Sunday, 22 November 2020

රුසියාවේ 1917 ඔක්තෝම්බර් විප්ලවයට තුඩු දුන් කෙටිකාලීන හා දීර්ඝකාලීන හේතූන්...

 



සත්‍ය වශයෙන්ම 1917දී රුසියානු විප්ලව දෙකක් ඇතිවිය. එකක් මාර්තු මස හා අනෙක ඔක්තෝම්බර් මාසයේදීය. 18වන සියවස ආරම්භයත් සමඟ රුසියාව යුරෝපයේ බලවත් රටක් ලෙස මතුවිය. නමුත් හෑන්ස් කෝන් තම රුසියාවේ මූලික ඉතිහාසය නැමැති කෘතියේ දක්වා ඇත්තේ රුසියාව සංස්කෘතික හා දේශපාලනිකමය වශයෙන් ක්‍රියාකාරීමය රටක් බවට පත්වූයේ 19වන සියවසේදී බවයි. 


කෙසේ නමුත් යුරෝපයේ අනිකුත් බලවත් රටවල් වූ එංගලන්තය, ප්‍රංශය හා ජර්මනිය සමඟ සසඳන විට රුසියාව දේශපාලන, සමාජ හා ආර්ථික වශයෙන් ඉතා දුර්වල තත්වයක පැවතිණ. සංස්කෘතික වශයෙන් මෙන්ම සමාජමය වශයෙන්ද බලවත් විෂමතාවලින් යුක්ත වූ අසමාන ජන කොටස් එක්කොට තබමින් රුසියාවේ සාර් රජ පවුල අසහාය ඒකාධිපති පාලනයක් ගෙන ගියහ. රුසියානු ජනතාව මුහුණපා සිටි දුක්ඛිත තත්වය තවත් දරුණු අතට පත්වීමට හේතු වූයේ එරට උරුම කරගෙන තිබූ දේශපාලන ක්‍රමයයි. එමඟින් රුසියානු ජනතාව තව තවත් පීඩාවට පත් වූ අතර පාලන ක්‍රමයේ ප්‍රධානියා වූ සාර් රජු අසහාය ඒකාධිපතියෙකු විය. රදල ප්‍රභූවරුන් හා රුසියානු ඕතඩොක්ස් පල්ලිය සාර්වරුන්ගේ පාලනයට සහයෝගය දැක්වූහ. මෙලෙස රට තුළ පැවති ප්‍රධාන සංස්ථා දෙකේ සහයෝගය ලබා රුසියානු සාර්වරු එරට ජනතාව පාලනය කරන ලදි. 


පළමුවන ඇලෙක්සැන්ඩර් සාර් රජු (1801-1825) ලිබරල්වාදී පුද්ගලයෙකු වුවත් පසුව උග්‍ර ප්‍රතිගාමියෙකු වූ මෙටර්නික්ගේ බලයට යටත් විය. පළමුවන නිකලස් සාර් (1825-1855) රුසියාව තුළ පමණක් නොව පෝලන්තය තුළ පවා ලිබරල්වාදී කැරලි ඇති වූ විට ඒවා දරුණු ලෙස මැඩපැවැත්වීය. පුවත්පත් තහනම් කිරීම හා කැරලිකරුවන් පොලීසිය ලවා දරුණු වධ හිංසාවලට පැමිණවීම යනාදී මර්දනකාරී ක්‍රියාමාර්ග ඔහු විසින් අනුගමනය කරන ලදි. 1830දී පෝලන්තය කැරලි ගැසූ අවස්ථාවේ එහි ක්‍රියාත්මක වෙමින් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කොට එරට පාලනය කිරීම සඳහා දරුණු රුසියානු නිලධාරියෙකු පත් කරන ලදි. මධ්‍යම යුරෝපයේ බොහෝ ප්‍රදේශවල පැතිරෙමින් පැවති ලිබරල්වාදයට විරුද්ධව රුසියාවේ සාර් රජු ඔස්ට්‍රියාව හා එක්සත්ව කටයුතු කරන ලදි. 


