Monday, 21 March 2022

චීනය හා ශ්‍රී ලංකාව අතර විදේශ සබඳතාවන්ගේ විකාශය



  • හැඳින්වීම.

චීනය හා ශ්‍රී ලංකාව අතර ඈත අතීතයේ සිට ම ගනුදෙනු පැවතුණා යැයි විශ්වාස කෙරෙන අතර එය සනාථ කෙරෙන ඓතිහාසික සාක්ෂි ද ශ්‍රී ලංකාවේ මෙන් ම චීනයේ ද ඇත. ශ්‍රී ලංකාව පිළිබද ඉපැරණිම සටහන් තබා ඇත්තේ චීනයේ සිට ආ ෆාහියන් හිමියන් ය. උන්වහන්සේ ක්‍රි.ව. 411-412 අතර කාලයේ අනුරාධපුරයේ අභයගිරි විහාරයේ වැඩ වසමින් ලංකාව පිළිබද ඓතිහාසික විස්තර රැසක් සටහන් කර තිබේ. ෆාහියන් හිමියෝ එදා ලංකාව හඳුන්වා ඇත්තේ රත්නදීප නමිනි. ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපතිවරයෙකු වූ ජියැං ඕංචෙක් මහතා තැනක සඳහන් කර ඇත්තේ “තාන් දේශයේ ඉතිහාසය” නම් ඉපැරණි ග්‍රන්ථයේ එදා “සිම්හල රට” (ශ්‍රී ලංකාව) ගැන ද සඳහන් කර ඇති බවයි.  මහජන චීන සමූහාණ්ඩුව නිල වශයෙන් පිළිගත් පළමු රටවල් ගොන්නට ශ්‍රී ලංකාවද අයත් වෙයි. 1948 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබන විට චීනය පාලනය කරන ලද්දේ ගොමින් තාං රජයයි. ලංකාව සමග රාජ තාන්ත්‍රික සබඳතා මුල්වරට ආරම්භ කරන ලද්දේ එම රජයයි. ශ්‍රී ලංකා රජය මුල්වරට නිල වශයෙන් ලියවිල්ලක් චීනයට යවා ඇත්තේ 1950 ජනවාරි 7 වැනිදාය. ඒ චීන මහජන සමූහාණ්ඩුව පිහිට වූ පසුය. එදා මෙරට අගමැති ඩී.එස්. සේනානායක මහතා චීන ආණ්ඩුවට රාජ්‍ය සන්දේශයක් යවමින් ලංකාව චීනයේ මධ්‍යම ආණ්ඩුව පිළිගත් බවත් එදා පටන් ගොමින් තාං රජය සමග පැවති සබඳතා නතර කරන බවත් දන්වා ඇත.  චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පුළුල් වීමට තවත් හේතුවක් වී තිබෙන්නේ රටවල් ද්විත්වය අතර ඇතිකරගෙන තිබෙන්නා වූ විවිධ ගිවිසුම් හා එකඟතා නිසාවෙනි. ඒ අතර චීනය විසින් ශ්‍රී ලංකාවට ආර්ථික, ආරක්ෂක සහ තාක්ෂණික සහයන් බහුලව පිරි නැමීම සුවිසේශී වේ.1948 ශ්‍රී ලංකාව නිදහස ලබා ගත් මොහොතේ සිට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තෙක් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නිල බලයෙන් භාරව පැවතියේ අගමැතිවරයාට ය. නමුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ඒ සඳහා වෙනමම ආමාත්‍යධූරයක් නිර්මාණය කරනු ලැබීය. එදා මෙදා තුර ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බලයට පත් වනු ලබන ආණ්ඩුවේ හා ආණ්ඩුව මෙහෙයවනු ලබන නායකත්වයේ අභිලාශයන්ට අනුව කාලානුරූපී ව වෙනස්කම් වලට භාජනය වූ අතර එය සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කිරීමේ භාරදූර වගකීම පැවරුණේ විදේශ අමාත්‍යවරයාට ය. 

