Sunday, 22 November 2020

මෞර්ය පාලනය තුළ අශෝක විසින් ඇතිකරනු ලැබූ වෙනස්කම් කවරේදැයි පහදන්න.

 

 


        අශෝක රජුගේ පාලන තන්ත්‍රය හා සමකාලීන මෞර්ය පාලන තන්ත්‍රය පිළිබඳ විමසීමේදී ඔහු විසින් පිහිටවනු ලැබූ සියගණනක් වූ අභිලේඛණ වැදගත්වේ. අශෝක අධිරාජ්‍යයාගේ කාලය එකල ඉන්දියාවේ මෞර්ය පාලන තන්ත්‍රයේ දීප්තිමත් අන්තර්කාලයක් ලෙස සලකනු ලැබේ. ජයග්‍රාහී විශාල යුධහමුදාවකුත් ක්‍රියාශූර නිළධාරී මණ්ඩලයකගෙනුත් සහයෙන් මෙම ශ්‍රේෂ්ට අශෝක අධිරාජ්‍යයාට ඉතා ලෙහෙසියෙන්ම ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් දිග්විජය කොට පාලනය කිරීමට හැකිවිය. එම විශාල අධිරාජ්‍යය පාලනය කරගැනීම සඳහා විවිධ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට මෙන්ම චිරාත්කාලයක් මෞර්ය පාලනය තුළ පැවති පාලන විධික්‍රම තම ප්‍රතිපත්ති හා කාලීන අවශ්‍යතාවය අනුව සංශෝධනය කිරීමටද අශෝක රජුට සිදුවිය.


          අශෝකට පෙර මෞර්ය පාලන තන්ත්‍රය නිර්මාණය වූයේ කෞටිල්‍යයගේ අර්ථශාස්ත්‍රය පදනම් කරගෙනය. ඒ අනුව අශෝක යුගය වනවිට ඉතා සාර්ථක පරිපාලන තන්ත්‍රයක් මගධය තුළ ගොඩනඟා ගැනීමට මෞර්ය පාලකයන්ට හැකිවිය. එමඟින්  දිග්විජය ප්‍රතිපත්තියට අවශ්‍යය පසුබිම සකසා තිබූ අතර ධර්මාශෝකගේ කාලයේදී ධර්මවිජය ප්‍රතිපත්තියට පරිවර්තනය වීමක් දැකිය හැකිය. එහිදී ධර්මාශෝක රජු පෙර පැවති පාලන තන්ත්‍රයේම සු¿ වෙනස්කම් කීපයක් සිදුකරමින් තම ප්‍රතිපත්තිවලට අදාළව නව තනතුරු ඇතිකළ බවද අශෝක අභිලේඛණ ආශ්‍රයෙන් අවබෝධකර ගතහැකිය.


          අශෝක රජුගේ පාලන තන්ත්‍රයෙහි ඉහළම තනතුර වූයේ මහරජුය. ව්‍යවස්ථාදායකය (Legislative), විධායක (Executive), සංග්‍රාමික (Military) හා අධිකරණ (Judicial) යන අංශ සියල්ලේම අසහාය නායකයා සහ කෘෂිකර්මය, ආගම, සංචාරය දියුණු කිරීම, යුක්තිය පසිඳලීම හා වැරදිකරුවන්ට දඩුවම් දීම ආදී අතිවිශාල වගකීම් සම්භාරයක් රජුට පැවරී තිබුණි. මෙම කටයුතු ඉටුකිරීමේදී රජතුමාට යුවරාජ, පුරෝහිත (උපදේශක), මහාමාත්‍ර (දෙපාර්තමේන්තු ප්‍රධානීහු), මන්ත්‍රී (අග්‍රාමාත්‍ය), මන්ත්‍රී පර්ෂද් (මන්ත්‍රී මණ්ඩලය), අන්තමහාමාත්‍ර (දේශසීමා භාර අමාත්‍යවරු) සහ ධර්මමහාමාත්‍ර (ධර්ම ප්‍රචාරය හා ආගමික කටයුතු භාර අමාත්‍යවරු) යන රාජ්‍ය නිළධාරීන්ගේ සහය ලැබිණි. මගධ අධිරාජ්‍යයේ අගනගරය වූ පාටලීපුත්‍රය රජු යටතේ වූ අධිකාරී මණ්ඩල (Authority Boards) සයකින් යුක්ත මහා මණ්ඩලයකින් පාලනය විය.