නැපෝලියන් යුද සමයේ යුද හමුදාවේ නියුතුව සිටි උගත් රුසියන් නිලධාරීන්ට යුද්ධය නිසා පැරීසිය දක්වා යාමට ඉඩ ලැබිණ. එමඟින් ඔවුන්ට බටහිර නිදහස් මතවාද හෙවත් ලිබරල්වාදී අදහස් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. යුද්ධය අවසානයේ ආපසු තම මව්බිම වෙත ගිය එම නිලධාරීන්ගේ බලපෑම මත සාර්ගේ ඒකාධිපතිවාදය පෙරලා දැමීමට 1825දී කැරැල්ලක් ඇති කෙරිණ. එය දෙසැම්බර් කැරැල්ල ලෙසින් හැඳින්වෙන අතර පළවන නිකලස් සාර් විසින් එය ඉතා කෲර ආකාරයෙන් මර්දනය කරන ලදි. ලිබරල්වාදී අදහස් මර්දනය කිරීමට ඔහු කටයුතු කළමුත් බුද්ධිමතුන් අතර පැවති සමාජ අසහනය තවදුරටත් වර්ධනය විය.   


දූෂිත, ඒකාධිපති රාජාණ්ඩුවක්ව පැවති රුසියාව, ක්‍රිමියන් යුද්ධයේදී පරාජයට පත්වීමෙන් එරට පැවති නොදියුණුභාවය මනාව පැහැදිලි විය. එම යුද්ධයේදී පළමුවන නිකලස් සාර් මිය ගිය අතර ඔහුගේ පුත් දෙවන ඇලෙක්සැන්ඩර් සාර් (1855-1881) රජකමට පත්විය. ඔහු “ප්‍රතිසංස්කාරක සාර්” ලෙසද හඳුන්වනු ලැබේ. ක්‍රිමියන් යුද්ධය අවසන් කිරීම සඳහා සාම ගිවිසුමක් අත්සන් කළ අතර නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වාදෙන ලදි. ඒ අතර පෝලන්ත ජනතාවට ස්වයංපාලන බලතල ලබාදීම, සිය රට තුළ ප්‍රවේණි දාසයන් නිදහස් කිරීම යනාදිය වැදගත් ප්‍රතිසංස්කරණ විය. 


ප්‍රවේණිභාවයෙන් නිදහස් වූ ගොවීන් මුහුණපෑ බරපතලම ප්‍රශ්නය වූයේ ඉඩම් හිඟයයි. නිදහස ලබන විට ඉඩම් වගා නොකළ අයට ඉඩම් ලබාදීමට රජය මුලින් පොරොන්දු වුවත් පසුව එය එසේ ක්‍රියාත්මක නොවීය. ඉඩම් ලැබුණේ ගොවීන්ගෙන් 45%කට පමණක්වන අතර ලැබුණ ඉඩම්ද වගාවට නුසුදුසු නිසරු ඉඩම් විය. සරුසාර ඉඩම් තවදුරටත් රදලයින් අතම පැවතිණ. ඉඩම් නොලැබූවන්ගේ තත්වය බෙහෙවින් ශෝචනීය විය. ප්‍රතිසංස්කරණ මුවාවෙන් 1861දී අඳ ගොවීන් දාසභාවයෙන් නිදහස් කළමුත් ඔවුන්ට රජයෙන් ලබාදුන් ඉඩම් වෙනුවෙන් බදු ගෙවීමට නියම කෙරිණ. ගොවීන්ගේ අසරණ තත්වය හෝ ඉඩම් අස්වැන්නේ සරුසාරත්වය හෝ නොසළකා පනවන ලද බදු ගෙවීමට නොහැකිවීම නිසා නිදහස් වූ ප්‍රවේණිදාස ගොවියා තවදුරටත් අසරණ තත්වයට පත්විය. ප්‍රවේණිදාසයන් නිදහස් කිරීමේ පනතින් කිසියම් වෙනසක් ඇති කිරිමට උත්සාහ කළද එය නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවීම නිසා ඉන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් ගොවියා තුළ රජය කෙරෙහි පැවති විශ්වාසය බිඳවැටිනි. ඒ හේතුවෙන් 19වන සියවස අවසාන වනවිට සාර්වාදයට එරෙහි වූ සටන්කාමී පිරිස් එම අසහනයට පත් වූ ගොවීන් තම සංවිධානවලට ආකර්ෂණය කරගන්නා ලදි.


