ අනුව “මපුරුමු බුදදස දළ මුගලන මහරජ අබය”, “මපුරුමු බුදදස ළපරිදෙව මහරජ අබය.” ලෙස එකල අභිලේඛන වල යෙදී ඇත. නමුත් ඉහතින් දක්වන පාඨ මගින් ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබා ගත නොහැක. රජ, මහ රජ යන පද තනිව හෝ ගමණි යන පාඨය සමග යෙදුණු බව ශිලාලේඛන අධ්‍යනයේදී පෙනී යයි. “ගමණි උති මහ රජ”, “දෙවන පිය තිස මහරජ මරුමකණකණෙ දෙවනපිය පුටිකණ ගමිණී අබය මහරජ පුතෙ දෙවන පිය නක මහරජ”, “වහබ මහරජ” එම පාඨයන්ය. මෙයින් පෙනී යන වැදගත්ම කරුණක් වන්නේ ක්‍රිස්තු පූර්ව 3වන ශතවර්ෂයේ සිට “ගමණි” යන පාඨය සමග හෝ තනිව යෙදන ලද “රජ”, “මහරජ” යන පාඨයන් අනුව ලංකාවේ රාජ්‍යත්වයේ ප්‍රභවය එකලදී ආරම්භ වී තිබූ බවයි.
වංසකතා වලට අනුව “ගමණි” යන පාඨය රජවරුන්ගේ පුද්ගල නාමයකි. “දීඝගාමාණී”, “දුට්ඨගාමිණී”, “වට්ඨගාමිණී”, “අමණ්ඩ ගාමිණී”, “ගජබාහුක ගාමිණී” ලෙස යෙදී ඇති ගාමිණී පාඨය ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ක්‍රිස්තු වර්ෂ පළමු වන සියවස දක්වා රජවරුන්ගේ පුද්ගල නාමයක් වී ඇත. නමුත් මෙම යුගයට අයත් ශිලාලේඛන අධ්‍යනයෙන් පෙනී යන්නේ ගමණි යන පාඨය රජවරුන්ට යෙදුණු උප පදයක් වූ බවයි. උත්තිය, දුට්ඨගාමිණී, සද්ධාතිස්ස, කූටකණ්ණතිස්ස යන රජවරු තම ශිලාලේඛන වල “ගමණි” යන්න උප පදයක් ලෙස යොදා ගෙන ඇත. “ගාමිණී” යන්නෙහි අර්ථය නම් ග්‍රාම පාලකයා යන්නයි. ඒ අනුව විජය ඇතුළු පිරිස “ගමණි” යනුවෙන් මුල් කාලයේදී හදුන්වා ගන්නට ඇත. තවද ලංකාවේ ප්‍රාදේශීය බඳ ප්‍රදේශ වූ මාගම, කැළණිය ආදී ප්‍රදේශවල පාලකයන්ද මෙම උප පදය භාවිතා කරන ලද බව පෙනී යයි. ඇතැම් විට එම උප පදයම ඔවුනගේ පුද්ගල නාමය ලෙසද යොදාගත් බව ඊට ආදාල කාලවලදී එම ප්‍රදෙශවලින් සොයා ගන්නා ලද සෙල්ලිපි වලින් පැහැදිලි වේ. තවද “ගමිණි අබය” යන පාඨය වළගම්බා රජු විසින්ද යොදාගෙන ඇත.
වංසකතා වලට අනුව ලංකාවේ රජ්‍යත්වය ස්ථාවර වී ඇත්තේ ඉන්දීය සහයෝගය මතය. එනම් නියම වශයෙන් අභිෂේක මංගල්‍ය ආරම්භ වූවේ විජය රජුගේ කාලයේදී නොව දේවානම්පියතිස්ස රජුගේ කාලයේදීය. මහා වංසයේ දක්වා ඇති අන්දමට ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යා විසින් ලංකාවේ එවකට රජකම් කරන ලද තිස්ස රජුට “දේවානම්පිය” යන විරුදය හා රජ්‍ය කකුධ භාණ්ඩ ලබා දී මෞර්ය අභිෂේක ක්‍රමය ලබා දීම ලංකා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වශයෙන් සැළකේ. එමඟින් ගම්‍ය වන තවත් කරුණක් වන්නේ ඊට පෙර ලංකාවේ රජාභිෂේකය සම්බන්ධයෙන් නිෂ්චිතව පිළිගත් ක්‍රමවේදයක් නොතිබූ බවයි.