         මු¿  උතුරු ඉන්දියාවම හා දකුණු ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් ඇතුළත්වූ මහා අශෝක අධිරාජ්‍යය, පාලනයේ පහසුව උදෙසා ප්‍රාදේශීය ඒකක කීපයකට බෙදා ඒ එකිනෙකෙහි පාලනය ප්‍රාදේශීය රජෙකුට භාරකොට තිබුණි. ඔවුන්ටද මහාමාත්‍ර ආදී වූ නිළධාරී පැලැන්තියකින් අවශ්‍යය සහය ලැබුණි. පාටලීපුත්‍ර නගරයෙන් දුරබැහැර තිබූ උජ්ජේනි, තක්ෂිලා, කෝසලී සහ ස්වර්ණගිරි ආදී වැදගත් ප්‍රදේශවල පාලනය “ආර්යපුත්‍ර” සහ “කුමාර” යන නම් වලින් හැඳින්වුණු රජපවුලට ඥාති සම්බන්ඳතා තිබූ යුවරජුන්ට පවරා තිබීම වැදගත් ලක්ෂණයකි. තම අධිරාජ්‍යය තුළ ධර්ම ලිපි පිහිටුවාලීම, වසර පහකට වරක් රාජ්‍ය නිළධාරීන් රටපුරා ධර්ම චාරිකාවල යැවීම, අධිරාජ්‍යයේ පාටලීපුත්‍ර (අශෝකාරාමය) හා සාංචි (සාංචි විහාරය) බඳු නගරවල ආරාම සහ වෙහෙර විහාර ඉදිකිරීම අශෝක රජු ඉතා වැදගත් සේ සළකන ලද කාර්යයන් විය.


        අශෝක රජුගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ කේන්ද්‍රය වූයේ අභ්‍යන්තර පාලනයෙහිලා කරුණාව හා හිංසාකාරී යුද්ධ අතහැර දැමීම බව ඔහු‍ගේ අභිලේඛණ අධ්‍යයනයේදී පෙනීයයි. දිග්විජය පිළිබඳ පාරම්පරික ප්‍රතිපත්තිය වෙනුවට ඔහු ධාර්මිකත්වයෙන් ලබන ජයග්‍රහණය හෙවත් ධර්මවිජය ප්‍රතිපත්තිය යොදාගත් බව පෙනීයයි. මේ ක්‍රමයට අනුව තමන් බොහෝ ජයග්‍රහණ අත්පත්කරගත් බව අශෝකයන්ගේ අභිලේඛණ මූලාශ්‍රවලින් පෙනීයයි. තමාගේ ධර්මවිජය ප්‍රතිපත්තිය හේතුවෙන් තම රාජ්‍යයට බාහිරින් ආක්‍රමණ එල්ලවීම වැලැක්වීමේ අරමුණින් එම රාජ්‍ය වලටද ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා තානාපතීන් පිටත්කර යවන්නට ඇතිබව අනුමාන කළ හැකිය. එලෙස ධර්ම තානාපතීන් පිටත්කර යැවූ රාජ්‍යයන් අතර සිරියාවේ “ඇන්ටියෝකස් තියෙස්”, මිසරයේ “ටොලමි ෆිඩෙල්පස්”, මැසිඩෝනියාවේ “ඇන්ටිගනස් ගොනටස්”, සිරීනයේ (Cyrene) “මගස්” සහ එපිරූසයේ (Epirus) “ඇලෙක්සැන්ඩර්” යන රජවරුන් ප්‍රධාන වේ. මෙම රාජධානි හා රජවරුන් අශෝක අධිරාජ්‍යයේ දේශසීමාවල තිබූ ප්‍රබල හා ශක්තිමත් රාජධානි බැවින් ඒවා සමඟ තවදුරටත් සහයෝගය වර්ධනය කරගැනීමත් මෙහි අරමුණ වන්නට ඇති බව අනුමාන කළ හැකිය.