චීනය වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්ෂේත්‍රයට ආධාර ලබා දෙන ප්‍රධානතම රාජ්‍යයක් බවට පත්ව ඇත. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා දැඩි වීම නිසා ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික මර්මස්ථාන විය හැකි කලාප තුල යටිතල පහසුකම් නැංවීමත්, එම කලාප තුල දැවැන්ත ලෙස ආයෝජනය කිරීමත් චීනය විසින් බහුලව සිදු කරනු ලැබේ. උදාහරණ ලෙස නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය, නෙළුම් පොකුණ ජාතික ප්‍රසාංගික කලා රඟහල ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු කරන චීන ව්‍යාපෘති වන හම්බන්තොට වරාය ආදිය චීනයේ ආධාර මත ක්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ලෙස දැක්විය හැක. චීනය සහ ශ්‍රී ලංකාව නිතරම පාහේ සමීප ආරක්ෂක සහයෝගීතාවයක්ද පවත්වාගෙන යයි. ත්‍රස්තවාදය පරාජය කිරීමේදී අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ චීනය අපගේ ආරක්ෂකයකු ද විය. ආසියානු කලාපය තුල ශ්‍රී ලංකාවේ විශාලතම ගනුදෙනුකරුවකු වන්නේ ද චීනයයි. චීනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2014 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් විය. 

2010-2015 අතර සමයේ ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා වඩා වේගයෙන් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස 2014 සැප්තැම්බර් 16 වන දින චීන ජනපති ෂී ජිං පිං මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ලදි.  එය ඉතා වැදගත් වන්නේ 1986 දී ලී ෂියනින් චීන ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් වසර 28කට පසු චීන ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණීමත් හා දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් කිරීමේ සැලසුම් පැවතීමත් ය.

  • පර්යේෂණ අවකාශය.

1949 මහජන චීනය පිහිටුවීමේ සිට 2015 වසර දක්වා.

  • පර්යේෂණයේ අරමුණු 

  1. 1948දී ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු චීනය සමඟ පැවති සබඳතාවන්ගේ ස්වරූපය හඳුනා ගැනීම.

  2. 1949 මහජන චීනය පිහිටුවීමෙන් පසු චීනයේ වර්ධනයන් හඳුනා ගැනීම.

  3. චීනයේ සංවර්ධනය, ලෝක තලයේ දී ඇති කරන ලද යහපත් ප්‍රතිඵල හඳුනා ගැනීම.

  4. චීනයේ සංවර්ධනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා උපකාරී වූ අකාරය හඳුනා ගැනීම.

  5. ජාතික හා ජාත්‍යන්තර අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරය තුළ දී රැක ගැනීමට ඉදිරිපත් වූ ආකාරය අවබෝධ කර ගැනීම. 

  • පර්යේෂණ ගැටලුව. 

නැගී එන නව ආර්ථික කලාපයක් ලෙස ආසියාව තුළ චීනයේ භූමිකාව හා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැඩගැසීම ඒ කෙරෙහි දක්වන ලද අනුවර්තනය කෙසේ ද?

  • පර්යේෂණ ගැටලුවේ ඇති වැදගත්කම.

  • චීනයේ සංවර්ධනය ක්‍රමවේදයන් අවබෝධ කර ගැනීම හා ඒ තුලින් ශ්‍රී ලංකාවට ලද හැකි ආදර්ශයන් හඳුනා ගැනීම.

  • ශ්‍රී ලංකාව චීනය සමග පැවති සබඳතාවන් පිළිබඳව හා එතුළින් මෙරටට ඇති වූ ප්‍රගතිය හඳුනාගත හැකි වීම.

  • චීනය මහා බලවතෙකු වශයෙන් ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව වැනි තුන්වන ලොව රටවල් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වූ ආකාරය පිළිබඳ අධ්‍යනය කළ හැකි වීම.