ඉන්දියාවේ පැවති සිරිත අනුව අභිෂේකය පුරෝහිත බ්‍රාහ්මණයා හෝ ප්‍රධාන ඇමතිවරයා විසින් සිදු කරන ලදි. කල් යත්ම මෙය බෞද්ධාගමික උත්සවයක් බවට පරිවර්තනය වී ඇත. රුවන්වැලි සෑ මලුවේදී මහා සංඝයා අතින් අභිෂෙකය ලත් 2වන සේන රජු එම උත්සවය අවුරුදු පතා පැවැත්විය යුතු උත්සවයක් බව ලේඛනාරූඩ කරවූ බව චූලවංසයේ දැක්වේ. අභිෂේකය නොලැබුනොත් රාජ නාමය පවා යොදාගැනීමට අවසර නොවීය. 1වන මිහිදු රජු සිහසුනට පැමිණීමේදී තම මිතුරෙකුගේ මරණය නිසා ශෝක වෙමින් සිටි හෙයින් අභිෂේක උත්සවයක් නෙපවත්වා ඈපා තනතුරේම කල් ගෙවූ බව වංසකතාවල දැක්වේ. රාජාභිෂේකය කළ බව එකල රජවරුන් ස්වකීය ශිලාලේඛනවල ඉතා ගෞරවයෙන් සඳහන් කළ ආකාරයක් 9වන හා 10වන ශතවර්ෂවල අභිලේඛන අධ්‍යනයෙන් පෙනේ. එය “රද්වැ මිණිවුට්නේන් පැහැයු මුන්ද්නෙන් ලෝ උතුරා බිසෙව්නෙන් බිසෙසවැ” යනුවෙන් රම්බෑව පුවරු ලිපියේ දැක්වේ.
දේවානම්පියතිස්ස රජුගේ රාජාභිෂේකයත් සමග ඉන්දියානු අධිරාජ්‍යාගේ “දෙවන පිය” යන විරුද නාමයද ලංකාවේ රජුට හිමි වී ඇත. තවද එමගින් දේවානම් පිය යන රාජ පරම්පරාවක්ද ආරම්භ විය. කූටකන්නතිස්ස රජුගේ සෙල්ලිපියක් සඳහන් ව ඇති ආකාරයට “දෙවන පිය කුලහි මචුඩික පුත පුටකන අබය” යනුවෙන් සඳහන් වීම තුළින් “දෙවන පිය කුල” ගැන තොරතුරු ලබා ගත හැක.
නමුත් දක්නට ඇති වැදගත්ම කාරණය වන්නේද දෙවනපිය විරුදය ලැබුණද මෙතෙක් කාලයක් ලාංකීය රජවරුන් භාවිතා කරන ලද “ගමණි” යන විරුදයද තවත් කාලයක් භාවිතා කරන ලද බවයි. දේවානම්පියතිස්ස රජුගෙන් පසුව රජ වූ රජවරුන් කීප දෙනෙකුම “දෙවන පිය” හා “ගමණි” යන විරුදය භාවිතා කොට ඇත. ඒ අනුව සද්ධාතිස්ස රජුද “දෙවනපිය මහරජ ගමිණි” යන පාඨය යොදාගෙන ඇත. සුභ නැමති දොරටුපාලකයාගේ රජ්‍යය කාලය දක්වා, එනම් වසර 300ක් පමණ කාලයක් “දෙවනපිය” යන විරුදය භාවිතා කෙට ඇත.
