Sunday 22 November 2020

1858න් පසු බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් පරිබාහිරව සිදුකරන ලද භූගෝලීය ව්‍යාප්තියේ මූලික අංග ලක්ෂණ පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්....


1857 ඉන්දියාවේ ඇති වූ හමුදා කැරැල්ලෙන් පසු බ්‍රිතාන්‍යයන් ඉන්දියාව තුළින් තමන්ට නැවතත් අභියෝග එල්ල නොවන ආකාරයට තම ප්‍රතිපත්ති නිර්මාණය කරගන්නා ලදි. එහි පළමු පියවර වූයේ බ්‍රිතාන්‍ය සමාගම සතුව තිබූ ඉන්දියානු ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය යටතට පවරා ගැනීමයි. එමඟින් සාර්ථක යටත්විජිත පාලනයක් ඉන්දියාව තුළ ගෙන යාමට බ්‍රිතාන්‍යයට  හැකි වූ අතර ඉන්දියාවෙන් පිටතට තම අවධානය යොමු කිරීමටද  හැකිවිය.

මෙම කාලය වනවිට බ්‍රිතාන්‍යයන් සතු ඉන්දියානු ප්‍රදේශ වලට බාහිරින් අභියෝග හා තර්ජන එල්ල වෙමින් පැවතිනි. 1858ට පෙර සිටම බ්‍රිතාන්‍යයන් යටතේ වූ ඉන්දියාව තම දේශසීමාබද අසල්වැසි රාජ්‍යයන් වූ ඇෆ්ගනිස්ථානය,  භූතානය, බුරුමය හා ටිබෙටය වැනි රටවල කටයුතු වලදීද සැළකිය යුතු මැදිහත්වීමක් සිදුකරන ලදි. 1857 කැරැල්ලෙන් පසු ඇතිකරන ලද කාර්යක්ෂම පාලන තන්ත්‍රයත්, ගොඩනඟාගත් විශාල හමුදාවත් හේතුවෙන් ආසියාවේ කටයුතු වලදී ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට ඔවුන්ට හැකිවිය. 1858න් පසු ඉන්දියාව කේන්ද්‍රකොටගත් බ්‍රිතාන්‍ය බලය  “යාකුබ් බෙග්ගේ” කැරැල්ල ඇති වූ කාලයේදී “සිංකියෑං” පළාතට හා ඇෆ්ගනිස්ථානයට කෙමෙන් එල්ල වෙමින් පැවතින. උතුරින් එල්ල වූ රුසියානු බලපෑම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය ආරක්ෂිත ප්‍රදේශයක තත්වයට පත්කිරීමට උත්සාහ කරන ලදි. තවද නැ‍‍‍ගෙනහිරින් එල්ල වූ ප්‍රංශ ආධිපත්‍යයට විරුද්ධව බුරුමයද ආක්‍රමණය කර ඈඳා ගන්නා ලදී. ඉරානයේ (පර්සියාව) අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමට බ්‍රිතාන්‍යයන් උත්සාහ කළ අතර අරාබි වෙරළෙහි හා පර්සියානු බොක්කෙහි බ්‍රිතාන්‍ය බලය ව්‍යාප්ත කරලීය. 1875න් පසු බ්‍රිතාන්‍ය ඉන්දියාව දකුණු ආසියාවේ දේශපාලන ක්‍රමයක මධ්‍යස්ථානය බවට පත්විය.

1864 ජනවාරි මාසයේ නව අග්‍රාණ්ඩුකාරවරයා ලෙස ඉන්දියාවට පත්ව ආ සර් ජෝන් ලෝරන්ස් 1869 දක්වාම එම ධූරයේ කටයුතු කරලීය. හිමාලය කඳු වැටියෙහි තියුණු බෑවුම්හි වනාන්තර වලින් වැසුණු කඳු සහිත පෙදෙසක් වූ භූතාන රාජ්‍ය සමඟ කෙරුණු කෙටි යුද්ධයකින් අනතුරුව ලෝරන්ස්ගේ කා‍ලයේදී බ්‍රිතාන්‍ය ඉන්දියාවට ඈඳා ගන්නා ලද එකම ප්‍රදේශය ලෙස එය සැළකිය හැකිය. නැගෙනහිරින් ටිබේටයද, දකුණින් බෙංගාලය හා ඇසෑම් ප්‍රදේශයන්ද බටහිරින් බ්‍රිතාන්‍ය ප්‍රදේශයක් වූ ඩාජීලිං සහ නේපාලයත් අතරින් පිහිටි කුඩා ස්වදේශී ජනපදයක් වූ සිකීම් ප්‍රදේශයෙන්ද වටවූ භූතානය සමඟ බ්‍රිතාන්‍ය සබඳතා ආරම්භ කෙරුණේ වොරන් හේස්ටින්ගේ කාලයේදීය. එනම් කූචි බිහාරි පාලකයන්ගේ ආධාරයට පැමිණ ඔවුන් නෙරපා හැරි වර්ෂය වූ 1772දීය. අවිඥත වූ මෙම දේශය සමඟ සබඳතා ඇතිකර ගැනීම සඳහා හේස්ටින් විසින් 1774දීත් හා කපිතාන් ටර්නර්ගේ ප්‍රධානත්වයෙන් 1783දීත් වෙළඳ දූත පිරිස් දෙකක් යැව්වේය. නමුත් එය අසාර්ථක විය.