ප්‍රතිසංස්කරණ මාවතේ ගමන්ගත් සාර් අධිරාජ්‍යා විසින් “සෙම්ස්ටෝ වොස්” (Zemstovos) නම් දිස්ත්‍රික්ක මට්ටමේ ගම්සභා ක්‍රමයක් ඇතිකොට ඒ ආයතන තුළින් ප්‍රාදේශිය සභාවලට නියෝජිතයන් යැවීමට ඉඩකඩ සලසන ලදි. 1872දී නගරවල ප්‍රාදේශීය සභා හෙවත් “ඩූමා” සභා පිහිටුවා ආදායම් බදු අයකළ යුතු ප්‍රමාණය සලකා බැලීමටත්, රජයේ සේවාවක් හා පොදු අධ්‍යාපන ක්‍රමයක් පිහිටුවා ඒවා කෙරෙහි බලය පැවරීමටත් කටයුතු කරන ලදි. නමුත් ඒවායේ බලය පැවරුණේ ඉඩම් හිමියන් කෙරෙහිමය. 


වැඩිකල් නොගොස් දෙවන ඇලේක්සැන්ඩර් සාර් රජුගේ ප්‍රතිපත්ති කෙරෙහි රටේ ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටී රට පුරා සමාජ අසහනයද, ආර්ථික පීඩනයද දැරිය නොහැකි ලෙස වර්ධනය විය. බදු බරින් මිරිකුනු ඇතැම් ගොවීහු පැරණි වැඩවසම් දාසභාවය වඩා හිතකරයැයි සිතීමට පෙළඹුණහ. එහෙයින් ඔවුහු ක්‍රමයෙන් ප්‍රතිසංස්කරණ කෙරෙහි බලාපොරොත්තු තබනවා වෙනුවට කැරලිකාරී අංශ කෙරෙහි තම අවධානය යොමුකරන්නට විය. අනතුරුව දෙවන ඇලෙක්සැන්ඩර් සාර් ප්‍රතිසංස්කරණ කෙරෙහි පැවති උනන්දුව අතහරිමින් ප්‍රතිගාමී පාලනයක් ගෙනයාමට පෙළඹිණ. සාර්වරයාගේ එම ආකල්පමය වෙනස රුසියාවේ තරුණ හා උගත් පිරිස්වල බලාපොරොත්තු සුන්කරවීමට සමත් විය. එහෙයින් ඔවුහු උග්‍ර රැඩිකල්වාදී අදහස්වලට නැඹුරුවන්නට වූ අතර විනාශකාරී ක්‍රියාවලද නිරතවන්නට විය. මෙයට ඇලෙක්සැන්ඩර් සාර්ගේ ප්‍රතිචාරය වූයේ කෲර මර්දනය තවදුරටත් වර්ධනය කිරීමයි. මෙයින් සිදුවූයේ දෙපිරිස අතර ගැටුම් ඇති වී බොහෝ නිලධාරීන් මරුමුවට පත් වීම හා අවසානයේදී දෙවන ඇලෙක්සැන්ඩර් සාර් රජතුමාද කැරලිකරුවෙකුගේ අතින් 1881දී මරණයට පත්වීමයි. 


1881දී තුන්වන ඇලෙක්සැන්ඩර් සාර් රජු, අධිරාජ්‍යා ලෙස පත් වූ අතර සිය පියා මරා දැමීමේ පලිය ගැනීම පිණිස ඔහු දැඩිව තම විරුද්ධවාදීන් මර්දනය කරන ලදි. පුවත්පත් තහනම දැඩිකළ ඔහු සිය පාලනයට විරුද්ධවන බවට සැක කළ සියලුදෙනාම අත්අඩංගුවට ගැනීමට අණකරන ලදි. ඔහු “රුසියානුකරණය” නම් අළුත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මකළ අතර එහි එක් ලක්ෂණයක් වූයේ සාර් පාලනයට අවංක පක්ෂපාතීත්වයක් දැක්වීමයි. රුසියානු නිලධාරීන් අතින් අධ්‍යාපන පරීක්ෂාවට ලක්කෙරුණු අතර සාර් පාලනය විවේචනය කරන අයට දැඩි දඩුවම් පමුණුවන ලදි. එක් සාර්වරයෙක්, එක් පල්ලියක් හා එක් භාෂාවක් යන්න එකල උදෘත පාඨය විය. තම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණයවනු දුටු තරුණ පිරිස් ත්‍රස්තවාදී කටයුතු වලට නැඹුරු වෙමින් රැඩිකල් පක්ෂකරා ඇදී ගියහ.