අනුරාධපුර හා මාගම යන ප්‍රදේශවල පාලකයන් යොදා ගත් “ගාමණී” යන තනතුරෙන් ආරම්භ වූ මෙරට පාලන ක්‍රමවේදය කලානුරූපිව රාජ්‍යත්වය දක්වා වර්ධනය වූ ආකාරය හඳුනාගත හැකිය. මෙරට රජවරුන් “දෙවනපිය” (දෙවියන්ට ප්‍රිය වූ) යන පාඨය යොදා ගැනීම තුළින් පෙනී යන්නේ එම රජවරු සෙසු ප්‍රාදේශීය පාලකයන්ට හා ජනතාවට වඩා සුව්ශේෂී වූ බවයි. නමුත් ඉන්දීය රාජ්‍යත්වයට වඩා ලංකාවේ රාජ්‍යත්වය සම්බන්ධයෙන් අනුරාධපුර යුගයේ මුල්කාලයේ දැකිය හැකි විශේෂත්වයක් වන්නේ ලාංකීය රජවරු සූර්යවංශයට හෝ චන්ද්‍රවංශයට අයත් බව විශේෂයෙන් සඳහන් කර නොතිබීමයි.
කෙසේ වෙතත් 4වන සියවසෙන් පසුව ලාංකීය රජවරු “බුදදස” යන විරුදය ඉතා වැඩි වශයෙන් යොදාගත් බවක් පෙනේ. රජවරුන් කීප දෙනෙකුම මෙම “බුද දස” යන විරුදය භාවිතා කළ බව ශිලාලේඛනවල හා වංසකතාවලින් අනාවරණය වේ. එමඟින් තමන් බුදුන් වහනසේගේ දාසයෙක් යැයි හැදින්වීමට ඔවුන් උත්සහ කර ඇත. තවද එමඟින් තම පාලනය දැහැමි බව පෙන්වීමටද රජවරුන් උත්සහ කර ඇත. සිරිසඟබෝ රජු ලංකාවේ සිටි දැහැමි ම රජෙක් ලෙස වංස කතා අධ්‍යනයෙන් පෙනී යයි. “දැහැමෙන්, සෙමෙන් පාලනය කරන්නා දෙවියන්ගේ ප්‍රසාදයට ලක්වන බවත්, අධිෂ්ඨාන බලයෙන් වර්ෂාව ලැබීම, ගොවිතැන් කටයුත් සශ්‍රීක කිරීම ආදිය පවා කලහැකි බවත්” එකළ ජනතා පිළිගැනීම විය. ජේතවනාරාම දෙවැනි ලිපියේ දැක්වෙන “සිරිලක්හි නොබෝසත්හු නොරජ්වන්හයි” යන පාඨය මඟින් එය මනාව පැහැදිළි වේ.
කල්යත්ම, මුල් කාලයේදී රජවරුන් යොදා ගන්නා ලද “රජ”, “මහරජ”, “මපුරුමු” යන අභිදාන වෙනුවට වෙනත් අභිදාන යොදාගත් බවක් දැකිය හැකිය. ඒ අනුව පසුකාලීන ශිලාලේඛන වල “මහරද්”, “මහරද්තුමා”, “මහරදුන් වහන්සේ”, “වත්හිමි”, “වත්හිමියන් වහන්සේ” යනාදී නව ගෞරව අභිදානයන් යොදාගත් බව පෙනේ. අනුරාධපුර යුගයේ අවසාන කාලයෙදී රජවරුන් යොදා ගන්නා ලද අභිදානයන් මගින් ඔවුන්ගේ පරපුර හා වංශය දැක්වීමට උත්සහ කරන ලද බවක් එකල ශිලාලේඛන අධ්‍යනයෙන් පෙනී යයි. මෙකල රජවරුන් තම වංශය චන්ද්‍ර වංශය හෝ සූර්ය වංශය ලෙස දැක්වීමට උන්නදු වී ඇත. තමන් ඔක්කාක රාජ වංශයෙන් පැවත එන බව දැක්වීමට අනුරාධපුර රාජධානියේ අවසාන භාගයේ රජවරුන් උත්සහ කොට ඇත. මෙයට ප්‍රධානතම හේතුවක් වන්නට ඇත්තේ අනුරාධපුර අවසාන කාලයේදී රජ්‍යත්වය යම් කිසි අකාරයකට අස්ථාවර වීමත් රජවරුන් තමන්ගේ නියම උරුමකම දක්වා ජනතා ප්‍රසාධය ලබා ගැනීමට උත්සහ කිරීමත් විය හැකිය. ඇතැම් විට “ඔකාවස් රද් පරපුරෙන් බට්” යන විරුද නාමය තනිව හෝ “සිරිබර කැත් කුල කොත්” යන්න සමඟ යෙදී ඇත. “සිරිබර් කැත් කුලට් තලා ටික්”, “ඔකාවස් රජ් කුලට් තලා ටික්”, “දම්බ්ද්ව්හි අන් කැත් කුල පාමිලි කළ” යන විරුදනාම සහිත පාඨ 9වන හා 10වන ශතවර්ෂවලට අයත් ශිලාලේඛන මගින් සොයා ගත හැක.