1826දී බ්‍රිතාන්‍යයන් විසින් ඇසෑම් ප්‍රදේශය අල්ලා ගැනීම නිසා භූතානය සමඟ දේශසීමා පිළිබඳ ප්‍රශ්න උද්ගත විය. භූතාන වැසියන් ඇසෑම් ප්‍රදේශය දෙසට ඇති දුවාර් හෙවත් දුර්ග මාර්ග ආක්‍රමණය කොට යටත් කර ගන්නා ලදි. සර් ජෝන් ලෝරන්ස්ට කලින් අග්‍රාණ්ඩුකාරයා ලෙස කටයුතු කළ එල්ජින් සාමි විසින් දේශසීමා ආක්‍රමණ සම්බන්ධයෙන් සතුටුදායක තීරණයකට එළඹ ගැනීම සඳහා ඈෂ්ලි ඊඩ්න් දූතයෙකු වශයෙන් භූතානයට යවන ලද්දේය. නමුත් භූතාන් ජනයා බලෙන්ම ඊඩ්න් ලවා 1863-1864 ශීත ඍතුවේදී ඇසෑම් ප්‍රදේශයට වැටී ඇති දුවාර් වල අයිතිය තමනට පැවරෙන ලෙසට සකස් වූ අවමාන සහගත ගිවිසුමක් අත්සන් කර ගත්හ. මෙම කටයුතු හේතුවෙන් අධික ලෙස නිග්‍රහයට පත් වූ බ්‍රිතාන්‍ය ඉන්දියානු ආණ්ඩුව ගිවිසුම නොතකා හැර ඉකුත් අවුරුදු පහ තුළ භූතානය විසින් පැහැරගන්නා ලද සියළුම බ්‍රිතාන්‍ය වැසියන් නිදහස් කරන ලෙස තරයේ ඉල්ලා සිටියේය. ඊට පිළිතුරක් නොලදින් බටහිර දුවාර්, බ්‍රිතාන්‍ය ප්‍රදේශයට ඇඳාගෙන මෙතෙක් භූතානයට ගෙවන ලද දීමනාද අත්හිටවන ලදි.

නොසැළකිලිමත් අන්දමේ දේශසීමා ආසන්නයේ ආරක්ෂා කටයුතු මෙහෙයවූ බ්‍රිතාන්‍ය යුද නිලධාරීන්ට භූතානුවන් විසින් 1865 ජනවාරි මාසයේ හදිසි ප්‍රහාරයක් එල්ල කරන ලදි. දේවාන්ගිරියේ සිටි බ්‍රිතාන්‍ය හමුදාවද නෙරපා තුවක්කු දෙකක්ද භූතානුවන් විසින් පැහැර ගන්නා ලදි. බ්‍රිතාන්‍ය හමුදාවට එල්ල කරන ලද එම භූතාන ප්‍රචණ්ඩත්වයට විරුද්ධව බලවත් උද්ඝෝෂණ පැන නැගුනු අතර සේනාධිපති ටුම්ස් විසින් 1865 නොවැම්බර් මාසයේදී සියල්ල යථා තත්වයට පමුණුවා සාමය ඇති කළේය. එම සාම ගිවිසුමේ කොන්දේසි වලට අනුව භූතානුවන් තමන්ට ලැබෙන වාර්ෂික දීමනාවට හිලව් වශයෙන් දුවාර් 18කින් යුත් දිගින් සැතපුම් 180ක් සහ පළලින් සැතපුම් 20-30ත් අතර වූ සාරවත් බිම් තීරුවක් බ්‍රිතාන්‍යයන්ට පවරා දුන්හ. භූතානුවන්ට එලෙස ලිහිල් කොන්දේසියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සර් ජෝන් ලෝරන්ස් අධික ලෙස දෝෂදර්ශනයට ලක් වූ නමුත් ඔහුගේ එම තීරණය සාධාරණ මෙන්ම ඉතාමත්ම දූරදර්ශීද විය. මන්දයත් එම වාර්ෂික දීමනාවෙන් භූතාන වැසියන් ඉමහත් ප්‍රමෝදයට පත් වූ අතර දෙපාර්ශවය අතර සබඳතාවයන්ද සුහද බවින් යුතුව වර්ධනය විය.