          ස්වදේශික කාර්යයන්හිදී අශෝකයන්ගේ අ¿ත් ප්‍රතිපත්ති හේතුවෙන් පැරණි යුගයේදී පැවති අධිකරණ ක්‍රමයේ සු¿ ලිහිල්බවක් ඇතිවු බව පෙනීයයි. මෙම අධිකරණ කටයුතු වලදී නගර පරිපාලනය සඳහා පත්කර සිටි නගර ව්‍යවහාලක මහාමාත්‍රවරුන්ද එම ප්‍රදේශයේ අධිකරණ ක‍ටයුතු සඳහා යොදවාගත්බව අශෝක රජුගේ ධෞලි ගිරිලිපියෙහි සඳහන්වී ඇත. ගම්වල සිදුවන සු¿ අපරාධ විසදීම සඳහා ග්‍රාමකූට නමින් හැඳින්වූ විනිශ්චයකරුවෙකු හා ගමේ වැඩිහිටියන්ගෙන් සෑදුණු මණ්ඩලයකට බලය පැවරූ බව අශෝක රජු තමාගේ සිව්වන ටැම් ලිපියේ සටහන්කොට ඇත. එයට අනුව “යම් ප්‍රසාද දානයක් මෙන්ම දඬුවම් පැමිණවීමක් ඇතිද ඒ හැම ඉටුකිරීමේ බලය රාජුකයනට මාවිසින් පවරා දෙන ලදී.” මෙහි සඳහන්වන රජ්ජුක හෙවත් රාජුක යනුවෙන් හඳුන්වා ඇත්තේ “යටගසා (යෂ්ටි සිටුවා) කෙත් බෙදෙනවුන්” හෙවත් මිනින්දෝරුවන් බව ජාතක අටුවාගැට පදයේ දැක්වේ. එයින් අවබෝධවන්නේ ජනපදවල යම්යම් ස්ථානවල සු¿ අධිකරණ කටයුතු සඳහා ඔවුන්ගේ සහය ලබාගත් බවයි. උස්පහත් භේදයක් නොසළකා නීතිය හා දණ්ඩනය සෑම අයෙකුටම එකසේ සාධාරණ විය යුතු බව අශෝකයන්ගේ අදහස විය.


           අශෝක අභිලේඛණ වලින් පෙනීයන ආකාරයට සියලු වැසියන් තම දරුවන් ලෙස සළකා ඇති අතර ඔහුගේ නියෝග මැනවින් ක්‍රියාවෙහි යොදවන්නට නොහැකිවීම පිළිබඳව කීපවිටක්ම තම ප්‍රාදේශීය ආණ්ඩුකාරවරුන්ට දොස්පවරා ඇත. අශෝක රජු, රටවැසියන්ට සෘජුවම තමා මුණගැසීමට අවස්ථාව ලබාදුන් අතර තමා කුමන ස්ථානයක හා කුමන කාර්යයක යෙදී සිටියත් නිරතුරුවම ජනතාව ගැන සිතමින් ජනතා සේවයට මුල්තැන දුන් බවත් අශෝක අභිලේඛණවල සඳහන් වේ. එහි මූලික අරමුණ වන්නට ඇත්තේ රටවැසියාගේ යහපත සැළසීම අශෝක රජුගේ පරමාර්ථය වූ බවයි. අශෝක රජු තමාගේ බදු ප්‍රතිපත්තියේදීද පෙර රජවරුන්ට වඩා ජනතාවට සහනශීලි ආකාරයෙන් කටයුතු කළ බව ඔහුගේ රු‍මින්දෙයි ටැම්ලිපියේ සඳහන් වේ. එයට අනුව ධර්ම යාත්‍රාවේ රජු නිරතවු අතර සිද්ධාර්ථ කුමාරෝපත්තිය සිද්ධවූ ලුම්බිණියට ගිය ගමනකදී එම ග්‍රාමයේ වැසියන් “බලි” හෙවත් ධාන්‍ය බද්ද වශයෙන් රජුට ගෙවූ අස්වැන්නෙන් අටෙන් පංගුවේ කොටසෙන් එම ගම්වැසියන් නිදහස් කොට තිබේ.