  • 2010-2015 අතර වකවානුවේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ප්‍රවාහයේ ඇති වූ වෙනස් වීම් ඔස්සේ චීනය සමඟ පැවති සබඳතාවන්ගේ ප්‍රගතිය හඳුනා ගැනීමට හැකි වීම.

  • පර්යේෂණ ක්‍ෂේත්‍රය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාල සීමාව තුල චීනය සමඟ පැවති සබඳතාවන්ගේ ස්වරූපය, ඊට ප්‍රථම හා පසුව පැවති විදේශ ප්‍රතිපත්තීන් සම සංසන්දනය කිරීමට බලාපොරොත්තු වේ. එහිදී සමස්තයක් වශයෙන් චීනය සමඟ පැවති සබඳාවන්ගේ අරමුණු කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වේ. 

  • පර්යේෂණ සන්දර්භය.

1948 නිදහසින් පසු හා 1949 මහජන චීනය පිහිටුවීමෙන් පසු ශ්‍රී ලංකා- චීන සබඳතාවන්ගේ වර්ධනය හා 2010-2015 සමයේ එහි ස්වර්ණමය ස්ථානය කරා ලගා වීම අතර සමය කෙරෙහි අවධානය යොමු කිරීම.

  • සාහිත්‍ය විචාරය.

2007දී අමරදාස ගුණවර්දන විසින් සංස්කරණය කරන ලද “මහජන චීනය” (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද.) නම් කෘතිය මහජන චීනය පිහිටුවීමෙන් පසු චීනයේ දැවැන්ත සංවර්ධනය කෙරෙහි පදනම වැටුණු ආකාරය පිළිබඳව මෙන් ම චීන සංස්කෘතිය, කලාව, ආගම හා ආර්ථිකය යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැකිය.

1960දී මාර්ටින් වික්‍රමසිංහ විසින් “නව චීනයේ පිබිදීම” ලෙස (සරස ප්‍රකාශන මඟින් ප්‍රකාශයට පත් කරන ලද) 1959 දී චීනයේ දසවැනි සංවත්සරයට සහභාගී වූ කතුවරයා එහි භෞතික හා ආධ්‍යාත්මික දියුණුව පිළිබඳව ලියූ මෙම කෘතිය තුළින් පෙරදිග ලොව රටක් ලෙස ශ්‍රී ලංකාවට ද ඉන් ලබා ගත හැකි ආදර්ශ හඳුනා ගත හැකිය.

  • පර්යේෂණ සීමාව.

කාලය හා බැඳි සීමාව

2010 වසරේ සිට 2015 වසර දක්වා වූ කාලපරිච්ඡේදය.

තේමාව හා බැඳි සීමාව.

විදේශ ප්‍රතිපත්තියේ දේශපාලන නැතිනම් ජනවාර්ගික අර්බුදයටත්, ආර්ථික ක්ෂේත්‍රයටත් හා යුදමය වශයෙන් 2009 එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීම හා සිදුවීම් වල පශ්චාත් කාලීන බලපෑම් කෙරෙහි අවධානය යොමු කර ඇත.

  • පර්යේෂණ ක්‍රමවේදය.

  • පුස්තකාල, ජාතික ලේඛණාගාර ඇසුරින් ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍ර හඳුනා ගැනීම හා විශ්ලේෂණය මත පදනම් වේ. 

  • තාවකාලික උපන්‍යාසය.

2010-2015 යුදමය, ආර්ථික හා සමකාලීන ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය හමුවේ විදේශ අමාත්‍යවරයෙකු වශයෙන් ජී. එල්. පීරිස් මහතා අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය තීරණය වීමෙහිලා අභ්‍යන්තර දේශපාලන පරමාර්ථයන්හි බලපෑම ප්‍රමුඛ විය.

No comments:

Post a Comment