1877දී බ්‍රිතාන්‍යයන් විසින් ක්වේටා අල්ලා ගනිමින් බලුකිස්ථානය ඈඳා ගත් අතර මෙය ඉන්දීය දේශසීමා වයඹ දෙසට ව්‍යාප්ත කිරීමේ මූලාරම්භයක් විය. 1863 සිට බ්‍රිතාන්‍ය ඉන්දියානු ආණ්ඩුව ඇෆ්ගනිස්ථානයේ කටයුතු වලට මැදිහත්වීම අරම්භකර තිබිණි. නමුත් මධ්‍යම ආසියාවේ රුසියානු බලය ව්‍යාප්ත වීම සමඟම බ්‍රිතාන්‍යන් ඍජුවම ඇෆ්ගනිස්ථානයට බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන ලදි. එවක ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ප්‍රතිරාජයා වූ ලින්ටන් සාමි ඇෆ්ගනිස්ථානය ආරක්ෂිත ප්‍රදේශයක් තත්වයට පත්කිරීම සඳහා ක්‍රමෝපායන් සකස් කරන ලදි. කඳු සහිත ප්‍රදේශයක් වූ ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පථාන් ගෝත්‍රික ජනතාව වාසය කලහ. මතභේද ඇතිකරගෙන සිටි මහා බලවතුන් දෙදෙනෙකුට මැදි වූ ඇෆ්ගනිස්ථානය විශාල කරදර ප්‍රමාණයකට මුහුණපෑහ.

අධිරාජ්‍ය නාමය පවරා ගැනීම ප්‍රකාශයට පත්කිරීම සඳහා දූත මෙහෙවර පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමින් බ්‍රිතාන්‍යයන් ඇෆ්ගනිස්ථාන පාලකයා වූ ෂර් අලිට පණිවිඩයක් යවන ලදි. එහෙත් රුසියානුවන් ද එම ඉල්ලීම ඉදිරිපත්කරනු ඇතැයි කියමින් ෂර් අලි විසින් එම පණිවිඩය ශිෂ්ටසම්පන්නව ප්‍රතික්ෂේප කළේය. ෂර් අලි එවූ පිළිතුර වූයේ “රුසියාවටද එවැනිම අයිතියක් ප්‍රධානය නොකර බ්‍රිතාන්‍ය නියෝජිතයෙකු නවත්වාගත ‍නොහැකි බවයි”. ෂර් අලි එවූ මෙම පිළිතුර බ්‍රිතාන්‍ය කටයුතු පිළිබඳව ඔහු තුළ ඇති අවඥාසහගත නොසැළකිල්ලයැයි ලින්ටන් සාමි සිතුවේය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ උපදෙස් නොතකමින් ලින්ටන් සාමි තම අධිරාජ්‍යවාදී උවමනා ගැන සළකමින් ඇෆ්ගනිස්ථානය හා යුද වැදීමට තීරණය කළේය. ලන්ඩනයේ සිටි යටත්විජිත අධිකාරීන්ගෙන් නොවිමසා ඔවුන්ට අසත්‍ය ලෙස ගොතන ලද කරුණු ඉදිරිපත් කරමින් ඇෆ්ගනිස්ථානයට විරුද්ධව යුද ප්‍රකාශ කරන ලදි. ඛයිබර් දුර්ග මාර්ගය ඔස්සේ සර් සැමුවෙල් බ්‍රවුන්ද, කුරාම් නිම්නය ඔස්සේ ජෙනරාල් රොබට්ස්ද, බෝලාන් දුර්ගය ඔස්සේ ජෙනරාල් ස්ටිවෝට්ද බ්‍රිතාන්‍යය ඉන්දියා හමුදා තුනක් ඇෆ්ගනිස්ථානය තුළට සටන් මෙහෙයවීය. එම හමුදාවන්ට පහසුවෙන්ම කන්දහාරය අල්ලා ගැනීමට හැකිවිය.