      මෞර්ය අධිරාජ්‍යයට තිබූ ප්‍රධානතම අභියෝගයක් වූයේ කඳුකරයන්හි හා වනාන්තරබද ප්‍රදේශවල සිටි මිලේච්ඡ ‍හා නොදියුණු ගෝත්‍රයන්ගෙන් එල්ලවූ ආක්‍රමණයන්ය. එම ගෝත්‍රික ජනයා අධිරාජ්‍යයේ වඩා ජනාකිර්ණ ප්‍රදේශ වලට පැමිණ නිතර නිතර පීඩා ඇතිකරනු ලැබීය. කලින් සිටි රජවරුන් මොවුන් සමූලඝාතනය කිරීමේ නිර්ධය ව්‍යාපාරයෙහි යෙදීමෙන් මැඩපැවැත්වූ බව පෙනේ. නමුත් අශෝක රජු ඔවුන් ශිෂ්ටත්වයට පැමිණවීමට පැහැදිලිවම අදහස් කර තිබී ඇතිබව ඔහුගේ අභිලේඛණ ආශ්‍රයෙන් පෙනීයයි.


          කොපමණ ධාර්මික ප්‍රතිපත්ති අනුගමනය කළත් පාලනය යථාපරිදි තබා ගැනීමට හා අධිරාජ්‍යයේ ආරක්ෂාව පවත්වාගෙන යාමට යුධහමුදාව තවදුරටත් පවත්වාගෙන ගොස් ඇත. තවද මරණ දඩුවම තවදුරටත් පවත්වා ගත් අතර ඒ වෙනුවට මරන්නට නියම වූ මිනිසුන් වධයට පැමිණවීම දින තුනකට පමාකිරීමෙන් පරලොව සඳහා ඔවුන්ගේ සිත් යොමුවන්නට කාලය ලබාදුන්හ. අශෝක රජු අධිකරණ වධය නැතිකොට දැමූ බව බෞද්ධ මූලාශ්‍රවල සඳහන් වෙතත් අශෝක රජුගේ අභිලේඛණවල මේ බව පැහැදිලිව සඳහන් වී නොමැත. තවද මහලු වූ හා අංගවිකල වූ සිරකරුවන්ට නිදහසද ලබාදෙන ලදී.


        පෙර රජවරුන් කරනලද  තමාගේ බලප්‍රදේශ ව්‍යාප්ත කිරීමේ අරමුණින් පැවැත්වූ අශ්වමේදයාගය වැනි ක්‍රම අශෝකයන් විසින් පිළිකුල්කොට තහනම්කර තිබෙන අතර මිත්‍යා විශ්වාස නිසා පවත්වනු ලබන්නා වුද අනවශ්‍ය උත්සව හා යාගහෝම වෙනුවෙන් කරනුලැබූ සත්ව බිලිපූජා විවේචනයට ලක්කළ අතර යටත් පිරිසෙන් සතුන් මැරීම තම අගනුවර තුළවත් තහනම් කරනු ලැබීය. සූදුව පිණිස කුකුළන් කෙටවීම, මුව දඩයම, සතුන් අල්ලා ගැනීම පිණිස කැලෑ ගිනි තැබීම, සතෙකු ඇම වශයෙන් දී තවත් සතෙකු අල්ලා ගැනීම හා වසරේ යම්යම් දිනවලදී සතුන් ඇල්ලීම හා මස් මාංශ විකිණිම මු¿මනින්ම තහනම් කළ ඔහු ආහාරය සඳහාද සතුන් මැරීම පාලනය කළහ.


         ධර්මාශෝක යුගයට පෙර පැවති යාගහෝම ක්‍රමවන, නිරුපද්‍රිතව ගමනක් යාම සඳහා හෝ යුහුසු¿ව ලෙඩක් සුවකර ගැනීම සඳහා පවත්වනු ලබන උත්සව හා යාගහෝම යනාදිය, තම දිවිපෙවෙත සඳහා ඒවා කෙරෙහි බලාපොරොත්තු රැඳවූ පහත් පෙළේ පූජකයින් තම ප්‍රයෝජනය සඳහා සිරිත් පරිදි උපයෝගී කොටගත් දේවල් ලෙස අශෝක රජු විසින් අර්ථගන්වා ඇත. අශෝක රජුගේ vවන ටැම් ලිපියේ මෙසේ සඳහන් වේ. “දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජ මෙසේ කියයි. අභිෂේක කළ සවිසිවස් ඇත්තාවූ මවිසින් මේ ජීවිහු නොනැසිය යුතු කරන ලදහ. එනම් ගිරවු, සැළලිහිණි, පිළිහුඩුවෝ, සක්වාලිහිණි, හංසයෝ, නන්දිමුඛයෝ, ගෙලාටයෝ, වවුල්ලු, කුහුඹුවන්, දණ්ඩිපක්ෂීහු, ඇට නැති මත්ස්‍යයෝ, ඇටිකුකුළෝ......පරිභෝගයට නොගන්නාහ..... දුරුතුමස, උඳුවප් මස, චාතුර්මාශිව්‍රතයට අයත් තුන්මස...... අශ්වයන්ද ගෝනුන්ද හන නොගැසිය යුතුය. අභිෂේක කොට සවිසිවසක් ඇති මා විසින් මේ දක්වා අතරතුළ කාලයෙහි හිරකරුවන් නිදහස් කිරීම් විසිපහක් කරනලදී.” මෙම අශෝක රජුගේ නියමයන් අර්ථශාස්ත්‍රයේ එන නියමයන් හා එකඟවේ.