“ඔකාවස් රජ් පරපුරෙන් බට් රද් පරුමුවනට් අග් මෙහෙසුන් වූ ලක්දිව් පෙළොයොන පරපුරෙන් හිමි” යන පාටය තුළින් පරපුරේ ශ්‍රේෂ්ටත්වය, රටවැසියා හා සබඳකම්, රණශූරත්වය, මෛත්‍රී කරුණාව, ත්‍යාගවන්ත භාවය ආදී සෑම ගුණාංගයක්ම නියෝජනය වන බව එකළ පිළිගැනීමයි.
මෙලෙස ශිලාලේඛන වල දැක්වූ තවත් එවැනි පාඨයන් කීපයක් පහත ආකාරයෙන් දැක්විය හැකිය.
“සිරිබර් කැත් කුල කොත් ඔකාවස් රජ් පරපුරෙන් බට් කැත උසබ් අබහය් සලමෙවන් මහරජ් හට් එමෙ කුලෙන් සමජැය් දෙව්ගොන් බිසෙව් රැජ්න කුසැ ඉපැදැ ඈපා මහයා සිරි වින්දැ පැළිවෙළැ සෙය් රජ්වැ තුමා සෙයින් ලකදිව් පහයමින් සිටැ සරිසඟ්බොය් අබහය් මහ රජ්හු”.
“ස්වස්ති සිරිබර් සැහැකුල කොත් ගුණ අම්බරණින් සැදී ලක් පොළො මෙහෛසනට් තලාටික් බන්දු දසරද් ධම් සතර් සඟවත් නෙඉක්මැ දුනුමුවා සැපත් ලිසිමුවා සුගි නුවණ්මුවා මොක් මග තුමහට් එකත්සරු කොට් ලොහි කුළුණින් මත්වැ සියල් දනන් මන් අරියු තුමා පියෙදු සෙන් සෙනෙවි වික්මෙන් මුළු දම්බ්දිව්හි සව්සිරැ තුමා පාමිලි කළ සිරිසඟ්බො අභා මිහින්දු”
එකළ රජවරුන් තම ආදර්ශය කර ගත්තේ දසරාජ ධර්මයෙන් රාජ්‍ය කිරීමයි. එළාර රජු පවා දැහැමෙන් රාජ්‍ය විචාල බව මහා වංසයේ දැක්වේ.
කැලණිය, රුහුණ හා මලය රට ආදී ප්‍රාදේශීය පාලනයන් වෙනම පැවති අතර රජරට බලයට පත් වූ බෝහෝමයක් රජවරුන්ගේ අභිප්‍රාය වූවේ මුළු රටම එක්සේසත් කොට පාලනය කිරීමයි. ක්‍රි.පූ.250 සිට ක්‍රි.පූ. 161 දක්වා කාළය තුළ අනුරාධපුරය කේන්ද්‍ර කොට ගෙන පාලනය මෙහෙය වූ දේවානම්පියතිස්ස, උත්තිය, මහාසිව, සූරතිස්ස, සේන හා ගුත්තික, අසේල, එළාර යන පාලකයන්ගේ බලය මුළු ලංකාව පුරාම ව්‍යප්තව නෙපැවති බව පෙනී යයි. අනුරාධපුර පාලන ඒකකය දිවයිනේ ප්‍රධාන පාලන ඒකකය වුවද, රජ යන නමින්ම හදුන්වන ලද ප්‍රභූන් විසින් පාලනය කරන ලද පාලන ඒකක සමූහයක් අනුරාධපුරයට දකුණින් වූ බව පෙනී යයි. දේවානම්පියතිස්ස රජු මහා බෝධි ශාකාව රෝපනය කිරීමේ උත්සවයට රුහුණේ, කතරගම හා චන්දනගාමයේ විසූ ක්‍ෂත්‍රීයන් සහභාගී වූ බව මහා වංසයේ දැක්වේ.
ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රාරම්භක අවධිය ලෙස සැලකිය හැකි මෙම අවධියෙන් පසු මල්වතු නිම්නය ආශ්‍රිතව වගා කල හැකි විශාල ඉඩම් ප්‍රමාණයක් හැසිරවිය හැකි අනුරාධපුරයේ රාජ්‍ය බලය රට පුරා ව්‍යාප්ත වීමෙන් එක්සත් ලංකා රාජ්‍යකට අවශ්‍ය පදනම සැකසෙන ලදි.
අනුරාධපුරය කේන්ද්‍රකොට ගෙන ප්‍රථම වතාවට එක්සත් ශ්‍රී ලංකාවක් බිහි කරනු ලැබූයේ දුටුගැමුණු( ක්‍රි.පූ.161-137) රජු විසිනි. දුටුගැමුණූ රජුගේ සටන් ව්‍යාපාරය හා ශාසනික මෙහෙය ගැන විමසීමේදී ඔහු එක්සත් ලංකා රාජ්‍යක් සකස් කළ ආකාරය ඉතා වැදගත්වේ. 2වන සේන රජු රුහුණු හා මලය රට යටත් කර ගෙන පාලනය කරන ලද බව “සිරි ලක්දිව්හි පිහිටි සිරිපිඩ් යස ඉසිර රුහුණු දනව් මලමඬලු එක ආන්නැ කොට් තමහට් සිරි භොග කළ උදා අභය් මහ රජ්හු” යනුවෙන් මොරගොඩ ටැම් ලිපියෙන් දැක්වේ.
තවද ලංකාවට බුදු දහම ලැබීමෙන් පසු රජ්‍යත්වය තහවුරු කර ගැනීමට ශාසනයට අනුග්‍රය දැක්වීම අනිවාර්ය විය. ඒ අනුව රජවරු බොහෝමයක් බුදු දහමට පක්ෂපාතීව තම පාලන කටයුතු ගෙන යනු ලැබීය. ඒ සඳහා භික්ෂූන් වහන්සේලාගේ දායකත්වය හා විශ්වාසය ලබා ගැනීමට ලාංකීය රජවරු උත්සුක විය. “සිරිලක්හි නොබොසත්හු නොරජ් වන්හයි සැහැකුල කොත් සවැනිය මහරජ්හු වියාරණ් ලද් තුමා පය් සිවුර් රක්නුවස් මහසඟ්හු රජ් සිරි පැමිණැ සැණැ බිසෙව් වින්ද්න දවස් මහ සඟ්නට් මෙහෙයට් උවසර්වස් සෙවෙල් බන්ද්න.....” යනුවෙන් ජේතවනාරාමයේ සෙල්ලිපියේ දැක්වේ. මෙහි සංක්‍ෂිපත් තේරුම නම් රජතුමා ඔටනු දරණුයේ පාත්‍ර චීවර රැකීමටය (පය් සිවුර් රක්නුවස්). එමෙන්ම මහා සංඝයාට සේවය කිරීම සඳහාය(මහ සඟ්නට් මෙහෙයට් උවරස්වස්). මේ හේතුවෙන් රාජ්‍යපාලනයේදී සංඝයා වහන්සේලාගේ මැදිහත් වීම පසු කාලීනව ඉතා ප්‍රභල වූ බව පෙනී යයි. ඉන්දියාවේදී රජුට උපදෙස් දීමේදී පුරෝහිතට විශේෂ තැනක් හිමි වුවත් ලංකාවේදී පුරෝහිතට වඩා වැදගත් වූවේ භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනාය.