යුද්ධය ඇරඹෙන්නට ඉතා ආසන්නව තිබියදී ෂර් අලි රුසියානු ආධාර ඉල්ලා සිටියත් රුසියානු ජෙනරාල්වරයා වූ කෝප්මාන්ගේ උපදෙස වූයේ බ්‍රිතාන්‍යයන් සමඟ සාමදානවන ලෙසයි. රුසියානුවන්ගේ ආධාර ලබා ගැනීමට නොහැකි වූ ෂර් අලි රුසියානු තුර්කිස්තානයට පලා ගිය අතර 1879 පෙබරවාරි මාසයේදී ඔහු කලුරිය කළේය. 1879 මැයි මාසයේදී ෂර් අලිගේ පුත් යකුබ් ඛාන් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් බ්‍රිතාන්‍යයන් සමඟ ගිවිසුමකට අත්සන් තැබීය. ඔහු ඇෆ්ගනිස්ථානයේ නව අමීර්වරයා ලෙස පිළිගන්නා ලද්දේ පහත සඳහන් කොන්දේසි අනුවය. එනම් ඇෆ්ගනිස්ථානය තම විදේශ සබඳතා මෙහෙයවාලිය යුත්තේ බ්‍රිතාන්‍ය උපදෙස් අනුව වීම, කුරාම්, පිෂින් හා ශිබි යන දිස්ත්‍රික්ක බ්‍රිතාන්‍යයට පවරා දීම, නිත්‍ය බ්‍රිතාන්‍ය ප්‍රාදේශික නිලධාරියෙකු කාබුල්හි නවත්වාගත යුතු වීම, හේරාත්හි හා දේශසීමාබද අනෙක් ස්ථානයන්හිද බ්‍රිතාන්‍ය නියෝජිතයන් නවත්වා ගත යුතුය යන කොන්දේසි පනවන ලදි. එම කොන්දේසි පිළිගන්නේ නම් ඇෆ්ගනිස්ථානයට ලක්ෂ හයක වාර්ෂික ආධාර මුදලක් ලබා දීමටද, විදේශ ආක්‍රමණයක් සිදුවුවහොත් යුද ආධාර ලබා දීමටද බ්‍රිතාන්‍ය පොරොන්දු විය.  නමුත් බ්‍රිතාන්‍යයන්  ඇෆ්ගනිස්ථානය තුළ ලැබූ මෙම ජයග්‍රහණ ඉතා ‍කෙටි කාලයක් තුළම බිඳ වැටින.

බ්‍රිතාන්‍යයන්ගේ රූකඩ පාලකයෙකු ලෙස ක්‍රියා කල යාකුබ් ඛාන් නිදහස්කාමී ඇෆ්ගනිස්ථානුවන් අතර අප්‍රසාදයට පත් වූ අතර ගිවිසුම යටතේ පත් කරනු ලැබූ නේවාසික බ්‍රිතාන්‍ය නිලධාරියා වූ කැවඤාරි ඇතුළු ඔහුගේ සේවක පිරිස ඇෆ්ගනිස්ථානුවන් විසින් පහර දී ඝාතනය කරනු ලැබීය. මේ ආකාරයෙන් හින්දුකුෂ් කඳු වැටියෙන් ඔබ්බෙහි වූ ලින්ටන් සාමිගේ දේශපාලන සැලැස්ම වහා බිඳ වැටුණි. මෙම ක්‍රියාවට එකට එක කිරීමක් ලෙස ලින්ටන් සාමිගේ උපදෙස් මත සේනාධි නායක රොබට්ස්ගේ මෙහෙයවීමෙන් කන්දහාරය හා කාබුල් ප්‍රදේශ නැවත අල්ලා ගැනීමට බ්‍රිතාන්‍ය හේවායන්ට හැකි වූ අතර පලිගැනීමක් වශයෙන් බ්‍රිතාන්‍යයන් විසින් පරාජයට පත් වූ ඇෆ්ගනිස්ථානුවන් එල්ලා මරමින් ගම් වලට ගිනි තබන්නට පටන් ගත්තේය. මෙයින් තවත් ප්‍රකෝපයට පත් වූ ඇෆ්ගනිස්ථානුවන් දිගින් දිගටම බ්‍රිතාන්‍යයට විරුද්ධව සටන් මෙහෙයවීය. මේ අවස්ථාවේදී ඇෆ්ගනිස්ථානුවන්ට නායකත්වය ලබා දෙන ලද්දේ රුසියානුවන්ගෙන් වෙන්ව ආ අබ්දුල් රහමාන් ඛාන්ය. ඔහු නූතන ඇෆ්ගනිස්ථානයට පදනම දැමූ තැනැත්තා ලෙසද පිළිගනු ලැබේ. මෙම සටන් හේතුවෙන් බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයින් ඉවසිය නොහැකි තත්වයකට පත් වූ අතර අවසානයේදී දේශපාලන සම්මුතියකට පැමිණීමට සිදුවිය. පහසුවෙන් ජය ගැනීමේ බලාපොරොත්තු ඇතිව ඇෆ්ගනිස්ථානයට ඇතුළු වු බ්‍රිතාන්‍ය හමුදාව යටත් පිරිසෙන් තම ගෞරවයද නැතිව පසු බැස්සේය. මෙලෙස ඇෆ්ගනිස්ථානයේ සිහසුනට පත් වූ අබ්දුල් රහමාන් නව අමීර්වරයා ලෙස පිළිගැනීමට ලින්ටන් සාමි තීරණය කලමුත් ඔහු එම පියවර ගන්නට පෙර ඔහු නියෝජනය කල අගමැති ඩිස්රායලි ප්‍රමුඛ එංගලන්ත ආණ්ඩුව 1880 ග්‍රීෂ්ම ඍතුවේ පැවති මහා මැතිවරණයෙන් පරාජයට පත්විය. මේ හේතුවෙන් 1880 ජූනි මාසයේදී ලින්ටන් සාමි සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