              එමෙන්ම අශෝක රජු සෑම ගමකම පාහේ මිනිසුන් උදෙසා මෙන්ම තිරිසනුන් උදෙසාද ගිලන්හල් කරවා මහාමාර්ග අසල ලිං තනවා මගීන්ට සෙවනදෙනු පිණිස මගදෙපස නුග හා අඹ ආදි ගස් රෝපණය කළබව අශෝක අභිලේඛණවලින් අනාවරණය වේ. “දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජ මෙසේ කියයි. මාර්ගයන්හීද මවිසින් නුග ගස් වවන ලදි. අඹ වතු වවන ලදි. අර්ධක්‍රෝෂයකට එක බැගින් මවිසින් ලිං තනවන ලදි. නවාතැන්ද කරවන ලදි. සිවුපාවුන්ගේ හා මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ ඒ තැන බොහෝ පැන්හල් කරවන ලදි. මේ ප්‍රයෝජන ගැනීම සු¿ එකකි. විවිධ වූ සැපවත්කිරීම් වලින්, පෙර රජුන් විසින්ද මවිසින්ද ලෝවැස්සා සුවපත්කරන ලදි” යනුවෙන් ඔහුගේ viiවන ටැම් ලිපියේ සඳහන් වේ.


         අශෝක රජු ඔටුනු පැළඳවීමෙන් පසු තම ධර්ම ප්‍රචාරණ කටයුතු තම රටවැසියාට දැන්වීම හා අවබෝධකරලීම සඳහා “යුක්ත” හා “ප්‍රාදේශික” නමින් නිළධාරීන් පිරිසක් පත්කරවා අවුරුදු පහකට වරක් බැගින් රටපුරා චාරිකාවේ යවා ඔවුන්ලවා ධර්මය ප්‍රචාරය කරවීම ආරම්භ කළ බව තුන්වන ගිර්නාර් ගිරිලිපියේ සඳහන් වේ. පසුව අශෝක රජුගේ මෙම ධර්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා “ධම්මමාත්‍ර” නිළධාරීන් පත්කළේය. එම ප්‍රතිපත්තීන් ප්‍රචාරය කිරීම ඔවුන්ගේ වගකීම විය. මෙම පත්කිරීම් සිදුකරනු ලැබූවේ අශෝක රජු ඔටුනු පැළඳවීමෙන් පසු ගතවූ 14වන අවුරුද්දේ බව ඔහුගේ අභිලේඛණවලින් පැහැදිලි වේ. අනුක්‍රමයෙන් මොවුන් “ධම්ම” ප්‍රතිපත්ති පිළිබඳව පූජකතන්ත්‍රයක් වශයෙන් කටයුතු කරන්නටවූ බව පෙනේ. රටවාසීන්ට සේවාවන් සැපයීම සඳහා අලසකමින් තොරව සේවය කළ යුතු බවට රජු විසින් නිළධාරීන්ට අවවාද දෙනලදී.


            ඉහතින් සඳහන් කරනලද ධර්ම මහාමාත්‍ර තනතුරද ඇතුලත්ව ස්ත්‍රී අධ්‍යයක්ෂ මහාමාත්‍ර, අන්ත මහාමාත්‍ර, නගර වියොහාලක (නගර ව්‍යවහාලක), වචභූමික ආදී නම් වලින් හැඳින්වෙන මහාමාත්‍ර මණ්ඩලයක් අශෝක රජු විසින් ඔහුගේ තුදුස්වන රාජ්‍ය වර්ෂයේදී පත්කරන ලද බව අශෝක සෙල්ලිපි වලින් අනාවරණය වේ. ඔහුගේ viiවන ටැම් ලිපියේ එය මෙසේ සඳහන් වේ. “දෙවියන්ට ප්‍රියවූ ප්‍රියදර්ශීතෙමේ මෙසේ කියයි. මාගේ ඒ ධර්ම මහාමාත්‍රයෝද අනුග්‍රහ පිණිස බොහෝ කටයුතුවල යෙදුණාහු වෙත්. පැවිද්දන් විෂයෙහිද සිය¿ ආගමික පූජ්‍යයන් විෂයෙහිද කටයුතු කිරීමෙහි යෙදුණාහු වෙත්....”.