19වන සියවස අවසාන වනවිට රුසියාවේ විරැකියාව හා දිළිඳුකම වැනි සමාජ හා ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සාර් රජය නව කාර්මීකරණ වැඩපිළිවෙලක් දියත්කරන ලදි. එය දියත් කිරීම සඳහා රුසියානු රජය යුරෝපා රටවලින් සහ ඇමරිකාවෙන් විශාල ණය මුදල් සහ තාක්ෂණික දැනුම ලබා ගන්නා ලදි. 1870 දශකය අවසාන කාලයේදී රුසියාවේ ආරම්භ කළ කාර්මීකරණයේ ප්‍රතිඵල වශයෙන් විශාල සංඛ්‍යාවකට රැකියා සැපයීමට හැකි වූ අතර නූතන කර්මාන්ත කීපයක්ද වර්ධනය විය. කෙසේ වුවද දිගුකාලීන වශයෙන් එමඟින් ශ්‍රමය සූරා කෑම සහ අයහපත් ජීවන තත්වය වැනි බැරෑරුම් ප්‍රශ්න කීපයක්ද උද්ගත කෙරිණ. 


කර්මාන්තශාලාවල සේවයේ යෙදීම සඳහා අවශ්‍යය මූලික පහසුකම් සේවකයන්ට නොතිබුණු අතර ප්‍රමාණවත් වේතනද නොලැබිණ. සේවකයන්ගේ සනීපාරක්ෂාව හා ප්‍රවේශම අහිතකර තත්වයක පැවතිණි. නිවාස පහසුකම් තිබුණේ කම්කරු බැරැක්කවලය. සේවා අයිතිවාසිකම් වැඩවර්ජන මඟින් හෝ වෙනත් ආකාරයකින් ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ මෙන් වෘත්තීය සමිති රුසියාව තුළ නොතිබුණි. එම තත්වය යටතේ සමාජවාදී අදහස් වර්ධනය වීම සඳහා අවශ්‍යය පසුබිම රුසියාව තුළ නිර්මාණය විය. 


1869දී කාල් මාක්ස්ගේ කොමියුනිස්ට් ප්‍රකාශය රුසියන් භාෂාවට පරිවර්තනය කළ අතර 1872දී දාස් කැපිටාල් රුසියන් භාෂාවෙන් පල කෙරිණ. 19වන සියවස වනවිට ප්‍රතිසංස්කරණ ඉල්ලමින් සංවිධාන මතු වූ අතර ඉන් සමහරක් විප්ලවකාරී ස්වභාවයේ ඒවා විය. සමාජවාදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1898දී පිහිටුවන ලදි. එම සමාජවාදී කණ්ඩායම් අතර ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයක් මඟින් සමාජවාදය අත්කර ගත යුතුය යන අදහස දැරූ මෙන්ෂෙවික් නම් වූ කණ්ඩායමත් හා නිර්ධන පන්තිය විසින් පාලන බලය අත්පත් කරගෙන රුසියාවේ ඒකාධිපති පාලනයක් පිහිටුවිය යුතු බව විශ්වාස කළ බොල්ෂෙවික් නම් කණ්ඩායමත් රුසියාවේ ප්‍රබලව ක්‍රියාත්මක විය. මෙන්ෂෙවික්වරුන්ගේ නායකයා වූයේ මධ්‍යස්ථ මතධාරී ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි වූ අතර අන්තවාදී අදහස් දැරූ ව්ලැඩ්මීර් ලෙනින් බොල්ෂෙවික්වරුන්ගේ නායකයා විය. 