නව අගමැති ලෙස පත් වූ ග්ලැඩ්ස්ටන් ප්‍රමුඛ ලිබරල් පාක්ෂිකයෝ ඩිස්රායලි හා ලින්ටන් සාමිගේ ඇෆ්ගන් ප්‍රතිපත්තියට දැඩි විරුද්ධත්වයක් දැක් වූ අතර ඉන්දියා‍වේ නව ප්‍රතිපත්තියක් ආරම්භ කිරීම සඳහා රිපන් සාමිව නව ප්‍රතිරාජයා ලෙස පත්කර එවනු ලැබීය. ඔහු අබ්දුල් රහමන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කොන්දේසි තුනක් යටතේ ඔහුව නව අමීර්වරයා ලෙස පිළිගත්තේය. එම නව කොන්දේසි නම් බ්‍රිතාන්‍යයන්ට හැරෙන්නට අන් කිසිම විදේශීය බලවතෙකු සමඟ දේශපාලන සබඳතා අමීර් විසින් නොපවත්වා ගත යුතුවීම හා කුරාම්, පිෂින් හා ශිබි යන දිස්ත්‍රික්ක බ්‍රිතාන්‍ය පාලනය යටතේම පැවතිය යුතුවීමයි. මේ වෙනුවෙන් අමීර්ට වාර්ෂික ආධාර මුදලක් ලබා දීමට බ්‍රිතාන්‍යයන් පොරොන්දු වූ අතර කාබුල්හි බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය නිලධාරියෙකු නවත්වා ගත යුතුය යන බලවත් ඉල්ලීම අත්හැර දමන්නට සිදුවිය. මෙලෙසින් අබ්දුල් රහමාන් ඇෆ්ගනිස්ථානයේ ස්වාධීනත්වය රැක ගන්නා ලදි.

වාණිජ අධිරාජ්‍යවාදී කටයුතු හේතු කොටගෙන බුරුමයෙහි කටයුතු වලට මැදිහත්වීම වඩාත් සාර්ථක විය. 1826 ප්‍රථම බුරුම යුද්ධයේ ප්‍රතිඵලය වූයේ අරකන් හා තෙනසෙරිම් යටත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට හැකිවීමයි. 1852 දෙවෙනි යුද්ධය මඟින් පේගු ප්‍රදේශය යටත් කර ගැනීමට හැකිවිය. මුහුදට වැටී තිබූ සියළුම මාර්ග අවහිරව තිබූ බැවින් ඉහළ බුරුමය මෙතෙක් නිදහස්ව තබිණ.

දෙවන බුරුම යුද්ධයෙන් පසුව බුරුම සිංහාසනය අයුතු ලෙස ලබාගත් මින්දෝන් රජු පේගු ප්‍රදේශය නැවතත් ලබා ගැනීමට අදහස් කලේය. නමුත් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ප්‍රතිරාජයා වූ ඩැල්හවුසි සාමි මෙය ප්‍රතික්ෂේප කලේය. එම ඉන්දීය ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය නැවත වෙනස් කරවා ගැනීම සඳහා එංගලන්තයේ රැජින හා අමාත්‍ය මණ්ඩලය කැමති කරවා ගැනීම පිණිස ප්‍රංශ අධිරාජයා යූ තුන්වන නැපෝලියන් පොලඹවා ගැනීමේ අරමුණින් ඔහු වෙත දූත ගමනක් යවන ලදි. නමුත් මෙය සාර්ථක ප්‍රතිඵල ලබා නොදෙන ලදි. ඉතාලිය සමඟද ගිවිසුමක් ඇතිකර ගැනීමට බුරුම රජු සමත් විය. රුසියාවට හා පර්සියාවට බුරුම දූතයන් පිටත්කර හරින ලදි. රුසියාවේ සාර් රජු බුරුම දූත පිරිස පිළිගැනීම ප්‍රතික්ෂේප කළ නමුත් පර්සියාවේ ෂා 1874දී බුරුම තානාපතීන් ඉමහත් සතුටින් පිළිගන්නා ලදි. විදේශ බලවතුන් සමඟ රාජ්‍ය උපාය පිළිබඳ සම්බන්ධකම් ඇතිකර ගන්නට මින්දෝන් රජු උනන්දු වූයේ ඉහළ බුරුමය බ්‍රිතාන්‍ය දේශපාලන බලපෑමෙන් මුදවාලනු පිණිසය. මින්දෝන්ගේ අභ්‍යන්තරික ප්‍රතිපත්ති ඉතාමත්ම සුපරික්ෂාකාරී වූ අතර බ්‍රිතාන්‍ය ඉන්දියානු ආණ්ඩුවට කිසිම හිරිහැරයක් හෝ ප්‍රකෝපකාරී තත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට හෙතෙම වග බලා ගත්තේය.