            අශෝක රජු විසින් මෞර්ය පාලන තන්ත්‍රය තුළ ඇතිකරනු ලැබූ වෙනස්කම් රාශියක්ම සිදුකරනු ලැබ ඇත්තේ ඔහු විසින් බුද්ධාගම වැළඳගැනීමෙන් අනතුරුව බව පෙනීයයි. මෙලෙස බුද්ධාගම වැළඳගැනීමෙන් පසු තමා විසින් එතෙක් පවත්වාගෙන යනු ලැබූ දිග්විජය ‍වෙනුවට ධර්මවිජය ප්‍රතිපත්තිය අනුගමනය කළ බවත් දඩයමේ යාම වැනි විනෝද චාරිකා වෙනුවට ධර්මයාත්‍රාවන්හි නියැලුණු බවත් එහි ප්‍රතිඵලයක් ලෙසින් මගධ අධිරාජ්‍යයෙහි පූර්වයෙහි ඇසුණු භේරීඝෝෂා හෙවත් රණ බෙරහඬ වෙනුවට ධර්මඝෝෂා හෙවත් දහම් බෙරහඬ අසන්නට ලැබුණු බව අශෝක රජුගේ සෙල්ලිපිවල සඳහන් වේ.


      අශෝක රජුගේ විශේෂත්වයක්වන්නේ ශිලාලිපි මඟින් සිය ධර්ම ප්‍රචාරක ව්‍යාපාරය ගෙනයාමයි.ඒ ඒ ප්‍රදේශයන්ට අයත් ප්‍රාදේශීය භාෂාවන්ගෙන් රචනාවී ඇති මේ සෙල්ලිපි මඟින් අප්‍රමාදව ධාර්මික ජීවිත ‍ගතකරන ලෙස සිය ජනතාවට අවවාද කරයි. මව්පියන්ට සැළකීම, ඥාති සංග්‍රහය හා සත්ව කරුණාව වැනි සදාචාර ගුණ ප්‍රචලිත කිරීම අශෝකයන්ගේ අභිප්‍රාය වී ඇත. නාට්‍ය දර්ශන, චිත්‍ර ප්‍රදර්ශන මඟින්ද දැහැමි සමාජයක් ගොඩනැංවීමට කටයුතු කළ රජු මහජන සුභසාධනය අරමුණු කොටගත් රාජ්‍යක් ගෙනයාමට උත්සුක වූ අයුරු ඉතා පැහැදිලි වේ.


         මෞර්ය පාලනය තුළ අශෝකයන් විසින් ඇතිකරනු ලැබූ වෙනස්කම් අධ්‍යයනයෙන් පෙනීයන්නේ සුභසාධන රාජ්‍යයක් ගොඩනැගීම ඔහුගේ අරමුණ වූ බවයි. එය බුදු දහමේ ඉගැන්වෙන චක්‍රවර්තී රාජ්‍ය සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට දැරූ ප්‍රයත්නයක් ලෙසද හඳුන්වාදිය හැකි අතර ධාර්මික, සාමකාමී රාජ්‍යයක් පවත්වාගෙන යාමේ උපායශීලි දේශපාලන ක්‍රියාමාර්ගයක්ද වියහැක. කෙසේ වෙතත් ඔහුගෙන් පසු රජකමට පත්වූවන්ට එම වෙනස්කම් හා ප්‍රතිපත්ති සාර්ථකව පවත්වාගෙන යාමට නොහැකිවූ බව පෙනීයයි. මන්දයත් අශෝක රජුගෙන් පසුව දශක පහක් වැනි කෙටිකාලයක් ඇතුළත මෞර්ය රාජධානිය සම්පූර්ණයෙන්ම බිඳවැටීමයි.

No comments:

Post a Comment