ක්‍රමිකව විදේශීය ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුර රාජධානිය අභාවයට යත්ම පෙර කල තිබූ සමෘධියද නැති වී ගිය අතර රාජ්‍යත්වය පිළිබඳ ස්ථාවරත්වයද ලිහිල් වන්නට විය. අනුරාධපුර යුගයේ අවසාන වකවානුවේ විසූ රජවරු තම දුර්වලත්වය මකාගනුවස්, ශිලාලේඛනවල තමන් ගැන හා තම ක්‍රියා ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කරගනු ලැබීය. එම ආභාෂය ලබා ගත් නිශ්ශංකමල්ල රජු තම ශිලාලේඛන ඉතාමත්ම අතිශෝක්තියෙන් රචනා කළ ආකාරයක් දැකිය හැක. එමඟින් ශිලාලේඛන වල තිබූ විශ්වසනීයත්වය යම් දුරකට හීන වී ගිය බව පැවසිය හැකිය.
මතු සඳහන් සාහිත්‍ය, පුරාවිද්‍යා මූලාශ්‍රගත තොරතුරු ඇසුරෙන් විද්වත් මත කීපයක් වේ. පරණවිතානගේ මතයට අනුව පාලන නායකත්වය දේශීය මූලයකින් ගොඩනැගුනකි. එය ජන ඒකක තුළින් තොරා ගත් නායකත්වයක වර්ධන අවස්ථාවක් බව පෙන්වා දෙන ඔහු එමඟින් පොදු ජන ප්‍රභවයක් පිළිබඳ අදහසක් මතු කරයි.
සී. ඩබ්. නිකලස් ද අභිලේඛනවල සඳහන් පාලක විරුද නම් ඇසුරෙන්, විශේෂයෙන් ගමණි විරුදය පදනම් කර ගෙන ශ්‍රී ලංකාවේ පාලන නායකත්වය දේශීය මූලයකට සම්බන්ධ කරයි. මෙය පරනවිතාණගේ අදහස් ඉදිරියට ගෙන යාමකි.
ලක්ෂ්මන් එස්. පෙරේරා අචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කල The Institutions of Ancient Ceylon from Inscriptions නම් නිබන්ධනයේදී “ගමණී” හා “ගමික” යන විරුද භාවිත කළ පුද්ගලයන්ගේ තත්වය ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූවත් පාලන නායකත්වය ශ්‍රී ලංකාවේ ඇති වූවක් ලෙසින් සඳහන් කරයි. ඔහුට අනුව මුල් අවදිවල මිනිසුන් ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි වන විටදී ඔවුන්ගේ පසුබිමේ රජ පෙළපතක ඉතිහාසයක් නොවූ බවත් ඔවුන් විසින් ම පසුව නායකත්වයක් ඇති කර ගත් බවත් දක්වයි. එය පාලන නායකත්වයේ මුල් අවධිය බව ඔහු කියයි.
තිලක් හෙට්ටිආරච්චි සිය ආචාර්ය උපාධි නිබන්දනයේ ආරම්භයේදීම උතුරු ඉන්දියාවේ සිට පැමිණ මෙරට ජනාවාස කරනු ලැබූ සංක්‍රමණිකයන්ගේ කාලයට ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ ප්‍රභවය සම්බන්ද කළ හැකි බව සඳහන් කරයි.