ඉහතින් දැක්වූ ආකාරයට වසර ගණනාවක සිට ක්‍රමිකව වර්ධනය වූ කරුණු කාරණා 1917 ඔකතෝම්බර් විප්ලවයට තුඩු දුන් දීර්ඝකාලීන හේතූන් ලෙස පෙන්වාදිය හැකිය.    


1900 පමණ සිට 1917 ඔක්තෝම්බර් විප්ලවය දක්වා ක්‍රමිකව වර්ධනය වු කරුණුකාරණා කෙටිකාලීන හේතූන් ලෙස ගෙනහැර දැක්විය හැකි අතර ඒවා පහත ආකාරයෙන් ගොනුකළ හැකිය.


දුම්රිය මාර්ග ඉදිකිරීම, නව කර්මාන්ත හඳුන්වාදීම සහ ස්වාභාවික සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම වැනි ක්ෂේත්‍රවල ඇති වූ ප්‍රගතිය මධ්‍යයේ වුවද 20වන සියවස ආරම්භ වනවිටත් රුසියාව සුපුරුදු පරිදි වැඩවසම් රාජ්‍යයක තත්වයේ පසුවිය. වැඩකරන ජනතාවගේ තත්වය අපේක්ෂා භංගත්ව‍යකින් පැවතිණි. රුසියාවේ මධ්‍යම පන්තියද සුළු පිරිසකින් සමන්විත වූ අතර ඔවුන්ගේ වැඩිදෙනා රජයේ සේවකයෝ වූහ. තත්වය මෙසේ පවතිද්දී 1904-1905 කාලයේදී ජපානය සමඟ ඇති වූ යුද්ධයෙන් රුසියාව පරාජයට පත්විය. කුඩා ආසියාතික රාජ්‍යක් වූ ජපානය අතින් රුසියාව පරාජයට පත්වීම සමඟ රුසියානු පාලනය කෙරෙහි මහජන අප්‍රසාදය උච්ඡස්ථානයකට පත්විය. තවද රුසියාවට විශාල අපකීර්තියක් ගෙන දුන් ගිවිසුමක් ජපානය සමඟ අත්සන් කිරීමටද සිදුවිය. මෙම පරාජයෙන් පසු ගොවි කැරලි හා වැඩවර්ජන බහුල වශයෙන් ඇති වූ අතර නාවික හමුදාවද කැරලි ගැසීය. 


බොල්ෂෙවික්වරුන්ගේ නායකත්වය දැරූ ව්ලැඩ්මීර් ලෙනින් විසින් විප්ලවකාරී කම්කරු සමිතිය පිහිටුවන ලද්දේද මෙම වකවානුව තුළදීය. මෙයින් තැතිගත් දෙවන නිකලස් සාර් රජු ප්‍රතිසංස්කරණ කිහිපයක් ඉදිරිපත් කිරීමට එකඟවිය. සීමිත ඡන්ද බලයක් ලබා දීම, ඇතැම් නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ලබාදීම, රැස්වීම් හා සමාගම් පැවැත්වීමේ නිදහස ලබාදීම ඒ අතර විය. මේ ප්‍රතිසංස්කරණ යටතේ 1906 අප්‍රේල් මාසයේදී “ඩූමා” නමින් හැඳින්වූ පාර්ලිමේන්තුවද කැඳවන ලදි. එහෙත් ප්‍රතිසංස්කරණ වලින් සෑහීමකට පත් නොවූ කැරලිකරුවෝ දිගටම කැරලි කෝලාහල හා වැඩවර්ජන ගෙන ගියහ. එයින් කෝපයට පත් නිකලස් රජු ලබාදී තිබූ ඇතැම් ප්‍රතිසංස්කරණ අවලංගුකොට කැරලිකරුවන් දැඩිලෙස මර්දනය කිරීමේ ප්‍රතිපත්තියක් ආරම්භ කරන ලදි. මෙය 1905 අසාර්ථක විප්ලවය ලෙසද හඳුන්වනු ලබන අතරම 1917 ඔක්තෝම්බර් විප්ලවයේ පෙරහුරුවක් ලෙසද හඳුන්වනු ලැබේ. 