1878 මින්දෝන්ගේ ඇවෑමෙන් කිසිම දේශපාලන පුහුණුවක් හෝ පරිපාලනය පිළිබඳ අත්දැකීමක් හෝ නොමැති ඔහුගේ 20 හැවිදිරි පුත් තිබෝ එම පදවියට පත්විය. බුරුමය බ්‍රිතාන්‍ය සමඟ පවත්වා ගෙන ගිය රාජ්‍යෝපායික කටයුතු පිළිබඳව නව ක්‍රියාමාර්ග ඇති කිරීමට තිබෝ උත්සාහ දැරීය. 1833දී පැරීසියට ගිය තිබෝගේ දූතයෝ 1884දී මින්දෝන් සමඟ කලින් කෙරුණු ගිවිසුම අළුත් කරන ලදි. 1885දී ප්‍රංශ බුරුම අළුත් ගිවිසුමකටද එළඹගන්නා ලදි. ඒ අනුව මැණ්ඩලේ නුවරට ප්‍රංශ තානාපතියෙකුද පත්කරන ලදි. ඔහු ප්‍රංශ බැංකුවක් පිහිටුවීමට කටයුතු කළමුත් ප්‍රංශ ආණ්ඩුව ඔහුගේ ක්‍රියාපිළිවෙල පිළිබඳව තමන්ගේ අනුදැනුමක් නැතැයි කියා ඔහු ආපසු කැඳවීය. මෙම ගිවිසුම් හුදු වාණිජ ‍අපේක්ෂා මත පදනම් වුවත් ඉහළ බුරුමයේ රතු කැට පතල් කිහිපයක් පිළිබඳ අවසරය ප්‍රංශයන්ට පැවරීම හේතුවෙන් ප්‍රංශ මැදිහත්වීම් ඉහළ බුරුමය තුළ වර්ධනය විය. ඒ අනුව ප්‍රංශය සමඟ දේශපාලන සබඳතා ඇති කර ගැනීම හේතුවෙන් බුරුමය හා ඇසෑමය යන බ්‍රිතාන්‍ය ප්‍රදේශයට ඉතා නුදුරින් පිහිටි ඉහළ බුරුමයේ ප්‍රංශ බලපෑමක් පැතිර යාම බ්‍රිතාන්‍යයන් ප්‍රකෝප කරවීමට හේතුවක් විය.

මේ සාරවත් නොදියුණු රටෙහි කළහැකි දේ පිළිබඳ උනන්දුවෙන් සිටි බ්‍රිතාන්‍යයන් ඉහළ බුරුමයෙහි ප්‍රංශ බලය වර්ධනය වීම සම්බන්ධයෙන් බිය විය. ඉන්දියාවේ  බ්‍රිතාන්‍ය ප්‍රතිරාජයාගේ ඇතැම් ඥාතීන් හා තවත් උසස් තනතුරු දැරූ පුද්ගලයන්ගේ අනුදැනුම මත ක්‍රියාත්මක වූ දැව දඬු පිළිබඳ වෙළඳ සමාගමක් වූ බොම්බාය බුරුම වෙළඳ සමාගමට ( Bombe – Burma Trading Co-operation ) විශාල දඩයක් නියම කිරීමට බුරුම ආණ්ඩුව ගත් පියවර හේතුවෙන් ඉහත කී සමාගම හා බුරුම ආණ්ඩුව අතර ඇති වූ මතභේදය ප්‍රයෝජනයට ගත් බ්‍රිතාන්‍යයන් තත්වය උග්‍ර අතකට හැරවීම සඳහා කටයුතු කළ අතර යුද්ධයක් සඳහා වූ හේතුවක් වශයෙන්ද සළකන ලදි. 1885දී ඩැෆ්රින් සාමි විසින් තිබෝ රජු වෙත කොන්දේසි මාලාවක් පනවන ලදි. එයට අනුව මැණ්ඩලේ නුවරට බ්‍රිතාන්‍ය නියෝජිතයෙකු ගෙන්වා ගත යුතු බවත්,  එම නියෝජිතයා පැමිණෙන තෙක් සංගමයට විරුද්ධව ගෙන ගිය කටයුතු තාවකාලිකව නැවැත්විය යුතු බවත්, ඉන්දීය ආණ්ඩුවේ උපදෙස් පිට හැර විදේශ රටවල් සමඟ බාහිර සබඳතා නොපැවැත්විය යුතු බවත්, ඔහුගේ ප්‍රදේශ හරහා චීන ‍ජනයා සමඟ වෙළඳාම් කිරීමේ අයිතිය බ්‍රිතාන්‍යයන්ට දිය යුතු බවත් දන්වා අවසන් නිවේදනයක් යැවූමුත් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මැණ්ඩලේ නුවර වෙත බ්‍රිතාන්‍ය හමුදාවක් යවන ලදි. 1885 නොවැම්බර් මාසයේදී මැණ්ඩලේ නුවර අල්ලාගත් අතර දින 15ක් ඇතුලත යුද්ධය නිමා විය. තිබෝ රජු යටත් වූ අතර 1886 ජනවාරි 1දා ඉහළ බුරුමය ඈඳා ගැනීම පිළිබඳ ප්‍රකාශනයක් ඩැෆ්රින් සාමි විසින් නිකුත් කරන ලදි. නැවතද යුද්ධ වියදම බ්‍රිතාන්‍ය ඉන්දියාවට දැරීමට සිදු වූ නමුත් අධිරාජ්‍යයේ බළපෑම සියම, ඉන්දු චීනය, යූනෑන් යන රටවල දේශසීමා දක්වා ව්‍යාප්ත කිරීමට හැකි විය.

බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ඍජු අවශ්‍යතා මත අධිරාජ්‍ය බලයට නතු වූ තවත් රටක් ලෙස ටිබේටය හැඳින්විය හැකිය. 18වන සියවසේ අවසාන කාලයේ සිට ටිබේටය සමඟ වෙළඳ කටයුතු ආරම්භ කිරීමට බෝගල්ව පිටත්කර යැවූ වොරන් හේස්ටින් ප්‍රයත්න දරා තිබූමුත් එය සාර්ථක නොවීය. ටිබේටය, චීනයේ යටත් රාජ්‍යයක් ලෙස නාමමාත්‍රව සැළකුණද දලයි ලාමා නම් පූජකවරයෙකුගේ දේව ප්‍රභූත්වයෙන් යුත් රාජ්‍යයක් විය. බ්‍රිතාන්‍යයන් සමඟ සබඳතා පවත්වාගෙන තිබූ අර්ධ ස්වාධීන රාජ්‍යයක් වූ සිකීම් රාජ්‍ය තුළට 1886දී ටිබෙට් ජාතිකයෝ කඩා වැදුණහ. ඉන්දීය ආණ්ඩුව මෙයට මැදිහත් වී 1887දී ආක්‍රමණිකයන් පලවා හැරියහ. 1890දී චීන බ්‍රිතාන්‍ය කොමිසමක් මඟින් මෙම ප්‍රදේශයේ දේශසීමා ලකුණු කරන ලද අතර ඒ සමඟම වෙළඳාම පිළිබඳ ගිවිසුමකටද එළඹෙන ලදි. නමුත් ඒවා ටිබෙට් ජාතිකයන් විසින් නොසළකාහරින ලදි. ටිබෙට් රට තනිවීමත්, බාහිර ලෝකය සමඟ ගණුදෙනු කිරීම දලයි ලාමා ප්‍රතික්ෂේප කිරීමත්, ගණුදෙනු හා වෙළඳාම යන කරුණු දෙකම සඳහා සියළු පහසුකම් භුක්ති විඳීමට අවසර ලබා සිටි ඉන්දියාවේ බ්‍රිතාන්‍ය බලයට එල්ල කරන ලද නින්දාවක් ලෙස එවක ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ප්‍රතිරාජයා වූ කර්සන් සාමි සැළකීය.