අර්. ඒ. එල්. එච්. ගුණවර්ධන විසින් පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර කෙරෙහි වැඩි අවදානයක් යෙමු කර ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ ප්‍රභවය දේශීය මූලයනට සම්බන්ද කරයි. ශිලාලේඛන සාක්‍ෂි මත පුරාතන ශ්‍රී ලංකාවේ කුඩා පාලන ඒකක 29ක් හදුනා ගනු ලැබ ඇති අතර මෙම පාලන ඒකකවල නායකයෝ “ගමණි”, “රජ” හා “අය” වැනි විරුදයන්ගෙන් පෙනී සිටිති. එම නායකත්වය ක්‍රමයෙන් රාජත්වය දක්වා වර්ධනය වූ බවත් එම වර්ධනය, වර්ධන අවස්තා කීපයක් පසු කර ඇති බව ඔහු පවසයි. විජය පුරාවෘත්තයට ඉඩක් ගුණවර්ධනගේ අදහස් තුළින් ලබා නොදෙන අතර පාලන නායකත්වයේ වර්ධනය කෙරෙහි බාහිර සම්බන්ධතා වැදගත් වූ බව ඔහු පිළිගනී.
ඉන්දියානු සංගම් සාහිත්‍යගත තොරතුරු හා ශ්‍රී ලංකාවේ බ්‍රහ්මීය සෙල්ලිපිවල සඳහන් කරුණු ඇසුරෙන් එස්. කේ. සිත්‍රම්පලම් විසින් පුරාතන ශ්‍රී ලංකාවේ පාලන නායකත්වයක් ඇති වීම කෙරෙහි දකුණු ඉන්දීය ආභාසය ලැබුණේය යන අදහස මතු කරයි. ඒ සඳහා “පරුමක” යන විරුද නාමය යොදා ගනී. සංගම් සාහිත්‍යයේ “පරුමක” යන්නට සමාන රූපයක් ඇති “පෙරුමකන්” හෝ “පරුමකන්” යන්න යෙදී ඇති බව දක්වා මෙය ඉන්දීය මූලයකට සම්බන්ධ කරයි. සිත්‍රම්පලම්ගේ අදහසින් සෘජුවම ගම්‍ය කරනුයේ දකුණු ඉන්දීය නායකත්වයකි.
සුදර්ශන් සෙනවිරත්නගේ මතයට අනුව මෙරට ප්‍රථමයෙන් ජනාවාස වූයේ දකුණු ඉන්දියානුවන් මඟිනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ ප්‍රභවය කෙරෙහි දකුණු ඉන්දීය බලපෑමක් ඇති වූ බව ඔහුගේ කරුණුවලින් පෙනේ. මේ අනුව ශ්‍රී ලංකාව් රාජ්‍යත්වය ප්‍රභවය සම්බන්දයෙන් ඉදිරිපත් වී ඇති මතවාද, සාහිත්‍ය මූලාශ්‍ර කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීම, අභිලේඛන හා පුරාවිද්‍යාත්මක සාක්‍ෂි කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීම, දේශපාලන නායකත්වයේ ක්‍රමික විකාශනයක් ඇති බව පිළිගැනීම, පාලන නායකත්වයේ වර්ධනය කෙරෙහි විදේශීය අභාසයක් ඇති බව පිළිගැනීම, දේශීය මූලයකට සම්බන්ධ කිරීම ආදී තත්ත්වයන් අතර දෝලනය වේ.
මෙලෙසින් ලංකාවේ රාජ්‍ය හා රාජ්‍යත්වය පිළිබඳ විමසීමේදී පෙනී යන්නේ එය දේශීය මූලයකට සම්බන්දවීම හා ඉන්දියානු බලපෑම මත ලංකාවේ රාජ්‍යත්වය ආරම්භ වූ අතර ආක්‍රමණ හේතුවෙන් ලංකාවේ රාජ්‍යත්වය ඒකීය වීමේ අවශ්‍යතාවය මතු වූ බවයි. එහි ප්‍රතිපලයක් ලෙස ලංකාවේ රජ්‍යත්වය ක්‍රමිකව වර්ධනය වෙමින්, ප්‍රබල වූ බව දැකිය හැකිය. මුල් කාලීනව ප්‍රාදේශිය පාලකයන් ලෙස තම පාලන කටයුතු ආරම්භ කළ පාලකයන් කල් යත්ම ආගමික බලපෑම හා රජ්‍යයේ යුද ශක්තිය මත, සමස්ත ලංකා රාජ්‍ය පුරාම තම බලය ව්‍යාප්ත කරන ආකාරයක් දැකිය හැකිය.
No comments:
Post a Comment