කෙසේ වෙතත් 1905 අසාර්ථක විප්ලවයෙන් පසුව එම කැරලි මෙහෙය වූ ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික් පක්ෂය පාර්ලිමේන්තුවෙන් ඉවත් වී සිය වැඩකටයුතු රහසිගතව කරගෙන යාමට පටන් ගත්තේය. මේ අතර 1914දී පළමුවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූ අතර මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය යන රටවලින් සමන්විත මිත්‍ර සන්ධානය සමඟ බැඳී සිටි රුසියාවටද එම යුද්ධයට සම්බන්ධ වීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගොවීන් විශාල වශයෙන් යුද සේවයට කැඳවීම හේතුවෙන් ගොවිතැන් කටයුතු අඩාල වී රට පුරා උග්‍ර ආහාර හිඟයක් පැන නගින ලදි.

1917 පමණ වනවිට රට අභ්‍යන්තරයේ කැරලි මෙල්ලකළ නොහැකි තත්වයට පත් වූ අතර කැරලිකරුවන්ගේ සටන් පාඨය වූයේ “සාමය, ඉඩම් සහ ආහාර” යන්නයි. යුද භටයන්ට සාමයද, ගොවීන්ට ඉඩම්ද, සියළු දෙනාටම ආහාරද අවශ්‍යව තිබුණි. මේ වනවිට රුසියන් හමුදාව, ජර්මන් හමුදාව අතින් අන්ත පරාජයක් ලබමින් සිටියේය. රට පුරා වැඩවර්ජන, ආහාර සඳහා කැරලි සහ යුද පෙරමුණේ වූ පසුබෑම් යන කරුණු නිසා පොදු ජනතාව පමණක් නොව හමුදාවද අවනත කරගත නොහැකි තත්වයකට නිකලස් රජු පත්විය. නිකලස් රජු මෙන්ම ඔහුගේ අපකීර්තිමත් ඇමතිවරයා වූ රසපුටීන් කුමාරයාද පොදු ජනතාවගේ මහත් අප්‍රසාදයට පත්විය. සාර් සහ සරිනා යුවළ අයහපත් දෑ වෙත යොමු කළ රසපුටීන් මිනිස් වෙස් ගත් අමනුෂ්‍යයනකු ලෙස සැලකෙණි.


 හමුදා නායකයන් විසින් රජකමින් අස්වන ලෙස නිකලස් රජුට බලකළ අතර 1917 මාර්තු මාසයේදී ඔහු සිහසුන අතහරින ලදි. රජ පවුලේ වෙනත් කුමාරයෙක් සිහසුනට පත් වූ නමුත් නියම පාලන බලය පැවතුණේ මෙන්ෂෙවික් නායක ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කිගේ නායකත්වය යටතේ පැවති තාවකාලීන ආණ්ඩුව වෙතය. ඔහු විප්ලවයට වඩා ප්‍රතිසංස්කරණ මඟින් රුසියානු සමාජ අර්ථක්‍රමය වෙනස් කළ හැකියැයි බලාපොරොත්තු විය. එහෙත් ප්‍රතිසංස්කරණ මඟින් යථාතත්වයකට පත්කර ගත නොහැකි තරමටම රුසියානු සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම අවුල් වියවුල්ව පැවතිණි. එබැවින් පුළුල් සමාජ විපර්යාසයක් අවශ්‍ය බව පැහැදිලිව පෙනිණ. කෙරෙන්ස්කි විසින් හඳුන්වාදෙන ලද ප්‍රතිසංස්කරණ මේ සඳහා ප්‍රමාණවත් නොවීය. මිත්‍ර සන්ධානයේ බල කිරීම මත යුද්ධය දිගටම කරගෙන යාමට තීරණය කිරීමද කෙරෙන්ස්කිගේ තාවකාලික ආණ්ඩුව කෙරෙහි බරපතල විරෝධයක් පැන නැඟීමට හේතු විය. 