තවද කර්සන් සාමි තම නිළයට පත්වන්න ඉතා ආසන්න කාලයකදී රුසියානු ජාතික දෝර්ජිප් නම් බුරියාත් ‍බෞද්ධ භික්ෂුවක් දලයි ලාමාගේ ප්‍රධාන දානාදිකාරි නැමැති උසස් නිළයට පත්විය. ඔහුගේ බලපෑමට දලයි ලාමා පත් වූයෙන් චීනය සමඟ කෙරුණු රහස් ගිවිසුමක් මඟින් රුසියාව ටිබේට් දේශයෙහි විශේෂ අයිතිවාසිකම් කීපයක් ලබා ගත්තේයැයි ප්‍රචාර පැතිර ගියේය. ‍තවද දොර්ජිප් පීටර්ස්බර්ග්හි උසස් නිළධාරීන් වෙත ලියුම්ද ලීවේය. ලාසා නුවර රුසියානු කුමන්ත්‍රණ කටයුතු සොයා ගැනීම සඳහා අවශ්‍ය අවසරය මෙමඟින් කර්සන්ට සැපයින. අධිරාජ්‍යයකු ලෙස ක්‍රියාකිරීමට ආශාවෙන් සිටි ප්‍රතිරාජයා 1902දී ලාසා නුවරට දූත මෙහෙවරක් යැවීමෙන් රාජ්‍ය භාර ලේකම්වරයා එකඟ කරගැනීම‍ට වෑයම් කළේය. මුලදී ලන්ඩන්හි බ්‍රිතාන්‍යය ආණ්ඩුව විරුද්ධ වූ නමුදු කර්සන් සාමි ටිබෙට් ජාතිකයින්ට ඉටුකළ නොහැකි ඉල්ලීම් ඉදිරිපත් කොට ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කළ කල්හි ඔවුන් අමිත්‍ර ලීලාවක් දක්වන බවත් ප්‍රකෝපකරවන සුළු බවත් කියා සිටීමෙන් ටිබේටය ආක්‍රමණය කිරීමට අවශ්‍ය අවසරය බලයෙන් මෙන් ලබා ගැනීමට සමත් විය. දේශසීමාව හරහා ගමන්ගත් බ්‍රිතාන්‍ය ඉන්දිය හමුදාව යල්පැනපු නොදියුණු ආයුධ අතින් ගත් ටිබෙට් ජාතිකයින්ට වෙඩි තබමින් ආවරණය කරමින් ඇති නගරය අල්ලා ගන්නා ලද බවට කීර්තිය ලබා ගැනීම සඳහා ලාසා නගරයට ඇතුල්විය. එහෙත් ඔවුන්ට දැකගත හැකි වූයේ දලයි ලාමා මොන්ගෝලියාවට පැන ගොස් තිබූ බවයි. ඒ අනුව ටිබේටයේ රාජ්‍ය අනුශාසකයා මත බලයෙන් ගිවිසුමක් පවරන ලදි. හේතුවක් නොමැතිව ඇති වූ මෙම අධිරාජ්‍ය ව්‍යාප්තියෙන් ලන්ඩන්හි ආණ්ඩුව පවා කලබලයට පත්විය. අන්තර්ජාතික මතය මඟින් ටිබෙට් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් කිරීමට බල කරන ලදි. බලවතුන් දෙපක්ෂයම විසින් ටිබේටය කෙරෙහි චීනයේ ආධිපත්‍යය පිළිගන්නා බවට මෙන්ම එංගලන්තය හා රුසියාව යන දෙරටම ටිබෙට් දේශය සමඟ කරන තම දේශපාලන සබඳකම් චීනය මඟින් මෙහෙයවාලන ලෙසටද, ටිබෙට් දේශයට අයිති ප්‍රදේශයන්ගෙන් කිසිම කොටසක් තමන් සතු කර නොගන්නා බවටද 1907දී ඇතිකරගත් ආංගල රුසියානු ගිවිසුමෙන් එකඟ විය. ටිබේටය ආක්‍රමණය කිරීම ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බලය පිළිබඳ උච්චතම අවස්ථාව විය.

1858න් පසු ඉන්දියාව තුළ සාර්ථකව බ්‍රිතාන්‍ය බලය ස්ථාවර කර ගැනීම හේතුවෙන් ඉන්දියාව මූලස්ථානය කොට ඉන්දියාවෙන් පරිබාහිරව ඒඩනයේ සිට හොංකොං දක්වා විහිදී ගිය බලය ඇති ඉන්දීය අධිරාජ්‍ය මහද්වීපයක් නිර්මාණය කිරීමට බ්‍රිතාන්‍යයන්ට හැකිවිය. මහා බ්‍රිතාන්‍ය නොමැතිව අධිරාජ්‍යයක් ගොඩනඟන්නට ඉන්දියාවට නොහැකිවන්නට තිබූ අතරම ඉන්දියාවක් නොමැතිව බ්‍රිතාන්‍යයටද මෙය කළ නොහැක්කකි. වින්ට් මහතා පවසන ආකාරයට “ එහි පැතිරීම ඉන්දු - බ්‍රිතාන්‍ය සහයෝගයේද, ඉන්දියාවේ හා බ්‍රිතාන්‍යයේද, බ්‍රිතාන්‍යයේ මධ්‍යම පන්තියේ විශ්‍රාමිකයන්ගේද, ඔවුන් සංවිධානය කර තිබූ කාය ශ්‍රමයේද ප්‍රතිඵලයක් විය”.  මෙලෙසින් 1858න් පසු බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් පරිබාහිරව සිදුකරන ලද භූගෝලීය ව්‍යාප්තියේ මූලික අංග ලක්ෂණ පැහැදිලි කළ හැක.


No comments:

Post a Comment