මේ අතර ලෙනින් සහ මෙන්ෂෙවික් පක්ෂයෙන් ඉවත් වී බොල්ෂෙවික්වරුන් සමඟ එක් වූ ලියොන් ට්‍රොස්කිගේ මෙහෙයවීම මත බොල්ෂෙවික් පක්ෂය එළිපිටම සිය කටයුතු නැවත සංවිධානය කරන ලදි. කම්කරුවන්ගේ, හේවායන්ගේ හා ගොවීන්ගේ නියෝජිතයන්ගෙන් යුතු සෝවියට් මණ්ඩල රට පුරා පිහිටුවන ලදි. බොල්ෂෙවික් පක්ෂයේ ප්‍රතිපත්තිය වූයේ වැඩවසම් ක්‍රමය මෙන්ම ධනවාදී අර්ථක්‍රමයද විනාශ කොට පන්ති රහිත සමාජයක් ගොඩනැඟීම අවසාන අරමුණ වශයෙන් තබාගෙන නිර්ධන පන්තියේ ආඥාදායකත්වයක් රුසියාව තුළ පිහිටුවීමයි. 


අපරදිග රටවලින් ලැබුණු සහයෝගය මධ්‍යයේ වුවද කෙරෙන්ස්කිගේ රජය බිඳවැටීම නොවැළැක්විය හැකි තත්වයකට පත් වී තිබිණි. මෙය අවස්ථාවක් කරගත් ලෙනින් මුද්‍රා තැබූ දුම්රියක ජර්මනිය හරහා ගමන්කර 1917 අප්‍රේල් මාසයේදී ට්‍රොස්කි හා ස්ටාලින්ගේ අධාරය යටතේ නැවත තම මව්බිමට පැමිණෙන ලදි. කම්කරුවන් හා සොල්දාදුවන්ගෙන් සමන්විත සෝවියට් මණ්ඩලවල සහයෝගය ලෙනින්ට ලැබුණ අතර ඔහුගේ නායකත්වය යටතේ බොල්ෂෙවික්වරු රුසියානු ජනතාවට සාමය, ඉඩම් හා පාන් ලබාදෙන බවට පොරොන්දු වූහ. විශේෂයෙන් සොල්දාදුවන්, දුප්පත් ගොවීන් සහ නාගරික කම්කරුවන් හට එය මහත් ආකර්ෂණයක් විය. යුද්ධයෙහි මෙන්ම දේශපාලන බලය පිළිබඳ මනා අවබෝධයක් තිබූ ලෙනින් උපක්‍රමශීලීව හා ප්‍රවේශම්ව මෙන්ෂෙවික් රජය පෙරලා දැමීම සඳහා කටයුතු සූදානම් කරන ලදි. 1917 නොවැම්බර් 7වන දින ඔහු පහරදීම ආරම්භකල අතර කෙරෙන්ස්කිගේ තාවකාලන රජය බිඳවැටිණි. අනතුරුව රුසියාවේ සෝවියට් සමුහාණ්ඩුවක් පිහිට වූ ලෙනින් 1918දී බොල්ෂෙවික් පක්ෂය කොමියුනිස්ට් පක්ෂය යනුවෙන් නම්කරන ලදි. එකල රුසියාවේ භාවිතා කළ දින දර්ශනය අනුව විප්ලවය සිදුවූයේ ඔක්තෝම්බර් මාසයේ බැවින් එය ඔක්තෝම්බර් විප්ලවය යනුවෙන් හඳුන්වනු ලැබේ. ලෙනින්ගේ නායකත්වයෙන් යුත් නව රජය 1918දී බ්‍රෙස්ට්-ලිටොස්ක් ගිවිසුම අත්සන්කර ජර්මනිය සමඟ පැවති යුද්ධය අවසන් කරන ලදි.  


ඉහත දැක්වූ ආකාරයට රුසියාවේ 1917 ඔක්තෝම්බර් විප්ලවය දීර්ඝකාලීන හා කෙටිකාලීන හේතූන් රාශියක ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත හැකිය. මන්දයත් රුසියාවේ සමාජ පරිවර්තනයකට අවශ්‍ය පසුබිම ඉතා දීර්ඝ කාලයක් තුළ වර්ධනය වෙමින් පැවතියත් එය ඇති වූ අවස්ථාව එනම් 1917 ඔක්තෝම්බර් මාසය තුළදීම සිදුවීම හදිසියේ ඇති වූවක් වීමයි.


No comments:

Post a Comment